2016/09/29

සැබෑ ඞී. ඇස් අවතාරය මෛත‍්‍රී නොව මහින්දයි.

ටැමිල් නෙට් වෙබ් අඩවියට අනුව මහාමාන්‍ය ඞී. ඇස් සේනානයගේ පුනරුත්පත්තිය බවට පත්ව කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. ඒ නැගෙනහිර  ඉඩම් රජයට පවරා ගනිමින් නැගෙනහිර  ද්‍රවිඩයන්ගේ ඉඩම් අයිතිය උදුරා ගනිමිනි. ජනාධිපතිවරයාගේ අනුදැනුම සහිතව ද්‍රවිඩයන්ට හිමි ඉඩම් සිංහල ජනපද පිහිටුවීම සඳහා රජය කටයුතු කරන්නේ ගල්ඔය ජනපද ව්‍යාපාරය හරහා ඞී.ඇස් සේනානයක නැගෙනහිර ද්‍රවිඩයන්ගේ ඉඩම් මංකොල්ල කෑ අයුරින්ම බව ටැමිල්නෙට් පවසයි. 
ටැමිල් නෙට් මේ පුවත පාදක කොට ගනිමින් අද ‘මව්බිම ‘ පුවත්පතට දේශපාලන විග‍්‍රහය ලියන උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව අතිශයෝක්ති වර්ණනාවන යෙදෙමින් මෛත‍්‍රී හීන් නූලෙන් ඞී. ඇස් සේනානයක පරිදි කටයුතු කරමින් සිටින බව පවසන්නේ ය.

නමුත් යථාර්තය නම් දේශපාලනික කැරිස්මාව අතින් ගත් කළ ඞී. ඇස් සේනානායක වඩාත් ළංවන්නේ මෛත‍්‍රීට නොව මහින්දටයි. ඞී. ඇස් දේශපාලනයට පිවිසෙන්නේද පවුල් කාටරයේ බල මහිමය නිසා වන අතර, මහින්ද ද අද ඔහුගේ පුත‍්‍රයා ලෙසින් ම දේශපාලනයට පිවිසෙන්නේ පියා ගේ අනුප‍්‍රාප්තික යා වශයෙනි. සේනානයක පවුලේ දේශපාලන ගමනක නිරත වීමට වඩාත් සුදුසුකම් සහිතව සිටියේ විදේශ අධ්‍යාපනයක් ලබා, පිබිදෙන නවීන ලෝකයේ දේශපාලනික ක‍්‍රියාකාරකම් පිළිබඳව සවිඥ්ඤානික ව සිටි ‘ ලන්ඩන් ජෝන් ’ නමින් හැදින්වූ ඇෆ්. ආර් සේනානායකයි. නමුත් පුද්ගල කැරිස්මාව අතින් පවුලේ රස්තියාදුකාරයා ලෙසින්  ‘කැලෑ ජෝන් ’ යන අන්වර්තයෙන් පවුල තුළ හැදින්වූ ඞී. ඇස් , ඇෆ්.ආර් අයියාට වඩා ඉදිරියෙන් සිටියේය. 


