2013/08/20

මටත් තිබුණා සිහිනයක්.





ජීවිතේ සිහින ගොඩක්.අවුරුදු ගාණක් ආපස්සට ගිහින් මතක් කරනකොට හැබෑ කරගන්නට නොහැකිවුණු ,මගහැරී ගිය සිහින ,කරත්තයක පුරවාගන්නට තරම්. හැබෑ කරගන්නට නොහැකි වුණු ඒ හීන හිතට ගෙනෙන්නේ දුකක්මත් නෙමෙයි. . මොකද්දෝ තේරුම් ගන්නට බැරි වචනයෙන් පහදා දෙන්නට අපහසු ශාන්තමය සන්තුෂ්ටියක් ඒ මතක ස්මර්ණ වල හැංගිලා තියෙනවා වාගෙයි. 


වළා පිරුණු අහස මතින් 
යාන්තමට හඳ පායපු. 
ටිකක් ඇදිරි- ටිකක් එළිය 
තියෙන රෑක ඇවිද යන්න. 

තනිපංගලමේ සොයන්න 
හාංකවිසියක් නොතියා 
ඈත එපිට දුර කාලෙක 
අමතක වී අතහැර ආ 
සොඳුරු සිහින සාප්පුවක්.....

මූදු නිල්ල තරම් සතුට. 
ගොඩගලාපු මතක ගොඩයි.
පබළු වගේ එකින් එකට 
අමුනාගන්නට බැරි හැටි 

2013/06/09

රොක් සම්ප්‍රදායේ නිර්වාණ මාර්ගය.

1981 වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.

එක් ත්‍යාගයක් වූයේ ඉලන්දාරි ගැටවර සිත් ආකර්ෂණයෙන් වසඟ කළ මෝස්තරයේ යතුරු පැදියක්, අනෙක් ත්‍යාගය වූයේ අපූරු නිමවුමකින් යුත් ගිටාරයක්. ත්‍යාග දෙකෙන් එක් ත්‍යාගයක් පමණක් තෝරාගන්නට සිදුව තිබූ අතර මෙම අපූර්ව ගැටවරයා තම උපන් දින තෑග්ග වශයෙන් තෝරා ගන්නේ තම සිත බැඳගත් ගිටාරයයි.

තම ප්‍රියතම රොක් සංගීත කණ්ඩායමක් වූ led zeppelin  ගායනා කරන "stairway to heaven " ගීතයට පිස්සු වැටී හුන් මේ ගැටවරයා( ඇත්ත වශයෙන්ම කිවහොත් මේ ගීතය මාවත් පිස්සු වැට්ටවූ ගීයක්. )ඉතාමත් ඉක්මනින්, අදහාගත නොහැකි ශීඝ්‍රතාවයකින් තමන්ට තෑගි ලැබුණු ගිටාරයෙන් stairway to heaven"ගීතය වාදනය කරන්නට ඉගෙනගන්නවා. පසු කලෙක  led zeppelin සංගීත කණ්ඩායම තරමටම, නොඑසේනම් ඒ ද පරදවන තරමට ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන "නිර්වාණ " රොක් සංගීත කණ්ඩායම පිහිටුවන්නට පෙරමුණ ගන්නේ මේ සංගීතකාමී ගැටවරයා යි. රොක් සංගීත ලෝකයේ පුරාවෘත්තයක් බඳු ඔහු අන් කිසිවෙක් නොව තරුණ වියේදීම අකාලයේ ජීවිතයෙන් සමුගත් කර්ට් කොබේන් .



කොබේන් සහ ඔහුගේ යාවජීව සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් එක්ව පිහිටුවාගත් නිර්වාණ රොක් සංගීත ලෝකය නවමු උන්මාදනීය රිද්මයකින් ප්‍රකම්පනය කරවන්නට සමත් වූවා. ලෝක ප්‍රකට ප්‍රවෘත්ති නාළිකාවක් වන MSNBCහි එරික් ඕල්සෙන් වරෙක කොබේන් ගැන මෙලෙස පැවසුවා. "රොක් සංගීත ලෝකයේ ගැලවුම්කරුවාගේ චරිතයට පණ පෙවූ ඔහු අද්විතීයයි. කොබේන් අවසන් සැබෑම රොක් ගායකයා වශයෙන් සැලකිය හැකියි". ජාත්‍යන්තර රෝලින්ග් ස්ටෝන්  සඟරාව මඟින් ලෝකයේ හොඳම මෙටල් රොක් ගායකයන් ලැයිස්තුගත කරන විට කොබේන් එහි හොඳම දසදෙනා අතර හුන්නේය.

ගායකයෙක් පමණක් නොව ඔහු අති දක්ෂ ගිටාර් වාදකයෙක්ද වූයේය. කොබේන් උපත ලැබුවේ 1967 පෙබරවාරි මස වොෂිංටනයේ ඇබර්ඩීන්හිදීය. අදටද ඇබර්ඩීන් වෙත පිවිසෙන විට මාර්ගයේ පසෙක විශාල පුවරුවක කොබේන්ගේ සාතිශය ජනප්‍රියතාවක් අත්පත් කරගත් comes as you are   ගීතයේ මෙම මුල්පද කිහිපය සටහන් කර තිබේ. ඒ ඇබර්ඩීන් පළාත තම භූමිපුත්‍රයා පිළිබඳව සාඩම්බරයට පත්වෙන අයුරුයි. කොබේන්ගේ පවුල් පසුබිම නිසාම සංගීතයේ ආභාසය කුඩා කල සිටම විඳගන්නට ඉඩකඩ ඔහුට පෑදී තිබුණා. ඔහුගේ මාමලා දෙදෙනාම සංගීත කණ්ඩායමක සාමාජිකයන් වූ අතර නැන්දණිය දක්ෂ පියානෝ වාදිකාවක් සහ ගායිකාවක වූවාය. පවුලේ බලපෑම නිසාමදෝ සංගීතය පිළිබඳව ඔහුගේ ළැදියාව සහ හැකියාව කැපී පෙනෙන එකක් විය. එය කෙසේ දැයි විස්තර කළහොත් වයස අවුරුදු හතරට එළැඹෙන විට කොබේන් පියානෝව වාදනය කරන්නට සහ ගීත ගායනා කරන්නට පටන්ගෙන තිබිණි.

