Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

2021/09/05

රතු අඟහරු ප්‍රේමයක්


මා මෝනා ඇල්ක්සැන්ඩ්‍රියා. ගගනගාමීනිීයක්. 

රමෙල් ඊයේ රාත්‍රීයේදී මියගියේය. ඔහු මගේ ඇකයේ අවසන් හුස්ම හෙළමින් අපගේ අභ්‍යවකාශ යානයේ යෝධ තිරයෙන් එපිට පෙනෙන දැවැන්ත පෘතුවි චන්ද්‍රයා  දෙස හෙලූ අවසන් බැල්මෙන් යුක්තව තම දිවි සැරිය නිම කළේය. දැන් අගහරු මත කඩාවැටී එහිම නටබුන් වන්නට යන  මේ යෝධ අභ්‍යවකාශ යානයේ ඉතිරිව සිටින එකම ප්‍රාණියා මා පමණි.


කාලය කොතරම් දුර ගෙවී ගොස්දැයි මා දන්නේ නැත. කාලය ගැන මට ඇති එකම අදහස රමෙල්ගේ කළු පැහැති හිසකෙස් ශ්වෙත වර්ණයට හැරී තිබීම පමණි. පෘතුවියෙන් අභ්‍යවකාශගත වන විට කඩවසම් තරුණයෙක්ව සිටි රමෙල් අඟහරු මත අභ්‍යවාකාශ යානයේ සිරවී වැරහැලි මහල්ලෙක්ව තම ගමන අවසන් කළේය.
ඉදින් ඒ වසර කීයක්දැයි ගණනය කොට ඵලය කිම...?
යානයේ පටු නියමු අසුනක රමෙල් ගේ සිරුර දිගාවිී තිබිණි. පෘතුවියේදී මා දුටු ප්‍රතාපවත් ගගනගාමීයා දැන් මා දෑස් අබිමුව නොවේ. අසරණ, වෙහෙසට පත්වූ, බලාපොරොත්තු කඩවූ , පරාජයට පත්වූ සේයාවන් වැතිරුණු හකු වක ගැසුණු සුදුමැලි මුහුණේ දෑස් තවමත් විවර ව තිබෙයි. මා ඒවා වසා දැමුවාය.
“ මෝනා...., අන්තිමට , අන්තිමට ඔයා මගේ වුණා ...මං ඔයාට ගොඩක් ආදරෙයි මෝනා”
අවසාන මොහොතේදී ඇසෙන නෑසෙන ස්වරයෙන් රමෙල් මාගේ ඇකයේන් එසවී මගේ දෙසවන් වෙත එසවෙන්න අසාර්ථක උත්සාහයක් දරමින් කෙදිරීය.
වසර බොහෝ ගණනකට පෙර පෘතුවියෙන් අඟහරු වෙත වූ අභ්‍යවකාශ පියසැරියට මා සම්බන්ධ වූ කාලයේ පටන්ම රමෙල් මගේ ප්‍රේමය පැතුවේය.
නමුත් ජුවාන්.......................,,
අභ්‍යවකාශ කණ්ඩායමේ කඩවසම් ම තරුණයා වූ ජුවාන් සහ මා කාටත් රහසින් ප්‍රේමයේ පැටලී හුන්හ.  ඒ නිසාම මා රමෙල් ගේ ආදර ඇරයුම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළාය. අභ්‍යවකාශ ව්‍යාපෘතිය පුරාම මට රමෙල්ගෙන් ගැලවීමක් නොවූ මුත් මා තව තවත් දැඩිව රමෙල්ව බැහැර කළා ය. අවසානයේ රමෙල් හතිවැටුණේ අභ්‍යවකාශ සැරියට දින ගණනක් තිබියදීය.  රමෙල් ජුවාන් ට සහ මට සුබ පැතුවේය.
“ දෙන්නටම මගේ සුබ පැතුම්.....”  රමෙල් ගේ ආසිරි සිනහව යටින් හිවලෙකුගේ දත් විලිස්සීමක් එදවස මා දුටුවාය.
අවසානයේදී අභ්‍යවකාශ ගමන වෙනුවෙන් ව්‍යාපෘතිය තෝරාගෙන තිබුණේ මා සහ කණ්ඩායම් නායක රමෙල් ය.
“ ලොකු කාලයක් නෙමෙයි නේ, ඔයා ගිහින් එන්න මෝනා.. මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා..අනිත් එක මට ඔයාව පෙනේවි... අර අර තියෙන්නේ අගහරැ ....ඔයා එතෙන්ට ගියාම මට ඔයාව පෙනෙයි. ”
එක් රාත්‍රීයක බැල්කනියේ වැතිරී අහස දෙස නෙත් හයාගෙන උන් ජුවාන්ටත්, මටත්  ඉහළින් අගහරු තරුව දීප්තියෙන් බැබළෙමින් තිබුණේය. ජුවාන් දෑස් හීනිකරමින් සිනාසුණු අයුරු අගහරුගේ දීප්තිය තරමටම මගේ මතකයේ තිබෙයි. මා උන්නේ ඔහුගේ තුරුලෙන් මිදීයාමේ සොවිනි, වේදනාවෙනි. දෑස් කදුළින් පෙගී තිබිණි.

අඟහරු වෙත කඩා වැටුණු යානයේ යෝධ තිරය අතරින් පෙනෙන විසල්  ආකාශය දෙස බලමින් මා අනන්ත රාත්‍රීන්වලදී පෘතුවිය සොයන්නට වෑයම් කරන්නට ඇත. එහෙත් රමෙල් මා ඉන් වැළකීය.
“දැන් ඔය කිසි දෙයකින් වැඩක් නෑ මෝනා, අපි මේක ඇතුළේ හිරවෙලා. අඩු තරමින් එයාලා අපි ගැන බැලුවේ නෑ..අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නා විතරයි...”
අවසානයේදී රතු අඟහරු මත මා රමෙල් ගේ වූවාය. ජුවාන්ගේ මතකය අලෝක වර්ෂ ගණනාවක් ඈතිනි. ඉතින් මා හිත හදාගත්තාය.කාලය ගතවන විට මා රමෙල් ට ප්‍රේම කරන්නට පටන්ගත්තා ය.  අඟහරු ගේ හුදකලා ලෝකයේ  රමෙල් ගේත් මෝනා ගේත් ප්‍රේමය නොනැවතී ගලා ගියේය.
දැන් රමෙල් නැවත නොඑන්නටම මෝනා ව දමා ගොසිනි. මා විසල් හුදකලාවක අතරමං වූවාය. හරියට මෙයට බොහෝ කලකට පෙර පෘතුවියෙන් පිටව එද්දී හරියටම කිවහොත් ජුවාන් ව අතැර එද්දී දැණුනු හැගීමට සමාන හැගීමක් මා අත්වින්දා ය.
මා තදින් රමෙල් ගේ දරදඩු වූ සිරුර වැළද ගත්තාය. හැඩුම් ආවේ දැන් ය. මම මහ හඩින් හැඬුවෙමි. මහළු මගේ සිරුරේ ගැස්සීම නිසා නියමු අසුනක වැතිරී හුන් රමෙල් ගේ ප්‍රාණ නිර්දධ සිරුරේ එක් අතක් බිමට කඩා හැළුණේ ඒ මොහොතේ ය. අතේ සිරවී තිබුණු යමක් බොදවූ කදුළු අතරින් මට පෙනෙ යි.
කඩදාසිය ක්.
ලියුමක්. රමෙල් ගේ අතෙහි නිතර රැදුණු පැන්සලෙහි  මිනිරන් අකුරු මට පෙනෙයි.
 

