'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි.
රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර
ගලා එන විලාසය මසිත බියලන සුලුය
ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව
දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන
මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව
--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --
හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි.
සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි.
oh expecting to fly
we would meet on that shore in the
sweet by and by
මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ.
සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි.








