2012/11/22

සජීවීකරණයේ ජපන් විස්මිතය


           සජීවීකරණයේ ජපන් විස්මිතය



ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානය අළු දූලි ගසා නැඟිටිමින් සිටි සමයයි. 1965 දී ජපානයේ ‘තෝයි’ නම් සජීවීකරණ චිත්‍රපට සමාගම “සඳෙන් එපිටට ගලිවර්ගේ චාරිකානමින් සජීවීකරණ චිත්‍රපටයක් නිපදවමින් සිටියා. නමුත් චිත්‍රපට කතාවේ අවසානය සහ යොදාගෙන තිබූ චිත්‍ර රූප පිළිබඳව ගැටලුවක් නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය පමා කෙරෙමිනුයි තිබුණේ. සඳෙන් එපිටට ගලිවර්ව කැඳවාගෙන යෑමට ගොස් බලාපොරොත්තු බිඳගෙන සිටි ‘තෝයි’ සමාගමේ පිහිටට පැමිණියේ එවකට එහි ආධුනික රසායානාගාර සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයෙක්. ඔහු චිත්‍රපටයේ කතාවට ආකර්ෂණීය නිමාවක් ලබාදෙමින්, ‘මන්ගා’ නම් පාරම්පරික ජපන් කාටුන් චිත්‍ර යොදාගනිමින් ගලිවර් හට සඳෙන් එපිටට සුවිසැරියක යෙදීමට අවස්ථාව ලබාදෙනවා. ඉන් වසර 40කට පසුව ‘හයාඕ මියසාකි’ නම් මෙම තරුණයා ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකය සසැලවූ මිනිසුන් 100 දෙනා අතරටද එක්කර ගන්නවා.

ජාත්‍යන්තරව දැවැන්ත ලෙස ව්‍යාප්ත වූ ජපන් සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිමැවුම් ලෝකයේ සැබෑම ගලිවරයෙක් වන “හයාඕ මියසාකි” කෘතහස්ත ජපන් ‘මන්ගා’ හෙවත් පාරම්පරික ජපන් කාටූන් චිත්‍ර ශිල්පියෙක්. එපමණක් නොවෙයි ඔහු සජීවීකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. විකිපීඩියා අන්තර්ජාල අඩවියට අනුව නම් මියසාකි සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිපැයුම් ලෝකයේ අප්පොච්චි යැයි සැලකිය හැකි වෝල්ටර් ඩිස්නි සහ නික් පාර්ක්, රොබර්ට් ෂෙමෙස්කි යන පුරෝගාමීන් අතරෙහි සමතැන් තැබිය හැකි නිර්මාණකරුවෙක්.


එහෙත් ජපන් සජීවීකරණ හා ටෙලි නිපැයුම් ලෝකයේ පූර්වගාමියා මියසාකි නොවේ. මාස්ටර් ‘බසමු තෙසුකා’  වැනි පහසුවෙන් මතකයෙන් මැකී නොයන, පසු කලෙක සම්ප්‍රදායක් බවට පත්වූ විශාල බෝල වැනි ඇස් ඇති, ඉත්තෑකූරු හිස්කෙස් සහිත කාටුන් චරිත බිහිකරමින් ජපන් සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිමැවුම් ලෝකයේ සමාරම්භකයා වුවත් ජපන් සජීවීකරණ කලාවේ ජගත් මුද්‍රාව බවට පත්වූයේ ‘හයාඕ මියසාකි’ ය.


ඔහු විස්මයාකාර, නිර්මාණශීලී කතා ප්‍රබන්ධකයෙක්. ඔහුගේ නිර්මාණවල දක්නට ලැබෙන විශ්වාස කළ නොහැකි බොහෝ දෑ අපි අත්‍යයන්තයෙන්ම විශ්වාස කරනවා “the anime encyclopediea” හි සම සංස්කාරක ජොනතන් ක්ලෙමන්ට්ස් මියසාකිව වර්ණනා කරමින් පවසනවා.


1963 ‘තෝයි’ චිත්‍රපට සමාගමේ සේවයට බැඳුණු මියසාකි වසර පහක ඇවෑමෙන් එහි ප්‍රධාන සජීවීකරණ ශිල්පියා බවට පත්වන්නේ තමා සැබෑ වැඩකාරයෙක් බැව් තහවුරු කොට පෙන්වන නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙමින්. ලෝක සජීවීකරණ සිනමාවේ විශිෂ්ට සංකේතයක් වශයෙන් සැලකිය හැකි holsi prince of the sun   නම් චිත්‍රපටයට මියසාකි අංශ කිහිපයකින්ම දායකත්වය සැපැයුවා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ඉසාඕ තකහාටා’ මියසාකි සජීවීකරණ විෂය ක්‍ෂේත්‍රයේ දක්වනු ලැබූ බුහුටිත්වය පිළිබඳව කොපමණ සෑහීමකට පත්වූවාද යත් අනතුරුව එළැඹුණ දශක හතර පුරාම ඔහුගේ නිර්මාණ සගයා වූයේ මියසාකියි.


