2013/09/06
සකපෝරුව දඬුකඳේ ගැසීම හෙවත් ආන්ජිලෝලා ගබ්සා කිරීම.
අපි පාසල් යන කාලයේ 2 සහ 3,4,5 ශ්‍රේණි වලදී අත්වැඩ කියලා විශයක් තිබුණා. බොහෝ වෙලාවට අත්වැඩ වෙනුවෙන් අපට පැවරුණු විශයය කාර්‍යය වුණේ මැටි ආශ්‍රයෙන් විවිධ නිර්මාණ කිරීම. හදිසියේම මට මේ අත්වැඩ හෙවත් මැටිවැඩ ගැන මතකයන් තුඹසින් එළියට ඇදීගෙන එන උරගයෙක් පරිද්දෙන් එළියට ආවෙ ඇයි කියලත් පැහැදිලි කරන්නම්.
මේ මෑත ගෙවීගිය දවසක මම පානදුරේ පොත්සාප්පුවකට ගොඩවුණා. ඒකේ ලිපිද්‍රව්‍ය අංශයේ කරක් ගහමින් ඉන්නකොට මට අහුවුණා විකිණීමට තියලා තියෙන මැටි පාර්සලයක්. මම මේ කියන්නේ අපි පොදුවේ ක්ලේ කියලා හදුන්වන කෘතීම මැටි ගැන නෙමයි. ඒ පාර්සලයේ ලේබලයක් අලවලා තිබුණා පදම් කළ මැටි කියලා සදහනක් සහිත. මගේ මුවට හීන් හිනාරැල්ලක් නැගුණා ඒ ලේබලය කියවලා.
පුංචි පන්තිවලදී අපේ පන්තිභාර ගුරුතුමා කියනවා හෙට අත්වැඩ තියෙනවා හැමෝම මැටි බෝලයක් අරන් වරෙව් කියලා.ඉතින් ගෙදර ගිහින් මැටි බෝලයක් සූදානම් කරගන්න කම් ඉවසිල්ලක් නෑ. කළු මැටි, කිරි මැටි සහ තුඹස් මැටි කියලා අපි මැටි වර්ග කරගෙන හිටියා.පන්තියේ කෙළි පැටික්කියෝ බොහෝ විට සූදානම් කරගන්නේ තුඹස් මැටි. මොකද හොයාගන්න පහසුයි. ගෙදර වත්තෙ තියෙන තුඹසක් කඩලා අරගෙන (තුඹස එහෙම පිටින්ම කඩන්නේ නෑ. පොඩි කොටසක් ,තුඹස් දළු කියලා කියන්නේ තුඹසෙ ඉහළම තියෙන ,,තවමත් ගොඩනැගෙමින් තියෙන කොටස්. මෙන්න මේ තුඹස් දළු වලින් මැටි බෝලයක් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ) මැටිබෝලයක් හදාගන්නවා.
නමුත් අපිට මේ තුඹස් මැටි හරියන්නේ නෑ. මොකද අව්වට අහුවුණු හැටියේ පුපුරනවා. අපිට හොද කළුමැටි. නමුත් කළුමැටි හොයාගැනීම කළුනික හොයනවා තරම්ම නැතත් ටිකක් විතර අමාරු කාර්‍යයක්. අපේ කුඹුරු යාය පහළින් ගලාගෙන යන ඔයක් තියෙනවා කුඹුක්කන් ආරු කියලා ..මෙන්න මේ ඔය ඉව්රෙ සමහර තැන්වල කළුමැටි තියෙනවා. ඒ තැන් ගැන අපි දැනගෙන හිටියා. නමුත් පුංචිම කාලෙදි නම් අපිට කළුමැටි ගෙනත් දුන්නේ තාත්තා. මැටි තියෙන තැනින් කොටාගෙන ඒවා කකුලෙන් පාගලා පදම් කරගන්නවා. ඊටපස්සේ ලොකු හබරල කොලේක හොදට ඔතනවා. ආයෙත් දිගාරින්නේ ඊළග දවසේ පන්තිකාමරයේදී. එතකොට මැටිටික තැම්බිලා හොදට පදම් වෙලා තියෙනවා. නමුත් අපි වෙනමත් මැටි ටිකක් අරගෙන එනවා. ඒ ඊළග දවසේ පන්තිකාමරයේදී හදන මැටි මූර්තිය වෙනුවෙන් පෙර පුහුණුවකට.
මට ඒ තරම් ලස්සනට මැටි නිර්මාණ කරන්න බැහැ. මම නිතරම හදන්නේ නයි. (අරින්නෙත් නයි.) මැටිවලින් නයෙක් හදන එක ඒ තරම්ම පහසුයි. මැටි ටිකක් අරගෙන දෙඅත්ලට මැදි කරලා රෝල් කරගන්නවා. එතකොට හරි අපූරුවට නාගයාගේ කඳ කොටස හැදෙනවා. දැන් ඔබට කැමති ප්‍රමාණයකින් කැමති විදිහකට පයන්න ඇතුව හෝ නැතුව නාගයාගේ පෙණය යොදන්න පුළුවන්.
කිරිමැටි ගැන කියන්න බැරි වුණානේ. කිරිමැටි හදාගන්නේ කුඹුරේ නියරවල් මඩ තියපු අළුත ,,නියරවල් හාරමින් ගන්නා මැටිවලින්. කිරිමැටි කළුම කළු පාටට නැහැ. තුඹස් මැටි තරම් දුඹුරු පාටත් නැහැ. ඇත්තම කිව්වොත් කිරිපාටත් නැහැ. ඒ වුණත් අපි කිවේ කිරිමැටි කියලා. කුඹුර දෙකට බෙදන නියර හදුන්වන්නේ මහනියර කියලයි. මෙ මහනියරෙන් තමයි හොදම හොද කිරිමැටි හොයාගන්න පුළුවන්.නමුත් ඉතින් අපි නියර හාරමින් මැටි එක්කාසු කිරීම නම් වැඩිහිටියන්ගේ සතුටට හේතු වුණේ නැහැ.
දැන් පූරවාපර සන්ධි ගළපා ගැනීමේ අවස්ථාව. අර විකිණීමට තිබුණු පදම් කළ මැටි පාර්සලය දැකලා මට දුකක් වගේම සතුටකුත් ඇතිවුණා.දුක හිතුණේ මේ තරම් මැටි හොයාගන්නට පුළුවන් මහපොළවක් අපිට තිබෙද්දීත් මැටිත් කඩෙන් ගැනීමට අපි පෙළඹිලා සිටීම හින්දයි. මැටිවලින් අත්කම් කිරීම කියන්නේ සුදුසු මැටි වර්ගයක් සොයාගැනීමෙ සිට ඒවා පදම් කරගනිමින් නිර්මාණයක් කරගැනීම දක්වාම දිවෙන ක්‍රියාවලියක් නේ. නමුත් ඉතින් වෙගයෙන් වෙනස් වෙන ආර්ථික සාමාජයීය තත්වයන් හමුවේ පැරණි ක්‍රියාවලියන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම හුදු හිතළුවක් විතරයි.
