2013/02/11

ඒ හාදුවේ කැටිව තිබුණේ යුද අස්වැසුමක උණුසුමයි.


  දීර්ඝ කාලයක් මුළුල්ලේ යුද බියෙන් සලිතව සිටි සමාජයකට ඒ කුරිරු යුද්ධය දැන් ඉතින් අවසන් යැයි දැනගත් මොහොතක  ඒ මිනිසුන්ගේ මනුෂ්‍ය ආත්මයන් ප්‍රීතියෙන් ඉපිල යන අයුරු අපට ආගන්තුක නොවන්නේ එම අත්දැකීම අපටද පොදු එකක් වූ හෙයිනි.

1945 වසරේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ අවසන සනිටුහන් වන්නේ ජපන් බළ සේනා අමෙරිකා එක්සත් ජනපදයට තම යටත්වීම ප්‍රකාශ කිරීමෙනි. ජපානය යටත් වීම නිවේදනය කළ වහාම ඉවසා ගත නුහුණු ප්‍රීතියෙන්  සමස්ත එක්සත් ජනපදයම ඇලළී ගියා. එලෙස සොම්නසින් භරිතව ප්‍රීතීඝෝෂා නඟන්නා වූ දහස් ගණනක් වූ නිව්යෝර්ක් නගරවාසීන්ගෙන් එහි ටයිම්ස් චතුරස්‍රය පිරී තිබුණා වූ අරුණෝදයක අපූරු යමක් සිදුවූවා.

යුද්ධයේ නිමාව පිළිබඳ හද පතුලින්ම සොම්නසට පත්ව හුන්නේ එයට ක්‍රියාකාරීව සහභාගි වී සිටි එක්සත් ජනපද යුද භටයන්. එදා ටයිම් චතුරස්‍රයේ නැවැත නිවෙස් කරා එමින් සිටි යුද භටයන්ද උන්නා. එලෙස තම ප්‍රීතිය දරාගත නොහැකිව සිටි තරුණ නාවික භටයෙක් තමන් අසලින් පියමං කර යමින් සිටි තරුණ හෙදියක හදිසියේ වැලඳ ගනිමින් ඇයට හාදුවක් දුන්නා. බලහත්කාරී හාදුවක්  . සියල්ලම එක් ඇසිල්ලකට පමණයි. දෝරේ ගලනා විජයග්‍රාහී ප්‍රීති ප්‍රමෝදය අතරෙහි ටයිම්ස් චතුරස්‍රය පුරා ගලා යමින් තිබූ ජන සන්නිපාතයට මේ අදිසි බලහත්කාරී හාද්ද අමුත්තක් වූයේ නැහැ. එය අර සතුටෙහිම තවත් කොටසක් පමණක්  වූවා.

Life සඟරාවේ පළවූ ඦායාරූපය. 


නමුත් මේ අදිසි බලහත්කාරී මෙන්ම සප්‍රීතිකර හාද්ද ඒ අසල හුන් පුවත්පත් ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයට මඟ ඇරුණේ නැහැ. මඟ නොහැරුණා පමණක් නොව එය සුප්‍රකට Life සඟරාවේ ඊළඟ කලාපයේ පළ වුණා. එය පළවීමෙන් අනතුරුව Life ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ඩ් විසින් ගනු ලැබූ එම ඡායාරූපය අතිමහත් ජන ප්‍රසාදයක් දිනාගනු ලැබුවා. එය යුද සංග්‍රාමය අවසානයේ එක්සත් ජනපදයේ සමස්ත පොදුජන ආධ්‍යාත්මයේ සප්‍රිතියේ කූටප්‍රාප්තිය සංකේතවත් කරනු ලැබූ ඡායාරූපයක් වශයෙන් සැලකෙන්නට පටන් ගත්තා. එපමණක් නොවෙයි එය එදා මෙදාතුර කාලයක් පුරා ලෝකයේ ජනප්‍රියම පෝස්ටර් පින්තූර දහය අතරටද එක්ව තිබෙනවා.

