සංගීතය සිය ජීවන භාවනාව බවට පත්කර ගත් පුද්ගලයන් දුර්ලභය. මෙවැනි විපරීත කාලයක එම දුර්ලභත්වය තවත් තීව්‍ර වෙයි. ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන් අපේ කාලයේ දැකිය හැකි එවැන්නෙකි. මෙරට එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම බටනලා වාදකයෙක් යැයි සැලකිය හැකි මිහිරිපැන්නයන් භාරතයේ ශාන්ති නිකේතනයේ සංගීත පුත්‍රයෙකි. හින්දුස්තානි රාගධාරී සංගීතයේ සුධීතමයෙකි.
කලක් පාසල් සංගීත ආචාර්යවරයෙක් වශයෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයතු කළ අනිල් මිහිරිපැන්නයන් "ශාරදා" නමින් කලා නිකේතනයක් පිහිටුවාගෙන තම සංගීත ඥානය අලුත් ශිෂ්‍ය පරම්පරාව වෙත ලබාදීමේ වෑයමක නියැළෙමින් සිටියි. එම වෑයමෙහිම තවත් දිගුවක් ලෙසින් අනිල් මිහිරිපැන්නයන් “Now Instrumental Competition for North Indian Music” නමින් ශාස්ත්‍රීය සංගීත ග්‍රන්ථයක් රචනා කොට නොබෝදා ප්‍රකාශයට පත් කළේය.
-චින්තක-
සංගීතය පිළිබඳව ඔබේ ළබැඳියාවෙන් කතාව පටන් ගත්තොත්, ඔබ සංගීතය කෙරෙහි ආසක්ත කරවූ පුද්ගල හා සමාජ සාධකයන් කවර ආකාර වුණාද?
-අනිල් මිහිරිපැන්න-
මම කියන්නේ ඒ සඳහා මට වගේම මගේ අයියටත් (ප්‍රවීණ නර්තන ශිල්පී බැසිල් මිහිරිපැන්න) බලපෑවේ මගේ අම්මා. මගේ බාල සහෝදරියන් නළවන්නට අම්මා දරු නැළවිලි කියනවා මම අහලා තියෙනවා. අම්මා තරම් ලස්සනට දරු නැළවිලි කියන කෙනෙක් මම දැකලා නෑ. ඉතින් අම්මගෙ දරු නැළවිලිවලින් මගේ කන පිරිල තිබුණේ. ඒ ස්වර, ඒ නාද, තාල තමයි මාව මෙතැනට ඇදලා ගත්තේ.
-චින්තක-
එතකොට කොහොමද බටනළාවට පෙම් බඳින්නට පටන්ගත්තේ?
-අනිල් මිහිරිපැන්න-
ඇත්තටම මම හිතන්නේ මට බටනළාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්න ඇති. මම පාසල් යන කාලයේ ඉඳන් පොත් මිටියත් එක්ක බටනළාවක් අරගෙන යනවා. විවේකී කාලපරිච්ඡේදයක් ලැබුණු හැටියෙ කරන්නෙ බටනළාව ගහන එක. ඇත්තටම ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ විධිමත් විදිහට බටනළාව වාදනය කරන්නේ කොහොමද කියලා.
-චින්තක-
ඉතින් කොහොමද මේ විධිමත් දැනුම ලබාගන්න ඔබට හැකිවෙන්නේ?
-අනිල් මිහිරිපැන්න-
ඒ කාලෙ අපට සංගීත ආචාර්යවරයා විදිහට හිටියේ වින්සන්ට් සෝමපාල මැතිතුමා. එතුමා හොඳ ගුරුවරයෙක් තමයි. නමුත් ඔහු මම හොයමින් සිටිය ගුරුවරයා නෙමෙයි. මගේ සංගීතමය සා පිපාසාව සමහන් කරන්නට එතුමාට බැරි වුණා.
-චින්තක-
ඔබ සොයමින් සිටිය ගුරුවරයා ඔබට මුණගැසුණාද?
-අනිල් මිහිරිපැන්න-
ඔව්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි එඩ්වින් සමරදිවාකර තමයි ඒ ගුරුවරයා. ඇත්තටම එතුමා ගුරු දෙවියෙක්. සංගීතය පිළිබඳව ප්‍රාමාණික වියතෙක්. මමයි, ලයනල් අල්ගමයි ඔහුගෙන් ඒ දිනවල දිනපතාම සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ සංගීත පන්තියට මුලින්ම යනකෙනා සහ අන්තිමට පිටව යන කෙනා වුණේ මම. එඩ්වින් සමරදිවාකර ගුරුතුමා මාර්ගයෙන් තමයි මට ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.
-චින්තක-
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ඔබේ සංගීත සා පිපාසාව සහමුලින්ම සන්තර්පණය කරන්නට ඇති?