එපමණක් නොවෙයි(1969), Flying Pbantom ship (1969), Animal Terasure isaland (1971), Ali baba and the forty thieves (1971)
ආදී චිත්‍රපට ගණනාවක සජීවීකරණ ශිල්පියා වශයෙන් කටයුතු කරන “හයාඕ මියසාකි” තමන්ගේ ප්‍රථම චිත්‍රපටය වන Nausioa of the valley of the wind  චිත්‍රපටය 1984 දී නිපදවන්නේ තම නිර්මාණ සගයා වූ තකහාටා විසින් ආරම්භ කරන ලද ගිබ්ලි චිත්‍රාගාරයේදී. ගිබ්ලි චිත්‍රාගාරය හා ‘හයාඕ මියසාකි’ ගහට පොත්ත මෙන් ඇලුණු සුසංයෝගයක් වනවා. මියසාකි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Spirited away චිත්‍රපටය නිපදවෙන්නේ ගිබ්ලි චිත්‍රාගාරයේ වන අතර 2001 වසරේදී හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා එම චිත්‍රපටය ඇකඩමි සම්මානය දිනාගනු ලබනවා. අනතුරුව 2004 වසරේදීත් මියසාකිගේ how's moving gastle චිත්‍රපටය ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වනවා.

බොහෝ විට කුඩා දරුවන්ගේ වික්‍රමයන් කේන්ද්‍ර කොටගෙන නිපදවෙන මියසාකිගේ චිත්‍රපටවල ඇවිදයන බලකොටු, පියාඹන යන්ත්‍ර, බස් රථ බවට පත්වූ බළලුන් සහ කතා කරන ඉදිබුවන් දැකගන්නට අපහසු නැහැ. එහෙත් විශේෂත්වය වන්නේ මියසාකි මවනා ඉන්ද්‍රජාලික මායාකාරී ලෝකය යථාර්ථ ලෝක ස්වභාවයන් මත ක්‍රියා කිරීමයි.

ඇමෙරිකානු ලේඛිකාවක් වන “උර්සුලා කේ. ලී ගුවේන්” ගෙන් earth sea  නම් කෘතිය ප්‍රමුඛ අනෙක් බොහෝ කෘතින් කියැවීමට මියසාකි අසීමාන්තික කෑදරකමකින් පෙළෙනවා. තම සිනමා නිර්මාණ සඳහා උර්සුලාගේ බලපෑම නොමඳව ලැබී ඇති බැව් මියසාකි ද නිහතමානීව පිළිගන්නවා.

සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිපැයීම උදෙසා පරිගණකයේ බරසාර කර්තව්‍යය ආගමනය වන්නට පෙර රූප රාමුවෙන් රාමුවට අතින් පැන්සල උපයෝගී කොට ගනිමින් සජීවීකරණ නිපැයුම් මැවූ මියසාකි අතීත හුරුකම් පරිගණක මවුසය වෙතට හුවමාරු කරගනිමින් තවමත් ඔහුගේ මනසේ ඇඳෙන විස්මයාකාර නිර්මාණශීලී ප්‍රබන්ධයන් සජීවීකරණ ටෙලි හා චිත්‍රපට නිර්මාණ බවට පත්කරමින් සිටිනවා.

2012/10/29

විමල් , එව බලව අධිරාජ්‍යවාදීන් සපුගස්කන්දටත් කෙළියේය.


පින්තූරේ මෙන්න මෙතනින්. 


1969 දී ඇරඹුණු ජාතියේ අග්නි ඛීලය යැයි සැලකිය හැකි සපුගස්කන්ද තෙල් පිරිපහදුව සති තුනක කාලයකට යටත් වසා දැමුණේ ය. වසර 43 ක් තිස්සේ   නොනිවී දැල්වුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව එසේ වසාදැමුනේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් තොග නොමැති වීම නිසාය. ඛනිජ තෙල් සංස්ථාවම කියන පරිදි මෙම සතිතුනක කාලයට අදාළ වන පාඩුව රු: කෝටි සීයය ඉක්මවයි. සොච්චමක් නොවැ. 

