Google+ Followers

2012/09/29

සිහින හොරු අරන්...


සිහින හොරු අරන්... 

නිමිත්ත 
නියඟයට අසුව ,දා ගිය කුඹුරු යාය දෙස බලා 
සොව සඟවා සිනාසෙන්නට වෙර දරන තාත්තේ ......


කිමිඳ නයනේ අනෝතප්තේ කළඹනා කල දිළිහෙනා.. 
කොපුල මත වැගිරෙන්න අකැමැති කදුළු උල්පත හමුවුණා 

විසුළ මුතු ඇට තරම් බිජුවට බොල්ව ගිය කල වියළිලා 
වපුළ සිනහව නෙළාගන්නෙ කොහොමදැයි මා සැනසිලා 

දෙපය පිරිමැද නැගුණු කරගැට සතපවන්නට නොවපමා 
සිදුණු දියවර ඇළවේලි මග සුළඟ සමගින් ඇවිදලා 

අහස නෙත්විද වැහි වළාකුළු ඉසව්වක ඉව සොය සොයා 
ගමන නොනිමූ බයිසිකලයේ ඉකිය මතකයේ තැවරුණා 

හිතක පොදි බැඳි පැතුම් අහුළා පොතක තැන්පත් කර තියා 
දිනෙක පීදෙන මහරු අස්වනු නෙළාගන්නට මගබලා 

ඇමති මැතිවරු ළබැදි සිත්පා සඳ ද තරුකැට බිම තියා 
සිහින පොදියෙන් ඔබේ සිහිනේ ටිකින් ටික හොරකම් කළා ..

2012/09/26

බණ්ඩාරනායක ඝාතනය වීම අහඹුවක් නොවේ.

බණ්ඩාරනායක
 භික්ෂුවක් අතින්
 ඝාතනය වීම අහඹුවක්ද ?



අද සැප්තැම්බර් 26 වෙනිදාය. හිටපු අගමැතිවරයෙක් වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතාගේ අනුස්මරණය යෙදී ඇත්තේ අද දිනටය. සමහරවිට ජනාධිපති පර්සි මහින්ද රාජපක්ෂ ඇතුළු නිදහස් පක්ෂයේ නඩය හොරගොල්ලේ සමාධිය අසලට ගොස් තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යන බැව් පවසන්නට ඉඩ තිබේ. එය සැබෑවකි, බණ්ඩාරනායක යුගයේ ආරම්භ කළ ජාතිය හා දේශය උලා කෑමේ ප්‍රතිපත්තීන් පර්සි මහත්තයාගේ ආණ්ඩුව පිල්ලමක වරදක්වත් නොමැතිව ඉදිරියට ගෙන යමින් සිටී.

කෘතහස්ත ලේඛකයෙක් වූ ගුනදාස ලියන්ගේ මහතා නොනිමි මෙහෙවර නමින් පොතක් ලියමින් බණ්ඩාරනායක මහතාට එල්ල කළ වෙඩිපහර හැදින්වූයේ ඉතිහාසය වෙනස් කළ වෙඩි පහරක් වශයෙනි. එහෙත් දේශපාලනයක් ගෑවීවත් නොතිබූ නිකම්ම නිකම් ආරාම කුමන්ත්‍රණයක් වූ  (බලධාරියා විසින් කපා හරින ලදී) බණ්ඩාරනායක ඝාතනය සැබවින්ම ඉතිහාසය වෙනස් කළ එකක් වූයේය. සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් පත්වීම එම ඉතිහාසය වෙනස් වීමෙ කතාන්දරයේ ස්වර්ණමය අවස්ථාව වෙයි.

බණ්ඩාරනායක මහතාගේ දුබල,ආත්මාර්ථකාමී නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ 56 විප්ලවය පිළිබදව අමරසේකර වැනි විද්වතුන් මහ ඉහළින් වර්ණනා කළද එය මෙරට සූරාගෙන කෑමට දේශීය බලපුලුවන්කාරයන්ට ලැබුණු මාහැගි අවස්තාවකි. 56 විප්ලවයෙන් අපට ලැබුණේ මොනවාද?