කුඩා කාලයේ පටන්ම කොබේන් හට බි්‍රතාන්‍ය සංගීත කණ්ඩායමක් වූ "බීට්ල්ස්" පිළිබඳව උන්මාදනීය කැමැත්තක් තිබිණි. "මට මතකයි ඔහු යාන්තම් බහ තෝරන අවුරුදු හතරේදී බීට්ල්ස්ලාගේ "hey jude " ගීතය තතනමින් ගායනා කරනවා" කොබේන්ගේ පියානෝ ගුරුවරිය වූ නැන්දණිය එලෙස පවසන්නේ කොබේන්ගේ බීට්ල්ස් ළැදියාව හෙළිකරමින්. විශේෂයෙන්ම බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පදනම් සාමාජිකයෙක් වූ 'ජෝන් ලෙනන්' කෙරෙහි සුවිශේෂී කැමැත්තක් කොබේන් වෙත වූයේය. කොබේන් ජෝන් ලෙනන්ව හැඳින්වූයේ තම රොක් ප්‍රතිමූර්තිය ලෙසිනි.

රොක් සංගීත විෂයෙහි අසීමාන්තික කෑදර රසිකත්වයක් තිබූ කොබේන් තම පූර්වගාමී සම්භාව්‍ය රොක් සංගීත කණ්ඩායම් වූ led zeppelin, AC/DC, black sabbath, Aerosmith,queen සහ Kiss  යන සංගීත කණ්ඩායම්වල නිෂ්පාදනයන්ට අප්‍රමාණව ඇලුම් කළ අතර ඉඳහිට කලාතුරකින් එම රොක් කණ්ඩායම් ගායනා කරන ලද තමන් ඉතාමත් කැමැති ගීත තම සංදර්ශනවලදී ගයනා කළේය. ඒ අතරින් ලෙඩ් ශෙපැලින්ලාගේ heart breaker සහ 'බැල්ක් සබාත්ලාගේ ' hand of doom  විශේෂකොට දැක්විය හැකි ගීත දෙකකි.

කර්ට් කොබේන් නම බටහිර රොක් සංගීත ලෝකය තුළ අමරණීය එකක් වන්නේ ඔහුගේ එළැඹුමෙන් ආරම්භ කරන ලද 'නිර්වාණ' සංගීත කණ්ඩායම නිසාය. කොබේන් නිර්වාණ අරඹන්නේ තම දීර්ඝකාලීන සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් සමඟින්. මුල් කාලයේ ඔවුනට පුහුණුවන්නටද හරිහමන් තැනක් නොමැතිව ළතවෙමින් සිටියා. අවසානයේ විසඳුම ලබාදුන්නේ ක්‍රිස්ගේ අම්මා විසින්.

ඒ ඇයට අයත් සැලූන් ගොඩනැඟිල්ලක සොල්දර කාමරය මේ තරුණ සංගීත ප්‍රේමීන් දෙදෙනාට ලබාදෙමින්. සොල්දරයේ සිට පුහුණුවීම් අරඹමින් ඔවුන් තම ප්‍රථම සංගීත ඇල්බමය නිකුත් කරන්නේ 1989 දී. ඒ 'bleach ' නමින් නමුත් නිර්වාණ සංගීත කණ්ඩායම බටහිර රොක් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නට සමත් වන්නේත්, එවකට වූ සුපිරි රොක් සංගීත කණ්ඩායම් අතරට එක්වන්නේත් 1991දී ඔවුන් නිකුත් කළ nevermind ඇල්බමයෙන්. විශේෂයෙන්ම එහි අඩංගු වූ "smells like teen spirit " ගීතය රොක් සංගීත ලෝකය තුළ සදාතනික එකක් වනු නොඅනුමානයි. එම ගීතය කර්ට් කොබේන් නම් කෙසඟ කඩවසම් ගායකයා සතු වූ උත්තුංග පහසුවෙන් පසු නොබසින හඬ පෞරුෂය පිළිබඳව කදිම නිදර්ශකයක්ද වනවා. 1991 සිට 1992 දක්වා කාලය තුළ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ගීතය පැමිණෙන තුරු බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ වැජඹුණේ කොබේන් ගායනා කරන ලද මෙම ගීතයයි.

කෙසේ වෙතත් තම සංගීත ජීවිතයේ තාරකා අවධියට සම්ප්‍රාප්ත වෙමින් සිටින අතරතුරදී මෙම තරුණ රොක් ගායකයාට ජීවිතය හැර යන්නට සිදුවෙනවා. ඒ ඔහුගේ 27 වැනි වියේදීය. කොබේන්ගේ මරණය පිළිබඳව දහසකුත් ප්‍රවාද මැවී තිබුණත් එය සියදිවි නසා ගැනීමක් බවයි පිළිගත් මතය. ඔහුගේ අකාල අභිරහස් මරණය කොබේන් හා නිර්වාණහි කීර්තිය බිඳකින්වන් අඩු කරන්නට සමත් වූයේ නෑ. අදටද රොක් සංගීත සහෘදයන් සියල්ලන් අතරේ කර්ට් කොබේන් සහ නිර්වාණ යන නම් පුරාවෘත්තයන් සේ වටිනාකම අධික වෙමින් පවතිනවා.

