Google+ Followers

2014/11/23

තෝ මා තරවා මම් මුලු ලෝ තරවමි -බුත්සරණ

මෛත්‍රීපාල  සිරිසේන  පොදු අපේක්ෂකයා වශයෙන් කරළියට පැමිණීම, දේශපාලනික සංචලනයන් පිළිබඳව වැඩිමනත් අවබෝධයක් නොතිබූ පක්ෂ,විපක්ෂ සියල්ලන්  කම්පනයට පත් කළේය. මෛති තදබල දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි පූර්ව සැක සංකා ඇති කරගෙන සිටි රාජපක්ෂ රෙජීමය පවා මෛත්‍රීගේ නික්ම යාමෙන් දරුණු දෙදරීමකට ලක්ව සිටිනු බැව් පෙනෙයි.


 ඒ නිසාම මෛත්‍රී යනු ශී ලංකා නිදහස් පක්ෂය නොවන බව කියාපෑම සඳහා මෙන්න නියම ශී ලංකා බඬු යැයි ලේබල් කර පෙන්විය හැකි වර්ගයේ ඇමතිවරුන් කිහිපදෙනෙක් යොදා ගෙන අසාර්ථක පුවතපත් සාකච්ජාවක් ද පවත්වනු ලැබීය. සුසිල්ගේ ,අනුරගේ, ඩලස්ගේ සහ නිමල් සිරිපාලගේ මුහුණු වල හැගීම් විරහිත ස්වභාවය මොනවට කැපී පෙනුණේය.

ජනාධිපතිවරයා මෛත්‍රී ගේ දේශපාලනික තීන්දුව ගණන් නොගන්නා තරමේ එකක් නම් ඔහු කළ යුතුව තිබුණේ තම දේශපාලනික පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් නිහඩව ඉදිරි දේශපාලනික කටයුතුවල යෙදීමයි . නමුත් ඒ වෙනුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රවේණිගත පිටිසර චණ්ඬි ස්වභාවය සහ පන්න පන්නා පළිගැනීමේ වියරුව ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක් ගතව යන්නට මත්තෙන් මෛත්‍රීගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඇමතිධූරයන් සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර දැමීමයි . ඇමතිධූර කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම ........? මේ මොකක් වුව කළ යුතුව තිබුණේ හෙමින් සීරුවේය.නොඑසේ නම් බොක්සිං වළල්ලක පහරට පහර න්‍යායෙන් නොවේ.නමුත් කටයුතු සිදුවූයේ එලෙසිනි.
දැන් රාජපක්ෂවරුන් භීතියට හා සංශයට පත්ව සිටින්නේඉදිරි ජනාධිපතිවරණයේ දී අව්‍යාජ නිදහස් පාක්ෂීකයන්ගේ තීරණය කුමක් වනු ඇතිද යන සිතුවිල්ල නිසාවෙනි. මක්නිසාද යත් ,මෛත්‍රීපාල සිරිසේනත් ශී ලංකා නිදහස් පක්ෂයත් යනු එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය ප්‍රපංචයක් දෙකක් වීම නිසාය. විශේෂයෙන්ම මෛත්‍රී සෑම අවස්ථාවකම පක්ෂය කෙරෙහි තම තදන්තර බැදීම ප්‍රකට කළ අයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්තීන්ද පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග ගැටගැසී තිබුණේය. නමුත් මහින්ද රාජපක්ෂ ට තම පක්ෂය සමග එවැනි ගනුදෙනුවක් කිසිදාක තිබුණාද යන්න ගැටළුවකි.තිබුණා නම් ශී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග අහසට පොළව තරම් පරස්පර සම්බන්ධතාවයන් තිබූ යූ.ඇන්.පී කාරයන් ගොන්නක් කැබිනෙට්ටුවට රිංගවාගන්නේ නැත. හොඳම උදාහරණය නම් ශී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දීප්තියෙන් බබළවන්නට සිටි පහන් තාරකාවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය කරන ලද සුසන්ත පුංචිනිලමේ හට නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාදෙමින් නොනැවතී තිකුණාමලයේ නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද ලබාදීමයි . එම්.ඬීකේ.එස් ගුණවර්ධන වැනි උපන් ගෙයි ශීලංකා කාරයින් සත පහකට මායිම් නොකරමින් පුංචිනිලමේ ලා වැද්ද ගැනීම ගැන සැබෑ ශී ලංකා කාරයින්ගේ කළකිරීම ගුණවර්ධනලා මෛත්‍රී සමග එක්ව එළියට බැසීමෙන් ප්‍රකට කළේය.

