2013/09/06

සකපෝරුව දඬුකඳේ ගැසීම හෙවත් ආන්ජිලෝලා ගබ්සා කිරීම.


අපි පාසල් යන කාලයේ 2 සහ 3,4,5 ශ්‍රේණි වලදී අත්වැඩ කියලා විශයක් තිබුණා. බොහෝ වෙලාවට අත්වැඩ වෙනුවෙන් අපට පැවරුණු විශයය කාර්‍යය වුණේ මැටි ආශ්‍රයෙන් විවිධ නිර්මාණ කිරීම. හදිසියේම මට මේ අත්වැඩ හෙවත් මැටිවැඩ ගැන මතකයන් තුඹසින් එළියට ඇදීගෙන එන උරගයෙක් පරිද්දෙන් එළියට ආවෙ ඇයි කියලත් පැහැදිලි කරන්නම්.

මේ මෑත ගෙවීගිය දවසක මම පානදුරේ පොත්සාප්පුවකට ගොඩවුණා. ඒකේ ලිපිද්‍රව්‍ය අංශයේ කරක් ගහමින් ඉන්නකොට මට අහුවුණා විකිණීමට තියලා තියෙන මැටි පාර්සලයක්. මම මේ කියන්නේ අපි පොදුවේ ක්ලේ කියලා හදුන්වන කෘතීම මැටි ගැන නෙමයි. ඒ පාර්සලයේ ලේබලයක් අලවලා තිබුණා පදම් කළ මැටි කියලා සදහනක් සහිත. මගේ මුවට හීන් හිනාරැල්ලක් නැගුණා ඒ ලේබලය කියවලා. 

පුංචි පන්තිවලදී අපේ පන්තිභාර ගුරුතුමා කියනවා හෙට අත්වැඩ තියෙනවා හැමෝම මැටි බෝලයක් අරන් වරෙව් කියලා.ඉතින් ගෙදර ගිහින් මැටි බෝලයක් සූදානම් කරගන්න කම් ඉවසිල්ලක් නෑ. කළු මැටි, කිරි මැටි සහ තුඹස් මැටි කියලා අපි මැටි වර්ග කරගෙන හිටියා.පන්තියේ කෙළි පැටික්කියෝ බොහෝ විට සූදානම් කරගන්නේ තුඹස් මැටි. මොකද හොයාගන්න පහසුයි. ගෙදර වත්තෙ තියෙන තුඹසක් කඩලා අරගෙන (තුඹස එහෙම පිටින්ම කඩන්නේ නෑ. පොඩි කොටසක් ,තුඹස් දළු කියලා කියන්නේ තුඹසෙ ඉහළම තියෙන ,,තවමත් ගොඩනැගෙමින් තියෙන කොටස්. මෙන්න මේ තුඹස් දළු වලින් මැටි බෝලයක් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්.  ) මැටිබෝලයක් හදාගන්නවා. 

නමුත් අපිට මේ තුඹස් මැටි හරියන්නේ  නෑ. මොකද අව්වට අහුවුණු හැටියේ පුපුරනවා. අපිට හොද කළුමැටි. නමුත් කළුමැටි හොයාගැනීම කළුනික හොයනවා තරම්ම නැතත් ටිකක් විතර අමාරු කාර්‍යයක්. අපේ කුඹුරු යාය පහළින් ගලාගෙන යන ඔයක් තියෙනවා කුඹුක්කන් ආරු කියලා ..මෙන්න මේ ඔය ඉව්රෙ සමහර තැන්වල කළුමැටි තියෙනවා. ඒ තැන් ගැන අපි දැනගෙන හිටියා. නමුත් පුංචිම කාලෙදි නම් අපිට කළුමැටි ගෙනත් දුන්නේ තාත්තා. මැටි තියෙන තැනින් කොටාගෙන ඒවා කකුලෙන් පාගලා පදම් කරගන්නවා. ඊටපස්සේ ලොකු හබරල කොලේක හොදට ඔතනවා. ආයෙත් දිගාරින්නේ ඊළග දවසේ පන්තිකාමරයේදී. එතකොට මැටිටික තැම්බිලා හොදට පදම් වෙලා තියෙනවා. නමුත් අපි වෙනමත් මැටි ටිකක් අරගෙන එනවා. ඒ ඊළග දවසේ පන්තිකාමරයේදී හදන මැටි මූර්තිය වෙනුවෙන් පෙර පුහුණුවකට. 

මට ඒ තරම් ලස්සනට මැටි නිර්මාණ කරන්න බැහැ. මම නිතරම හදන්නේ නයි. (අරින්නෙත් නයි.) මැටිවලින් නයෙක් හදන එක ඒ තරම්ම පහසුයි. මැටි ටිකක් අරගෙන දෙඅත්ලට මැදි කරලා රෝල් කරගන්නවා. එතකොට හරි අපූරුවට නාගයාගේ කඳ කොටස හැදෙනවා. දැන් ඔබට කැමති ප්‍රමාණයකින් කැමති විදිහකට පයන්න ඇතුව හෝ නැතුව නාගයාගේ පෙණය යොදන්න පුළුවන්. 