රාජපක්ෂ පවුල තුළද දේශපාලනික පරිණත කමින් ඉදිරියෙන් සිටියේ මහින්ද ගේ වැඩිමහල් සොහොයුරා වූ චමල් වූවත්, පුද්ගල කැරිස්මාව අතින් පවුලේ දෙවැනි පුත‍්‍රයා වූ මහින්ද ඉදිරියෙන් සිටියේය. 1967 ඞී. ඒ රාජපක්ෂ මිය යන්නේ ශී‍්‍රලනීප ආණ්ඩු දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි නමුත්, කැබිනට් ඇමති ධුරයක් නොලබමිනි. 56 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඞී.ඒ ට ලැබෙන්නේ නියෝජ්‍යය ඇමති ධුරයකි. 1960 සිරිමා ආණ්ඩුවෙන් ඔහුට ලැබෙන්නේ නියෝජ්‍යය කථානායක ධුරයයි. එජාපයෙන් වෙන් වී යන බණ්ඩාරනායක සමඟ පාර්ලිමේන්තු වේ අනෙක් පසෙට ගමන්ගත් මන්ත‍්‍රීවරුන් පස්දෙනා අතර ඞී.ඒ ද සිටි නමුත් බණ්ඩාරනායකවරුන් ගේ කෘතගුණය නම් ඔහුට ලැබී නැති බැව් ඉතා පැහැදිලිය. ඊට හේතු පාදක වන කාරණා පිළිබඳව වෙනම සොයා බැලිය යුතු වෙයි.
                                                                                                             කෙසේ වෙතත් මෙවැනි තත්වයන් මත වුවත් 1970 මහමැතිවරණයට බෙලිඅත්තෙන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් තරග කරන මහින්ද එම අසුන ජයගන්නේය. නමුත් 1976 මැතිවරණයත්, 1983 අතුරු මැතිවරණයත් මහින්ද පරදින්නේය. කෙසේ වෙතත් මේ සියලූ බාධක මැඩගෙන ඉදිරියට ඒමේ පුද්ගල හැකියාවක් මහින්ද ට වූයේය. මේ ලෙසින්ම එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වඩාත් බලවත් ම මෙන්ම සිංහල බෞද්ධයන්ගේ පිළිගත් නායකයා වූයේ ඞී.බී ජයතිලකයි. ඔහුගේ කීර්තියෙන් සහ බලයෙන් ඞී.ඇස් ගේ ප‍්‍රතිරූපය වැසී ගොස් තිබුණු නමුත් මහින්ද රාජපක්ෂ 2001 වනතුරු කල්මැරුවාක් මෙන්ම ඞී. ඇස් ද තම අවස්ථාව එනතුරු කල්මැරුවේය. දෙදෙනාටම කාගෙන සිටීමේ හැකියාව තිබිණි.  
                                                                                                     එමෙන්ම අගමැති ධුරයට පත්වූ පසුව ඞී. ඇස් විසින් දියත් කරන ලද ගොවි ජනපද පිහිටුවීමේ මහා ව්‍යාපෘතිය රටේ ඞී.බී ජයතිලක වෙත තිබූ පොදුජන පිළිගැනීම සහ කීර්තිය ඔහු වෙත ළගා කර දුන් එකක් විය. මහින්ද රාජපක්ෂ ටද යුධ ජයග‍්‍රහණයෙන් පසුව එම පිළිගැනීම සහ කීර්තිය ඒ ආකාරයෙන්ම ලැබුණු නමුත් එය නිසි පරිදි කළමණාකරණය කරගැනීමේ හැකියාව මහින්ද ට නොතිබිණි. එසේ නොවූවා නම් අදද ගොවි ජනපදවල ඞී.ඇස් සේනනායකට බත් දුන් දෙවියන් වශයෙන් ලැබෙන පිළිගැනීම, අර චිරාගත දියසේන කුමාරයාගේ පුරාණෝක්තිය මහින්ද ට ආරූඪ කොට ඔහුටත් ඔහුගේ පවුලටත් සදාතනික කීර්තියක් ලැබ ගන්නට තිබිණි. එසේ වූවා නම් ටැමිල් නෙට්ලාත්, උපුල් ජෝෂප්ලාට ත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඞී. ඇස් ගේ අවතාරයක් යැයි කියන්නට ඉඩක් ලැබෙන්නේ නැත. 

2016/09/28

හර්තාලය අපට නොවේ නුඔලාටමයි සහෝදරවරුනි...,

ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් වූ විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ජාතිවාදියෙක් වීම සමාජ පරිවර්තන ක‍්‍රියාවලියක් බැව් අගවන්නට හිටපු ‘‘ ප‍්‍රජාචන්ච‍්‍රවාදීන් මහත් උත්සාහයක් දරමින් සිටියි. නමුත් සත්‍යයට වඩාත් කිට්ටු දේ නම්, උතුරේ පසුගිය දිනෙක දක්නට ලැබුණු හර්තාලය හුදු පුද්ගල ඇජෙන්ඩාවන් ඉටු කරගැනීමේ බිලි බෝයිස් පන්නයේ කටයුත්තක් බවයි. නඩුකාර හාමුදුරුවන් කෙනෙක් වී සිටි සී. වී විග්නේෂ්වරන් මහතා හට තම සමාජ තත්වයන් ඒ විලාසයෙන්ම පවත්වාගනිමින් රටේ ජාතික නායකයකු වීමේ උවමනාව සපුරා ගැනීම සඳහා දෙමළ ජාතිවාදය කරපින්නා ගනිමින් සිටියි. 