  • තමන් ලැබූ අධ්‍යාපනය නිසාම රැකියාවක් සොයාගත නොහැකිව වල්මත්වූ උපාධිධාරීන් පිරිසකි. 
  • කෙසේ හෝ රැකියාවක් සොයාගෙන තම සහෝදර පොදු ජනතාවගේ පරම සතුරෙක් වශයෙන් ක්‍රියාත්මක වන  රාජ්‍ය නිලධාරී පැළැන්තියකි 
  • ජීවත්වීමේ ත්,  සමුර්දිමත් වීමේත් ,  එකම මඟ ලෙස සිතා විදේශ ගතවන තරුණ පිරිසකි .
  • .පොදුවෙ තම පෞරුෂය අහිමි කරගත් තරුණ පරපුරකි.  
ඉංග්‍රීසි භාශාව යනු ගෝලීය සමාජයේ සන්නිවේදන මෙවලමයි. ගණිතය යනු ඕනෑම ශිෂ්ටාචාරයක ගමන් මඟ පෙන්වන පහන් තරුවයි. එහෙත් අපේ රටේ දරුවන්ගෙන් ගණිතය සමත්වීමේ ප්‍රතිශතය 4% කි .ඉංග්‍රීසි සමත් වන්නේ 5% කි. මේ 56 විප්ලවයෙන් සිංහල රාජ්‍ය භාශාව කිරීමේ පලවිපාකයි.
56 විප්ලවය සිදුවන්නට පෙර ආසියාවෙන්ම දෙවනි තැන දරාසිටියේ අපයි. අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් වන අතර පිටුපසින් සිටියේ පිලිපීනයයි. ඒ කාලයේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රට බාරගත්තේ එය ලංකාවක් කරන්නට ප්‍රතිඥා දීමෙනි. එහෙත් අද අප කොහිද සිංගප්පූරුව කොයිබද?

56 විප්ලවය ඔස්සේ බිහිවූ ආණ්ඩුව තම පොදු සතුරා වශයෙන් සිතා කටයුතු කලේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවය. ඉන්දියාවේදී මෙන් නොව ලංකාවෙ ධනවත් පංතිය උපත ලබන්නට නියමිතව තිබුනේම ඉංග්‍රීසි පාලනයේ අතුරු ඵලයක් ලෙසිනි. ඉන්දියාවේ මහාරාජාවරුන් වැනි ධනවත් සිටුවරුන් සිටියා වුවත් ලංකාවේ රජුන්ගෙන් මෙපිට එවැනි ස්වායත්ත ප්‍රාග්ධන සංචිත ගොඩනැගීමට ඉඩක් නොතිබිනි. එහෙයින්ම ප්‍රාථමික ප්‍රාග්ධන සංචිත සංකේන්ද්‍රණය වීමේ ක්‍රියාවලියට ඉඩකඩක් ලැබුණේ ඉංග්‍රීසින්ගෙ සෙවනේය. ධනවතුන් වීම පසුබිමෙහි මිෂනාරි අධ්‍යාපනය ප්‍රභල සාධකයක්ව පැවති බැවු අසත්‍යයක් නොවේ. ඒ නිසාම ජාතිවාදී හැඟීම් වලින් ඔදවැඩී සිටි 56 බලවෙග මෙරට දේශීය ධනවතුන් දෙස බැලුවේ සතුරු ආකල්පයකිනි. දේශීය ධනපති පංතිය යනු අනාගතයේ මෙරට ආර්ථික පද්ධතියේ අත්තිවාරම් තනන්නන් බැව් අවබෝධ කරගැනීමට 56 ට නොහැකි වූයේය. 

අනෙක් අතට මෙම දේශීය ව්‍යවසායකයන් බහුතරයක් අසුන්ගෙන සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වලය. 56 විප්ලවය එක්සත් ජාතික පක්ෂයට වින කිරීමේ ආස්ථානයට පටු කරගැනීමට තරම් එහි ඉදිරිගාමින් අමනොඥ වූයේය. බණ්ඩාරනායක බලයට පත්වූ වහාම අර එජාපයේ කලු සුද්දන්ගේ දෙපල රජයට පවරා ගැනීමට කටයුතු කලේය. විප්ලවයේ උත්කෘෂ්ට අරමුණු පක්ෂ දේශපාලනයේ ක්‍රෑර පළිගැනීමට පටු විය.

දේපළ පවරා ගැනීම ඔස්සේ සිදුවූයේ එකල ළදරුවියේ වූ ගමනාගමනය, ප්‍රවාහනය, වැවිලි කර්මාන්තය ආදී කර්මාන්තවල ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පැමිනි ආයෝජකයන් වෙනත් ආයෝජන කලාප සොයා ඉගිල්ලී යාමය. හොදම උදාහරණය තේ වගාවට 56 ආණ්ඩුව එල්ල කරන ලද තර්ජන හමුවේ පිටවී ගිය ආයෝජකයන් අප වෙනුවට කෙන් යාව තෝරගැනීමයි. 1960 වනවිට ලෝක තේ වෙළද පොළට ඇතුළු වූ කෙන් යාව අද ලෝක තේ වෙළද පොළේ අධිරාජ්‍යාය.