කිරිමැටි ගැන කියන්න බැරි වුණානේ. කිරිමැටි හදාගන්නේ කුඹුරේ නියරවල් මඩ තියපු අළුත ,,නියරවල් හාරමින් ගන්නා මැටිවලින්. කිරිමැටි කළුම කළු පාටට නැහැ. තුඹස් මැටි තරම් දුඹුරු පාටත් නැහැ. ඇත්තම කිව්වොත් කිරිපාටත් නැහැ. ඒ වුණත් අපි කිවේ කිරිමැටි කියලා. කුඹුර දෙකට බෙදන නියර හදුන්වන්නේ මහනියර කියලයි. මෙ මහනියරෙන් තමයි හොදම හොද කිරිමැටි හොයාගන්න පුළුවන්.නමුත් ඉතින් අපි නියර හාරමින් මැටි එක්කාසු කිරීම නම් වැඩිහිටියන්ගේ සතුටට හේතු වුණේ නැහැ.

දැන් පූරවාපර සන්ධි ගළපා ගැනීමේ අවස්ථාව. අර විකිණීමට තිබුණු පදම් කළ මැටි පාර්සලය දැකලා මට දුකක් වගේම සතුටකුත් ඇතිවුණා.දුක හිතුණේ මේ තරම් මැටි හොයාගන්නට පුළුවන් මහපොළවක් අපිට තිබෙද්දීත් මැටිත් කඩෙන් ගැනීමට අපි පෙළඹිලා සිටීම හින්දයි. මැටිවලින් අත්කම් කිරීම කියන්නේ සුදුසු මැටි වර්ගයක් සොයාගැනීමෙ සිට ඒවා පදම් කරගනිමින් නිර්මාණයක් කරගැනීම දක්වාම දිවෙන ක්‍රියාවලියක් නේ. නමුත් ඉතින් වෙගයෙන් වෙනස් වෙන ආර්ථික සාමාජයීය තත්වයන් හමුවේ පැරණි ක්‍රියාවලියන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම හුදු හිතළුවක් විතරයි. 
 අලෙවියට මැටි තිබෙන එක මට සතුටක් වුණේ ඇයි කියලා දන්න්වාද? ඇත්තටම මම හිතුවේ දැන් පුංචි උන්ගේ පන්තිකාමරයෙන මැටිවලින් නිර්මාණයන් කිරීම සිද්ද වෙන්නෙ නැහැ කියලයි. පුංචි අවදියෙදීම නිර්මාණශීලී අවස්ථාවන් දරුවන්ට අත්විදින්නට ඉඩ ලබා දීම අනාගතයට රටක් ජාතියක් වශයෙන් හොද ආයෝජනයක්.ඉතින් මේ විකිණීමට තබා තිබුණු මැටි පාර්සලය දැක්කට පස්සේ මට හිතුණා තවමත් අපේ පාසලේ පංතිකාමරයේ මැටිවැඩ වලට ඉඩක් තිබෙනවා නේදෝ කියලා. මට සතුටක් දැණුනෙ ඒකයි. නමුත් ඇත්තම තත්වය මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ. 
කුලය සහ මැටිවැඩ 
බ්ලොග් ලෝකයේ බොහෝ දෙනා මට කුලවාදියෙක් කියමින් මැටිගසා මරන්නට හදනවනේ. මගේ එක් ලිපියක තර්කය වුණේ අපේ රටේ බොහෝ අංශවලට කුලය කියන සාධකය තීරණාත්ම ආකාරයෙන් බලපාලා තියෙනවා සහ තිබෙමින් පවතිනවාය කියලයි. මේ මැටිවැඩ කියන විශයටත් එහෙම බලපෑමක් තිබුණය කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. කුල බෙදීම් අනුව මැටි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන ලැබූ ජනතාව හැදින්වූයෙ කුඹල්ලු කියලයි. කුඹල් ජනයා මෙරට කුල වර්ගීකරණයේ පහළින් සිටිනා ජනකොටසක්. අන්න ඒ කාරණාව නිසාම දෝ  අපි පුංචි කාලයේදී මේ මැටි වැඩ කියන විශයය සම්බන්ධයෙන් උනන්දු කිරීමක් හෝ දිරිමත් කිරීමක් ගුරු දෙගුරු දෙපාර්ශවයෙන්ම අපිට ලැබුණේ නැහැ.ඒ වගේම  පස්සේ මට සහතික වශයෙන් කියන්න පුලුවන් අත්කම් වර්ගීකරණයට අයිත් වුණු මැටිවැඩ කියන විශයය අධ්‍යාපන සංශෝධන වලදී හැලිලා ගියේ මෙ කුලය කියන සාධකයේ අනියම් බලපෑම නිසාය කියලා. ඇතමෙකුට මේ කාරණාව මගේ හිතළුවක් වශයෙන් හිත්න්නත් පුළුවන්. නමුත් මීට වඩා බරපතල සංවේදී කාරණා වලට කුලය කියන සාධකය බලපාලා තියෙනවා.අන්න ඒ නිසයි මගේ සමහර බ්ලොග් සටහන් වලින් කුලය කියන සාධකය සහ එහි ක්‍රියාකරීත්වය ගැන යම් තර්මක හෝ අවබෝධයක් අප ලබා සිටිය යුතුයි යන කාරණාව මතු කරමින් සිටියේ.මැටිවැඩ කියන විශයයටත් හොද පිළිගැනීමක් සහිතව විද්‍යාත්මක පදනමකින් එ විශයය දියුණු කරන්නට බලධාරීන් උත්සාහ ගත්තා නම් ඉතා විශිෂ්ට මූර්ති ශිල්පීන් ගණනාවක් බිහිකරගන්නට අපට හැකිව තිබුණාය කියන කාරණාව නම් ස්තීරයි.  ස්තූතියි...  


