2023/12/25

ගායනයෙන් නන්දා මාලනියට දෙවනි වූ බදුල්ලේ මොහිදීන් බෙග්

 මුවන්පැලැස්සේ '' කදිරා ''ලෙසින් සිංහල සිනමා වංශකතාවේ තම නම අභිමානයෙන් සනිටුහන් කෙරූ , ප්‍රවීන සිනමානළු රෙක්ස් කොඩිප්පිලි මහතා  85 වන වියේදී තම ජීවන ගමනේ අවසානය සනිටුහන් කරනු


ලැබුවා.

1971 දී කතුරු මුවහත් නම් සිනමා පටයෙන් තම සිනමා ගමන ඇරඹු කොඩිප්පිලි මහතා චිත්‍රපට 130කට අධික ප්‍රමාණයක තම රංග පෞරුෂය මුදාහැර තිබෙනවා. මුවන්පැලැස්සේ කදිරා ගේ චරිතය මෙන්ම රක්තා චිත්‍රපටයේ ධනූ ,සාගරිකා හි රත්නේ අයියා, කොටිවලිගයේ සාජන්ට් සිල්වා චරිත  රෙක්ස් ගේ අමතක කළ නොහැකි රංග ප්‍රතිභාවයන් වේ.

දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් මෙන්ම පිහිනුම් ශූරයෙක් ද වූ රෙක්ස් ජෝෂප් කොඩිප්පිලි මහතා 1958 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසීයේ පළමු පිහිනුම් කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ ද තරුණ රෙක්ස් ජෝෂප් මහතා යි. නමුත් ඔහු වැඩි කාලයක් පොලිස් සේවයේ නොසිටින අතර ඉන් ඉවත් වනවා.

සත්‍ය වශයෙන්ම අප දකින ලද රංගන ශිල්පියාට වඩා රෙක්ස් තුළ ගායකයෙකු සැගවී සිටියා. පොලිස් සේවයෙන් ඉවත් වීමෙන් පසුව ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික පැය නම් ගායනා තරගයකට ඉදිරිපත් වූ තරුණ රෙක්ස් ඉන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. රෙක්ස් ගේ දෙවැනි ස්ථානයේ වටිනාකම තවත් අනර්ඝ එකක් වන්නේ එහි පළමු තැන ලබන්නිය නිසාය. ඒ් පසුව අප දන්නා විශාරද නන්දා මාලනිය යි. රෙක්ස් ගේ ගායන හැකියාව කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් ඔහුගේ උපන් ගම නමින් '' බදුල්ලේ මොහිදින් බෙග් '' ලෙස ඔහු අන්වර්ථ නාමයකින් ජනප්‍රියව සිට තිබෙනවා.

සිනමා නළු ඔස්වල්ඩ් ජයසිංහ සමගින් මිතුරුදමක් රෙක්ස් ට තිබූ අතර ඔස්වල්ඩ් සමග ගැවසුණු මේ තරුණයා ව අධ්‍යක්ෂක කේ.ඒ්.ඩ්බ්ලිව් පෙරේරා ගේ ඇස ගැටෙන අතර කිසියම් සුවිශේෂිත්වයක් තරුණයාගෙන් දකින් කේඒ්ඩබ්ලිව් ගේ ආරාධනයෙන් පික්පොකට් චිත්‍රපටයේ කුඩා චරිතයක් රෙක්ස් ට හිමිවෙනවා. ක්‍රීඩාවට සහ සටන් කලාවට තිබූ ආදරය සහ ආශාව නිසාම චිත්‍රපටවල රගපෑමට මෙන්ම ත්‍රාසජනක දර්ශන වෙනුවෙන් පෙනී සිටීමටත් රෙක්ස් නිතැතින්ම පෙළඹෙනවා. එවැනි අවස්ථා කිහිපයකදී ම රෙකස් බරපතළ ලෙස තුවාල ලබන්නේ තම වෘත්තිය ජීවිතයේ ආරම්භයේදීමයි.

