2013/03/18

01.අග්නි හුලක් අතින් ගත් හුදකලා නිශාසාරිකයා.


කළු සිදුහත්.
වැඩිමනත් යමක් කියන්නට නැහැ. මේ රතුරජරටට බොහෝ කලක් එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටි මා ලියූ කුඩා නවකතාවයි. ඉඩකඩ ලැබෙන සෑම විටෙකම මාගේ වෙනත් ලියැවුම් වලට බාධාවක් නොවන පරිද්දෙන් 'කළු සිදුහත්' නවකතාව රතු රජරටට එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

01.
---------------------------------------------------------------------------------
නදී දියතලය සසැලුණා. පියවි නෙතකට දසුන් නොවන තරම් ක්ෂුද්‍රව. සර්පිලාකාර ජලතරංග සිතිජ අහසේ රක්ත වර්ණයෙන් පෙගී ගිය ගංඟා දියතලය මතින් එසෙවෙමින් පහත් වෙමින්, නැවැත එසෙවෙමින් අනතුරුව  නොපෙනී අතුරුදන්ව ගියේ දියකඳ පත්ලේ කම්පනයකින් ඔද්දලවයි. බොහෝ මොහොතක් පපු කුහරය තුළ සිරකරගෙන හුන් හුස්ම කඳ මහ හඩින් පිටකරමින් රිදීමය ප්‍රතිමාවක් පරිද්දෙන් සිදුහත් නදී දියමතින් ඉල්පුණා. 

පියවුණු දෑස් පියන් විවර වූයේ ඇසිල්ලකින්. නේරංජනා සිතිජයේ හිරු අස්තගතව යමින් සිටියේ බොහෝ වේගයෙන්. අන්ධකාරයේ ඝන බව සිදුහත්ට මුලින්ම හැගී ගියා. හැමදාමත් එසේමයි. දෑස දකින්නේ ප්‍රමාදව. හීයක පිම්මක් ගං ඉවුරට සෑහෙන බව සිදුහත් දැන සිටියා. 

රිදීමය කාන්තියකින් සදීප්තව තිබූ දියතලය අදෘශ්‍යමාන වෙමින් සිතිජ අහසත් ,හරිත වන රේඛාවත් එකම සමතලයක් බවට පත්වෙමින් තිබුණා. දැන් සකල ලෝ ධාතුවම තනි යායක්. ආමිස භව හැගුම් නිවී යමින් නිරාමිස සුවයකින් තම මනුෂ්‍ය ආත්මයම පිබිදී යන්නාක් මෙන් සිදුහත්ගේ සිත ස්වයං ආත්මීය ප්‍රීතියකින් ඔද වැඩුණා. නේරංජනාවේ ජන්ම සිසිළසින් දෝවනය වූ ඔහුගේ තුරුණු දේහය එම ආත්මීය ප්‍රහර්ෂයට ඒකාත්මික වී දිය ඉවුර තරණය කොට මහා වනස්පතියක් අස එකත්පස වූවා. 

පුරා තුන් දිනක් මේ වනස්පතිය හි සෙවණ ගර්භය තමන්ට පහස ලබදුන් අයුරු සිදුහත් චිත්ත ප්‍රතිරාව කළේ කෘතගුණ මාත්‍රයෙන් .තෙවැනි සූර්‍ය මහෝදයත් නිද්‍රාගතව ගෙවන මේ ඇසිල්ලේ නිසි අහර පිරිපතක නොලැබූ කුස ස්වකීය චිත්ත සංකල්පනාවන් වේදනාවෙන් මුසුප්පු කරන්නට වෙර දරන බැව් සිදුහත්ට දැනෙමින් තිබුණා. අබිනික්මනයන් මෙතරම් ගොරබිරම්ද? සිදුහත් දිගු සුසුමක් හෙළුවා. එහෙත් ආපසු හැරෙන්නට අවකාශයක් නැතැයි ඔහු දැන සිටියා. දිගු ගමන් නිතරම වෙහෙසකරයි. ගෙවී යමින් තිබුණු නිශාවෙහි තරුණ සිදුහත්ගේ චිත්ත ගර්භාෂයෙහි තමන් අතැර ආ පූර්ව දිවිසැරියේ මතක කළල වරින් වර එළිය වූවා. චිත්ත සන්තානයේ මතකයන් මකා දැමීම දුෂ්කර බැව් ඔහු අවබොධ කරගෙනයි උන්නේ. දැන් පැමිණ ඇත්තේ පළා ආ ආරම්මණයන් මුදුන් පමුණුවා ගැනීමයි. 

හාත්පස ලෝකය ප්‍රභාතය සමඟ දොඩමළු වන්නට බොහෝ වේලාවක් ශේෂව තිබියදී නේරංජනා ඉවුර ඔස්සේ ඉදිරියට ඇදෙන කදෝපැණි එළියක් වන් ආලෝක ලපයක් සිදුහත්ගේ නෙත ගැටුණේ අහම්බයෙන්. සෙමෙන් සෙමෙන් ,කෙමෙන් කෙමෙන් ඒ ආලෝක පුංජය ස්වකීය දිශාවට සමීප වන අයුරු දකිද්දී ඔහු විපිළසර වූවා. මේ දනසුන් පෙදෙසෙහි මනුශ්‍යය ප්‍රාණියෙක් දැකීම සිතට ආශ්වාදයත්- සංශයත් ගෙන ආවේ එකම නිමේශයකදී. නේරංජනා ඉම සමාන්තරව ඇවිද ආ අග්නි හුලක් අතින් ගත් ඒ හුදකලා ජීව ප්‍රාණියා තමන් අස වනස්පතිය යට නතර වී ගිනිහුල නිවාදමන් සැටි සිදුහත් නිහඩව බලා සිටියා. අන්ධකාරය විනිවිද ඉල්ප පැතිරෙන සහන් එළිය සෑහේයැයි ඔහුගේ සිත කීවාවත්ද? ඉනිබ්බේ මේ ආගන්තුක මනුශ්‍යයා සිදුහත් වාඩිලා හුන් වනස්පතිය වෙත පියමැන්නා. මෙතෙක් වේලා ඒකාංශ කොට ගත දවටාගෙන හුන් රළු පරළු පාංශකූලික වත්කඩ සිදුහත් පොරවාගත්තා තම සිරුරම වැසීයන ලෙස. ඒ චලනයෙන් රුකරඳ අබියස පළමුවැන්නෙක් සිටිනවා දුටු අමුත්තා හුන් පියවරම නැවතුණා. 

"අවසරද මට" ආගන්තුකයාගේ ගැඹුරු බ්‍රහ්ම ස්වරය අඳුර විනිවිද යමින් නින්නාද දෙන්නාක් මෙන් සිදුහත්ට හැගී ගියා. 

"මෙතන තවත් බොහෝ දෙනෙකුට පිරිමසා ගන්නට හැකියි" 

අමුත්තා ස්ව දෑස මානයේ වාඩිලාගන්නා සැටි සිදුහත් නිහඩව බලා සිටියා. තමා පරිද්දෙන්ම ඔහුත් කම්බිලියකින් හිස සඟවාගෙන. හඩ පෞරුෂය අනුව නම් ඔහුත් තමා පරිද්දෙන්ම යව්වනයකු විය යුතු බැව් සිදුහත් අනුමාන කළා. 

