Google+ Followers

2012/09/10

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට 


ලාංකීය සංස්කෘතිය පිරික්සන විට දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයක් වන්නේ මෙරට මහා සංස්කෘතිය සමඟ බැදුණු බෞද්ධ විස්වාශයන් තිබියදී වෙනත් ආගමික විශ්වාසයන් හා බැදුනු සිරිත් විරිත් පැවතීමයි. මෙම ලිපියට පාදක වන්නේ වැඩිවිය පැමිණි ගැහැනු දරුවන් හට විපත් පමුණනවා යැයි ගැමියන් විශ්වාස කරන කඩවර යකු හෙවත්  කඩවරයා පිළිබදව විචාරාත්මක විමසීමක යෙදීමයි. 
මල්වර වූ දැරියක් දියමංකඩක, බෑද්දකදී, ගමනකදී හෝ නින්දේදී තනි වුවහොත් ඇයට කඩවර යකු බැල්ම හෙළන බවත් එසේ වූ විට ඇයගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වන අතර ඇය විවාහ වූ විට දරු උපත්ද වළකා ලන බව ගැමියන්ගේ විස්වාසයයි. මේ නිසාම කඩවර යකු පිළිබඳව බියමුසු ගෞරවයක් ගැමි සමාජය තුල මෙම විස්වාශය නිසා නිතැතින්ම ඇතිවී තිබිණි. 

කඩවරගේ විවිධ වේශයන් ඇතැයි සලකන අතර වැවු ගම්වාසීන්ට අනුව නම් කඩවරගෙ වේශයන් පහකි. නැත්නම් පස් කට්ටුවකි. ඒ මෙසේය. 

  • කලා කඩවර (සෙනෙවිරත්න කඩවර )
  • මල් කඩවර 
  • කුමාර කඩවර 
  • දළ කඩවර 
  • පුළුටු කඩවර    

මෙයින් මුල් තිදෙනා දෙවිවරුන් වශයෙන් සැලකෙන අතර අනෙක් දෙදෙනා යකුන් ය ..මල්වර වූ කාන්තාවන්ට ලෙඩ කරවනුයේ දළ කඩවර සහ පුළුටු කඩවර බැවු වැව් ගම්වාසීන් විස්ව්වාස කරයි. කඩවර උදෙසා කරන ශාන්ති කර්මයේදී පුළුටු ගොටුව දෙනු ලබන්නේ එම දෙදෙනාටය. උණ වැනි අසනීපයකදී ද කඩවරට ගොටුවක් දීමට වැව් ගම්වාසීන් පුරුදුව සිටියි. කඩවර ගොටුවා පුදදිය යුතු ආකාරය ගැන කඩවර ගොටුවේ කවි වල සදහන්ව ඇත්තේ මෙසේය. 


දෝතින් මැන සහලින් දෝතක් ගෙන --කසාදියේ සහලුත් නහවාගෙන
මුකවාඩම් බැද බත් පිසවාගෙන --මේ ලෙස කඩවර ගොටුව සදාගෙන
මාළු හතක් රත් ඇඹුලක් ගන්නේ --පුළුටු පසක් රඹ කැන් අරගන්නේ
පස් පැණි පස් තෙල් කැවිලි පුදන්නේ --මේ ලෙස කඩවර ගොටුව පුදන්නේ 


වැව් ගම්වාසීන් කඩවර තමන් හට වින කෙරුවත් ඔහු තම ආරක්ෂකයා ලෙස සළකනු ලබයි. කඩවර ප්‍රධාන පන්තියේ දෙවියෙක් මෙන්ම හැටහත් කට්ටුවක් වන බණ්ඩාර දෙවිවරුන්ගේද නායකයා වන බැව් ඔවුන්ගේ මතයයි. 
පහතරටදී කඩවර හත් තට්ටුවකි. නොවෙසේනම් කඩවරගේ වේශයන් හතකි ..පහතරට තොවිල් වලදී තටු දෙනු ලබන්නේ කඩවර දෙවියෙක් වශයෙන් නොව යක්ශයෙක් වශයෙන් සලකාගෙනය. පහතරට කඩවර හත් තට්ටුව මෙසේය. 

