Google+ Followers

2012/12/26

-බත්ගම ඇනෝවෙකුගේ සටහන්-.

පද්දන් සැබැවින්ම කුලහීනයන්ද ?


මෙම ලිපිය තරමක සුවිශේෂී එකක්. ඒ කාරණා කිහිපයක් නිසා. පළමුවැන්න මෙය තනිකරම මගේ ලියැවුමක් පමණක් නොවෙයි. දෙවැන්න මේ පෝස්ටුව ගොඩනැගෙන්නේ මගේ එක් පෝස්ටුවක ගොඩනැගුණු සංවාදයක් ඔස්සේ. ඒ වගේම මෙහි අතුරු රචකයා මමද නොදන්නා ඇනෝ වරයෙක්. 



ලංකාවේ කුල සම්ප්‍රදායන් පිළිබඳව ලිපිපෙළක් ලියන්නට මගේ අතිමහත් බලාපොරොත්තුවක් තිබුණා. පළමුවැන්න ලිව්වා 'ඔබ ගොවිගමද, පද්දෙක්ද ,කරාවෙක්ද' යන නමින් .එම පෝස්ටුව මේ තාක් කාලයක් මා ලියූ ලිපිවලින් නිතරම බොහෝ දෙනා පරිශීලනය කල ලිපියක් වූවා. හදිසියේම මේ මෑතකද ඉහත පෝස්ටුව වෙනුවෙන් ඇනෝ සහෝදරයකු එක්කළ කොමෙන්ටුවක් නිසා මේ සංවාදය මතුවූවා. ඔහු මතුකරන ලද කාරණාවන්ගේ ඇති සාතිශය වැදගත්කම නිසාම මේ කාරණාව මුල් කොටගෙන සංවාදයක් ඇති කළ යුතු යැයි මම කල්පනා කරා. එවන් සංවාදයකට ඉඩකඩ තිබේදැයි සැක සහිත වුවත් මෙය කළ යුතුම කාර්‍යයක් යැයි මට සිතෙනවා.



ඇනෝ සොහොයුරාගේ තර්කය වූයේ ලංකාවේ කුල වර්ගීකරණ්යේදී පහත් කුලයක් වශයෙන් සැලකෙන බත්ගම හෙවත් පදු කුලයේ ප්‍රභවය සොයා බැලුවහොත් ඔවුන් පහත් කුලයක් වශයෙන් සලකන්නට නොහැකි වන බවයි. 




ඇනෝ සටහන 

බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ)

මෙම කුලය සේවා කුලයක වර්ගකිරීම නිවැරදි වෙන්න පුළුවන් (ඒ මතු දැක්වෙන කාරණයත් සේවාවක් නිසා). නමුත් ඔවුන්ගේ රාජකාරිය සේවකයෝ/බර උසුලන්නෝ නොවෙයි. 
ඔබගේ වර්ගීකරණය තුල සිංහල වෛද්‍යකර්මය (සිංහල වෙද්දු) කල අයවලුන්ට තැනක් හෝ කුලයක් නැහැ. 
නමුත් ඇත්තම ඇත්තනම් බත්ගම (බත්ගම තේරුම- රජුගේ බත් වැඩීමයි/ එයත් වෙදකමේම කොටසකි, ගොවිගම තේරුම- රජුට ගොවිතැන් කිරීමයි), එහෙම නැත්නම් පද්දන්ගේ කුලයට අයිති රාජකාරිය තමයි වෙදකම. ඔබ පාරම්පරික(සුද්ද) සිංහල වෙදකම කරන (ආයුර්වේද උපාධි තියන අය නොවේ) පුද්ගලයන් පිළිබඳව සොයා බලන්න, අඩුමතරමින් ඔවුන්ගේ මුල බත්ගම (පදු). (බත්ගම පහල යන්න හේතුව සාරාංශයක් ලෙස- රජකු යුදයට ගොස් දිනූවිට රතු කොඩියද පැරදුනවිට කළු කොඩියද ඔසවන බව මාලිගයට කියා යුදයට ගොස් ඇත. ඔහු යුද්ධයෙන් දිනා රතු කොඩිය ඔසවන ලෙස විශ්වාසී වූ බත්ගම සේවකයකුට පවරා ඇත. යුද්ධයෙන් දිනු සතුටට හා බිවූ ජයපැන් මතට ඔහු ඔසවා ඇත්තේ කළු කොඩියයි. එදා සිට බත්ගම කුලය කුල ධූරාවලියේ පහලට ගොස් ඇත. නමුත් කොන්කර නැත්තේ වෛද්‍යකර්මය අත්‍යාවශ්‍ය සේවාවක් වූ බැවිනි/ මෙම රජු කවුරුන්ද යන්න නොදනිමි)
වැඩිදුර විස්තර සඳහා ,බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි. 

මෙම සටහන මව් පිය දෙපාර්ශවයෙන්ම උරුම වෙදකම අහිමි 
(උගන්වන්නට පරම්පරා ගුරුවරයෙක් නැති) බත්ගමයෙක් 


මගේ පිළිතුර 

ඔබ සම්පූර්ණයෙන්ම බත්ගම කුලයේ හීනෝන්මාදයෙන් මෙම කරුණු එකතු කොට ඇති බැව් මට තේරුම් ගියේ කොමෙන්ටුවෙ අවසාන සටහන දැකීමෙන් පසුවයි. ඔබෙ කොමෙන්ටුවේ යම්කිසි තාර්කික ස්වභාවයක් තිබුණා නම් පසු හැදින්වීම මගින් එය අහෝසි කොට දමන ලදී. 

ඇත්ත වශයෙන්ම නම් ලංකාවේ කුල වර්ගීකරණය පිළිබඳව කිසියම් ගැටළුකාරී තත්වයක් තිබෙන බැව් මම පිළිගන්නවා. ඒ වගේම මාගේ ලිපියේ දක්වා තිබෙන කුල වර්ගීකරණය, ධූරාවලීගත කිරිම ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණයයි. එය කිසියම් පිළිගැනීමකට ලක්වූ වර්ගීකරණයක්. 
බත්ගම හෙවත් පදු කුලය ගැන කියනවා නම් මා ඒ පිළිබදව දන්නා අනෙක් කාරණාව වන්නේ එය ලංකාවෙ ගොවිගම සහ වහුම්පුර කුලයට පමණක් දෙවනි වන කුලය බවයි. 
සෝල්බරි කොමිසම හමුවේ සාක්ෂි දුන් බත්ගම සහ වහුම්පුර කුල සාමාජිකයින් තමන්ගේ කුල දෙකේ එකතුව ගත්විට එය මුළු සිංහල ජනගහනයෙන් තුනෙන් එකක් වන බව පවසා තිබෙනවාය යන්න ප්‍රකට කතාවක්. 

ඒ වගේම බලන්න කාලිංග ටියුඩර් සිල්වා ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය. 
බත්ගම -
-බත්ගම හෙවත් පදු කුලය සිහල කුල ධූරාවලියේ වඩාත්ම ආන්තික තත්වයක සිටියි. ඇතැම් ගණන් බැලීම් අනුව මේ කුලය ගොවිගම හැරුණු විට වඩාත්ම විශාල කුලය වන අතර සිංහල ජනගහනයෙන් 18% ක පමණ පිරිස මෙයට ඇතුළත් වෙති. ( jiggins1979 )    මෙය සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ. මේ කුලයට පැවරුණු රාජක්ලාරී අතර ප්‍රභූන් ගේ දෝලා ඔසවාගෙන යාම යුධ කටයුතුවලට සහභාගී වීම ඇතුළත් විය. 

