Showing posts with label ජනශ්‍රතිය. Show all posts
Showing posts with label ජනශ්‍රතිය. Show all posts

2019/07/04

මහනුවර රජුගේ ආරක්ෂාව භාරව සිටි විශේෂ බලකාය ‘මහඅතපත්තුව’

මහනුවර යුගයේදී උඩරට රජු ආරක්ෂා කිරීමට විශේෂ පෞද්ගලික භට කණ්ඩායමක් පළමුවන රාජසිංහ රජුගේ සමයේ පටන් ක‍්‍රියාත්මක වූ අතර එම විශේෂ බලකාය හැදින්වූයේ මහඅතපත්තුව යන නමින්.

රජුගේ විශ්වාසවන්තම රදළයින්ගෙන් සැදුම්ලත් මේ පෞද්ගලික ආරක්ෂක බලකාය උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන් යටත් කරගන්නා තෙක්ම පැවති අතර නායාක්කාරවංශික රජවරුන් උඩරට පාලනය කරන්නට පටන්ගත් පසුව මෙම විශේෂ ඒකකය රජුගෙන් තරමක් දුරස්වූ බැව් පෙනෙයි.

උඩරට කිරීටයට අතීතයේ පටන්ම ලැදිව කටයුතු කරනු ලැබූ මොල්ලිගොඩ, ඇහැළේපොල , පිළිමතලව්වේ වැනි දිසාවන්ගේ ප‍්‍රභූ පවුල්වල ශක්තිමත් තරුණයින් මහඅතපත්තුවට ඇතුළත් වූ අතර මරුවල්ලිය සහ සුදලියේ පරම්පරාවන්ටට අයත් අංගම් සටන් ගුරුන්ගෙන් විශේෂ සටන් පුහුණුවක් ලබන්නටත් මෙම මහඅතපත්තුවට අයත් රජුගේ ශරීරාක්ෂකයින් ට හැකියාව ලැබී තිබෙනවා. 

එම නිසාම උඩරට රාජධානි සමයේ රදළ වංශික තරුණයින් තුළ මහඅතපත්තුවට ඇතුළත් වීමට මහත් තරඟයක් තිබී ඇත්තේ මහඅතපත්තුවට සීමිත සෙබළුන් ගණනක් පමණක් ඇතූලත් කරගැනීම නිසායි.

කෙසේ වෙතත් මහනුවර රාජධානියේ අවසාන භාගයේදී මෙම මහඅතපත්තුව සහ රජු අතර සම්බන්ධතාවය පළුදු වී ගොස් තිබූ අතර අවාසාන රජු වශයෙන් සැලකෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් බි‍්‍රතාන්‍යයන් ට හැකිළි බැද ගෙන යන්නට ඉඩ පහසුව සැලසුණේත් මහඅතපත්තුවේ ආරක්ෂාව ඔහුට නොලැබුණු නිසා බවයි කියවෙන්නේ.

-ජනප‍්‍රවාද සහ ඉතිහාස ග‍්‍රන්ථ ඇසුරෙන් * 

2012/10/11

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 












බහ තේරෙන වයසෙදිම අපි අත්තම්මගෙන් කතන්දර අහන්න පුරුදු වෙලා හිටියා. හතර වටින් ගොම්මන් කළුවර කඩාගෙන වැටෙන වෙලාව- සැදෑ අඳුර හෙමින් හෙමින් ඇවිත් අර සුවදායී -නිහැඬි බවෙන් වටපිටාව වෙළාගන්නවා. ගම්වල මිනිස්සුන්ට සැන්දෑව එළඹුම හිතට ගතට අපූරු සහනයක්, සුවයක් .

අඳුර තමයි අපෙ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ 
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

අමරසේකරගෙ භාවගීත පොතෙන් උපුටාගත්තු  "යමන් කළුවෙ ගෙදර යන්න" කවි පන්තිය මම මුලින්ම කියෙව්වේ හතරෙ හෝ පහ වසරෙ සිංහල පාඩමකින් .අමරසේකරගෙ වර්තමාන දේශපාලන චින්තනය ගැන නිර්දය විවෙචනයක් මට තිබුණත් කවියෙක් විදිහට ඔහුගේ විශිෂ්ටත්වය නම් මම පිළිගන්නවා. ඒත් එදා දෙමළටයි සිංහලයට යි එකම විදිහට තමයි සොබාදහමත්  අඳුරු රෙද්ද පෙරෙව්වෙ කියන සදාතනික සත්‍ය ඒ කවි පන්තියෙන් අමරසේකර පිළිඅරගෙන තිබුණා. අද ඔහු පෙනී සිටින රාජපක්ෂ ආණ්ඩුව කාටත් නොදැනෙනෙ තාලෙ මෙය යැයි වරදවා තේරුම් ගනිමින් මුළු මහත් රටටම ඉතිහාසයේ පෙර නොවූ විරූ අඳුරු රෙද්දක් පොරවමින් සිටිනවා. 