ආදරණීය මෝනා,
මා කෙටියෙන් ලියන්නම්, මා ඔබ අතැර යන්නට ආසන්න බව මට දැනෙයි. අන්තිමේදී මට ඔබේ ආදරය අයිතිවිය. දෙවියන්ට ස්තූති වේවා...
ආදර මෝනා, මෙය ඔබට පැවසීමට ඇවැසිමය.
යානයේ දොරටුව විවෘත කරගෙන එළියට බසින්න. මේ රතු අඟහරු නොවේ. අපේ පෘතුවියයි. එහි සුළඟ විදින්න.
යානය කඩා වට්ටනු ලැබූයේ මා විසින්මය. එය මිනිස් වාසයෙන් බොහෝ දුර කාන්තාරයකට ගෙන ඒමට මට හැකිවිය. ඔබ දිනගණනක් සිහිමූර්ඡා ව සිටියාය. ඔවුන් අපව සොයා එනවිට, මා ඔබවත් රැගෙන කාන්තාරයේ දුර්ග අතර සැගවිණි. ඔවු, දැන් ඔබ සිතන පරිද්දෙන්ම ජුවාන් ද ගලවාගැනීමේ කණ්ඩායම් සමඟ පැමිණියේය. ඒ සියල්ල සිදුවූයේ බොහෝ කාලයකට පෙරදීය. ඔවුන් කිසිවක් නොදැක යානය අතහැර දමා නික්මුණෝ ය. ඔවුන්ට අප මියගිය ගගනගාමීන්ය. ඔබ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ආදරය මට හිමිවිය. 

මේ මගේ පළිගැනීමයි.
මිහිරිය, මා ඔබේ
ආදර රමෙල්.




2019/09/18

මෝදිට 69 යි

සැප්තැම්බර්  17 වන ඊයේ දිනයේදී  ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි තම 69 වන උපන්දිනය සැමරුවේ ගුජරාට් හි ගාන්ධිනගර් නිවසේදී තම මෑණියන් වන හීරාබෙන් මෝදී සමගිනි.


2012/12/09

අපේ හාඩ් මෙටල් රොකර් -"චිත්‍රාල් "



මම රොක් සංගීත ලෝලියෙක් වෙන්න පටන් ගත්තේ ගැටවර වයසේ මුල් කාලේදීමයි. ඒ ලෙඩ් ශෙපෑලිං ලගේ stairway to heaven සහ කොබේන් ගේ නිර්වාණ බෑන්ඩ් එකේ  ගිත ඇහුවට පස්සෙයි. ඉතින් මේ සිංහල රටේ රොක් සංගීතය ඔස්සේ මාව ප්‍රමුදිත කරාපු හඬක් තිබුණා. ඔහු තමයි චිත්‍රාල් සෝමපාල ..චිත්‍රාල් කියන්නේ ලංකාවේ හිටපු පට්ටම රොක් ගායකයා  :හරියටම කීවොත් අද්විතීය මෙටල් රොක් ගායකයා. මීට සතියකට හමාරකට උඩදී මාතලං ලියපු ස්කෝර්පියන්ස්ලගේ wind of change කියන ගීතය ගැන පෝස්ටුවෙදී චිත්‍රාල් ගැනත් ඇදිලා ආවා මෙන්න මෙහෙම 

මේ ගීතයේ ඔරිජිනල් හඬටම සමාන හඬක් තිබෙන ගායකයෙක්, අපේ රටෙත් ඉන්නවා. ඔහු ඒ කාළයේ, මේ ගීය මේ ආකාරයටම ගායනා කළා. අදටත් සිංහල ගීත අහන රසිකයන් අතරෙත් ජනප්‍රියයි. බලන්න උත්සාහ කරන්න.

මේ ගැන අපේ ඇත්තෝ හරියටම අනුමාන කරලා තිබුණා. 
 මයියා -අර ගායකයා නම් චිත්‍රාල් සෝමපාල ද? මිනිහා නෙ ඉතින් අපට ඉන්න හාර්ඩ් මෙටල් රොක් - 
 මාතලං -   උඹ හරි චිත්‍රාල් තමයි.. පට්ටම ගංජා වොයිස් එකක් නේ ඒකත්..
මහවෙදනා- මගේ උත්තරේත් චිත්‍රාල් සෝමපාල තමයි.


ඉතින් ඊට පස්සේ ඔන්න චිත්‍රාල්ගෙ මතකෙ අළුත් වුණා.චිත්‍රාල් නදී ගංගා තරණයේ ගැහුවට පස්සේ ආයෙමත් අළුත් සිංහල රොක් ගීයක් ගායනා කරලා තිබුණෙත් නැහැ. චිත්‍රාල් ලංකාවේ නැහැ කියලා මම දැනගෙන හිටියා. මිනිහා මුලින්ම වැඩ කරේ power quest කියන බිරිතාන්‍ය රොක් බෑන්ඩ් එකත් එක්ක ..ඊට පස්සේ චිත්‍රාල් හෙවත් අපේ චිටී (අමතක වුණා කියන්න බොහෝ දෙනා ඔහුව හදුන්වන්නේ චිටී කියන ආදරණීය නමින් ) civilization one නමින් රොක් බෑන්ඩ් එකක් ෆෝම් කරනවා.දැන් චිටී ජීවත් වෙන්නේ ජර්මනියේ ..කොහොම වුණත් තිබුණු උන්මාදය නිසාම මට පුළුවන් උනා ලංකාවෙ ඉදන් චිත්‍රාල්ව කොටුකරගන්න. 

