2021/09/05

රතු අඟහරු ප්‍රේමයක්


මා මෝනා ඇල්ක්සැන්ඩ්‍රියා. ගගනගාමීනිීයක්. 

රමෙල් ඊයේ රාත්‍රීයේදී මියගියේය. ඔහු මගේ ඇකයේ අවසන් හුස්ම හෙළමින් අපගේ අභ්‍යවකාශ යානයේ යෝධ තිරයෙන් එපිට පෙනෙන දැවැන්ත පෘතුවි චන්ද්‍රයා  දෙස හෙලූ අවසන් බැල්මෙන් යුක්තව තම දිවි සැරිය නිම කළේය. දැන් අගහරු මත කඩාවැටී එහිම නටබුන් වන්නට යන  මේ යෝධ අභ්‍යවකාශ යානයේ ඉතිරිව සිටින එකම ප්‍රාණියා මා පමණි.


කාලය කොතරම් දුර ගෙවී ගොස්දැයි මා දන්නේ නැත. කාලය ගැන මට ඇති එකම අදහස රමෙල්ගේ කළු පැහැති හිසකෙස් ශ්වෙත වර්ණයට හැරී තිබීම පමණි. පෘතුවියෙන් අභ්‍යවකාශගත වන විට කඩවසම් තරුණයෙක්ව සිටි රමෙල් අඟහරු මත අභ්‍යවාකාශ යානයේ සිරවී වැරහැලි මහල්ලෙක්ව තම ගමන අවසන් කළේය.
ඉදින් ඒ වසර කීයක්දැයි ගණනය කොට ඵලය කිම...?
යානයේ පටු නියමු අසුනක රමෙල් ගේ සිරුර දිගාවිී තිබිණි. පෘතුවියේදී මා දුටු ප්‍රතාපවත් ගගනගාමීයා දැන් මා දෑස් අබිමුව නොවේ. අසරණ, වෙහෙසට පත්වූ, බලාපොරොත්තු කඩවූ , පරාජයට පත්වූ සේයාවන් වැතිරුණු හකු වක ගැසුණු සුදුමැලි මුහුණේ දෑස් තවමත් විවර ව තිබෙයි. මා ඒවා වසා දැමුවාය.
“ මෝනා...., අන්තිමට , අන්තිමට ඔයා මගේ වුණා ...මං ඔයාට ගොඩක් ආදරෙයි මෝනා”
අවසාන මොහොතේදී ඇසෙන නෑසෙන ස්වරයෙන් රමෙල් මාගේ ඇකයේන් එසවී මගේ දෙසවන් වෙත එසවෙන්න අසාර්ථක උත්සාහයක් දරමින් කෙදිරීය.
වසර බොහෝ ගණනකට පෙර පෘතුවියෙන් අඟහරු වෙත වූ අභ්‍යවකාශ පියසැරියට මා සම්බන්ධ වූ කාලයේ පටන්ම රමෙල් මගේ ප්‍රේමය පැතුවේය.
නමුත් ජුවාන්.......................,,
අභ්‍යවකාශ කණ්ඩායමේ කඩවසම් ම තරුණයා වූ ජුවාන් සහ මා කාටත් රහසින් ප්‍රේමයේ පැටලී හුන්හ.  ඒ නිසාම මා රමෙල් ගේ ආදර ඇරයුම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළාය. අභ්‍යවකාශ ව්‍යාපෘතිය පුරාම මට රමෙල්ගෙන් ගැලවීමක් නොවූ මුත් මා තව තවත් දැඩිව රමෙල්ව බැහැර කළා ය. අවසානයේ රමෙල් හතිවැටුණේ අභ්‍යවකාශ සැරියට දින ගණනක් තිබියදීය.  රමෙල් ජුවාන් ට සහ මට සුබ පැතුවේය.
“ දෙන්නටම මගේ සුබ පැතුම්.....”  රමෙල් ගේ ආසිරි සිනහව යටින් හිවලෙකුගේ දත් විලිස්සීමක් එදවස මා දුටුවාය.
අවසානයේදී අභ්‍යවකාශ ගමන වෙනුවෙන් ව්‍යාපෘතිය තෝරාගෙන තිබුණේ මා සහ කණ්ඩායම් නායක රමෙල් ය.
“ ලොකු කාලයක් නෙමෙයි නේ, ඔයා ගිහින් එන්න මෝනා.. මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා..අනිත් එක මට ඔයාව පෙනේවි... අර අර තියෙන්නේ අගහරැ ....ඔයා එතෙන්ට ගියාම මට ඔයාව පෙනෙයි. ”
එක් රාත්‍රීයක බැල්කනියේ වැතිරී අහස දෙස නෙත් හයාගෙන උන් ජුවාන්ටත්, මටත්  ඉහළින් අගහරු තරුව දීප්තියෙන් බැබළෙමින් තිබුණේය. ජුවාන් දෑස් හීනිකරමින් සිනාසුණු අයුරු අගහරුගේ දීප්තිය තරමටම මගේ මතකයේ තිබෙයි. මා උන්නේ ඔහුගේ තුරුලෙන් මිදීයාමේ සොවිනි, වේදනාවෙනි. දෑස් කදුළින් පෙගී තිබිණි.