අලෙවියට මැටි තිබෙන එක මට සතුටක් වුණේ ඇයි කියලා දන්න්වාද? ඇත්තටම මම හිතුවේ දැන් පුංචි උන්ගේ පන්තිකාමරයෙන මැටිවලින් නිර්මාණයන් කිරීම සිද්ද වෙන්නෙ නැහැ කියලයි. පුංචි අවදියෙදීම නිර්මාණශීලී අවස්ථාවන් දරුවන්ට අත්විදින්නට ඉඩ ලබා දීම අනාගතයට රටක් ජාතියක් වශයෙන් හොද ආයෝජනයක්.ඉතින් මේ විකිණීමට තබා තිබුණු මැටි පාර්සලය දැක්කට පස්සේ මට හිතුණා තවමත් අපේ පාසලේ පංතිකාමරයේ මැටිවැඩ වලට ඉඩක් තිබෙනවා නේදෝ කියලා. මට සතුටක් දැණුනෙ ඒකයි. නමුත් ඇත්තම තත්වය මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ.
කුලය සහ මැටිවැඩ
බ්ලොග් ලෝකයේ බොහෝ දෙනා මට කුලවාදියෙක් කියමින් මැටිගසා මරන්නට හදනවනේ. මගේ එක් ලිපියක තර්කය වුණේ අපේ රටේ බොහෝ අංශවලට කුලය කියන සාධකය තීරණාත්ම ආකාරයෙන් බලපාලා තියෙනවා සහ තිබෙමින් පවතිනවාය කියලයි. මේ මැටිවැඩ කියන විශයටත් එහෙම බලපෑමක් තිබුණය කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. කුල බෙදීම් අනුව මැටි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන ලැබූ ජනතාව හැදින්වූයෙ කුඹල්ලු කියලයි. කුඹල් ජනයා මෙරට කුල වර්ගීකරණයේ පහළින් සිටිනා ජනකොටසක්. අන්න ඒ කාරණාව නිසාම දෝ අපි පුංචි කාලයේදී මේ මැටි වැඩ කියන විශයය සම්බන්ධයෙන් උනන්දු කිරීමක් හෝ දිරිමත් කිරීමක් ගුරු දෙගුරු දෙපාර්ශවයෙන්ම අපිට ලැබුණේ නැහැ.ඒ වගේම පස්සේ මට සහතික වශයෙන් කියන්න පුලුවන් අත්කම් වර්ගීකරණයට අයිත් වුණු මැටිවැඩ කියන විශයය අධ්‍යාපන සංශෝධන වලදී හැලිලා ගියේ මෙ කුලය කියන සාධකයේ අනියම් බලපෑම නිසාය කියලා. ඇතමෙකුට මේ කාරණාව මගේ හිතළුවක් වශයෙන් හිත්න්නත් පුළුවන්. නමුත් මීට වඩා බරපතල සංවේදී කාරණා වලට කුලය කියන සාධකය බලපාලා තියෙනවා.අන්න ඒ නිසයි මගේ සමහර බ්ලොග් සටහන් වලින් කුලය කියන සාධකය සහ එහි ක්‍රියාකරීත්වය ගැන යම් තර්මක හෝ අවබෝධයක් අප ලබා සිටිය යුතුයි යන කාරණාව මතු කරමින් සිටියේ.මැටිවැඩ කියන විශයයටත් හොද පිළිගැනීමක් සහිතව විද්‍යාත්මක පදනමකින් එ විශයය දියුණු කරන්නට බලධාරීන් උත්සාහ ගත්තා නම් ඉතා විශිෂ්ට මූර්ති ශිල්පීන් ගණනාවක් බිහිකරගන්නට අපට හැකිව තිබුණාය කියන කාරණාව නම් ස්තීරයි. ස්තූතියි...
2013/08/20
මටත් තිබුණා සිහිනයක්.
වළා පිරුණු අහස මතින්
යාන්තමට හඳ පායපු.
ටිකක් ඇදිරි- ටිකක් එළිය
තියෙන රෑක ඇවිද යන්න.
තනිපංගලමේ සොයන්න
හාංකවිසියක් නොතියා
ඈත එපිට දුර කාලෙක
අමතක වී අතහැර ආ
සොඳුරු සිහින සාප්පුවක්.....
මූදු නිල්ල තරම් සතුට.
ගොඩගලාපු මතක ගොඩයි.
පබළු වගේ එකින් එකට
අමුනාගන්නට බැරි හැටි
2013/06/09
රොක් සම්ප්‍රදායේ නිර්වාණ මාර්ගය.
1981 වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.
එක් ත්‍යාගයක් වූයේ ඉලන්දාරි ගැටවර සිත් ආකර්ෂණයෙන් වසඟ කළ මෝස්තරයේ යතුරු පැදියක්, අනෙක් ත්‍යාගය වූයේ අපූරු නිමවුමකින් යුත් ගිටාරයක්. ත්‍යාග දෙකෙන් එක් ත්‍යාගයක් පමණක් තෝරාගන්නට සිදුව තිබූ අතර මෙම අපූර්ව ගැටවරයා තම උපන් දින තෑග්ග වශයෙන් තෝරා ගන්නේ තම සිත බැඳගත් ගිටාරයයි.
තම ප්‍රියතම රොක් සංගීත කණ්ඩායමක් වූ led zeppelin ගායනා කරන "stairway to heaven " ගීතයට පිස්සු වැටී හුන් මේ ගැටවරයා( ඇත්ත වශයෙන්ම කිවහොත් මේ ගීතය මාවත් පිස්සු වැට්ටවූ ගීයක්. )ඉතාමත් ඉක්මනින්, අදහාගත නොහැකි ශීඝ්‍රතාවයකින් තමන්ට තෑගි ලැබුණු ගිටාරයෙන් stairway to heaven"ගීතය වාදනය කරන්නට ඉගෙනගන්නවා. පසු කලෙක led zeppelin සංගීත කණ්ඩායම තරමටම, නොඑසේනම් ඒ ද පරදවන තරමට ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන "නිර්වාණ " රොක් සංගීත කණ්ඩායම පිහිටුවන්නට පෙරමුණ ගන්නේ මේ සංගීතකාමී ගැටවරයා යි. රොක් සංගීත ලෝකයේ පුරාවෘත්තයක් බඳු ඔහු අන් කිසිවෙක් නොව තරුණ වියේදීම අකාලයේ ජීවිතයෙන් සමුගත් කර්ට් කොබේන් .