හවස ඇදිරි වැටෙනකොට කඩි ගුලක් තරමට නැතත් තරමක කඩිමුඩියක වෙළිලා තිබුණු ගම හෙමින් හෙමින් නිස්කාන්සුවෙ නිවෙනවා. ..සී..ත..ල.බලන්න කවමදාකවත් නගරයක ඔය ලක්ෂණය දකින්න පුළුවන්ද කියලා. හැබැයි මම මේ කියන්නේ නගරය=අපාය ..ගම =දෙව්ලොව කියලා නෙමෙයි. ලංකාවෙ වැඩවසම් ක්‍රමයෙ අතිශය අසාධාරණ වැඩවසම් ලක්ෂණ වල නටඹුන් තවමත් ගමේ දකින්න තිබෙනවා ඉදහිට.නමුත් සොබාදහම තාමත් අපේ පූර්වජයින්ගේ කාලයෙ සෙනහසම අපට ලබාදෙනවයි කියලා තේරුම් ගන්න නම් ජීවිතේ පුංචි කාලයක් හරි ගමේ ජීවිතය අත්දකින්න ඕනෙ. හැබැයි, ඒ හැගීම් ගමේ ජීවත් වූ පමණින් ප්‍රවේණිකව උරුම වන දෙයකුත් නොවෙයි.ඒ  බුද්ධි පරිපාකයද ,නැත්නම්  අපොස උ.පෙළ පෙනී සිට විශ්ව විද්‍යාලයට ඇතුළ් වුවහොත් පමණක් උරුම වන සංවේදනාවක්ද ,නැත්නම් සේකර කීවා සේ ..........

ඇවිඳ ලදු දෙණි  කැලෑ බිම්වල
 රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළ් සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
රටාවක් බව මේ මහා විශ්වය 
කුඩාකල සිටම මට කියා දුන් .....

සමීපතමයින් ජීවිතයේ පංගුකාරයන් වී සිටීම ද කියා හරියටම කියන්නේ කොහොමද ?

සැන්දෑ කළුවර හරියට සර්පයෙක් බඩාගානවා වගේ මහපොළව හෙමින් හෙමින් වහගන්න වෙලාවට වචන වලට නැගිය නොහැකි නිරාමිශ සතුටක් හිතට දැනිලා තියෙනවා මට, ඒ පුංචි සන්දියේදි. පුංචි උන් වෙච්ච අපට හැන්දෑව සතුටක්. කැමතිම ජවනිකාවක් තව ටිකකින් පටන් ගන්නවා. බුදුන් වැදලා ඉවර කරලා අත්තම්මා ඉස්තෝප්පුවට ගාටනවා. එහි එළිපත්තෙ ඈදිගන්නවා, උන්දැලා කීවෙ එහෙමයි. ඕන්න අපි පොඩිවුන් රැළ පොකුරු ගැහෙනවා අත්තම්මා වටේ. චිමිනි ලාම්පුවෙ එළිය කළුවර ඈතටම එළවලා දැම්මේ නැහැ. අද ලංකාව වටේටම විදුලි බලාගාර තියාගෙනත් පාඨලී ඇමතිතුමාටත් කළුවර සම්පූර්ණයෙන්ම එළවලා දාන්න බැරිවෙලා තියෙනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. චිමිනි ලාම්පුවෙ එළියෙන් රැය ගෙවා දමන කාලෙ අපට රැය සහ දහවල අතර සොබා නීතීයේ වෙනස් කම් අඳුනා ගන්න ඉඩක් තිබුණා. නමුත් පාඨලී ඇමතිතුමාලා අද අපි විසින්ම නිපදවාගත්තු නීති පණවමින් රැය සහ දහවලේ වෙනසක් නැතෙයි තහවුරු කරන්නට උත්සාහ කරමින් සිටිනවා. දහවලටත් එළිබහින සුදුවෑන් එහි එක් සලකුණක්. 

අත්තම්මා අපට බොහෝ කවි කතා කියා දී තිබෙනවා මෙවැනි සැදෑ සමයන් ගණනාවකදී. මට මතක් වෙනවා එහෙම කවියක්. 

මල්ලියි මමයි තනි පාරෙ යන කලට 
බඩගින්නක් ආවයි අපි දෙන්නාට. 
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 
යමන් මලේ අම්මා වැළලූ තැනට 

අම්මාගේ වියෝගයෙන් අසරණවූ දරුවන් දෙදෙනෙක් ගැන අපූරු කතාවකුත් අත්තම්මා ඊට එක්කරනවා.ඇයගේ ඇතැම් වර්ණනාවන් වල අතිශයෝක්තීන් බහුලයි. ඒත් කුඩා කල අප විදින්නට කැමති වූ රසය ඒ වර්ණනාත්මක විස්තරයින්ගේ අඩුපාඩුවක් නැතිව තිබුණා. අත්තම්මා අපට කීවෙ යන්නට එන්නට තැනක් නැතිවූ සොහොයුරන් දෙදෙනා අම්මාගෙ සොහොන පාමුලට ගිය පසු ඇගේ වළ මත සරුවට වැඩී තිබූ පැණි දොඩම් ගසක ගෙඩි පිරී තිබුණු බවයි. අර අසරණයින්ගේ කුසගින්න නිවන්නේ අම්මාගේ වළ මත වැඩී තිබූ පැණි දොඩම් ගසයි. අම්මාගේ නොසිදෙන  ආදරයත්, සොබාදහම අප වෙනුවෙන් සියල්ල වෙන් කර තිබෙන අයුරුත් ඒ කතාවෙන් අපූරුවට කියවෙන බව කුඩා අපට තේරුණේ බොහෝ කාලයක් ගතවූ පසුයි. 