මේ කරුණු බැහැර කළ නොහැකි ලෙස පෙනෙන්නේ ඔබ සදහන් කර ඇති ජනකතාවේ ද බත්ගම කුලයේ සේවකයා යුද හේවායෙක් වශයෙන් කටයුතු කර ඇති හෙයිනි. 
කෙසේ වෙතත් ඔබ මතු කල කාරණය ඉතාම වැදගත් ය. ලංකාවේ කුල වර්ගීකරණය තුළ සිංහල වෙදුන් ගැන සදහන් නොවීම යන්න ඉතාම වැදගත් සොයාබැලිය යුතු කාරණාවකි. 









ඇනෝ පිළිතුර  


පළමුවෙන්ම කිවයුත්තේ මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන හීනෝන්මාදයෙන් නොපෙලෙන බවයි. ඊට හේතුව බෞද්ධ දර්ශණයයි. 

(නචච්චා වසලෝ හෝති...../ වසල සූත්‍රය) 

නමුත් ඔබ කී ලෙස මෙම හීනෝන්මාදය හේතුවෙන් බොහෝ පිරිසක් නම, ගම හා පදිංචිය වෙනස් කර බත්ගම කුලයෙන් සැඟවී සිටිනබව මම පිළිගනිමි.

ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වා මහතාගේ ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය මා කියවා නැතිබවත් කියවන්නට අදහස්කරනබවත් නිහතමානීව කියා සිටිමි. 

රොබට් නොක්ස් ගේ ,එදා හෙල දිව, ට අනුව බත්ගම කුලයේ රාජකාරිය ගොවිතැන සහ යුධසේවය යි. නමුත් බත්ගම/ පදු නමින් කුලයක් ඇතිවීමට හේතුව තමන් නොදන්නා බව ඔහු එහි දක්වනවා. 

ඔබ ඉරිදා රිවිර පුවත්පතේ පළවන බුද්ධික කුරුකුලසූරිය මහතාගේ තීරුලිපි කියවා ඇතිනම්, ඇතැම් ලිපිවල සමහර කුල පිළිබඳ තොරතුරු එහි අඩංගුයි. නමුත් බත්ගම කුලය පිළිබඳ ලිපියක් එහි පළ නොවුනද, ඔහු සඳහන් කරන කුල (උදා.- කරාව/ කෞරව) පිළිබඳව සැලකීමේදී එම කුලවල ඉතිහාසය ජයවර්ධනපුර/ නුවර යුගවලින් එහාට (පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට) යන්නේ නැහැ. 

නමුත් මා අදහස් කරන්නේ බත්ගම කුලයේ ඉතිහාසය පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට වන යුග දක්වා විහිදෙන බවයි. (අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න) 

යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස පැවති (විජයාවතරණයට පෙර) සිව් හෙලයට අයත් ග්‍රෝත්‍රයක් බත්ගම කුලය ලෙස විකාශණය වූවා විය හැකියි. ආක්‍රමණිකයන් (විදෙස්/ විජය හා ඊට පසුව වන යුද ආක්‍රමණ සහ මහින්දාගමනය/ දුමින්දාගමනය වන ධර්ම ආක්‍රමණ) සමග පැමිණෙන පිරිස ප්‍රභූන් ලෙස සැලකුම් ලබද්දී තන්වැසියන්ට සිය ස්ථානය අහිමිවීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි. (ඉන්දීය ආයුර්වේදයට කලවම් නැති පාරම්පරික (සුද්ද) සිංහල වෛද්‍යවරු (සමහරවිට රාවණ ඉතිහාසය දක්වා විහිදෙන) අප ගම්වල වසර 2000 පමණ කාලය වනතුරු සිටියා. හැකියාව විකුණාගෙන කෑමට වූ නොහැකියාව නිසාම ඒ අය මිහිමත සැතපී ඇත. එම පරම්පරා වල කිසිවෙකුත් දැන් උරුම ශිල්පය නොදනී)

එසේත් නැතිනම් දුමින්දාගමනයත් සමග පැමිණි ශිල්ප ‍‍ශ්‍රේණි 18 ට මොවුනුත් ඇතුලත් වෙන්න ඇති. වෛද්‍යවරු පමණක් නොවේ, ලී වඩු ශිල්පීන් (වහල ගැසීම හා වඩු වෑද්දුම් ලෙස වෙන් වෙන්ව) ලේඛන ශිල්පීන්, ගල් වඩු ශිල්පීන්, දෛවඥයින්, විහාර තේවා ශිල්පීන්, යුධ ශිල්පීන්; අංගම් ආදී ලෙස බත්ගම කුලයේ කාර්යයන් විහිදී යනවා. ඒ ඒ පාර්ශවයන්ට අදාලව වෙන් වෙන් ලෙස වාසගම් ද දැකිය හැකියි (වාසගම් මෙහි නොදක්වමි; අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න).

"සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ" මෙය ඔබගේ හැදින්වීමකි, එසේම එය සත්‍යයක් ලෙසම මම ද දකිමි. ඊට හේතුව ඔවුන් කාගේවත් මෙහෙකරුවන් හෝ දාසයන් නොවූ නිසයි. බලය ඇත්තා බලය නැත්තා පාගා දමන වැඩවසම් සමාජය තුල ඔවුන් කොන් කර දමන්නට ඇත/ නමුත් එම සමාජයටම අත්‍යාවශ්‍ය සේවාවන් සපයන නිසා ආන්තික තත්වයකට පත්කලද කොන් නොකරන්නට ඇත.





නැවත ඔබව වර්තමානයට කැදවමි, 

අනුරාධපුර පූජා නගරයට එන්නට ආරාධනා කරමි.
ඉසුරුමුණියට පිවිසීමට පෙරසිට කලාපයෙන් අරඹා ශ්‍රී මහා බෝධිය දක්වා වන කලාපය විමසිලිමත්ව බලන්න. 
‍‍'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව (මහ මළුවේ අනුමැතියෙන්) ඉවත් කරන ලද සංඝාරාම, විශ්‍රාම ශාලා කොපමණ දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි. 
'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව ඉවත්කරන්නට තැත් දැරුණු , පසුව උත්සාහය ඉවතදමා ක්‍රියාන්විතය නවතාදමන්නට සිදුවුණු විහාරස්ථානයන් ද්විත්වය පිළිබඳවද ඔබ දන්නවා ඇතැයි සිතමි. 
ඒ විහාරස්ථානයන් ඉවත් කිරීමට (ඉවත් කරවන්නට) උවමනා වූ සැබෑ හේතුව ලෙස මම දකින්නේ, ඒවායින් එකක් ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකායට අයත් නොවන වෙනත් (රාමඤ්ඤ) නිකායට අයත් බත්ගම (උඩරට පදු) කුලයෙහි උපන් භික්ෂු නායකත්වයකින් ඇරඹි භික්ෂු පරම්පරාවකට අයත් නිසාය. අනෙක ගැන මම නොදන්නා නිසා සඳහන් නොකරමි. 
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශණාකොට පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකොට පෙන්වා වදාලද, ලංකාවේ ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකාය තුල පැවිදිවන්නට නම, ගම නොසැඟවූ බත්ගමයකුට හැකිද? නොහැකිය. 
ඔබව වර්තමානයට කැදවීමේ සිට මේ දක්වා තොරතුරු මා පෙළගැස්වූයේ පහත දක්වන කාරණයට හේතුවක් පෙන්වන්නටය. 
එයනම්, “බත්ගම කුලයට අයත් ජනතාව අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවතීගෙන එන තන්වැසි ජනතාවකි. ඔවුන්ගේ උරුමය ලබාගන්නට / මතුකරගන්නට ඉඩදීමක් නැත, පාලකයන් බලහත්කාරයෙන් ඔවුන් යටපත් කරයි “ ලෙස දක්වමි. 