කොබේන් සහ ඔහුගේ යාවජීව සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් එක්ව පිහිටුවාගත් නිර්වාණ රොක් සංගීත ලෝකය නවමු උන්මාදනීය රිද්මයකින් ප්‍රකම්පනය කරවන්නට සමත් වූවා. ලෝක ප්‍රකට ප්‍රවෘත්ති නාළිකාවක් වන MSNBCහි එරික් ඕල්සෙන් වරෙක කොබේන් ගැන මෙලෙස පැවසුවා. "රොක් සංගීත ලෝකයේ ගැලවුම්කරුවාගේ චරිතයට පණ පෙවූ ඔහු අද්විතීයයි. කොබේන් අවසන් සැබෑම රොක් ගායකයා වශයෙන් සැලකිය හැකියි". ජාත්‍යන්තර රෝලින්ග් ස්ටෝන් සඟරාව මඟින් ලෝකයේ හොඳම මෙටල් රොක් ගායකයන් ලැයිස්තුගත කරන විට කොබේන් එහි හොඳම දසදෙනා අතර හුන්නේය.
ගායකයෙක් පමණක් නොව ඔහු අති දක්ෂ ගිටාර් වාදකයෙක්ද වූයේය. කොබේන් උපත ලැබුවේ 1967 පෙබරවාරි මස වොෂිංටනයේ ඇබර්ඩීන්හිදීය. අදටද ඇබර්ඩීන් වෙත පිවිසෙන විට මාර්ගයේ පසෙක විශාල පුවරුවක කොබේන්ගේ සාතිශය ජනප්‍රියතාවක් අත්පත් කරගත් comes as you are ගීතයේ මෙම මුල්පද කිහිපය සටහන් කර තිබේ. ඒ ඇබර්ඩීන් පළාත තම භූමිපුත්‍රයා පිළිබඳව සාඩම්බරයට පත්වෙන අයුරුයි. කොබේන්ගේ පවුල් පසුබිම නිසාම සංගීතයේ ආභාසය කුඩා කල සිටම විඳගන්නට ඉඩකඩ ඔහුට පෑදී තිබුණා. ඔහුගේ මාමලා දෙදෙනාම සංගීත කණ්ඩායමක සාමාජිකයන් වූ අතර නැන්දණිය දක්ෂ පියානෝ වාදිකාවක් සහ ගායිකාවක වූවාය. පවුලේ බලපෑම නිසාමදෝ සංගීතය පිළිබඳව ඔහුගේ ළැදියාව සහ හැකියාව කැපී පෙනෙන එකක් විය. එය කෙසේ දැයි විස්තර කළහොත් වයස අවුරුදු හතරට එළැඹෙන විට කොබේන් පියානෝව වාදනය කරන්නට සහ ගීත ගායනා කරන්නට පටන්ගෙන තිබිණි.
කුඩා කාලයේ පටන්ම කොබේන් හට බි්‍රතාන්‍ය සංගීත කණ්ඩායමක් වූ "බීට්ල්ස්" පිළිබඳව උන්මාදනීය කැමැත්තක් තිබිණි. "මට මතකයි ඔහු යාන්තම් බහ තෝරන අවුරුදු හතරේදී බීට්ල්ස්ලාගේ "hey jude " ගීතය තතනමින් ගායනා කරනවා" කොබේන්ගේ පියානෝ ගුරුවරිය වූ නැන්දණිය එලෙස පවසන්නේ කොබේන්ගේ බීට්ල්ස් ළැදියාව හෙළිකරමින්. විශේෂයෙන්ම බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පදනම් සාමාජිකයෙක් වූ 'ජෝන් ලෙනන්' කෙරෙහි සුවිශේෂී කැමැත්තක් කොබේන් වෙත වූයේය. කොබේන් ජෝන් ලෙනන්ව හැඳින්වූයේ තම රොක් ප්‍රතිමූර්තිය ලෙසිනි.
රොක් සංගීත විෂයෙහි අසීමාන්තික කෑදර රසිකත්වයක් තිබූ කොබේන් තම පූර්වගාමී සම්භාව්‍ය රොක් සංගීත කණ්ඩායම් වූ led zeppelin, AC/DC, black sabbath, Aerosmith,queen සහ Kiss යන සංගීත කණ්ඩායම්වල නිෂ්පාදනයන්ට අප්‍රමාණව ඇලුම් කළ අතර ඉඳහිට කලාතුරකින් එම රොක් කණ්ඩායම් ගායනා කරන ලද තමන් ඉතාමත් කැමැති ගීත තම සංදර්ශනවලදී ගයනා කළේය. ඒ අතරින් ලෙඩ් ශෙපැලින්ලාගේ heart breaker සහ 'බැල්ක් සබාත්ලාගේ ' hand of doom විශේෂකොට දැක්විය හැකි ගීත දෙකකි.
කර්ට් කොබේන් නම බටහිර රොක් සංගීත ලෝකය තුළ අමරණීය එකක් වන්නේ ඔහුගේ එළැඹුමෙන් ආරම්භ කරන ලද 'නිර්වාණ' සංගීත කණ්ඩායම නිසාය. කොබේන් නිර්වාණ අරඹන්නේ තම දීර්ඝකාලීන සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් සමඟින්. මුල් කාලයේ ඔවුනට පුහුණුවන්නටද හරිහමන් තැනක් නොමැතිව ළතවෙමින් සිටියා. අවසානයේ විසඳුම ලබාදුන්නේ ක්‍රිස්ගේ අම්මා විසින්.
ඒ ඇයට අයත් සැලූන් ගොඩනැඟිල්ලක සොල්දර කාමරය මේ තරුණ සංගීත ප්‍රේමීන් දෙදෙනාට ලබාදෙමින්. සොල්දරයේ සිට පුහුණුවීම් අරඹමින් ඔවුන් තම ප්‍රථම සංගීත ඇල්බමය නිකුත් කරන්නේ 1989 දී. ඒ 'bleach ' නමින් නමුත් නිර්වාණ සංගීත කණ්ඩායම බටහිර රොක් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නට සමත් වන්නේත්, එවකට වූ සුපිරි රොක් සංගීත කණ්ඩායම් අතරට එක්වන්නේත් 1991දී ඔවුන් නිකුත් කළ nevermind ඇල්බමයෙන්. විශේෂයෙන්ම එහි අඩංගු වූ "smells like teen spirit " ගීතය රොක් සංගීත ලෝකය තුළ සදාතනික එකක් වනු නොඅනුමානයි. එම ගීතය කර්ට් කොබේන් නම් කෙසඟ කඩවසම් ගායකයා සතු වූ උත්තුංග පහසුවෙන් පසු නොබසින හඬ පෞරුෂය පිළිබඳව කදිම නිදර්ශකයක්ද වනවා. 1991 සිට 1992 දක්වා කාලය තුළ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ගීතය පැමිණෙන තුරු බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ වැජඹුණේ කොබේන් ගායනා කරන ලද මෙම ගීතයයි.