දෙමළ දේශපාලනික නායකයින් ට රටේ මහා දේශපාලන සම්ප‍්‍රදාය තුළ සිටිමින් ජාතික නායකත්වයට ළංවීමටවත් නොහැකි බැව් නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ  ආදීන් ධාරාව තුළ ඔප්පු කොට ප‍්‍රත්‍යක්ෂ කොට තිබේ.  ජාතික නායකත්වටය සමාන පටිතයන් තුළ කටයුතු කළ හැක්කේ මහ ජාතියට එරෙහි දෙමළ අන්තවාදය පෝෂණය කිරීමෙන් පමණක් බැව් ඓතිහාසිකව පෙන්නුම් කර තිබෙන සත්‍යයකි.
නඩුකාර හාමුදුරු තත්වයෙන් පහළට වැටෙන්න ට අකැමැති වැඩවසම් මානසික තත්වය මොනවට ඔප්පු කරමින් අතළොස්සක් වූ දෙමළ අන්තවාදීන් හරහා බහුතර දෙමළ සමාජය කූට ආකාරයෙන් ගලග‍්‍රහණයට ගැනීමට විග්නේෂ්වරන් කටයුතු කරමින් සිටියි. ඒ බැව් පසුගිය සමයේ දෙමළ මහා සමාජයේ සාතිශය ජනප‍්‍රියත්වයක් අත්කරගනිමින් සිටි දෙමළ ජාතික සන්ධානය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කඳවුරේ බහුතර පාර්ශවයන් ද තේරුම් ගනිමින් සිටිනු බැව් පෙනෙයි.
ඒ නිසා උතුරේ මෙවැනි හර්තාල් ගැන කලබල විය යුත්තේ සිංහල මහා සමාජය නොවේ. ගම්මන්පිල , වීරවංශ සහ අවශේෂ දේශපාලන අනාථයින් මේ පිළිබඳව කරන බොරු ඝෝෂාවන් ගැන සාකච්ජා කළ යුතුම නොවේ. මක් නිසාද යත් අඩු තරමින් ඔවුන් සැබෑ අන්තවාදීන් ද නොවන නිසාය. ඇත්තටම විග්නේස්වරන් ගේ දේශපාලනික හර්තාල ප‍්‍රදර්ශනය කරදර ඇති කොට ඇත්තේ බහුතර දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ටය.
 ඒ නිසා සම්බන්ධන්ලාට සහ සුමන්තිරන් ලාට විග්නේෂ්වරන් සමඟ මේ ප‍්‍රශ්නය විසදා ගන්නට ඉඩදී අපි බලා සිටිය යුතු වෙමු. 


2016/06/09

ආක්ටික්වරුන්ගේ රොක් සන්ත්‍රාසය sonata arctica

සොනාර්ටා ආක්ටිකා මුලින්ම ඇහුවේ කවදද, අහන්න ලැබුණේ කොහොමද කියලා පැහැදිලි මතකයක් මට නැහැ.නමුත් ඔවුන්ගේ full moon ගීතය තමයි මම මුලින්ම ඇහුවේ. ඒක අහමින්, අහලා අවසන් වෙලා හිතට දැණුනු හැගීම විස්තර කරන්න තරම් මගේ වචනකෝෂය පොහොසත් නැහැ.නැත්නම් අර ඇත්තටම කියැවෙන ප්‍රවාදය; භාෂාව අවසන් වූ තැනින් සංගීතය ඇරඹුණු බව අසත්‍යයක් නොවෙයි.
රොක් සංගීතකාමියෙක් වන මට සොනාර්ටා ආක්ටිකා මුණගැහෙන්නට මේ තරම් ප්‍රමාද වුනේ ඇයි කියලා එදා මට පුදුම හිතුණා. Fool Moon  ඇහුවට පස්සේ ඔවුන්ගේ තවත් ගීත ගණනාවක්ම අහන්නට මට ඉඩ ලැබුණා.මේ ගීත අපේ සංගීත රසකාමීන්ටත් අහන්න ලැබෙනවා නම් රොක් සංගීතය කියන්නේ ගිරිය යටින් බෙරිහන් දීමක්ය යන බහුතර පිළිගැනීම විසුණු කරන්නට ඉතා හොද ප්‍රතිකර්මයක් ලබාදෙන්නට තිබුණා.