ඔබ කුල ධූරාවලීගත කිරිමට ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණය යොදාගෙන ඇත. 
එතුමා මෙම වර්ගීකරණය කිරීමේදී පිළිපදින ලද නිර්ණායක පිළිබඳ දැනුමක් මට නැත. 

නමුත් සමාජය තුල බලය අත ඇති පිරිස බලය නැති පිරිස් යටපත් කරගෙන සිටීම හේතුවෙන් වාර්තාගත වන්නේ බලය අත ඇති පිරිසට අවශ්‍යය කරුණු මිස සත්‍යය නොවේ. (වර්තමාන මාධ්‍ය දෙස බැලීමෙන් ඔබට මෙය සනාථ කොට ගත හැකිය/ ප්‍රචාරය වන්නේ සත්‍ය නොවේ, මාධ්‍ය හිමිකාරීත්වය එය තමන්ගේ දේශපාලන දැක්මෙන් දකින අයුරුයි) 




ඔබට තවත් හෝඩුවාවක් දෙන්නෙමි. 

ඩී. එස්. සේනානායක මහතා ගොවි ජනපද පිහිටුවන ලදි. ඒ රජරට ද ඇතුලත්වය. 
බත්ගම ජනතාව ගොවි ජනපද වල සිටිති, ඒ ඩී. එස්. සේනානායක මහතා ඔවුන්වද ජනපදගත කල බැවිනි.
ඔබට සෙවිය හැක, ඔබ රජරට සිටින නිසා,
සොයන්න, විමර්ෂණය කරන්න, , ගවේෂණය කරන්න...... 
සැබෑම වූ සත්‍යය (කාට හෝ බලය පවත්වාගැනීමට විකෘති නොකරන ලද) කුමක්ද කියා....
අවසන,
ඔබ සොයාගනු ඇත,
සත්‍යය, කුමක්ද කියා, 
කෙටියෙන් ලියමි එය, 
සම්, මස් , නහර, ඇට, ඇටමිදුළු වලින් සෑදුන මිනිස් ජීවයට,
ගොවි, පදු, කරා, හකුරු ලෙස කුලයක් සොයා ගත නොහැක,
පිරිමි සහ ගැහැණු
ලෙස මිනිසුන් වර්ගකල හැකි බව පමණක්.........

-වැදගත්-
බත්ගම කුලිකයන් හීනෝන්මාදයෙන් පෙළීම යනු සමාජ සම්මතකොටගත් නිගමණයකි.
එය අනෙක් කුලිකයන් උසස්කොට දැක්වීමටම ඔවුන්ගේම නිර්ණායකයකි. ඔබ එම සම්මතය කරපින්නාගත් අයකුලෙස හැගේ.
මතක තබා ගන්න. ලංකාව යනු ථේරවාද බෞද්ධ රටක් බව (ඔබ බෞද්ධ‍යකුදැයි මම නොදන්නෙමි) ථේරවාදයට කියන්නේ හීනයානය කියාය. ඒ මහා (උසස්) යානයක් ඇති නිසාය. 
එනයින් අපි පහත් / හීනෝන්මාදය ඇතිකොටගතයුතු ආගමක් අදහන්නන් වෙමු.
නැවතත් කියමි, මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන මම හීනෝන්මාදයෙන් නොපෙලෙන්නෙමි. අනෙක් පිරිස ගැන මට කියන්නට දෙයක් නැත. 
උරුම ශිල්පය නොලැබීම ගැන දුක්වන අය සිටින්නේ මා පමණක් නොවේ. 
අවසාන වශයෙන් කරුණු දෙකක් සටහන් තබමි. 
1. විදේශගත සිංහල ජාතික බටහිර වෛද්‍ය වෘත්තිකයෙක් (දළදා මාලිගාවේ පෙරහර මංගල්ලයට නැටුම් වලට අදාල පරපුරක පුහුණු ශිල්පියෙක්) තවමත් පෙරහර මංගල්ලයට ස්වකීය වියදමින් පැමිණ තමන්ගේ පාරාම්පරික උරුමය ඉටුකරන බව අසා ඇත්තෙමි (නමුත් ඔහු කවුරුදැයි නොදනිමි); මෙය තමන්ට උරුම ශිල්පය හිමිවීම ගැන ඇති සතුට මිස අන්කවරක්ද? (මෙයින් මා අදහස් කරන්නේ පරම්පරා උරුමය/ රැකියාව අඛන්ඩව පවත්වාගෙන යා යුතුය කියන වැඩවසම් අර්ථ ක්‍රමය ගැන නොවේ. පරම්පරා උරුමය ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනය තුල හැකියාවෙන් යා හැකි උපරිම දුර ගියද අවශ්‍ය විටක පරම්පරා උරුමය භාවිතාකොට මව්බිමට අවශ්‍ය සේවය ලබා දීමයි) 

