Google+ Followers

2012/11/27

චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා


චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා 


ප්‍රවීණ නාට්‍යවේදියෙක් මෙන්ම සිනමාකරුවෙකුත් වූ ධර්මසිරි බණ්ඩාර නායකයන් ඔහුගේ "හංසවිලක්" චිත්‍රපටයේ තිර පිටපත මුද්‍රණයෙන් එළිදුටු මොහොතේ ආවර්ජනා නමින් ඊට පෙරවදනක් එක් කරමින් මෙසේ ලියා තිබුණා මට මතකය.


"එවකට චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමට නම් සංස්ථාවෙන් අධ්‍යක්‍ෂක බලපත්‍රයක් ලබාගෙන තිබිය යුතුය. අඩු තරමින් වෘත්තාන්ත චිත්‍රපට දෙකක සහාය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කර හෝ සංස්ථාව සෑහීමට පත් කරන ආකාරයෙන් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කර තිබිය යුතුය. නාට්‍යවේදී සුගතපාලද සිල්වා සහ නාට්‍යවේදී ධම්ම ජාගොඩද ඉහත සුදුසුකම් සපුරා නොමැති කමෙන් සිනමාවේදීන් වීමේ භාග්‍යය අහිමි කරගත්තවුන්ය.


හඬන්නදැයි සිනාසෙන්නදැයි නොතේරෙයි. මේ අපේ රටේ හැටිය. කොහොම වෙතත් චිත්‍රපට හදන්නට බැරිවූ සුගතපාලද සිල්වා කප් සුවහසක් කල් මතක සිටින්නට තරම් වන වේදිකා නාට්‍යය ගණනාවක් නිෂ්පාදනය කළේය. "සොඳුරු ආඥාදායකයා සිනමාකරුවෙක් නොවූයේ වේදිකාවේ වාසනාවට යැයි හිත හදාගන්නට ඔහුගේ නාට්‍යය පෙරහර හොඳටෝම ප්‍රමාණවත්ය. බෝඩිංකාරයෝ, හරිම බඩු හයක්, තට්ටු ගෙවල් සහ දුන්න දුනු ගමුවේ වැනි සුගතපාලද සිල්වාගේ පිතෘත්වයෙන් බිහිවෙන නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය උඩු යටිකුරු කළේය.


සුගතපාලද සිල්වා 1962 බෝඩිංකාරයෝ නිපදවමින් වේදිකාවට පය ගසන්නේ සරච්චන්ද්‍රයන් විසින් "මනමේ" හා "සිංහබාහු" නාට්‍යය නිෂ්පාදනය කරමින් ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය නාට්‍ය නිෂ්පාදනයේ පරමාදර්ශී ආකෘතිය ලෙසින් ඔසොවා තිබූ යුගයකය. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් වියූ වියමනෙහි එල්ලා වැටෙන කසීසළු සුගතපාලද සිල්වාගේ ඇස ගැටී තිබුණේය. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය මනමේ හා සිංහබාහු මතින් තම කූටප්‍රාප්තිය පිවිස අවසන්ව හුන්නේය. සිංහබාහු හෝ මනමේ අතික්‍රමණය කළ හැකි තවත් නාට්‍යයක් නිපදවීමට සරච්චන්ද්‍රයන්ටම නොහැකි වූයේය. කෙමෙන් වෙනස් වෙමින් තිබූ තත්කාලීන සමාජ, දේශපාලනික ප්‍රපංචයන් ප්‍රකාශ කිරීමේ නවමු මඟ මේ යැයි සුගතපාලද සිල්වා "බෝඩිංකාරයෝ" වේදිකාවට ගෙන එමින් ප්‍රකට කොට සිටියේය.

සුගතපාලද සිල්වා කලාව නම් වූ කරළියට අවතීර්ණ වන විට එහි කේනද්‍රීය ලක්‍ෂ්‍යය හෙවත් මධ්‍ය ලක්‍ෂ්‍යය වූයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියයි. එහෙත් සුගතපාලද සිල්වා යනු එම අධිපතිවාදියාගේ සහජාතකයෙක් නොවීය. වඩාත් පැහැදිලිව කියනවා නම් සුගතපාලද සිල්වා මෙරට ඊනියා 56 විප්ලවයට පෙර බිහිවූ අවසන් ද්විභාෂක පරම්පරාවේ නියෝජනයක් වූ නමුදු විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් නොවූයේය. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල ප්‍රාඥයන්ට අසමසම වන සාහිත්‍ය කලා දැනුමක් ඔහු සතු විය. එපමණක් නොව සුගතපාලද සිල්වා සමඟ රොද බැඳ සිටි ඔහුගේ කට්ටිය හෙවත් "අපේ කට්ටියේ" බහුතරයක් දෙනාද ඔහු වැනිම විශ්වවිද්‍යාල නිෂ්පාදනයන් නොවීය. සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ වැන්නන් ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.