ඒ නිසාම මෛත්‍රී ගේ නික්ම යෑම හුදු හුදකලා නික්ම යෑමක් නොව ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්දගේ සහයට පැරණි ලංකා නිදහස් පක්ෂ මතවාදයන් නියෝජනය කරන, වසර ගණනාවක් තිස්සේ යූ.ඇන්.පී මැර දේශපාලනයෙන් හෙම්බත්ව සිටි නමුත් තමනුත් එවැනි මැර දේශපාලනයක යෙදිය යුතු යැයි නොසිතූ   අව්‍යාජ නිදහස් පාක්ෂිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැමැත්තද සංකේතාත්මකව හැර යාමකි. 

2014/11/16

මඩොල් දුවෙන් ඔබ්බට පැද යන්න.


සිංහලෙන් කියවන අපේ පරම්පරාවේ කිසිවෙකුටත් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දූව පහසුවෙන් මතකයෙන් මැකී යන්නේ නැහැ.උපාලි ගිනිවැල්ලේ ,ජින්නා,පොඩි ගමරාළ, කට්ට කෛරාටික වෙට්ට පිත්තල සුරංචියා, අද්භූත ආගන්තුකයෙක් වූ නාගයා,ගිනි වට්ටියක් හිසින් ගත් මිනිසා, මේ හැමදේම පුංචි කාලේ අපේ සුන්දර සිහින මුද්‍රාවන්.යව්වන සාහිත්‍ය රසිකයන් විදිහට අපේ කියවීමේ තිබහ ඇති කළ ලුණුමිරිස වුනේ මඩොල් දූව. උපාලි සහ ජින්නා ගේ කතාව විසින් ඇති කරනු ලැබූ උත්කර්ශය කොතරම්ද යත් මඩොල් දූව කෘතිය ගෙඩි පිටින් කොපි කරමින් කපුටු දූව නමින් පිටු 40 ඇක්සයිස් පොතක කතාවක් ලිවීමටත් මා පෙළබුනා.