"කොහොමද චින්තක? "
මාව මේ දැන් ඉදන් දන්න චිත්‍රාල් කතාව පටන්ගත්තේ එහෙමයි. අපි බොහෝ දේ කතා කෙරුවා ..ඔහු පුදුම නිරහංකාර මනුස්සයෙක් කියලා නම් මට හිතුණා. චිත්‍රාල් ගෙ කටහඬ ඇහෙද්දි මට මතක් වුනේ අපේ මාතලංගෙ ගංජා වොයිස් කතාව. මම ඒක කිව්වට පස්සේ චිත්‍රාල් මහ හයියෙන් හිනාවුණා. 

"අනේ මන්දා බං. බලපන්කෝ මගේ අලුත් සිංදුව 'දබුළුගලේ 'අහලා ..ඒකේ එහෙම ගතියක් නෑ නේද ? "

කොහොම වුණත් මට අහන්න තිබුණු ප්‍රශ්න ටික ඊමේල් මාර්ගයෙන් එවන්න ..ඔහු ඒවට උත්තර එවන්නම් කියලා චිත්‍රාල් කිව්වා. කිව්වා වගේම ඔහු මගෙ ප්‍රශ්න ටිකට උත්තර එවලා දුරකතන පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන්න තරම් කාරුණික වුණා. 

"චින්තා ඔන්න බඩු එව්වා "

ඉතින් අපේ පට්ටම රොක් ගායකයා එක්ක ඊමේල් හරහා මම කරපු කතාබහ රතුරජරටේ පළ කරන්නේ හරිම සතුටකින්. ඔහු ඉංග්‍රීසි බසින් එවූ පිළිතුරු සිංහලට පරිවර්තනය නොකර ඒ විදිහටම මෙතන දානවා ..කියවලා බලන්න. ඔබේ අදහසුත් කියන්න. චිත්‍රාල්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියේ නම් කොටලා යන්න. හැකියාවක් ලැබුනොත් චිටී ටම කියලා ඒවට පිළිතුරු ලබාදෙන්නට උත්සාහ කරන්නම්. 

මම 
ඔබට රොක් සංගීතය පිළිබදව ඇල්මක් ඇතිවෙන්නට බලපෑම් කළ සාධක ..හේතු කාරණා කොයිවගේද ?
chithral 
Growing up in a family having both parents doing sri lankan folklore with western influences was my interest i began to listen to western music when i was about 10 years old. My father was the guy who brought in all the western instruments towards sri lankan music for an ex: guitar,brass instruments,organ and etc. so i did see these instruments lying at home and started experimenting with them when i was very young. Rock music came towards me cos. my father use to go a lot of auctions those days and he always bought some records from musicals like west side story and etc along with some records which had rock music like led zeppelin,deep purple,the beatles and etc, so my interest began to rock music and i dreamt all my life to be a rock musician and that is how it has happened so far.

මම 
අපේ රටේ රොක් සංගීතය සම්බන්දව තිබෙන අදහස් ආකල්ප සහ මතවාද ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද චිත්‍රාල් ?
chithral
So far i have seen that it has developed more than i thought, the time i wanted to create something in sri lanka people were not intersted at all and rock musicians were totally ignored by the high class musicians in sri lanka, most of all even these high class musicians did not know that it's a art form of music in general. Music is has different genres and I myself appreciate all kinda music cos. these are all tools you need to know if you wanna become a full time professional. It will take some years to develop rock music in sri lanka to come to a great standard. they are some talented guys over there but they have no support from the people cos. majority of people don't know about rock music:)

මම 
වර්තමානයේ ඇති අන්තර්ජාල  සන්නිවෙදන පහසුකම් නොමැති ඔබේ යුගයේ රොක් හැදෑරීම දුශ්කර කාර්‍යයක් වුනේ නැද්ද ?
chithral 
Those days were not that developed than today, with the internet it is easier to research who is who, but it has also become a downfall today cos. too many bands,too many musicians, too many genres and so the biggest record companies have lost a lot of money cos. they don't sell music anymore cos. everybody download for free:)

මම 
ඔබේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ඔඅබ තෝරා ගත් ගමනට ලබැනු සහයෝගය කොහොමද ?
chithral 
My both parents supported me a lot in this case cos. they were very open minded people. so in this situation i was very lucky to have such brilliant parents.

මම 
අපේ රටේ ඇතුළේ රොක් සංගීතයට ලොකු ඉඩක් වෙන්වෙලා නෑ තාමත් ඒ ගැන මොකද හිතෙන්නේ ?
chithral
I think the people in the media are the wrong ones who don't understand music at all and that is the reason a rock musician won't get radio airplay or his video played on their stations.

මම 
සිංහලෙන් රොක් කියන්න බැරිද ඇත්තටම ?
chithral
You could... I did it already with NADEE GANGA:)

මම 
සිංහලෙන් ඒ වගෙ ගීතයික් නිර්මාණය කරන්න ඔබට හිතුණේ ඇයි? 
chithral 
Being a musician is not only to play the instrument or to sing, you got to be creative at the same spot like an artist too, so this was the chance to show your abilities and that is how i produced Nadee Ganga with my own signature and I'm very happy that it has become such anthem in our country.

මම 
civilization one සමග ඔබේ අත්දැකීම් කෙබඳුද? 
chithral 
Honestly, Civilization One we played Twice in Sri Lanka at the TNL Onstage Concert at the Convention Center in Colombo in 2008 and 2009, this gave our rock musicians a huge impact. Right now i have no idea about Civilization One cos. I'm moving towards my solo career in the future to be a singer,songwriter,producer and to compose music for films.

මම 
දබුළු ගලේ ගීතය රොක් ශෛලියෙන් නිමැවීමට සිතුවෙ ඇයි? 
chithral 
Honestly, it is not a rock arrangement at all:) A lot of people in sri lanka think i have damaged the song, there is no damage at all on it, all i did was making it a smooth sentimental and a new age type of arrangement.


