ස්වර්ණමාලී නම් රුක් දේවතාවියක් ගැන අපගේ ඉතිහාසයේ සටහන්වී තිබේ. පණ්ඩිත් අමරදේවයන් ගයන්නේ ගැමුණු රජුගේ මුවට නැගුණා යැයි සාහිත්‍යකරුවා පරිකල්පනය කරන ලද රුවන්මාලිය ගැන කතාවයි.අද මා ලියන්නේ ඒ රුවන්මාලිය ගැන නොව නූතන රුක්දේවතාවිය යැයි සැලකිය හැකි කළුඅප්‍රිකානූ ස්වර්ණමාලිය ගැනයි.
වන්ගාරි මාතායි නැඟෙනහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල ආචාර්ය උපාධියක් ලබාගන්නා පළමු කාන්තාවයි. කෙන්යාවේ උපත ලද ඇය 2004 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගන්නවා.
ඒ ඇයගේ මූලිකත්වයෙන් 1977 වසරේදි ඇරැඹෙන දැවැන්ත රෝපණ ක්‍රියාවලිය වෙනුවෙන්. 2011 වසරේදී මාතායි මිය යනවිට ඇය ඇරැඹූ හරිත කලාප ව්‍යාපාරය හෙවත් Green belt movement විසින් අප්‍රිකාව පුරා රෝපණය කළ අලුත් පැළ ගණන මිලියන 30 ඉක්මවා තිබුණා. අප්‍රිකාවේ ස්වාභාවික ඓන්ද්‍රිය පරිසරය විසින් මිනිසුන්ගෙන් නිහඬව ඉල්ලා සිටි ත්‍යාගය අවශ්‍යම මොහොතක මාතායි විසින් ලබාදෙනවා. ඇය මිය යෑමට පෙර ජාත්‍යන්තර National Geographic සඟරාව සමඟ සිදුකළ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට සිතුවේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයත් නිහඬව අපගෙන් ඉල්ලා සිටින දායාදයන් පිළිබඳව විමසිලිමත් වන අතළොස්සක් දෙනා හට උත්තේජනයක් වනු පිණිසයි.
National Geographic
අපට කියන්න කොහොමද Green belt movement එක පටන් ගන්නේ? ඒ වගේම ඇයි විශේෂයෙන් පැළ සිටුවීම වැනි දුෂ්කර කාර්යයක් අරඹන්නට කල්පනා කරන්නේ?
මාතායි -
අප්‍රිකානු සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ගේ ජීවිතයේ දුෂ්කරභාවය මම ඉතා හොඳින් දන්නවා. මට ඕන වුණා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ගේ ජීවිතයන් සැපවත් කරන්න. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේදී ගස් සමඟ කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. උයන්න පිහින්න දර ඕනෙ, ගෙවල් ෙදාරවල් - වැටදඬු හදාගන්න, අත් බෙහෙත් ලබාගන්න, සත්තුන්ගෙ ආහාර විදිහට ගස්වලින් ප්‍රයෝජන බොහොමයි. 1977 වනවිට අප්‍රිකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් පහළ බැහැලා තිබුණා. එවිට අසීරු වුණේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගන්නයි.Green belt movement පටන් ගන්නෙ එලෙස අසීරුතාවට පත්වෙන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්.
National Geographic
ආරම්භයේ සිට වසර 30කට මඳක් වැඩි කාලයක් ගෙවී ගොස් තිබෙන මොහොතේ Green belt ව්‍යාපාරය මිලියන 30කට ආසන්න ගස් සංඛ්‍යාවක් රෝපණය කර තිබෙනවා. මේ තරම් දිගු සාර්ථක ගමනක් එන්න අප්‍රිකානු කාන්තා ප්‍රජාව ඇතුළෙ ඔබේ සංකල්පයට ඉඩක් ලබාගන්න පහසු වුණාද?
මාතායි-
අපි පළමුවැනි දවසෙ පටන් ගත්තේ පැළ 7ක් හිටවලා. ඇත්තටම මේක පැළ සිටුවීමේ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි, අපි සිටවපු පැළ බලා ගන්න ඕන, සත්කාර කරන්න ඕන. මිනිසුන් එදා තේරුම් ගත්තා. ඒක සතුටක්.අපේ කාන්තාවන්, විශේෂයෙන්ම පිටිසරබද උදවිය වටහාගත්තා මේ පැළ සිටුවීම ඔස්සේ ප්‍රතිලාභ ලැබෙන්නේ තමන්ටම බව. තමන්ගෙ බාල සහෝදරිය අද තමන් සිටුවන ගහ හෙට ප්‍රයෝජනයට ගනීවි කියන විශ්වාසය අපට පහසුවක් වුණා. මේ හැඟීම අප්‍රිකානු කාන්තාවන්ට තිබුණ නිසා අප්‍රිකාව තුළ පැළ සිටුවීමේ කාන්තා කණ්ඩායම් 6,000ක් පිහිටුවන්න අපට පුළුවන් වුණා.