2. කොටි ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගසා එය විනාශකල කාලය ඔබට මතකඇතැයි සිතමි. පසුව එය ප්‍රතිසංස්කරණය කලේ බටහිර තාක්ෂණයෙන් නොව දේශීය තාක්ෂණයෙන් බව ඔබ නොදන්නවා ඇතැයි සිතමි. (මෙම උරුමය සංරක්ෂණය භාරව සිටියේ ඒ පිළිබඳව ප්‍රමාණික විද්වතකු වන මහාචාර්ය ගාමිණී ජයසුරිය මහතාය/ නම පිළිබඳව මාගේ මතකය නිවැරදි නැත).
අස්ගිරි, මල්වතු මහනාහිමිවරු සහ දියවඩන නිළමේතුමාගේ මගපෙන්වීමෙන් විවිධ ක්ෂේත්‍රවලට අයත් දේශීය දැනුමෙන් සන්නද්ධ පිරිස් රට වටෙන්ම සොයාගෙන සියළුම කටයුතු තිබූ පරිද්දෙන්ම නැවත ජාතියට උරුමකර දීමට ඔවුනට හැකිවිය. 
එම කාර්යයේ බල මහිමයෙන් , ඔබේත්, මගේත්, ජාතියේත් (අ)වාසනාවට මහාචාර්යවරයා රටිනුත් පිටකර ඇත. ශිල්ප ශ්‍රේණි සී සී කඩ විසිර ඇත. 
“ මෙම 2 කරුණ සඳහන්කලේ දළදා මාලිගාවේ ගල් වඩු වැඩ කල (බාස්වරු) පිරිස බත්ගමයන්/ පද්දන් වන බව මම හොදාකාරවම දන්නා බැවිනි”. මෙම දැනුමද තව නොබෝ දිනකින් රටට අහිමිවනු ඇත. මෙම ශිල්ප උරුම කරුවන් ලබාගන්නේ නැත. ඊට හේතුව ශාඛ්‍ය වංශික සිංහලයන්ගේ ක්‍රියා පටිපාටියන් මිසක අන් කිසිවක් නොවේ. 
උරුමය ගැන තැවෙන්නට වන්නේ එය අහිමි වූ විටයි. එවිට ඇඩීමෙන් පලක් නැත. කවදා හෝ ඔබටද අඩන්නට වනු ඇත. මොන කුලයක උනත් ඔබ, සිංහලයකු නිසා සිංහලයන්ගේ උරුමය අහෝසි වූ විට ඔබටද අඩන්නට වනු ඇත.
(සිංහලයන්ගේ උරුමය අහෝසිවීම දැනටමත් සිදුවෙමින් ඇත, අවදියෙන් සිටින්න) 
2 කරුණට පාදක වූයේ දළදා මාලිගාව ප්‍රතිසංරක්ෂණය කිරීම වෙනුවෙන් ඉරිදා දිවයින සංග්‍රහයට එහි ජානක ලියනාරච්චි මහතා ලියු ලිපියකි.(දිනය අමතකයි) 

අවසාන වශයෙන් සටහන් කරමි:- 
බත්ගම කුලිකයන් හෙලා දැකීම තවමත් නැවතී නැත. නමුත් ඔවුන්ද සිංහල ජන සමාජයේ විශාල කොටසකි/ පංගුවකි. ඔබද මා හෙලාදැක පසු සටහන් ලිවීම අරඹා ඇතැයි හැඟීමක් ඔබගේ පසු සටහන් කියවීමේදී දැනුනි. නමුත් ලිවිය යුතු යමක් වේ නම් මම එය අකුරු කළෙමි. ඔබ කෙරෙහි වෛරයක් හෝ ද්වේෂයක් මා තුල නැත.
හැකිනම් බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි. 
නැවතත් පිළිතුරු ලිවීම හෝ නොලිවීම ඔබ සතුය. 
‍බ්ලොග් කෙරුවාව හොඳයි. ස්තුතියි. ආයුබෝවන්!

2012/12/23

ලොරීලායි, අප මුග්ධයන් නොවන්නෙද ?



ස්කෝර්පියන්ස් හි උන්මාදනීය මුවහත් හඬ වූ 'ක්ලාවූස් මයීන්' ඔවුන්ගේ ලෝරිලායි.. ගීතයේ මෙසේ ගයයි. 
what kind of fool was i
මා කොයි තරම් නම් මුග්ධයෙක්ද ?
තමන් හදවතින්ම විශ්වාස කළ ,බලාපොරොත්තු තැබූ ප්‍රේමිය තම විශ්වාසයන් බලාපොරොත්තු සහ අපේක්ශාවන් කෲර සහ නිර්දය ආකාරයෙන් ඉවතලූ විට පෙම්බරයකුගේ හද පෙළන  වේදනාබර ස්වරය ඒ වචන තුළ ගැබ්ව තිබේ. 

වර්තමාන ශ්‍රී ලාංකික පොදුජන සමාජයේ හදවතටද උක්ත වියෝග අනුප්‍රකාශය මේ අයුරින් සමානුපාතික කොට ගත හැකිය .

අප කොයි තරම් නම් මුග්ධයන් රංචුවක්ද ?

මේ පශ්චත්තාපය අන්කවරකුවත් අරභයා නොව තමන් හදවතින්ම විශ්වාස කළ ,බලාපොරොත්තු තැබූ ආඩම්බරකාර තාත්තා ගැනයි. 

බ්‍රිතාන්‍යයන් බලෙන් අපවෙත පටවා ගියා යැයි කියන තත් දේශපාලන ක්‍රමය තුළ එතෙක් මෙතෙක් පහළ වූ ජනප්‍රියම ජනනායකයා මහින්ද බැව් කීම අතිශයෝක්තියක් නොවේ. රෙද්ද බැනියම ඇද කුරහන් සාටකය පටලා ගත් මේ ජන නායකයාට තමන්ගේ ජීවන අරගලයන් හි තැවුරුණු වචනයෙන් විස්තර කළ නොහැකි කම්කටොළුදායි වේදනාවන් සංතාපයන් සහ වෙහෙසකරතාවයන් සැබෑ ලෙසින්ම වටහා ගැනීමේ හැකියාවක් ඇතැයි ඈත ගම්දනව්වල අහිංසක ගැමියන්ගේ පටන් ධනවාදීන් විසින් ලුම්පන් පංතියට වර්ගකරන්නාවූ මුඩුක්කු වැසියන් දක්වාම විශ්වාස කළේය. 

එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද ?

ඒ රෙද්ද බැනියම සහ සාටකයට අනාවරණය නොවූ වැඩවසම් වාදී ශ්‍රී වික්‍රම රාජසිංහ මාදිලියේ  උන්නතිකාමී පෞරුෂයක් ක්‍රමයෙන් අනාවරණය වීමට පටන්ගෙන එහි කූට්ප්‍රාප්තියට ළං වෙමින් සිටීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදය- මහින්ද සහ ලංකාව 
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වැරදියට උච්චාරණය කරන 'ප්‍රජාචන්ත්‍රවාදය' යනු කුමක්ද ?එහි සරල අදහස නම් බහුතරයේ සාතිශය  කැමැත්තයි. අරුණි සපීරෝ විසින් උත්කර්ෂයට නංවන ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹෙන්නේම සුළුතරයේ උවමනාවන් යටපත් කොට දමමිනි. සුළුතරයට සිදුවන්නේ සාධාරණයක්ද? මෙම අයුක්ති සහගත දේශපාලන ක්‍රමයේ ආරම්භයේ පටන්ම ලංකාව දේශපාලනික, ආර්ථික සහ සමාජ සංස්කෘතික වශයෙන් පහතට ඇද වැටුනු බැව් පිළිගත යුතු යථාර්තයකි . මක්නිසාද යත් බහුතරයේ කැමැත්ත වශයෙන් මුල පටන්ම අර්ථ ගැන්වූයේ වැඩවසම් වාදී රදළ නායකයන් විසින් සාමාන්‍ය ජනයා මත බලයෙන් ආරොපණය කල ව්‍යාජ කඩතුරාව වීමයි. පොදුජන සමාජයේ ආධ්‍යාත්මය ඉල්ලා සිටිනු ලැබූ ආර්ථ්ක දේශපාලනික.නිදහස කවර කලෙකවත් ලැබුණේ නැති හෙයිනි .

