2014/12/15

ආදරණීය දිවුල්,





ඔබේ ඇසට අසුවන මායිමේ සිට පහුගිය දිනෙක ජයතිලක බණ්ඩාරයන් හට බිම දමාගෙන පහර දුන්නේය.එප්පාවල ඔබේ ඇසට අසුවන මායිමේ නොවැ? 

නමට ආණ්ඩුකාරවරුන් වන ඔබ වැන්නන් නූල් රූකඩ බව ඇත්ත නමුත් ,හුම් කියාවත් කියාගන්නට බැරි තරමට ඔබ ගොළු වුණේ කොහොමැයි කියා පුදුමැයි.අඳොමැයි !

සමහර විටෙක කපුගේ සිටියා නම් :ඔහු සන්ෆලවර් සමග සාජ්ජ පටියක් රෙකෝඩ් කළ බැව් සත්ත මුත් අපත් සමග එක්වී ඔහුත් මෙසේ කියාවි...... 

මේ තාප්පය පෙරළා දමන්නට .....,

මේ කඩතුරාව  ඉරා දමන්නට....., 

මේ තිමිරය විනිවිද දකින්නට.....  

වරෙන් මලේ පියවර නගලා.


2014/12/09

එකක් කඩතොළු මකන්නට ගොස් .....

'එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට, තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය. තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස් වලම ධූලි කන්නෙහිය.' -ශුද්ධ බයිබලය



ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමිවූයේ ආසියාව තුළ  ඕස්ටේ‍්‍රලියාවටත් ප‍්‍රථමයෙන් බැව් මැතිවරණ කොමසාරිස්වරයා සිහිපත් කරදුන්නේය. එනමුදු වර්තමානයේ දී ජාතියක් සහ රටක් වශයෙන් අප පිළිබිඹු කරමින් සිටින්නේ ඒ පරිණතභාවය නොවේ. කඩතුරාවකින් වසාහෙළන්නට නොහැකි සංස්කෘතික සහජත්වයෙන්ම උරුමව තිබෙන ගෝති‍්‍රක මිලෙජ්චත්වය පරසුද්දන්ගේ නීතියෙන් හෝ දේශපාලනික ඉගැන්වීම් වලින් නවත්වන්නට ඉඩදෙන්නේ කොහොමද ?
ඇසට ඇසක්, දතට දතක්, මහලේකම් වරයෙක්ට මහලේකම්වරයෙක්. රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සාමය හා ඒකීයභාවය දිනාදෙන්නට පෙරමුණ ගත්තාක් මෙන්ම රටේ දේශපාලනික පක්ෂ කීතු කීතු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද දමන්නට ද එලෙසම පෙරමුණ ගත් බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත. අපට නම් වැටහෙන්නේ එකක් කඩතොළු මකාලන්නට දරන උත්සාහයන්ගේ දී සියක් කඩතොළු සාදා ගන්නා බවයි.