 ඉස්සර අපේ ගෙවල් වල චිමිනි ලාම්පු දල්වන කාලයේ ගෙදර භූමිතෙල් නොමැති බැව් ලාම්පු දැල්වීමට සූදානම් වන මොහොතේ නිවේදනය කළහොත් අප්පච්චීගෙන් හොද බැණුමක් නොවරදී. බොරතෙල් අවසන් වන තෙක්ම තම තෙල් තොග අවසන් බව දැනගැනීමට ඛනිජ තෙල් සංස්ථාව ට නොහැකි වී තිබේ. අප්පච්චී අර කලින් සදහන් කළ මොහොතයන් හිදී "අමනයෝ" කියමින් බැණ වදී. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව මෙන් ම රටේ පාලකයන්ද අමනයෝ නොවෙන කළ මෙවනි පුවත් අරුමයකි. 

තෙල් පිරිපහදුවක් මෙරට ස්ථාපිත කරන ලද්දේ ඇයි? ඒ පිරිපහදු කල තෙල් බැරලය ක  ආනයන මිළ ,බොරතෙල් බැරලයක  ආනයන මිළට වඩා වැඩි නිසාවෙනි. දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රට ආශ්චර්‍යය කරා ගෙන යාමට කැස කවා බලා සිටින රාජපස්ස ආණ්ඩුව මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකළ ආශ්චර්‍යයන් කරමින් සිටියි. දැන් ආණ්ඩුවේ කුලී කහින්නන් වන විමල් වැන්නන්ට ඩියුටියක් තිබේ. ඒ බොරතෙල් අහිමිවීමට ඇමරිකාව ඉරානයට පැනවූ සම්බාධකද අනියමින් හේතුවී ඇතැයි රාවයක් පැතිර යන නිසාවෙනි. සපුගස්කන්ද වසාදැමීමට හේතුව  අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් යැයි විමල් ගොයියා නොකිව්වොත් 
විමල් ,
උඹේ කටෙත් පස්... 
මගේ කටෙත් පස් ...

2012/10/28

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය 

ලංකාවේ අපි එකිනෙකට නොගැළපෙන, එමෙන්ම එකිනෙකට අතිශය ප්‍රතිවිරුධතාවයන් පෙන්වන ප්‍රපංචයන් මනාව එකිනෙක හා ගළපාගෙන කටයුතු කරන්නට අතිමහත් දක්ෂතාවයක් දක්වන පිරිසක්. මගේ මේ හැගීම තහවුරු කරන  කාරණාවක් අද හිමිදිරියේම මට සිහිපත් වුණා. ගෞතම බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නට පූර්ව රාත්‍රීයේ දුටු සිහින අතර එක් සිහිනයක් වූයේ සිවුදිගින් පියඹා එන චතුර් වර්ණ කුරුල්ලන් සිවු දෙනෙක් තමන් වහන්සේ සමීපයට පැමිණ එකම වර්ණයකට හැරෙන ආකාරයේ සිහිනයක්. මේ සිහිනය පසුකාලීන අනුගාමිකයන්ට සිහිපත් කොට දුන් වැදගත් කාරණාව වූයේ බුදු සසුන කුලය නැමති පටු මානව බෙදීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් පිරිසිදු බුදු දහම ආරක්ෂා වී යැයි මහත් සාඩම්බරයෙන් ලොවට හඬගා කියන අපේ රටේ පැවිදි සමාජයේ නිකාය බෙදීම් වලට තීරණාත්මක සාධකය බවට පත්කරගෙන තිබෙන්නේද කුලයයි. ලංකාවේ එක් බෞද්ධ නිකායක පැවිදි උපසම්පදා  වීමට නම් ගොවිගම කුලයේ අයෙකු වීම අනිවාර්‍යයි.මිනිසා වසලයෙකු හෝ බාහ්මණයෙකු යැයි තීරණය කරන එකම සාධකය ඔහුගේ ක්‍රියාව පමනකැයි පිළිගන්නා ආගමික ඉගැන්වීමක පුරෝගාමී අනුගාමිකයින් වන පැවිදි සමාජයම එම මූලික ඉගැන්වීම උල්ලංඝනය කරමින් එම ඉගැන්වීම් පිළිබදව බණ දේශනා කරමින් කටයුතු කිරීම සදාචාර විරෝධි වන අතර එම පරස්පරයන් එතිහාසිකව වෙනස්කිරීමට ත්‍රයිනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කළ යුතුව ඇත.  

2012/10/14

හැත්තෑවෙ කෙවිලියන් සොයා ඉගිල්ලෙමු

සුජා -ඇන්ජී -ලතා විශිෂ්ටයා තේරීම 

මම නිදන්නට ආවේ මොහොතකට පෙරයි. අසල තට්ටු බිල්ඩිමෙන් යාන්තමට විහිදී ඇසෙන අපූරු ගීයක් මට නිදන්නට ඉඩකඩක් ලබා නොදුන්නේය. ගීය ජෝතිගේ සහ ඇන්ජිගේය.
අමර පෙම් ලතාවේ.. රන් මලක් උදාවේ
අඳුන් සදුන් සුව මැවේ මනෝ මන්දිරේ 

ගීතයත් සමඟ සිතේ නැගුණු සිතිවිලි ගොන්න අකුරු නොකර නිදන්නට නොසිතේ. පුංචිම පුංචි පෝස්ටුවක් ලියනවා කියමින් නිදිමතට ලෙන්ගතු යටි සිතට පොරොන්දු වෙමින් යතුරු පුවරුව මත අතැගිලි තබාගත්තෙමි. 