.අපට බ්‍රිතාන්‍යන්ගෙන් උරුමවූයේ 'නියම වයින්' නොවේ. නොඑසේ නම් මෙහි ස්ථාපිත වූයේ සුද්දන්ගේ ශුද්ධ ප්‍රජාත්න්ත්‍රවාදය නොවේ. අපගේ  ජාතියේ ගැලවුම්කාරයන් යැයි කියාගත් රදළ නායකයන් සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට අති විස්මයාකාර ලෙසින් ඔවුන්ගේ අනාගත වැඩවසම් පැවැත්ම තහවුරු වන ආකාරයෙන් මෙරට වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ මිශ්‍ර කරමින් නියම ගහේ බඩු මාදිලියේ 'ප්‍රජචන්ත්‍රවාදී' ක්‍රමයක් මෙහි පිහිට වූහ. 

ගැටළුව බ්‍රිතාන්‍යයන් අපව යටත් කොට ගැනීම නොව සර්ව සම්පූර්ණ වශයෙන් යටත් කොට නොගැනීමයැයි කවුදෝ කොහේදිදෝ කියා තිබුණු වග පොතක කියෙව්වා මතකය. එය සම්පූර්ණ සත්‍යයකි. එසේ වූවා නම් රෙද්ද බැනියම සහ සාටකය පෙන්වා ඛේදජනක සහ නිර්ලජ්ජ්ජිත ආකාරයෙන් මහජන මතය කොල්ල කෑමට වත්මන් ආණ්ඩුවට නොහැකිවනු ඇත. උන්ට ඕනෑ හැටියට රොටිය පුච්චා ගැනීමට දැන් අවස්ථාව තිබේ. නමුත් සිහිකටයුතු කාරණාව වන්නේ කබල රත්වී රොටිය කරවීමට එක් ඇසිල්ලක පමාවක් ප්‍රමාණවත් වන බවයි. 

ගිනි සිසිල 
රත්වුනා නම් නිවා ගන්න ,මෙතනින් ගිහින්   කතාව පටන්ගත්තු ස්කෝර්පියන්ස්ලගෙ 'ලොරීලායි 'අහන්න. 

පින්තූරය 
ප්‍රංශ යතාර්ථවාදී සිත්තරෙක් වූ ගුස්තාව් කෝබාර්ට්ගේ ධවල දිගු මේස් පළදින තරුණිය නම් සුප්‍රකට සිතුවමයි. 

(එකිනෙකට නොගැළපෙන -පරස්පර චින්තනයන් සහ ක්‍රියාකාරීත්වයක් සහිත උමතු ආණ්ඩුවක් ගැන ලිවීමට කවර නම් සමානකම්ද ,,?ඒ නිසා ගීතයේත් පින්තූරයේත් පෝස්ටුවේ අන්තර්ගතයේත් නොගැළපීම් ගැන නොසිතන්න.)

2012/12/09

අපේ හාඩ් මෙටල් රොකර් -"චිත්‍රාල් "



මම රොක් සංගීත ලෝලියෙක් වෙන්න පටන් ගත්තේ ගැටවර වයසේ මුල් කාලේදීමයි. ඒ ලෙඩ් ශෙපෑලිං ලගේ stairway to heaven සහ කොබේන් ගේ නිර්වාණ බෑන්ඩ් එකේ  ගිත ඇහුවට පස්සෙයි. ඉතින් මේ සිංහල රටේ රොක් සංගීතය ඔස්සේ මාව ප්‍රමුදිත කරාපු හඬක් තිබුණා. ඔහු තමයි චිත්‍රාල් සෝමපාල ..චිත්‍රාල් කියන්නේ ලංකාවේ හිටපු පට්ටම රොක් ගායකයා  :හරියටම කීවොත් අද්විතීය මෙටල් රොක් ගායකයා. මීට සතියකට හමාරකට උඩදී මාතලං ලියපු ස්කෝර්පියන්ස්ලගේ wind of change කියන ගීතය ගැන පෝස්ටුවෙදී චිත්‍රාල් ගැනත් ඇදිලා ආවා මෙන්න මෙහෙම 

මේ ගීතයේ ඔරිජිනල් හඬටම සමාන හඬක් තිබෙන ගායකයෙක්, අපේ රටෙත් ඉන්නවා. ඔහු ඒ කාළයේ, මේ ගීය මේ ආකාරයටම ගායනා කළා. අදටත් සිංහල ගීත අහන රසිකයන් අතරෙත් ජනප්‍රියයි. බලන්න උත්සාහ කරන්න.

මේ ගැන අපේ ඇත්තෝ හරියටම අනුමාන කරලා තිබුණා. 
 මයියා -අර ගායකයා නම් චිත්‍රාල් සෝමපාල ද? මිනිහා නෙ ඉතින් අපට ඉන්න හාර්ඩ් මෙටල් රොක් - 
 මාතලං -   උඹ හරි චිත්‍රාල් තමයි.. පට්ටම ගංජා වොයිස් එකක් නේ ඒකත්..
මහවෙදනා- මගේ උත්තරේත් චිත්‍රාල් සෝමපාල තමයි.


ඉතින් ඊට පස්සේ ඔන්න චිත්‍රාල්ගෙ මතකෙ අළුත් වුණා.චිත්‍රාල් නදී ගංගා තරණයේ ගැහුවට පස්සේ ආයෙමත් අළුත් සිංහල රොක් ගීයක් ගායනා කරලා තිබුණෙත් නැහැ. චිත්‍රාල් ලංකාවේ නැහැ කියලා මම දැනගෙන හිටියා. මිනිහා මුලින්ම වැඩ කරේ power quest කියන බිරිතාන්‍ය රොක් බෑන්ඩ් එකත් එක්ක ..ඊට පස්සේ චිත්‍රාල් හෙවත් අපේ චිටී (අමතක වුණා කියන්න බොහෝ දෙනා ඔහුව හදුන්වන්නේ චිටී කියන ආදරණීය නමින් ) civilization one නමින් රොක් බෑන්ඩ් එකක් ෆෝම් කරනවා.දැන් චිටී ජීවත් වෙන්නේ ජර්මනියේ ..කොහොම වුණත් තිබුණු උන්මාදය නිසාම මට පුළුවන් උනා ලංකාවෙ ඉදන් චිත්‍රාල්ව කොටුකරගන්න. 

"කොහොමද චින්තක? "
මාව මේ දැන් ඉදන් දන්න චිත්‍රාල් කතාව පටන්ගත්තේ එහෙමයි. අපි බොහෝ දේ කතා කෙරුවා ..ඔහු පුදුම නිරහංකාර මනුස්සයෙක් කියලා නම් මට හිතුණා. චිත්‍රාල් ගෙ කටහඬ ඇහෙද්දි මට මතක් වුනේ අපේ මාතලංගෙ ගංජා වොයිස් කතාව. මම ඒක කිව්වට පස්සේ චිත්‍රාල් මහ හයියෙන් හිනාවුණා. 

"අනේ මන්දා බං. බලපන්කෝ මගේ අලුත් සිංදුව 'දබුළුගලේ 'අහලා ..ඒකේ එහෙම ගතියක් නෑ නේද ? "

කොහොම වුණත් මට අහන්න තිබුණු ප්‍රශ්න ටික ඊමේල් මාර්ගයෙන් එවන්න ..ඔහු ඒවට උත්තර එවන්නම් කියලා චිත්‍රාල් කිව්වා. කිව්වා වගේම ඔහු මගෙ ප්‍රශ්න ටිකට උත්තර එවලා දුරකතන පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන්න තරම් කාරුණික වුණා. 