"ඔබ කවුද?" 

සිදුහත් ඇසුවා. අමුත්තා උන්නේ යෝගී සෙයියාවෙන් නදිය වෙතට යොමුකරගත් හිසින් ,,ස්ව ඊර්‍යාපථය අංශුවක්වත් වෙනස් නොකර ඔහු පිළිවදන් බිණුවා. 

"මම මඟියෙක්" 
ගෙවීයන්නට ඇත්තේ මොහොතක් හෝ දෙකක් පමණයි. ඊළග ඇසිල්ලේ ආගන්තුක මගියා නැවතත් හඬ අවදි කළා. 
"ගඟින් එතෙර වීමට මඟක් සොයන්නෙක්" 

ගෙවී ගිය දින තුනක කාලයහි නෙරංජනාවේ ගතිසොබා රුව ගුණ සිදුහත් මනාව අවබෝධකරගෙනයි හුන්නේ. ඉහත්තාවේ අනෝරා වැසි දියෙන් පරිපෝෂණය වූ නදී දිය පහළට ඇදීගියේ සැඩපරුෂ ස්වභාවයක් පෙන්වමින්. එහෙයින්ම මේ මහා ඕඝයෙන් එතෙරවීම කොතරම් දුෂ්කර ව්‍යයාමයක් වනු ඇතිදැයි ඔහු සිතුවා. 

"ඔබට තොටියෙක් සොයා ගන්න වේවි" 

"තොටියා මමයි" 

මන්දස්මිතයක් සිදුහත් මුව ඇදුණා. ආධුනිකයෙකුට නේරංජනාව කොතරම් බියකරුදැයි ඔහු අත්දැකිමෙන් පසක් කරගෙනයි සිටියේ. මගියා උන්මාදයෙන් දොඩවනවාදෝයි වරෙක ඔහුට සිතුණා. එහෙත් ඔහුගේ නද ස්වරයේ උන්මාදනීය සලකුණක් දැනෙන්නට නැහැ. 

"තොටියෙක් නම් පාරුවක් හබලක් උරුමයි. අර මහෝඝ ප්‍රවාහය තරණය කරන්නට ඒ අංගෝපාංග අවැසිමයි." 

"හබල මා සතුයි. මා සොයන්නේ පාරුවක්" 

තවමත් පළමු ලීලාවෙන්ම නොසෙල්වී ආගන්තුක මගියා පිළිවදන් මැතුරුවා. ශුන්‍ය දෑතින් ඇවිද ආ මේ මගියා දෙස වඩාත් පිරික්සුම්දායි බැල්මක් යොමන්නට ඔහුගේ ප්‍රතිබිණුම් ඇසූ ඇසිල්ලේම සිදුහත් පමාවූයේ නැහැ. තමන් හුදු මගියෙක් ලෙස හදුන්වාගන්නා මේ ආගන්තුක මනුශ්‍ය ප්‍රාණියා පිළිබදව වැඩියමක් දැනගැනීමේ කුතුහලකාරී ආශාවක් සිදුහත්ගේ චිත්තාභ්‍යන්තර්යේ නළියනු ලැබූවා. 

-චින්තක ටිකිරිබණ්ඩාර- 

2013/03/12

දෙවියන් යනු ඔබම සහ මම ම වෙයි

ජිවිතය කෙතරම් විවිධාකාරද? 
සෑම මිනිත්තුවක්ම පළමු මිනිත්තුවෙන් වෙනස් ය. 
බ්ලොග් පෝස්ටුවක් ලියන්නට පිවිසෙන සෑම මොහොතකම මේ ලිවිය යුතුදැයි මට සිතේ. 
බලපන් උබේ බ්ලොගියෙ නම.
'රතුරජරට.' 
උඹ ලියන්න ඕනෑ පොලිටිකල් විතරයි. 
මා සිත මට කියයි. 
සමහර බ්ලොග් රසිකයන්ද එවැනි මතයන් ඉස්මතු කරවන කොමෙන්ටු කොටයි. 
මා සිත බැඳගත් ගීතයක් ,කවියක් ,පින්තූරයක් ගැන ලියූ හනික 
"මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ? "  යැයි විමසයි. 
එහෙත් මගේ සිත දවන., තවන., රිදවන., සනසන දේ ගැන නොලියා සිටින්නේ කෙසේද? 
රතු රජරට මගේ දේශපාලනය නොව 
මගේ සිතයි..,
මගේ හදයි. 

මෙරට පළමු නිදහස් කවියා වූ ජීබී සේනානායකගේ 'පළිගැනීමෙහි' එන මේ කවිය ට මා හැමදාමත් ප්‍රිය කළේය. ඒ නිසා එය මෙහි ලියමි. 

බුද්ධිය මිත්‍රයෙකුයි සිතූ මම 
දිනක් මග රැක සිට ,
මගෙ දෙවියන් 
මරා හෙළිමි. 
දැවැන්තයකු වන බුද්ධිය 
අඳුරෙහි මග අඩි තබමින් 
මා පිටුපසින් එනු 
මට ඇසෙයි. 
දැන් මට සැක හැර ගමන් කළ නොහැක. 

මම උමතු සිනමා රසිකයෙක් වෙමි . ඒ මගේ අම්මාගේ ආභාශයෙනි. තරුණ වියේදී චිත්‍රපට බොහෝ ගණනක් නරඹා තිබූ ඇය කුඩා කාලයේදී මට ඒ සිනමා කතා කියා දුන්නේය.කතා දුසිම් ගණනක්. ඔව් කර්කශ වියැළි සුළං හමා යන රාත්‍රීන් ගණනාවකදී මා ගැටවර තරුණයෙක් වනතුරු මම අම්මාගේ සිනමා කතා ඇසීය. ඒ අතරින් මට අමතක නොවෙනම කතාන්දරයක් වූයේ මාතලං  චිත්‍රපටයේ කතාවයි. ඊට හේතු වන්නට ඇත්තේ එහි අඩංගු වූ ගීත වන්නට ඇත. හොඳ ගායිකාවක වූ අම්මා චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත සියල්ල ප්‍රතිගායනා කළාය. කෙසේ වෙතත් අම්මාගේ සෙනෙහෙබර තුරුල්ලෙන් මිදී දොරට වඩින විට මා උන්මාදනීය සිනමා ලෝලියෙක් වී හමාරය. 

මා දමිළ චිත්‍රපට නරඹන්නට පටන්ගත්තේ මහාරාජා ට පින්සිදුවන්නටය. ශක්ති චැනලයේ සෑම දිනයකම විකාශය වූ කොලිවුඩ් චිත්‍රපට බොහෝ ගණනක් මා නරඹා තිබේ. අන්තර්ජාලයට පින්සිදුවන්නට දැන් මා තවත් දෙමළ චිත්‍රපට තොගයක් නරඹා ඇත. දෙමළ චිත්‍රපට නිසාම යාන්තමින් දෙමළ කතාකරන්නට ඉගෙනගැනීමටද හැකිවිය. 

මා දෙමළ චිත්‍රපටවලට ලැදි වූයේ ඇයි? 
1.බොහෝ දෙමළ චිත්‍රපටවල තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ දුගී ජීවිතය විග්‍රහ කරන නිසාය. 
2.දෙමළ චිත්‍රපට නරඹන විට අපේ කමක් දැනෙන නිසාය. 
3.කොලිවුඩයේ චිත්තාකර්ශනීය සරල නරතනයන් නිසාය. 