56 විප්ලව බලමුළුව සඟ, වෙද, ගුරු, ගොවි ,කම්කරු යනුවෙන් පංචමහා බලවේගයක් වශයෙන් එකමුතුව සිටියද ඒ ඒ බලවෙගවල අති මූලික ප්‍රතිවිරෝධතා රාශියක්ම වුයේය. ඉඩම් හිමි බෞද්ධ භික්ෂු පරපුරක්ද ,,ඊට ප්‍රථිවිරුද්ධ වුවමනාවෙන් යුතු ඉඩම් ප්‍රතිසංස්කරනයක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ද, ගෝත්‍රික සීමාවෙන් පිටතට පැමිණීමට නොහැකිව ළතවෙමින් සිටි දේශීය වෙද මහතුන් පිරිසක්ද, නව ලිබරල මධ්‍යම පාංතික බලාපොරොත්තු සහිත වූ ගුරුවරුන්ද, සමාජවාදී බලාපොරොත්තු සහිත වූ කම්කරුවන්ද මෙම පංචමහා බලවේගය තුල වූයේය. එකමඟ ගමන් කළත් ඊලග මොහොතේ පුපුරා යාමේ විභවයක් මේ පංචබලවේගය තුළ වූයේය. එකිනෙකට පටහැනි වුවමනාවන් සහිත මෙම බලවේග ප්‍රවේශමෙන් හසුරුවා ගැනීමට නායකත්වයට නොහැකි වුවහොත් සිදුවන්නේ නායකත්වය පෙරළා දමා එම බලවේග පෙරට පැමිණ තම පටු වුවමනාවන් ඉටු කරගැනීමට යත්න දැරීමකි. ඒ අර්තයෙන් බලන විට බණ්ඩාරනායක මහතාට භික්ෂුවක් වෙඩිතබා ඝාතනය කිරීම විස්මයක් නොවන්නේය.

2012/09/23

පිලිපීනයේ ආඩම්බරකාර තාත්තා...


පිලිපීනයේ ආඩම්බරකාර තාත්තා... 

වෘත්තියෙන් නීතිඥයකු වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් 1965 වසරේ බලයට පත්වූයේ පිලිපීනය යලි අත්තිවාරමේ සිට ගොඩනගන බවට ජනතාව ඉදිරියේ ශපත කරමිනි.ඔහුගේ මැතිවරන ව්‍යාපාරයේ මුඛය පාඨය වූයේ යහ පාලනය නම් මල් දමින් සරසා පිලිපීනය ආසියාවේ මිණිකිරුල බවට පත් කරන බවය.

 ඇමෙරිකාවට අතිශය ගැති පිලිවෙතක වූ මාකෝස් බලයට පත්වූ විගස ලෝකයේ හතර අතින් ඩොලර් කෝටි ප්‍රකෝටි ගනනින් ණයට ගත් අතර ඒවා යෙදවූයේ සෘජු ප්‍රතිලාභ නොමැති මුත් කොමිස් ගැසීමට කප් රුකක් වන්වූ අධිවේගී මාර්ග තැනීම හා බල ශක්ති වයාපෘති සදහාය.ඒ අනුව කි.මි 15000 අධිවේගී මාර්ග නිමකල අතර ප්‍රදේශ 16ක ජලවිදුලි සහ ගල් අගුරු බලාගාර තනා විවිධාකාරයේ මාධ්‍ය සංදර්ශන තබමින් ජන මාධ්‍ය හරහා එයම යලි යලිත් අතිශයොක්තියට නැංවීය. නමුත් විදේශයන්ගෙන් ගත් ණය ගෙවීම සදහා වූ සහන කාලසීමා අවසන්ව එය මුහුකුරා යත්ම ණය අඝාධයක රාජ්‍ය සිරවී තිබුනි.ඒ අනුව ණය පියවීමට තවත් ණය ගත් අතර ආයෝජනය හා අත්‍යවශ්‍ය සේවා සැපයීමට ඉදිරියේ භාන්ඩාගාරය හිස්ව තිබුනි.

මුදල් සෙවීමට විකල්පයක් ලෙස සංචාරක ව්‍යාපාරයට අත ගැසූ මාකෝස් පිලිපීන රජය සතුවූ වටිනා ඉඩම් කුනුකොල්ලයට විදේශිකයන්වෙත විකිනීම ඇරඹීය.ඉන්පසු පිලිපීන් දූපත සමූහය පුරාවට සංචාරක හෝටල,තට්‍ටු නිවාස,ලොව විශාලතම සුපිරි වෙලද සංකීර්න ,කැසිනෝ මාලිග ගොඩනැගුනු අතර බුරුතු පිටින් විදෙශිකයන් පිලිපීනය වෙත ආකර්ශනය විය.ගනිකා වෘත්තිය නිදහසේ කරගෙන යාහැකි තවත් එක් වෘත්තියක් ලෙසට පිලිපීන් දූපත් පුරා ක්‍රියාත්මක විය. පාතාල මැහෙයුම් හා මත්කුඩු ජාවාරමේ තිප්පොලක් බවට පිලිපීනය පත්විය. ආදායම් බෙදීයාමේ විශම භාවය තුල අග්‍රස්ථානය පිලිපීනයට හිමිව තිබුනි. 