සුගතපාලද සිල්වා පැහැදිලිවම දේශපාලන නාට්‍යකරුවෙක් විය. ජර්මානු දාර්ශනිකයෙක් වූ සාතේ්‍රගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පය "බෝඩිංකාරයෝ" සිට "දුන්න දුනු ගමුවේ" දක්වාම පැතිර තිබුණේය. එහෙත් 1972දී නිපදවුණු "දුන්නු දුනු ගමුවේ" නාට්‍යයේදී සුගතපාලද සිල්වාගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පයන් හෙල්ලුම් කා තිබුණ බැව් පැහැදිලිව පෙනී ගිය කාරණාවක් වූයේය. ඊට හේතු වූයේ 1971 ජ. වි. පෙ. අරගලයයි. "දුන්න" නිපදවීමෙන් පසු ෆීනික්ස් කුරුල්ලෙක් පරිද්දෙන් සුගතපාලද සිල්වා නමැති සාංදෘෂ්ටිකවාදී නාට්‍යකරුවා අළුවී ගොස් ඒ අළු මතින් උපත ලබන්නේ මාක්ස්වාදී නාට්‍යකරුවෙකි. ඔහුගේ පසුකාලීන නාට්‍යය සියල්ල ඔහුගේම අර්ථයෙන් ගතහොත් "කැපවූ" නාට්‍යය වූයේ 71 බලපෑම මතින් සිදුවූ මේ විපර්යාසය නිසාය.


සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සාම්ප්‍රදායික ප්‍රසාදයන් ලිහී බිඳවැටුණු තවත් එක් කලා ක්‍ෂේත්‍රයක් වූයේ ගුවන් විදුලි නාට්‍යයයි. ගුවන් විදුලිය සමඟ සුගතපාලද සිල්වාට පුදුමාකාර, තදන්තර අවියෝජනීය බැඳීමක් තිබුණේය. කිසි දිනක පැය අටේ රැකියාවක තම භෞතික ශරීරය හා කලාකාමී ආධ්‍යාත්මිකය සිරකරලන්නට අකැමැති වූ ඔහු කොන්ත්‍රාත් පදනම මත ගුවන් විදුලියේ සේවයට එක්වන්නේ "රස්සාවක් නොකරන එකෙකුට දුව නොදෙන්නේ යැයි" පෙම්වතියගේ මවුපියන් ස්ථීර කොට කියන්නට වූ කල්හිය.


"හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍යය" නම් වූ සුගතපාලද සිල්වා විසින් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව ලියූ කෘතියම ඔහු විසින් මෙරට ගුවන් විදුලි නාට්‍යය කලාවට කරනු ලැබූ සේවය ප්‍රමාණවත් කොට දැක්වීමට සෑහේ. ආධුනික ගුවන් විදුලි නාට්‍යය පිටපත් රචකයකුට එම කෘතිය සපයන පිටුබලය වචනවලට නැඟීමට අපහසුය. අද ගුවන් විදුලි නාට්‍ය කලාව කියා එකක් සොයා ගැනීමටත් අපහසු නිසා මෙවැනි කෘති ඔස්සේ නිධන්ගත කළ දැනුම ප්‍රයෝජනයට නොගැනෙයි. කෙසේ වෙතත් ඇරැව්වල නන්දිමිත්‍ර, කපිල කුමාර කාලිංග, බන්දුසිරි එගොඩගේ සහ තවත් නිර්මාණශීලී රචකයන් සමඟ එක්ව සුගතපාලද සිල්වා නිෂ්පාදනය කළ ගුවන් විදුලි නාට්‍යය මෙරට ගුවන් විදුලි නාට්‍යය ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණ බවට විවාදයක් නොමැත.


කලාවේ සෑම මානයක්ම පිරිසිඳ දැනහුන් "වැඩකාරයෙක්" වූ සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සසැලුණු තවත් ක්‍ෂේත්‍රයක් වූයේ සාහිත්‍යයයි, නවකතාවයි. ඔහුගේ නවකතාවල දක්නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණය වූයේ ඒවා සියල්ලම පාහේ සිනමාරූපී නිර්මාණ වීමයි. එහෙත් අවාසනාවකට ඔහුගේ "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ." සිට බිත්ති හතර, අසුර නිකාය, බල්ලෝ බත් කති, පවර නිරිඳෙක් වීය බඹදත් ආදී අපූරු සාහිත්‍යය ව්‍යායාමයන් කිසිවක් මෙරට නිසි ඇගැයුමකට ලක් නොවීය.
විශිෂ්ට සිනමා නිර්මාණ බිහි කිරීමට අවකාශ තිබූ ඔහුගේ "එසේ වී නම් මිනිසුනේ අසව්", "බල්ලෝ බත් කති" ආදී සාහිත්‍යය නිර්මාණවලට යොමු නොවූ අවධානයක් සුගතපාලද සිල්වාගේ සිනමාරූපී ගුණයෙන් අඩුම නවකතාවට වූ බිත්ති හතරට ලදුව එය සිනමා පටයක් බවටද පත්විය.