  • අදුන් කඩවර 
  • සඳුන් කඩවර 
  • මල් කඩවර 
  • පුළුටු කඩවර 
  • ලේ කඩවර 
  • ගොපලු කඩවර 
  • කම්බිලි කඩවර 

ලේ වලට කෙළින්ම සබඳතාවයක් දක්වන නිසා මල්වර දැරියන්ට විපත් ගෙන එන්නේ ලේ කඩවර විය හැකියැයි විශ්වාස කළ හැකිය. කම්බිලි කඩවර නම් යකු එක රැයකට ලේ ගොටු හතක් බොන බැව් කඩවර ගොටුවේ එන මේ කවියෙන් පැහැදිලි වේ.


කළුනික ගහයට උපත අසන්නේ --කළුකඩවර නම එදයි උපන්නේ 

කළුවන් හැට්ටය දෙවුර දරන්නේ --කළු කම්බිලි දිස්ටියට වරෙන්නේ 


දළ කඩවර විකාර රූප ඇත්තේකි. බොල්ලෑ දත් ඇති බඩ මහත කෙළ තොල්ලෙකි. ඔහුගේ කට ඇදය,හිස හැඩපළු ගෙතී ගොසිනි. දෙදළ වකුටුය. ඔහු ඉන් රීරි උරා බොයි. මොලැකැටි අගනුන් ලෙඩ කරවයි. 


මුල පෙළපත ඇසුවෝතින් දළ කුමරුගෙ උපතෙ යකා

 කෙළ තොලු බොල්ලෑ දත් ඇති බඩ ලොකු අවතාර යකා

 මොලකැටි අඟනුන් දැක ලෙඩ කරවයි මෙවනි යකා 

දළ කඩවර බත් ගොටුවට එන් දළ කඩවර මෙයකා 


කඩවර උපත පිළිබදව විවිධ පන්නයේ ජනප්‍රවාද පවතින අතර වඩා ප්‍රකට සහ යතාර්ථවාදීව පිළිගතහැකි පන්නයේ කතාන්දරය වන්නේ කඩවර කංකාරිය කරවන්නන් අතර ප්‍රකට පහත කතාවයි. 

කඩවර රජරට ප්‍රදේශයේ විසූ දුප්පත් ගැමියෙක් විය. හෙතෙම දිනක් කොකෙක් මරාගෙන ආවේය. බිරිඳ කොක් මස් පිළියෙල කළාය. කුමක් හෝ හේතුවකට ආහාර ගන්නා අතර දෙදෙනා අතර දබරයක් ඇතිවිය. බිරිය ස්වාමියාට මස් හට්ටියෙන් දමා ගැසුවාය. හට්ටිය බිදී ගොස් එහි ගැට්ට කර මාලයක් පරිද්දෙන් ඔහුගේ කර වටා එල්ලුනේය .අසල්වැසියන්ගේ සරදම් ඉවසා ගත නුහුණු තැන කඩවර වනගතවිය.කැලයේ මුව රංචුවකට එක්ව කැලෑ කොළ කමින් අවුරුදු දොළසක් කැලයේ ගත කළේය. රජගෙදරට මස් සපයන වැද්දා මේ මිනිසා ගැන දැන සිටියේය. වැද්දා මගින් , කැලයේ  හුදකලාව වාසය කරනා මේ මිනිසා ගැන රජතුමාට දැනගන්නට ලැබුණි. ඔහු කැලයේ මහා නිධානයක් රකින්නෙක් යැයි කවුදෝ රජතුමාට එත්තු ගන්වා තිබිනි. රාජ නියෝගය පරිදි අල්ලාගෙන එනු ලැබූ අහිංසක කඩවර තමන් දන්නා එකම නිධානය කලවැලකින් වටවූ මහ වන මැද වූ විසාල ජල කදක් පමනක් බව පවසා සිටියේය. පසුව පරික්ෂා කිරීමේදී එම මහා ජල කද දැක ගන්නට ලැබුණු අතර එම ජල කඳ මැදි කොට විශාල වාරිකර්මාන්තයක් ආරම්භ කළ හැකි බැවු රජතුමාට පෙනී ගියේය. කඩවරගේ ප්‍රධානත්වයෙන්ම වැව කර්මාන්තය නිමා කළ රජු වැවේ භාරකරුවා ලෙස ඔහුම පත් කලේය. එම වැව කලාවැවයි. 