Sonata Arctica  කියන්නේ ෆින්ලන්තයෙන් බිහිවූ රොක් සංගීත කණ්ඩායමක්. මට මතක හැටියට නම්  1996 දී ඔවුන්ගේ මුල්ම ගී තැටිය නිකුත් වෙනවා.එහි ජනප්‍රියතම ගීතය වන්නේ full moon ගීතයයි.ඉන්පස්සේ ඔවුන් නිකුත්කළ ගී තැටි ජනප්‍රියත්වයේ ඉහළටම නැගුණා.විශේෂයෙන්ම 
Marry lou

වගේ ආක්ටික්වරුන්ගේ ගීත අහන්නමයි කියලා මම යෝජනා කරනවා.මොකද එම ගීතවලින් පෙන්නුම් කරනවා රොක් සංගීතය මුනිවරයින්ගේ ධ්‍යානයන් තරමට සිත් ඒකාත්මික කරන වග.sonata arctica අහලා බලමු. 

2016/06/07

කන්නගී පුරාවෘත්තය සිනමා ඇදහිල්ලක අත්දැකීමක වේශයෙන්

මෙරට මහා සමාජයේ ප‍්‍රචලිත, ජනගත අදැැහිල්ලක් වශයෙන් පත්තිනි අදැැහිල්ල අපට බොහෝ සෙයින් සමීපය.පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදුකෙරෙන නොයේක් පන්නයේ කිරිදානයන් , ශාන්ති කර්ම මුළු ලංකාව පුරාම නොයේක් වේශයෙන් සිදුකෙරෙයි.මේ කතාබහ පත්තිනි මෑණියන් ගැන නොව පත්තිනි මෑණියන් විලසින් දේවත්වයට පත්වූ සාමාන්‍ය කාන්තාවක වූ කන්නගී ගැනය.අතිමහත් වූ පතිභක්තියෙන් යුක්තව තම සැමියා කෙරෙහි වූ අසීමිත පේ‍්‍රමයෙන්, බලපරාක‍්‍රමයෙන් පිරුපුන් මහා පඩි අධිරාජ්‍යයාට විරුද්ධව යුක්තිය ඉල්ලා හැඩූ කන්නගී ගේ සිනමා සම්ප‍්‍රාප්තිය වන ‘පත්තිනි’ චිත‍්‍රපටය පිළිබඳව යි. මෙරට සම්මානනීය සිනමාකරුවෙක් වන සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘පත්තිනි ’ පිළිබඳව සංවාද සම්මුඛ වන්නට සුනිල් ආරියරත්නයන්ට රතු රජරට වෙනුවෙන් අපි ආරාධනා කර සිටියෙමු.

රතු රජරට

පත්තිනි සංකල්පය අපේ ජන සමාජයට මහා බලපෑමක් කරන, සමීප ජන අදැැහිල්ලක් වුවත් , පත්තිනි මෑණියන් බවට රූපාවතරණය වූ කන්නගී සහ ඇයගේ කතාව අපට තරමක් ආගන්තුකයි.පත්තිනි මෑණියන් පිළිබඳව පවතින මහා සමාජයේ භක්තිමත් බාවය කන්නගී ගේ කතාව වශයෙන් සිනමාවට නැගීමට ඔබ නිර්භීත වන්නේ ඇයි....?

සුනිල් ආරියරත්න

අපේ ජනප‍්‍රවාදගත දේව මණ්ඩලයේ සිටින ප‍්‍රබලම කාන්තා දෙවගන වන්නේ පත්තිනි මෑණියන්.පත්තිනි මෑණියන්ගේ සංකල්පය කෙතරම් සමාජගත වෙලා තිබෙනවාද කියනවා නම් අං කෙළිය, පොල් කෙළිය, වැල් කෙළිය, අම්මාවරුන්ගේ දාන, කිරි දානයන් ආදී වශයෙන් පුද පූජා රාශියක් පත්තිනි මෑණියන්ගේ ඇදැැහිල්ලට සම්බන්ධ වෙනවා.ඒ විතරක් නෙමෙයි අපට දකුණු පළාතේ දකින්නට පුළුවන් වන ගම්මඩු ශාන්ති කර්මයන් වෙන් වන්නේත් පත්තිනි මෑණියන් වෙනුවෙන්. තව දුරටත් ගත්තොත් ජනප‍්‍රවාදය ඇතුළේ පත්තිනි දේවතාවියගේ විවිධ ස්වරූපයන් පෙන්වන්නට සත් පත්තිනි, දොළස් පත්තිනි ආදි වශයෙන් විවිධ වේශයනුත් දකින්නට ලැබෙනවා.එතකොට නෙළුමෙන් උපන් , ගින්නෙන් උපන්, ජලයෙන් උපන් , අඹෙන් උපන් ආදී වශයෙන් මේ එක් එක් පත්තිනි වේශයන්ට එක් එක් උත්පත්ති කතාත් නිර්මාණය වී තිබෙනවා.