2013/06/07

රාජාලියන්ගේ දොම්නස් සාප්පුව ලිහා බැලීම.

මා ඊගල්ස් සංගීතයට පෙම් බඳින්නට පටන්ගන්නේ ඔවුන්ගේ 'හොටෙල් කැලිෆෝර්නියා' ගීතය ඇසීමෙන් පසුවය. ඒ මීට දශකයකට එපිටින් වන්නට ඇත. අද කතාව හොටෙල් කැලිෆෝර්නියා ගැන නොව ඊගල්ස්ලාගේම තවත් ගීතයක් වන 'සෑඩ් කැෆේ ' ගැනය.




'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි. 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 

දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 

එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --

හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ  කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි. 

සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි. 

oh expecting to fly 
we would meet on that shore in the 
sweet by and by

මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ. 

සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි. 

2013/06/05

හරිත මිහිතලයක් උදෙසා පුටාර් එකට ගොඩවීම

මුළුමහත් ලෝකයේම මෙන්ම අපේ රටේද පරිසරය හා සබැඳුණු සන්දර්භයන් වඩවඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. තවදුරටත් පරිසරය යනු ගහකොළ, වාතය, ජලය සහ සතුන්ට පමණක් සීමා වූ පටු විෂයය ක්ෂේත්‍රයක් වන්නේ නැහැ. පරිසරය හා බැඳුණු විෂයය සීමාවන් ක්‍රමයෙන් පළල් වෙමින් පවතින අතර තවදුරටත් ලෝකයේ ස්වාභාවික පරිසරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ උනන්දුව සහ උදේ‍යාගය සහිත පරිසර ක්‍රියාකාරීන් මේ නව විෂයය ක්ෂේත්‍රය වෙත තම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.



ලෝකයේ සතර දිගන්තයේ වෙසෙන පරිසර ක්‍රියාධරයන් අතරෙහි 'හරිත මිහිතලයක්' වෙනුවෙන් අලුතින්ම මතුව එන පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන වී තිබෙන්නේ හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවීමයි. වඩාත් පැහැදිලිව සඳහන් කරනවා නම් ලෝකයේ වාහනවලින් සිදු කෙරෙන කාබන් විමෝචනය අවම කරලීමේ පරමාර්ථයෙන් හැකි සෑම අවස්ථාවකම පාපැදි භාවිතාව සඳහා මහජනයා යොමු කිරීමේ සහ උනන්දු කිරීමේ වැඩසටහන් ලෝකය පුරාම ක්‍රියාත්මක වනවා. මෙවැනි විෂයය ක්ෂේත්‍රයන් තුන්වැනි ලෝකයේ රටවල් වන අපට නුහුරු, ආගන්තුක සහ ඇතැම්විට විජ්ජාකාරී දේවල් වශයෙන් පෙනී යා හැකි වූවත් අනාගතයේ එළැඹෙන නුදුරු දවසකදී රටට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවකින් සිදු කෙරෙන කාබනික විමෝචනය මඟහැර යා නොහැකි ගැටලුවක් වනවා නොඅනුමානයි.

ඇමෙරිකානු පාපැදිකරුවන්ගේ සංගමය ඇරඹුණේ 1880 තරම් දුර කාලයකදී. ඒ හුදු විනෝදය සඳහා බයිසිකල් පැදයන කිහිප දෙනකුගේ එකතුවෙන්. වර්තමානය වන විට 20,000ක පමණ සෘජු දායකත්වයක් දරන තවත් 300කට ආසන්න සංවිධාන ගණනාවක් සාමාජිකත්වයක් ගෙන සිටින මෙම සංගමය විනෝදය පිණිස නොව හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ දේශගුණික විපර්යාසයන් සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑමයි. ලෝකයේ කර්මාන්තශාලාවලින් මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය පමණක් දෙවැනි වන්නේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනයයි. ඒ අතරිනුත් පෙරමුණේම සිටින්නේ ඇමෙරිකාවේ අධික තදබදය සහිත නගර කිහිපයක්.

බොහෝ ඇමෙරිකානු නගරවල දක්නට ලැබෙන අධික වාහන තදබදයට හොඳම විසඳුම වශයෙන් ඇමෙරිකානු පාපැදි ලීගය තම  වැඩසටහන යෝජනා කර සිටිනවා. බොහෝ ඇමෙරිකානුවන් මිනිත්තු පහකින් හෝ දහයකින් නිමකළ හැකි කෙටි ගමන් බිමන් සඳහාද තම මෝටර් රථවාහන යොදා ගන්නට පුරුදුව සිටිනවා. එය පාරිසරික තත්ත්වයන්ට බලපාන ක්ෂුද්‍ර මට්ටමේ සාධකයක් පමණක් නෙවෙයි, ආර්ථික හා සමාජමය ගැටලුද මතු කරවන තත්ත්වයක්. ඇමෙරිකානු පාපැදි ලීගය බොහෝ ඇමෙරිකානු ප්‍රාන්ත නගර කරා එම පණිවුඩය රැගෙන ගියා. මුලින්ම ඔවුන් පෙන්වා දුන්නේ මෝටර් රථ වාහන මඟින් නිකුත් කෙරෙන කාබනික වායු විමෝචනය ඔස්සේ සිදුවන අති දැවැන්ත පාරිසරික දූෂණයයි. දෙවැනිව ඔවුන් මෝටර් රථ වාහන වෙනුවට නව විකල්පය යෝජනා කර සිටියා. "මිනිසුන් අපට අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. මෝටර් රථවාහන වෙනුවට අපගේ විකල්පය ඔවුන්ව උත්තේජනය කරනු ලැබුවා" ඇන්ඩි ක්ලාර්ක් ඇමෙරිකානු පාපැදි ලීගයේ විකල්ප වැඩසටහන ගැන පැහැදිලි කරමින් කියනවා.

