2013/06/09

රොක් සම්ප්‍රදායේ නිර්වාණ මාර්ගය.

1981 වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.

එක් ත්‍යාගයක් වූයේ ඉලන්දාරි ගැටවර සිත් ආකර්ෂණයෙන් වසඟ කළ මෝස්තරයේ යතුරු පැදියක්, අනෙක් ත්‍යාගය වූයේ අපූරු නිමවුමකින් යුත් ගිටාරයක්. ත්‍යාග දෙකෙන් එක් ත්‍යාගයක් පමණක් තෝරාගන්නට සිදුව තිබූ අතර මෙම අපූර්ව ගැටවරයා තම උපන් දින තෑග්ග වශයෙන් තෝරා ගන්නේ තම සිත බැඳගත් ගිටාරයයි.

තම ප්‍රියතම රොක් සංගීත කණ්ඩායමක් වූ led zeppelin  ගායනා කරන "stairway to heaven " ගීතයට පිස්සු වැටී හුන් මේ ගැටවරයා( ඇත්ත වශයෙන්ම කිවහොත් මේ ගීතය මාවත් පිස්සු වැට්ටවූ ගීයක්. )ඉතාමත් ඉක්මනින්, අදහාගත නොහැකි ශීඝ්‍රතාවයකින් තමන්ට තෑගි ලැබුණු ගිටාරයෙන් stairway to heaven"ගීතය වාදනය කරන්නට ඉගෙනගන්නවා. පසු කලෙක  led zeppelin සංගීත කණ්ඩායම තරමටම, නොඑසේනම් ඒ ද පරදවන තරමට ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන "නිර්වාණ " රොක් සංගීත කණ්ඩායම පිහිටුවන්නට පෙරමුණ ගන්නේ මේ සංගීතකාමී ගැටවරයා යි. රොක් සංගීත ලෝකයේ පුරාවෘත්තයක් බඳු ඔහු අන් කිසිවෙක් නොව තරුණ වියේදීම අකාලයේ ජීවිතයෙන් සමුගත් කර්ට් කොබේන් .



කොබේන් සහ ඔහුගේ යාවජීව සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් එක්ව පිහිටුවාගත් නිර්වාණ රොක් සංගීත ලෝකය නවමු උන්මාදනීය රිද්මයකින් ප්‍රකම්පනය කරවන්නට සමත් වූවා. ලෝක ප්‍රකට ප්‍රවෘත්ති නාළිකාවක් වන MSNBCහි එරික් ඕල්සෙන් වරෙක කොබේන් ගැන මෙලෙස පැවසුවා. "රොක් සංගීත ලෝකයේ ගැලවුම්කරුවාගේ චරිතයට පණ පෙවූ ඔහු අද්විතීයයි. කොබේන් අවසන් සැබෑම රොක් ගායකයා වශයෙන් සැලකිය හැකියි". ජාත්‍යන්තර රෝලින්ග් ස්ටෝන්  සඟරාව මඟින් ලෝකයේ හොඳම මෙටල් රොක් ගායකයන් ලැයිස්තුගත කරන විට කොබේන් එහි හොඳම දසදෙනා අතර හුන්නේය.

ගායකයෙක් පමණක් නොව ඔහු අති දක්ෂ ගිටාර් වාදකයෙක්ද වූයේය. කොබේන් උපත ලැබුවේ 1967 පෙබරවාරි මස වොෂිංටනයේ ඇබර්ඩීන්හිදීය. අදටද ඇබර්ඩීන් වෙත පිවිසෙන විට මාර්ගයේ පසෙක විශාල පුවරුවක කොබේන්ගේ සාතිශය ජනප්‍රියතාවක් අත්පත් කරගත් comes as you are   ගීතයේ මෙම මුල්පද කිහිපය සටහන් කර තිබේ. ඒ ඇබර්ඩීන් පළාත තම භූමිපුත්‍රයා පිළිබඳව සාඩම්බරයට පත්වෙන අයුරුයි. කොබේන්ගේ පවුල් පසුබිම නිසාම සංගීතයේ ආභාසය කුඩා කල සිටම විඳගන්නට ඉඩකඩ ඔහුට පෑදී තිබුණා. ඔහුගේ මාමලා දෙදෙනාම සංගීත කණ්ඩායමක සාමාජිකයන් වූ අතර නැන්දණිය දක්ෂ පියානෝ වාදිකාවක් සහ ගායිකාවක වූවාය. පවුලේ බලපෑම නිසාමදෝ සංගීතය පිළිබඳව ඔහුගේ ළැදියාව සහ හැකියාව කැපී පෙනෙන එකක් විය. එය කෙසේ දැයි විස්තර කළහොත් වයස අවුරුදු හතරට එළැඹෙන විට කොබේන් පියානෝව වාදනය කරන්නට සහ ගීත ගායනා කරන්නට පටන්ගෙන තිබිණි.