මෙලෙස වැවක භාරකරුවා වූ කඩවර රටේ බලවත් ප්‍රධානියෙක් බවට පත්වූයේය. රාජ ඇසුර ලබමින්' කලා සිටානෝ' ලෙසින් ප්‍රකටව සව්සපිරිව දිවි ගෙව්වේය. 

එහෙත් කැලයින් අල්ලාගෙන ආ මේ 'වල් සතා' මෙබදු තත්වයකට පත්ව සිටීම නොරිසි උන් ද සිටියේය. ඔවුන් කලා සිටාණන් රජු කෙරෙහි බිදවීමට සිතුවත් එය සාර්ථක නොවූයේය. එහෙත් කලක් ගෙවී ගිය විට ඔවුනට අවස්තාවක් උදාවූයේය. 

එක් නියං සායකදී වැව සිදී ගියේය. වැසි පතා පිරිත් ස්ජ්ජායනා කිරීම එවැනි අවස්ථාවල සිරිතය.  .පිරිත් දේශානා කරන විට වැසි ඇරඹෙයි. වැසි වැස වැව පිරී යන විට පිරිත් සජ්ජායනාව නවතා දමයි. වැව පිරී යන බැව් දන ගන්නේ වැවේ ජල ධාරිතාව පරිමානයෙන බලා ගත හැකි මැටි කොරසක් මගිනි. කොරස පිරී යන විට වැවද පිරී යන බැව් දන ගනියි. 

කලා සිටාණෝ ගේ සතුරන් පිරිත දේශනාවට සහභාගි වන්නට පැමිණි මහලු සඟුන් කෙනෙකුන් රවටාගෙන ඒ භික්ෂුවගේ උපකාරය ලබගත්තේය. සැරයටියක උපකාරයෙන් පිරිතට වැඩම කල භික්ෂුව කොරහ සිදුරුව යනසේ සැරයටියෙන් අනිමින් පිරිතට වැඩම කළේය. 

පිරිත ඇරඹිණ, මද වෙලාවකින් වැස්සද ඇරඹිණ. එහෙත් කොපමණ වැස්සත් කොරහ පිරී නොගියේය. එම නිසාම වැවේ ජල පරිමාව නිශ්චය කරගන්නට සිටාණන්ට නොහැකිව ගියේය. වැවබිදී ගියේය. තම ප්‍රාණ සමානව වැවට පෙම් බැද සිටි කලා සිටාණෝ එය ඉවසා ගත නොහැකිව වැවටම පැන දිවි නසා ගත්තේය. ශෝකයෙන් සහ කෝපයෙන් මියගිය ඔහු කඩවර යකු ලෙස ඉපදී භික්ෂූන් සැට නමකගේ ලේ බිවු බව ජනප්‍රවාදයෙහි සදහන් වෙයි. 
කෝල්මුර කවි වල එම සිදුවීම මදක් වෙනස්ව වුවත් මෙසෙ දැක්වෙයි. 


අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

 හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එ කඩ වළට

 කඩ වළ පැනලා නැසුනට කඩවර නම යෙදුණි ඔබට

 තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට 


කඩවර පිළිබදව තවත් වැඩි විස්තර ඊළඟ පෝස්ටුවෙන් කියවමු.  



    

    

10 comments:

  1. මං හිතුවේ උඹ බ්ලොග් එක අත ඇරල කියල ........
    ඒල එල දිගටම ලියමු

    ReplyDelete
  2. මේ කතාව මීට කලින් මේ තරම් විස්තරාත්මකව දැනගෙන හිටියෙ නෑ. අතරමග නවත්වන්නෙ නැතුව දිගටම ලියන්න.

    ReplyDelete
  3. පළමු වතාවටයි සිංහල ජනප්‍ර‍වාදයක් මෙච්චර සවිස්තරව ලස්සනට කියෙව්වෙ... මෙවැනි වටිනා පෝස්ටුවක් වැඩි දෙනාගෙ ඇස ගැටෙන්න ඔබේ බ්ලොගිය සින්ඩි කීපයකට සම්බන්ධ කලොත් නරකද ?

    වටිනා පෝස්ටුවක්... හුදී ජන පහන් සංවේගය උදෙසා දිගටම ලියන්න... ජය !

    ReplyDelete
  4. නියමයි. කඩවර ගැන ලියල වැඩිවියට පත්වෙච්ච ගැල්ලමයි එන්නෙ නැතිවෙයිද දන්නෑ.