කමල්හසන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබේවා  , ඔහු මගේ ප්‍රියතම නළුවෙකි. අද මේ බ්ලොග් පෝස්ටුව ලිවීමට හේතු වූයේත් ඔහු රගපෑ විශිෂ්ට සිනමා පටයක් වූ 'අන්බේ සිවම් 'හෙවත් 'දයාව නම් දෙවියන් වෙ' යන චිත්‍රපටය නැවත නැරඹීමෙන් ඇතිවූ ප්‍රකම්පනයයි. 
2003 වසරේදී නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය එක් පසෙකින් උත්තර මානවවාදී ඉසව්වක් කරා අප කැදවා යන අතර අනෙක් පසින් තියුණු දේශපාලනයක් සාකච්ජා කරයි. විශේෂ්යෙන්ම නූතන ලෝකය තුළ ධනවාදයේ සහ සමාජවාදයේ ගැටුම 'අන්බේ සිවම්' තුළින් මනාව නිරූපණය කරයි. මීට දශකයකට එපිටින් නිපදවුණු මෙම චිත්‍රපටය වර්තමානයේ එකිනෙකා කෙරෙහි ද්වේශයෙන්, වෛරයෙන් සහ සැකයෙන් බලන්නට හුරුකොට තිබෙන මෙරට සමාජයට පාඩම් ගණනාවක් කියාදෙන්නට සමත් වේ යැයි මට සිතේ. ලෝක සනාතනයන් ඔප්පු කොට පෙන්වයි. හදවත් අවදි කරවයි. 

'අන්බේ සිවම්' චිත්‍රපටයේ තේමා ගීතය මුළු සිනමා නිර්මාණයම එක් පිඩකට කැටි කොට ඇත්තාක් මෙනි. එහි සිංහල අරුත් මෙහි පළකරන්නේ චිත්‍රපටය නරඹා නැති ඔබට කිසියම් අදහසක් ගැනීමටය. (බොහෝ දෙනා එය නරඹා ඇතැයි සිතමි.)

දෙවියන් යනු කවුරුන්ද?
ඔබම සහ මා දෙවියන් වේ.  
ජීවිතය භාවනාවක්මැය, 
දෙවියන්ගේ දයාවෙන් ලැබුණු .

හැමවිටෙකම දයාව දෙවියන්වෙ. 
හැමතැනකම දයාව දෙවියන්වේ. 

හදවත ලොවුතුරු නම් දැවෙන ගිනි එය වනසනු ඇත. 
හදවත දයාවෙ මෙවලමක් නම් ,එය මරණයද අභිබවනු ඇත. 

දෙවියන් යනු ඔබම සහ මම ම වෙයි. 
ප්‍රෙමයේ මගට පිළිපන් ඔබට ,එමග කිසිදා නොනිමේ. 
ඔබේ සිතුවිලි හි දිග, පළල, සීමා 
ජීවිතයේ දිග, පළල, නිමාව  වේ. 


විද්‍යාසාගර්ගේ සංගීතයෙන් හැඩවුණු අන්බේ සිවම් තේමා ගීතය රසවිදින්න.
ජීවිතයේ සැබෑ යතාර්ථය පසුපස හලාල් සහ හරාම් වන්නේ මොනවාදැයි සැඟව තිබේ. 



2013/03/10

අවසන් පරපුරද මඩ සොදාගන්නට පෙර..... ,

ශාන්ති දිසානායකගේ 'පරඬැල් '   කියවා අවසන් කොට මා හුන්නේ නොසන්සුන් සිතිනි. ඈත රජරට සිට ගොවිජනපද කේන්ද්‍රකොටගත් වස්තුබිජයන්ගෙන්  සාහිත්‍ය වියමන් කරන ශාන්තිගේ නවකතා කියවන්නට මා මගබලා සිටින්නේ මමද ගොවිජනපදයක උපන් දරුවෙක් හෙයිනි.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී දේශපාලන ව්‍යාපාරයක් වූ ගොවිජනපද පිහිටු වීමේ ක්‍රියාවලිය මෙරට භූගෝලීය, දේශපාලනික මෙන්ම ආර්ථික පද්ධතීන් වෙනස් කිරීමේ කඩයිම් ක්‍රියාවලියක් වූවේය. නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ කවර දිනයකවත් එය නිසියාකාර ඇගයීමකට ලක්වූයේ නැත. 48 නිදහස දිනාගැනීමෙන් පසුව පිහිටුවා ගත් ඩී ඇස් සේනානායකයන්ගේ රජය විසින් එකල වනාන්තරවලින් වැසී ගිය රජරට සහ නුවරකලාවිය යෝධ ඉඩහසර ගොවිජනපද පිහිටුවීමට තෝරාගත්තේය. වනාන්තරයන්ගෙන් වැසී තිබුණු මෙම පළාත් ගැන කැලෑ ජෝන් නමින් සේනානායක පවුලේ නම් දැරූ  ඩී.ඇස්ට මනා අවබෝධයක් තිබූ බව 'මෙරට දේශපාලනයේ කුලය හා පවුල'' යන කෘතියේ වික්ටර් අයිවන් සඳහන් කර තිබුණා මට මතකය. මහවැලි ව්‍යාපාරයට අරාදිමින් තිබූ එම කාලයේ උඩරට , මහවැලියෙන් යටවීමට ඉඩකඩ තිබූ පවුල්වලට ඉඩම් සපයාදීමද ඩී.ඇස් රජයට තිබූ තවත් වගකීමක් විය. ඒ නිසාම මෙරට මුල්ම ගොවිජනපදවල පදිංචි කෙරවූ අයගෙන් බහුතර ප්‍රතිශතයක් උඩරැටියන් වූයේය. නමුත් ඩී එස් රජය කිසිම විටෙක උඩරට ප්‍රදේශවල පදිංචිව සිටි ඉන්දියානු වතු කම්කරුවන් මෙම ගොවිජනපද ව්‍යාපාරවල පදිංචි නොකෙරවීමට ප්‍රවේශම් වූයේය.


ඩී ඇස් රජය විසින් ඇරඹූ මුල්ම ජනපද ව්‍යාපාර භූගෝලීය වශයෙන් පමණක් වෙනස් වූ අතර සමාජයීය සහ සංස්කෘතික වශයෙන් සම්පූර්ණයෙන්ම එය උඩරට සමාජයේ පිළිබිඹුවක් වූයේය. නම්ගම්, කුලගොත්, සිරිත් විරිත් කතාබහ සියල්ලම එපරිද්දෙන්ම විය. විශේෂයෙන්ම අදට පවා මා උපන් ගොවිජනපදවල කුලගොත් ගැන සැලකීම ප්‍රධාන වශයෙන් බලපැවැත්වෙ . මා ලංකාවේ කුලක්‍රමය පිළිබඳව සමාජ විද්‍යාත්මක විශයයක් වශයෙන් හදාරන්නට පෙළඹෙන්නෙද ඒ බලපෑමෙනි. නමුත් මෙරට බොහෝ දෙනා ඒ ගැන සාකච්චා කරන්නට මැලිවනවා පමණක් නොව එහි නූතන අවභාවිතයන් අවබෝධකරගන්නටද නොවෙහෙසෙති. විශේෂයෙන්ම තමන් නූතන ලෝකයේ ඉදිරිගාමීන් යැයි කියාගන්නා බ්ලොග්කරුවන්ද මෙරට කුලක්‍රමය පිළිබදව සාකච්චා සහ එහි නියැළෙන්නන් හඳුන්වන්නේ ගෝත්‍රික මානසිකත්වයට එම ක්‍රියාකාරම් ලඝු කරමිනි.

