ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වශයෙන් සැලකිය හැකි ගංගා 103ක් කිලෝමීටර් 4,560ක් තරම් වන දුරක් ඇදෙමින් වර්ග කිලෝමීටර් 59,245ක් තරම් වන අති විශාල භූමි ප්‍රමාණයක් තම දිය කඳින් පෝෂණය කරනු ලබයි. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 90%කටත් වඩා වැඩි ප්රතිශතයකි. එලෙස ගත්විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සාතිශය බහුතර ප්‍රමාණයක් 'තෙත් බිම්' වශයෙන් ගැනිය හැකිය.
නමුත් අවාසනාවක මහත නම් මෙම දත්ත ගැළැපීම් ප්‍රායෝගික තත්ත්වයේ හෙවත් සැබෑ මහපොළොවේ දක්නට නොලැබීමයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ 'තෙත්බිම්' ක්ෂේත්‍ර අගයයන් අතිමහත් ශීඝ්‍ර වේගයෙන් පහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. 1900 වර්ෂයෙන් පසුව ලෝකයේ පැතිර තිබූ තෙත් කලාපයන්ගෙන් හරි අඩක් අතුරුදන්ව ගොස් තිබිණි. පමා වී පැමිණ හෝ ශ්‍රී ලංකාවටද එම ඉරණම අත්වෙමින් තිබේ.
ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි. අප මෙහිදී සඳහන් කරන්නේ සංවර්ධනය නොව නිශ්චිත පාරිසරික කළමනාකරණය රහිත සංවර්ධනය බැව් නැවත වරක් අවධාරණය කළ යුතුව තිබේ.
සංවර්ධනය සමඟ වගුරු බිම් ගොඩකිරීම එකිනෙක හා අතිනත ගන්නා වූ ක්‍රියාවලියකි. තෙත්බිම් අහිමි වී යෑමටත් ඒත් සමඟම එතෙක් කාලයක් ඒ තෙත්බිම්වලට ආවේණික වූ ජීවී පද්ධතීන් තම අවසන් ගමන් යෑමටත් වගුරුබිම් ගොඩ කිරීම ඍජුවම බලපාන ලද කාරණාවන්ය. විශේෂයෙන්ම බෙල්ලන්විල, අත්තිඩිය සහ මුතුරාජවෙල වගුරු බිම්වලට අත්වූ ඛේදනීය ඉරණම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.
පුත්තලම් මුහුදු තීරයේ වූ කඩොලාන පද්ධතීන් පෙරදා තරම් සශ්‍රීකව දැන් දක්නට නොහැකිය. හේතුව වන්නේ වේගයෙන් සිදුකෙරෙන හරිත කලාපයන් හෙළි පෙහෙළි කිරීමයි. පුත්තලම කළපුව ආශ්රිත 'තෙත් බිම්' තවදුරටත් තෙත් බිමක් වශයෙන් අනාගතයේ නොපවතිනු ඇති බවට සලකුණු වශයෙන් රතු එළි දැල් වී තිබේ. එම තෙත් බිමට ආවේණික වූ ජීවී විශේෂයන් සහ ඔවුන්ගේ වාසස්ථානද එපරිද්දෙන්ම ස්වාභාවික පරිසරයට අහිමි වී යනු ඇති බවට සැකයක් නොමැත.
ශ්‍රී ලංකාව පුරාම එකකට එකක් නොදෙවැනි ලෙස සිදුවන ජල මූලාශ්රයන් දූෂණය සමඟින් 'තෙත්බිම්' වැනසී යෑමේ උවදුර තවදුරටත් තීව්ර වී තිබේ. කාබනික විමෝචනයන්, වෙනත් රසායනික අපධාහයන් සහ කැළිකසළ බැහැර කිරීම් නිසා ගංගා, වැව් හා ගොහොරු බිම්වලට අත් වී ඇති ඉරණම මුතුරාජවෙල, කැලණි ගඟ සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජල පද්ධතීන් හා ඒ ආශ්රිත තෙත් බිම් විමසා බැලීමෙන් ඔබටම දැකගත හැකිවනු ඇත.
එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වැලි ගොඩදැමීම් සහ මැණික් ගැරීම්ද තෙත් බිම් අහිමි වී යෑමට බලපානු ලබන තවත් සාධකයකි. විශේෂයෙන්ම කෘත්‍රිමව සිදුකෙරෙන මෙම වැටි බැඳීම් හෝ හරස් කිරීම් ස්වාභාවික ක්රමානුකූල නිම්න පිහිටීම පරිසර පද්ධතියට අහිමි කරනු ලබයි. විශේෂයෙන්ම මහවැලි ජල ගැලුම් නිම්නයන් ආශ්රිත 'විල්ලු' නමින් හඳුන්වනු ලැබූ තෙත් බිම් අහිමි වී යෑමට හේතුව මෙම කෘත්‍රිමව සිදුකෙරෙන ගංගා හෑරීම් සහ හරස් කිරීම්ය. පොළොන්නරුව මනම්පිටිය ආශ්රිත වැලි ගොඩදැමීම් නිසා එහි මහවැලි 'විල්ලු' භූමියට අත්වීගෙන යන ඉරණම මේ මොහොතේදී ද නිශ්චිත අවසානයකි.
ශ්‍රී ලංකාවේ තෙත්බිම් හා ඒ ආශ්රිත ජීවී පද්ධතීන් අහිමි වී යෑමට බලපාන සාධක ගණනාවක් ඇතිමුත් මෙම ලිපියෙන් අප පෙන්වා දුන්නේ ඉන් ප්‍රධාන කිහිපයක් පමණකි. ඊට අමතරව මල ද්‍රව්‍ය අපවහනය, සැලැසුම් රහිත ජල සම්පාදන පද්ධතීන් සහ අනවසර පතල් කැණීම් වැනි ක්‍රියාකාරකම් ද තෙත්බිම් දූෂණයට ඍජුව බලපාන තවත් සාධක වෙයි.
මෙම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මෙරට පරිසර පද්ධතියට තෙත්බිම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම කාරණාවක් බැව් පෙනේ.
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'
මෙරට තෙත්බිම් පද්ධතීන්හි වටිනාකම තීව්ර කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් දක්වතොත් මෙරට පෘෂ්ඨවංශී ජීව විශේෂයන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් තෙත්බිම් ආශ්රිත ජීවී විශේෂ වෙයි. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් 50%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් මෙහි ගතකරන කාලය තුළ තම තාවකාලික වාසස්ථාන බවට පත්කර ගන්නේ තෙත්බිම්ය. එපමණක් නොව මෙරට වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා සිටින ජීවී විශේෂයන්ගෙන් 32%ක් පමණ තෙත්බිම් ආශ්රිත සත්ත්ව විශේෂ වෙයි.
කෙසේ වෙතත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබූ 'තෙත්බිම්' අති ශීඝ්‍ර වේගයෙන් පරිසර පද්ධතියෙන් අතුරුදන්ව යන බැව් සැබෑ යථාර්ථයයි. වැඩි වැඩියෙන් මෙම සුවිශේෂී පරිසර කලාපයන් ගැන කතා බහ කළයුතු, සංවාද කළ යුතු කාලය එළැඹෙමින් තිබේ. අවම තරමින් තෙත්බිම් යනුවෙන් පරිසර පද්ධතියක් අපෙන් ඔබ්බෙහි පවතිනවාය යන ක්ෂුද්‍ර පණිවුඩය හෝ සමාජගත කරන්නට ඔබත් දායක විය යුතුමය.