    ReplyDelete
  5. කඩවර දෙයියෝ ගැන එච්චර විස්තරයක් අහලා තිබුනේ නැහැ. අන්තිමට කිව්ව කතාව නම් අහලා තිබුණා. එතකොට කාල කියලා කෙනෙක් වැව් බැම්මේ සිදුරට අත තියාගෙන ඉදලා මැරුණේ. කඩවර දෙවියෝ වුනේ එයා කියලත් කියනවා නේද ??

    ReplyDelete
    Replies
    1. @දිනෙල්ක
      නැහැ ,,දිනෙල්ක ,,එහෙමත් අතාරිනවද අමාරුවෙන් හදා ගත්තු බ්ලොග් පොත, ස්තූත්යි, කියවීම ගැන මාව.

      @Sumith Niriella
      සුමිත් අයියේ ඔබ තමයි මුලින්ම මගේ බ්ලොග් එකට කොමෙන්ට් කරලා මාව දිරිමත් කලේ. බ්ලොග් එක මේ තරම් දුරක් ගලා එන්නට ඒක හේතුවක් වුනා. ඔබේ සින්ඩියෙන් මට ලැබෙන සහය වචන වලට නගන්නට බැහැ. ඔබට බොහොමත් ස්තූතියි.

      @සිරාගෙ කාමරේ
      @එක සින්ඩියකට සම්බන්ද කරලයි තියෙන්නේ සිරා. ඔබේ විපරම් සහගත විමසීමට ස්තූතියි.

      @රාජ්
      හැබෑමයි නෙ ,,දැන් මොකෑ කොරන්නෙ රාජ්...

      @Hasitha
      ඔව් හසිත, කඩවර ගැන ඔබ කිවූ විදිහෙ කතාවකුත් තියෙනවා තමයි. මතකද ඔබට අපේ හතර ශ්‍රේණියේ පෙළ පොතේ තිබුනා මිගාර සෙනෙවියාගේ පුත් කාල කුමාරයා ඒ විදිහට වැව් බැම්ම බිදෙන්නට නොදී රැක ගත්තයි කියලා කතාවක් තිබුනා....

      Delete
    2. ආහ් ඔව් ඔව්. ගල්නෑවේ මාමලගේ ගෙදර යද්දී කලා වැවේ වැව් බැම්මේ ඉදන් නේද මාමා කතාව කියන්නේ. කාල කුමාරයා වැව් බැම්මේ සිදුරට අත තියාගෙන ඉන්න රූපෙකුත් තිබුණා වගේ මතකයි :)

      Delete
  6. මම කැමති විදිහේ බ්ලොග් සටහන්....

    මුල පෙලපත දනි‍තෝතින් මල් කඩවර උපත දැකා
    කෙල තොලු බොල්ලෑ දත් වකු බඩ ලොකු කලුපාට යකා
    මොළකැටි රුව අඟනන් දැක කට ලා නර බිල්ල යකා
    මල් කඩවර පිදේනියට එන් මල් කඩවර මෙයකා

    [රීඩරේට ඔබේ පොස්ටු එන්නේ හෙඩිමක් නැතිව - බ්ලොග් එකේ නම නැතිව - නැවතීමේ ලකුණක් විතරයි එන්නේ - පොඩ්ඩක් ඒක හදන්න - ඉතිරි කොටසුත් ඉඩපාඩු ඇති විදිහට ලියනකල් බලන් ඉමි]

    ReplyDelete
  7. ඔබව රජරටදී දැකීම බොහෝම සතුටක් තිස්ස අයියේ ,,මම හිතන්නේ සමහරවිට කඩවර ගොටුවේ කවිවල මෙවනි වෙනස්කම් ප්‍රාදේශියවත්, ඇතැම් විටෙක යකදුරාගෙන් යකදුරාටත් තිබෙනවා ඇති, ඒ බැව් වටහා ගැනීමට ඔබේ කොමෙන්ටුවේ කවිය බොහෝම ප්‍රයෝජනවත් වෙනවා තිස්ස අයියේ, එතකොට අර තාක්ෂණික ප්‍රශ්නය ගැන ටිකක් විපරම් කර බලන්නම්.

    ReplyDelete
  8. රතු රජරට ඉතා ප්‍රසන්න ලෙස හැසිරවෙන බ්ලොග් අඩවියකි ස්තුතියි

    ReplyDelete