ජනතාව පියවි සිහියට පැමිනියේ එකල්හිය නමුත් ඒ වනවිට ඔවුන් බොහෝ ප්‍රමාදය. ඒ වනවිට රට ගොඩ ඒමට නොහැකි ණය උගුලක සිරවී තිබූඅතර මාකෝස්ගේ නෑ හිතවතුන් හා අන්ඩුවේ කොටස්කරුවන් ධන කුවේරයන් බවට පත්ව තිබුනි. ජනතාව දුගීබවේ පත්ලටම ගොස් තිබුනි.අධිකරනය, සෙනෙට් සභිකයන්, ජනමාද්‍ය මාකෝස්ගේ අතකොලු බවට පත්ව තිබුනි. දුක් විදින ජනතාව වෙනුවෙන් හඩ නැගීමට කිසිවකු නොවීය.එහි කෙලවර වූයේ ලොව දූෂිතම පලකයකු සේ ගැනෙන මාකෝස් 20 වසරක් පුරාවට රටේ සාරය උරා බී එහි අනාගත පරපුරද බෙලහීන අනාථයන් පිරිසක් බවට පත් කිරීමය. රටේ නීතිය සහ සදාචාරය මිය යාමය. මේ යහ පාලනය නම් මල් දමින් සරසා පිලිපීනයආසියාවේ මිණිකිරුල බවට පත් කරන බව කියු රාජ්‍ය නායකයෙකුගේ කෙරුවාවය.
(කරුණාකර දේශයට සාපේක්ෂව නොකියවන්න. )

         පසු සටහන. 

මාකෝස්ගේ දුෂනයට හා භීෂනයට එරෙහිව පලමුව නැගී සිටියේ එරට විශ්ව විද්යාල සිසුන්යනමුත් ලෙයින් සහ යකඩින් සිසුඋද්ගෝෂන යටපත් කල මාකෝස් රජයට එරෙහිව නැග එන ජනබලය මැඩලීම සදහා ඔහුගේ ආරක්ෂක ලේකම් වූ අර්න්ස්ටො මාටා යටතේ වෙනමම ඒකකයක් පිහිටුවා තිබුනිරටක විශ්ව විද්යාල සිසුන් යනු හුදෙක් කවර හෝ දේශපාලන පක්ෂයක රූකඩ සමූහයක්නොව අනාගතය පිලිබද හොද ඉවක් ඇති පිරිසකි

උපුටා ගැනීමකි. 

2012/09/21

. කඩවරලාගේ ලෝකය සහ අකුරැස්සේ සභාපති

කඩවරලාගේ ලෝකය සහ අකුරැස්සේ සභාපති 


මෙම ලිපියඅයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝවත් නැද්ද මෙමට යන හිසින් යුක්ත වූ 
මගේ පසුගිය ලිපිය හා සබැදෙන නමුත්,මෙම ලිපිය කියවීම සඳහා පසුගිය ලිපිය කියවා තිබීම අවශ්‍ය නොවේ. පැරණි සංස්කෘතික ලංකාවේ පැවති සමාජ විශ්වාසයන් සහ ඇදහීම් ගණනාවකි. බුදු දහම වැනි ඉතා දියුණු ආගමික දර්ශනයක් ලාංකීය සංස්කෘතිය සමඟ බද්ධව පැවතුනත් ප්‍රාථමික ඇදහීම් පැවතීමට බුදු දහම බාධාවක් නොවූවා පමණක් නොව එම විශ්වාසයන් හෝ ඇදහීම් බුදු දහම ඇසුරෙහි වක්‍රාකාරයෙන් තහවුරු කරගැනීම සඳහා බුදු දහම සමඟ එම විශ්වාසයන් සම්බන්ධ කරගෙන ප්‍රවාදයන් පවා ගොඩ නැගී තිබිනි. පසුගිය ලිපියෙන් සාකච්ජා කරන ලද  කඩවර දෙවියන් (ඇතැම් විට කඩවර යකු ) පිළිබදව වූ විශ්වාසයන්ද ඒ අයුරින් බුදු දම සමඟ නෑදෑ කමක් ගොඩනගා ගන්නට උත්සාහ කර තිබෙන ආකාරය පැහැදිලි වන්නේ ලංකාවේ උඩරට පළාතේ ප්‍රකටව තිබෙන වෙනස් අන්දමේ කතා පුවතකිනි.