අපේ යොවුන් සාහිත්‍යය කෘති එකතුවේ මුදුන් මල්කඩ මඩොල් දූව බවට විවාදයක් නැහැ.තමන්ගේම නව ලෝකයක් සොයා යන ගැටවරයන් දෙදෙනෙකුගේ අභියෝගාත්මක ජීවන සුවිසැරිය මඩොල් දූවේ පමණක් නොව ඉන්පසුව ලියැවුණු බොහෝ යොවුන් නවකතාවල කතා වස්තුව බවට පත්වුණා.නැත්නම් බොහෝ සෙයින් ඊට සමාන කතා වස්තූන් වුණා.මඩොල් දූවේ සංකල්පීය ආකෘතියෙන් ගැළවීමට නොහැකි වූ යොවුන් නවකතා බොහෝ ගණනක් මා කියවා තිබෙනවා.
මඩොල් දූවට පසුව මා ආශාවෙන් කියවූයේ කුලසේන ෆොන්සේකා ගේ යොවුන් නවකතා. යම් යම් සුවිශේෂීතාවයන් තිබුණා වුවත් රංසිරිගේ සංග්‍රාමය ඇරුණු කල ඔහුගේ තුන් යහළු වික්‍රමය, කල්ලන් දූවේ මුතු කොල්ලය සහ සෝමපුර වීරයෝ වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූ ආකෘතියම වූවා.නමුත් රංසිරිගේ සංග්‍රාමය වෙනස්ම මාතෘකාවක් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා.
සිරිල් පෙරේරා නැත්නම් සිරිල් කොඩිකාර හෝ ඊට කිට්ටුවෙන් යන නමක් හිමි ලේඛකයෙක් ගේ අපූරු නවකතා දෙකක් මට තවමත් මතකයි.ඉන් එකක නම වයිටා. පවුලක දරුවන් කිහිපදෙනෙකුගේ සෙනෙහසට මැදිවුණු
බලු සුරතලෙකුගේ කතාවක්.එහි අවසානය එවක ගැටවරයෙක් වූ මගේ හදවත කම්පනය කළා.ඔහුගේම උත්සාහය උක් දණ්ඩක් වැන්නේ යන නවකතාව ද වෙනමම ඉසව්වක් ස්පර්ශ කළ එකක්.තමන්ගේම නිවසක් තනා ගැනීමේ අරමුණෙන් නොපසුබට වීර්යෙන් කටයුතු කරන තරුණයකුගේ ආත්මාවලෝකනය එහි ගැබ්ව තිබුණා. මේ ලේඛකයා විසින්ම රචනා කරන ලද වරුණ සහ උදාර කියන නමින් තවත් පුංචි කතා පොත් දෙකක් කඳවුර කණිෂ්ඨ විදුහලේ පාසල් පුස්තකාලයේ තිබුනා මට මතකයි.
පාළු දූපත කියන්නෙත් මා දැඩි ආශාවකින් කියවූ පොතක්.ඇත්තටම එහි ලේඛකයා නම් මට නිච්චියටම මතක නැහැ.මෙයත් දූපතක හිරවූ කුඩා කොලු ගැටවුන් දෙදෙනෙකුගේ කතාවක්.නමුත් පාළු දූපතේ සුවිශේෂීත්වය වුණේ එහි අන්තර්ගතයට සරල විද්‍යාත්මක කරුණු කාරනා ඇතුළත් කර තිබීමයි.ඇත්තටම එය ඉතා හොඳ සාහිත්‍යමය ප්‍රවණතාවයකට හරවා ගත හැකිව තිබූ නමුත් එසේ වූවේ නැහැ.යොවුන් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යක් අපේ රටේ ගොඩ නැගුණේ නැහැ.
ටී.බී ඉලංගරත්නය අඹ යහළුවෝ. මගේ සිත එතරම් තදින් පැහැරගත්ත කෘතියක් නොවෙයි.ඒ ඇයි කියා පැහැදිලි කරන්නට ත් හේතු සාධකත් මට නැහැ.කොහොම නමුත් එතුමාගේම හපනා. මා ඉතා ආශාවෙන් කියෙව්වා. හපනා කෘතියේ අඩංගු වීර වික්‍රමාන්විත ක්‍රියා වලට මගේ ගැටවර සිත ඇලුම් කළා කියලයි මට හිතෙන්නේ.හැබැයි ඇත්තම කීවොත් නම් හපනා ගැන මට තියෙන්නේ සෙවණැලි මතකයක් විතරයි.ඉලංගරත්නයන් ගේ කෘතිවල කිසියම් සාම්ප්‍රදායික ගතියක් ගැබ්ව තිබුණාදෝ කියලාත් මට හිතෙනවා.දුප්පත් පවුලක් ,පොහොසත් පවුලක්, පොහොසත් පවුලෙන් දුප්පත් පවුලට වෙන හිරිහැර ,අන්තිමේ පොහොසත් පවුල පිරිහෙන හැටි.....මෙන්න මේක අර සාම්ප්‍රදායික රාමුවනේ.
කඳවුර කණිෂ්ඨයේ දී තමයි මම වැඩිපුරම පොත් කියෙව්වේ. ඒ පුංචි පුස්තකාලයේ පැපොල් ගහ කන්දේ අභිරහස කියලා පොතක් තිබුණා මට මතකයි.ඒක මම ආශාවෙන් කියෙව්වා කියලත් මතකයි.නමුත් මොන වගේ කතාවක් ද කියලා හරි, කතුවරයා කවුද කියලා හරි මට හරියටම නිච්චියක් නැහැ.
දොන් පීටර් පියතුමා හරි ඊට සමාන නමක් තියෙන කතෝලික පියතුමෙක් ලියූ විදුහලේ විත්ති. කියන පොතත් හරිම අපූරු වෙනස්ම මානයකින් ලියවුණු යොවුන් නවකතාවක්.ඒ කතුවරයාම ලියූ තවත් අපූරු පොතකින් උපුටා ගත්තු කොටසක් අපේ 5 වසරේ සිංහල පොතේ පාඩමක් විදිහට යොදාගෙන තිබුණා මතකයි.මහා ඝන වනාන්තරයක අතරමං වන ගැටවරයන් තුන් දෙනෙක් පිළිබඳ කතාවක්.

ඇත්තටම අපේ කාලයේ අප කියවූ යොවුන් නවකතා ගැන මේ කතාබහේ මූලික අරමුණ වුණේ අප සියල්ලන් කියවූ යොවුන් නවකතා ගැන විස්තර, ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමයි.නොදන්නා දේ දැන ගැනීමයි.