මෙරට ගොවිජනපද ජීවිතය වෙනම කතාබහට ගතයුතු මාතෘකාවක් වන අතර මෙම පෝස්ටුව ලිවීමේ අරමුණ එම ක්‍රියාවලියේ දේශපාලනික,ආර්ථික සහ සමාජයීය වටිනාකම් නූතන ලංකාවේ භාවිතාවට වැදගත් වන ආකාරය ගැන කතිකාවතකට මුල පිරීමයි. වර්තමානය වනවිට එදා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටවූ ජනපද ව්‍යාපාරයන් රටටම බත සපයන කේන්ද්‍රීය මර්මස්ථාන බවට පත්වී තිබේ. හිකුරක්ගොඩ, මින්නේරිය, ගල් ඔය, සහ අනුරාධපුරයට අයත් ගොවිජනපද මෙන්ම ගාමිණී දිසානායකගේ මූලිකත්වයෙන් කටයුතු සිදුවූ මහවැලි 'බී' සහ 'සී' කලාපයන් යන ජනපද එකක් හෝ අහිමි වුවහොත් සිදුවන ආර්ථික හා සමාජයීය විපර්‍යාසයයන් සිතාගැනීමටත් දුෂ්කර වනු ඇත. නමුත් මෙම ජනපද පිහිටවීමෙන් පසුව එදා මෙදා තුර කාලයේ මෙම ජනපද ව්‍යවසායික වැදගත්කමක් ඇතැයි සලකමින් දියුණු කරන්නට කිසිඳු ආණ්ඩුවක් පියවර නොගත්තේය. සමගි පෙරමුණු රජය විසින් මෙම ජනපද කේන්ද්‍ර කොටගෙන ගොඩනගන ලද වී අලෙවි මණ්ඩලය වැනි ආයතන සුදු අලින් බවට පත්විණි. වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පිහිටි යෝධ ගොඩනැගිලි සංකීර්ණය අද බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කර්මාන්තශාලාවක් බවට පත්වී තිබේ. ස්වාධීන නිවහල් ජීවිත ගතකරන්නට හිමිකම් තිබෙන රජරට ගොවි දරුවන් එම ඇගළුම් කම්හලේ කුලියට රෙදි වියයි. අදටත් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත වෙළඳපළ ක්‍රමයට අම්මා මෝ නැතිවෙන්නට කියන වීදී අර්ථ ශාස්ත්‍රඥයන්ට අවබෝධ නොවූ කාරණාව වන්නේ රටක ආර්ථික පද්ධතිය දියුණු කිරීමට අටුවන් බැස ගිය, රෝද පුටුවලින් යන මහා රාජ්‍ය නායකත්වයක් ගැන විශ්වාස තබන සීනී, අල ,පරිප්පු,පත්තර ඇමතිලා රොත්තකට නොහැකි බවයි. 

2013/02/13

ගඟන බාල්කයක තත්පර කිහිපයක්.



රතු රජරටේ කලින් පළවූ අදිසි හාදුව  ගැන කතාවට මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාර ලැබී තිබුණේ නෑ. හේතුව හාදුවට මුවා වී තිබූ කතාව බොහෝ දෙනා ඊට කලින් කියවා තිබීමයි. කොහොම වුණත් පෝසටුවත් ලැබුණු ප්‍රතිචාරත් නිසා ලෝකයේ ජනප්‍රියම ජායාරූප සහ පෝස්ටර් පිටුපස සැගවුණු පසුබිම් කතා සොයා යන්නට මා තීරණය කළා. මේ එලෙස මා කුතුහලකාරී අශාවෙන් සොයා ගිය අපූර්ව පින්තූර කිහිපයකින් එකක පසුබිම් කතාවස්තුවක්. 




අන්තර්ජාලයෙන් මේ පින්තූරය ඇසගැටුණු මොහොතේ මගේ සිතට පළමුවෙන්ම නැගුණු සිතුවිල්ල වූයේ මේ නම් සැබෑ පින්තූරයක් විය නොහැකි බවයි. ඇස රවටන කිසියම් ඉන්ද්‍රජාලික මායවක් මේ ලොමු දැහැගැන්වෙන පින්තූරය පිටුපස ඇතැයි මට සිතුණා. නමුත් පින්තූරය ගෙන තිබුණේ 1932 තරම් ඈත දවසක. ඒ නිසාම මේ නම් කොම්පියුටර් ජිල්මාට් එකක් විය නොහැකියැයි මගේ සිත පිළිගත්තා. වර්තමානයේ GE බිල්ඩින්ග් වශයෙන් හැදින්වෙන ඇමරිකාවේ නිව්යෝර්ක්හි පිහිටා තිබෙන ගොඩනැගිල්ල ඉදිකරමින් තිබූ වකවානුවේ හරියටම පැවසුවහොත් එහි වැඩ නිමාවෙමින් තිබූ අවසන් මාසයේ තම තේ විවේකයේදී ගොඩනැගිල්ලේ 69 මහලේ  ගගන චුම්බිතයක් මතට නැගී සිනා සපිරි මුවෙන් සල්ලාපයේ පසුවන කම්කරුවන් එකොළොස්දෙනෙක් මේ පින්තූරයට හසුකරගත්තේ මෙවැනි බියජනක,,සිත ගත කිළිපොලා යන පින්තූර ගැනීමේ සමතෙක් වූ චාර්ල්ස් ඊබට් නම් ජායාරූප ශිල්පියා විසින්. නමුත් 1932 ඔක්තෝම්බර් මාසයේ 2 වැනි දින නිවුයෝර්ක් හැරල්ඩ් ට්‍රිබියුන් පුවත්පතේ මෙම ජායාරූපය පළවූවත් එය නාදුනන ඇනෝවරයෙක් විසින් ගනුලැබූ පින්තූරයක් වශයෙනුයි සැලකුණේ. චාර්ල්ස් ඊබට් එම පින්තූරය තම එකක් බවට සහතික කරනු ලැබූවේ 2003 වසරේදීයි. 


මේ පින්තූරයට ඉදිරිපත්ව සිටින්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමට හවුල් වූ සැබෑම කම්කරුවන්. ඔවුන් බොහෝ දෙනෙකු එකම පවුලක පරම්පරා කිහිපයකට අයත් සාමාජිකයන් වශයෙන් සැලකෙනවා..පින්තූරයේ ගගන බාල්කයේ වම් කෙළවරෙහි අන්තිමයා බලන්න. වගේ වගක් නොමැතිව සුරුට්ටුවක් දල්වන ඔහු මැට් ඕ ශොග්නෙසී. දකුණු කෙළවරෙහි අන්තයේ සිටින්නේ පැට්‍රික් ග්ලයින්. ඔවුන් දෙදෙනාම අයර්ලන්තයේ සිට සෞභාග්‍යය සොයා එක්සත් ජනපදයට පැමිණියවුන්.දකුණු කෙළවරේ අන්තිමයාගේ සිට සිව්වැන්නා නොහොත් කඩල ගොට්ටක් වැනි යමක් අතේ තබාගෙන සිටින්නා ෆ්රැන්සිස් මයිකල් රැෆ්ර්ටි. ඔහුගේ දකුණු පසින් සිටින්නේ ෆ්රැන්සිස්ගේ දිගුකාලීන යාවජීව මිත්‍රයා වූ ස්ට්‍රෙච් ඩොන්හු.  ඔවුන් දෙදෙනා මීට පෙරද මෙවැනිම බාල්කයක නිදාසිටියදී චාර්ල්ස් ඊබට් විසින් ඦයාරූපයට නගා තිබෙනවා. 