"චින්තා ඔන්න බඩු එව්වා "

ඉතින් අපේ පට්ටම රොක් ගායකයා එක්ක ඊමේල් හරහා මම කරපු කතාබහ රතුරජරටේ පළ කරන්නේ හරිම සතුටකින්. ඔහු ඉංග්‍රීසි බසින් එවූ පිළිතුරු සිංහලට පරිවර්තනය නොකර ඒ විදිහටම මෙතන දානවා ..කියවලා බලන්න. ඔබේ අදහසුත් කියන්න. චිත්‍රාල්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියේ නම් කොටලා යන්න. හැකියාවක් ලැබුනොත් චිටී ටම කියලා ඒවට පිළිතුරු ලබාදෙන්නට උත්සාහ කරන්නම්. 

මම 
ඔබට රොක් සංගීතය පිළිබදව ඇල්මක් ඇතිවෙන්නට බලපෑම් කළ සාධක ..හේතු කාරණා කොයිවගේද ?
chithral 
Growing up in a family having both parents doing sri lankan folklore with western influences was my interest i began to listen to western music when i was about 10 years old. My father was the guy who brought in all the western instruments towards sri lankan music for an ex: guitar,brass instruments,organ and etc. so i did see these instruments lying at home and started experimenting with them when i was very young. Rock music came towards me cos. my father use to go a lot of auctions those days and he always bought some records from musicals like west side story and etc along with some records which had rock music like led zeppelin,deep purple,the beatles and etc, so my interest began to rock music and i dreamt all my life to be a rock musician and that is how it has happened so far.

මම 
අපේ රටේ රොක් සංගීතය සම්බන්දව තිබෙන අදහස් ආකල්ප සහ මතවාද ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද චිත්‍රාල් ?
chithral
So far i have seen that it has developed more than i thought, the time i wanted to create something in sri lanka people were not intersted at all and rock musicians were totally ignored by the high class musicians in sri lanka, most of all even these high class musicians did not know that it's a art form of music in general. Music is has different genres and I myself appreciate all kinda music cos. these are all tools you need to know if you wanna become a full time professional. It will take some years to develop rock music in sri lanka to come to a great standard. they are some talented guys over there but they have no support from the people cos. majority of people don't know about rock music:)

මම 
වර්තමානයේ ඇති අන්තර්ජාල  සන්නිවෙදන පහසුකම් නොමැති ඔබේ යුගයේ රොක් හැදෑරීම දුශ්කර කාර්‍යයක් වුනේ නැද්ද ?
chithral 
Those days were not that developed than today, with the internet it is easier to research who is who, but it has also become a downfall today cos. too many bands,too many musicians, too many genres and so the biggest record companies have lost a lot of money cos. they don't sell music anymore cos. everybody download for free:)

මම 
ඔබේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ඔඅබ තෝරා ගත් ගමනට ලබැනු සහයෝගය කොහොමද ?
chithral 
My both parents supported me a lot in this case cos. they were very open minded people. so in this situation i was very lucky to have such brilliant parents.

මම 
අපේ රටේ ඇතුළේ රොක් සංගීතයට ලොකු ඉඩක් වෙන්වෙලා නෑ තාමත් ඒ ගැන මොකද හිතෙන්නේ ?
chithral
I think the people in the media are the wrong ones who don't understand music at all and that is the reason a rock musician won't get radio airplay or his video played on their stations.

මම 
සිංහලෙන් රොක් කියන්න බැරිද ඇත්තටම ?
chithral
You could... I did it already with NADEE GANGA:)

මම 
සිංහලෙන් ඒ වගෙ ගීතයික් නිර්මාණය කරන්න ඔබට හිතුණේ ඇයි? 
chithral 
Being a musician is not only to play the instrument or to sing, you got to be creative at the same spot like an artist too, so this was the chance to show your abilities and that is how i produced Nadee Ganga with my own signature and I'm very happy that it has become such anthem in our country.

මම 
civilization one සමග ඔබේ අත්දැකීම් කෙබඳුද? 
chithral 
Honestly, Civilization One we played Twice in Sri Lanka at the TNL Onstage Concert at the Convention Center in Colombo in 2008 and 2009, this gave our rock musicians a huge impact. Right now i have no idea about Civilization One cos. I'm moving towards my solo career in the future to be a singer,songwriter,producer and to compose music for films.

මම 
දබුළු ගලේ ගීතය රොක් ශෛලියෙන් නිමැවීමට සිතුවෙ ඇයි? 
chithral 
Honestly, it is not a rock arrangement at all:) A lot of people in sri lanka think i have damaged the song, there is no damage at all on it, all i did was making it a smooth sentimental and a new age type of arrangement.


මම 
ඉතින් චිටී තවත් මොනවද ඔබට කියන්න තිබෙන දෙවල් ?
chithral
I thank you all from the bottom of my heart for all your positive feedbacks and comments, stay tuned to hear more from me in the near future:)



චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/12/06

ඩාවින් දශාවතාරම් නැරඹුවේද ?



චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය කොපමණ තර්ක විතර්ක වලට මැදිව වුවත් මිනිසාගේ පරිණාමය පිළිබඳව පිළිගත හැකි විද්‍යාතමක එළැඹුම වසයෙන් තවමත් පවතී. මුළුමනින්ම බටහිර විද්‍යාත්මක දැනුම මත පිහිටා ඉදිරිපත් කෙරුණු පරිණාමවාදය හින්දුන්ගේ සුප්‍රකට ඉගැන්වීමක් හා විශ්වාසයක් වන විෂ්නුගේ දශාවතාරය සමග අපූරුවට ගැළපෙන බව මා දැනගනු ලැබූයේ ඉතාම මෑතකදීය. එහෙත් මා හට උපකල්පනයක් ගොඩ නහා ගත නොහැකි වූයේ නිර්මාණ්වාදයේ අග්‍රඵලයක් වන හින්දු දහම සහ නිර්මාණවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන පරිණාමවාදය එක පෙළට මෙතරම් සමාන්තරව ගැට ගැසෙන්නේ කෙසේද යන්නයි. 

හින්දු මනුස්මෘතියේ මෙසේ සදහන් වෙයි. 
බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහමාණ්ඩය එහි හෙළීය. 
මෙහි බ්‍රහ්මාණ්ඩය යනු ජීවයට උපත ලබා දෙන බිජුවයි. බිජුවෙන් උපන් අණ්ඩජ වේ. 
පරිණාමවාදයට අනුව ආරම්භක ජීවියා ජලජ සතවයෙකි. විෂ්නුගේ පළමු අවතාරයද මත්ස්‍යාවතාරයයි. විෂ්නු මුලින්ම ලොව පහළ වනුයේ මාළුවකුගේ වෙසෙනි. 

පරිණාමවාදය අනුව දෙවන එහි දෙවන අවධිය දිය -ගොඩ දෙකෙහිම ගැවසෙන තරමක් දියුණු ජීව විශේෂයකි.විෂ්නුගේ දෙවනි අවතාරය වන්නේ කුර්ම අවතාරයයි. කුර්ම යනු ඉදිබුවාට එන තවත් පර්‍යාය පදයකි. ඌ දිය ගොඩ දෙකෙහිම වාසය කරයි. 