අඟහරු වෙත කඩා වැටුණු යානයේ යෝධ තිරය අතරින් පෙනෙන විසල්  ආකාශය දෙස බලමින් මා අනන්ත රාත්‍රීන්වලදී පෘතුවිය සොයන්නට වෑයම් කරන්නට ඇත. එහෙත් රමෙල් මා ඉන් වැළකීය.
“දැන් ඔය කිසි දෙයකින් වැඩක් නෑ මෝනා, අපි මේක ඇතුළේ හිරවෙලා. අඩු තරමින් එයාලා අපි ගැන බැලුවේ නෑ..අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නා විතරයි...”
අවසානයේදී රතු අඟහරු මත මා රමෙල් ගේ වූවාය. ජුවාන්ගේ මතකය අලෝක වර්ෂ ගණනාවක් ඈතිනි. ඉතින් මා හිත හදාගත්තාය.කාලය ගතවන විට මා රමෙල් ට ප්‍රේම කරන්නට පටන්ගත්තා ය.  අඟහරු ගේ හුදකලා ලෝකයේ  රමෙල් ගේත් මෝනා ගේත් ප්‍රේමය නොනැවතී ගලා ගියේය.
දැන් රමෙල් නැවත නොඑන්නටම මෝනා ව දමා ගොසිනි. මා විසල් හුදකලාවක අතරමං වූවාය. හරියට මෙයට බොහෝ කලකට පෙර පෘතුවියෙන් පිටව එද්දී හරියටම කිවහොත් ජුවාන් ව අතැර එද්දී දැණුනු හැගීමට සමාන හැගීමක් මා අත්වින්දා ය.
මා තදින් රමෙල් ගේ දරදඩු වූ සිරුර වැළද ගත්තාය. හැඩුම් ආවේ දැන් ය. මම මහ හඩින් හැඬුවෙමි. මහළු මගේ සිරුරේ ගැස්සීම නිසා නියමු අසුනක වැතිරී හුන් රමෙල් ගේ ප්‍රාණ නිර්දධ සිරුරේ එක් අතක් බිමට කඩා හැළුණේ ඒ මොහොතේ ය. අතේ සිරවී තිබුණු යමක් බොදවූ කදුළු අතරින් මට පෙනෙ යි.
කඩදාසිය ක්.
ලියුමක්. රමෙල් ගේ අතෙහි නිතර රැදුණු පැන්සලෙහි  මිනිරන් අකුරු මට පෙනෙයි.
 

ආදරණීය මෝනා,
මා කෙටියෙන් ලියන්නම්, මා ඔබ අතැර යන්නට ආසන්න බව මට දැනෙයි. අන්තිමේදී මට ඔබේ ආදරය අයිතිවිය. දෙවියන්ට ස්තූති වේවා...
ආදර මෝනා, මෙය ඔබට පැවසීමට ඇවැසිමය.
යානයේ දොරටුව විවෘත කරගෙන එළියට බසින්න. මේ රතු අඟහරු නොවේ. අපේ පෘතුවියයි. එහි සුළඟ විදින්න.
යානය කඩා වට්ටනු ලැබූයේ මා විසින්මය. එය මිනිස් වාසයෙන් බොහෝ දුර කාන්තාරයකට ගෙන ඒමට මට හැකිවිය. ඔබ දිනගණනක් සිහිමූර්ඡා ව සිටියාය. ඔවුන් අපව සොයා එනවිට, මා ඔබවත් රැගෙන කාන්තාරයේ දුර්ග අතර සැගවිණි. ඔවු, දැන් ඔබ සිතන පරිද්දෙන්ම ජුවාන් ද ගලවාගැනීමේ කණ්ඩායම් සමඟ පැමිණියේය. ඒ සියල්ල සිදුවූයේ බොහෝ කාලයකට පෙරදීය. ඔවුන් කිසිවක් නොදැක යානය අතහැර දමා නික්මුණෝ ය. ඔවුන්ට අප මියගිය ගගනගාමීන්ය. ඔබ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ආදරය මට හිමිවිය. 

මේ මගේ පළිගැනීමයි.
මිහිරිය, මා ඔබේ
ආදර රමෙල්.




No comments:

Post a Comment