මම 
ඉතින් චිටී තවත් මොනවද ඔබට කියන්න තිබෙන දෙවල් ?
chithral
I thank you all from the bottom of my heart for all your positive feedbacks and comments, stay tuned to hear more from me in the near future:)



චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/12/02

ලන්ඩන් හෑගොඩයා කොළඹදී කොටුකර ගැනීම

ලන්ඩන් හෑගොඩයා
 කොළඹදී කොටුකර ගැනීම
"මියුසියස් බාලිකා විදුහලේ ළදරු පන්තියට ගිය මා එහි ගියේ පියාගේ පාපැදියෙනි. අනතුරුව ඉසිපතන විදුහලට යන කාලයේ ශත පහක ටිකට් පතක් ගෙන මරදාන සිට තිඹිරිගස්යායට ගොස් හැව්ලොක් ටවුම දක්වා ඇවිදීමි. නැවත ගෙදර එන විට ශත තුනේ ටිකට්ටුවක් ගෙන ඇස්වාට්ටුවෙන් බැස ඉතිරි ශත දෙකෙන් ලොසින්ජර කෑම මගේ සිරිත විය. ජීවිතය ඉතා සහනදායක දෙයක් විය.”

ඔහු එසේ ලියයි. ප්‍රකට කොළඹ කවියෙක් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වූ විල්සන් හෑගොඩ හා කිවිඳියක වූ නන්දා හෑගොඩගේ බාල පුතා වන ඔහු අනුර හෑගොඩයි. මෙරට නිදහස් කවියේ දෙවැනි පරපුරේ සංකේතයක් බඳුවූ, එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන ලාල් හෑගොඩ ඔහුගේ ජේ‍යෂ්ඨ සොහොයුරාය. එහෙත් අනුර හෑගොඩ ලාංකේය සෘහද සමාජය ආමන්ත්‍රණය කරන්නේ කවියෙක් හෝ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් නොව පුවත්පත් තීරු රචකයෙක් වශයෙනි.

දීර්ඝ කාලයක් ලන්ඩනයේ වාසය කරන ඔහු විසින් ලන්ඩන් ගොඩයා නමින්ද අනතුරුව ලන්ඩන් හෑගොඩයා නමින්ද ලියූ තීරුලිපි මෙරට තීරුලිපි රචනා කලාව නව ඉසව්වක් වෙත ඔසවා තැබීය. නොබෝදා ඔහුගේ තෝරාගත් තීරුලිපි ගණනාවක් ‘ලන්ඩන් හෑගොඩයාගේ කොලම’ නමින් පොතක් වශයෙන් පළවූ අතර ආපසු ලන්ඩනයට පියඹා යෑමට ලැහැස්ති වෙමින් හුන් ලන්ඩන් හෑගොඩයා සමඟ සල්ලාපයක යෙදීමේ අවස්ථාවක් මට උදාවිය.

චින්තක
ඔබේ අයියා තරමටම නොවුවත් ඔබත් කවි ලියනවා. එමෙන්ම තීරු ලිපි රචනා කරනවා. නීතිඥයෙක් වශයෙන්ද කටයුතු කරනවා. ඔබ වඩාත් කැමැති වන්නේ ඔබ කවුරුන් වශයෙන් හඳුන්වා දෙනවාටද?

අනුර හෑගොඩ
ඔය කාරණා තුනටම එපිටින් සිට බැලුවොත් මම මාව හඳුන්වා දෙන්නට කැමැති ලංකාවට එපිටින් සිට ලංකාව දෙස ආදරයෙන් බලා සිටින ලංකාවේ දරුවෙක් විදිහට.


චින්තක
ඔබ ජීවිතය හරි හරියට ලන්ඩනය සහ කොළඹ අතර බෙදා ගන්නවා. වෙනස් සංස්කෘතීන් දෙකක් අතර සිදුකෙරෙන මේ අන්තර් හුවමාරුව ඔබට දැනෙන්නේ කොහොමද?

අනුර හෑගොඩ
ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ සමහරු එංගලන්තයට ගියාම මාස තුනෙන් සුද්දෙක් වෙන්න හදනවා. සිංහල ‘මතක බැරිවෙනවා’ සුද්දන්ගෙ කෑම කන්න හදනවා. නමුත් අප වටහාගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි සුද්දා සහ අපි අතර නොබිඳිය හැකි කඩතුරාවක් තිබෙනවාය කියන කාරණාව. අපි කොහේ උන්නත් අපේ මුල් තිබෙන්නේ මෙතැන. අපේ සංස්කෘතික ධාරණාව නොකැඩිය හැකි සියුම් තන්තුවක් වගේ අපත් එක්ක එනවා. නමුත් අපේ සංස්කෘතිය විසින්ම අපට උරුම කරල දීලා තිබෙන ලක්‍ෂණයක් තමයි ඕනෑම සංස්කෘතික සමාජයකට අවශ්‍ය පරිදි නම්‍යශීලී වීමේ හැකියාව. ඒක මටත් තිබෙනවා.

චින්තක
තීරු ලිපි රචකයෙක් වීමට ඔබේ ප්‍රවිෂ්ටය සිදු වන්නෙ කොහොමද? එය නිරුත්සාහිකව ඔබ වෙත ලැබුණු ආරාධනාවක්ද නැත්නම් තීරු ලිපි රචකයෙක් විය යුතුය කියන අධිෂ්ඨානයෙන් පැමිණි ගමනක්ද?

අනුර හෑගොඩ
මෙහෙමයි. ලිවීමේ වුවමනාව සහ හැකියාව කවදත් මා තුළ තිබුණා. නමුත් විශේෂයෙන් තීරුලිපි රචකයෙක් වෙන්න ඕනෑය කියන හැඟීම කොයිකාලෙදිවත් තිබුණෙ නෑ. නමුත් ලන්ඩනයේ ජීවත් වූ මට එහි පළ කෙරෙන ‘ලංකා විත්ති’ පුවත්පතින් ආරාධනාවක් ලැබුණා ඊට ලියන්නට. එහි පළවුණු මගේ තීරුලිපියක් දැක්ක බන්දුල පද්මකුමාර මහතා ඉරිදා ‘ලක්බිමට’ ලියන්නට ආරාධනා කළා. ඉන් පසුව ගාමිණී සුමනසේකර මහත්මයාගෙ ඇරයුමෙන් ‘දිවයිනට’ ලිව්වා.

චින්තක
ශ්‍රී  ලංකාවේ ඔබට ආසක්ත කරවූ, ඔබට පරමාදර්ශයක් වූ නොඑසේ නම් ඔබව අමන්දානන්දයට පත්කළ තීරුලිපි රචකයන් කවුරුන්ද?

අනුර හෑගොඩ
හ්ම්.... (කල්පනා කරමින්) මට පරමාදර්ශයක් වූ...? මට ඒක එහෙමමදැයි නිශ්චිතව කියන්නට බැහැ. නමුත් රත්න දේශප්‍රිය සේනානායක මහතා ලියූ ‘වනාහී’ නම් තීරු ලිපිය මම ඉතාමත් ආශාවෙන් කියවූ එකක්. සමහර විට ඔබේ පරම්පරාව ‘රත්න දේශප්‍රිය සේනානායක’ ගැන අහලවත් නැතුව ඇති ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙ මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්.