කෙසේ වෙතත් මෙ පින්තූරයේ සිටින සියල්ලන්ම එකිනෙකා කවුරුන්දැයි තවමත් හදුනාගෙන නැහැ. සමහර විටෙක කිසි දිනයක හදුනාගන්නා එකකුදු නැහැ. කෙසේ වෙතත් ඔවුන් සියල්ලෝම අභීත හදවත් ඇත්තවුන් පිරිසක් බවට නම් සැකයක් නැහැ. 

2013/02/11

ඒ හාදුවේ කැටිව තිබුණේ යුද අස්වැසුමක උණුසුමයි.


  දීර්ඝ කාලයක් මුළුල්ලේ යුද බියෙන් සලිතව සිටි සමාජයකට ඒ කුරිරු යුද්ධය දැන් ඉතින් අවසන් යැයි දැනගත් මොහොතක  ඒ මිනිසුන්ගේ මනුෂ්‍ය ආත්මයන් ප්‍රීතියෙන් ඉපිල යන අයුරු අපට ආගන්තුක නොවන්නේ එම අත්දැකීම අපටද පොදු එකක් වූ හෙයිනි.

1945 වසරේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ අවසන සනිටුහන් වන්නේ ජපන් බළ සේනා අමෙරිකා එක්සත් ජනපදයට තම යටත්වීම ප්‍රකාශ කිරීමෙනි. ජපානය යටත් වීම නිවේදනය කළ වහාම ඉවසා ගත නුහුණු ප්‍රීතියෙන්  සමස්ත එක්සත් ජනපදයම ඇලළී ගියා. එලෙස සොම්නසින් භරිතව ප්‍රීතීඝෝෂා නඟන්නා වූ දහස් ගණනක් වූ නිව්යෝර්ක් නගරවාසීන්ගෙන් එහි ටයිම්ස් චතුරස්‍රය පිරී තිබුණා වූ අරුණෝදයක අපූරු යමක් සිදුවූවා.

යුද්ධයේ නිමාව පිළිබඳ හද පතුලින්ම සොම්නසට පත්ව හුන්නේ එයට ක්‍රියාකාරීව සහභාගි වී සිටි එක්සත් ජනපද යුද භටයන්. එදා ටයිම් චතුරස්‍රයේ නැවැත නිවෙස් කරා එමින් සිටි යුද භටයන්ද උන්නා. එලෙස තම ප්‍රීතිය දරාගත නොහැකිව සිටි තරුණ නාවික භටයෙක් තමන් අසලින් පියමං කර යමින් සිටි තරුණ හෙදියක හදිසියේ වැලඳ ගනිමින් ඇයට හාදුවක් දුන්නා. බලහත්කාරී හාදුවක්  . සියල්ලම එක් ඇසිල්ලකට පමණයි. දෝරේ ගලනා විජයග්‍රාහී ප්‍රීති ප්‍රමෝදය අතරෙහි ටයිම්ස් චතුරස්‍රය පුරා ගලා යමින් තිබූ ජන සන්නිපාතයට මේ අදිසි බලහත්කාරී හාද්ද අමුත්තක් වූයේ නැහැ. එය අර සතුටෙහිම තවත් කොටසක් පමණක්  වූවා.

Life සඟරාවේ පළවූ ඦායාරූපය. 


නමුත් මේ අදිසි බලහත්කාරී මෙන්ම සප්‍රීතිකර හාද්ද ඒ අසල හුන් පුවත්පත් ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයට මඟ ඇරුණේ නැහැ. මඟ නොහැරුණා පමණක් නොව එය සුප්‍රකට Life සඟරාවේ ඊළඟ කලාපයේ පළ වුණා. එය පළවීමෙන් අනතුරුව Life ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ඩ් විසින් ගනු ලැබූ එම ඡායාරූපය අතිමහත් ජන ප්‍රසාදයක් දිනාගනු ලැබුවා. එය යුද සංග්‍රාමය අවසානයේ එක්සත් ජනපදයේ සමස්ත පොදුජන ආධ්‍යාත්මයේ සප්‍රිතියේ කූටප්‍රාප්තිය සංකේතවත් කරනු ලැබූ ඡායාරූපයක් වශයෙන් සැලකෙන්නට පටන් ගත්තා. එපමණක් නොවෙයි එය එදා මෙදාතුර කාලයක් පුරා ලෝකයේ ජනප්‍රියම පෝස්ටර් පින්තූර දහය අතරටද එක්ව තිබෙනවා.

මෙම පින්තූරය Life සඟරාවේ පළවීමත් සමඟම එහි ඡායාරූප ශිල්පියා වූ 'ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' වෙත කීර්තියද, ප්‍රසිද්ධියද, ප්‍රශංසාවන්ද නොඅඩුව ගලා ආවා. සම්පූර්ණයෙන්ම ස්වාභාවික ආලෝක තත්ත්වයන් යටතේ හදිසි, කලබලකාරී අවස්ථාවක ගනු ලැබුවද මෙය විශිෂ්ට ඡායාරූප ශිල්පියකුගේ පරිපූර්ණ කාච සටහනක් වශයෙන් අදටද සලකනු ලබනවා. තරුණ හෙදියගේ සිරුරෙහි සුනම්‍ය භාවයත්,ඈ  තම දකුණු පය හාදුවට සරිලන ලාලිත්‍යයකින් තබාගෙන සිටින ආකාරයත්, පසුබිමේ සිටින්නන් මෙම හාදුවේ සරල, සැහැල්ලුව ස්වභාවය තම ප්‍රීතිය සමඟ මුසුකොටගෙන සිටින ආකාරයත් ඉතාමත් පැහැදිලිව ඡායාරූපයේ සටහන්ව තිබෙනවා. මෙම ජායාරූපයේ  අගය තීව්‍ර වූ වැදගත්ම කාරණාව වූයේ මෙම තරුණ නාවිකයා හෝ හෙදිය කවුරුන්දැයි ඡායාරූපයෙන් අනාවරණය නොවීමයි.නමුත් Life සඟරාවේ මෙම ඡායාරූපය පළවීමත් සමඟ ඊට හිමි සාතිශය ජන ප්‍රසාදයත් සමඟ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි පවසමින් බොහෝ නාවික භටයන් සහ තරුණ හෙදියන් ඉදිරිපත් වුවත් ඔවුනට එය ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' ඉදිරියේ තහවුරු කරන්නට නොහැකි වූවා.