"එය ඉතාම සරලයි. ඇමෙරිකාවේ වාහන තදබදය ඉතා අධික සෑම නගරයක් පාසාම පාපැදි ලීගය විසින් ඉතා සුළු මුදලක් ගෙවා පාපැදියක් කුලියට ගත හැකි මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා. තම මෝටර් රථය නගරයේ ගාල් කොට තමන්ට යා යුතු වෙනත් ස්ථානවලට යෑම සඳහා පාපැදියක් ගැනීමට දැන් ඇමෙරිකානුවන් පුරුදුව සිටිනවා. ඒ වගේම ඇමෙරිකානු මංමාවත්ද පාපැදිකරුවන් සඳහාම වෙන්වූ මංතීරු වෙන් කරනු ලැබුවා. වැඩසටහන දියත් කොට පළමු වසර තුළදී ඇමෙරිකාව පුරාම පිහිටුවා තිබූ බයිසිකල් හුවමාරු මධ්‍යස්ථානවලින් හුවමාරු වී තිබූ බයිසිකල් ගණන මිලියනයක්. නමුත් එහි දෙවැනි මිලියනය වෙත ළඟාවන්නට ගතව තිබුණේ මාස හයක් පමණයි. හරිත ලෝකයක් වෙනුවෙන් ඇමෙරිකානු බයිසිකල් ලීගය ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන නිසා 2025 වන විට ඇමෙරිකාවේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනය 4%කින් අඩු කරලන්නට ඉවහල් වනු ඇතැයි සංවිධායකයන් විශ්වාසය පළ කරනවා.

2013/04/29

තාත්තාගේ තුවක්කුව වෙනුවට චෙලෝවට පෙම් බැඳීම


හෘදයාංගම භක්තියකින් "චෙලෝව" වැලැඳ සිටින ඔහු දකිත්ම ඔහුගේ වග වාසගම් මනාව දන්නා ඕනෑම අයෙක් අසන ප්‍රශ්නය වන්නේ "ඇයි තාත්තා වගේ නළුවෙක් නොවුණේ?" යන්නයි. මිනිසාගේ අතීත මානව පූර්වජයන්ගේ පටන් පැවැත එන "තාත්තා කළ දේ පුතා කිරීමේ සම්ප්‍රදාය" කුඩුපට්ටම් කොට දැමූ ඔහු කයිල් ඊස්ට්වුඩ් (Kyle Eastwood) නම් වෙයි.වඩාත් පැහැදිලිව කීවොත් සර්ජියෝ ලියෝන්ගේ ''dollars'' චිත්‍රපට මාලාව හරහා හොලිවුඩයේ අසහාය ගොපලු වීරයා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ පුත්‍රරත්නය ඔහුයි


. නමුත් තාත්තාගේ යෝධ ප්‍රතිරූපයේ පිහිටෙන් පහසුවෙන්ම යා හැකි වූ "සිනමා සරණ" පසෙකට කළ මේ පුත්‍රයා තමා කුඩා කල පටන් ලාලසාහී වූ ජෑස් සංගීතය ජීවිතය කොට ගත්තා. අද ඔහු සුප්‍රකට ජෑස් සංගීතඥයෙක්. නොබෝදා කයිල් ඊස්ට්වුඩ්ගේ "The view from here" නම් නවතම සංගීත ඇල්බමය නිකුත් වූවා.

එහිදීත් බොහෝ මාධ්‍යවේදීන් තම සන්තෘප්ත නොවූ කුතුහලකාරී ආශාවෙන් කයිල්ගෙන් විමසුවේ පහසුවෙන්ම සිනමා තාරකාවක් වීමේ වාසනාවට පස්ස හැරවූයේ ඇයි යන සුපුරුදු සරල පැනයයි. තම නව සංගීත ඇල්බමය ගැන කරුණු කියන්නට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කයිල්ට සිදුවූයේ තමන් ජෑස් සංගීතය තෝරාගත්තේ ඇයි දැයි පැහැදිලි කිරීමටය.




කයිල් ජෑස් සංගීතයට ඇලුම් කරන්නට පටන්ගත්තේ ඔහු 8 වැනි වියේදී නරඹන්නට ගිය ජෑස් සංගීත සන්දර්ශනයක් නිසාය. අට වැනි වියේදී ඔහු ලද එම දීප්තිමත් අත්දැකීම කයිල්ගේ ජීවිතය වෙනස් මඟකට හැරවූවා. අනෙක් අතට ස්වභාවයෙන්ම වඩාත් නිවැරැදිව පවසතොත් ප්‍රවේණියෙන්ම සංගීතයට ළබැඳි ස්වභාවයක් කයිල් ඊස්ට්වුඩ් හට හිමිව තිබුණා. ඔහුගේ මිත්තණිය "ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ" හඬ පුහුණු කිරීමේ ගුරුවරියක්. කයිල්ගේ මව මැගී දක්‍ෂ පියානෝ වාදන ශිල්පිනියක්. ඔහුගේ සුප්‍රකට පියා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් පවා ජෑස් සංගීතයට ආදරය කළ පියානෝ වාදනයේ සුරුබුහුටිකම් ඇත්තෙක්.