චින්තක
ඔබේ තීරු ලිපිවලින් බොහෝ විට දක්නට ලැබෙන්නේ ලංකාව පිළිබඳ විවේචනාත්මක අදහස්. නමුත් එහි යටිපෙළෙන් මතුවෙනවා ලංකාව සමඟ ඔබට තිබෙන තදන්තර ආත්මීය බැඳීමත්.

අනුර හෑගොඩ
කෙටියෙන් කීවොත් මම ලංකාවට බොහොමත් ආදරෙයි. නමුත් ඓන්ද්‍රීය ලංකාව හෙවත් ගංගා ඇළ-‍ෙදාළ, කඳුවැටි, ගහකොළින් පිරී ගිය ලංකාව ගැන නෙවෙයි, එම ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ හා පොදු සමාජ ක්‍රියාකාරකම් ගැන නම් මට විවේචනයක් තිබෙනවා තමයි.

චින්තක
ඔබේ තීරු ලිපි කියවන බොහෝ පිරිසක් ලංකාව පුරාම වගේම ලෝකය පුරාමත් විසිරී සිටිනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.

අනුර හෑගොඩ
(සිනාසෙමින්) ඒ ගැන නම් කියන්නට තිබෙන්නේ ඉතා උණුසුම්... කියලා තමයි. මගේ සෑම තීරු ලිපියක්ම පළවුණාට පස්සෙ මම මගේ ඊ-මේල් ගිණුම පරීක්‍ෂා කර බලන්නේ තරමක සැලෙන හදවතින්. මොකද මල් වගේම ගල්වලිනුත් අඩුවක් නැහැ මට.


චින්තක ටිකිරිබණ්ඩාර

2012/10/28

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය 

ලංකාවේ අපි එකිනෙකට නොගැළපෙන, එමෙන්ම එකිනෙකට අතිශය ප්‍රතිවිරුධතාවයන් පෙන්වන ප්‍රපංචයන් මනාව එකිනෙක හා ගළපාගෙන කටයුතු කරන්නට අතිමහත් දක්ෂතාවයක් දක්වන පිරිසක්. මගේ මේ හැගීම තහවුරු කරන  කාරණාවක් අද හිමිදිරියේම මට සිහිපත් වුණා. ගෞතම බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නට පූර්ව රාත්‍රීයේ දුටු සිහින අතර එක් සිහිනයක් වූයේ සිවුදිගින් පියඹා එන චතුර් වර්ණ කුරුල්ලන් සිවු දෙනෙක් තමන් වහන්සේ සමීපයට පැමිණ එකම වර්ණයකට හැරෙන ආකාරයේ සිහිනයක්. මේ සිහිනය පසුකාලීන අනුගාමිකයන්ට සිහිපත් කොට දුන් වැදගත් කාරණාව වූයේ බුදු සසුන කුලය නැමති පටු මානව බෙදීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් පිරිසිදු බුදු දහම ආරක්ෂා වී යැයි මහත් සාඩම්බරයෙන් ලොවට හඬගා කියන අපේ රටේ පැවිදි සමාජයේ නිකාය බෙදීම් වලට තීරණාත්මක සාධකය බවට පත්කරගෙන තිබෙන්නේද කුලයයි. ලංකාවේ එක් බෞද්ධ නිකායක පැවිදි උපසම්පදා  වීමට නම් ගොවිගම කුලයේ අයෙකු වීම අනිවාර්‍යයි.මිනිසා වසලයෙකු හෝ බාහ්මණයෙකු යැයි තීරණය කරන එකම සාධකය ඔහුගේ ක්‍රියාව පමනකැයි පිළිගන්නා ආගමික ඉගැන්වීමක පුරෝගාමී අනුගාමිකයින් වන පැවිදි සමාජයම එම මූලික ඉගැන්වීම උල්ලංඝනය කරමින් එම ඉගැන්වීම් පිළිබදව බණ දේශනා කරමින් කටයුතු කිරීම සදාචාර විරෝධි වන අතර එම පරස්පරයන් එතිහාසිකව වෙනස්කිරීමට ත්‍රයිනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කළ යුතුව ඇත.  

2012/10/06

මේ කාගේදෝ කමතා

ගමෙන් සිංඩියක් ගෙනාවෙමි. 



නිවාඩුවට ගමේ ගියත් කාලය ගතවුණේ අන්තර්ජංජාලයේය. කලෙක ගමට බෙහෙවින් ආදරය කළ මට දැන් ගම වෙත ගිය කල්හී පිටස්තරකාරී හැගීමක් දැනෙන්නේ ඇයිදැයි නොතේරේ. මට සිහිවන්නේ සේකරගේ 'ගම අමතකයි' පද්‍ය පන්තිය. 

"සිදාදියට එන්නට මට 
බුද්ධිය නුඹ තමයි එදා පාර කියාදුන්නේ.. "

කාලෙකින් සේකර කියවන්නට නොලැබිණි. දැන් කවිය මතකයෙ නැත.අන්තර්ජාලයේම නිවාඩුව ගතකළ මා ආයිත් හුදකලා නවාතැනට පැමිණියේමි. නිකන්ම නොවේ. මා හැදූ අලුත් බ්ලොග් සිංඩියකුත් සමගින්. 

මාත් සිංඩියක් හදන්න ඕනෑයැයි මට සිතුනේ සිංහල බ්ලොග් ලෝකයේ සිංඩි ගණනාවකට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගැනීමට උතසාහ දරා වෙහෙස වූ කල්හිය. බලාපොරොත්තු කඩවූ කල්හිය. සිංඩි දහයකට වඩා ප්‍රමාණයකට මා අයදුම් කළ නමුත් මෑතකදී මා එක් කරගනු ලැබූයේ සිංඩි තුනකින් පමණය. ඒවා මොනවදැයි අමුතුවෙන් කියන්නට අවැසි නොවේ. මට මුලදී තල්ලුව ලැබුණේ සුමිත් නිරිඇල්ලගේ ප්‍රහාරයෙනුත්  ,රාජ්ගේ නවාතැනිනුත් ටික දවසකට පසුව හසිතගේ ආගිය කතා  සහ සිරාගේ කාමරයෙනුත්  ය. 