ඇන්ජි හෙවත් ඇන්ජලීන් ගුණතිලක මගේ ප්‍රියතම හඬ ස්වරය වූයේය. එහෙත් අම්මාගේ ෆේවරිට් වූයේ ගී රැජින ලතා ය. මගේ සාහිත්‍ය ගුරුතුමිය වූ යාපා ටීචර් නම් එකෙන්ම සුජාතා අත්තනායකගේ බැතිබර රසිකාවියක් වූවාය. 

මේ තිදෙනාම හැත්තෑව දශකයේ මෙරට ගීත ලෝකයේ ඔටුනු නොපළන් රැජිනියන් වූවාය. මේ තිදෙනා අතරින් වඩා දක්ෂයා කවුදැයි තෝරන්නට ගොස් මමත් අම්මාත් වාද කරගත් අවස්ථා බොහෝ ය ..මම හැම විටෙකම මගේ ඇන්ජිව එක කරන්නට පෙනී සිටියෙමි. මේ දැනුත් එහි වෙනසක් නොමැත. ඇන්ජිගේ ""මා ප්‍රාර්ථනා ආශාවෝ " මගේ ප්‍රියතම ගීතය විය. තවමත් එසේමය. .එහෙත් ලතා විශිෂ්ටයි කියන්නට අම්මා ඈ ගැයූ ගීත ගොන්නක් මතක් කරමින් ගයන්නට වෙයි. සුජාතා මේ අතරින් නොම්බර එක යැයි කියන්නට යාපා ටීචර් උදාහරණයට ගත්තේ ඈ පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතයයි. සැබවින්ම එය විශිෂ්ට ගීතයක් හා ගායනාවක්ම විය. 

පත්තරය වෙනුවෙන් සුජාතා අත්තනායක හමුවන්නට ගිය දවසක මම මේ ගීතය ගැන ඇයගෙන් විමසන්නට අමතක නොකළෙමි. 
මම 
පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතය ඔබේ ගායන දිවියේ කූටප්‍රාප්තිය බවට විවාදයක් නෑ. එම ගීතමය ජවනිකාවේ ප්‍රාණීය ගුණය ද්විගුණ කරන්නේ ඔබේ ගායනාවයි. නමුත් එම ගීතය නිසි ඇගයුමකට ලක්වුණාද යන්න ගැටළුවක් ..එවකට සිටි සුවිශේෂම සිනමා විචාරකයා ලෙස සැලකුණු ජයවිලාල් විලේගොඩ ඒ ගීතය සලකන්නේ මහගම සේකර ලියූ තවත් දරු නැළවිල්ලක් ලෙස පමණයි .
සුජාතා අත්තනායක 
ඒ පිළිබද සදාකාලික කණස්සල්ලක් මටත තියෙනවා. මට ඒ ගායනාවට සරසවි සම්මාන ලැබුණා. නමුත් මම එය ගන්න ගියේ නෑ. මොකද එහි සංගීත අධ්‍යක්ෂණය කළ ලයනල් අල්ගම  හට ඔහුට ලැබිය යුතු සම්මානය ලැබුණේ නැහැ. අල්ගමයන් වාර ගණනාවක් එවැනි අසාධාරණයන්ට ලක් වුණා. 

කොහොම වුවත් අදටත් මගේ ප්‍රියතම ගායිකාව නම් ඇන්ජලීන්ම තමයි. දෙවියනේ එවැනි හැගීම්බර හඩක් ..ඇන්ජලීන්, ලතා,සුජාතා අතරින් වඩා විශිෂ්ටයා කවුදැයි මම හැමදාමත් කල්පනා කරන ප්‍රශ්නයක් ..සමහර විටෙක එවැනි ප්‍රශ්නයක් අසාධාරණ විය හැකි වුවත් අදටත් හැත්තෑවේ සිනමා ගීත පිළිබද දොඩමළුවකදී ඔය ප්‍රශ්නය මම අනිවාර්යෙන්ම මඩිස්ස්ලෙන් එළියට ගන්නවා. ඒ විතරක් නොවෙයි මගේ මේ කුතුහලකාරී පැනය මම සුජාතා අත්තනායකටත් යොමු කරන්නට අමතක කළේ නෑ. එහිදී ඈ දුන් පිළිතුර නම් ඇයගේ නිහතමානී ගුණය අපූරුවට පැහැදිලි කළ ඒකක්. 
සුජාතා අත්තනායක 
ඇන්ජලීන් සහ මම එකම කාලයේ ක්ෂෙත්‍රයට පිවිසුණා වුවත් ලතා අපට වඩා ජෙෂ්ටයි. අපි අතරේ තරඟයක් තිබුණා තමයි .නමුත ඒ තරගය ජයගන්න උත්සාහ කලේ දක්ෂකම් වලින්ම පමණයි. දක්ෂම කවුද....? ම්ම්ම්ම්ම්... (සිනාසෙමින් )ඒක පිළිතුරු දෙන්න අපහසු ප්‍රශ්නයක්. අප තිදෙනාටම අනන්‍ය වූ ආවේණිකතා තිබුණා. ඒ නිසාම දක්ශයා කවුදැයි කියන්නට අපහසුයි. 