බුදුන් නොමැති කාලයේ කඩවරගෙන් ස්ත්‍රීන්ට බොහෝ කරදර සහ අඩ්ම්තේට්ටම් සිදුවිය. මෙම තත්වය දුටු අළුත් නුවර දෙවියන්(උඩරට වාසීන්ගේ විශ්වාසය නම් අළුත් නුවර දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බුදුන්  වගයි. මෛත්‍රී බුදුන් ගැන වැදගත් ලිපි කිහිපයක් හසිතගේ ආගියකතා බ්ලොගියෙන් කියවන්නට පුළුවන්. ) කඩවරගෙන් ස්ත්‍රීන් බේරාගත යුතු යැයි සිතා ඔහුට දඬුවමක් දීමට සිතුවේය. කඩවර කැදවූ දෙවියන් කටු සහිත වෙවැල් රැහැනක් ඔහු අතට දී අසල තිබූ මහා පර්වතයක් පෙන්වා පසුදාට එළිය වැටෙන්නට ප්‍රථමයෙන් එම කටු වේවැලෙන් පර්වතය ඉරන්නට නියම කළේය. අසීමිත දුක්ඛදායී වෙහෙසක් දරා පසුදාට පහන් වන්නට ප්‍රථමයෙන් යාන්තම් පර්වතය ඉරා නිම කරන්නට කඩවරට හැකිවූහ. අළුත් නුවර දෙවියන් සමීපයට ගිය කඩවරයෝ තවත් නම් මෙවන් විපත් පමුණුවන්නට එපායැයි බැගෑපත්ව ඉල්ලා සිටියහ. එකල්හි දෙවියන් එසේ නම් තවත් මේ සක්වළේ නොසිට පලා යව යැයි කඩවරට අණ කළේය. එතැන් සිට මේ සක්වළෙන් පලා     ගියද  අවස්තාවක් ලද විගස මිනිස් ලොවට බැලුම් හෙළා මල්වර වූ දැරියකට වින කරන්නට කඩවර නොපැකිළෙයි. 

කඩවර ගොටුවේ කියැවෙන කවි සහ කෝල්මුර කවි සලකා බලන විට කඩවර යනු දෙවියෙක්ද නොඑසේනම් යක්ෂයෙක්දැයි ස්ථීර ව කිව නොහැක. උඩරට වාසීන්ගේ පිළිගැනීම නම් කඩවර යක්ෂ සේනාවක් පිරිවරා ගත් දෙවියෙක් බවයි. ඒ කෙසේ වෙතත් කඩවර උපත පිළිබදව කිනම් ආකාරයේ ප්‍රවාද නිරමාණය වී තිබුණත්   කඩවර පිළිබඳව එක් පොදු විශ්වාසයක් නිරීක්ෂණය කළ ,හැකිවෙයි,ඒ නම් කඩවර යනු මල්වරවූ නොඑසේනම් වැඩිවියට පත්වූ තරුණ කාන්තාවන්ට  වින කරන බලවේගයක් වශයෙන් වැව් රට ,,උඩරට මෙන්ම පහතරටද පොදු විශ්වාසයක් පැවතීමයි. 
කඩවර දෝශය නැති කිරීමට යකදුරෝ දොළ පිදේනි දී ශාන්ති කර්ම සිදුකරති ..ගොම්මන් කාලයේදී කඩවර පළවා හැරීම සිදුකරන්නේ පිරිමි පක්ෂයයි. පුවක් කොළෙන් තැනූ කඩවර ගොට්ටේ හත් මාළුව තබයි. හත්මාළුව මෙසේය. 

  • රත් තම්පලා 
  • කොස් ඇට 
  • වට්ටක්කා 
  • වට්ටක්කා දළු 
  • රතුඅල 
  • අමු කෙසෙල් (හත් මාළුවට අයත් වන අනෙක් වෑංජනය කුමක්දැයි නිවරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ නිසා මෙහි සඳහන් නොකළෙමි .)


.කඩවර ගොට්ටට හත් මාළුව පමණක් නොව බත්, පුළුටු පස් පංගුවක් ,,සහ කී රොටී (පිටි,පොල් හා ලුණු වතුර පමණ්ක් උපයෝගී කොටගෙන සාදන රොටී විශේෂයක් .)ආදියද තබනු ලැබේ. ඇතැම් පළාත් වල කඩවර දොසින් පෙළෙන දැරිය දොරකඩ හිදුවා ඇය ඉදිරියේ තබන ලද වංගෙඩියක් මත කඩවර ගොටුව තබා කවි කියමින් යකුන් හඩගසා පිදේනිය දී උන් පළවා හරිති. 

කඩවර දෙවියනි දිවැස් හෙළන්නේ
 කඩවර දෙවියනි යක්කු නටන්නේ 
යකා සමග මම යන්ට බලන්නේ
 කඩවර දෙවියනි පිටසක යන්නේ 
ඒ දෙවිඳුන් මම මරවා ගන්නේ 
මම තෝ කිය දමලා යන්නේ
 මගෙන් දොසක් තිබ්බොත්,
 මම මරලා යන්නේ.. 