එහෙත් අද තිබෙන්නේ එදා ලංකාව නොවෙන නිසා බඩගිනි කියා අම්මාගේ සොහොන වෙත යාම නිරර්තක කටයුත්තක් වෙලා. මේ අතිසීග්‍ර සමාජ පරිවර්තනයන් 77 ට ලඝු කරන්නට නොවෙහෙසී මදක් එපිටට කල්පනා කර බැලූ විට 94 දිත් අම්මාගේ සොහොන වෙත යන දරුවෙකුට පැණි දොඩම් කන්නට හැකියාවක් තිබූ බව මතක් කරගන්නට අපහසු නැහැ. 



2012/09/21

. කඩවරලාගේ ලෝකය සහ අකුරැස්සේ සභාපති

කඩවරලාගේ ලෝකය සහ අකුරැස්සේ සභාපති 


මෙම ලිපියඅයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝවත් නැද්ද මෙමට යන හිසින් යුක්ත වූ 
මගේ පසුගිය ලිපිය හා සබැදෙන නමුත්,මෙම ලිපිය කියවීම සඳහා පසුගිය ලිපිය කියවා තිබීම අවශ්‍ය නොවේ. පැරණි සංස්කෘතික ලංකාවේ පැවති සමාජ විශ්වාසයන් සහ ඇදහීම් ගණනාවකි. බුදු දහම වැනි ඉතා දියුණු ආගමික දර්ශනයක් ලාංකීය සංස්කෘතිය සමඟ බද්ධව පැවතුනත් ප්‍රාථමික ඇදහීම් පැවතීමට බුදු දහම බාධාවක් නොවූවා පමණක් නොව එම විශ්වාසයන් හෝ ඇදහීම් බුදු දහම ඇසුරෙහි වක්‍රාකාරයෙන් තහවුරු කරගැනීම සඳහා බුදු දහම සමඟ එම විශ්වාසයන් සම්බන්ධ කරගෙන ප්‍රවාදයන් පවා ගොඩ නැගී තිබිනි. පසුගිය ලිපියෙන් සාකච්ජා කරන ලද  කඩවර දෙවියන් (ඇතැම් විට කඩවර යකු ) පිළිබදව වූ විශ්වාසයන්ද ඒ අයුරින් බුදු දම සමඟ නෑදෑ කමක් ගොඩනගා ගන්නට උත්සාහ කර තිබෙන ආකාරය පැහැදිලි වන්නේ ලංකාවේ උඩරට පළාතේ ප්‍රකටව තිබෙන වෙනස් අන්දමේ කතා පුවතකිනි.

බුදුන් නොමැති කාලයේ කඩවරගෙන් ස්ත්‍රීන්ට බොහෝ කරදර සහ අඩ්ම්තේට්ටම් සිදුවිය. මෙම තත්වය දුටු අළුත් නුවර දෙවියන්(උඩරට වාසීන්ගේ විශ්වාසය නම් අළුත් නුවර දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බුදුන්  වගයි. මෛත්‍රී බුදුන් ගැන වැදගත් ලිපි කිහිපයක් හසිතගේ ආගියකතා බ්ලොගියෙන් කියවන්නට පුළුවන්. ) කඩවරගෙන් ස්ත්‍රීන් බේරාගත යුතු යැයි සිතා ඔහුට දඬුවමක් දීමට සිතුවේය. කඩවර කැදවූ දෙවියන් කටු සහිත වෙවැල් රැහැනක් ඔහු අතට දී අසල තිබූ මහා පර්වතයක් පෙන්වා පසුදාට එළිය වැටෙන්නට ප්‍රථමයෙන් එම කටු වේවැලෙන් පර්වතය ඉරන්නට නියම කළේය. අසීමිත දුක්ඛදායී වෙහෙසක් දරා පසුදාට පහන් වන්නට ප්‍රථමයෙන් යාන්තම් පර්වතය ඉරා නිම කරන්නට කඩවරට හැකිවූහ. අළුත් නුවර දෙවියන් සමීපයට ගිය කඩවරයෝ තවත් නම් මෙවන් විපත් පමුණුවන්නට එපායැයි බැගෑපත්ව ඉල්ලා සිටියහ. එකල්හි දෙවියන් එසේ නම් තවත් මේ සක්වළේ නොසිට පලා යව යැයි කඩවරට අණ කළේය. එතැන් සිට මේ සක්වළෙන් පලා     ගියද  අවස්තාවක් ලද විගස මිනිස් ලොවට බැලුම් හෙළා මල්වර වූ දැරියකට වින කරන්නට කඩවර නොපැකිළෙයි. 