නමුත් 1980 දශකයේ යම්කිසි කාලයක මම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ භාෂා සාහිත්‍යය පිළිබඳව හදාරමින් ඉන්න වකවානුවේ මට කියවන්නට ලැබෙනවා මේ සත් පත්තිනි, දොළස් පත්තිනි වශයෙන් විවිධ වේශයන්ට පෙරළී තිබෙන පත්තිනිය ගේ මුල් සම්භවය සමග බැදුණු කතාව. නොඑසේ නම් කන්නගී ගේ කතාව. මේ කතාව කියවූ මුල් කාලයේදීමත් මට අදහසක් එනවා මේ කතාව පසුබිම් කරගෙන චිත‍්‍රපටයක් කළ යුතුයි කියන අදහස.


රතු රජරට

දන්නා සංකල්පයක නොදන්නා පසුබිම් කතාවක් චිත‍්‍රපටයට නැගීමේදී මෙම කතා ප‍්‍රවෘත්තිය මෙරට සිනමා පේ‍්‍රක්ෂකාගාරය මොන ආකාරයෙන් පිළිගනීද කියන සංශය ඔබතුමාට තිබුණේ නැද්ද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම මෙරට ප‍්‍රවාදගත බොහෝ දෙනා දන්නා කතාව හාත්පසින්ම වෙනස් එකක්.අපි දන්නා ජනපි‍්‍රයම පත්තිනි සම්භවය පිළිබඳව කතාව තමයි අඹ පත්තිනි කතාව. නෙළන්නට නොහැකි උසකින් හැදෙන අඹ ගෙඩියක් සක් රජු පැමිණ දුන්නේන් විඳ කඩා දෙන කතාව. ගම්මඩු ශාන්ති කර්ම වලදී ‘අඹ විදමන’ වශයෙන් රග දැැක්වෙන්නෙත්
එම කතාවමයි. නමුත් මෙම චිත‍්‍රපටයට පාදක වුණු පත්තිනි කතාව සාමාන්‍ය මනුෂ්‍ය ස්ත‍්‍රීයයක් වන කන්නගී නැමැති කාන්තාව  දේවත්වයට පත්වන කතාවයි.ඇත්තටම එය මෙරට සිනමා පේ‍්‍රක්ෂකාගාරයට නැවුම් අත්දැැකීමක් වනවා නොඅනුමානයි. අර සිනමා කෘතියකට අත්‍යවශ්‍යය නැවුම් වස්තු බීජය කියන සාධකය මේ කන්නගී කතාවේ තිබෙනවා. ඒ වගේම දේවවාදය අතික‍්‍රමණය කරන මානුෂීය යථාර්තමය ලක්ෂණ ත් මේ කතාවේ දකින්නට පුළුවන්.මොකද සාමාන්‍ය කාන්තාවක් දේවත්වයට පත් වන්නේ කොහොමද , එහෙම වෙන්න පුළුවන්ද කියන කුතුහලය මේ කතාව තුළ තිබෙනවා. අන්න ඒ නිසාම මට දැැඩි විශ්වාසයක් තිබෙනවා අපේ සිනමා රසිකයන් බොහෝම කැමැත්තෙන් මේ අත්දැැකීම වැළදගනීවිය කියලා.