කුඩා කාලයේ පටන්ම කොබේන් හට බි්‍රතාන්‍ය සංගීත කණ්ඩායමක් වූ "බීට්ල්ස්" පිළිබඳව උන්මාදනීය කැමැත්තක් තිබිණි. "මට මතකයි ඔහු යාන්තම් බහ තෝරන අවුරුදු හතරේදී බීට්ල්ස්ලාගේ "hey jude " ගීතය තතනමින් ගායනා කරනවා" කොබේන්ගේ පියානෝ ගුරුවරිය වූ නැන්දණිය එලෙස පවසන්නේ කොබේන්ගේ බීට්ල්ස් ළැදියාව හෙළිකරමින්. විශේෂයෙන්ම බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පදනම් සාමාජිකයෙක් වූ 'ජෝන් ලෙනන්' කෙරෙහි සුවිශේෂී කැමැත්තක් කොබේන් වෙත වූයේය. කොබේන් ජෝන් ලෙනන්ව හැඳින්වූයේ තම රොක් ප්‍රතිමූර්තිය ලෙසිනි.

රොක් සංගීත විෂයෙහි අසීමාන්තික කෑදර රසිකත්වයක් තිබූ කොබේන් තම පූර්වගාමී සම්භාව්‍ය රොක් සංගීත කණ්ඩායම් වූ led zeppelin, AC/DC, black sabbath, Aerosmith,queen සහ Kiss  යන සංගීත කණ්ඩායම්වල නිෂ්පාදනයන්ට අප්‍රමාණව ඇලුම් කළ අතර ඉඳහිට කලාතුරකින් එම රොක් කණ්ඩායම් ගායනා කරන ලද තමන් ඉතාමත් කැමැති ගීත තම සංදර්ශනවලදී ගයනා කළේය. ඒ අතරින් ලෙඩ් ශෙපැලින්ලාගේ heart breaker සහ 'බැල්ක් සබාත්ලාගේ ' hand of doom  විශේෂකොට දැක්විය හැකි ගීත දෙකකි.

කර්ට් කොබේන් නම බටහිර රොක් සංගීත ලෝකය තුළ අමරණීය එකක් වන්නේ ඔහුගේ එළැඹුමෙන් ආරම්භ කරන ලද 'නිර්වාණ' සංගීත කණ්ඩායම නිසාය. කොබේන් නිර්වාණ අරඹන්නේ තම දීර්ඝකාලීන සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් සමඟින්. මුල් කාලයේ ඔවුනට පුහුණුවන්නටද හරිහමන් තැනක් නොමැතිව ළතවෙමින් සිටියා. අවසානයේ විසඳුම ලබාදුන්නේ ක්‍රිස්ගේ අම්මා විසින්.

ඒ ඇයට අයත් සැලූන් ගොඩනැඟිල්ලක සොල්දර කාමරය මේ තරුණ සංගීත ප්‍රේමීන් දෙදෙනාට ලබාදෙමින්. සොල්දරයේ සිට පුහුණුවීම් අරඹමින් ඔවුන් තම ප්‍රථම සංගීත ඇල්බමය නිකුත් කරන්නේ 1989 දී. ඒ 'bleach ' නමින් නමුත් නිර්වාණ සංගීත කණ්ඩායම බටහිර රොක් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නට සමත් වන්නේත්, එවකට වූ සුපිරි රොක් සංගීත කණ්ඩායම් අතරට එක්වන්නේත් 1991දී ඔවුන් නිකුත් කළ nevermind ඇල්බමයෙන්. විශේෂයෙන්ම එහි අඩංගු වූ "smells like teen spirit " ගීතය රොක් සංගීත ලෝකය තුළ සදාතනික එකක් වනු නොඅනුමානයි. එම ගීතය කර්ට් කොබේන් නම් කෙසඟ කඩවසම් ගායකයා සතු වූ උත්තුංග පහසුවෙන් පසු නොබසින හඬ පෞරුෂය පිළිබඳව කදිම නිදර්ශකයක්ද වනවා. 1991 සිට 1992 දක්වා කාලය තුළ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ගීතය පැමිණෙන තුරු බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ වැජඹුණේ කොබේන් ගායනා කරන ලද මෙම ගීතයයි.