-අනිල් මිහිරිපැන්න-
ඔව්. ඒක පරිපූර්ණ අත්දැකීමක්. ඒ වගේම අපූර්වයි. ශාන්ති නිකේතනයේදී මට වාදන භාණ්ඩ දෙකක් ඉගෙන ගන්නට ලැබුණා. ඒ හුරුපුරුදු බටනළාව සහ එස්රාජය. එස්රාජය ඉගැන්වූයේ එවකට භාරතයේ සිටි අද්විතීයෙක්. අශිෂ් චන්ද්‍ර බෙනර්ජි. මම පන්තියට ගියේ එස්රාජය සහ කොපි පොතකුයි කිහිලි ගන්නගෙන. නමුත් මට ගිය පයින් ආපහු හොස්ටල් එකට එන්න වුණා. ඒ කොපි පොත ආපහු තියලා එන්න. එහෙ පොත් බැහැ. හැමදේම හිතට. ඉතින් ඒ ඉගැන්වීම් කොයිතරම් අද්විතීය දැයි කිව්වොත් අදටත් මට ඒ හැමදේම මතකයි.
-චින්තක-
හොඳයි, ඔබගේ සංගීත දැනුම ඔස්සේ විමසා බලන විට වර්තමානයේ සංගීත ප්‍රවණතාවය ගැන ඔබගේ අදහස් කොහොමද?
-අනිල් මිහිරිපැන්න-
ලංකාවේ හැමදාමත් තිබුණේ සංගීත රැල්ලක්නේ. රැල්ල කියන්නේ මොකක්ද? එනවා නැතිවෙනවා. නමුත් උදාහරණෙකට අමරදේවයන් ගත්තොත් ඔහු ගායනා කරපු එක ගීතයක්වත් අහකට දාන්න බෑ. මොකද ඒවට හින්දුස්තානි සම්ප්‍රදායේ අඩිතාලම තිබුණා.
-චින්තක-
නමුත් එහෙමම කියන්න බෑ නේද. උදාහරණෙකට ජෝතිව ගත්තොත් දශක තුනකට එපිටින් ඔහු ගායනා කරපු ගීත අද අලුත් පරම්පරාවත් රසවිඳිනවා.
-අනිල් මිහිරිපැන්න-
ඒක වෙනස් තත්ත්වයක්. ජෝති ගැන ගත්තොත් ඔහුට විස්මයාකාර නිසර්ග හැකියාවක් තිබුණා ගයන්න. ඒ වගේම මිල්ටන් පෙරේරට වගේම මිල්ටන් මල්ලවආරච්චිටත් ඒ හැකියාව තිබුණා. කිහිපදෙනෙක්ගෙ විෂයෙහි එහෙම වුණත් පොදු තත්ත්වය මම අර කීවේ.
-චින්තක-
ඔබ විසින් මෑතකදී රචනා කරන ලද කෘතිය සුවිශේෂී කාර්යයක් බැව් පෙනෙනවා. මං හිතන්නේ එය දැනුම බෙදාදීමේ තවත් වෑයමක්.
-අනිල් මිහිරිපැන්න-
නාද තියෙනවා වර්ග දෙකක්. ආහත සහ අනාහත විදියට. අනාහත කියන්නේ කනට නෑසෙන කියන එකනෙ. ඉතින් මම මේ පොත ලීවේ කනට නෑසෙන හිතට විතරක් ඇහෙන අනාහත නාද පිහිට කරගෙන. සංගීතය හදාරන සිසුන්ට ප්‍රථමා සිට විශාරද අවසානය දක්වා සියලුම භාණ්ඩවල ඇවැසි වාදිත මෙම පොතේ නිර්මාණය කර තිබෙනවා.
-චින්තක-
අවසාන වශයෙන් මට දැනගන්න පුළුවන්ද මෙන්න මේ කාරණාව. ඔබ සංගීතය පිළිබඳව ප්‍රාමාණික දැනුමැත්තෙක්. විශිෂ්ට සංගීත ආචාර්යවරයෙක්. නමුත් ඔබ වැඩිපුර කරළියට පැමිණ ප්‍රසිද්ධියට පත්වූ අයෙක් නෙවෙයි. ඊට ඔබේ කැමැත්තක් තිබුණෙ නැතිද?
-අනිල් මිහිරිපැන්න-
මෙහෙමයි. සංගීතය පිහිට කරගෙන බැබළෙන්නට වුවමනාවක් මට කවදාවත් තිබුණෙ නෑ. සංගීතය මට භාවනාවක් වගේ. මට හිතෙන්නෙ සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා. භෞතික වටිනාකම්වලින් ලැබිය නොහැකි සන්තුෂ්ටියක් මම විඳිනව.