රතු රජරට

කන්නගී ගේ කතා ප‍්‍රවෘත්තිය සිදුවන්නේ දකුණු ඉන්දියානු පරිසරයක.ඉන්දියාව සහ අප අතරෙහි කිසියම් සංස්කෘතික ගැළපීමක් තිබුණා වුවත් මේ පරිසරය , පසුබිම අපට නුහුරුයි, ආගන්තුකයි.මේ පරස්පරතාවයන් නොගැළපීම් මටසිලූටු කරගැනීම සිනමා අධ්‍යක්ෂකවරයාගේ වගකීමයි.ඒ අභියොගය ඔබතුමා ජයගත්තේ කොහොමද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම මේ කන්නගී ගේ කතාව පැරණි දකුණු ඉන්දියාවේ සොළී, පාඩි, කේරල කියන ප‍්‍රාන්ත තුනෙහිම ව්‍යාප්ත වූ කතාවක්.නමුත් සිනමාකරුවෙක් වශයෙන් මගේ විශ්වාසය නම් සිනමා නිර්මාණයක අනෙක් සියලූ සාධක අභිබවාගෙන මතු වන්නේ එහි කතා වස්තුවේ ප‍්‍රබලත්වයයි.හොඳම උදාහරණය නම් මගේ ම පූර්ව නිර්මාණය වූ ‘කුසපබා’ චිත‍්‍රපටයයි. එහි පසුබිමත් පැරණි ඉන්දියාවේ බරණැස් නුවරයි.නමුත් සිනමා රසිකයින්ට එහි පසුබිම බාධාවක් වුණේ නැහැ චිත‍්‍රපටය රස විදින්න.මොකද කුසපබා චිත‍්‍රපටය එදා මෙදා තුර චිත‍්‍රපට ඉතිහාසයේ ආදායම් වාර්තා අතර තුන්වෙනි තැනට පත්වුණා.එයින්ම ඔප්පු වෙනවා චිත‍්‍රපටය රසවිදීමට එහි පසුබිම හෝ සංස්කෘතික කාරණා බාධාවක් නොවන බව.



රතු රජරට

මේ චිත‍්‍රපටයේ තිරපිටපත ලියන්නේත් ඔබතුමා විසින්මයි...?

සුනිල් ආරියරත්න

මගේ මෑතකාලීන චිත‍්‍රපට දෙකකම, උත්පලවණ්නා සහ කුසපබා චිත‍්‍රපටයේත් තිරනාටක රචනා කරනු ලැබුවේ ආචාර්ය තිස්ස අබේසකර විසින්.එතුමා ජීවතුන් අතර සිටියා නම් අනිවාර්යෙන්ම මෙහි තිරනාටකය රචනා කිරීමට මම බාරදෙන්නේ එතුමාටමයි.

රතු රජරට

චිත‍්‍රපටයේ කතාවට සම්බන්ධයක් නැතිවා වුවත්, මේ ප‍්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නම අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙන් පස්සේ එතුමා ගේ තැන ගැනීමට අපේ ඊළග පරම්පරාව තවමත් සූදානමක් නැතිද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම අපේ සිනමාව තුළ අති දක්ෂ රංගනවේදීන්, අධ්‍යක්ෂකවරුන්, වේශ නිරූපණ ශිල්පීන්, කැමරා ශිල්පීන් , සංස්කරණ ශිල්පීන් බිහිවීමට සාපේක්ෂව තිරනාටක රචකයින්, දෙබස් රචකයින් සහ කතා රචකයින් ගේ හිගයක් තිබෙනවා. විශේෂයෙන්ම හොඳ කතා රචකයින්  නැතිවීම සිනමාවට විශාල පාඩුවක්. ආචාර්ය තිස්ස අබේසකරයන් විශිස්ට තිරනාටක රචකයෙකු වගේම, ඊට නොදෙවෙනි වන තරමේ කතා රචකයෙක්.ඔහුගේ වැලිකතර වගේ නිර්මාණ ඊට සාක්ෂි සපයනවා.තිරනාටක රචනය, කතා රචනය සහ දෙ බස් රචනය කියන්නේ වෙනම හැදැෑරීමක් අවශ්‍යය විශයයන්.යම්කිසි යහපත් තත්වයයන් පෙන්වන තරුණ තිරනාටක රචකයින් නැතිවාම නොවෙයි.නමුත් අතේ ඇගිලි පහටත් වඩා අඩුවෙන්.

රතු රජරට

පත්තිනි චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය නැරඹීමේදී එහි විචිත‍්‍රවත් පසුතල නිර්මාණයන් ඇතැම් විටෙක අපට සිහිකර දුන්නේ සංජය ලීලා බන්සායිගේ ඇතැම් සිනමා නිර්මාණ.පත්තිනි වැනි පැරණි ඉන්දියාව පසුබිම් කරගත් සිනමා නිර්මාණයක ජීව ගුණය ජවසම්පන්න කිරීමට මෙහි කලා අධ්‍යක්ෂණය විශාල මෙහෙවරක් ඉටුකර තිබෙන බව පෙනෙනවා.