කෙසේ වෙතත් තම සංගීත ජීවිතයේ තාරකා අවධියට සම්ප්‍රාප්ත වෙමින් සිටින අතරතුරදී මෙම තරුණ රොක් ගායකයාට ජීවිතය හැර යන්නට සිදුවෙනවා. ඒ ඔහුගේ 27 වැනි වියේදීය. කොබේන්ගේ මරණය පිළිබඳව දහසකුත් ප්‍රවාද මැවී තිබුණත් එය සියදිවි නසා ගැනීමක් බවයි පිළිගත් මතය. ඔහුගේ අකාල අභිරහස් මරණය කොබේන් හා නිර්වාණහි කීර්තිය බිඳකින්වන් අඩු කරන්නට සමත් වූයේ නෑ. අදටද රොක් සංගීත සහෘදයන් සියල්ලන් අතරේ කර්ට් කොබේන් සහ නිර්වාණ යන නම් පුරාවෘත්තයන් සේ වටිනාකම අධික වෙමින් පවතිනවා.

2013/06/07

රාජාලියන්ගේ දොම්නස් සාප්පුව ලිහා බැලීම.

මා ඊගල්ස් සංගීතයට පෙම් බඳින්නට පටන්ගන්නේ ඔවුන්ගේ 'හොටෙල් කැලිෆෝර්නියා' ගීතය ඇසීමෙන් පසුවය. ඒ මීට දශකයකට එපිටින් වන්නට ඇත. අද කතාව හොටෙල් කැලිෆෝර්නියා ගැන නොව ඊගල්ස්ලාගේම තවත් ගීතයක් වන 'සෑඩ් කැෆේ ' ගැනය.




'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි. 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 

දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 

එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --

හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ  කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි. 

සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි. 

oh expecting to fly 
we would meet on that shore in the 
sweet by and by

මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ. 

සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි. 

2013/06/05

හරිත මිහිතලයක් උදෙසා පුටාර් එකට ගොඩවීම

මුළුමහත් ලෝකයේම මෙන්ම අපේ රටේද පරිසරය හා සබැඳුණු සන්දර්භයන් වඩවඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. තවදුරටත් පරිසරය යනු ගහකොළ, වාතය, ජලය සහ සතුන්ට පමණක් සීමා වූ පටු විෂයය ක්ෂේත්‍රයක් වන්නේ නැහැ. පරිසරය හා බැඳුණු විෂයය සීමාවන් ක්‍රමයෙන් පළල් වෙමින් පවතින අතර තවදුරටත් ලෝකයේ ස්වාභාවික පරිසරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ උනන්දුව සහ උදේ‍යාගය සහිත පරිසර ක්‍රියාකාරීන් මේ නව විෂයය ක්ෂේත්‍රය වෙත තම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.



ලෝකයේ සතර දිගන්තයේ වෙසෙන පරිසර ක්‍රියාධරයන් අතරෙහි 'හරිත මිහිතලයක්' වෙනුවෙන් අලුතින්ම මතුව එන පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන වී තිබෙන්නේ හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවීමයි. වඩාත් පැහැදිලිව සඳහන් කරනවා නම් ලෝකයේ වාහනවලින් සිදු කෙරෙන කාබන් විමෝචනය අවම කරලීමේ පරමාර්ථයෙන් හැකි සෑම අවස්ථාවකම පාපැදි භාවිතාව සඳහා මහජනයා යොමු කිරීමේ සහ උනන්දු කිරීමේ වැඩසටහන් ලෝකය පුරාම ක්‍රියාත්මක වනවා. මෙවැනි විෂයය ක්ෂේත්‍රයන් තුන්වැනි ලෝකයේ රටවල් වන අපට නුහුරු, ආගන්තුක සහ ඇතැම්විට විජ්ජාකාරී දේවල් වශයෙන් පෙනී යා හැකි වූවත් අනාගතයේ එළැඹෙන නුදුරු දවසකදී රටට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවකින් සිදු කෙරෙන කාබනික විමෝචනය මඟහැර යා නොහැකි ගැටලුවක් වනවා නොඅනුමානයි.