ඇත්තටම මමත් ඇයගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් තවමත් මගේ ප්‍රියතම නම් ඇන්ජලීන් ම තමයි. ඔබේ අදහසුත් කියන්න. 
සුජාතා අත්තනායක සමග මගේ දොඩමළුව කියවන්න මෙතනින් ගිහින් 2012 ජනවාරි 23 E PAPER එකේ අක්ෂරය (08) පිටුව පෙරළන්න. . 


2012/10/11

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 












බහ තේරෙන වයසෙදිම අපි අත්තම්මගෙන් කතන්දර අහන්න පුරුදු වෙලා හිටියා. හතර වටින් ගොම්මන් කළුවර කඩාගෙන වැටෙන වෙලාව- සැදෑ අඳුර හෙමින් හෙමින් ඇවිත් අර සුවදායී -නිහැඬි බවෙන් වටපිටාව වෙළාගන්නවා. ගම්වල මිනිස්සුන්ට සැන්දෑව එළඹුම හිතට ගතට අපූරු සහනයක්, සුවයක් .

අඳුර තමයි අපෙ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ 
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

අමරසේකරගෙ භාවගීත පොතෙන් උපුටාගත්තු  "යමන් කළුවෙ ගෙදර යන්න" කවි පන්තිය මම මුලින්ම කියෙව්වේ හතරෙ හෝ පහ වසරෙ සිංහල පාඩමකින් .අමරසේකරගෙ වර්තමාන දේශපාලන චින්තනය ගැන නිර්දය විවෙචනයක් මට තිබුණත් කවියෙක් විදිහට ඔහුගේ විශිෂ්ටත්වය නම් මම පිළිගන්නවා. ඒත් එදා දෙමළටයි සිංහලයට යි එකම විදිහට තමයි සොබාදහමත්  අඳුරු රෙද්ද පෙරෙව්වෙ කියන සදාතනික සත්‍ය ඒ කවි පන්තියෙන් අමරසේකර පිළිඅරගෙන තිබුණා. අද ඔහු පෙනී සිටින රාජපක්ෂ ආණ්ඩුව කාටත් නොදැනෙනෙ තාලෙ මෙය යැයි වරදවා තේරුම් ගනිමින් මුළු මහත් රටටම ඉතිහාසයේ පෙර නොවූ විරූ අඳුරු රෙද්දක් පොරවමින් සිටිනවා. 

හවස ඇදිරි වැටෙනකොට කඩි ගුලක් තරමට නැතත් තරමක කඩිමුඩියක වෙළිලා තිබුණු ගම හෙමින් හෙමින් නිස්කාන්සුවෙ නිවෙනවා. ..සී..ත..ල.බලන්න කවමදාකවත් නගරයක ඔය ලක්ෂණය දකින්න පුළුවන්ද කියලා. හැබැයි මම මේ කියන්නේ නගරය=අපාය ..ගම =දෙව්ලොව කියලා නෙමෙයි. ලංකාවෙ වැඩවසම් ක්‍රමයෙ අතිශය අසාධාරණ වැඩවසම් ලක්ෂණ වල නටඹුන් තවමත් ගමේ දකින්න තිබෙනවා ඉදහිට.නමුත් සොබාදහම තාමත් අපේ පූර්වජයින්ගේ කාලයෙ සෙනහසම අපට ලබාදෙනවයි කියලා තේරුම් ගන්න නම් ජීවිතේ පුංචි කාලයක් හරි ගමේ ජීවිතය අත්දකින්න ඕනෙ. හැබැයි, ඒ හැගීම් ගමේ ජීවත් වූ පමණින් ප්‍රවේණිකව උරුම වන දෙයකුත් නොවෙයි.ඒ  බුද්ධි පරිපාකයද ,නැත්නම්  අපොස උ.පෙළ පෙනී සිට විශ්ව විද්‍යාලයට ඇතුළ් වුවහොත් පමණක් උරුම වන සංවේදනාවක්ද ,නැත්නම් සේකර කීවා සේ ..........