කඩවර ගොටුවේ කියැවෙන කවි සහ කෝල්මුර කවි සලකා බලන විට කඩවර යනු දෙවියෙක්ද නොඑසේනම් යක්ෂයෙක්දැයි ස්ථීර ව කිව නොහැක. උඩරට වාසීන්ගේ පිළිගැනීම නම් කඩවර යක්ෂ සේනාවක් පිරිවරා ගත් දෙවියෙක් බවයි. ඒ කෙසේ වෙතත් කඩවර උපත පිළිබදව කිනම් ආකාරයේ ප්‍රවාද නිරමාණය වී තිබුණත්   කඩවර පිළිබඳව එක් පොදු විශ්වාසයක් නිරීක්ෂණය කළ ,හැකිවෙයි,ඒ නම් කඩවර යනු මල්වරවූ නොඑසේනම් වැඩිවියට පත්වූ තරුණ කාන්තාවන්ට  වින කරන බලවේගයක් වශයෙන් වැව් රට ,,උඩරට මෙන්ම පහතරටද පොදු විශ්වාසයක් පැවතීමයි. 
කඩවර දෝශය නැති කිරීමට යකදුරෝ දොළ පිදේනි දී ශාන්ති කර්ම සිදුකරති ..ගොම්මන් කාලයේදී කඩවර පළවා හැරීම සිදුකරන්නේ පිරිමි පක්ෂයයි. පුවක් කොළෙන් තැනූ කඩවර ගොට්ටේ හත් මාළුව තබයි. හත්මාළුව මෙසේය. 

  • රත් තම්පලා 
  • කොස් ඇට 
  • වට්ටක්කා 
  • වට්ටක්කා දළු 
  • රතුඅල 
  • අමු කෙසෙල් (හත් මාළුවට අයත් වන අනෙක් වෑංජනය කුමක්දැයි නිවරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ නිසා මෙහි සඳහන් නොකළෙමි .)


.කඩවර ගොට්ටට හත් මාළුව පමණක් නොව බත්, පුළුටු පස් පංගුවක් ,,සහ කී රොටී (පිටි,පොල් හා ලුණු වතුර පමණ්ක් උපයෝගී කොටගෙන සාදන රොටී විශේෂයක් .)ආදියද තබනු ලැබේ. ඇතැම් පළාත් වල කඩවර දොසින් පෙළෙන දැරිය දොරකඩ හිදුවා ඇය ඉදිරියේ තබන ලද වංගෙඩියක් මත කඩවර ගොටුව තබා කවි කියමින් යකුන් හඩගසා පිදේනිය දී උන් පළවා හරිති. 

කඩවර දෙවියනි දිවැස් හෙළන්නේ
 කඩවර දෙවියනි යක්කු නටන්නේ 
යකා සමග මම යන්ට බලන්නේ
 කඩවර දෙවියනි පිටසක යන්නේ 
ඒ දෙවිඳුන් මම මරවා ගන්නේ 
මම තෝ කිය දමලා යන්නේ
 මගෙන් දොසක් තිබ්බොත්,
 මම මරලා යන්නේ.. 

මේ සදහන් කරනු ලැබූවේ කඩවර යකුන් පළවා හැරීම සදහා යොදා ගන්නා එක් පැදි පෙළකි. 


කඩවර පිළිබද විශ්වාසය මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්.... 

කඩවර පිළිබඳ විශ්වාසය මානව විද්‍යාත්මක විමසා බැලූ විට එය වැඩිවියට පත්වූ තරුණියන්ගේ ආරක්ෂාව අපේක්ෂා කරමින් ගොඩනැගුණු සංකල්පයක් බැවු පැහැදිලි වේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව් දක්වා අභරණින් සැරසුණු තරුණියකට නිදහසේ ගමන් කළ හැකියැයි විශ්වාසයක් වූවත් අතීතයේ පවා තරුණියන්ට අතවර කරන අකුරැස්සෙ සභාපති පන්නයේ පුද්ගල චරිත හිඟ නොවන්නට ඇත. දියමංකඩදී ,,බැද්දේදි, ගමනේදී හුදකලාවූ විට එවැනි අපගාමී පුද්ගලයන්ට තරුණියන්ට විපත් පැමිණිවීමට ලැබෙන ඉඩකඩ බොහෝ වැඩිය. නමුත් මෙවැනි විශ්වාසයන් පවතින විට තරුන දැරියන් හුදකලා නොවෙයි.