60 comments:

  1. පානදුරේ පාඩම් කළ මැටි දරුවන්ට ගේන්න කියන ගුරු මෑණි කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා. රතු රජරටයි මමයි දෙන්නම එක පැත්තේ අයද කොහෙද?

    මැටි විතරක් නෙවෙයි, ඔලිඳ, මදටිය පවා අද අම්මලා තාත්තලා කඩෙන් තමයි ගන්නේ. අම්මා ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියක් නිසා ඔව්වා හොඳට දන්නවා.

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳු... මගේ ගම නම් පානදුරේ නෙමෙයි. නමුත් දැන් ඉන්නේ එහෙ. දරුවන්ට අවැසි දේවල් කඩෙන් ගැනීම ගැන මගේ විරෝධයක් නෑ ,,නමුත් රට යන අත ගැන නම් දුකයි.

      Delete
  2. අපොයි මැටි වැඩ තවම යනවා ඒකනේ මේ අපි වගේම මැටි මෝල්ලු තවමත් බිහි වන්නේ.. ඉස්සර ඔය මැටි ගෙනාවම මැටි වැඩ කෙසේ වෙතත්, මැටි ගුලි වලින් ගහ ගන්නවා.. ඔහොම ගහපු මැටි ගුලියක් එහා පන්තියේ ටීචර්ගේ කනේ හිරවෙලා. අපේ පන්තියේ හිටපු ටිරෝන් ගුටි කෑවා මදි නොකියන්න. ඌ කියන්නේ ඌ ගහපු එක නොවෙයිලු වැදුනේ. ඒත් කරුමේ කියන්නේ කළු මැටි ගෙනත් තිබුනේ ඌ විතරයි. ඔය මැටි නානවා වගේම දවසක් තමයි.. කළු ලෑල්ලේ ගාන්න දැලියි කිරියි ගේන දවස.. හැම එකාම දැළි නාගෙන යන්නේ.. ඔය දැළි වලටයි, කිරි වලටයි වෙන වෙනම නම් තිබුනා මට මතක නෑ..

    කොහෙද බං ගිහින් උන්නේ.. මම හිතුවා මලාවත්ද කියලා...

    ReplyDelete
    Replies
    1. වැටවල් වලට හිටවල තියෙන එරඩු කිරියි,භූමිතෙල් ලාම්පු දැල්ල ලෑල්ලකට අල්ලලා එකතු කරන පහන් දැලියි මිශ්‍ර කරලා නේද ගාන්නෙ?

      Delete
    2. ආන් මචෝ වචන දෙක.. අලහන් බ්ලොග් කෙරුවාවේ තියෙන වාසී...

      Delete
    3. රෑට නිදාගන්න කලින් ලාම්පුව පත්තු කරලා උඩින් වීදුරු කෑල්ලක් තියනවා. උදේට නැගිටින්නේ ලාම්පුවේ සිහියෙන්. හවසට ගෙදර එන්නේ දුමේ ගියපු උන් වගේ.. සුන්දර මතක.. දැන් නම් කඩේ තීන්ත එකක් තියෙනවා නේද ..?

      Delete
    4. අම්මෝ ලාම්පු දැලියි, එඩරු කිරියි එකතු කරන්න විදින දුක. පුංචි බෝතල් කුප්පි වලට තමයි ඕවා එකතු කරන්නේ. කළුම කළු පාට බෝඩ් ලෑල්ල කළු කරාපු දවසට මොකද්දෝ ආලෝකයකින් එළිය වැටෙනවා කියලයි මට හිතෙන්නේ මාතලං.

      කෙන්ජි,
      මචං, නිවැරදි වචනේ එඩරු ද ,එරඩු ද ?

      Delete
    5. ඔබගෙ වචනෙ හරි මචං.