කෙසේ වෙතත් තම සංගීත ජීවිතයේ තාරකා අවධියට සම්ප්‍රාප්ත වෙමින් සිටින අතරතුරදී මෙම තරුණ රොක් ගායකයාට ජීවිතය හැර යන්නට සිදුවෙනවා. ඒ ඔහුගේ 27 වැනි වියේදීය. කොබේන්ගේ මරණය පිළිබඳව දහසකුත් ප්‍රවාද මැවී තිබුණත් එය සියදිවි නසා ගැනීමක් බවයි පිළිගත් මතය. ඔහුගේ අකාල අභිරහස් මරණය කොබේන් හා නිර්වාණහි කීර්තිය බිඳකින්වන් අඩු කරන්නට සමත් වූයේ නෑ. අදටද රොක් සංගීත සහෘදයන් සියල්ලන් අතරේ කර්ට් කොබේන් සහ නිර්වාණ යන නම් පුරාවෘත්තයන් සේ වටිනාකම අධික වෙමින් පවතිනවා.
2013/06/07
රාජාලියන්ගේ දොම්නස් සාප්පුව ලිහා බැලීම.
මා ඊගල්ස් සංගීතයට පෙම් බඳින්නට පටන්ගන්නේ ඔවුන්ගේ 'හොටෙල් කැලිෆෝර්නියා' ගීතය ඇසීමෙන් පසුවය. ඒ මීට දශකයකට එපිටින් වන්නට ඇත. අද කතාව හොටෙල් කැලිෆෝර්නියා ගැන නොව ඊගල්ස්ලාගේම තවත් ගීතයක් වන 'සෑඩ් කැෆේ ' ගැනය.
'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි.
රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර
ගලා එන විලාසය මසිත බියලන සුලුය
ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව
දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන
මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව
--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --
හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි.
සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි.
oh expecting to fly
we would meet on that shore in the
sweet by and by
මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ.
සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි.
'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි.
රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර
ගලා එන විලාසය මසිත බියලන සුලුය
ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව
දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන
මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව
--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --
හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි.
සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි.
oh expecting to fly
we would meet on that shore in the
sweet by and by
මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ.
සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි.
2013/06/05
හරිත මිහිතලයක් උදෙසා පුටාර් එකට ගොඩවීම
මුළුමහත් ලෝකයේම මෙන්ම අපේ රටේද පරිසරය හා සබැඳුණු සන්දර්භයන් වඩවඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. තවදුරටත් පරිසරය යනු ගහකොළ, වාතය, ජලය සහ සතුන්ට පමණක් සීමා වූ පටු විෂයය ක්ෂේත්‍රයක් වන්නේ නැහැ. පරිසරය හා බැඳුණු විෂයය සීමාවන් ක්‍රමයෙන් පළල් වෙමින් පවතින අතර තවදුරටත් ලෝකයේ ස්වාභාවික පරිසරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ උනන්දුව සහ උදේයාගය සහිත පරිසර ක්‍රියාකාරීන් මේ නව විෂයය ක්ෂේත්‍රය වෙත තම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.
ලෝකයේ සතර දිගන්තයේ වෙසෙන පරිසර ක්‍රියාධරයන් අතරෙහි 'හරිත මිහිතලයක්' වෙනුවෙන් අලුතින්ම මතුව එන පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන වී තිබෙන්නේ හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවීමයි. වඩාත් පැහැදිලිව සඳහන් කරනවා නම් ලෝකයේ වාහනවලින් සිදු කෙරෙන කාබන් විමෝචනය අවම කරලීමේ පරමාර්ථයෙන් හැකි සෑම අවස්ථාවකම පාපැදි භාවිතාව සඳහා මහජනයා යොමු කිරීමේ සහ උනන්දු කිරීමේ වැඩසටහන් ලෝකය පුරාම ක්‍රියාත්මක වනවා. මෙවැනි විෂයය ක්ෂේත්‍රයන් තුන්වැනි ලෝකයේ රටවල් වන අපට නුහුරු, ආගන්තුක සහ ඇතැම්විට විජ්ජාකාරී දේවල් වශයෙන් පෙනී යා හැකි වූවත් අනාගතයේ එළැඹෙන නුදුරු දවසකදී රටට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවකින් සිදු කෙරෙන කාබනික විමෝචනය මඟහැර යා නොහැකි ගැටලුවක් වනවා නොඅනුමානයි.
ඇමෙරිකානු පාපැදිකරුවන්ගේ සංගමය ඇරඹුණේ 1880 තරම් දුර කාලයකදී. ඒ හුදු විනෝදය සඳහා බයිසිකල් පැදයන කිහිප දෙනකුගේ එකතුවෙන්. වර්තමානය වන විට 20,000ක පමණ සෘජු දායකත්වයක් දරන තවත් 300කට ආසන්න සංවිධාන ගණනාවක් සාමාජිකත්වයක් ගෙන සිටින මෙම සංගමය විනෝදය පිණිස නොව හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ දේශගුණික විපර්යාසයන් සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑමයි. ලෝකයේ කර්මාන්තශාලාවලින් මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය පමණක් දෙවැනි වන්නේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනයයි. ඒ අතරිනුත් පෙරමුණේම සිටින්නේ ඇමෙරිකාවේ අධික තදබදය සහිත නගර කිහිපයක්.
බොහෝ ඇමෙරිකානු නගරවල දක්නට ලැබෙන අධික වාහන තදබදයට හොඳම විසඳුම වශයෙන් ඇමෙරිකානු පාපැදි ලීගය තම වැඩසටහන යෝජනා කර සිටිනවා. බොහෝ ඇමෙරිකානුවන් මිනිත්තු පහකින් හෝ දහයකින් නිමකළ හැකි කෙටි ගමන් බිමන් සඳහාද තම මෝටර් රථවාහන යොදා ගන්නට පුරුදුව සිටිනවා. එය පාරිසරික තත්ත්වයන්ට බලපාන ක්ෂුද්‍ර මට්ටමේ සාධකයක් පමණක් නෙවෙයි, ආර්ථික හා සමාජමය ගැටලුද මතු කරවන තත්ත්වයක්. ඇමෙරිකානු පාපැදි ලීගය බොහෝ ඇමෙරිකානු ප්‍රාන්ත නගර කරා එම පණිවුඩය රැගෙන ගියා. මුලින්ම ඔවුන් පෙන්වා දුන්නේ මෝටර් රථ වාහන මඟින් නිකුත් කෙරෙන කාබනික වායු විමෝචනය ඔස්සේ සිදුවන අති දැවැන්ත පාරිසරික දූෂණයයි. දෙවැනිව ඔවුන් මෝටර් රථ වාහන වෙනුවට නව විකල්පය යෝජනා කර සිටියා. "මිනිසුන් අපට අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. මෝටර් රථවාහන වෙනුවට අපගේ විකල්පය ඔවුන්ව උත්තේජනය කරනු ලැබුවා" ඇන්ඩි ක්ලාර්ක් ඇමෙරිකානු පාපැදි ලීගයේ විකල්ප වැඩසටහන ගැන පැහැදිලි කරමින් කියනවා.