1974 දී රෙක්ස් විසින් '' ඔන්න බබෝ බිල්ලෝ එනවෝ'' චිත්‍රපටයේදී ගුවනේ ගමන් කරන හෙලිකොප්ටරයක් මත මහානළු ගාමිනී ‌ෆොන්සේකා සමගින් කරන ත්‍රාසජනක සටන් දර්ශනය සිංහල සිනමාවේ අමතක කල නොහැකි අවස්ථාවක්. ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය ගැන අද සිටින ඔබට මතක් කල හැකි වන්නේ ජෝතිපාලයන් සරසවි සම්මානය දිනූ මේ ජීවනයේ මුළු සංසාරේ ගීතය ඇතුළත් චිත්‍රපටය වශයෙනි.

සරසවි සම්මානය ගැන කිවූ නිසාම රෙක්ස් විසින් සරසවි සම්මානය දිනාගත් වගත් නොලියා නොසිටිය නොහැක. සටන් නළුවාගේ සිට රංගාවතරණය කරමින් ප්‍රේමවන්තයාගේ චරිතයත් එතැනින් වඩාත් බැරෑරුම් චරිතයන් ටත්  පණපෙවූ රෙක්ස් ට 1987 දී කොටි වලිගයේ සාර්ජන්ට් සිල්වා ගේ චරිතය වෙනුවෙන් සරසවි සම්මානය හිමිවූයේය.

ඉදින් , සිංහල සිනමාව වර්ණවත් කිරීමට අනුපමේය සේවයක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතාණෙනි, ඔබව සුව නින්දක් වේවා.

 

 

2023/07/11

බිග් ජෝර්ජ්ගේ කතාව


 චරිත

—---------

1 . ජො ප්‍රෙයිෂර්.-  බොක්සිං ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් ලෙස හැදින්වෙන මොහු මොහොමඩ් අලිව පරාජයට පත්කළ පළමු වැන්නා ලෙසින් ඉතිහාසගත වනවා.


2. මොහොමඩ් අලී - බොක්සිං ඉතිහාසයේ විශිෂ්ටයා වශයෙන් හැදින්වෙනවා.


3. මයිකල් මූර් - ඇමරිකානු හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයෙක්


******************************************************

යාන්තම් වයස අවුරුදු විසි දෙකේදී, මම ජෝ ප්‍රේයිෂර් ට එරෙහිව ජැමෙයිකාාවේදී පැවැත්වෙන්නට නියමිතව තිබූ ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය සඳහා සූදානම් වෙමින් සිටියෙමි.ඒ මහා කලබලකාරී කාලයේ නිසල ජලය ගැඹුරු සහ සුපැහැදිලි බැව් මා තේරුම්ගෙන නොසිටියේය. එකල මා අන්ධය. 


ඒ නොතේරුම්කමින්ම ඉතා කෙටි වට දෙකකින් මා ප්‍රතිවාදියා බිම හෙළා දැමීය. නමුත් මගේ තරුණ මදය සහ කෝපය ලෝක හෙවිවේට් ශූරතාවය අවුරුදු දෙකක් මා වෙත රඳවා තබන්නට ඉඩ නොදුන්නේ ය. 


වසර දෙකකින් , සයරේදී  මොහොමඩ් අලී ට එරෙහිව හෙවිවේට් ශූරතාවය වෙනුවෙන් පැවැත්වුණු සටනේදී මම මගේ ශක්තිය කලින්ම නිෂ්ප්‍රයෝජන ලෙසින් නාස්තිකර දැමුවෙමි. ඉවසීම යන වචනය මා අසාවත් නොතිබිණි . අටවන වටයේදී මගේ හෙවිවේට් කිරුළ උදුරාගෙන තිබුණි.


එය මගෙන් ඩැහැගනු ලැබුවේ  මොහොමඩ් අලී නොව මගේ මුග්ධ නොඉවසිල්ල බැවු මා වටහා ගනු ලැබූයේ බොහෝ ප්‍රමාදවය. 


ප්‍රමාදවී ඉගෙනගත් ඉවසීම මා වෙනස් මිනිසෙක් බවට පරිවර්තනය කළේය, එමෙන්මනැවත මා වෙත ලෝක හෙවිවේට් ශූරතාවය ගෙනැවිත් දුන්නේය. නමුත් ඒ වසර විස්සකින් පසුවය. 