පරිණාමවාදයට අනුව ඊටත් උසස් අවදියකට ජීවය පරිණාමය වන්නේ මුළුමනින්ම පස් පොළව මතයි.විෂ්නුගේ තෙවනි අවතාරය වන්නේ වරාහ අවතාරයයි. වරහා යනු සූකරයා හෙවත් ඌරාට කියන තවත් නමකි. සූකරයන් ගොඩබිම මෙන්ම මඩෙහි ද ජීවිතය ප්‍රිය කරන්නෙකි. සත්වයෙක් වශයෙන් ගත් කළ සූකරයා ඉදිබුවාට වඩා පරිණාමීය වශයෙන් ඉදිරිගාමී එකෙකි. දත් ,හිස් කබල ,කශේරුකාව ආදීය නියම වශයෙන් පරිණාමයට භාජනය වීඇති අතර පිටකටුව වෙනුවට ගනකම් සමක් තිබේ.

පරිණාමවාදයට අනුව සිව්වන උසස් අවදිය විශේෂිත එකක් වෙයි. සත්වයා දෙපයින් සිට ගැනීමේ සිට අත් සහ ඇගිලි වැඩී වර්ධනය වීම මෙන්ම වර්ධනය වෙමින් තිබෙන මොළයේ ප්‍රාථමික අවස්ථා මෙම අවදියේදී දැක ගැනීමට හැකි වීම ඊට හේතුවයි. ඊට ගැළපෙන ලෙස විෂ්නුගේ සිව්වන අවතාරය වන්නේ වානර අවතාරයයි.

පරිණාමවාදයට අනුව ඊළග දියුණු අවදිය ලෙස එළඹෙන්නේ අර්ධ මිනිස් අර්ධ තිරිසන් යුගයයි. දැන් ක්‍රමිකව වැඩුණු මොළය යම් තාක් දුරකට දියුණු වී තිබේ ස්වයං යැපීම පිණ්ස අහාර සොයා යන මේ සොබාදහමේ ජීව කලළය තම මව් වූ සොබාදහම සමග ගැටීමක් ඇතිකර ගත්තේය. මෙ අවධිය වනවිට වානරයාගේ තියුණු කෘන්තක හා රදනක දත් වෙනස් වී ,,කොදු ඇට පෙළ දිග හැරී වළිගය හැළී දත් සැකසී අත් පා ඇගිළි වල වෙනස් කම් සිදුවී ,සංඥා නිකුත් කිරීම හා ගැනීම ද දියුණු වී තිබුණි. මේ තත්වයන්ට ගැළපෙන්නේ විෂ්නුගේ පස්වැනි අවතාරය වන්නේ නර සිංහ අවතාරයයි. නොඑසේ නම් අර්ධ මිනිස් අර්ධ තිරිසන් යුගයයි.

පරිණාමවාදයට අනුව මානවයා තම ප්‍රගමනයේ ඉදිරි පියවරක් තබන්නේ උහු ගින්දර නිපදවා ගැනීමට සමත් වීමත් සමඟය. ගින්දර සොයා ගත් මානවයා තමන් මෙතෙක් අමු  අමුවේ අනුභව කළ මස් හා වෙනත් ආහාර ගින්දර උපයෝගී කරගෙන තම්බාගෙන සහ පුළුස්සාගෙන කෑමට පටන්ගත්තෙය. එපමණකින් නොනැවතී විවිධ සරල උපකරණ ප්‍රයෝජනයට ගැනීමටද මානවයා මේ අවදියේදී උගෙන හුන්නේය. විෂ්ණුගේ පරශු රාම හෙවත් සයවෙනි අවතාරය ගැළපෙන්නේ මෙම ප්‍රගමන අවදියත් සමඟිනි.පරශු යනු පොරවට කියන තවත් නමක් වෙයි. පොරව මිනිසා භාවිතා කරන ලද සරල උපකරණයක පරිණාමීය තත්වයකි . .රාම යනු බුද්ධිමත් කම අඟවන සංකේතයකි.සත්තකින්ම පරශු රාම යනු පොරවක් අතින් ගත් බුද්ධිමත් මිනිසා යන අරුත ගෙන දෙයි. විෂ්නුගේ සය වෙනි අවතාරය පරිණාමවාදයේ ක්‍රමික විකශනය සමඟ ගැළපෙන්නේ එලෙසිනි.

පරිණාමවාදයේ ඉක්බිති පිවිසීම වන්නේ ශිෂ්ටාචාරීයය යුගයටයි. මානවයා රංචුවක් වශයෙන් එකව සතුන් ඇති කරන ගොවිතැන් කරන යුගය මෙම අවදියය. සමාජයක් වශයෙන් මානවයා සංවිධානය වීමට පටන් ගන්නේ මෙම යුගයේදීය ..විෂ්ණුගේ සත්වෙනි අවතාරය වන රාම අවතාරයද මිලෙච්ජත්වයට එරෙහිව සටන් කරන්නෙකු සංකේතවත් කරයි. රාමායණය අනුව රාම  රාවණ නැමති මිලෙච්ජ රජුට එරෙහිව යුධ වදින්නේය. ( දැන් අපේ හෙළ පරපුරේ සහ යක් පරපුරේ ඇත්තන් මා සමඟ වලියට එන්නට කලබල නොවන්න. )

මානව සමාජය ක්‍රමිකව සංවිධානය වෙමින්ගොඩ නැගෙත්ම විවිධ බුද්ධිමය බලවේග බිහිවෙමින් සත්‍ය සොයා යන්නට, ලෝකයේ අරුත් පසිදින්නට ,දර්ශනය ආදී විශයයන් බිහිවෙන්නට පටන් ගනියි. ලෝකය බුද්ධිමය සංවාද වලින් පිරී යයි. විෂ්ණුගේ ඊළග අවතාරය වන්නේ කෘෂ්ණාවතාරයයි. ශ්‍රී කෘෂ්ණා යනු බුද්ධියේ උල්පතයි. ඔහු සත්‍ය සොයා යන ආත්ම ගවේෂකයෙක් වෙයි.

පරිණාමවාදයට අනුව දැන් භෞතික ත්ත්වයේ ජෛවවේදී සාධක ඉක්මවමින් මිනිසාගේ මොළයේ වැඩීම සිදුවෙන යුගයයි. ලෝකය හැසිරවෙන්නේ ඔහුගේ බුද්ධිය ට සමගාමීවය. මෙම යුගයට සාපේක්ෂ වන විෂ්ණුගේ නව වන අවතාරය වන්නේ බුද්ධ අවතාරයයි. බුද්ධ යනු මානව බුද්ධියේ උපරිම තත්වය හෙවත් එහි විකසිත භාවය සංකේතවත් කරන්නාවූ සාධකයකි. දැන් මානවයා ගතකරනු ලබන්නේ එම බුද්ධියේ උපරිම තත්වයේය.