මෙම පින්තූරය Life සඟරාවේ පළවීමත් සමඟම එහි ඡායාරූප ශිල්පියා වූ 'ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' වෙත කීර්තියද, ප්‍රසිද්ධියද, ප්‍රශංසාවන්ද නොඅඩුව ගලා ආවා. සම්පූර්ණයෙන්ම ස්වාභාවික ආලෝක තත්ත්වයන් යටතේ හදිසි, කලබලකාරී අවස්ථාවක ගනු ලැබුවද මෙය විශිෂ්ට ඡායාරූප ශිල්පියකුගේ පරිපූර්ණ කාච සටහනක් වශයෙන් අදටද සලකනු ලබනවා. තරුණ හෙදියගේ සිරුරෙහි සුනම්‍ය භාවයත්,ඈ  තම දකුණු පය හාදුවට සරිලන ලාලිත්‍යයකින් තබාගෙන සිටින ආකාරයත්, පසුබිමේ සිටින්නන් මෙම හාදුවේ සරල, සැහැල්ලුව ස්වභාවය තම ප්‍රීතිය සමඟ මුසුකොටගෙන සිටින ආකාරයත් ඉතාමත් පැහැදිලිව ඡායාරූපයේ සටහන්ව තිබෙනවා. මෙම ජායාරූපයේ  අගය තීව්‍ර වූ වැදගත්ම කාරණාව වූයේ මෙම තරුණ නාවිකයා හෝ හෙදිය කවුරුන්දැයි ඡායාරූපයෙන් අනාවරණය නොවීමයි.නමුත් Life සඟරාවේ මෙම ඡායාරූපය පළවීමත් සමඟ ඊට හිමි සාතිශය ජන ප්‍රසාදයත් සමඟ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි පවසමින් බොහෝ නාවික භටයන් සහ තරුණ හෙදියන් ඉදිරිපත් වුවත් ඔවුනට එය ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' ඉදිරියේ තහවුරු කරන්නට නොහැකි වූවා.


නමුත් 1970 දී පමණ අදාළ සිඳුවීමෙන්  වසර විසිපහකට පසුව ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් වෙත ලිපියක් ලියන "ඊඩින් ෂේන්' නම් කාන්තාවක් ඔහුගේ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි හඳුන්වා දුන්නා පමණක් නොවෙයි Life කාර්යමණ්ඩලය විසින් පවත්වනු ලැබූ සත්‍යය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ගණනාවකින්ද සමත් වෙමින් ඒ අදිසි හාදුවට හිමිකම් කී තරුණ හෙදිය තමා යැයි තහවුරු කොට සිටියා.

"රේඩියෝවෙන් යුද්ධය අවසන් යැයි කීවට පස්සෙ මමත් මගේ මිතුරියත් වැඩ මුරය අවසන් කරලා චතුරශ්‍රයට ආවා. අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී සිටියා. අපට එන්නට ලැබුණේ ටික දුරයි . කවුදෝ අයෙක් එකපාරටම මාව බදාගෙන හාදුවක් දුන්නා. මම යාන්තමට දැක්කේ ඔහු තරුණ නාවිකයෙක් කියලා විතරයි. ඔහු සතුටින් හිනාවෙමින් ඉක්මණින් පිටව ගියා . ඔහු අප වෙනුවෙන් සටන් කළ කෙනෙක් නිසා මම ඔහුට යන්නට ඉඩ දුන්නා" ඊඩින් තම අත්දැකීම් විස්තර කරනු ලැබුවේ එහෙමයි.යුද වාතාවරණයකින් පසුව සමාජය හිමිකරගන්නා වූ අසීමිත අස්වැසිල්ල මේ ඡායාරූපයෙන් මොනවට විදහා පානවා. නිව්යෝර්ක් කලාගාරයේ ඡායාරූප අංශයේ මාටින් ලුබ්වොක් පින්තූරය ගැන කියමින් "බලාපොරොත්තු , ප්‍රේමය, අනුරාගය සාමය සහ අනාගතය මේ පින්තූරයේ අපූරුවට කැටි වී තිබෙනවා. යුද්ධයක අවසානයේ සමස්ත සමාජ ආත්මයම විඳින ආහ්ලාදය මේ පින්තූර විසින් කියාපානවා" යැයි පවසනවා.


ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් විසින් ගනු ලැබූ මේ අනගි මාහැඟි ඡායාරූපය පසුකලෙක බටහිර ජනප්‍රිය සංස්කෘතියේ ආවේණික සංකේතයක් බවට පත් වුණා. 

එය විවිධාකාර ආකෘතීන් ඔස්සේ නැවැත නැවැතත් ප්‍රතිනිෂ්පාදනය කෙරුණා. සුබ පැතුම් පත්වල නිවෙස්වල සැදැල්ලෙහි මෙන්ම පච්චා රූපයන් වශයෙන්ද ජනප්‍රිය සංස්කෘතියේ මේ අපූර්ව ඡායාරූපය සංකේතීය වශයෙන් නැවත නැවැතත් දිගහැරුණා. එපමණක් නොවෙයි 2005 වසරේදී ටයිම්ස් චතුරස්‍රයේ මෙම 'අපූර්ව හාද්ද' යෝධ මූර්තියක් වශයෙන්ද ඉදිකෙරුණා.