      Delete
  3. සරසවි පොත් සාප්පුවෙ මැටි පාර්සල් දැකල මට මතක් වුනේ, ඔබ කිව්ව විදියට කුඹුරු මැටි,හුඹස් මැටි අපි සොයා ගත් හැටිමයි.
    මට නම් හොදට හදන්න පුළුවන් වුනේ මැටි බෝල විතරමයි.
    හදන හැම බොලේ මැදම චුටි තුඩක් ඉතිරිවෙන නිසා කොල්ලො මට කියලයි බෝල හදා ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටින් ඔහොම. මොකද්ද මේ චූටි තුඩක් ඉතිරිවෙන නිසා උඹට කියලා මැටිබෝල හදාගත්තු කතාව. ටිකක් පැහැදිලි කරාපන් කෙන්ජි අයියේ.

      Delete
    2. මම මැටි බෝලෙ රවුම් කරද්දි අල්ලෙ හරි මැදට තියල,ලාවට ටච් එක දෙන ගමන් රවුම් කලාම (හරි රවුමක් නෙමේ අර බඹරය කරකවල බිම දැම්ම පේන)දෙපැත්තේ මැද උල් වටේ රවුම්.
      හැමෝටම (ඒ කාලේ ඉදලම මගෙ වල් සිතද හින්දද මන්ද?)එහෙම එන්නෙ නැහැ මට ආවට.
      අපේ එවුන් මම හදල දෙන බෝල අරන් මදටිය,ඔලිද ඇට අර තුඩ මැදට තියල එක එක විකාර කෙරුව මට පන යන්න ලජ්ජා වෙන විදියට.

      Delete
  4. මගෙ අම්මේ මම ඒ කලෙ කරපු මැටි වැඩ. මැටි වැඩ කිව්වෙ මැටි වලින් වැඩ.

    ReplyDelete
    Replies
    1. අපි නම් මුකුත් කීවේ නෑ රාජ්...:D:D

      Delete
    2. ඉතින් මචෝ තාමත් අපි කරන්නේ මැටි වැඩ නෙවෙයි කියලද උඹ කියන්නේ?

      Delete
  5. ලමයින්ට පොඩි කාලේ ඉඳලා මැටි වැඩ උගන්වන්ට නරකයි. එතකොට ලොකු වෙනකොට අර කවුද කියනවා වගේ බිහි වෙන්නේ මැටි මෝල්ලු...:)

    ReplyDelete
    Replies
    1. ආ... ආඅ.....? මෙන්න මේ අදහසට නම් මම එකඟ නෑ පොඩි කුමාරිහාමියේ....

      Delete
  6. අත් වැඩ නම් බැරියෝ.
    මැටි වැඩ තමයි උපරිමයෙන් පුළුවන්...:D

    ReplyDelete
    Replies
    1. අත් වැඩ බෑ ....? අනේ නිකන් හිටපං බං බොරු නොකියා

      Delete
    2. ඒකනේ ඉවාන් මාත් බැලුවේ--මේකට විතරක් අත්වැඩ බැරි වෙන්න විදිහක් නෑනේ. ඕකට තම්යි මචෝ කියන්නේ ....
      අත්වැඩ පරවැඩ සමව සිතන්නේ..... කියලා

      Delete
    3. අයියෝ මචෝලා උඹලාට වචනයක් වරදින්න බැහැනේ බං.
      මම කිවේ අත්වැඩයක් ගැන නෙමේ බෝල්ලලා..:D

      Delete
  7. චිත්‍ර කරපු නිසා එකපාරක් ප්‍රදර්ශනේකට මූර්ති හදන්න කියලා ඔය වගේ පදම් කරපු මැටි ගෝනියක් ගෙනත් දුන්න.. ඒකෙන් අපේ උන් මූර්ති කෙසේ වෙතත් ඇති වෙන්න පිස්සු නං නැටුවා.. මොකද ඊට කලින් ඉතිං අපි දැනං හිටියෙ හුඹස් මැටි විතරනෙ.. මේවා එහෙම නෙවෙයි.. මාර සොෆ්ට්... මූර්ති හැදිල්ල නං එතනින් ඉවර උනාට ඒකෙන් මැටි මූර්ති කලාව ගැනනං පුදුම ආසාවක් ඇති උනා...

    මගේ පෞද්ගලික හැඟිම නං පොඩි උන්ට මුහුදු වැලි ටිකකුයි, ඔය වගේ මැටි ගුලියකුයි දෙන එක හොඳයි ක්ලේ වලට වඩා කියල...

    ReplyDelete
    Replies
    1. මුහුදු වැලි නම් හොඳ නෑ හිරු, මුහුදු වෙරළට ගිහින් තෙත වැලි එක්ක සෙල්ලම් කරනව වගේ නෙවි. ගෙදර අරන් ආවාම ඒව වියළි සිහින් වැල්ලක්. ඒ දූවිල්ල ළමයිට හොඳ නෑ. හැබැයි දැන් මාව කන්න හදන්න එපා, ඒක මගේ අදහසක් නෙවි ඕං, මම හිතන්නෙ ළමයි උනාම දුවල පැනල තුවාල කරන් දූවිලි ගොඩවල්වල මඩ ගොඩවල්වල සෙල්ලම් කරල විනෝද උනාට කමක් නෑ කියල. එක තැන බෝනික්කො වගේ ඉන්නව නම් උන්ට අසනීපයක්. ඒත් අද කාලෙ සම්පූර්ණ සෞඛ්‍ය ව්‍යාපෘතියක් ඇතුළෙ හැදෙන ළමයෙක් ඔය පොඩි දූවිලිපාරකටත් නිරාවරණය උනාම නැති ලෙඩ හදාගන්නව.