මට මයිකල් මූර්ව ලාස් වේගාස් හි  බොක්සිං වළල්ල මැද මුණගැසුණි. ⁣වයස අවුරුදු 45ක් වූ බොක්සිං වළල්ලට මහල්ලෙක් ව සිටි මගේ පරාජය කල් තියාම අනුමාන කර තිබූ බව මා දැන සිටියෙමි.නමුත් ඉවසීම මා වෙත විය.  සියල්ල පළමු වටයේදීම සිදු කිරීමට මට උවමනා නොවිණි. සුපරික්ෂාකාරී වීමි. මම මාවම රැක ගත්තෙමි. සුදුසුම පහර එල්ල කිරීමට සුදුසුම මොහොත එළඹෙන තෙක් දහවන වටය දක්වා කල්මැරීමි. අවසානයේදී මම එය කළෙමි. නැවතත් වසර විස්සකට පසුව ලෝක හෙවිවේට් කිරුළ මා වෙත විය. 


එය මට ලබාදුන්නේ ඉවසීමයි. සියල්ල සුදුසුම කාලයේදී ඔබට ලැබෙනු ඇති අතර ඒ වෙනුවෙන් ඉවසීමෙන් සූදානම් වන්න.


*ජෝර්ජ් ෆෝර්මන්. 


  =======පසු සටහන===============

(වයස අවුරුදු 48 දී ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය දෙවැනි වරටත් දිනාගත් ජෝර්ජ් ෆෝර්මන්. බිග් ජෝර්ජ් යන නමින් බොක්සිං වළල්ලේදී හැදින්වූ මොහු ලෝකයේ වැඩිම වයසකදී හෙවිවේට් ශුරතාවය දිනාගත් ක්‍රීඩකයා ලෙස හැදින්වෙනවා. හෙවිවේට් තරඟ 81 ක්  ක්‍රීඩා කර ඇති ෆෝර්මන් තරඟ 76ක් දිනා තිබෙනවා, එයිනුත් තරඟ 68ක් තනිකරම නොකවුට් පහරදීමි මගින් ජයග්‍රහණ අත්කරගත් ඒවා යි. ඔහුගේ වර්ණවත් විශිෂ්ඨ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් බොක්සිං විශිෂ්ඨ යා මොහොමඩ් අලිව පරාජය කරන්නට අවස්ථාවක් ඔහු අබිමුව බැබළෙමින් තිබුණා වුවත්, ඔහුගේ යොවුන් මදය සහ  නොඉවසිලිමත් කෝපය එම අවස්ථාව ඔහුගෙන් උදුරාගනු ලැබුවා. පසුකලෙක ග්‍රන්ථ කතුවරයෙක් ද වූ ෆෝර්මන්  මේ පිළිබඳව ලියා තිබූ සටහනකුයි මේ.


ජෝර්ජ් ෆෝර්මන් ගේ ජීවිත කතාව ඇසුරින් මේ වසරේදී එම නමින්ම හොලිවුඩ්  චිත්‍රපටයක්ද නිපදවුණා  )


2021/09/05

රතු අඟහරු ප්‍රේමයක්


මා මෝනා ඇල්ක්සැන්ඩ්‍රියා. ගගනගාමීනිීයක්. 

රමෙල් ඊයේ රාත්‍රීයේදී මියගියේය. ඔහු මගේ ඇකයේ අවසන් හුස්ම හෙළමින් අපගේ අභ්‍යවකාශ යානයේ යෝධ තිරයෙන් එපිට පෙනෙන දැවැන්ත පෘතුවි චන්ද්‍රයා  දෙස හෙලූ අවසන් බැල්මෙන් යුක්තව තම දිවි සැරිය නිම කළේය. දැන් අගහරු මත කඩාවැටී එහිම නටබුන් වන්නට යන  මේ යෝධ අභ්‍යවකාශ යානයේ ඉතිරිව සිටින එකම ප්‍රාණියා මා පමණි.