මේ සදහන් කරනු ලැබූවේ කඩවර යකුන් පළවා හැරීම සදහා යොදා ගන්නා එක් පැදි පෙළකි. 


කඩවර පිළිබද විශ්වාසය මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්.... 

කඩවර පිළිබඳ විශ්වාසය මානව විද්‍යාත්මක විමසා බැලූ විට එය වැඩිවියට පත්වූ තරුණියන්ගේ ආරක්ෂාව අපේක්ෂා කරමින් ගොඩනැගුණු සංකල්පයක් බැවු පැහැදිලි වේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව් දක්වා අභරණින් සැරසුණු තරුණියකට නිදහසේ ගමන් කළ හැකියැයි විශ්වාසයක් වූවත් අතීතයේ පවා තරුණියන්ට අතවර කරන අකුරැස්සෙ සභාපති පන්නයේ පුද්ගල චරිත හිඟ නොවන්නට ඇත. දියමංකඩදී ,,බැද්දේදි, ගමනේදී හුදකලාවූ විට එවැනි අපගාමී පුද්ගලයන්ට තරුණියන්ට විපත් පැමිණිවීමට ලැබෙන ඉඩකඩ බොහෝ වැඩිය. නමුත් මෙවැනි විශ්වාසයන් පවතින විට තරුන දැරියන් හුදකලා නොවෙයි.

එමෙන්ම මල්වරය වැනි ජීවිතයේ කඩයිම් අවස්තාවල මිනිස් සිත තුළ බිය, තිගැස්ම ,,සතුට, ප්‍රහර්ෂය වැනි හැගීම් පිරී ඉතිරී යයි. මල්වරයෙන් උදාවන නව තත්වයත් සමග දෙමාපියන්ට නෑදෑයිනට දැරියට ආරක්ෂාව, රැකවරණය සැපයීම පිළිබදව බැරෑරුම්ව සිතන්නට කඩවර සංකල්පය උපකාරී වෙයි.එම වගකීම් වඩාත් හොදින් සමාජය තුළින්ම නිෂ්පන්න වූ මෙවනි සංකල්ප ඕනෑම සමජයක දකින්නට පුළුවන. සිංහල ජන සමාජය තුළින් උපත ලද මෙවනි විශ්වාස හා සංකල්ප මගින් සමාජපාලනය කිරීම සදහා ඉටු කරනු ලැබූ කාර්යභාරය අතිමහත් වේ. . 

2012/09/10

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට 


ලාංකීය සංස්කෘතිය පිරික්සන විට දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයක් වන්නේ මෙරට මහා සංස්කෘතිය සමඟ බැදුණු බෞද්ධ විස්වාශයන් තිබියදී වෙනත් ආගමික විශ්වාසයන් හා බැදුනු සිරිත් විරිත් පැවතීමයි. මෙම ලිපියට පාදක වන්නේ වැඩිවිය පැමිණි ගැහැනු දරුවන් හට විපත් පමුණනවා යැයි ගැමියන් විශ්වාස කරන කඩවර යකු හෙවත්  කඩවරයා පිළිබදව විචාරාත්මක විමසීමක යෙදීමයි. 
මල්වර වූ දැරියක් දියමංකඩක, බෑද්දකදී, ගමනකදී හෝ නින්දේදී තනි වුවහොත් ඇයට කඩවර යකු බැල්ම හෙළන බවත් එසේ වූ විට ඇයගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වන අතර ඇය විවාහ වූ විට දරු උපත්ද වළකා ලන බව ගැමියන්ගේ විස්වාසයයි. මේ නිසාම කඩවර යකු පිළිබඳව බියමුසු ගෞරවයක් ගැමි සමාජය තුල මෙම විස්වාශය නිසා නිතැතින්ම ඇතිවී තිබිණි. 

කඩවරගේ විවිධ වේශයන් ඇතැයි සලකන අතර වැවු ගම්වාසීන්ට අනුව නම් කඩවරගෙ වේශයන් පහකි. නැත්නම් පස් කට්ටුවකි. ඒ මෙසේය. 

  • කලා කඩවර (සෙනෙවිරත්න කඩවර )
  • මල් කඩවර 
  • කුමාර කඩවර 
  • දළ කඩවර 
  • පුළුටු කඩවර    

මෙයින් මුල් තිදෙනා දෙවිවරුන් වශයෙන් සැලකෙන අතර අනෙක් දෙදෙනා යකුන් ය ..මල්වර වූ කාන්තාවන්ට ලෙඩ කරවනුයේ දළ කඩවර සහ පුළුටු කඩවර බැවු වැව් ගම්වාසීන් විස්ව්වාස කරයි. කඩවර උදෙසා කරන ශාන්ති කර්මයේදී පුළුටු ගොටුව දෙනු ලබන්නේ එම දෙදෙනාටය. උණ වැනි අසනීපයකදී ද කඩවරට ගොටුවක් දීමට වැව් ගම්වාසීන් පුරුදුව සිටියි. කඩවර ගොටුවා පුදදිය යුතු ආකාරය ගැන කඩවර ගොටුවේ කවි වල සදහන්ව ඇත්තේ මෙසේය. 