ඇවිඳ ලදු දෙණි  කැලෑ බිම්වල
 රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළ් සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
රටාවක් බව මේ මහා විශ්වය 
කුඩාකල සිටම මට කියා දුන් .....

සමීපතමයින් ජීවිතයේ පංගුකාරයන් වී සිටීම ද කියා හරියටම කියන්නේ කොහොමද ?

සැන්දෑ කළුවර හරියට සර්පයෙක් බඩාගානවා වගේ මහපොළව හෙමින් හෙමින් වහගන්න වෙලාවට වචන වලට නැගිය නොහැකි නිරාමිශ සතුටක් හිතට දැනිලා තියෙනවා මට, ඒ පුංචි සන්දියේදි. පුංචි උන් වෙච්ච අපට හැන්දෑව සතුටක්. කැමතිම ජවනිකාවක් තව ටිකකින් පටන් ගන්නවා. බුදුන් වැදලා ඉවර කරලා අත්තම්මා ඉස්තෝප්පුවට ගාටනවා. එහි එළිපත්තෙ ඈදිගන්නවා, උන්දැලා කීවෙ එහෙමයි. ඕන්න අපි පොඩිවුන් රැළ පොකුරු ගැහෙනවා අත්තම්මා වටේ. චිමිනි ලාම්පුවෙ එළිය කළුවර ඈතටම එළවලා දැම්මේ නැහැ. අද ලංකාව වටේටම විදුලි බලාගාර තියාගෙනත් පාඨලී ඇමතිතුමාටත් කළුවර සම්පූර්ණයෙන්ම එළවලා දාන්න බැරිවෙලා තියෙනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. චිමිනි ලාම්පුවෙ එළියෙන් රැය ගෙවා දමන කාලෙ අපට රැය සහ දහවල අතර සොබා නීතීයේ වෙනස් කම් අඳුනා ගන්න ඉඩක් තිබුණා. නමුත් පාඨලී ඇමතිතුමාලා අද අපි විසින්ම නිපදවාගත්තු නීති පණවමින් රැය සහ දහවලේ වෙනසක් නැතෙයි තහවුරු කරන්නට උත්සාහ කරමින් සිටිනවා. දහවලටත් එළිබහින සුදුවෑන් එහි එක් සලකුණක්. 

අත්තම්මා අපට බොහෝ කවි කතා කියා දී තිබෙනවා මෙවැනි සැදෑ සමයන් ගණනාවකදී. මට මතක් වෙනවා එහෙම කවියක්. 

මල්ලියි මමයි තනි පාරෙ යන කලට 
බඩගින්නක් ආවයි අපි දෙන්නාට. 
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 
යමන් මලේ අම්මා වැළලූ තැනට 

අම්මාගේ වියෝගයෙන් අසරණවූ දරුවන් දෙදෙනෙක් ගැන අපූරු කතාවකුත් අත්තම්මා ඊට එක්කරනවා.ඇයගේ ඇතැම් වර්ණනාවන් වල අතිශයෝක්තීන් බහුලයි. ඒත් කුඩා කල අප විදින්නට කැමති වූ රසය ඒ වර්ණනාත්මක විස්තරයින්ගේ අඩුපාඩුවක් නැතිව තිබුණා. අත්තම්මා අපට කීවෙ යන්නට එන්නට තැනක් නැතිවූ සොහොයුරන් දෙදෙනා අම්මාගෙ සොහොන පාමුලට ගිය පසු ඇගේ වළ මත සරුවට වැඩී තිබූ පැණි දොඩම් ගසක ගෙඩි පිරී තිබුණු බවයි. අර අසරණයින්ගේ කුසගින්න නිවන්නේ අම්මාගේ වළ මත වැඩී තිබූ පැණි දොඩම් ගසයි. අම්මාගේ නොසිදෙන  ආදරයත්, සොබාදහම අප වෙනුවෙන් සියල්ල වෙන් කර තිබෙන අයුරුත් ඒ කතාවෙන් අපූරුවට කියවෙන බව කුඩා අපට තේරුණේ බොහෝ කාලයක් ගතවූ පසුයි. 

එහෙත් අද තිබෙන්නේ එදා ලංකාව නොවෙන නිසා බඩගිනි කියා අම්මාගේ සොහොන වෙත යාම නිරර්තක කටයුත්තක් වෙලා. මේ අතිසීග්‍ර සමාජ පරිවර්තනයන් 77 ට ලඝු කරන්නට නොවෙහෙසී මදක් එපිටට කල්පනා කර බැලූ විට 94 දිත් අම්මාගේ සොහොන වෙත යන දරුවෙකුට පැණි දොඩම් කන්නට හැකියාවක් තිබූ බව මතක් කරගන්නට අපහසු නැහැ. 