සිංඩියකින් බ්ලොග් අඩවියකට ලැබෙන සහයෝගය අති මහත් වෙයි. මම මෙවැනි සිංඩියක් අරඹන්නට සිතුවේම අලුතින් බ්ලොග් ලෝකයට පිවිසෙන නිර්මාණකරුවන්ට සහයෝගයක් ලබා දිය යුතුයැයි මට බලවත් සිතුවිල්ලක් තිබුණු නිසාවෙනි. හොදම උදාහරණය මචං- මාතලන්  ඔහුගේ සිංඩියෙන් අළුත් බ්ලොග් කරුවන්ට ලබාදෙන සහයෝගයයි. 

කමත ඇරඹෙන්නේ එවැනි අරමුණකිනි. 

උඹ සිංඩියක් පටන්ගන්න්ට තවම කල් වැඩියැයි මිතුරන් දෙතුන් දෙනෙක් කීවේය. එහෙත් මගේ ආශාව වඩාත් ප්‍රභල විය. මගේ බ්ලොග් අඩවිය මෙවනි කාරණා සදහා යොදාගන්නට මම අකැමැති නමුත් සිංඩිය ගැන කියන්නට වෙන මගක් නැත. 

කමතට දැනට ඇතුළ් කර ඇත්තේ මා කියවන බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් පමණි. ඒවා ප්‍රවර්ග කොට බෙදා දක්වන්නට මා උත්සාහ කළේය., නමුත් එය දුෂ්කර කාරියක් විය. සමහර විට ඔබේ අඩවිය තිබිය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ගැන මට කියන්න. 

මෙතනින් කමතට ගොහින් බැත රාසි කරන්න ඇහැකි 

ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව සිතට හයියකි. 

2012/08/07

ගුවන්විදුලි නාට්‍ය

යකාගේ ව0ගුව මතකද ?
මම පොඩිකාලේ මට මතකයි අපේ ගෙදරට ලයිට් තිබුනෙ නෑ .(ලයිට් කියන්නේ විදුලිබලය හොදේ. )ඉතින් ඒ  හින්දම ටෙලිවිශොන් එකක් තිබුනෙත් නෑ. මන් ඉතින් පොලොන්නරුවෙ බයියෙක් නොවැ. කොහොම වෙතත් ඒ අඩුපාඩුව මැකෙන්නත් එක්ක අපේ ගෙදර තිබුනා රේඩියෝ එකක්.එකක් නෙමෙයි දෙකක්ම තිබුනා ..එත් අනික තිබුනේ අත්තම්මගෙ කාමරේ ..ඒක අල්ලන්නවත් තහනම් අපිට. මම මේ කියන්නෙ 94-2000 අතර කාලේ ගැන. ඒකාලේ දැන් වගේ චැනල් මහ ගොඩක් තිබුනේ නෑනෙ. වෙළද සේවයයි ,,ස්වදේශීය සේවයයි ..නමුත් වෙනත් චැනල් එකක වුවමනාවකුත් අපිට දැනුනෙ නැත්තෙ දැන් වගේ ඒ දවස් වල රජයේ මාධ්‍ය ආයතන නහය වහගන්නෙවත් නැතුව ආණ්ඩුවෙ රෙදි හෝදන්න නොගිය නිසයි. ඒ ටික වෙනම පෝස්ටුවකින් කතාකරන්න වටිනවා .ඉතින් අපි පොඩිකාලෙ මම මේ රේඩියෝ එකට පිස්සු වැටිලයි හිටියේ .
රේඩියෝ වැඩසටහන් වලින් මන් කැමතිම ඒවා කිහිපයක්ම තිබුනා. ගුරුගේ මැණික් වාසනා උදාව (ඒක මෙහෙයවූයේ ජේෂ්ට නිවේදක ලලිත් එස් මයිත්‍රීපාල මහත්මයා. ),ඊලගට අම්බිගා ගීතයෙන් ගීතය ,,පිබිදෙන ගායක පරපුර ,,ඊටපස්සේ ගුවන්විදුලි රගමඩල ..මේ අතරින් මම කැමතිම වුනේ ගුවන්විදුලි නාට්‍ය වලටයි .

.අපි හැමෝම ඒ දවස්වල රේඩියෝ නාට්‍ය යනකොට ලගට වෙලා අහගෙන ඉන්නවා. වචනයක්වත් මග ඇරුනොත් කියලා බයයි. ඒකයි ලගට වෙලා ඉන්නෙ. ඔන්න ඉතින් එතකොට පප්පා(අප්පච්චි) කෑගහනවා ඈතට වෙලා අහපල්ලා කියලා .මන් ඉස්සර කාලේ ආශාවෙන් අහපු නාට්‍ය ගනනාවක් තිබුනා. හැමදාම රෑ 8.30 ට නාට්‍ය පටන් ගන්නවා. වෙලද සේවයේ ටයිම් බෙල්ට් එක තමයි ඒක ..ස්වදේශීය සේවයේ (ඒකට අපේ අත්තම්මලා එහෙම කීවෙ පළවෙනි සේවය කියලා. එතකොට වෙලද සේවය ගමේ ගොඩේ අය අතර හැදින්වුනේ දෙවනි සේවය කියලයි )නාට්‍ය පටන් ගත්තේ හරියටම අටට. එත් බදාදට ස්වදේශීය සෙවයේ රාත්‍රී ධර්ම දේශනාවක් තියෙනවා. 

ඒ දවස්වල ගුවන්විදුලි නාට්‍යක ගුවන් කාලය වුනේ මිනිත්තු 30යි ..ගුවන්විදුලි රගමඩලේ ප්‍රචාරය වුනේ එක දවසින් ඉවර වෙන ඒකාන්ගික නාට්‍ය. ගොඩක් දුරට පරිවරතන නාට්‍ය තමයි රගමඩලෙන් ප්‍රචාරය වුනේ ..නමුත් ඉතාම නිර්මාණශීලී  ස්වතන්ත්‍ර නාට්‍යත් ප්‍රචාරය නොවුනාම නොවෙයි ..මට මතකයි එක දවසක් ප්‍රචාරය වෙච්චි නාට්‍යක මනුස්සයෙකුට මානසික රෝගයක් වැළදෙනවා ..ඒ රෝගයේ ලක්ශනයක් තමයි කොටියෙක් වගේ කෑගැසීම. ..ඒක හරිම උත්ප්‍රාසජනකයි ..ඒ දවස්වල කොටි කලබල දරුනුවටම තිබ්බනේ ..ඊට පස්සේ මේ මනුස්සයාට ප්‍රතිකාර කරන්න වෙද්‍යවරයෙක් ලගට යනවා. බෙහෙත් කරන්නේ වෙද්‍යවරයාගේ ගෙදර නතර කරගෙන. එහෙ තව වයසක පහේ මනුස්සයෙකුත් ඉන්නවා. කොහොම හරි කාලය ගතවෙනවා.අර රෝගියා දිගින් දිගටම කොටියෙක් වගේ කෑගසමින් ජාතිවාදී ද්‍රවිඩයකුගේ මුවට පුරුදු වචන කියමින් කෑගසනවා.වෙයිද්‍යවරයා උපේක්ෂා සහගතව මුලදී මේ තත්වය ඉවසා සිටිනවා.නමුත් කතාව අවසන් වෙන්නේ වෙයිද්‍යවරයාටත් එම මානසික රෝගයම වැළදීමෙන්. වෙයිද්‍යවරයා සින්හයෙක් වගේ කෑගසමින් සින්හල ජාතිවාදියකුගේ වචන කියමින් මොර දෙන අයුරු අපට ඇසෙනවා.  මෙවනි අපූරු නාට්‍ය ගනනාවක්ම ගුවන්විදුලි රගමඩලෙන් ප්‍රචාරය වුනා. 

