ඔහු අවදි වන විටද , ඩයිනසෝරයා එහි සිටියේය. when he woke up, the dinosaur was still there .
පාසල් යන දවස්වල මා බොහෝසෙයින් කෙටිකතා කියවීමට පුරුදුව සිටියේය. ,දිනපතා,සතිඅන්ත සහ මල් පත්තර වල තිබුනු මෙලෝ රහක් නැති කෙටිකතා රහ ගුන නොබලා එක හුස්මට කියැවීම මට මහත් ආශ්වාදයක් වූයේය. මේ කෙටිකතා කියැවීමට මා ඇබ්බැහි වූයේ ඒ දවස්වල 8 හෝ 9 පන්තියේ සින්හල පාඩම් පොතට එක්කර තිබූ ජී.බී සේනානායකගේ 'වෙසක් පහන 'කෙටිකථාව කියැවීමෙන් පසුව බව මට මතකය.ඉන්පසුව මගේ ප්‍රියතම කෙටිකතාකරුවා වූයේ .ජී.බී සේනානායකය. ඔහුගේ 'දුප්පතුන් නැති ලෝකය' කෙටිකතා සන්ග්‍රහය තරම් විශිෂ්ට කෙටිකථා එකතුවක් සින්හල සාහිත්‍යට මෙතෙක් බිහිවී නොමැති බව මගේ අදහසයි. මාර්ටීන් වික්‍රමසින්හයන්ද හොද කෙටි කතාකරුවෙකි. නවකතාවල පරිද්දෙන් ජීවිතය හා සමාජය විග්‍රහ කිරීම සදහා තම කෙටිකතාව තුළ වූ කුඩා ඉඩකඩ ඔහු යොදා නොගත්තේ නම් ලන්කාවේ හොදම කෙටිකතාකරුවා වීමට ඔහුට හැකියාව තිබිණ''කෙටිකතාවෙන් ජීවිත් හා සමාජ විග්‍රහයන් කිරීමට නොහැකිය යන්න මාගේ අදහස නොවේ. නමුත් ඒවා වස්තුවිශය සමග මනා සම්බන්දතාවයක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත් වික්‍රමසින්හයන්ගේ වහල්ලු කෙටි කතා සන්ග්‍රහයද අතිශය වැදගත් අමතක කල නොහැකි නිර්මාණයකි. ඔහුගේ එක් කෙටි කතාවක් වන සද සාක්කි කීම මා මෙතෙක් කියවූ හොදම කතාවකි. එය වස්තුවිශයෙන් හා ආකෘතියෙන් ගී ද මෝපසාන්ගේ කෙටිකතාවන්ට ලන්වෙයි. මෝපසාන්ගේ සහ එඩ්ගාර් ඇලන් පෝ ගේ ලන්කාවේ නෑදෑයා වසයෙන් මා සලකන්නේ ඩබ්. ඒ සිල්වා මහතායි. ඔහුගේ කෙටිකතාවල නිතර නොනිවී දැල්වෙන අග්නිඛීලයක් පරිද්දෙන් වූ කුතුහලය මෙරට බොහෝදෙනා කෙටිකතා කියැවීමට පෙළබුවේය. එමෙන්ම හේමපාල මුනිදාස මහතාත් ඉතා හොද කෙටිකතා කිහිපයක්ම රචනා කරන ලද කෙටිකතාකරුවෙක් වෙයි. ටී. ජී ඩබ්. ද සිල්වා මහතා ලන්කාවේ උපහාසාත්මක කෙටි කතා කලාවේ රජුය. ඔහු සිහිවන විට කොළබ කවියෙක් වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මහතා සිහිවෙන්නේ ඇයිදැයි මට නොතේරේ. මේ මම සදහන් කළේ මුල් යුගයේ කෙටිකතාකරුවන් ගැනය.
ලනකාවේ කෙටිකතා කලාවෙ දෙවනි පරපුර ඇරබෙන්නේ ගුනදාස අමරසේකරයන්ගෙන් බව මගේ අදහසයි. ගුනදාස අමරසේකරයන් නම් වූ නවකතාකරුවාට වඩා මා ප්‍රිය කරන්නේ ඔහු තුළ ජීවත් වූ කවියාටත්, කෙටිකතාකරුවාටත් ය. ඔහුගේ බයිසිකලය සහ අවුරුදු තෑග්ග කෙටිකතා ද්විත්වය මුලින්ම කියැවූ මා මහත් කම්පනයට පත්විය. මහාචාර්ය ඒ.වී සුරවීර ද මා මහත් සේ ඇලුම් කරන කෙටිකතාකරුවෙකි. ඔහුගේ ගස් නම් කෙටිකතා එකතුව මා කියවූයේ පාසල් සිසුවෙකුව සිටියදීය. අපට සිටින තවත් විශිෂ්ට කෙටිකතා කරුවෙක් වන්නේ ජයතිලක කම්මැල්ලවීරයි. මම අජිත් තිලකසේනයන්ගේ වන්දනා කෙටිකතා සන්ග්‍රහය කියවූයේ අහම්බෙනි. ඉන්පසුව මා තිලකසේනයන්ගේ කෙටිකතා සොය සොයා යමින් කියවන්නට වීමි. ඒ තරමට මා ඔහුගේ නිර්මාණ කෙරෙහි වශීකර වී සිටියෙමි ..තවත් සදහන් කලයුතු කෙටිකතා නිර්මාපකයන් බොහොමයකි. නමුත් එක්වරම සිහියට නොයේ. කියවන ඔබ ඔවුන් පිළිබදව සදහන් කරාවියැයි මට සිතේ.
දැන් ඔබේ සිතේ වැඩ කරන ප්‍රශ්නය කුමක්දැයි මට අනුමාන කල හැකිය. ඒ ඩයිනසෝරයෙක් ගැන කියූ මේ මනුස්සයා කෙටිකතාකරුවන් ගැන කියන්නේ ඇයිද යන්නයි. ඩයිනසෝරයන් හා කෙටිකතාකරුවන් අතර ඇති සමානකම් මොනවාදැයි මම දන්නේ නැත. එහෙත් මේ පෝස්ටුවේ හෙඩිමට මා යොදාගත්තේ ලෝකයේ කෙටිම කෙටි කතාවයි. ගෝතමාලා ජාතික ඔගොස්තෝ මොන්තෙරොසෝ නම් ලේඛකයා තමයි එකම එක වගන්තියකින් යුක්ත මේ කෙටිකතාව රචනා කර තිබෙන්නේ. කුතුහලය අවුස්සවන කතාවක් නේද?



.jpg)

.jpg)