"එය ඉතාම සරලයි. ඇමෙරිකාවේ වාහන තදබදය ඉතා අධික සෑම නගරයක් පාසාම පාපැදි ලීගය විසින් ඉතා සුළු මුදලක් ගෙවා පාපැදියක් කුලියට ගත හැකි මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා. තම මෝටර් රථය නගරයේ ගාල් කොට තමන්ට යා යුතු වෙනත් ස්ථානවලට යෑම සඳහා පාපැදියක් ගැනීමට දැන් ඇමෙරිකානුවන් පුරුදුව සිටිනවා. ඒ වගේම ඇමෙරිකානු මංමාවත්ද පාපැදිකරුවන් සඳහාම වෙන්වූ මංතීරු වෙන් කරනු ලැබුවා. වැඩසටහන දියත් කොට පළමු වසර තුළදී ඇමෙරිකාව පුරාම පිහිටුවා තිබූ බයිසිකල් හුවමාරු මධ්‍යස්ථානවලින් හුවමාරු වී තිබූ බයිසිකල් ගණන මිලියනයක්. නමුත් එහි දෙවැනි මිලියනය වෙත ළඟාවන්නට ගතව තිබුණේ මාස හයක් පමණයි. හරිත ලෝකයක් වෙනුවෙන් ඇමෙරිකානු බයිසිකල් ලීගය ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන නිසා 2025 වන විට ඇමෙරිකාවේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනය 4%කින් අඩු කරලන්නට ඉවහල් වනු ඇතැයි සංවිධායකයන් විශ්වාසය පළ කරනවා.
2013/04/29
තාත්තාගේ තුවක්කුව වෙනුවට චෙලෝවට පෙම් බැඳීම
හෘදයාංගම භක්තියකින් "චෙලෝව" වැලැඳ සිටින ඔහු දකිත්ම ඔහුගේ වග වාසගම් මනාව දන්නා ඕනෑම අයෙක් අසන ප්‍රශ්නය වන්නේ "ඇයි තාත්තා වගේ නළුවෙක් නොවුණේ?" යන්නයි. මිනිසාගේ අතීත මානව පූර්වජයන්ගේ පටන් පැවැත එන "තාත්තා කළ දේ පුතා කිරීමේ සම්ප්‍රදාය" කුඩුපට්ටම් කොට දැමූ ඔහු කයිල් ඊස්ට්වුඩ් (Kyle Eastwood) නම් වෙයි.වඩාත් පැහැදිලිව කීවොත් සර්ජියෝ ලියෝන්ගේ ''dollars'' චිත්‍රපට මාලාව හරහා හොලිවුඩයේ අසහාය ගොපලු වීරයා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ පුත්‍රරත්නය ඔහුයි
. නමුත් තාත්තාගේ යෝධ ප්‍රතිරූපයේ පිහිටෙන් පහසුවෙන්ම යා හැකි වූ "සිනමා සරණ" පසෙකට කළ මේ පුත්‍රයා තමා කුඩා කල පටන් ලාලසාහී වූ ජෑස් සංගීතය ජීවිතය කොට ගත්තා. අද ඔහු සුප්‍රකට ජෑස් සංගීතඥයෙක්. නොබෝදා කයිල් ඊස්ට්වුඩ්ගේ "The view from here" නම් නවතම සංගීත ඇල්බමය නිකුත් වූවා.
එහිදීත් බොහෝ මාධ්‍යවේදීන් තම සන්තෘප්ත නොවූ කුතුහලකාරී ආශාවෙන් කයිල්ගෙන් විමසුවේ පහසුවෙන්ම සිනමා තාරකාවක් වීමේ වාසනාවට පස්ස හැරවූයේ ඇයි යන සුපුරුදු සරල පැනයයි. තම නව සංගීත ඇල්බමය ගැන කරුණු කියන්නට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කයිල්ට සිදුවූයේ තමන් ජෑස් සංගීතය තෝරාගත්තේ ඇයි දැයි පැහැදිලි කිරීමටය.
කයිල් ජෑස් සංගීතයට ඇලුම් කරන්නට පටන්ගත්තේ ඔහු 8 වැනි වියේදී නරඹන්නට ගිය ජෑස් සංගීත සන්දර්ශනයක් නිසාය. අට වැනි වියේදී ඔහු ලද එම දීප්තිමත් අත්දැකීම කයිල්ගේ ජීවිතය වෙනස් මඟකට හැරවූවා. අනෙක් අතට ස්වභාවයෙන්ම වඩාත් නිවැරැදිව පවසතොත් ප්‍රවේණියෙන්ම සංගීතයට ළබැඳි ස්වභාවයක් කයිල් ඊස්ට්වුඩ් හට හිමිව තිබුණා. ඔහුගේ මිත්තණිය "ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ" හඬ පුහුණු කිරීමේ ගුරුවරියක්. කයිල්ගේ මව මැගී දක්‍ෂ පියානෝ වාදන ශිල්පිනියක්. ඔහුගේ සුප්‍රකට පියා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් පවා ජෑස් සංගීතයට ආදරය කළ පියානෝ වාදනයේ සුරුබුහුටිකම් ඇත්තෙක්.