කාලය කොතරම් දුර ගෙවී ගොස්දැයි මා දන්නේ නැත. කාලය ගැන මට ඇති එකම අදහස රමෙල්ගේ කළු පැහැති හිසකෙස් ශ්වෙත වර්ණයට හැරී තිබීම පමණි. පෘතුවියෙන් අභ්‍යවකාශගත වන විට කඩවසම් තරුණයෙක්ව සිටි රමෙල් අඟහරු මත අභ්‍යවාකාශ යානයේ සිරවී වැරහැලි මහල්ලෙක්ව තම ගමන අවසන් කළේය.
ඉදින් ඒ වසර කීයක්දැයි ගණනය කොට ඵලය කිම...?
යානයේ පටු නියමු අසුනක රමෙල් ගේ සිරුර දිගාවිී තිබිණි. පෘතුවියේදී මා දුටු ප්‍රතාපවත් ගගනගාමීයා දැන් මා දෑස් අබිමුව නොවේ. අසරණ, වෙහෙසට පත්වූ, බලාපොරොත්තු කඩවූ , පරාජයට පත්වූ සේයාවන් වැතිරුණු හකු වක ගැසුණු සුදුමැලි මුහුණේ දෑස් තවමත් විවර ව තිබෙයි. මා ඒවා වසා දැමුවාය.
“ මෝනා...., අන්තිමට , අන්තිමට ඔයා මගේ වුණා ...මං ඔයාට ගොඩක් ආදරෙයි මෝනා”
අවසාන මොහොතේදී ඇසෙන නෑසෙන ස්වරයෙන් රමෙල් මාගේ ඇකයේන් එසවී මගේ දෙසවන් වෙත එසවෙන්න අසාර්ථක උත්සාහයක් දරමින් කෙදිරීය.
වසර බොහෝ ගණනකට පෙර පෘතුවියෙන් අඟහරු වෙත වූ අභ්‍යවකාශ පියසැරියට මා සම්බන්ධ වූ කාලයේ පටන්ම රමෙල් මගේ ප්‍රේමය පැතුවේය.
නමුත් ජුවාන්.......................,,
අභ්‍යවකාශ කණ්ඩායමේ කඩවසම් ම තරුණයා වූ ජුවාන් සහ මා කාටත් රහසින් ප්‍රේමයේ පැටලී හුන්හ.  ඒ නිසාම මා රමෙල් ගේ ආදර ඇරයුම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළාය. අභ්‍යවකාශ ව්‍යාපෘතිය පුරාම මට රමෙල්ගෙන් ගැලවීමක් නොවූ මුත් මා තව තවත් දැඩිව රමෙල්ව බැහැර කළා ය. අවසානයේ රමෙල් හතිවැටුණේ අභ්‍යවකාශ සැරියට දින ගණනක් තිබියදීය.  රමෙල් ජුවාන් ට සහ මට සුබ පැතුවේය.
“ දෙන්නටම මගේ සුබ පැතුම්.....”  රමෙල් ගේ ආසිරි සිනහව යටින් හිවලෙකුගේ දත් විලිස්සීමක් එදවස මා දුටුවාය.
අවසානයේදී අභ්‍යවකාශ ගමන වෙනුවෙන් ව්‍යාපෘතිය තෝරාගෙන තිබුණේ මා සහ කණ්ඩායම් නායක රමෙල් ය.
“ ලොකු කාලයක් නෙමෙයි නේ, ඔයා ගිහින් එන්න මෝනා.. මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා..අනිත් එක මට ඔයාව පෙනේවි... අර අර තියෙන්නේ අගහරැ ....ඔයා එතෙන්ට ගියාම මට ඔයාව පෙනෙයි. ”
එක් රාත්‍රීයක බැල්කනියේ වැතිරී අහස දෙස නෙත් හයාගෙන උන් ජුවාන්ටත්, මටත්  ඉහළින් අගහරු තරුව දීප්තියෙන් බැබළෙමින් තිබුණේය. ජුවාන් දෑස් හීනිකරමින් සිනාසුණු අයුරු අගහරුගේ දීප්තිය තරමටම මගේ මතකයේ තිබෙයි. මා උන්නේ ඔහුගේ තුරුලෙන් මිදීයාමේ සොවිනි, වේදනාවෙනි. දෑස් කදුළින් පෙගී තිබිණි.