      Delete
    2. යෑස් යෑස්.. ඔයා හරි... මං කිව්වෙ ඒ හීනි වැල්ල නෙවෙයි .. උඩ හරියෙ තියෙන වැල්ල ...

      කොහොමත් ගේ හදන්න ගෙනල්ලා ගොඩ ගහන වැලි ගොඩේ පෙරලි පෙරලි දඟලපු උන්නෙ අපි... ඕක අස්සෙ උමං හාරනවයි නිදන් හොයනවයි... දැන් ඉතිං එහෙම වැලි හොයන්නේ කොහෙන්ද.. ඒකයි මං කිව්වෙ මුහුදු වැලි කියල... බලු බෙටි නැත්තං ඕනෙ එකක්.. ඒවා තිබ්බයි කියලත් අපි වැඩේ අතෑරියෙ නෑ නේ.. නේ... හි හි

      Delete
    3. මමත් කියන්නේ මෙන්න මේ ටිකම තමයි හිරුවෝ. අත්දැකීම්වල වටිනාකම ගැන. මැටිවලින් විවිධාකාරයේ මූර්ති නිර්මාණය කරගැනීම විතරක් නෙමෙයි ඒ වෙනුවේන් අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමත් කළේ අපිම නිසා අපි ලබාපු අත්දැකීම්වල වටිනාකම ගැන කියලා නිමකරන්න බෑ.

      Delete
  8. කව්ද මචන් මේ පින්තූරේ ඉන්නේ ..? අපිත් මැටි වැඩ 6 , 7 පාරක් කරලා තියෙනවා.. දැනට අවුරුදු 3 කට වගේ කලිනුත් මැට්ටෙන් රූපයක් හැදුවා.. ලංකාවේ නාගරිකව හැදෙන පොඩි ළමයි ලොකු වෙද්දී මොනවා කරන අය වේවිද කියලා හිතාගන්න බැහැ. ලංකාව දරා ගත නොහැකි වේගයකින් සංවර්ධනය යැයි කියාගන්නා ඉලව්වක් දෙසට ඇදෙනවා..

    ළමයින්ගේ මොළ කොහේ නතර වේවිද මන්දා මේ යන ක්‍රමේට..

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ ඉන්න කෙනාව අමතකරාපන් සහන්. එයා මේ කතාවට අදාළම නෑ.
      මටත් තියෙන ගැටළුව වැඩිවියට පත්වෙමින් ඉන්නා මේ පුංචි උන් අපේ රට කොහාට ගෙනියාවිද කියලා තමයි.

      Delete
  9. කුළ වාදය අපේ පැරණි සමාජයේ ක්‍රියාත්මක වුනේ ශ්‍රම විභජනය සඳහායි. රාජකාරි ක්‍රමය යටතේ සමාජයේ බත සපයන බහුතර ගොවියන් ද, අවශ්‍ය උපකරණ, හකුරු ආදිය සපයන වෙන වෙනම කාන්ඩ ද, රෙදි සේදීම් ආදී සේවා සපයන කාණ්ඩ ද පැවති, ස්වයංපෝෂිත සමාජ ක්‍රමයක් ඒක. අපිට ඒක සමාජ ස්තරායනයටත් මර්ධනයටත් යොදාගන්න ක්‍රමයක් වුණු එක තමා වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. වෙගයෙන් වැඩෙමින් වර්ධනය වෙච්ච සමාජ, ආර්ථික බලවේග එක්ක කුල ක්‍රමය වගේ සම්ප්‍රධායයන් ඉතා ඉක්මණින් වෙනස් නොවුණේ ඇයි කියලයි මටත් හිතාගන්න බැරි. හැබැයි ඒකට සමාජ විද්‍යාත්මක් පැහැදිලි කිරීමක් තියෙනවා.

      Delete
  10. ඇතෙන්ම මට ඔය මැටි වර්ග තුන ගැන අවබෝධයක් තිබුනේ නෑ,. විශේෂයෙන්ම උඹ කියල කලු මැටි ගැන. සමහර විට අපි ඉන්න පළාත් අනුව වෙන්නත් පුළුවන්. කිරි මැටි නම් මෙහේ තියෙනවා.

    මම නම් සතු‍ටුයි කඩේ මැටි තියෙන එක ගැන රත්තෝ. මොකද ඔය උඹ කියන විදියට මැටි හොයාගන්න එක ලේසි නෑ අපේ පැතිවල. තමන්ගේ වත්තේ තිබිලා හොයාගත්තොත් මිසක වෙන කොහොමද මැටි හොයන්නේ? අනුන්ගේ ඉඩම්වලට පැනලා මැටි හොයන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම අනුන්ගේ වතු වලට පැනලා හෙව්වොත් හම්බ වෙන්නේ ගුටි.