"මගේ මුළු පවුලම සංගීත ලෝලියෝ. විශේෂයෙන්ම තාත්තයි, අම්මයි දෙන්නම ජෑස් සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ කාලේ ඒ දෙන්නා මාවත් වඩාගෙන ජෑස් අහන්න යනවා. එතකොට අපි හිටියේ කැලිෆෝනියාවල. ඉතින් අපිට හරිම ළඟයි මොන්ටියෙරි ජෑස් සන්දර්ශනයට. මම බොහොම වාසනාවන්ත වුණා ජෑස් සංගීතයේ රජවරු වෙච්ච ස්ටෑන් ගෙට්ස්, ඇලන් ෆිට්ගෙරල්ඩ්, සාරා වෝහන්, ෆිල් එවන්ස් සහ බඩී රිච් වගේ අය සජීවීව වාදනය කරනවා දකින්න"
ඊස්ට්වුඩ් පවුලට පියානෝව කෙතරම් සමීපව තිබුණා වුවත් ජෑස් සංගීතයට ආසක්ත වන කයිල් ළංවන්නේ ද්විත්ව තත් චෙලෝවටයි. එය සුවිශේෂී කාරණාවක්. ඔහුගේ නවතම සංගීත ඇල්බමයෙහිත් එම "ද්විත්ව තත් චෙලොව" ඉතාමත් කෘතහස්ත ආකාරයෙන් යොදාගෙන ඇති ආකාරය from rio to havana නම් නිර්මාණයෙන් පෙනෙනවා. එය සීමාසහිත කම් යටතේ අන්තර්ජාලයෙන් රසවිඳින්නට හැකියි.
ඊස්ට්වුඩ්ගේ නවතම ඇල්බමයේ ටයිටලය "The view from here" යන්න ඔහුගේ පළමු ඇල්බමය වූ "There to here" යන්න සමඟ කුමක්දෝ නෑදෑකමක් පෙන්වනවා. එකිනෙකාට වෙනස් සංස්කෘතීන් ගණනාවක් අතර සංචාරය කරමින් කයිල් ඊස්ට්වුඩ් නිර්මාණය කොට ඇති බැව් පෙනෙන මෙම නව සංගීත ඇල්බමය තම ප්‍රථම ඇල්බමයේ පරිපූර්ණ අවසානය යැයි කයිල් කියා සිටියා.
"The view from here" හි උතුරු සහ බටහිර අප්‍රිකානු සංගීත ආරයන් ගණනාවක් මුසුව තිබෙනවා. 2009 වර්ෂය පුරාම මම දකුණු අප්‍රිකාවේ සිටිමින් අප්‍රිකානු මහද්වීපයේ සාම්ප්‍රදායික සංගීත සම්ප්‍රදායන් ගැන පර්යේෂණ කළා. එම හැදෑරීම නිසා මට පුළුවන් වුණා Art Blakey සහDuke Ellington(සම්මාන ලාභී ජෑස් සංගීතඥයන් දෙදෙනෙකි) වැනි අප්‍රිකානු මුල් තියෙන සංගීතඥයන් දෙදෙනාගේ මියුසික් වෙනදාට නොඅසන තත්ත්වයකින් අහන්න" විසිවැනි ශතවර්ෂයේ දකුණු එක්සත් ජනපද කළු ජාතික ප්‍රජාවන් තමන් ඇසුරු කළ යුරෝපීය සමාජයන්ගේ සංගීත සම්ප්‍රදායන් සහ ස්වකීය අප්‍රිකානු සංගීත ආරයන් ඇසුරින් බිහිකරගත් ජෑස් සංගීත සම්ප්‍රදාය පිළිබඳව කයිල් ඊස්ට්වුඩ්ගේ මෙම පර්යේෂණාත්මක එළැඹුම අමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ "ජෑස්" සම්ප්‍රදායේ නව දිශානතියක් සනිටුහන් කරනු ඇතැයි විචාරකයන් විශ්වාස කරනවා.
කෙසේ වෙතත් රජුගේ පුතා රජකමටත්, නළුවාගේ පුතා නළුකමටත්, ගොවියාගේ පුතා ගොවිකමටත් යන ලෝකයේ තහවුරු වූ මහා සම්ප්‍රදාය වෙනස් කළ කයිල් ඊස්ට්වුඩ් අද ඔහුගේ ප්‍රියතම ජෑස් පුරෝගාමීන් වූ ආර්ට් බ්ලෙකී සහ ඩියුක් එලිංග්ටන් අනුව යමින් යුරෝපයේ පිළිගත් ජෑස් සංගීතඥයෙක්. එපමණක් නොවෙයි ඔහු තම පියා අධ්‍යක්‍ෂණය කළ, නිෂ්පාදනය කළ සහ රඟපෑ චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්‍ෂණය කළා. ඒ අතුරින්The Rookie (1990), Mystic River (2002), Million Dollar baby (2004), Flags of our Fathers (2006) සහ Gran Torino (2008) අමතක කළ නොහැකි චිත්‍රපට. ඒ වගේම 2006 වසරේදී චිකාගෝ සිනමා විචාරක සංසදයේ සම්මාන උළෙලේදී Letters from lwo jima චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් කයිල් නාමයෝජනා වූවා.
නමුත් කයිල් බැබළුණේ තාත්තගේ රැස්වළල්ලේ පිහිටෙන් නොවේ. කුඩා කල සිට තමන් ළබැඳි වූ විෂයෙහි සතත අභ්‍යාසයේ දිගින් දිගටම පිහිටමින්. මාධ්‍යවේදීන් තමන්ගෙන් නිතර නඟන සුලබ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කයිල් වරෙක මෙලෙස පැවැසුවා.
"තාත්තා මට බොහොම කිට්ටුයි. නමුත් ඒ ඔබ දන්නා ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් තාරකාව නොවෙයි. ඔහු මගේ තාත්තායි. මගේ ජෑස් උමතුවට ඔහු උදවු කළා. ඒ ක්ලින්ට් ඊස්ට්වුඩ් ලෙසින් නොවෙයි, මගේ තාත්තා වශයෙන්"
පසු සටහන්.
මෙම ලිපිය මා මව්බිම පුවත්පතෙහි කලා අතිරේකයට ලියන 'වින්දන' කොලම වෙනුවෙන් රචනා කරන ලද්දක්. බක්මාසයේදී බ්ලොගිය පාළුවී යාමට ඉඩනොදීම පිණිස එය මෙහි පළකරන ලද බැව් කරුණාවෙන් සලකන්න.
2013/04/06
සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා
සංගීතය සිය ජීවන භාවනාව බවට පත්කර ගත් පුද්ගලයන් දුර්ලභය. මෙවැනි විපරීත කාලයක එම දුර්ලභත්වය තවත් තීව්‍ර වෙයි. ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන් අපේ කාලයේ දැකිය හැකි එවැන්නෙකි. මෙරට එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම බටනලා වාදකයෙක් යැයි සැලකිය හැකි මිහිරිපැන්නයන් භාරතයේ ශාන්ති නිකේතනයේ සංගීත පුත්‍රයෙකි. හින්දුස්තානි රාගධාරී සංගීතයේ සුධීතමයෙකි.