"මගේ මුළු පවුලම සංගීත ලෝලියෝ. විශේෂයෙන්ම තාත්තයි, අම්මයි දෙන්නම ජෑස් සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ කාලේ ඒ දෙන්නා මාවත් වඩාගෙන ජෑස් අහන්න යනවා. එතකොට අපි හිටියේ කැලිෆෝනියාවල. ඉතින් අපිට හරිම ළඟයි මොන්ටියෙරි ජෑස් සන්දර්ශනයට. මම බොහොම වාසනාවන්ත වුණා ජෑස් සංගීතයේ රජවරු වෙච්ච ස්ටෑන් ගෙට්ස්, ඇලන් ෆිට්ගෙරල්ඩ්, සාරා වෝහන්, ෆිල් එවන්ස් සහ බඩී රිච් වගේ අය සජීවීව වාදනය කරනවා දකින්න"

ඊස්ට්වුඩ් පවුලට පියානෝව කෙතරම් සමීපව තිබුණා වුවත් ජෑස් සංගීතයට ආසක්ත වන කයිල් ළංවන්නේ ද්විත්ව තත් චෙලෝවටයි. එය සුවිශේෂී කාරණාවක්. ඔහුගේ නවතම සංගීත ඇල්බමයෙහිත් එම "ද්විත්ව තත් චෙලොව" ඉතාමත් කෘතහස්ත ආකාරයෙන් යොදාගෙන ඇති ආකාරය from rio to havana  නම් නිර්මාණයෙන් පෙනෙනවා. එය සීමාසහිත කම් යටතේ අන්තර්ජාලයෙන් රසවිඳින්නට හැකියි.

ඊස්ට්වුඩ්ගේ නවතම ඇල්බමයේ ටයිටලය "The view from here" යන්න ඔහුගේ පළමු ඇල්බමය වූ "There to here" යන්න සමඟ කුමක්දෝ නෑදෑකමක් පෙන්වනවා. එකිනෙකාට වෙනස් සංස්කෘතීන් ගණනාවක් අතර සංචාරය කරමින් කයිල් ඊස්ට්වුඩ් නිර්මාණය කොට ඇති බැව් පෙනෙන මෙම නව සංගීත ඇල්බමය තම ප්‍රථම ඇල්බමයේ පරිපූර්ණ අවසානය යැයි කයිල් කියා සිටියා.

"The view from here" හි උතුරු සහ බටහිර අප්‍රිකානු සංගීත ආරයන් ගණනාවක් මුසුව තිබෙනවා. 2009 වර්ෂය පුරාම මම දකුණු අප්‍රිකාවේ සිටිමින් අප්‍රිකානු මහද්වීපයේ සාම්ප්‍රදායික සංගීත සම්ප්‍රදායන් ගැන පර්යේෂණ කළා. එම හැදෑරීම නිසා මට පුළුවන් වුණා Art Blakey සහDuke Ellington(සම්මාන ලාභී ජෑස් සංගීතඥයන් දෙදෙනෙකි) වැනි අප්‍රිකානු මුල් තියෙන සංගීතඥයන් දෙදෙනාගේ මියුසික් වෙනදාට නොඅසන තත්ත්වයකින් අහන්න" විසිවැනි ශතවර්ෂයේ දකුණු එක්සත් ජනපද කළු ජාතික ප්‍රජාවන් තමන් ඇසුරු කළ යුරෝපීය සමාජයන්ගේ සංගීත සම්ප්‍රදායන් සහ ස්වකීය අප්‍රිකානු සංගීත ආරයන් ඇසුරින් බිහිකරගත් ජෑස් සංගීත සම්ප්‍රදාය පිළිබඳව කයිල් ඊස්ට්වුඩ්ගේ මෙම පර්යේෂණාත්මක එළැඹුම අමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ "ජෑස්" සම්ප්‍රදායේ නව දිශානතියක් සනිටුහන් කරනු ඇතැයි විචාරකයන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් රජුගේ පුතා රජකමටත්, නළුවාගේ පුතා නළුකමටත්, ගොවියාගේ පුතා ගොවිකමටත් යන ලෝකයේ තහවුරු වූ මහා සම්ප්‍රදාය වෙනස් කළ කයිල් ඊස්ට්වුඩ් අද ඔහුගේ ප්‍රියතම ජෑස් පුරෝගාමීන් වූ ආර්ට් බ්ලෙකී සහ ඩියුක් එලිංග්ටන් අනුව යමින් යුරෝපයේ පිළිගත් ජෑස් සංගීතඥයෙක්. එපමණක් නොවෙයි ඔහු තම පියා අධ්‍යක්‍ෂණය කළ, නිෂ්පාදනය කළ සහ රඟපෑ චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්‍ෂණය කළා. ඒ අතුරින්The Rookie (1990), Mystic River (2002), Million Dollar baby (2004), Flags of our Fathers (2006) සහ Gran Torino (2008) අමතක කළ නොහැකි චිත්‍රපට. ඒ වගේම 2006 වසරේදී චිකාගෝ සිනමා විචාරක සංසදයේ සම්මාන උළෙලේදී Letters from lwo jima චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් කයිල් නාමයෝජනා වූවා.

නමුත් කයිල් බැබළුණේ තාත්තගේ රැස්වළල්ලේ පිහිටෙන් නොවේ. කුඩා කල සිට තමන් ළබැඳි වූ විෂයෙහි සතත අභ්‍යාසයේ දිගින් දිගටම පිහිටමින්. මාධ්‍යවේදීන් තමන්ගෙන් නිතර නඟන සුලබ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කයිල් වරෙක මෙලෙස පැවැසුවා.

"තාත්තා මට බොහොම කිට්ටුයි. නමුත් ඒ ඔබ දන්නා ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් තාරකාව නොවෙයි. ඔහු මගේ තාත්තායි. මගේ ජෑස් උමතුවට ඔහු උදවු කළා. ඒ ක්ලින්ට් ඊස්ට්වුඩ් ලෙසින් නොවෙයි, මගේ තාත්තා වශයෙන්"

පසු සටහන්. 
මෙම ලිපිය මා මව්බිම පුවත්පතෙහි කලා අතිරේකයට ලියන 'වින්දන' කොලම වෙනුවෙන් රචනා කරන ලද්දක්. බක්මාසයේදී බ්ලොගිය පාළුවී යාමට ඉඩනොදීම පිණිස එය මෙහි පළකරන ලද බැව් කරුණාවෙන් සලකන්න.