අඟහරු වෙත කඩා වැටුණු යානයේ යෝධ තිරය අතරින් පෙනෙන විසල්  ආකාශය දෙස බලමින් මා අනන්ත රාත්‍රීන්වලදී පෘතුවිය සොයන්නට වෑයම් කරන්නට ඇත. එහෙත් රමෙල් මා ඉන් වැළකීය.
“දැන් ඔය කිසි දෙයකින් වැඩක් නෑ මෝනා, අපි මේක ඇතුළේ හිරවෙලා. අඩු තරමින් එයාලා අපි ගැන බැලුවේ නෑ..අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නා විතරයි...”
අවසානයේදී රතු අඟහරු මත මා රමෙල් ගේ වූවාය. ජුවාන්ගේ මතකය අලෝක වර්ෂ ගණනාවක් ඈතිනි. ඉතින් මා හිත හදාගත්තාය.කාලය ගතවන විට මා රමෙල් ට ප්‍රේම කරන්නට පටන්ගත්තා ය.  අඟහරු ගේ හුදකලා ලෝකයේ  රමෙල් ගේත් මෝනා ගේත් ප්‍රේමය නොනැවතී ගලා ගියේය.
දැන් රමෙල් නැවත නොඑන්නටම මෝනා ව දමා ගොසිනි. මා විසල් හුදකලාවක අතරමං වූවාය. හරියට මෙයට බොහෝ කලකට පෙර පෘතුවියෙන් පිටව එද්දී හරියටම කිවහොත් ජුවාන් ව අතැර එද්දී දැණුනු හැගීමට සමාන හැගීමක් මා අත්වින්දා ය.
මා තදින් රමෙල් ගේ දරදඩු වූ සිරුර වැළද ගත්තාය. හැඩුම් ආවේ දැන් ය. මම මහ හඩින් හැඬුවෙමි. මහළු මගේ සිරුරේ ගැස්සීම නිසා නියමු අසුනක වැතිරී හුන් රමෙල් ගේ ප්‍රාණ නිර්දධ සිරුරේ එක් අතක් බිමට කඩා හැළුණේ ඒ මොහොතේ ය. අතේ සිරවී තිබුණු යමක් බොදවූ කදුළු අතරින් මට පෙනෙ යි.
කඩදාසිය ක්.
ලියුමක්. රමෙල් ගේ අතෙහි නිතර රැදුණු පැන්සලෙහි  මිනිරන් අකුරු මට පෙනෙයි.
 

ආදරණීය මෝනා,
මා කෙටියෙන් ලියන්නම්, මා ඔබ අතැර යන්නට ආසන්න බව මට දැනෙයි. අන්තිමේදී මට ඔබේ ආදරය අයිතිවිය. දෙවියන්ට ස්තූති වේවා...
ආදර මෝනා, මෙය ඔබට පැවසීමට ඇවැසිමය.
යානයේ දොරටුව විවෘත කරගෙන එළියට බසින්න. මේ රතු අඟහරු නොවේ. අපේ පෘතුවියයි. එහි සුළඟ විදින්න.
යානය කඩා වට්ටනු ලැබූයේ මා විසින්මය. එය මිනිස් වාසයෙන් බොහෝ දුර කාන්තාරයකට ගෙන ඒමට මට හැකිවිය. ඔබ දිනගණනක් සිහිමූර්ඡා ව සිටියාය. ඔවුන් අපව සොයා එනවිට, මා ඔබවත් රැගෙන කාන්තාරයේ දුර්ග අතර සැගවිණි. ඔවු, දැන් ඔබ සිතන පරිද්දෙන්ම ජුවාන් ද ගලවාගැනීමේ කණ්ඩායම් සමඟ පැමිණියේය. ඒ සියල්ල සිදුවූයේ බොහෝ කාලයකට පෙරදීය. ඔවුන් කිසිවක් නොදැක යානය අතහැර දමා නික්මුණෝ ය. ඔවුන්ට අප මියගිය ගගනගාමීන්ය. ඔබ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ආදරය මට හිමිවිය. 

මේ මගේ පළිගැනීමයි.
මිහිරිය, මා ඔබේ
ආදර රමෙල්.