විශිෂ්ට කලා හැකියාව මෙන්ම මේ සොඳුරු ආඥාදායකයාගේ සුවිශේෂී ගුණය ඔප් නැංවූ අනෙක් කාරණාව නම් කලාකරුවකු වශයෙන් ඔහු සතුකොට ගෙන සිටි අදීනත්වයයි. කිසි දිනෙක බාල දේශපාලන හෝ ආර්ථික ව්‍යාපාරයන් අභිමුව පාවා නොදුන් එම අදීනත්වය, තම මතය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ හැකියාව වර්තමාන කලාකරුවන්ට ආදර්ශයක්ම වන්නේ ඔහුගේ වියෝවෙන් වසර දහයක් ගෙවෙන තැන ලාංකේය කලාකරුවන්ගේ වර්තමාන ආස්ථානයන් කලාකරුවකු සතුවිය යුතු අදීනත්වය ප්‍රශ්න කරමින් සිටින නිසාය. ජනතාවාදී යැයි කියා ගන්නා කලාකරුවන්ට තමන් සිටිය යුතු තැන මේ යැයි සුගතපාලද සිල්වාගේ භූමිකාව පෙන්වා දෙන නිසාය.
-චින්තක ටිකිරිබණ්ඩාර. 

34 comments:

  1. මිනිස්සු පීඩාවට පත් කරන නීති තමා ලංකාවේ දියුණුවට හුඟක් වෙලාවට හරහට හිටින්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත ..විශේෂයෙන්ම සම්ප්‍රදායට පිටින් ,,නිර්මාණශීලීව හිතන මිනුසුන්ට ඉදිරියට යාමට තියෙන ඉඩකඩ අහුරලා තියෙන්නේ..

      Delete
  2. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා....

      Delete
  3. චක්‍රීය චින්තනය කියන්නේ ඕකට තමයි....චිත්‍රපටි අධ්‍යක්ශ කෙනෙක් වන්න චිත්‍රපට අධ්‍යක්ශවරයෙක් වෙලා තිබිය යුතුයි.' :))

    ReplyDelete
    Replies
    1. ඔව්, එක තැන කැරකැවෙනවා, හේතුවකුත් නෑ ..ඵලයකුත් නෑ.

      Delete
  4. හොඳ ලිපියක් රතූ.. සුගතපාල ද සිල්වා කියන මනුස්සයා දේශපාලන නාට්‍යයකරුවෙක් කියන එක යටපත් වෙලා තියෙන කාලයක් නේ... අනිත් එක නිර්මණයකට දේශපාලනය යොදා ගන්න ඕනේ කොහොමද කියන එකත් එතුමගෙ නිර්මාණ වලින් ඉගනගන්න පුළුවන් මං හිතන්නේ.. මේවා ගැන ඒතරම් ලොකු අදහසක් මට නෑ.. ඒත් මං අගය කරන නවකතාකරුවෙක් එතුමා...

    ReplyDelete
    Replies
    1. දැන් දේශපාලනික නාට්‍යකරුවන් හොයාගන්නවත් නෑ හිරු, ඒ පරපුරේ නිර්භීත අන්තිමයා සුගතපාලද සිල්වා තමයි මම හිතන්නේ ,,හැමදාම ඇවිත් දිරිගන්නනවාට බොහෝම ස්තූතියි හිරු

      Delete
  5. ආතර් හෙවත් සිඤ්ඤෝර් රිවාරෙස් ව දන්නවද? :) සුගතපාල සිල්වාගේ පරිවර්තනය කෘතිය.. "ඇට මැස්සා" හි චරිතයක්... එය ඉතා විශිෂ්ට පරිවර්තන කෘතියක්..

    ReplyDelete
    Replies
    1. මගේ ත් ප්‍රියතම පරිවර්තනයක්.ඒ වගේම ඔහුගේ හතරවෙනි තට්ටුව පොතත් එවැනිම විශිෂ්ට උත්සාහයක්.

      Delete
  6. සුගතපාල ද සිල්වා, මහගම සේකර, ... ඔය වගෙ නම් ගනනාවක් මට මතක් වෙනවා රතු ලංකාවෙ නොඉපදී වෙනත් තැනක ඉපදුනානම් ලෝක පූජිත වෙන. ඒ වගෙම දුප්පතුන් ලෙස නොව ධනවතුන් ලෙස මියයන.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඩූඩ්...
      ස්පෑම් ගොඩේ තිබිලා මේ ඇදලා ගත්තේ

      Delete
  7. ඇට මැස්සා පරිවර්ථනයත් සුගත් ෙන්ද?