කලක් පාසල් සංගීත ආචාර්යවරයෙක් වශයෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයතු කළ අනිල් මිහිරිපැන්නයන් "ශාරදා" නමින් කලා නිකේතනයක් පිහිටුවාගෙන තම සංගීත ඥානය අලුත් ශිෂ්‍ය පරම්පරාව වෙත ලබාදීමේ වෑයමක නියැළෙමින් සිටියි. එම වෑයමෙහිම තවත් දිගුවක් ලෙසින් අනිල් මිහිරිපැන්නයන් “Now Instrumental Competition for North Indian Music” නමින් ශාස්ත්‍රීය සංගීත ග්‍රන්ථයක් රචනා කොට නොබෝදා ප්‍රකාශයට පත් කළේය.
-චින්තක-
සංගීතය පිළිබඳව ඔබේ ළබැඳියාවෙන් කතාව පටන් ගත්තොත්, ඔබ සංගීතය කෙරෙහි ආසක්ත කරවූ පුද්ගල හා සමාජ සාධකයන් කවර ආකාර වුණාද?
-අනිල් මිහිරිපැන්න-
මම කියන්නේ ඒ සඳහා මට වගේම මගේ අයියටත් (ප්‍රවීණ නර්තන ශිල්පී බැසිල් මිහිරිපැන්න) බලපෑවේ මගේ අම්මා. මගේ බාල සහෝදරියන් නළවන්නට අම්මා දරු නැළවිලි කියනවා මම අහලා තියෙනවා. අම්මා තරම් ලස්සනට දරු නැළවිලි කියන කෙනෙක් මම දැකලා නෑ. ඉතින් අම්මගෙ දරු නැළවිලිවලින් මගේ කන පිරිල තිබුණේ. ඒ ස්වර, ඒ නාද, තාල තමයි මාව මෙතැනට ඇදලා ගත්තේ.
-චින්තක-
එතකොට කොහොමද බටනළාවට පෙම් බඳින්නට පටන්ගත්තේ?
එතකොට කොහොමද බටනළාවට පෙම් බඳින්නට පටන්ගත්තේ?
-අනිල් මිහිරිපැන්න-
ඇත්තටම මම හිතන්නේ මට බටනළාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්න ඇති. මම පාසල් යන කාලයේ ඉඳන් පොත් මිටියත් එක්ක බටනළාවක් අරගෙන යනවා. විවේකී කාලපරිච්ඡේදයක් ලැබුණු හැටියෙ කරන්නෙ බටනළාව ගහන එක. ඇත්තටම ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ විධිමත් විදිහට බටනළාව වාදනය කරන්නේ කොහොමද කියලා.
ඇත්තටම මම හිතන්නේ මට බටනළාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්න ඇති. මම පාසල් යන කාලයේ ඉඳන් පොත් මිටියත් එක්ක බටනළාවක් අරගෙන යනවා. විවේකී කාලපරිච්ඡේදයක් ලැබුණු හැටියෙ කරන්නෙ බටනළාව ගහන එක. ඇත්තටම ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ විධිමත් විදිහට බටනළාව වාදනය කරන්නේ කොහොමද කියලා.
-චින්තක-
ඉතින් කොහොමද මේ විධිමත් දැනුම ලබාගන්න ඔබට හැකිවෙන්නේ?
-අනිල් මිහිරිපැන්න-
ඒ කාලෙ අපට සංගීත ආචාර්යවරයා විදිහට හිටියේ වින්සන්ට් සෝමපාල මැතිතුමා. එතුමා හොඳ ගුරුවරයෙක් තමයි. නමුත් ඔහු මම හොයමින් සිටිය ගුරුවරයා නෙමෙයි. මගේ සංගීතමය සා පිපාසාව සමහන් කරන්නට එතුමාට බැරි වුණා.
ඒ කාලෙ අපට සංගීත ආචාර්යවරයා විදිහට හිටියේ වින්සන්ට් සෝමපාල මැතිතුමා. එතුමා හොඳ ගුරුවරයෙක් තමයි. නමුත් ඔහු මම හොයමින් සිටිය ගුරුවරයා නෙමෙයි. මගේ සංගීතමය සා පිපාසාව සමහන් කරන්නට එතුමාට බැරි වුණා.
-චින්තක-
ඔබ සොයමින් සිටිය ගුරුවරයා ඔබට මුණගැසුණාද?
-අනිල් මිහිරිපැන්න-
ඔව්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි එඩ්වින් සමරදිවාකර තමයි ඒ ගුරුවරයා. ඇත්තටම එතුමා ගුරු දෙවියෙක්. සංගීතය පිළිබඳව ප්‍රාමාණික වියතෙක්. මමයි, ලයනල් අල්ගමයි ඔහුගෙන් ඒ දිනවල දිනපතාම සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ සංගීත පන්තියට මුලින්ම යනකෙනා සහ අන්තිමට පිටව යන කෙනා වුණේ මම. එඩ්වින් සමරදිවාකර ගුරුතුමා මාර්ගයෙන් තමයි මට ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.
ඔව්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි එඩ්වින් සමරදිවාකර තමයි ඒ ගුරුවරයා. ඇත්තටම එතුමා ගුරු දෙවියෙක්. සංගීතය පිළිබඳව ප්‍රාමාණික වියතෙක්. මමයි, ලයනල් අල්ගමයි ඔහුගෙන් ඒ දිනවල දිනපතාම සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ සංගීත පන්තියට මුලින්ම යනකෙනා සහ අන්තිමට පිටව යන කෙනා වුණේ මම. එඩ්වින් සමරදිවාකර ගුරුතුමා මාර්ගයෙන් තමයි මට ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.
-චින්තක-
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ඔබේ සංගීත සා පිපාසාව සහමුලින්ම සන්තර්පණය කරන්නට ඇති?
-අනිල් මිහිරිපැන්න-
ඔව්. ඒක පරිපූර්ණ අත්දැකීමක්. ඒ වගේම අපූර්වයි. ශාන්ති නිකේතනයේදී මට වාදන භාණ්ඩ දෙකක් ඉගෙන ගන්නට ලැබුණා. ඒ හුරුපුරුදු බටනළාව සහ එස්රාජය. එස්රාජය ඉගැන්වූයේ එවකට භාරතයේ සිටි අද්විතීයෙක්. අශිෂ් චන්ද්‍ර බෙනර්ජි. මම පන්තියට ගියේ එස්රාජය සහ කොපි පොතකුයි කිහිලි ගන්නගෙන. නමුත් මට ගිය පයින් ආපහු හොස්ටල් එකට එන්න වුණා. ඒ කොපි පොත ආපහු තියලා එන්න. එහෙ පොත් බැහැ. හැමදේම හිතට. ඉතින් ඒ ඉගැන්වීම් කොයිතරම් අද්විතීය දැයි කිව්වොත් අදටත් මට ඒ හැමදේම මතකයි.