      Delete
    2. මචං හෙන්රියෝ..., කළු මැට්ට ටිකක් තද නමුත් අවශ්‍ය හැඩතල ගැනීමට පහසු බොහෝම නම්‍යශීලි මැට්ටක්. ලංකාව බොහෝම කුඩා රටක් වුණත් භූගෝලීය විශමතාවයන් බොහෝම තදට තියෙන නිසා වෙන්න ඇති උඹ මේ මැට්ට ගැන දන්නේ නැත්තේ.

      Delete
  11. අපේ වත්තෙත් කොනේම තුඹසක් තියෙනව, ඒ නිසා මම තුඹස් මැටි දන්නව. කිරි මැටි දැකල තියෙනව නිකන් අළුපාට වගේ මෘදු මැටි වගයක්. ඒත් කළු මැටි නම් ඇහුවෙත් අද බං.

    මේ පැත්තෙත් පාසල් උපකරණ විකුණන තැන්වල ඕව විකුණන්න තියෙනව, මොකද හුඟක් මිනිස්සුන්ට ඕව හොයන්න තැනක්වත් වෙලාවක්වත් නෑ. එදා මිනිස්සු ගම වටේ රවුමක් ගිහින් හොයා ගන්ත ඒව අද මිනිස්සුන්ට ඉතිං කඩෙන් ගන්න තමා වෙලා තියෙන්නෙ, නැත්නම් ඉතිං රටවටේ යන්න එපෑයැ, දැන් කොහෙද ඉස්සර තිබුණු ගම.

    ඔය කුලවාදෙ නැත්තෙම නෑ බං, තාමත් මිනිස්සු ඒක රකිනවා. අපේ ගමට ගම් කිහිපයක් එහායින් තියෙනවා ඔය වලං හදන මිනිස්සු ඉන්න පැත්තක්. ඒ ගමේ අනිත් පැත්තෙ මිනිස්සු ඔය හරියට කියන්නෙ කුඹල් ගොඩේ කියල, දැන් නිකන්ම ගොඩේ වෙල. ඔය මනුස්සයෙක් දැක්කම කියන්නෙ ගොඩේ මිනිහෙක් කියල.

    ReplyDelete
    Replies
    1. උඹ කළු මැටි ගැන දන්නේ නැත්නම් ඒකට දෙන්න තියෙන පිළිතුරත් අර උඩ ඉන්න අපේ හෙන්රියාට දීලා තියෙන උත්තරේම තමයි.

      මිනිස්සුන්ට මේ දේවල් හොයන්න යන්න වෙලාවක් නෑ කියලා කිව්වට මචං. අපි ප්‍රයෝජනවත් විදිහට කාලය යොදාගන්නා මිනිස්සුද බං?

      කුලවාදය ගැන නම් කතා කරන්න කාරණා බොහෝමයි. ඒ ගැන පෝස්ට් වලින්ම කතාකරන්නයි මගේ බලාපොරොත්තුව ඩීඩීටී.....

      Delete
    2. මේකනේ බං සීන් එක. පොඩ්ඩක් එළියට බැස්ස ගමන් හොයන්න පුළුවන් ඒවත් නෙවිනේ ඔය සමහරක්වා. මම දන්න ටියුෂන් පන්ති කරපු සර් කෙනෙක් දවසක් නෙළුම් මල් ටිකක් ගෙදර යද්දි මාතරින්ම අරන් යනව දැකල මම ඇහුව ඇයි කියල. එතකොට එයා කියනව ඔය කොළඹ ඉස්කෝලෙකට යන එයාගෙ ළමයෙක්ට ඊට පස්සෙන්දා ඉස්කෝලෙට ගේන්න කියල ගෙදරින් කෝල් කරාලු එනකොට අරන් එන්න කියල. එහෙම ගෙනිච්චෙ නැත්නම් ඊට පස්සෙන්දා උදේ පොර කළුතරට හරි බෙල්ලන්විලට හරි ගිහින් මල් අරන් නැවත ඉස්කෝලෙ ළඟට ගිහින් ළමයට මල් දෙන්න වෙනවලු. රුපියල් විස්සක තිහක මල් ගන්න කාරෙකේ පෙට්‍රල් වියදමයි රස්තියාදුවයි බැලුවම හිතාගන්න පුළුවන්නේ මිනිස්සුන්ට අදකාලෙ තියෙන ප්‍රශ්න. ‘වෙලාවක් නෑ‘ කියන ඉතිං එකේක විදියයි.