2019/09/18

මෝදිට 69 යි

සැප්තැම්බර්  17 වන ඊයේ දිනයේදී  ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි තම 69 වන උපන්දිනය සැමරුවේ ගුජරාට් හි ගාන්ධිනගර් නිවසේදී තම මෑණියන් වන හීරාබෙන් මෝදී සමගිනි.


2019/09/16

ඉරාජ් DRILL TEAM ගෙන් ඉගෙන ගෙන එන්න.


ඊයේ දිනයේ දී ලංකාවේ තරුණ සංගීතවේදියෙක් යැයි කියා ගන්නා         ( කාලයකට පෙරදී නම් එවැනි අංකුර සංගීතඥයෙකුගේ ලක්ෂණ ඔහු කෙරෙන් දක්නට තිබුණා.)ඉරාජ් වීරරත්න ඔහුගේ අලූත්ම විඞීයෝව අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා. සංගීතයත්, අසභ්‍ය ප‍්‍රකාශන පළ කිරීම සදහා තමන් වෙත ඇති කුප‍්‍රසිද්ධ භාවයත් යොදාගෙන තමන්ගේ දේශපාලන මඩගොජර කම පෙන්වීමට ඉරාජ් ට හැකිවී තිබෙනවා. මේ වන විට එම විඩියෝව නැරඹුම් වාර ගණන ලක්ෂ තුනද පසුකර තිබෙනවා.


මගේ කතාව, ඉරාජ්ගේ වීඩියෝව ගැන නොවේ, ඔහුට දිනකට ප‍්‍රථමයෙන් ලංකාවේ තවත් තරුණ සංගීතවේදීන් කණ්ඩායමක් වන  DRILL TEAM  මුදාහැර තිබෙන ඔවුන්ගේ හිස් අත් නම් වන වීඩියෝව ගැනයි.දින දෙකක් පසු කර තිබුණත් තවමත් එහි නැරඹුම් වාර ගණණ හතළිස් දහසට ආසන්නව තිබෙනවා පමණයි. 

රැප් සංගීත භාවිතාව යනු අමු කුණුහරුපයෙන් මොරදීම නොවන බව කාට කාටත් පසක් කරගැනීමට මෙම ගීතය මනා පිටුවහලක් වනවා නොඅනුමානයි. එමෙන්ම සංගීත බාවිතාව දේශපාලන ප‍්‍රකාශනයන් සදහා යොදාගැනෙන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අවැසි නම් ඉරාජ් මේ වීඩියෝව නැරඹිය යුතුම වෙනවා.
මේ DRILL TEAM  හිස් අත් වීඩියෝවේ ලින්කුවයි.



2019/07/06

චිකාගෝ බුල්ස් ධවල මන්දිරේ හැදුව හැටි

ධවල මන්දිරයේ කැඩුණු වැටක් හදන්න කොන්ත‍්‍රාත්කරුවන් 03  දෙනෙක් කැදෙව්වා. එකෙක් ටෙක්සාස් වලින් , අනෙකා කැලිෆෝනියා  සහ අන්තිමයා ඇවිත් තිබුණේ චිකාගෝ වලින්. තුන්දෙනා වරින් වර කැඩුණු වැට සමීපයට ගිහින් ධවල මන්දිරයේ නියෝජිතයා සමග ගනදෙනු කතා කෙරුවා.



ටෙක්සාස් පුතයා පරණ ගොවිපොළක අයිතාකාරයෙක්. මිනිහා මැනුම් පටියක් එහෙම අරගෙන ගිහින් , තනි ඇහැට තියලා ,හතර අතට මැනලා කරලා තමන්ගේ ගාණ කිව්වා.

‘‘ ඩොලර් හත්සීයයි. තුන්සීයයක් බඩුවලට, තව තුන්සීයයක් මගේ මිනිස්සුන්ගේ පඩි නඩි. ඉතිරි සීයය මගේ ලාබේ. ’

නියෝජිතයා මුකුත් නොකියා හිස වැනුවා.
ඊටපස්සේ ආවේ කැලිෆෝනියා මෑන්. අලූත්ම තාක්ෂණික උපකරණයකින් තම මැනුම් කටයුතු කරපු පොර තමන්ගේ ගාණ කිව්වා.