අයින්ස්ටෙඩ් විසින් ගනු ලැබූ තවත් ඦායාරූප බලන්න මෙතනින් යන්න.

17 comments:

  1. අපිදු යුද්ධයකින් බැට කෑ පිරිසක් හෙයින් මෙය අපට අතිශය වටිනා වියමනකි.මේ ලිපිය තුළ වන්නා වූ සෑබෑව හොඳින් හඳුනමි.වැඩිමනක් මෙතැන මට කිමට නොහැක.

    ReplyDelete
  2. මුලින්ම උඹ මාතෘකාව Post Title box එක ඇතුලෙ දාලා නැති නිසා ඒකට ලින්ක් එකක් නෑ.

    මම ඔය පින්තූරෙ දැකලා තියෙනවා. ඔය කතාවත් කියෙව්වා මතකයි.

    ඔය 1945හේ නිව්යෝක් වල ප්‍රසිද්ධියේ සිප වැලඳ ගන්න මේ යුවල දිහා අවට ඉන්න මිනිස්සු බලන්නෙ සුන්දර හිනාවල් මුව රඳවගෙන.

    උඹ හිතලා බලපං 2013 පෙබරවාරි 14 වෙනිදා කොළඹ ටවුන් හෝල් එක ඉස්සරහ ජෝඩුවක් පාරෙ සිප වැලඳ ගත්තොත් අවට ඉන්න මිනිස්සු කොහොම බලයිද කියලා.

    බුදු අම්මෝ අපේ සඟිස්කුරුතිය, සබ්යත්වය ඉවරයි. යකෝ ඩූඩ් බොට පිස්සුද අරුං කොහොමත් සංකර හැදියාවක් නැති *ක හෝදන්නෙ නැති එවුන්නෙ. උම කියන්නෙ අපිටත්...

    ReplyDelete
    Replies
    1. ඉරිදා. ඒ කියන්නෙ ඊයේ මම අම්මත් එක්ක බත්තරමුල්ලේ හන්දියට ගියා ත්‍රීවිලර් එකක. හවස 5ට විතර ඇති. ඒ වෙලාවේ වයස අවුරුදු 22ක 23 ක විතර ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි සමුගන්න හදනවා. ට්‍රැෆික් නිසා ත්‍රී වීල් එක ස්ලෝ උනාම මම දැක්කා ඒ දෙන්නා අත අල්ලාගෙන ඉඳලා එක පාරටම බදාගෙන සමුදෙනවා. මහ පාරෙදී. මම හිතුවේ ඒක දැක්කෙ මම විතරයි කියලා. නෑ අම්මත් දැකලා. ඒ විතරක්ද..එතැනින් ගිය වෑන් එකක් එක පාරටම කෑ ගහලා " අඩෝ කොල්ලෝ මේ ඇමෙරිකාව නෙමේ " කියලා කෑ ගැහුවා...

      Delete
  3. මේ පින්තූරයත් මේ කතාවේ මුල් කොටසත් කලින් කියවා තිබුනත්, හෙදිය පසු කාලෙක තමන්ව ඡායාරූපශිල්පියාට හදුන්වා දුන්න බව නම් දැනගත්තේ අදයි.මම බෝහෝමයක් ආස කරන ආදරය කරන ඡායාරූපයක්.

    ReplyDelete
  4. ෆොටෝව නම් සිරා. යුද පීඩනයෙන් නිදහස් වීම... ඒක මොන තරම් සැනසිල්ලක් ද.

    ReplyDelete
  5. මමත් ‌ගොඩක් ආස පින්තූරයක්... ඒත් මම හිතන්නේ පසුබිම් කතාව ඇහුවට පස්සේ තමයි මේ පින්තූරයට ආදරය කරන්න ගත්තේ.. මේකත් මට මතකයි ගොඩ කාලෙකට කලින් මුතුහර සඟරාවක තිබ්බා වගේ..

    ReplyDelete
  6. කතාවයි පින්තුරෙයි ගැන දැන ගත්තේ අද...ලංකාවේ ඔහොම දෙයක් ප්‍රසිද්ධ වුනොත් මොනවා වෙයිද....පත්තර වල හෙන තඩි හෙඩිමකින් යයි "ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරුනා කියලා" ඊට පස්සේ දවස් ගානක් ටීවී වලයි පත්තර වලයි නඩු තීන්දුව පට්ට ගහයි ඩුඩ් අයියා කියන කතාවෙයි ලිහිණි කියන කතාවෙයි තියෙන්නෙත් ඒකමනෙ..