ඒකාලයේ ජනප්‍රිය නාට්‍ය ගනනාවකම තිබුනා. එ අතරින් එකක් තමයි යකාගේ වන්ගුව කියන්නේ. එය ,අද්භූත,ත්‍රාසජනක වර්ගයේ නාට්‍යක්. මේ නාට්‍ය නිශ්පාදනය හෝ රචනා කලේ කවුරුන් විසින්ද කියලා ඇත්තටම මට මතක නැහැ. නමුත් මම ඉතාම අශාවෙන් ඒ නාට්‍ය රසවින්දා. යකාගේ වන්ගුව අහලා ඉවරවුනාම ගේ ඇතුලේ ඇවිදින්නත් මම හරි බයයි. මුවන්පැලැස්ස කියන්නේ ලන්කාවේ එදා මෙදා තුර ජන්ප්‍රියම ගුවන්විදුලි නාට්‍ය කියලා කිවුවොත් ඒකේ වැරැද්දක් නෑ මම හිතන්නේ. මම මුවන්පැලැස්ස අහනකොට ඒක රචනා කරමින් හිටියේ වික්ටර් මිගෙල් මහත්තයා.ඔහුම තමයි කදිරාගේ චරිතය රගපෑවේ. වික්ටර් මිගෙල්ගේ මරනයෙන් පස්සේ ගැමුනු විජෙසූරිය මහත්තයත් මුවන්පැලස්ස කාලයක් රචනා කෙරුවා. මුවන්පැලැස්සේ පිනාගේ චරිතය වගේම ගුරුන්නාන්සෙගෙ චරිතයටත් හඩ මුසු කලේ එතුමාමයි. ඒ වගේම මුවන්පැලැස්සේ ජන්තු හෙවත් කදිරාගේ කල්‍යාණ මිත්‍රයාගේ චරිතය රගපෑ ශ්‍රි නිමල් පද්මකුමාර මහත්තයත් මුවන්පැලැස්ස රචනා කෙරුවා. ඒ තරමක් මෑතකාලයේදී .

.හ්ම්ම්ම්... බලාගෙන යනකොට මේ පෝස්ටුව මන් හිතුවට වඩා දිග්ගැස්සෙන පාටයි. ඉතින් කතාවේ ඉතිරි ටික ආයෙමත් ඉඩක් ලැබුනු හැටියෙම පොස්ට් කරන්නම් කියල හිතාගෙන ම්න් මේ ටික පබ්ලිශ් කරනවා ඈ ...
...චින්තක ටිකිරිබණ්ඩාර 


2012/08/06

ලන්කාවෙ කුල සම්ප්‍රදායන්

ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?

උපතින්ම කිසිවෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙන වග ධම්මපදයේත් සදහන් වෙලා තියෙනවා .ලන්කාව අවුරුදු දෙදහස් ගනණක ඉතිහාසයේ පටන්ම බණපොත කටපාඩමින් කියවාගෙන ආ සමාජයක් උනත් කුලය පිළිබද පාරම්පරික අදහස්, මතවාද, ආකල්ප වෙනස් කරාගෙන තිබෙන්නේ බොහෝම අඩුවෙන්. බැලූ බැල්මට නොපෙනුනත් ලන්කාවේ ආර්ථික, සාමාජයීය ,දේශපාලනික හා සන්ස්කෘතික යන අන්ශවලට මේ කුලය කියන සාධකය ඉතාමත් තදින් බලපාලා තිබෙනවා. ඩී. ඇස් සේනානයක විසින් ලන්කාවේ නිදහසින් පසුව පිහිටවූ මුල්ම ජනපද කිහිපයින් එකක උපන් මට කුලය කියන සාධකය සමාජය තුල ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව පෞද්ගලික අත්දැකීම් බොහොමයක් තිබෙනවා .අඩු කුලයකයැයි සැලකුනු මිනිසුන්ට ගමේ පාසලේදී, පන්සලේදී ,පාරේදී විදින්නට සිදුවූ ගැහැට මා දැක තිබෙනවා. කුලය කියන සාධකය ඉතාම පැහැදිලිව සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය දැක බලාගන්න පුලුවන් අවස්ථාවක් තමයි පත්තරේ මන්ගල දැන්වීම් පිටුව. 


         ලන්කාවේ කුල ක්‍රමය ගැන කතා කරනකොට වැඩිපුරම මතුවෙන කතාවක් තමයි ,,ඉන්දියාවේ තරමට දරුණු ආකාරයෙන් අපේ රටේකුල ක්‍රමය ක්‍රියාත්මක වුනේ නැහැ කියන එක .ඒක ඇත්ත උනත් කුලය කියන සාධකය අපේ රටේ තීරනාත්මක ඉතිහාසික සන්සිද්දීන් වලට බලපෑම් කෙරුවා ..මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ කුලය කියන කාරණාව මෙරට සමාජයේ ගමන් මගට බලපාන ලැබූ අකාරය පිලිබදව සලකා බැලීම තමයි .නමුත් ඊට කලින් කුලය ගැන ඔබ නොදන්නා කාරණා කිහිපයක් තිබෙනවා කියන්නට. 