එමෙන්ම මල්වරය වැනි ජීවිතයේ කඩයිම් අවස්තාවල මිනිස් සිත තුළ බිය, තිගැස්ම ,,සතුට, ප්‍රහර්ෂය වැනි හැගීම් පිරී ඉතිරී යයි. මල්වරයෙන් උදාවන නව තත්වයත් සමග දෙමාපියන්ට නෑදෑයිනට දැරියට ආරක්ෂාව, රැකවරණය සැපයීම පිළිබදව බැරෑරුම්ව සිතන්නට කඩවර සංකල්පය උපකාරී වෙයි.එම වගකීම් වඩාත් හොදින් සමාජය තුළින්ම නිෂ්පන්න වූ මෙවනි සංකල්ප ඕනෑම සමජයක දකින්නට පුළුවන. සිංහල ජන සමාජය තුළින් උපත ලද මෙවනි විශ්වාස හා සංකල්ප මගින් සමාජපාලනය කිරීම සදහා ඉටු කරනු ලැබූ කාර්යභාරය අතිමහත් වේ. . 

2012/09/10

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට 


ලාංකීය සංස්කෘතිය පිරික්සන විට දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයක් වන්නේ මෙරට මහා සංස්කෘතිය සමඟ බැදුණු බෞද්ධ විස්වාශයන් තිබියදී වෙනත් ආගමික විශ්වාසයන් හා බැදුනු සිරිත් විරිත් පැවතීමයි. මෙම ලිපියට පාදක වන්නේ වැඩිවිය පැමිණි ගැහැනු දරුවන් හට විපත් පමුණනවා යැයි ගැමියන් විශ්වාස කරන කඩවර යකු හෙවත්  කඩවරයා පිළිබදව විචාරාත්මක විමසීමක යෙදීමයි. 
මල්වර වූ දැරියක් දියමංකඩක, බෑද්දකදී, ගමනකදී හෝ නින්දේදී තනි වුවහොත් ඇයට කඩවර යකු බැල්ම හෙළන බවත් එසේ වූ විට ඇයගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වන අතර ඇය විවාහ වූ විට දරු උපත්ද වළකා ලන බව ගැමියන්ගේ විස්වාසයයි. මේ නිසාම කඩවර යකු පිළිබඳව බියමුසු ගෞරවයක් ගැමි සමාජය තුල මෙම විස්වාශය නිසා නිතැතින්ම ඇතිවී තිබිණි. 

කඩවරගේ විවිධ වේශයන් ඇතැයි සලකන අතර වැවු ගම්වාසීන්ට අනුව නම් කඩවරගෙ වේශයන් පහකි. නැත්නම් පස් කට්ටුවකි. ඒ මෙසේය. 

  • කලා කඩවර (සෙනෙවිරත්න කඩවර )
  • මල් කඩවර 
  • කුමාර කඩවර 
  • දළ කඩවර 
  • පුළුටු කඩවර    

මෙයින් මුල් තිදෙනා දෙවිවරුන් වශයෙන් සැලකෙන අතර අනෙක් දෙදෙනා යකුන් ය ..මල්වර වූ කාන්තාවන්ට ලෙඩ කරවනුයේ දළ කඩවර සහ පුළුටු කඩවර බැවු වැව් ගම්වාසීන් විස්ව්වාස කරයි. කඩවර උදෙසා කරන ශාන්ති කර්මයේදී පුළුටු ගොටුව දෙනු ලබන්නේ එම දෙදෙනාටය. උණ වැනි අසනීපයකදී ද කඩවරට ගොටුවක් දීමට වැව් ගම්වාසීන් පුරුදුව සිටියි. කඩවර ගොටුවා පුදදිය යුතු ආකාරය ගැන කඩවර ගොටුවේ කවි වල සදහන්ව ඇත්තේ මෙසේය. 


දෝතින් මැන සහලින් දෝතක් ගෙන --කසාදියේ සහලුත් නහවාගෙන
මුකවාඩම් බැද බත් පිසවාගෙන --මේ ලෙස කඩවර ගොටුව සදාගෙන
මාළු හතක් රත් ඇඹුලක් ගන්නේ --පුළුටු පසක් රඹ කැන් අරගන්නේ
පස් පැණි පස් තෙල් කැවිලි පුදන්නේ --මේ ලෙස කඩවර ගොටුව පුදන්නේ 


වැව් ගම්වාසීන් කඩවර තමන් හට වින කෙරුවත් ඔහු තම ආරක්ෂකයා ලෙස සළකනු ලබයි. කඩවර ප්‍රධාන පන්තියේ දෙවියෙක් මෙන්ම හැටහත් කට්ටුවක් වන බණ්ඩාර දෙවිවරුන්ගේද නායකයා වන බැව් ඔවුන්ගේ මතයයි. 
පහතරටදී කඩවර හත් තට්ටුවකි. නොවෙසේනම් කඩවරගේ වේශයන් හතකි ..පහතරට තොවිල් වලදී තටු දෙනු ලබන්නේ කඩවර දෙවියෙක් වශයෙන් නොව යක්ශයෙක් වශයෙන් සලකාගෙනය. පහතරට කඩවර හත් තට්ටුව මෙසේය. 