2012/10/06

මේ කාගේදෝ කමතා

ගමෙන් සිංඩියක් ගෙනාවෙමි. 



නිවාඩුවට ගමේ ගියත් කාලය ගතවුණේ අන්තර්ජංජාලයේය. කලෙක ගමට බෙහෙවින් ආදරය කළ මට දැන් ගම වෙත ගිය කල්හී පිටස්තරකාරී හැගීමක් දැනෙන්නේ ඇයිදැයි නොතේරේ. මට සිහිවන්නේ සේකරගේ 'ගම අමතකයි' පද්‍ය පන්තිය. 

"සිදාදියට එන්නට මට 
බුද්ධිය නුඹ තමයි එදා පාර කියාදුන්නේ.. "

කාලෙකින් සේකර කියවන්නට නොලැබිණි. දැන් කවිය මතකයෙ නැත.අන්තර්ජාලයේම නිවාඩුව ගතකළ මා ආයිත් හුදකලා නවාතැනට පැමිණියේමි. නිකන්ම නොවේ. මා හැදූ අලුත් බ්ලොග් සිංඩියකුත් සමගින්. 

මාත් සිංඩියක් හදන්න ඕනෑයැයි මට සිතුනේ සිංහල බ්ලොග් ලෝකයේ සිංඩි ගණනාවකට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගැනීමට උතසාහ දරා වෙහෙස වූ කල්හිය. බලාපොරොත්තු කඩවූ කල්හිය. සිංඩි දහයකට වඩා ප්‍රමාණයකට මා අයදුම් කළ නමුත් මෑතකදී මා එක් කරගනු ලැබූයේ සිංඩි තුනකින් පමණය. ඒවා මොනවදැයි අමුතුවෙන් කියන්නට අවැසි නොවේ. මට මුලදී තල්ලුව ලැබුණේ සුමිත් නිරිඇල්ලගේ ප්‍රහාරයෙනුත්  ,රාජ්ගේ නවාතැනිනුත් ටික දවසකට පසුව හසිතගේ ආගිය කතා  සහ සිරාගේ කාමරයෙනුත්  ය. 

සිංඩියකින් බ්ලොග් අඩවියකට ලැබෙන සහයෝගය අති මහත් වෙයි. මම මෙවැනි සිංඩියක් අරඹන්නට සිතුවේම අලුතින් බ්ලොග් ලෝකයට පිවිසෙන නිර්මාණකරුවන්ට සහයෝගයක් ලබා දිය යුතුයැයි මට බලවත් සිතුවිල්ලක් තිබුණු නිසාවෙනි. හොදම උදාහරණය මචං- මාතලන්  ඔහුගේ සිංඩියෙන් අළුත් බ්ලොග් කරුවන්ට ලබාදෙන සහයෝගයයි. 

කමත ඇරඹෙන්නේ එවැනි අරමුණකිනි. 

උඹ සිංඩියක් පටන්ගන්න්ට තවම කල් වැඩියැයි මිතුරන් දෙතුන් දෙනෙක් කීවේය. එහෙත් මගේ ආශාව වඩාත් ප්‍රභල විය. මගේ බ්ලොග් අඩවිය මෙවනි කාරණා සදහා යොදාගන්නට මම අකැමැති නමුත් සිංඩිය ගැන කියන්නට වෙන මගක් නැත. 

කමතට දැනට ඇතුළ් කර ඇත්තේ මා කියවන බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් පමණි. ඒවා ප්‍රවර්ග කොට බෙදා දක්වන්නට මා උත්සාහ කළේය., නමුත් එය දුෂ්කර කාරියක් විය. සමහර විට ඔබේ අඩවිය තිබිය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ගැන මට කියන්න. 

මෙතනින් කමතට ගොහින් බැත රාසි කරන්න ඇහැකි 

ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව සිතට හයියකි. 

2012/10/05

දේශප්‍රේමීන් නොවන බැල්ලිගේ පුතාලා වෙතයි.





මුගුරක් අතැතිව මිහිමත සැරිසැරූ පළමු මානවයා ලෙස සැලකෙන්නේ නියැන්ඩතාල් මානවයායි. මුල් කාලයේ මතය වූයේ නියැන්ඩතාල්වරුන් සහ සේපියස්වරුන් කිසිදිනෙක එකිනෙකා මුන නොගැසුනු බවයි. නමුත් පසුකලෙක එම මතය විද්‍යාත්මකව වෙනස් වූයේය. නියන්ඩතාල්වරුන්ගෙ අතින් අනෙකා යටපත් කොට පැවතීමේ කලාව ඉගෙනගත්  මිනිසා පළමුවෙන්ම  තම මුගුර ඔසොවනු ලැබුවේ නියැන්ඩතාල් වරුන්ට එදිරිවමය. 