2013/04/06

සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා

සංගීතය සිය ජීවන භාවනාව බවට පත්කර ගත් පුද්ගලයන් දුර්ලභය. මෙවැනි විපරීත කාලයක එම දුර්ලභත්වය තවත් තීව්‍ර වෙයි. ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන් අපේ කාලයේ දැකිය හැකි එවැන්නෙකි. මෙරට එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම බටනලා වාදකයෙක් යැයි සැලකිය හැකි මිහිරිපැන්නයන් භාරතයේ ශාන්ති නිකේතනයේ සංගීත පුත්‍රයෙකි. හින්දුස්තානි රාගධාරී සංගීතයේ සුධීතමයෙකි.

කලක් පාසල් සංගීත ආචාර්යවරයෙක් වශයෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයතු කළ අනිල් මිහිරිපැන්නයන් "ශාරදා" නමින් කලා නිකේතනයක් පිහිටුවාගෙන තම සංගීත ඥානය අලුත් ශිෂ්‍ය පරම්පරාව වෙත ලබාදීමේ වෑයමක නියැළෙමින් සිටියි. එම වෑයමෙහිම තවත් දිගුවක් ලෙසින් අනිල් මිහිරිපැන්නයන් “Now Instrumental Competition for North Indian Music” නමින් ශාස්ත්‍රීය සංගීත ග්‍රන්ථයක් රචනා කොට නොබෝදා ප්‍රකාශයට පත් කළේය.
-චින්තක-
සංගීතය පිළිබඳව ඔබේ ළබැඳියාවෙන් කතාව පටන් ගත්තොත්, ඔබ සංගීතය කෙරෙහි ආසක්ත කරවූ පුද්ගල හා සමාජ සාධකයන් කවර ආකාර වුණාද?
-අනිල් මිහිරිපැන්න-
මම කියන්නේ ඒ සඳහා මට වගේම මගේ අයියටත් (ප්‍රවීණ නර්තන ශිල්පී බැසිල් මිහිරිපැන්න) බලපෑවේ මගේ අම්මා. මගේ බාල සහෝදරියන් නළවන්නට අම්මා දරු නැළවිලි කියනවා මම අහලා තියෙනවා. අම්මා තරම් ලස්සනට දරු නැළවිලි කියන කෙනෙක් මම දැකලා නෑ. ඉතින් අම්මගෙ දරු නැළවිලිවලින් මගේ කන පිරිල තිබුණේ. ඒ ස්වර, ඒ නාද, තාල තමයි මාව මෙතැනට ඇදලා ගත්තේ.


-චින්තක-
එතකොට කොහොමද බටනළාවට පෙම් බඳින්නට පටන්ගත්තේ?
-අනිල් මිහිරිපැන්න-
ඇත්තටම මම හිතන්නේ මට බටනළාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්න ඇති. මම පාසල් යන කාලයේ ඉඳන් පොත් මිටියත් එක්ක බටනළාවක් අරගෙන යනවා. විවේකී කාලපරිච්ඡේදයක් ලැබුණු හැටියෙ කරන්නෙ බටනළාව ගහන එක. ඇත්තටම ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ විධිමත් විදිහට බටනළාව වාදනය කරන්නේ කොහොමද කියලා.

-චින්තක-
ඉතින් කොහොමද මේ විධිමත් දැනුම ලබාගන්න ඔබට හැකිවෙන්නේ?
-අනිල් මිහිරිපැන්න-
ඒ කාලෙ අපට සංගීත ආචාර්යවරයා විදිහට හිටියේ වින්සන්ට් සෝමපාල මැතිතුමා. එතුමා හොඳ ගුරුවරයෙක් තමයි. නමුත් ඔහු මම හොයමින් සිටිය ගුරුවරයා නෙමෙයි. මගේ සංගීතමය සා පිපාසාව සමහන් කරන්නට එතුමාට බැරි වුණා.

-චින්තක-
ඔබ සොයමින් සිටිය ගුරුවරයා ඔබට මුණගැසුණාද?
-අනිල් මිහිරිපැන්න-
ඔව්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි එඩ්වින් සමරදිවාකර තමයි ඒ ගුරුවරයා. ඇත්තටම එතුමා ගුරු දෙවියෙක්. සංගීතය පිළිබඳව ප්‍රාමාණික වියතෙක්. මමයි, ලයනල් අල්ගමයි ඔහුගෙන් ඒ දිනවල දිනපතාම සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ සංගීත පන්තියට මුලින්ම යනකෙනා සහ අන්තිමට පිටව යන කෙනා වුණේ මම. එඩ්වින් සමරදිවාකර ගුරුතුමා මාර්ගයෙන් තමයි මට ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.

-චින්තක-
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ඔබේ සංගීත සා පිපාසාව සහමුලින්ම සන්තර්පණය කරන්නට ඇති?
-අනිල් මිහිරිපැන්න-
ඔව්. ඒක පරිපූර්ණ අත්දැකීමක්. ඒ වගේම අපූර්වයි. ශාන්ති නිකේතනයේදී මට වාදන භාණ්ඩ දෙකක් ඉගෙන ගන්නට ලැබුණා. ඒ හුරුපුරුදු බටනළාව සහ එස්රාජය. එස්රාජය ඉගැන්වූයේ එවකට භාරතයේ සිටි අද්විතීයෙක්. අශිෂ් චන්ද්‍ර බෙනර්ජි. මම පන්තියට ගියේ එස්රාජය සහ කොපි පොතකුයි කිහිලි ගන්නගෙන. නමුත් මට ගිය පයින් ආපහු හොස්ටල් එකට එන්න වුණා. ඒ කොපි පොත ආපහු තියලා එන්න. එහෙ පොත් බැහැ. හැමදේම හිතට. ඉතින් ඒ ඉගැන්වීම් කොයිතරම් අද්විතීය දැයි කිව්වොත් අදටත් මට ඒ හැමදේම මතකයි.