  • අදුන් කඩවර 
  • සඳුන් කඩවර 
  • මල් කඩවර 
  • පුළුටු කඩවර 
  • ලේ කඩවර 
  • ගොපලු කඩවර 
  • කම්බිලි කඩවර 

ලේ වලට කෙළින්ම සබඳතාවයක් දක්වන නිසා මල්වර දැරියන්ට විපත් ගෙන එන්නේ ලේ කඩවර විය හැකියැයි විශ්වාස කළ හැකිය. කම්බිලි කඩවර නම් යකු එක රැයකට ලේ ගොටු හතක් බොන බැව් කඩවර ගොටුවේ එන මේ කවියෙන් පැහැදිලි වේ.


කළුනික ගහයට උපත අසන්නේ --කළුකඩවර නම එදයි උපන්නේ 

කළුවන් හැට්ටය දෙවුර දරන්නේ --කළු කම්බිලි දිස්ටියට වරෙන්නේ 


දළ කඩවර විකාර රූප ඇත්තේකි. බොල්ලෑ දත් ඇති බඩ මහත කෙළ තොල්ලෙකි. ඔහුගේ කට ඇදය,හිස හැඩපළු ගෙතී ගොසිනි. දෙදළ වකුටුය. ඔහු ඉන් රීරි උරා බොයි. මොලැකැටි අගනුන් ලෙඩ කරවයි. 


මුල පෙළපත ඇසුවෝතින් දළ කුමරුගෙ උපතෙ යකා

 කෙළ තොලු බොල්ලෑ දත් ඇති බඩ ලොකු අවතාර යකා

 මොලකැටි අඟනුන් දැක ලෙඩ කරවයි මෙවනි යකා 

දළ කඩවර බත් ගොටුවට එන් දළ කඩවර මෙයකා 


කඩවර උපත පිළිබදව විවිධ පන්නයේ ජනප්‍රවාද පවතින අතර වඩා ප්‍රකට සහ යතාර්ථවාදීව පිළිගතහැකි පන්නයේ කතාන්දරය වන්නේ කඩවර කංකාරිය කරවන්නන් අතර ප්‍රකට පහත කතාවයි. 

කඩවර රජරට ප්‍රදේශයේ විසූ දුප්පත් ගැමියෙක් විය. හෙතෙම දිනක් කොකෙක් මරාගෙන ආවේය. බිරිඳ කොක් මස් පිළියෙල කළාය. කුමක් හෝ හේතුවකට ආහාර ගන්නා අතර දෙදෙනා අතර දබරයක් ඇතිවිය. බිරිය ස්වාමියාට මස් හට්ටියෙන් දමා ගැසුවාය. හට්ටිය බිදී ගොස් එහි ගැට්ට කර මාලයක් පරිද්දෙන් ඔහුගේ කර වටා එල්ලුනේය .අසල්වැසියන්ගේ සරදම් ඉවසා ගත නුහුණු තැන කඩවර වනගතවිය.කැලයේ මුව රංචුවකට එක්ව කැලෑ කොළ කමින් අවුරුදු දොළසක් කැලයේ ගත කළේය. රජගෙදරට මස් සපයන වැද්දා මේ මිනිසා ගැන දැන සිටියේය. වැද්දා මගින් , කැලයේ  හුදකලාව වාසය කරනා මේ මිනිසා ගැන රජතුමාට දැනගන්නට ලැබුණි. ඔහු කැලයේ මහා නිධානයක් රකින්නෙක් යැයි කවුදෝ රජතුමාට එත්තු ගන්වා තිබිනි. රාජ නියෝගය පරිදි අල්ලාගෙන එනු ලැබූ අහිංසක කඩවර තමන් දන්නා එකම නිධානය කලවැලකින් වටවූ මහ වන මැද වූ විසාල ජල කදක් පමනක් බව පවසා සිටියේය. පසුව පරික්ෂා කිරීමේදී එම මහා ජල කද දැක ගන්නට ලැබුණු අතර එම ජල කඳ මැදි කොට විශාල වාරිකර්මාන්තයක් ආරම්භ කළ හැකි බැවු රජතුමාට පෙනී ගියේය. කඩවරගේ ප්‍රධානත්වයෙන්ම වැව කර්මාන්තය නිමා කළ රජු වැවේ භාරකරුවා ලෙස ඔහුම පත් කලේය. එම වැව කලාවැවයි. 

මෙලෙස වැවක භාරකරුවා වූ කඩවර රටේ බලවත් ප්‍රධානියෙක් බවට පත්වූයේය. රාජ ඇසුර ලබමින්' කලා සිටානෝ' ලෙසින් ප්‍රකටව සව්සපිරිව දිවි ගෙව්වේය. 

එහෙත් කැලයින් අල්ලාගෙන ආ මේ 'වල් සතා' මෙබදු තත්වයකට පත්ව සිටීම නොරිසි උන් ද සිටියේය. ඔවුන් කලා සිටාණන් රජු කෙරෙහි බිදවීමට සිතුවත් එය සාර්ථක නොවූයේය. එහෙත් කලක් ගෙවී ගිය විට ඔවුනට අවස්තාවක් උදාවූයේය. 