නමුත් 1970 දී පමණ අදාළ සිඳුවීමෙන්  වසර විසිපහකට පසුව ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් වෙත ලිපියක් ලියන "ඊඩින් ෂේන්' නම් කාන්තාවක් ඔහුගේ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි හඳුන්වා දුන්නා පමණක් නොවෙයි Life කාර්යමණ්ඩලය විසින් පවත්වනු ලැබූ සත්‍යය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ගණනාවකින්ද සමත් වෙමින් ඒ අදිසි හාදුවට හිමිකම් කී තරුණ හෙදිය තමා යැයි තහවුරු කොට සිටියා.

"රේඩියෝවෙන් යුද්ධය අවසන් යැයි කීවට පස්සෙ මමත් මගේ මිතුරියත් වැඩ මුරය අවසන් කරලා චතුරශ්‍රයට ආවා. අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී සිටියා. අපට එන්නට ලැබුණේ ටික දුරයි . කවුදෝ අයෙක් එකපාරටම මාව බදාගෙන හාදුවක් දුන්නා. මම යාන්තමට දැක්කේ ඔහු තරුණ නාවිකයෙක් කියලා විතරයි. ඔහු සතුටින් හිනාවෙමින් ඉක්මණින් පිටව ගියා . ඔහු අප වෙනුවෙන් සටන් කළ කෙනෙක් නිසා මම ඔහුට යන්නට ඉඩ දුන්නා" ඊඩින් තම අත්දැකීම් විස්තර කරනු ලැබුවේ එහෙමයි.යුද වාතාවරණයකින් පසුව සමාජය හිමිකරගන්නා වූ අසීමිත අස්වැසිල්ල මේ ඡායාරූපයෙන් මොනවට විදහා පානවා. නිව්යෝර්ක් කලාගාරයේ ඡායාරූප අංශයේ මාටින් ලුබ්වොක් පින්තූරය ගැන කියමින් "බලාපොරොත්තු , ප්‍රේමය, අනුරාගය සාමය සහ අනාගතය මේ පින්තූරයේ අපූරුවට කැටි වී තිබෙනවා. යුද්ධයක අවසානයේ සමස්ත සමාජ ආත්මයම විඳින ආහ්ලාදය මේ පින්තූර විසින් කියාපානවා" යැයි පවසනවා.


ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් විසින් ගනු ලැබූ මේ අනගි මාහැඟි ඡායාරූපය පසුකලෙක බටහිර ජනප්‍රිය සංස්කෘතියේ ආවේණික සංකේතයක් බවට පත් වුණා. 

එය විවිධාකාර ආකෘතීන් ඔස්සේ නැවැත නැවැතත් ප්‍රතිනිෂ්පාදනය කෙරුණා. සුබ පැතුම් පත්වල නිවෙස්වල සැදැල්ලෙහි මෙන්ම පච්චා රූපයන් වශයෙන්ද ජනප්‍රිය සංස්කෘතියේ මේ අපූර්ව ඡායාරූපය සංකේතීය වශයෙන් නැවත නැවැතත් දිගහැරුණා. එපමණක් නොවෙයි 2005 වසරේදී ටයිම්ස් චතුරස්‍රයේ මෙම 'අපූර්ව හාද්ද' යෝධ මූර්තියක් වශයෙන්ද ඉදිකෙරුණා.

අයින්ස්ටෙඩ් විසින් ගනු ලැබූ තවත් ඦායාරූප බලන්න මෙතනින් යන්න.

2013/02/04

එහි ලේ, කදුළු සහ යකඩ, ගින්දර නොමැති වුවත්......


අද පෙබරවාරි 4 ජාතික නිදහස් දිනයයි. ගැටවර වියේදී මා අපේ නිදහස් දිනයට වඩා ඉන්දියානුවන්ගේ නිදහස් දිනයට ඇළුම් කළේය. හේතුව සරල එකකි. ඒ භාරත නිදහස් දිනයේදී අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ඉන්දියානු නිදහස් සටන ඇසුරින් නිපැදවුණු බොලිවුඩ් චිත්‍රපට නරඹන්නට හැකියාව ලැබෙන නිසාය. එකල අද මෙන් පහසුවෙන් එවැනි චිත්‍රපට නැරඹීමේ අවස්ථාවන් නොවීය. එකල මා නැරඹූ the legend of baghath singh වැනි චිත්‍රපට ඉන්දියානු නිදහස් සටනට ඇළුම් කිරීමේ මගේ ගැටවර බොළද සිතුවිල්ල උත්කර්ෂය ට  නැංවූයේය. ඉන්දියානු නිදහස් සටන ලෙයින් කදුළින් සහ යකඩින් ඔපවත් වී තිබුණත් අපේ නිදහස ලේ බිදකුදු නොසොල්වා ලබා ගෙන තිබීම මගේ ගැටවර සිතට මහා මදිකමක් විය. අපේ ජාතික නායකයන් සුද්දන්ගේ දෙපරන්ද අස්සේ රිංගමින් මොන කෙහෙල්මලක් කළාදැයි මගේ සිත නිතර නිතර ප්‍රශ්න කළේය.

එදා මට හැගුණු සිතුවිල්ලෙන් යුතුව නිදහස සමරනා ඇත්තන්ගෙන් අඩුවක් අදටද නැත. නමුත් සත්‍යය නම් ලේ ගංඟාවන් මතින් පිහිනමින් නිදහස ලබා නොගත්තත් අපට නිදහස ලැබුණේ දේශපාලනික මතවාදී අරගලයකින් පසුවය යන්නයි. එම ක්‍රියාවලියේ යම් යම් අඩුපාඬු දුර්වලතා පැවතියා වුවත් එය අභිමානවත් අරගලයක් ය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. ඩොමීනියන් තත්වයේ නිදහස ලබාගැනීම දක්වාම අපේ පූර්වගාමීන් පැමිණියේ දුශ්කර ගමන් මාර්ගයකය.

නිදහස යනු වචනාර්ථය ඉක්මවා යන සත්‍යයකි. එයට එක් එක් අයගේ දේශපාලනික චින්තනය මත විවිධ අර්ථකතනයන් දිය හැකි වුවත් 48 සුද්දන්ගෙන් නිදහස ලබාගැනීම යන්න මහා සම්ප්‍රදායක වෙනස් වීමකට පාරකැපූ හැරවුම් ලක්ෂ්‍යයකි. ලෙනාඩ් වුල්ෆ්ගේ village in tha jungle නවකතාවේ යටිපෙළින් කියවෙන්නේ කුමක්ද? ඒ බ්‍රිතාන්‍යය නිදහස් ධනවාදී පරිපාලන ක්‍රමය ලංකාවේ දෙදහස් වසරක් තිස්සේ ක්‍රමිකව ගලා ආ වැඩවසම් සමාජක්‍රමය සමග ඉතාමත් සහජීවනයෙන් කටයුතු කරමින් පැවත ආ ආකාරයයි. 48 නිදහස ලබාගැනීම යනු මේ නිර්දය දේශපාලනික හා සමාජ සභාගය පෙරළා දමන්නට තැබූ පළමු පියවරයි. නිදහස ලබාගැනීමෙන් පසුව වසර 65ක් ගෙවී තිබෙන තැන ඉහත සදහන් කරන ලද වැඩවසම් සම්ප්‍රදායේ සහ ධනවාදී පරිපාලනයේ සෙවණැලි සම්පූර්ණයෙන්ම පරාජය කළ නොහැකිව තිබුණා වුවත් අද අප කිසියම් වූ දේශපාලනික ආර්තික සහ සාමාජික නිදහසක් බුක්ති විදිනු ලබන්නේ අපගේ පූර්වගාමීන් ලේ කදුළු සහ යකඩ ගින්දර නොමැතිව වුවත් බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගැනීමට අරගල කළ නිසාවෙනි. ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට ඇදෙන අතරම වර්තමානයේ සමාජයක් වශයෙන් අපට සිටින්නට සිදුවන්නේද පසුගාමී තත්වයකය.