-චින්තක-
හොඳයි, ඔබගේ සංගීත දැනුම ඔස්සේ විමසා බලන විට වර්තමානයේ සංගීත ප්‍රවණතාවය ගැන ඔබගේ අදහස් කොහොමද?
-අනිල් මිහිරිපැන්න-
ලංකාවේ හැමදාමත් තිබුණේ සංගීත රැල්ලක්නේ. රැල්ල කියන්නේ මොකක්ද? එනවා නැතිවෙනවා. නමුත් උදාහරණෙකට අමරදේවයන් ගත්තොත් ඔහු ගායනා කරපු එක ගීතයක්වත් අහකට දාන්න බෑ. මොකද ඒවට හින්දුස්තානි සම්ප්‍රදායේ අඩිතාලම තිබුණා.

-චින්තක-
නමුත් එහෙමම කියන්න බෑ නේද. උදාහරණෙකට ජෝතිව ගත්තොත් දශක තුනකට එපිටින් ඔහු ගායනා කරපු ගීත අද අලුත් පරම්පරාවත් රසවිඳිනවා.
-අනිල් මිහිරිපැන්න-
ඒක වෙනස් තත්ත්වයක්. ජෝති ගැන ගත්තොත් ඔහුට විස්මයාකාර නිසර්ග හැකියාවක් තිබුණා ගයන්න. ඒ වගේම මිල්ටන් පෙරේරට වගේම මිල්ටන් මල්ලවආරච්චිටත් ඒ හැකියාව තිබුණා. කිහිපදෙනෙක්ගෙ විෂයෙහි එහෙම වුණත් පොදු තත්ත්වය මම අර කීවේ.

-චින්තක-
ඔබ විසින් මෑතකදී රචනා කරන ලද කෘතිය සුවිශේෂී කාර්යයක් බැව් පෙනෙනවා. මං හිතන්නේ එය දැනුම බෙදාදීමේ තවත් වෑයමක්.
-අනිල් මිහිරිපැන්න-
නාද තියෙනවා වර්ග දෙකක්. ආහත සහ අනාහත විදියට. අනාහත කියන්නේ කනට නෑසෙන කියන එකනෙ. ඉතින් මම මේ පොත ලීවේ කනට නෑසෙන හිතට විතරක් ඇහෙන අනාහත නාද පිහිට කරගෙන. සංගීතය හදාරන සිසුන්ට ප්‍රථමා සිට විශාරද අවසානය දක්වා සියලුම භාණ්ඩවල ඇවැසි වාදිත මෙම පොතේ නිර්මාණය කර තිබෙනවා.

-චින්තක-
අවසාන වශයෙන් මට දැනගන්න පුළුවන්ද මෙන්න මේ කාරණාව. ඔබ සංගීතය පිළිබඳව ප්‍රාමාණික දැනුමැත්තෙක්. විශිෂ්ට සංගීත ආචාර්යවරයෙක්. නමුත් ඔබ වැඩිපුර කරළියට පැමිණ ප්‍රසිද්ධියට පත්වූ අයෙක් නෙවෙයි. ඊට ඔබේ කැමැත්තක් තිබුණෙ නැතිද?
-අනිල් මිහිරිපැන්න-
මෙහෙමයි. සංගීතය පිහිට කරගෙන බැබළෙන්නට වුවමනාවක් මට කවදාවත් තිබුණෙ නෑ. සංගීතය මට භාවනාවක් වගේ. මට හිතෙන්නෙ සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා. භෞතික වටිනාකම්වලින් ලැබිය නොහැකි සන්තුෂ්ටියක් මම විඳිනව.

2013/03/26

නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන "තෙත්බිම්"


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වශයෙන් සැලකිය හැකි ගංගා 103ක් කිලෝමීටර් 4,560ක් තරම් වන දුරක් ඇදෙමින් වර්ග කිලෝමීටර් 59,245ක් තරම් වන අති විශාල භූමි ප්‍රමාණයක් තම දිය කඳින් පෝෂණය කරනු ලබයි. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 90%කටත් වඩා වැඩි ප්‍රතිශතයකි. එලෙස ගත්විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සාතිශය බහුතර ප්‍රමාණයක් 'තෙත් බිම්' වශයෙන් ගැනිය හැකිය.

නමුත් අවාසනාවක මහත නම් මෙම දත්ත ගැළැපීම් ප්‍රායෝගික තත්ත්වයේ හෙවත් සැබෑ මහපොළොවේ දක්නට නොලැබීමයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ 'තෙත්බිම්' ක්‍ෂේත්‍ර අගයයන් අතිමහත් ශීඝ්‍ර වේගයෙන් පහළ ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. 1900 වර්ෂයෙන් පසුව ලෝකයේ පැතිර තිබූ තෙත් කලාපයන්ගෙන් හරි අඩක් අතුරුදන්ව ගොස් තිබිණි. පමා වී පැමිණ හෝ ශ්‍රී ලංකාවටද එම ඉරණම අත්වෙමින් තිබේ.



ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි. අප මෙහිදී සඳහන් කරන්නේ සංවර්ධනය නොව නිශ්චිත පාරිසරික කළමනාකරණය රහිත සංවර්ධනය බැව් නැවත වරක් අවධාරණය කළ යුතුව තිබේ.
සංවර්ධනය සමඟ වගුරු බිම් ගොඩකිරීම එකිනෙක හා අතිනත ගන්නා වූ ක්‍රියාවලියකි. තෙත්බිම් අහිමි වී යෑමටත් ඒත් සමඟම එතෙක් කාලයක් ඒ තෙත්බිම්වලට ආවේණික වූ ජීවී පද්ධතීන් තම අවසන් ගමන් යෑමටත් වගුරුබිම් ගොඩ කිරීම ඍජුවම බලපාන ලද කාරණාවන්ය. විශේෂයෙන්ම බෙල්ලන්විල, අත්තිඩිය සහ මුතුරාජවෙල වගුරු බිම්වලට අත්වූ ඛේදනීය ඉරණම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.

පුත්තලම් මුහුදු තීරයේ වූ කඩොලාන පද්ධතීන් පෙරදා තරම් සශ්‍රීකව දැන් දක්නට නොහැකිය. හේතුව වන්නේ වේගයෙන් සිදුකෙරෙන හරිත කලාපයන් හෙළි පෙහෙළි කිරීමයි. පුත්තලම කළපුව ආශ්‍රිත 'තෙත් බිම්' තවදුරටත් තෙත් බිමක් වශයෙන් අනාගතයේ නොපවතිනු ඇති බවට සලකුණු වශයෙන් රතු එළි දැල් වී තිබේ. එම තෙත් බිමට ආවේණික වූ ජීවී විශේෂයන් සහ ඔවුන්ගේ වාසස්ථානද එපරිද්දෙන්ම ස්වාභාවික පරිසරයට අහිමි වී යනු ඇති බවට සැකයක් නොමැත.

ශ්‍රී ලංකාව පුරාම එකකට එකක් නොදෙවැනි ලෙස සිදුවන ජල මූලාශ්‍රයන් දූෂණය සමඟින් 'තෙත්බිම්' වැනසී යෑමේ උවදුර තවදුරටත් තීව්‍ර වී තිබේ. කාබනික විමෝචනයන්, වෙනත් රසායනික අපධාහයන්  සහ කැළිකසළ බැහැර කිරීම් නිසා ගංගා, වැව් හා ගොහොරු බිම්වලට අත් වී ඇති ඉරණම මුතුරාජවෙල, කැලණි ගඟ සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජල පද්ධතීන් හා ඒ ආශ්‍රිත තෙත් බිම් විමසා බැලීමෙන් ඔබටම දැකගත හැකිවනු ඇත.

එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වැලි ගොඩදැමීම් සහ මැණික් ගැරීම්ද තෙත් බිම් අහිමි වී යෑමට බලපානු ලබන තවත් සාධකයකි. විශේෂයෙන්ම කෘත්‍රිමව සිදුකෙරෙන මෙම වැටි බැඳීම් හෝ හරස් කිරීම් ස්වාභාවික ක්‍රමානුකූල නිම්න පිහිටීම පරිසර පද්ධතියට අහිමි කරනු ලබයි. විශේෂයෙන්ම මහවැලි ජල ගැලුම් නිම්නයන් ආශ්‍රිත 'විල්ලු' නමින් හඳුන්වනු ලැබූ තෙත් බිම් අහිමි වී යෑමට හේතුව මෙම කෘත්‍රිමව සිදුකෙරෙන ගංගා හෑරීම් සහ හරස් කිරීම්ය. පොළොන්නරුව මනම්පිටිය ආශ්‍රිත වැලි ගොඩදැමීම් නිසා එහි මහවැලි 'විල්ලු' භූමියට අත්වීගෙන යන ඉරණම මේ මොහොතේදී ද නිශ්චිත අවසානයකි.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් හා ඒ ආශ්‍රිත ජීවී පද්ධතීන් අහිමි වී යෑමට බලපාන සාධක ගණනාවක් ඇතිමුත් මෙම ලිපියෙන් අප පෙන්වා දුන්නේ ඉන් ප්‍රධාන කිහිපයක් පමණකි. ඊට අමතරව මල ද්‍රව්‍ය අපවහනය, සැලැසුම් රහිත ජල සම්පාදන පද්ධතීන් සහ අනවසර පතල් කැණීම් වැනි ක්‍රියාකාරකම් ද තෙත්බිම් දූෂණයට ඍජුව බලපාන තවත් සාධක වෙයි.

මෙම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මෙරට පරිසර පද්ධතියට තෙත්බිම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම කාරණාවක් බැව් පෙනේ.
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'

මෙරට තෙත්බිම් පද්ධතීන්හි වටිනාකම තීව්‍ර කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් දක්වතොත් මෙරට පෘෂ්ඨවංශී ජීව විශේෂයන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් තෙත්බිම් ආශ්‍රිත ජීවී විශේෂ වෙයි. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්‍ෂීන්ගෙන් 50%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් මෙහි ගතකරන කාලය තුළ තම තාවකාලික වාසස්ථාන බවට පත්කර ගන්නේ තෙත්බිම්ය. එපමණක් නොව මෙරට වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා සිටින ජීවී විශේෂයන්ගෙන් 32%ක් පමණ තෙත්බිම් ආශ්‍රිත සත්ත්ව විශේෂ වෙයි.

කෙසේ වෙතත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබූ 'තෙත්බිම්' අති ශීඝ්‍ර වේගයෙන් පරිසර පද්ධතියෙන් අතුරුදන්ව යන බැව් සැබෑ යථාර්ථයයි. වැඩි වැඩියෙන් මෙම සුවිශේෂී පරිසර කලාපයන් ගැන කතා බහ කළයුතු, සංවාද කළ යුතු කාලය එළැඹෙමින් තිබේ. අවම තරමින් තෙත්බිම් යනුවෙන් පරිසර පද්ධතියක් අපෙන් ඔබ්බෙහි පවතිනවාය යන ක්‍ෂුද්‍ර පණිවුඩය හෝ සමාජගත කරන්නට ඔබත් දායක විය යුතුමය.