එක් නියං සායකදී වැව සිදී ගියේය. වැසි පතා පිරිත් ස්ජ්ජායනා කිරීම එවැනි අවස්ථාවල සිරිතය.  .පිරිත් දේශානා කරන විට වැසි ඇරඹෙයි. වැසි වැස වැව පිරී යන විට පිරිත් සජ්ජායනාව නවතා දමයි. වැව පිරී යන බැව් දන ගන්නේ වැවේ ජල ධාරිතාව පරිමානයෙන බලා ගත හැකි මැටි කොරසක් මගිනි. කොරස පිරී යන විට වැවද පිරී යන බැව් දන ගනියි. 

කලා සිටාණෝ ගේ සතුරන් පිරිත දේශනාවට සහභාගි වන්නට පැමිණි මහලු සඟුන් කෙනෙකුන් රවටාගෙන ඒ භික්ෂුවගේ උපකාරය ලබගත්තේය. සැරයටියක උපකාරයෙන් පිරිතට වැඩම කල භික්ෂුව කොරහ සිදුරුව යනසේ සැරයටියෙන් අනිමින් පිරිතට වැඩම කළේය. 

පිරිත ඇරඹිණ, මද වෙලාවකින් වැස්සද ඇරඹිණ. එහෙත් කොපමණ වැස්සත් කොරහ පිරී නොගියේය. එම නිසාම වැවේ ජල පරිමාව නිශ්චය කරගන්නට සිටාණන්ට නොහැකිව ගියේය. වැවබිදී ගියේය. තම ප්‍රාණ සමානව වැවට පෙම් බැද සිටි කලා සිටාණෝ එය ඉවසා ගත නොහැකිව වැවටම පැන දිවි නසා ගත්තේය. ශෝකයෙන් සහ කෝපයෙන් මියගිය ඔහු කඩවර යකු ලෙස ඉපදී භික්ෂූන් සැට නමකගේ ලේ බිවු බව ජනප්‍රවාදයෙහි සදහන් වෙයි. 
කෝල්මුර කවි වල එම සිදුවීම මදක් වෙනස්ව වුවත් මෙසෙ දැක්වෙයි. 


අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

 හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එ කඩ වළට

 කඩ වළ පැනලා නැසුනට කඩවර නම යෙදුණි ඔබට

 තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට 


කඩවර පිළිබදව තවත් වැඩි විස්තර ඊළඟ පෝස්ටුවෙන් කියවමු.  



    

    

2012/07/31

ජනකතා

සූරිය තවම පායන්නට පමාදෝ                                                              අද ඉර පායන්නේ නැතිද ?

අපේ ජන සාහිත්යේ ඉතා වටිනා අන්ගයක් වන්නේ ජන කවියයි ..මහා පන්ඩිතයන්ගේ විදග්ධ සාහිත්‍ය ඇතුළේ ජන කවියට හරිහමන් පිලිගැනීමක් නොලැබුනත් ජන කවියේ ගැබ් වෙලා තියෙන මනුෂ්‍ය ජීවිතය පිරිසිද දැකීමේ ගුණය පසුවෙන් අමතක කරන්නවත් ,,නොසලකා හරීන්නවත් බැහැ. ජන කවිය හරිම සරලයි .,.,සුගමයි ,,ඒ වගේම රසාලිප්ත ගුණයෙන් අනූනයි .  
          ඔබ අහලා තියෙන සමහර ජන කවි යට සැගවුණු අපූර්ව කතාන්දර තියෙනවා ..මේ එවනි ඔබ අහලා තිබෙන ජනකවියක සැගවුනු අහලා නැති කතාවක් .කතාවට මුල පුරන්න කලින් මෙ කතාව මට කියලා දුන්නු මගේ අත්තම්මාව මතක් කරන්නම ඔනේ ..ඈ බී ජී  ඩින්ගිරිඅම්මා ..ඉපදිලා තියෙන්නේ 1914 අවුරුද්දේ ..ලියන්න කියවන්න නොදැනගෙන හිටියත් පුදුමාකාර මතකයක් ඇයට තිබුනා ..ඒ මතක පෙට්ටගම ඇතුළේ කවි කතන්දර තොගයක් ගොඩගැහිලා තිබුනා ..මම පුන්චිකාලේ එ කතන්දර වලින් ලබාගත්තු රසය සාහිත්‍යට කලාවට කැමති මිනිහෙක් වීමේ අඩිතාලම වුනා කියලා මට හිතෙනවා. 
         හරි දැන් අපි කතාව අහමුකෝ .
.මේ සිද්දිය වුනේ බොහෝම ඉස්සර කාලේ පිටිසර පන්සලක. ඉස්සර ගමේ පන්සලේ හිටියේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් ..ඒ කියන්නේ ලොකුහාමුදුරුවොයි, පොඩිහාමුදුරුවොයි.,.තව ඇබිත්තියෙකුත් හිටියා. දන්නවානේ ඇබිත්තියා ? මිනිහා තමයි පන්සලේ සේවකයා .බොහෝම වෙලාවට පන්සලේ බෝමලුව අමදින වැඩේ ඉදන් දානශාලාවේ වැඩ කටයුතු දක්වා ඒකී මෙකී නොකී සියලු කටයුතු සිද්දවුනේ ඇබිත්තියා අතින් .හුගක් වෙලාවට ඇබිත්තියා හැටියට කටයුතු කලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොලුගැටයෙක් ..එහෙමත් නැත්නම් ටිකක් විතර මෝඩපහේ කාත්කවුරුත් නැති අසරනයෙක් .