දෝතින් මැන සහලින් දෝතක් ගෙන --කසාදියේ සහලුත් නහවාගෙන
මුකවාඩම් බැද බත් පිසවාගෙන --මේ ලෙස කඩවර ගොටුව සදාගෙන
මාළු හතක් රත් ඇඹුලක් ගන්නේ --පුළුටු පසක් රඹ කැන් අරගන්නේ
පස් පැණි පස් තෙල් කැවිලි පුදන්නේ --මේ ලෙස කඩවර ගොටුව පුදන්නේ 


වැව් ගම්වාසීන් කඩවර තමන් හට වින කෙරුවත් ඔහු තම ආරක්ෂකයා ලෙස සළකනු ලබයි. කඩවර ප්‍රධාන පන්තියේ දෙවියෙක් මෙන්ම හැටහත් කට්ටුවක් වන බණ්ඩාර දෙවිවරුන්ගේද නායකයා වන බැව් ඔවුන්ගේ මතයයි. 
පහතරටදී කඩවර හත් තට්ටුවකි. නොවෙසේනම් කඩවරගේ වේශයන් හතකි ..පහතරට තොවිල් වලදී තටු දෙනු ලබන්නේ කඩවර දෙවියෙක් වශයෙන් නොව යක්ශයෙක් වශයෙන් සලකාගෙනය. පහතරට කඩවර හත් තට්ටුව මෙසේය. 

  • අදුන් කඩවර 
  • සඳුන් කඩවර 
  • මල් කඩවර 
  • පුළුටු කඩවර 
  • ලේ කඩවර 
  • ගොපලු කඩවර 
  • කම්බිලි කඩවර 

ලේ වලට කෙළින්ම සබඳතාවයක් දක්වන නිසා මල්වර දැරියන්ට විපත් ගෙන එන්නේ ලේ කඩවර විය හැකියැයි විශ්වාස කළ හැකිය. කම්බිලි කඩවර නම් යකු එක රැයකට ලේ ගොටු හතක් බොන බැව් කඩවර ගොටුවේ එන මේ කවියෙන් පැහැදිලි වේ.


කළුනික ගහයට උපත අසන්නේ --කළුකඩවර නම එදයි උපන්නේ 

කළුවන් හැට්ටය දෙවුර දරන්නේ --කළු කම්බිලි දිස්ටියට වරෙන්නේ 


දළ කඩවර විකාර රූප ඇත්තේකි. බොල්ලෑ දත් ඇති බඩ මහත කෙළ තොල්ලෙකි. ඔහුගේ කට ඇදය,හිස හැඩපළු ගෙතී ගොසිනි. දෙදළ වකුටුය. ඔහු ඉන් රීරි උරා බොයි. මොලැකැටි අගනුන් ලෙඩ කරවයි. 


මුල පෙළපත ඇසුවෝතින් දළ කුමරුගෙ උපතෙ යකා

 කෙළ තොලු බොල්ලෑ දත් ඇති බඩ ලොකු අවතාර යකා

 මොලකැටි අඟනුන් දැක ලෙඩ කරවයි මෙවනි යකා 

දළ කඩවර බත් ගොටුවට එන් දළ කඩවර මෙයකා 


කඩවර උපත පිළිබදව විවිධ පන්නයේ ජනප්‍රවාද පවතින අතර වඩා ප්‍රකට සහ යතාර්ථවාදීව පිළිගතහැකි පන්නයේ කතාන්දරය වන්නේ කඩවර කංකාරිය කරවන්නන් අතර ප්‍රකට පහත කතාවයි. 