දේශප්‍රේමීත්වය ඇරඹෙන්නේම තම අනෙකා සංහාරය කිරීමෙනි. දේශප්‍රේමීත්වය වෙනුවෙන් අපි  අපේ අනෙකා වූ දෙමළා සංහාරය කෙරුවෙමු. දෙමළා යනු කවුද ? උහු අපේ අනෙකායි. මෙලෙස දේශද්‍රොහීන් වූයේ අපේ පාසල් බස් රිය පැදවූ නඩරාජා මාමාය. අපේ ගොයම් කපන්නට පැමිණ තුට්ටුවක් සොයාගෙන ගිය ගුණසිංහම්ලාය. ජාතිකතවය යන පටු සාධකය පදනම් කරගෙන දේශද්‍රොහීන් තේරීම නිවැරැදි නම් ලක්ෂ්මන් කදිරගාමර්ද ඒ ගොඩට අයත් විය යුතුය. කලු සුද්දන් වී සුද්දන් මෙරටින් පන්නනට සේනානායකලා සමග එක්වී සිටි දෙමළ කලු සුද්දන් වූ පොන්නම්බලම්ලාද ඒ ගොඩට එක්විය යුතු වෙයි. 

දැන් දේශප්‍රේමීත්වය නව මානයකින් නිර්වචනය කෙරෙමින් තිබේ. රටේ සිදුවන අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන්නා දේශද්‍රොහියෙකි. අයුක්තියට එරෙහිවන්නා දේශද්‍රෝහී අධිරාජ්‍යවාදී පෙරමුණ ශක්තිමත් කරන්නෙකි. 
එහෙත් මේ නව කියවීම අමු අමුවේ අලුත් මතවාදයක් හෝ සංකල්පයක් නොවේ. එය ඉතිහාසික පුනරුච්චාරණයකි. උදාහරණයක් වශයෙන් සිංහල ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය යුගයේ බිහිවන්නේම සිංහල ප්‍රාග්ධනයේ වර්ධනයට තිබූ තදබල සීමාකම්ද ,තවත් අතකින් සිංහල සුළු ධනේශ්වර කොටස් ව්‍යාපාරික සහ වුර්තීය අවකාශයන් තුළදී මුහුන දුන් සුළු ජනවර්ගවල තරඟකරුවන්ගෙන්  එල්ල වූ බාධාවන් නිසාද ,සිංහල කම්කරුවන්ට ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන්ගෙන් එල්ල වූ තරගයේ ප්‍රථිපලයක්ද වශයෙනි. 

වර්තමානයේදී සිදුවන්නේ ද  තම ආර්ථික ආයෝජනයන්ගේ විපුල ඵල නෙළාගන්නට බාධා කරන වුන්, අර පැරණි දෙශප්‍රෙමී කෝවේ ලා විනාශ කිරීම සදහා මග පාදා ගැනීමේ කූට උපායයි. හේතුව මුදල් වේ. තම පරම්පරා හතකට සෑහීමට මුදල්, වතුපිටි රැස් කිරීමට ඔවුනට ඉඩදී උන් සමග නිදිවදින්නට අකැමැති අප නිහඩව සිටිය යුතු වේ. නොවෙසේනම් තවත් තේරීමක් තිබේ ,ඒ හර්ද සාක්ෂ්‍ය ගලවා පසෙකට දමා උන් සමග එකට කාබී ඒ මත්තෙහිම වැටී සාමූහිකව රමණයේ යෙදීමයි. ආශ්චර්‍ය එයයි. 

පසු සටහන 
මධ්‍යස්ථ දැක්මක් උදෙසා... 

මෙම පහත  සටහන උපුටා ගනු ලැබුවේ ආචාර්‍ය නලින්ද සිල්වා විසින් දිවයින පුවත්පතට මේ වසරේ ජනවාරි මාසයේ ලියන ලද ලිපියකිනි 


“දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේම මෙරට වාසය කරන දෙමළ ජනයා තරම් වරප‍්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. එය සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් එය කළ යුතුය.

සිංහලයන්ට එරෙහිව දෙමළ ත‍්‍රස්තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේදී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක‍්‍රියාමාර්ගයකි. අපේ රණවිරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නොවේ. දහතුන මඟින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග‍්‍රහණයෙන් පසු දහතුන දේශපාලනිකව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි.
 අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග‍්‍රහණයත් සමඟ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවටම විසිකර එය අහෝසි කිරීමට දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වගන්ති ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතිව දහතුනෙන් එහාට යමක් ගැන කතාවක්වත් නොකළ යුතුය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ද්‍රෝහිකමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිවම දහතුනෙන් එහාට යෑමට තිබිණි. යුද්ධ ජයග‍්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්ඡා මේසයට යෑමට සිංහලයන් කැමැති වේ යැයි ඉන්දියාව සිතන්නේද”