National Geographic
Green belt ව්‍යාපාරය දේශපාලනික මුහුණුවරක් ගනු ලැබුවේ කොහොමද?
මාතායි -
අපට මුල පටන්ම දේශපාලනික අරමුණු තිබුණේ නෑ. නමුත් කාන්තාවන්ගේ සුබසාධනය සඳහා ඔවුන්ව සංවිධානගත කරනකොට ආණ්ඩුව නොමනා අන්දමින් ඊට මැදිහත් වුණා. ආණ්ඩුවට අවශ්‍ය වුණා අපේ සංවිධාන ව්‍යුහය ඇතුළට ඇවිත් දේශපාලනික වාසි ලබාගන්න. අපට එවැනි අරමුණු නොතිබූ නිසා අපි ඊට විරුද්ධ වුණා.
National Geographic
ඔබගේ ව්‍යාපාරයට පොලිසියේ අඩන්තේට්ටම්වලටත් ලක්වෙන්නට සිදුවුණා?
මාතායි-
අප සාමාන්‍ය අප්‍රිකානු කාන්තාවන් පමණයි. අපට ආණ්ඩුව හෝ එහි නායකත්වය වෙනස් කිරීමේ වුවමනාවක් තිබුණේ නෑ. අප කළේ අප්‍රිකානු සාම්ප්‍රදායික ගැහැනියට තම මූලික අවශ්‍යතා සාම්ප්‍රදායික විදිහටම හෝ පහසුවෙන් සපයා ගන්නට හැකි විදියේ ඓන්ද්‍රිය පරිසරයක් නිර්මාණය කරන්න.
National Geographic
පරිසර ක්‍රියාකාරිනියක වන ඔබට නොබෙල් සාම ත්‍යාගය හිමි වූවා. එය පිළිගනිමින් ඔබ කළ කතාවේ සඳහන් වූවා පරිසරය රැක ගැනීම සාමයට දිවෙන මාවතක්ය කියා..?
මාතායි -
ඔව්. මම සඳහන් කළ කාරණාව අප්‍රිකාවට පමණක් වලංගු කාරණාවක් නොවෙයි. අපට විඳගන්න සාමකාමී වාතාවරණයක් නැහැ. අපගේ පාරිසරික සම්පත් නියමාකාරයෙන් කළමනාකරණය කරගන්නට හැකියාව තිබෙන ආණ්ඩුවක් නැහැ. පරිසරය සහ සාමය අතර සම්බන්ධතාව තහවුරු වෙන්න අපි අපගේ ස්වාභාවික සම්පත් නිවැරැදිව කළමනාකරණය කරන්න ඕන. එහෙම කරන්නට සුදුසු මානව අයිතිවාසිකම් සුරකින යහපත් පාලනයක් තිබිය යුතුයි. ඒ කාරණා දෙකම සම්පූර්ණ වෙන මොහොතේ එතැන සාමය තිබේවි.
National Geographic
මේ කාරණාව තවත් ටිකක් පැහැදිලි කළොත්?
මාතායි-
අද මුළු ලෝකයම ගැටුම් වලින් පිරිලා. ස්වාභාවික පරිසරය නියමාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් විශාල විපත් ගණනාවකට මිනිසුන් මුහුණ දී සිටිනවා. පිලිපීනයේ අතිශය දරුණු ආකාරයෙන් වන විනාශය සිදු කෙරුණා. පසුගියදා ඔවුන්ට භයානක ගංවතුරකට මුහුණදීමට සිදුවුණා. මිනිසුන් දහසකට වඩා මිය ගියා. හයිටියේ ඇති වූ චණ්ඩමාරුතය (හරිකේන්) අමතක කරන්න බැහැ. හයිටියත් ගැටුම් බහුල කලාපයක්. නැටුම් මැද ස්වාභාවික පරිසරය ආරක්‍ෂා වන්නේ කොහොමද?
National Geographic
අවසාන වශයෙන් සාමාන්‍ය ගැහැනියෙක් ලෙස ඔබ පරිසරයට ආදරය කරන්නටත් එය තේරුම් ගන්නටත් උත්සාහ දරන්නේ ඇයි?
මාතායි -
මම පුංචි දැරිවියක කාලෙ පටන්ම ස්වාභාවික පරිසරය මැදිකොටගෙන වැඩුණු ගැහැනියක්. ඒ කාලයේ හාත්පසම හරිත පාටයි. පිරිසුදුයි. අපි කෙළින්ම සතුන් වගේ ගඟට මුව තියලයි වතුර බිව්වේ. නමුත් මම අප්‍රිකාවෙන් පිටත සිට නැවැත ආවට පස්සෙ මම දැක්කා කුඩා කාලෙ තිබුණු පරිසරය තවදුරටත් නැති බව. පරිසරය ඇසුරේ වැඩී එයට ආදරය කළ මිනිසකු විදිහට මා යමක් කළ යුතුව තිබුණා. මම එය කළා.