’‘ ඩොලර් පන්සීයයි. මගෙ චිනිස්සුන්ට දෙසීයයි. බඩුවලට යන ගණණ දෙසීයයි. මගේ ලාබේ ඩොලර් සීයයි. ’’

අන්තිමට ආවේ චිකාගෝ වලින් ආපු කෝට්කාරයා.
‘‘ ගාණ දෙදාස් පන්සීයයි.’’
 හදන්න තියෙන වැට දිහා බලන්නෙවත් නැතිව පොර කිව්වා. ධවල මන්දිරේ නියෝජිතයාට අසූහාරදාහට නැග්ගා.

‘‘ඔහේ කොහොමද වැට දිහා බලන්නෙවත් නැතිව මෙහෙම ගාණ කියන්නේ.. මේක හරි කෙළියක්නෙ හලෝ..’’

‘හරි, හරි මෙහෙමයි වෙන්නේ. මේකේ මගේ ලාබේ ඩොලර් දාහයි. අනෙක් දාහ ඔහේට ’

‘‘එතකොට ඉතිරි ඩොලර් පන්සීයය..?

ඒක අපි කැලිෆොනියා කාරයට දීලා මිනිහට වැඬේ භාරදෙමු.

2019/07/04

මහනුවර රජුගේ ආරක්ෂාව භාරව සිටි විශේෂ බලකාය ‘මහඅතපත්තුව’

මහනුවර යුගයේදී උඩරට රජු ආරක්ෂා කිරීමට විශේෂ පෞද්ගලික භට කණ්ඩායමක් පළමුවන රාජසිංහ රජුගේ සමයේ පටන් ක‍්‍රියාත්මක වූ අතර එම විශේෂ බලකාය හැදින්වූයේ මහඅතපත්තුව යන නමින්.

රජුගේ විශ්වාසවන්තම රදළයින්ගෙන් සැදුම්ලත් මේ පෞද්ගලික ආරක්ෂක බලකාය උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන් යටත් කරගන්නා තෙක්ම පැවති අතර නායාක්කාරවංශික රජවරුන් උඩරට පාලනය කරන්නට පටන්ගත් පසුව මෙම විශේෂ ඒකකය රජුගෙන් තරමක් දුරස්වූ බැව් පෙනෙයි.

උඩරට කිරීටයට අතීතයේ පටන්ම ලැදිව කටයුතු කරනු ලැබූ මොල්ලිගොඩ, ඇහැළේපොල , පිළිමතලව්වේ වැනි දිසාවන්ගේ ප‍්‍රභූ පවුල්වල ශක්තිමත් තරුණයින් මහඅතපත්තුවට ඇතුළත් වූ අතර මරුවල්ලිය සහ සුදලියේ පරම්පරාවන්ටට අයත් අංගම් සටන් ගුරුන්ගෙන් විශේෂ සටන් පුහුණුවක් ලබන්නටත් මෙම මහඅතපත්තුවට අයත් රජුගේ ශරීරාක්ෂකයින් ට හැකියාව ලැබී තිබෙනවා. 

එම නිසාම උඩරට රාජධානි සමයේ රදළ වංශික තරුණයින් තුළ මහඅතපත්තුවට ඇතුළත් වීමට මහත් තරඟයක් තිබී ඇත්තේ මහඅතපත්තුවට සීමිත සෙබළුන් ගණනක් පමණක් ඇතූලත් කරගැනීම නිසායි.

කෙසේ වෙතත් මහනුවර රාජධානියේ අවසාන භාගයේදී මෙම මහඅතපත්තුව සහ රජු අතර සම්බන්ධතාවය පළුදු වී ගොස් තිබූ අතර අවාසාන රජු වශයෙන් සැලකෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් බි‍්‍රතාන්‍යයන් ට හැකිළි බැද ගෙන යන්නට ඉඩ පහසුව සැලසුණේත් මහඅතපත්තුවේ ආරක්ෂාව ඔහුට නොලැබුණු නිසා බවයි කියවෙන්නේ.

-ජනප‍්‍රවාද සහ ඉතිහාස ග‍්‍රන්ථ ඇසුරෙන් *