මේ අපේ කතාවෙත් ඉන්නවා ඇබිත්තියෙක් ..එයාත් ටිකක විතර මෝඩපහේ පෙනුමක් තියෙන කොලුවෙක් ..නිකන් හිතමුකෝ මේ කැරැක්ටර් එක රගපාන්නේ සරත් කොතලාවල කියලා. දැන් එයාව දන්නෙ නැති අය මට අම්බානකට බනිනවා ඇති නේ. අපේ අබිත්තියා හැමදාම පාන්දරම අවදිවෙලා දවසේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා ..කුකුලා හඩලන වෙලාවට  තමයි මෙයා නැගිටින්නෙ. දවසක් හරි අබග්ගයක් වුනේ නැතෑ. කලින් දවසේ මහරෑ ලොකු සවාරියක් ගහලා ආපු කුකුළෙක් පරක්කුවෙලා නිදාගන්න ලෑස්තිවෙලා පහුවදා පාන්දරට අඩලන්න පරක්කු වෙයි කියලා හිතලද කොහෙද නිදාගන්න කලින් මහරෑ ජාමෙ ඇඩලුවෙ නැතෑ. 

         කුක්කු කූඌඌඋක් .....කුක්කුකූඌඌඌඌඌක්ක්ක් ....

මේ යක්ශ කුකුළගෙ හඩලන සද්දෙට පන්සලේ සැපට  නිදාගෙන හිටිය අපේ අහින්සක ඇබිත්තියා ඇහැරුනා ..වටපිට බැලුවා. තාම කලුවරයි .ඒත් කුකුලට වරදින්න විදිහක් නෑනෙ ,පාන්කළුවර වෙන්න ඇති කියලා හිතපු අපේ මනුස්සයා දඩි බිඩි ගාල දවසේ වැඩටික පටන්ගත්තා .කලුවරේම මුලු පන්සල් වත්තම අතුගෑවා .දානෙ භාජාන සේදුවා. දානෙ ශාලාවත් අතුපතු ගාලා පිරිසිදු කරා .මේ වැඩටික කරන්න පැය දෙක තුනක් යනවනේ ,වැඩටික ඉවරයි .එත් තාම ඉර පෑයුවෙ නෑ ...දැන් අපේ වීරයා පන්සලේ ඉස්තෝප්පුවට වෙලා මදුරුවො තල තලා බලන් ඉන්නවා ඉර පායනකම් .ඉන්නවා ඉන්නවා තාම නෑ. අන්තිමේට මේ අහින්සක ඇබිත්තියට බය හිතුනා ඉරට මොකක් හරි කරදරයක් වෙලා ඉරපායන්නෙ නැතුවවත්ද කියලා .අපෙ ඉස්සර මිනිස්සු දුකට සතුටට විතරක් නෙමෙයි තරහක් බයක් හිතුනත් කවියක්නෙ කියන්නෙ ,ඉතින් අපේ මනුස්පයත් මෙන්න මෙහෙම කවියක් කීවයි කියමුකෝ. 


                සූරිය සුනෙර වට දෙවරක්   ගියාදෝ                 කාරිය කරන රථ ඇණ   ඉගුලුනාදො                 වීරිය කරන රාහුට  අසු       වුනාදෝ                 සූරිය තවම පායන්නට        පමාදෝ 



ඇබිත්තියා බයෙනුයි දුකෙනුයි මහරෑජාමේ මහහයියෙන් කියපු මේ කවිය පන්සලේ ලොකු හමුදුරුවන්ටත් ඇහුනා .නැගිටලා බලපු ලොකු හාමුදුරුවන්ට තෙරුනා අහින්සකයා නැට්ට පාගගෙන කියලා .ලොකුහාමුදුරුවෝ අබිත්තියාට සිද්දවෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නෙත් .  
               

                  සූරිය සුනෙර වට දෙවරක් ගියෙත්    නැත                   කාරිය කරන රථ ඇණ ඉගුලුනෙත්    නැත                   වීරිය කරන රාහුට අසු වුනෙත්          නැත                   සූරිය මෙලෝ පායාන්නට පස් පැයක් ඇත 


ලොකුහාමුදුරුවන්ගේ කවිය ඇහුනට පස්සෙයි ඇබිත්තියාට වැඩේ තේරුනේ .ඉර පායන්න පස් පැයක් තියෙනවයි කිව්වම වෙලාව කීයට විතර වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ .මිනිහා ඊට පස්සෙ මොනා කරාද කියලා නම් අපි දන්නෙ නෑ .. 
     
                     චින්තක ටිකිරිබණ්ඩාර.