සුනිල් ආරියරත්න

ඇත්තටම බිමල් දුෂ්මන්ත මට හඳුන්වලා දෙන්නේ අපේ කැමරා ශිල්පියා වන චන්න දේශපි‍්‍රය විසින්.දුෂ්මන්ත කලින් වැඩ කරලා තිබුණේ වෙළඳ දැැන්වීම් නිර්මාණ ක්ෂේත‍්‍රයේ.ඔබ කියූ කාරණාවට මම සම්පූර්ණයෙන්ම එකගයි.කලා අධ්‍යක්ෂකවරයා වශයෙන් මේ තරුණයා පත්තිනි චිත‍්‍රපටයට විශාල ආලෝකයක් ලබාදුන්නා. මගේ චිත‍්‍රපට අතුරින් කලා අධ්‍යක්ෂණය පැත්තේන් මම වඩාත් තෘප්තියට පත්වුණෙත් පත්තිනි චිත‍්‍රපටයෙන්මයි.
මේ තරුණ කලා අධ්‍යක්ෂකවරයාගේ විශිෂ්ටත්ව ය විදහා පෙන්වන අත්දැැකීමකට අප මුහුණ දුන්නා.පත්තිනි චිත‍්‍රපටයේ පසුතල නිර්මාණයන් සියල්ල කළේ රන්මිණිතැන්නේ. එහි පාලක අධිකාරිය අපෙන් ඉල්ලීමක් කළා මේ පසුතල ගලවන්න එපා, ඒවා නරඹන්නට සති අන්තවල බොහෝ පිරිසක් පැමිණෙනවා එ නිසා එම පසුතල එලෙසම තිබෙන්නට ඉඩ හරින්නට කියලා.පසුව රන්මිණිතැන්න නරඹන්නට පැමිණි ඉන්දියානු චිත‍්‍රපට කණ්ඩායමක් අපේ පසුතල නිර්මාණයන් දැැක බිමල් දුෂ්මන්තව සම්බන්ධ කරගත්තා ඔවුන්ගේ චිත‍්‍රපටයක පසුතල නිර්මාණය කරන්නට.

රතු රජරට

පත්තිනි චිත‍්‍රපටයේ ඇතැම් මාධ්‍යයට නිකුත් කරන ලද දර්ශන නැරඹීමේදී දක්නට ලැබුණු තවත් සුවිශේෂීතාවයක් තමයි කැමරා දර්ශනයන් ඉන්දියානු කොලිවුඞ් සහ බොලිවුඞ් චිත‍්‍රපට තරමට , එම තත්වයේ තිබෙන බව පෙනීගියා.

සුනිල් ආරියරත්න

මෙහි කැමරාකරණය මෙහෙයවූයේ චන්න දේශපි‍්‍රය විසින්.මගේ කුසපබා චිත‍්‍රපටයේදී ඔහුගේ කැමරාකරණය පිළිබඳව ඇතිවූ පැහැදීම නිසාම තමයි පත්තිනි චිත‍්‍රපටයටත් චන්නවම යොදාගත්තේ.විශේෂයෙන්ම සඳහන් කරන්න  ඕනේ චන්නගේ magic lantern  ආයතනය ඔවුන් විසින් අළුතින්ම ආනයනය කෙරූ නවීන පන්නයේ ඩිජිටල් කැමරාවක් මෙහි රූපගත කිරීම සඳහා යොදාගත්තා.අර ඔබ සඳහන් කරන ලද ගුණාත්මක තත්වයට හේතුව එයයි.

රතු රජරට

අපට මෑත කාලීනව ඔබේ මතක තිබෙන ආසන්නතම චිත‍්‍රපටය වන්නේ කුසපබා චිත‍්‍රපටය යි. ඇත්තටම කුසපබා හි නළු නිළියන් තේරීමට වඩා ඉදිරිගාමී ලෙසින් පත්තිනි සඳහා ඔබ නළුනිළියන් තෝරා ඇති බැව් පැහැදිලියි.විශේෂයෙන්ම පූජා උමාෂංකර්ව ඔබ නැවත වරක් යොදා ගන්නවා.