    ReplyDelete
    Replies
    1. .ඔව් ඒක සුගත්ගෙ තමයි. ඒ පමණක් නෙමෙයි ,
      -හතරවෙනි තට්ටුව
      -දෙයියම්පා සහතික ඇත්ත.
      -රෑ බෝවූ ඉක්බිති
      -ගිනි දළු මල්
      -අමුතු ඉලන්දාරියා
      මේ පොතුත් ඔහුගේ පරිවර්තන

      Delete
  8. හිතන්න යමක් ඉතිරි කල ලිපියක්

    ReplyDelete
  9. ලංකාවේ ඉන්නේ ශ්‍රේෂ්ඨ කළාකාරයෝ දෙන්නයි, ඒ ලෙසටර් හා අමරදේව. අනිත් අය ඔක්කෝම කඩේ යන අය, මම නෙමෙයි කිව්වේ ලොක්කා...

    ReplyDelete
    Replies
    1. උඹට ලොක්කගෙ පඩෙත් සුවඳනෙ. එතකොට සෝමතිලක ජයමහ වගේ උන් කඩේ ගියෙ කාටද කියහන්?

      Delete
    2. හැක් හැක්.. අදීන කලාකරුවෝ

      Delete
    3. .කලාකරුවෙකුගේ ශ්‍රෙෂ්ටත්වවය මනින්න පුළුවන් වෙන්නේ ඔහුගේ නිර්මානය සහ ඔහුගේ සමාජ භාවිතාව නිසයි. ඒ නිසාම මට නම් ලෙස්ටර්ට වඩා සුගතපාලද සිල්වා ශ්‍රේෂ්ඨයෙක් ..ලෙස්ටර් කඩේ නොගියත් සුමිත්‍රා ගැන කොහොමද ?

      ඉන්දික කියලා තියෙන සෝමතිලක ජයමහත් මම දන්න තරමින් අදීන් කලාකරුවෙක්

      Delete
  10. මේ මිනිස්සුන්ගේ වටිනාකම දැනෙන්නේ දැන්...

    පුළුවන් නම් පොස්ට් එකේ පළල ටිකක් වැඩි කරනවද?

    ReplyDelete
    Replies
    1. අනිවා කරන්නම් මචං.

      Delete
  11. බලපත්‍රය බාධාවක් නොවුනා නම් තවත් බැලිය හැකි, රස විඳිය හැකි, සිතිය හැකි නිර්මාණ එලි දකින්නට තිබුනා. ඔහොම තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. ධම්ම ජාගොඩටත් වුණේ ඔය කණ්ගාටුදායක සන්තෑසියම තමයි

      Delete
  12. ලිපිය නියමයි රතු.. මේක ඕනම වෙලාවක සුගතපාල මහත්තයා ගැන ආවර්ජනය කරන විට සිහි වේවි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචං.
      මේ උඹට මොනවදෝ දැනගන්න තියෙනවයි කීවනේද මොකද්ද මචං?

      Delete
  13. චින්තක ටිකිරි බණ්ඩාර හෙවත් රතු වීසිත් ලියූ තවත් වටිනා ලියවිල්ලක්...හෙන්චයියන්ට කඩේ යන්නෙ නැති මෙවැනි කලාකරුවන් වාසනාවන්...

    ReplyDelete
  14. අන්න කෑල්ල -
    .හෙන්චයියන්ට කඩේ යන්නෙ නැති මෙවැනි කලාකරුවන් වාසනාවන්...
    -මේක මම පත්තරේට ලියපු ලිපියක් සිරා ඒකයි නම දැම්මේ. බෝහෝම ස්තූතියි කොමෙන්ටුවට සිරා

    ReplyDelete
  15. Replies
    1. බොහෝම ස්තූතියි නද්‍යා ,සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  16. "ඇට මැස්සා" පරිවර්තනය කළේ මෙතුමා නේද ? මමත් ගරු කරණ කළා කරුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා අටමැස්සා කෘතියත් එතුමාගේම තමයි.

      Delete
  17. වෙනස් විදියේ බ්ලොග් එකක් වගේ..සෑහෙන වැදගත්කමක් තියන ලිපි (දේශපාලනය ගැන ලියපුවා මට නොතේරුනාට:). නිතර කතාබහට ලක් නොවෙන මේ වගේ චරිත ගැන කතා කරන එකෙන් රතු රජරට කරගන්නේ පිනක්..මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ කියපු නාට්‍ය සුගතපාල ද සිල්වාගේ නිර්මාණ බව.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මචං..
      එහෙම කිව්වට තරහ නෑනෙ සයුරි .

      Delete