ඔව්. ඒක පරිපූර්ණ අත්දැකීමක්. ඒ වගේම අපූර්වයි. ශාන්ති නිකේතනයේදී මට වාදන භාණ්ඩ දෙකක් ඉගෙන ගන්නට ලැබුණා. ඒ හුරුපුරුදු බටනළාව සහ එස්රාජය. එස්රාජය ඉගැන්වූයේ එවකට භාරතයේ සිටි අද්විතීයෙක්. අශිෂ් චන්ද්‍ර බෙනර්ජි. මම පන්තියට ගියේ එස්රාජය සහ කොපි පොතකුයි කිහිලි ගන්නගෙන. නමුත් මට ගිය පයින් ආපහු හොස්ටල් එකට එන්න වුණා. ඒ කොපි පොත ආපහු තියලා එන්න. එහෙ පොත් බැහැ. හැමදේම හිතට. ඉතින් ඒ ඉගැන්වීම් කොයිතරම් අද්විතීය දැයි කිව්වොත් අදටත් මට ඒ හැමදේම මතකයි.
-චින්තක-
හොඳයි, ඔබගේ සංගීත දැනුම ඔස්සේ විමසා බලන විට වර්තමානයේ සංගීත ප්‍රවණතාවය ගැන ඔබගේ අදහස් කොහොමද?
-අනිල් මිහිරිපැන්න-
ලංකාවේ හැමදාමත් තිබුණේ සංගීත රැල්ලක්නේ. රැල්ල කියන්නේ මොකක්ද? එනවා නැතිවෙනවා. නමුත් උදාහරණෙකට අමරදේවයන් ගත්තොත් ඔහු ගායනා කරපු එක ගීතයක්වත් අහකට දාන්න බෑ. මොකද ඒවට හින්දුස්තානි සම්ප්‍රදායේ අඩිතාලම තිබුණා.
ලංකාවේ හැමදාමත් තිබුණේ සංගීත රැල්ලක්නේ. රැල්ල කියන්නේ මොකක්ද? එනවා නැතිවෙනවා. නමුත් උදාහරණෙකට අමරදේවයන් ගත්තොත් ඔහු ගායනා කරපු එක ගීතයක්වත් අහකට දාන්න බෑ. මොකද ඒවට හින්දුස්තානි සම්ප්‍රදායේ අඩිතාලම තිබුණා.
-චින්තක-
නමුත් එහෙමම කියන්න බෑ නේද. උදාහරණෙකට ජෝතිව ගත්තොත් දශක තුනකට එපිටින් ඔහු ගායනා කරපු ගීත අද අලුත් පරම්පරාවත් රසවිඳිනවා.
-අනිල් මිහිරිපැන්න-
ඒක වෙනස් තත්ත්වයක්. ජෝති ගැන ගත්තොත් ඔහුට විස්මයාකාර නිසර්ග හැකියාවක් තිබුණා ගයන්න. ඒ වගේම මිල්ටන් පෙරේරට වගේම මිල්ටන් මල්ලවආරච්චිටත් ඒ හැකියාව තිබුණා. කිහිපදෙනෙක්ගෙ විෂයෙහි එහෙම වුණත් පොදු තත්ත්වය මම අර කීවේ.
ඒක වෙනස් තත්ත්වයක්. ජෝති ගැන ගත්තොත් ඔහුට විස්මයාකාර නිසර්ග හැකියාවක් තිබුණා ගයන්න. ඒ වගේම මිල්ටන් පෙරේරට වගේම මිල්ටන් මල්ලවආරච්චිටත් ඒ හැකියාව තිබුණා. කිහිපදෙනෙක්ගෙ විෂයෙහි එහෙම වුණත් පොදු තත්ත්වය මම අර කීවේ.
-චින්තක-
ඔබ විසින් මෑතකදී රචනා කරන ලද කෘතිය සුවිශේෂී කාර්යයක් බැව් පෙනෙනවා. මං හිතන්නේ එය දැනුම බෙදාදීමේ තවත් වෑයමක්.
-අනිල් මිහිරිපැන්න-
නාද තියෙනවා වර්ග දෙකක්. ආහත සහ අනාහත විදියට. අනාහත කියන්නේ කනට නෑසෙන කියන එකනෙ. ඉතින් මම මේ පොත ලීවේ කනට නෑසෙන හිතට විතරක් ඇහෙන අනාහත නාද පිහිට කරගෙන. සංගීතය හදාරන සිසුන්ට ප්‍රථමා සිට විශාරද අවසානය දක්වා සියලුම භාණ්ඩවල ඇවැසි වාදිත මෙම පොතේ නිර්මාණය කර තිබෙනවා.
නාද තියෙනවා වර්ග දෙකක්. ආහත සහ අනාහත විදියට. අනාහත කියන්නේ කනට නෑසෙන කියන එකනෙ. ඉතින් මම මේ පොත ලීවේ කනට නෑසෙන හිතට විතරක් ඇහෙන අනාහත නාද පිහිට කරගෙන. සංගීතය හදාරන සිසුන්ට ප්‍රථමා සිට විශාරද අවසානය දක්වා සියලුම භාණ්ඩවල ඇවැසි වාදිත මෙම පොතේ නිර්මාණය කර තිබෙනවා.
-චින්තක-
අවසාන වශයෙන් මට දැනගන්න පුළුවන්ද මෙන්න මේ කාරණාව. ඔබ සංගීතය පිළිබඳව ප්‍රාමාණික දැනුමැත්තෙක්. විශිෂ්ට සංගීත ආචාර්යවරයෙක්. නමුත් ඔබ වැඩිපුර කරළියට පැමිණ ප්‍රසිද්ධියට පත්වූ අයෙක් නෙවෙයි. ඊට ඔබේ කැමැත්තක් තිබුණෙ නැතිද?
-අනිල් මිහිරිපැන්න-
මෙහෙමයි. සංගීතය පිහිට කරගෙන බැබළෙන්නට වුවමනාවක් මට කවදාවත් තිබුණෙ නෑ. සංගීතය මට භාවනාවක් වගේ. මට හිතෙන්නෙ සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා. භෞතික වටිනාකම්වලින් ලැබිය නොහැකි සන්තුෂ්ටියක් මම විඳිනව.
මෙහෙමයි. සංගීතය පිහිට කරගෙන බැබළෙන්නට වුවමනාවක් මට කවදාවත් තිබුණෙ නෑ. සංගීතය මට භාවනාවක් වගේ. මට හිතෙන්නෙ සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා. භෞතික වටිනාකම්වලින් ලැබිය නොහැකි සන්තුෂ්ටියක් මම විඳිනව.
Subscribe to:
Posts (Atom)