සුනිල් ආරියරත්න


මගේ අදහස සහ සාමාන්‍යය ප‍්‍රතිපත්තිය නම් දක්ෂයින්ව මගහැර නොගැනීමයි.දක්ෂයින්ගෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුමයි.පූජා උමාෂංකර් සිනමා නිර්මාණයක් සඳහා අතිවිශාල කැප කිරීමක් කළහැකි නිළියක්.ඇත්තටම හැමදාම එකම කණ්ඩායමක් සමග වැඩ කරනවයි කියන අදහසේ මම නැහැ.නමුත් දක්ෂයින්ගෙන් වැඩක් ගතයුතුයි කියන අදහස මගේ හිතේ නිතරම බලපවත්වනවා.

2016/05/25

ඇගේ ඇස අග සරතැස

මුලින්ම බැලුවේ යූ ටියුබ් එකේ ' ඇහැරෙන්න' ගීතය.මම කවදත් චිත්‍රාල් ගේ ලබැදියෙක් නිසා ගීතය මට වැදුණා. ඊටපස්සෙයි ඇගේ ඇස අග බැලුවේ. චිත්‍රපටිය බලන්න යන්න කලින් හුඟ දෙනෙක් කීවේ හඳගමගේ මාර පරිවර්තනයක් මේ චිත්‍රපටිය ඇතුලේ දකින්න පුළුවන් කියලයි. මගෙත් එහෙම බලාපොරොතතුවක් තිබුණා. ඒත් ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකෙන් එළියට ආවේ බලාපොරොත්තු කඩවුණු සතුටකින්. එහෙම වෙලා නෑ. හදගම වෙනස් වෙලා නෑ...!!!

හඳගම ශෛලිය ඒ විදිහටම චිත්‍රපටිය ඇතුළේ සුරැකී තිබුණා.නමුත් වෙනදා නොදක්වන සංස්කෘතිමය සංයමයක් සාපේක්ෂ වශයෙන් මේ චිත්‍රපටිය තුළ හදගම පෙන්වා තිබුණා.අන්න ඒකට මට සතුටුයි. සෑම නිර්මාණකරුවෙක්ම අපේ සංස්කෘතික සීමාවන් උල්ලංඝණය නොකළ යුතුයි කියලයි මම නම් හිතන්නේ. මොකද අපි අපි වෙන්නේ ඒ කොටු පවුර ඇතුළේ නිසා.
හඳගම ට හැමදාමත් අපේ කුටුම්භය තුළ වර නැගෙන සංස්කෘතික  දේශපාලනික සාකච්ඡාවන් තමන්ගේ චිත්‍රපටි ප්‍රස්තූතයන් බවට පත්කරගැනීමේ කැමැත්තක් තිබුණා කියලයි මට හිතෙන්නේ.මම සම්ප්‍රදාය අගය කරන්නෙක්.මම කැමති චිත්‍රපටි තුළින් හොද කතාන්දරයක් කියවන්න. මුල මැද අග ගලපාගන්න පුළුවන් විදිහේ කතාන්දරයක්. හිතාගන්න බැරි අවසානයක්.කොලිවුඩ්, බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපටි වගෙ.
නමුත් ඉතින් හදගම ගේ චිත්‍රපටි බොහෝ දුරට යටිබිම්ගත දේශපාලනික කීයවීමක් තියෙන ඒවනේ. ඇගේ ඇස අග ත් එහෙම එකක්.නමුත් එක චිත්‍රපටියකින් ගොඩාක් දේවල් කතාකරන්න බෑනේ .නමුත් එහෙම කරන්න ගිහින් මේක ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා කියලා මට හිතුණා.චිත්‍රපටිය ගැන මගේ අදහස් සියල්ලම මෙතන ලිවීම මහ කම්මලි වැඩක්. නමුත් චිත්‍රපටියේ මට අපහැදිලි තැන් කිහිපයක් ගැනම සහ තවත් බොහෝ දේවල්, ඔය ඇයි ස්වර්ණාව ගෙනාවේ- ධර්මසිරි එන්න බෑ කිව්වේ ස්වර්ණා නිසාද- චැටර්ජි  ගැන සමහර දේ- අළුත් කෙල්ල රිතිකා මේ වගේ දේවලුත් හදගමට කතා කරලා මම ඇහුවේ පත්තරේ ආර්ටිකල් එකකට. ඒවා දැන්ම මෙතන ලියන්න බැරි පත්තරේ යනකම් මෙහෙම ඔබන එක හරි නැතිනිසා.
එහෙම නම් ගිහින් එන්නම්.