කඩවර රජරට ප්‍රදේශයේ විසූ දුප්පත් ගැමියෙක් විය. හෙතෙම දිනක් කොකෙක් මරාගෙන ආවේය. බිරිඳ කොක් මස් පිළියෙල කළාය. කුමක් හෝ හේතුවකට ආහාර ගන්නා අතර දෙදෙනා අතර දබරයක් ඇතිවිය. බිරිය ස්වාමියාට මස් හට්ටියෙන් දමා ගැසුවාය. හට්ටිය බිදී ගොස් එහි ගැට්ට කර මාලයක් පරිද්දෙන් ඔහුගේ කර වටා එල්ලුනේය .අසල්වැසියන්ගේ සරදම් ඉවසා ගත නුහුණු තැන කඩවර වනගතවිය.කැලයේ මුව රංචුවකට එක්ව කැලෑ කොළ කමින් අවුරුදු දොළසක් කැලයේ ගත කළේය. රජගෙදරට මස් සපයන වැද්දා මේ මිනිසා ගැන දැන සිටියේය. වැද්දා මගින් , කැලයේ  හුදකලාව වාසය කරනා මේ මිනිසා ගැන රජතුමාට දැනගන්නට ලැබුණි. ඔහු කැලයේ මහා නිධානයක් රකින්නෙක් යැයි කවුදෝ රජතුමාට එත්තු ගන්වා තිබිනි. රාජ නියෝගය පරිදි අල්ලාගෙන එනු ලැබූ අහිංසක කඩවර තමන් දන්නා එකම නිධානය කලවැලකින් වටවූ මහ වන මැද වූ විසාල ජල කදක් පමනක් බව පවසා සිටියේය. පසුව පරික්ෂා කිරීමේදී එම මහා ජල කද දැක ගන්නට ලැබුණු අතර එම ජල කඳ මැදි කොට විශාල වාරිකර්මාන්තයක් ආරම්භ කළ හැකි බැවු රජතුමාට පෙනී ගියේය. කඩවරගේ ප්‍රධානත්වයෙන්ම වැව කර්මාන්තය නිමා කළ රජු වැවේ භාරකරුවා ලෙස ඔහුම පත් කලේය. එම වැව කලාවැවයි. 

මෙලෙස වැවක භාරකරුවා වූ කඩවර රටේ බලවත් ප්‍රධානියෙක් බවට පත්වූයේය. රාජ ඇසුර ලබමින්' කලා සිටානෝ' ලෙසින් ප්‍රකටව සව්සපිරිව දිවි ගෙව්වේය. 

එහෙත් කැලයින් අල්ලාගෙන ආ මේ 'වල් සතා' මෙබදු තත්වයකට පත්ව සිටීම නොරිසි උන් ද සිටියේය. ඔවුන් කලා සිටාණන් රජු කෙරෙහි බිදවීමට සිතුවත් එය සාර්ථක නොවූයේය. එහෙත් කලක් ගෙවී ගිය විට ඔවුනට අවස්තාවක් උදාවූයේය. 

එක් නියං සායකදී වැව සිදී ගියේය. වැසි පතා පිරිත් ස්ජ්ජායනා කිරීම එවැනි අවස්ථාවල සිරිතය.  .පිරිත් දේශානා කරන විට වැසි ඇරඹෙයි. වැසි වැස වැව පිරී යන විට පිරිත් සජ්ජායනාව නවතා දමයි. වැව පිරී යන බැව් දන ගන්නේ වැවේ ජල ධාරිතාව පරිමානයෙන බලා ගත හැකි මැටි කොරසක් මගිනි. කොරස පිරී යන විට වැවද පිරී යන බැව් දන ගනියි. 

කලා සිටාණෝ ගේ සතුරන් පිරිත දේශනාවට සහභාගි වන්නට පැමිණි මහලු සඟුන් කෙනෙකුන් රවටාගෙන ඒ භික්ෂුවගේ උපකාරය ලබගත්තේය. සැරයටියක උපකාරයෙන් පිරිතට වැඩම කල භික්ෂුව කොරහ සිදුරුව යනසේ සැරයටියෙන් අනිමින් පිරිතට වැඩම කළේය. 

පිරිත ඇරඹිණ, මද වෙලාවකින් වැස්සද ඇරඹිණ. එහෙත් කොපමණ වැස්සත් කොරහ පිරී නොගියේය. එම නිසාම වැවේ ජල පරිමාව නිශ්චය කරගන්නට සිටාණන්ට නොහැකිව ගියේය. වැවබිදී ගියේය. තම ප්‍රාණ සමානව වැවට පෙම් බැද සිටි කලා සිටාණෝ එය ඉවසා ගත නොහැකිව වැවටම පැන දිවි නසා ගත්තේය. ශෝකයෙන් සහ කෝපයෙන් මියගිය ඔහු කඩවර යකු ලෙස ඉපදී භික්ෂූන් සැට නමකගේ ලේ බිවු බව ජනප්‍රවාදයෙහි සදහන් වෙයි. 
කෝල්මුර කවි වල එම සිදුවීම මදක් වෙනස්ව වුවත් මෙසෙ දැක්වෙයි. 


අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට

 හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එ කඩ වළට

 කඩ වළ පැනලා නැසුනට කඩවර නම යෙදුණි ඔබට

 තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට 


කඩවර පිළිබදව තවත් වැඩි විස්තර ඊළඟ පෝස්ටුවෙන් කියවමු.