      Delete
  12. මැටි වැඩ කිව්වම මතක් වුනේ , අපේ ඉස්කෝලේ හිටියා සර් කෙනෙක් ඉගැන්නුවේ මැටි වැඩ විතරයි. හැබැයි මිනිහා 1994 පොදු පෙරමුණු ආණ්ඩුව ආපු ගමන් අද්යාපන අද්‍යක්ෂ වුනා , අනික් සර්ලා ටීචර්ලා බං බැන හිටියේ ඩි.... පෙරේරා ගේ ගොට්ට කියලා, 2001 දී ආණ්ඩුව පෙරලිච්ච ගමන් මිනිහට ජොබ නැතිවුනා ...එතකොට තමයි දන්නේ ඕ ලෙවෙල් ලියලාවත් නැතිලු. ඒ වුනාට දැන් ආපහු අර තුමාගේ අමාත්යාන්ශේ අතිරේක ලේකම් කෙනෙක්ලු.

    ReplyDelete
    Replies
    1. අමාත්‍යංශයක අතිරේක ලේකම්??? ඕ ලෙවල්වත් නැතුව ????? බලාගෙන ගියාම ඔක්කොම එකයි, කැබිනට් ඇමතිවරු, සංස්ථා සභාපතිවරු එහෙමත් හිටියෙ - ඉන්නෙ.

      අපේ රට මෙහෙම හරි ඉතුරුවෙල තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන බං.

      Delete
    2. @පවුලූශා...........ඔය කියන ගුරුවරයා මැටි කර්මාන්තයේ දක්ෂයෙක්නම් මිනිහා ඒ විෂය උගන්නන එක වැරදියිද?ගුරුන් බඳවාගැනීමේ පටිපාටිය මොහොතකට අමතක කරපන්.සත්තු වත්තේ අලි බලගන්න තනතුරටත් ඕ ලෙවල් ඕන කියපු කතාවත් අමතක කරපන්.

      Delete
    3. අරූ කියන කතාවට මාත් එකඟයි ඉවාන්. මිනිහා මැටිවැඩට දක්ෂයෙක් නම් අපි මිනිහට සුදුසු දේ ලබා දෙන්න ඕනේ... අර හුණුවටයෙ කියනවා වගේ.

      Delete
    4. මිනිහා මැටි කර්මාන්තයම උගන්නගෙන හිටියනං එකේ වැරද්දක් නෑ, එත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙච්ච එක එක රැයින් ....? ඒ වුනත් අපේ රටේ ගුරුවරු බඳවාගන්න ක්‍රියාපටිපාටියක් හා සුදුසුකම් මාලාවක් තියෙනවනේ , එහෙමනම් තව කීදෙනෙක් ඇතිද ඊට වඩා මැටි කර්මාන්තය දන්න .

      Delete
  13. ඇත්තටම මැටි හොයන්න ගම පුරා ඇවිදපු ඒ ළමා කාලය කොච්චර සුන්දරද? පන්තියේ මැටි නාගෙන වැඩ කලත් අයින් අපේ ඇඟිලි වලට ලැබුණු අභ්‍යාසය, මනසට ලැබුන තෘප්තිය, මොකක් හෝ නිර්මාණයක් කිරීමට ගත උත්සාහයේ ඵලය, අද නියමිත උපදෙස් කොලය බලාගෙන පරිගනකයක කෑලිටික ඇමිනීමෙන් ලැබෙන්නේ නැහැ කියලා මම නොබියව කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි විචාරක මහත්මයෝ.... එවැනි ක්‍රියාකාරකම් ඔස්සේ අප ලබාපු ආධ්‍යාත්මික ගුණ වගාවන් කොම්පීතරයෙන් කොහොම ලබාගන්නද?

      Delete
    2. //පන්තියේ මැටි නාගෙන වැඩ කලත් අයින් අපේ ඇඟිලි වලට ලැබුණු අභ්‍යාසය, මනසට ලැබුන තෘප්තිය,//
      හහ්, හහ්,
      මගේ පංතියේ එකෙක්වත් මම ඉතුරු කලේ නෑ. 71, 11 හමුදාවෙන් මැරුවා. ඉතිරි උන් ටිකට 89 දී පංතියේම එකෙක් ෂොට් එක දුන්නාලු. ඌ මාර උගතා.
      ඔහුගේ පංතියේ මැට්ටෝ නෑ දැන්. ඉන්න එකම නුවණක්කාරයා ඔහු පමණයි.

      Delete
  14. ///.ඒ වගේම පස්සේ මට සහතික වශයෙන් කියන්න පුලුවන් අත්කම් වර්ගීකරණයට අයිත් වුණු මැටිවැඩ කියන විශයය අධ්‍යාපන සංශෝධන වලදී හැලිලා ගියේ මෙ කුලය කියන සාධකයේ අනියම් බලපෑම නිසාය කියලා.///

    රතූ.....මේක මෙහෙම උනානම් මහා වස ලැජ්ජාවක්නේ බං සමස්ථ අධ්‍යාපණ ව්‍යුහයටම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේක මෙහෙම තමයි වුණේ කියලා මට කියන්න පුළුවන් අරූ අංකල්. අපොයි මීට වඩා ලැජ්ජා හිතෙන දේවල් අපේ ඇත්තෝ රටට කරලා තියෙනවා ....