ලන්කාවේ කුල නාමයන් 

  1. ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
  2. කරාව (මසුන් මැරීම )
  3. සලාගම -(කුරුදු තැලීම )
  4. දුරාව -(රා මැදීම )
  5. හුනු -(අළු හුනු කර්මාන්තය )
  6. ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
  7. හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
  8. වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම) 
  9. කුබල් /බඩහැල -(වළන් සෑදීම )
  10. දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
  11. නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )
  12. බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ  )
  13. ගහල -(මළ බෙර ගැසීම )
  14. කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය  )
  15. රොඩී/ හුළවාලි -(හිගමන )
මේ දක්වා තිබෙන්නෙ ලන්කාවේ සියලුම කුලයන්ගේ ලැයිස්තුවක් .නොවේ.මීට මගහැරුනු කුල බොහොමයක් තිබෙන්නට පුලුවන්. නමුත් මෙරට කුල ධූරාවලියේ පෙලගැස්ම බොහෝවිට ඉහත ලැයිස්තුවට සමපාත වෙන බව මගේ විස්වාශයයි .ඉහත දක්වා ඇති කුලයන් ඇතුලුව ලන්කාවේ සියලුම කුලයන් පහත දැක්වෙන ආකාරයෙන් වර්ග කර දක්වන්නට පුලුවන් .
  1. ගොවි කුලය 
සින්හල කුල ධූරාවලියේ ඉහලම සහ විශාලතම කුල ඒකකය වශයෙන් ගොවි කුලය හදුන්වන්නට පුලුවන්. ඉහත සටහනෙ අන්ක 1යටතේ දක්වා තිබෙන්නෙ ගොවි කුලයයි 
      2පහතරට කුල 
ඉහත සටහනේ අන්ක 2 සිට 5 දක්වා සටහන්වී තිබෙන්නේ මේ ඒකකයට අයත් කුලයන්. විශේශයෙන්ම පහතරට මුහුදුබඩ පලාත්වල මෙම වර්ගකිරීමට යටත් කුලයන් ඩැක ගත හැකියි .
      3.සේවා කුල 
අන්ක 6 සිට 12 දක්වා කුල අයත් වන්නේ සේවා කුල ගනයටයි ..සේවා කුලවල ප්‍රධාන කාර්යභාරය වූයේ තමන්ට වඩා ඉහල කුලවල අයට සේවය කිරීමටයි . ඒ නිසාමදෝ සමාජයේ ඉහල කුලවල අය අතරේ සේවා කුලවල මිනිස්සුන්ට යම් පිලිගැනීමක් ලැබී තිබුනා .
      4.කොන් වීමට ලක්වූ කුල 
.ඉහත සටහනේ අන්ක 12 න් පසුවට සදහන් වෙන කුලයන් සමාජයේ කොන් වීමට යම් තරමකට ලක්වුනා වුවත් ඉන්දියාවෙ අශ්පර්ශීය කුලයන් තරමට සමාජයෙන් ඔවුන් කොන් වීමට ලක් වූයේ නැහැ. 

         ලන්කාවේ කුල  ක්‍රමයේ සැකැස්ම ඒ ආකාරයට සරලව  දක්වන්න පුලුවන් ..මගේ ඊලග පෝස්ටුවෙන් අපේ රටේ කුල ක්‍රමය සමාජයේ ඉදිරි ගමන්ට බලපෑවේ කොහොමද කියලා ලියන්නට බලාපොරොත්තුවෙනවා ..ඒ වාගේම මේ ලිපිය ලියන්නට මහාචාර්ය කාලින්ග ටියුඩර් සිල්වා ගේ 'කුලය පන්තිය හා සමාජ ගැටුම' කියන පොත ඇසුරු කරගත් බවත් සදහන් කරන්නම ඔනේ .
චින්තක ටිකිරිබණ්ඩාර .


      



නටබුන්පල්ලාගේ කතා වස්තුව

වී .ඇම් .ධර්මරත්න හෙවත් 
නටබුන්පල්ලාගේ කතා වස්තුව 

මීට වසර හතකට හෝ අටකට කලින් මම පොලොන්නරුවේ පලුගස්දමන මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ තිබුනු උපහාර උත්සවයක් මට තාමත් මතකයි .උත්සවය සන්විධානය කරලා තිබුනේ පොලොන්නරුවේ ගුරුලුගෝමි කුලකය විසින්. ඒ පොලොන්නරුවේ පුරාවස්තූන් රැකබලාගැනීම වෙනුවෙන් වචනයෙන් කිව නොහැකි සේවාවක් ඉටුකල කම්කරුවෙක් වගේම මුරකරුවෙකුත් වූ වී ඇම් ධර්මරත්න වෙනුවෙන් .අද වන විට මම  ධර්මරත්න අයියා පිලිබදව වග තුග කිසිවක් නොදන්නා නමුත් ඔහු හා ඔහුගේ පරම්පරාව පොලොන්නරුවේ පුරාවිද්‍යා නටබුන් අනාගත පරම්පරාවන්ට ඉතිරිකරදීමට දැක්වූ වෙහෙස කැපවීම් සහ පරිත්‍යාගයන් ලියා තැබිය යුතුමයි. මේ ලිපිය ඒ නිසාමයි .

පොලොන්නරුවේ නටබුන් ගුවනින් ගත් ජායාරූපයක් 
ඔහුගේ සම්පූරණ නම චිත්‍ර විචිත්‍ර විනේකබාහු විසේන්ද්‍රි පටබැදිලාගේ මතෙශ්හාමිලාගේ ධර්මරත්න නම් වෙයි. ඔහුගේ සීයා, බාප්පලා ,මාමලා ආදි කවුරුනුත් පුරාවිද්‍යා කැණීම්බිම්වල කම්කරුවන් විදිහට කටයුතු කල අය .1968 අවුරුද්දේ ධර්මරත්නත් පුරාවිද්‍යා කම්කරුවෙක් විදිහට සේවයට එක් වෙනවා .එතැන් පටන් පොලොන්නරුවෙ නටබුන් රැක බලා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතුකල ධර්මරත්නයන් ගේ ජීවිතකතාව ඉතාමත් අපූරුයි. එදා ගුරුලුගෝමී කුලකය අමතා මේ කම්කරුවා කල කතාවත් අකුරක් නෑර මට තවමත් මතකයි .ඒ මතකය ක්ශයවී යාමට පෙර මේ උත්තුන්ග මිනිසා මෙරට නටබුන් රැකබලා ගැනීම වෙනුවෙන් කල සෙවාව වෙනුවෙන් ඔහු එදා කල කතාව ඇසුරින් නවකථාමය ස්වරූපයෙන් සටහනක් ලියා තබන්නට මම කල්පනා කරනවා. මේ පෝස්ටුව කියවන ඔබ සැමගේම අදහස් මේ පිලිබදව බලාපොරොත්තුවනවා.
චින්තක ටිකිරිබණ්ඩාර.