නිදහස ලබාගැනීමට පෙර සහ පසු සිදු වූ ක්‍රියාකාරකම් වල යම් යම් සීමාසහිතතා තිබියදී වුවත් එක් සිදුවීමක් වශයෙන් ගතහොත් 48 නිදහස ලබාගැනීම නිශේධාත්මක සිදුවීමක් වශයෙන් තර්ක කරන්නට බැරි බව මගේ අදහසයි. එය ඉතිහාසය විසින් ඔප්පු කොට තහවුරු කොට තිබේ. විශේෂයෙන්ම දේශීය සුළු ධනේශ්වරයේ ක්‍රියාකාරකම් දිගින් දිගටම නිවරදි තත්වයේ වූවා නම් අද රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝගයන් පහසුවෙන් ජයගැනීමට හැකි වාතාවරණයන් ගොඩනගා ගැනීමට අපට සෑහෙන ඉඩකඩක් ඉතුරුව තිබෙනවා සහතිකය. කෙසේ වෙතත් ගිය හකුරට අඩා වැටීමෙන් පලක් නොමැත. සමාජමය වශයෙන් තීරණාතම ක සංධිස්ථානවලදී නිවරදී ආස්ථානයන් වෙත සිවිල් සමාජය පෙළගැස්වීම සදහා තම තමන්ගේ ක්ෂුද්‍ර දායකත්වයක් හෝ ලබා දීමට උත්සාහ දැරීමෙන් නිදහස් සැමරුම අර්තවත් කිරීමට අපි උත්සාහ ගනිමු.

2013/01/12

වරෙව්.., එක පෙළට යොන් මරමු.



'යොන් මැරිල්ල ' පැරණි ජන ක්‍රීඩාවකි. ගෘහස්ථ ක්‍රීඩාවක් වූ මෙහි පාර්ශවයන් දෙකකි. එකිනෙකට වෙනස් ගල්කැට හෝ ඇටවර්ග දෙවර්ගයක් ක්‍රීඩාවේ ඉත්තන් වශයෙන් ප්‍රයෝජනයට ගනියි. ඒවා ඉත්තන් වේ. එක් පාර්ශ්වයකට ඉත්තන් 11 බැගින් ක්‍රීඩාව සඳහා සම්පූර්ණ ඉත්තන් 22කි .සම්පූර්ණ ඉත්තන් ගණන  එක් කණ්ඩායමක ඉත්තෙකුට පසුව තවත් එකක් ලෙස වෘතාකාරව ගෙබිම අතුරයි. දැන් ක්‍රීඩාව ඇරඹෙයි. මුලින්ම අවස්තාව හිමිකරගන්නා පාර්ශවයට තම වෘත්තයේ ඕනෑම තැනක සිට අරඹන ආකාරයට අරඹා වාමාවර්තව නමය දක්වා ගණන් කොට තම විරුද්ධ පාර්ශවයේ ඉත්තෙක් පෙතෙන් ඉවත් කළ හැකිය. මේ ආකාරයට සෑම නවවෙනි ඉත්තාම පෙතින් ඉවත් කළ යුතු අතර නවවැන්නා වශයෙන් තමන්ගේ ඉත්තෙක්ම පැමිණි මොහොතක එම ඉත්තා ද පෙතෙන් ඉවත් කරමින් තමන්ගේ ඇදීමේ වාරය අනෙක් පාර්ශවයට පවරා දිය යුතු ය. මෙය ක්‍රීඩාවේ සාරාංශික ක්‍රියාවලිය පමණක් වෙයි. 

මෙම ජනක්‍රීඩාවේ සම්භවය පිළිබදව අපූර්ව කතා පුවතක් ජනප්‍රවාදයේ දැක්වෙයි. සිංහල නැව්පතියෙක් තම නැව සමඟ යාත්‍රා කරමින් සිටියදී දරුණු කුණාටුවකට හසුවෙයි. ඔහු තමන් දන්නා ප්‍රතිකර්ම යොදමින් නැව් බේරාගැනීමට උත්සාහ දැරුවේය. නැවේ බර අඩුකිරීම යහපත් ප්‍රතිපල ගෙන දේවියැයි බලාපොරොත්තු වෙමින් ගෙන යමින් තිබූ බඩු භාණ්ඩ මුහුදට හෙලූ මුත් එය ප්‍රමාණවත් නොවීය. අවසානයේ නැව්පතියා නොහොත් කැප්ටන් තීරණය කරනු ලැබූයේ නැවේ සිටි කාර්‍ය මණ්ඩලයෙන් අඩක් මුහුදට හෙළා හෝ නැව බේරා ගන්නටයි. එහෙත් කිසිවෙක් ස්වෙච්ජාවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවූ කළ අහඹු ලෙස ඒ පිරිස තෝරා ගන්නට නැව්පතියා තීරණය කළේය. නැවේ සිංහල හා මුස්ලිම් හෙවත් යෝනකයන් සම සමව සිටි අතර නැව්පතියා අපේ හිතවත් සමහර බ්ලොග් කරුවන් මෙන් ජාතිමාමක සිංහලයෙක් විය. එමෙන්ම උසස් ගණිත දැනුමක්ද තිබූ නැව්පතියා නාවිකයන් සියලු දෙනා කැදවා වෘත්තාකාරව පෙළ ගස්වා (මේ පෙළ ගැස්වීම කරනු ලැබ ඇත්තේ ඔහුට අවශ්‍යය පරිදිය. ) තත්වය පැහැදිලි කර දී තමන් විසින් ගණන් කිරීම ආරම්භ කර නව වැන්නා මුහුදට හෙළන බවද දැනුම් දුන්නේය. මෙය අහඹු තෝරා ගැනීමක් වග නාවිකයන්ට අනුමාන කිරීමට ඉඩකඩ ලබා දුන්නද නැව්පතියාට මුහුදට හෙළන මිනිසුන් කවුරුන්ද යන්න ගැන පූර්ව සැලසුමක් තිබුණේය. එය පැහැදිලි වූයේ නැවේ හුන් සියලුම යෝනක හෙවත් මුස්ලිම් නැවියන් අහඹු ලෙස මුහුදට හෙළා අවසන් කළ පසුවය. 