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. මාතර පොත් කඩවලත් තියෙනව "පදම් කළ මැටි" විකුණන්න.. දෙයියනේ කියල පුංචි කාලෙ ඉඳත් තාමත් මට "මැටි" අහේ නියක් නම් නෑ.. ඕන තරම් තියෙනවනෙ :)

    ReplyDelete
    Replies
    1. අහේනියක් නැත්තේ මැටිද? මඩද?

      Delete
  17. මේ ජෙප්පො ඔහොමම තමයි. පුන්චි කේස් එකකට මහ තඩි මාතෘකා දාල දෙනව නිකන් අහපු ගමන් මයිල් ඉස්මයිල් වෙන්න. :)

    ReplyDelete
    Replies
    1. ඉන්දික,
      බොහෝම කරුණාවෙන් කියන්නේ. නොදන්න මගුල් කතා නොකර හිටපන්. රතු කියන වචනේ දකිනකොටම මූ ජෙප්පෙක් කියන්න තරම් ළද බොළද උඹ වගේ එකෙක් ගැන මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.
      ඒ වගේම මම මගේ ලිපිවලට මාතෘකා යොදන්නේ මට අවැසි විදිහට. මම ලියන්න පටන්ගත්තෙ බ්ලොග් ලියලා නෙමෙයි. මම අදටත් පණ ගැටගහගන්නේ ලිවීමෙන්. ඒක මගේ වෘත්තිය. ඒ නිසා වැරැද්දක් තියෙනවා නම් මහත්මයෙක් වගේ පෙන්නලා දීලා පාඩුවේ පලයන්.

      Delete
    2. උඹට "රතු" කියන එක නියමෙට ගැලපෙනව.

      මම දාපු කමෙන්ට් එකේ අපහාසයද උපහාසයද කියන එක තේරුම් ගනින්. අනික සහෝ බ්ලොග් වල කමෙන්ට් මොඩරේට් නොකර තියෙනවනම්, තමන් අකමැති, රිදෙන කමෙන්ට් බාර ගන්න බලාපොරොත්තුවෙයන්.

      මම ලියන්නෙ මට ඕන දේ විතරයි වගෙම මම කමෙන්ට් කමෙන්ට් කරන්නෙත් මට ඕන විදියටයි. ඒක භාර ගන්න අකමැති අය කමෙන්ට් බ්ලොක් කරල හරි මොඩරේට් කරල හරි තියන්න ඕන. උඹට හිතට එන දෙ ලිව්වම, ඒ ගැන මට හිතෙන දේත් කිව්ව. උඹත් පුරුදුවෙයන් මහත්මයෙක් වගේ ඒක භාර අරගන්න.

      Delete
  18. මැටි පාර්සලේ දැක්කම මට මතක් වුනේ එක වසරෙදි වාහනයක් මැටි වලින් හදන්න වින්ද දුකක්...ගේ ලග තැනකින් පස් කපාගෙන...වතුර එක්ක මිශ්‍ර කරගෙන වාහනේ හැඩේ හදාගත්තට..රෝද හදාගන්න ක්‍රමයක් කල්පනා කරගන්න බැරි උනා...රෝද නැතුව තමයි වාහනේ පහුවදා පාසල් ගියේ...

    ReplyDelete
  19. අපිනම් ඒ කාලේ භාවිතා කලේ කිරි මැටි, හුඹස් මැටි ගත්තෙම නැහැ. කළු මත ගැන ඇහුවේ අද.
    මම ඒ දවස් වල ඉඳලා මැටි වැඩ වලට හරි දස්සයා, තාමත් කරොත් කරන්නේ මැටි වැඩක්ම තමයි. :D

    ReplyDelete
  20. ඉස්සර නම් අත්වැඩ කියලා කාලඡ්ඡෙදයක් තිබුනා. ඊට පස්සෙ ප්‍රායෝගික තාක්ෂන කුසලතා කියලා කාලඡ්ඡේදයක් ආවා. නිසි අවධානය යොමු නොකෙරුනට සෑහෙන්න වැදගත් ඒවා! තාම ඒ දේවල් තියෙනවද කියන්න දන්නේ නෑ!

    ReplyDelete
  21. මැටි වැඩ ගොක්කොල වැඩ කියන්නෙ ඒ කාලෙ හරිම ආසාවෙන් කරපුව. ඒ හින්දමද මන්ද අපේ ඔලු වල ඒව තැන්පත් උනේ. මම කිව්වෙ -මැටි -

    දැන් ඉන්න එව්වො අත්වැඩ කියන්නෙ වෙනින් දේකටනෙ

    ReplyDelete
  22. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  23. කෝ මේකා ?? කොහේ වහන් වුනාද ?

    ReplyDelete
  24. මොකෑ උඹ පේන්න නැත්තෙ?

    ReplyDelete
  25. කෝ අලුතින් මොකුත් ලියන්නේ නැද්ද අයියා ??

    ReplyDelete