ඇමෙරිකානු පාපැදිකරුවන්ගේ සංගමය ඇරඹුණේ 1880 තරම් දුර කාලයකදී. ඒ හුදු විනෝදය සඳහා බයිසිකල් පැදයන කිහිප දෙනකුගේ එකතුවෙන්. වර්තමානය වන විට 20,000ක පමණ සෘජු දායකත්වයක් දරන තවත් 300කට ආසන්න සංවිධාන ගණනාවක් සාමාජිකත්වයක් ගෙන සිටින මෙම සංගමය විනෝදය පිණිස නොව හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ දේශගුණික විපර්යාසයන් සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑමයි. ලෝකයේ කර්මාන්තශාලාවලින් මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය පමණක් දෙවැනි වන්නේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනයයි. ඒ අතරිනුත් පෙරමුණේම සිටින්නේ ඇමෙරිකාවේ අධික තදබදය සහිත නගර කිහිපයක්.

බොහෝ ඇමෙරිකානු නගරවල දක්නට ලැබෙන අධික වාහන තදබදයට හොඳම විසඳුම වශයෙන් ඇමෙරිකානු පාපැදි ලීගය තම  වැඩසටහන යෝජනා කර සිටිනවා. බොහෝ ඇමෙරිකානුවන් මිනිත්තු පහකින් හෝ දහයකින් නිමකළ හැකි කෙටි ගමන් බිමන් සඳහාද තම මෝටර් රථවාහන යොදා ගන්නට පුරුදුව සිටිනවා. එය පාරිසරික තත්ත්වයන්ට බලපාන ක්ෂුද්‍ර මට්ටමේ සාධකයක් පමණක් නෙවෙයි, ආර්ථික හා සමාජමය ගැටලුද මතු කරවන තත්ත්වයක්. ඇමෙරිකානු පාපැදි ලීගය බොහෝ ඇමෙරිකානු ප්‍රාන්ත නගර කරා එම පණිවුඩය රැගෙන ගියා. මුලින්ම ඔවුන් පෙන්වා දුන්නේ මෝටර් රථ වාහන මඟින් නිකුත් කෙරෙන කාබනික වායු විමෝචනය ඔස්සේ සිදුවන අති දැවැන්ත පාරිසරික දූෂණයයි. දෙවැනිව ඔවුන් මෝටර් රථ වාහන වෙනුවට නව විකල්පය යෝජනා කර සිටියා. "මිනිසුන් අපට අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. මෝටර් රථවාහන වෙනුවට අපගේ විකල්පය ඔවුන්ව උත්තේජනය කරනු ලැබුවා" ඇන්ඩි ක්ලාර්ක් ඇමෙරිකානු පාපැදි ලීගයේ විකල්ප වැඩසටහන ගැන පැහැදිලි කරමින් කියනවා.

"එය ඉතාම සරලයි. ඇමෙරිකාවේ වාහන තදබදය ඉතා අධික සෑම නගරයක් පාසාම පාපැදි ලීගය විසින් ඉතා සුළු මුදලක් ගෙවා පාපැදියක් කුලියට ගත හැකි මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා. තම මෝටර් රථය නගරයේ ගාල් කොට තමන්ට යා යුතු වෙනත් ස්ථානවලට යෑම සඳහා පාපැදියක් ගැනීමට දැන් ඇමෙරිකානුවන් පුරුදුව සිටිනවා. ඒ වගේම ඇමෙරිකානු මංමාවත්ද පාපැදිකරුවන් සඳහාම වෙන්වූ මංතීරු වෙන් කරනු ලැබුවා. වැඩසටහන දියත් කොට පළමු වසර තුළදී ඇමෙරිකාව පුරාම පිහිටුවා තිබූ බයිසිකල් හුවමාරු මධ්‍යස්ථානවලින් හුවමාරු වී තිබූ බයිසිකල් ගණන මිලියනයක්. නමුත් එහි දෙවැනි මිලියනය වෙත ළඟාවන්නට ගතව තිබුණේ මාස හයක් පමණයි. හරිත ලෝකයක් වෙනුවෙන් ඇමෙරිකානු බයිසිකල් ලීගය ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන නිසා 2025 වන විට ඇමෙරිකාවේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනය 4%කින් අඩු කරලන්නට ඉවහල් වනු ඇතැයි සංවිධායකයන් විශ්වාසය පළ කරනවා.