    ReplyDelete
  7. පසුබිම් කථාව හරිම ලස්සනයි. ඒක අපිට කියලා දුන්නට බොහොම ස්තුතියි....!!

    ReplyDelete
  8. මේ ඡායාරූපය ගැන ලියපු ලිපි මම කියවල තියෙනව, මතක හැටියට මෑතකදිත් ඉරිදා ලංකාදීපෙ ඔය ගැන කෙටි ලිපියක් තිබුන.

    // ජපානය යටත් වීම නිවේදනය කළ වහාම ඉවසා ගත නුහුණු ප්‍රීතියෙන් සමස්ත එක්සත් ජනපදයම ඇලළී ගියා. //

    එක්සත් ජනපදය එච්චර ඉක්මනට ජපානය යටත් කළේ කොහොමද කියල දැන හිටිය නම් ඇමරිකානුවො හුඟ දෙනෙක්ට ඒ සතුට ලත් තැනම ලොප් වෙල යන්න ඉඩ තිබුන.

    අර යෝධ මූර්තිය යටට ගියාම නම් කොහොමටත් ළඟ ඉන්න කෙල්ලව හරි අල්ල ඉඹින්න කොල්ලොන්ට හිතෙනව ඇති මගේ හිතේ. :)

    ReplyDelete
  9. ඡායාරූපට නම් දැකලා තියෙනවා..(ඇත්තට නෙමෙයි) කතාව දැන ගත්තේ නම් අද.. ස්තුතියි දැනුවත් කිරීමට..

    ReplyDelete
  10. රතු ඇමරිකාවේ සඟිස්කුරුතිය වැළඳ ගන්න යනවා වගේ.. ජයවේවා.. අර ඩියුඩ්ගේ ප්‍රශ්නෙටත් එක්කම උත්තරක් දුන්නා නම් තමා වටින්නේ.

    ReplyDelete
  11. මම මේ කතාව අහලම තිබුනෙ නෑ රතු.. බොහොම ස්තූතියි. අර අනිත් ෆොටෝ ටිකත් බැලුවා.. කියලා වැඩක් නෑ නියමයි..

    ReplyDelete
  12. මුතුහර හෝ මනහර සගරාවක මේ කතාව පලවෙලා තිබුණා, මතකයි.

    ReplyDelete
  13. මේක ලෝකේ ජනප්‍රියතම හාදුව කියලත් හදුන්වනවා...
    ලංකාවේ පාරේ චූ කරන්න පුළුවං කිස් කරන්න තමා බැරි...
    අයියෝ සල්ලි...

    ReplyDelete
  14. වෙන වෙනම අදහස් දැක්විය නොහැකි වූවාට සමාව ඉල්ලමින් මේ ලිපිය ට ඔබේ මහැඟි අදහස් පළකරමින් ප්‍රතිචාර දැක්වූ
    *නලීන් ,
    *ඩූඩ්
    *ලිහිණි
    *චන්දන
    *හිරු
    *සිතුම් පැතුම්
    *රන්දු
    *DDT
    *බණ්ඩා
    *මාතලං.
    *සෙන්නා
    *සුමිත් නිරිඇල්ල
    *තරියා

    ඔබ හැමෝටම බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
  15. ඔය කථාව මම කාලෙකට ඉස්සෙල්ලා පුවත් පතක කියෙව්වා...අපේ රටත් යුද්ධයෙන් ජයගත් අලුත නැවත මෙනෙහි කර බලන්න...හැමෝම කිසිම භේදයක් නැතුව බොහොම උද්යෝගයෙන් එය සමරපු ආකාරය...අන්තිමට කිසිම තැනක බේතකට හොයාගන්න රතිඤ්ඤයක්, බට්ටෙක් නැති වුනා...ඒ අවස්ථාව තමයි අපේ රට යෝධ පියවරක් ඉදිරියට තියන්න පාවිච්චි කල යුතුව තිබ්බෙ...අන්තිමට දේශපාලන මඩ ගොහොරුවට වැටිලා ඒ උද්යෝගය නැති වෙලාම ගියා.

    ReplyDelete
  16. එතකොට මේක බලන්න යනවා නම් හාද්දක් දෙන්න කෙනෙකුත් හොයාගෙන යන්න වෙනවා එහෙනම් :D

    ReplyDelete