මේ ජනප්‍රවාදයෙන් පැහැදිලි වන්නේ දුරාතීතයේ පටන්ම අපට මුස්ලිම් මිනිසුන් සමග ජාතිවාදී බෙදීමක් තිබුණු බවයි. එය ස්වභාවිකය. නමුත් වර්තමානයේ උත්සන්න වෙමින් පවතින මුස්ලිම් විරෝධය එම පූර්වයේ තිබූ සවභාවික තත්වයන් අතික්‍රමණය කරමින් දේශපාලනික හා ආර්තිකමය කාරණාවන්ට සමපාතවෙමින් පවතියි. ආර්ථික කාරණාවන් කෙසේ වෙතත් නැග එන මුස්ලිම් විරෝධය දේශපාලනික කාරණාවක් වශයෙන් සාකච්චාවට ලක්වන්නට ඉඩදීම අතිශයින් භයානක තත්වයක් බව අන්තර්ජාලය හරහා මුස්ලිම් හා ඉසලාම් විරෝධය ප්‍රකට කර්න්නන් තවමත් වටහාගෙන නැති සෙයකි. මක්නිසාද යත් මෙරට තිස් වසරක කාලකණ්නි කාලයකට පාර කපනු ලැබුවේද නියපොත්තෙන් කපන්නට තිබූ සිංහල දෙමළ වාර්ගික ගැටළු ජාතික තලයේ දේශපාලනික කාරණා වශයෙන් සංවාදයට ලක්වෙන්නට ඉඩදී මහජාතියේ ඦන්ද පොකුර බලාපොරොත්තුවෙන් බලලෝභී දේශපාලකයින් ගත් අවස්තාවාදී තීරණ නිසාවෙනි. හොදම උදාහරණය නම් 56 සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි. 

මුස්ලිම් රහස් ත්‍රස්ත සංවිධාන පවතිනවා නම්, ලංකාව තුළ ජිහාඩ් ක්‍රියාකාරකම් සඳහා සූදානමක් තිබේ නම් අප දන්නා තොරතුරු ආරක්ෂක අංශ වලට දැනුම් දීම ඉතාම හොදම පියවරයයි. නැතුව බ්ලොග් පිටු හරහා හෝ මුහුණු පොත හරහා මුස්ලිම්වරුන්ට දෝශාරෝපණය කිරීම ගෙදර ගොහින් මුවහමට තඩි බානවා වැනි වැඩකි. එවැනි බ්ලොග් සටහන් සහ ඒවාට ලැබ ඇති ප්‍රතිචාර ගණනාවක් මා කියවා ඇති අතර ලැබුණු එකම ප්‍රතිපලය නම් බ්ලොග් කරුවාගේ හිට්ස් සහ කොමෙන්ට් ගණන වැඩිවීම පමනැකැයි හඟිමි. 

එවැනි බොහෝ බ්ලොග් සටහන් වලින් දක්වා තිබූ මැසිවිල්ලක් බඳු පැමිණිල්ලක් වූයේ සිංහල ජනගණයට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇති බවය. නමුත් සොයා බැලිමේදී දැනගත හැකී වූයේ එම කාරණාවන්ද තේ කෝප්පයේ කිඹුලන් දකින්නට ගත් වෑයමක් බවයි. 

ජනවර්ගය --සිංහල     දෙමළ     යෝනක 
1901            65.4%     26.7%    6.4% 
1971            72.0%     11.2%    6.7% 
1981            74.0%     12.07%   7.0% 
2012            74.09%    11.2%    9.02% 

බැලූ බැල්මට මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබුණද එය ඔවුන් අත්පත් කරගෙන තිබෙන්නේ සිංහල අවකාශයේ ඉඩ ඇල්ලීමෙන් නොව ජනගහණ වේගය අඩුවූ දෙමළ ජනගහණයේ ඉඩකඩ අල්ලා ගැනීමෙන් බැව් නිරීක්ෂණය කළ හැකියි. 

හලාල් සහතිකය පිළිබදව කතාවද මුස්ලිම් විරෝධයට උන්නතිය සපයන තවත් කාරණාවක් බවට පත්ව තිබෙයි . හලාල් පිළිබදව නම් ගැටළු කිහිපයක් මටත් තිබේ . ඒ බෙදුම්වාදී අදහසකින් නොව හලාල් වෙනුවෙන් අප මිළදී ගන්නා බඩු භාණ්ඩ වලට ගෙවන්නට වන අමතර මිළ පිළිබදවයි. අනෙක් පසින් එය මුස්ලිම්වරුන්ගේ ආගමික ඉගැන්වීමක් සම්බන්ධ කාරණාවක් ද වෙයි. එය මහා සමාජයට කරන බලපෑම අනුව මිස ආගමික විරෝධී හෝ ජාතිවාදී හැගීමෙන් හලාල් වලට විරුද්ධ වීම බුද්ධිමත් කාරණාවක් නොවෙයි. උත්ප්‍රාසාත්මකම කාරණාව වන්නේ ලොකයේ ප්‍රධානතම හලාල් පර්යේෂණාගාරය පිහිටුවා තිබෙන්නේ බෞද්ධයන් 95% ක් වාසය කරන තායිලන්තයේ,එහි අග්‍රාමාතයවරයාගේ යටතේම පිහිටවූ දෙපාර්තමේන්තුවක වීමයි. 

බ්ලොග් ලියන්නේ කිසියම් දැනුවත් භාවයකින් යුක්ත පුද්ගලයන් බැව් මාගේ පෞද්ගලික විශ්වාසයයි. එවැනි දැනුවත් සමාජ කොටස් විසින් කළ යුතු නිවරදි කාර්‍යය වන්නේ සමාජයේ පවතින පසුගාමී අගතීන් පරාජය කිරීමට කටයුතු කිරීමත්, එම අගතීන් නිසා වෙනත් සමාජ කණ්ඩායමක් තුල හෝ ප්‍රජා කොටසක් තුළ එවැනිම ආකාරයේ අගතිගාමී අදහස් වර්ධනය වීමට පිටුබලය සැපයෙන කටයුතු වලට බාධා කිරීමයි.එලෙස වැරදි අගතිගාමී අදහස් මගින් ජනමනස අවුල් කොට බෞද්ධයන් හා ඉස්ලාම් බැතිමතුන් අතර මෙන්ම සිංහලයන් සහ මුස්ලිමුන් අතර හෝ ආතතීන් සැකයන් වෛරයන් ඇවිළීමට හැකි ඉඩකඩ පරාජය කළ යුතුවෙයි.

බහුතරය අපි යැයි කියමින් තනිචූන් සොමියක ගිලී සිටීම ඔබටවත් රටටවත් වැඩදායී කාරණාවක් නොවේ.සිඳු විය යුත්තේ මෙන්ම අප උත්සාහ දැරිය යුත්තේ මානවීය ගුණ්යෙන් යුක්ත බුද්ධිමත්, නිර්මාණශීලී මිනිසුන් සමූහයක් බහුතරය බවට බහුතර ප්‍රජාව බවට පත්කරගැනීම වෙනුවෙනි.එසේ නොමැතිව හම්බයන් සමූල ඝාතනය කොට මෙය සිහලයන්ගේ රට බවට පත් කිරීමට නොවේ. එවැනි උත්සාහයන් අප අතීතයේදීත් ගෙන තිබූ අතර එඉතිහාසිකව ඒවා පරාජයටද පත්විය. උදාහරණය තිස් අවුරුදු යුද්ධයයි. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයක්ද? එම නිසා ඉතිහාසයේ අප විසින් කරනු ලැබූ වැරදි නැවතත් කිරීමට ජනසමාජය පොළඹවන උත්සාහයන් ලත් තැනම ලොප් කිරීමට ඔබ මම මෙන්ම අප සියල්ලන්ම උත්සාහයන් දැරිය යුතුය.