අවසාන විෂ්ණු අවතාරය වන කලකී අවතාරය තවමත් ලෝකය තුළ පහළ වී නොමැත.පරිණාමවාදය අනුව ගත් කළ අනතුරුව එළඹෙන මානව පරිණාමය තීරණය කරනු ලබන්නේ මිනිසා නොව ඔහු විසින් හසුරවනු ලබන විද්‍යාව හා තාක්ෂණයයි.  කල්කී යන්නේන් කාලය හා අවකාශය ඉක්මවා යන ත්තවයක් පිළිබදව ඉඟිකරනු ලබයි. වර්තමාන ලෝකයේ විද්‍යා හා තාක්ෂණය දියුණුඅ වන්නේ කාලයා හා අවකාශය යන සාධක  ද්විත්වය මූලික කරගෙනය. බටහිර විද්‍යාවේ සුසුමාදර්ශීය වෙනසක් සිදුකල අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පදනම්ව ඇත්තේ කාලය සහ අවකාශය යන සාධක දෙක මතය. (මෙය ඉතා සරල හැදින්වීමක් පමණය)

සමෝධානය
පරිණාමවාදය සහ උක්ත හින්දු සංකල්පය අතර සමානකම් මතු කිරීම ඔස්සේ මට මතු කිරීමට අවශ්‍යය වූ කාරණා  මොනවාද ? ඒ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්පයන් ද්විත්වයක් එකම වස්තු විශයයක් කෙරෙහි පෙන්වනු ලබන සාදෘශ්‍යතාවයන් ඔස්සේ මතු කොට දැක්වෙන්නේ ආසියාතිකයන් වන අප ආගමික හෝ සංස්කෘතික සාධක මත නොසලකා හරිනු ලැබූ දැනුම බටහිරයයන් විසින් ඔවුන්ගේ බුද්ධි මණ්ඩලයන් දියුණු කර ගැනීම සදහා දායක කරගෙන ඇති අන්දමය. හින්දූන් සත්‍ය වශයෙන්ම විෂ්ණුගේ දශාවතාර සංකල්පය විශ්වාස කරන්නේ නම් ඔවුන් සියල්ලෝම බෞද්ධයන්ව සිටිය යුතුය. එපමණක් නොව බටහිර දැනුම මත පිහිටා නොව තමන්ගේම දැනුම් කළලයක් ගොඩනගාගෙන තමන්ටම ආවේණික විද්‍යා හා තාක්ෂණික දැනුම පද්ධතියක් ගොඩනගාගෙන සිටිය යුතුය. නමුත් ආගමික හා සංස්කෘතික සාධකයන්ට මුල් තැන ලබා දීම ඔස්සේ ආසියාතිකයින් එම අනර්ඝ අවස්තාව අහිමි කරගෙන තිබේ. දැන් ආචාර්‍ය නලින් ද සිල්වා වැන්නන් නැවත්ත් යෝජනා කරමින් කියා සිටීන්නේ මේ මගහැරුණු කාරණාවට එළබෙන්නට කියාය. නමුත් ඔහුට වැරදුණු තැන නම් මුලුමනින්ම බටහිර දැනුම ප්‍රතික්ෂේප කොට අළුතිම සල්ලං වන්නට සිටියහොත් සිදුවන්නේ පය ගසා සිටි අත්තත් අහිමි වෙන බවය .

චින්තක ටිකිරිබණ්ඩාර 



2012/12/03

කව්වාලි ගායනාවන් විශ්ව කරළියට රැගෙන ආ පොතේ ගුරා



පාකිස්තානය කියූ පමණින් අපගේ සිහියට නැඟෙන්නේ යුද ගැටුම්, කැරැලි කෝලාහල සහ දුක්කම්කටොලුවලින් පිරී ගිය රටක්. එහෙත් අද අපේ කතානායකයා වන 'නුස්රාත් ෆටෙහ් අලිඛාන්' යන නම සබැඳෙන්නේ ඉස්ලාම් 'සූනි' නිකාය සහ බැඳුණු සාම්ප්‍රදායික කව්වාලි ගායනාවන් ලෝකය වෙත ගෙන ගිය සුමධුර - තියුණු හඬ ස්වරයක් සතුවූ විශිෂ්ට ගායකයෙක් වෙතය.

ජාත්‍යන්තර ටයිම්ස් සඟරාවෙන් ආසියානු ශේ‍ර්ෂ්ඨයන් අතරට නම් කරන ලද 'නුස්රාත් ෆමෙහ් අලිඛාන්' සමඟ පාකිස්තානයට ඇති සම්බන්ධ වන්නේ මෙම සුලෝලිත හඬ පෞරුෂයක් හිමි ශේ‍ර්ෂ්ඨ සංගීතඥයා ගොරහැඩි පාකිස්තානයේ සහජාත පුත්‍රයෙක් වීමයි.

නුස්රාත් උපදින්නේ එවකට නොබෙදුණු ඉන්දියාවට අයත් ලයිලාපූර් හෙවත් වර්තමානයේ ෆයිසලාබාද් ලෙසින් පාකිස්තානයට අයත් ප්‍රදේශයේ. ඒ 1948 ඔක්තෝබර් මාසයේ 13 වැනි දින. නුස්රාත්ගේ පියා වූ 'ෆටෙහ් අලිඛාන්' සාම්ප්‍රදායික 'කව්වාලි' සංගීතඥයෙක්. පාරම්පරිකව 'ෆටෙහ් අලිඛාන්' පවුලට කව්වාලි සංගීත සම්ප්‍රදාය සමඟ අවියෝජනීය තදන්තර බැඳීමක් පැවතුණු මුත් පවුලේ පළමු පිරිමි දරුවා වූ නුස්රාත් එම සාම්ප්‍රදායික සංගීත වෘත්තියෙන් අෑත් කර තබන්නට ඔහුගේ පියාට ඇවැසි වුණා. ඒ එවකට කව්වාලි සංගීතවේදීන්ට සමාජය තුළ තිබූ අඩු පිළිගැනීම 'ෆටෙහ් අලිඛාන්' විසින් මනාව අත්දැක තිබූ නිසයි. ඔහුගේ සිහිනය වූයේ නුස්රාත් වෛද්‍යවරයෙක් කිරීමටයි.

නමුත් ගහේ කටු උල් කරන්නට අවැසි නොවන බැව් පෙන්වමින් නුස්රාත් ගේ සංගීත ප්‍රතිභාව පියාගේ වෙදැදුරු සිහිනය වසාගෙන වැඩෙමින් තිබුණා.
අවසානයේදී නුස්රාත්ගේ පියා ඉතාමත් නුවණැති තීරණයක් ගනිමින් පවුලට උරුම සංගීත ඥානයෙන් තම පුත්‍රයාව පෝෂණය කරන්නට අරඹනවා. ප්‍රථමයෙන්ම තබ්ලා වාදනයට අත හුරු කරගන්නා නුස්රාත් දෙවනුව උත්තර භාරතීය සංගීතයේ 'ඛයාල්' සම්ප්‍රදාය ගායනයට හුරුවනවා. නමුත් තම පියා යටතේ සංගීත අභ්‍යාසයේ යෙදීමට නුස්රාත්ට ඉඩකඩ ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. ඒ 1964 දී සිදුවන පියාගේ අභාවය නිසයි. එවිට නුස්රාත්ගේ වයස අවුරුදු දහ හතරක්. පියාගේ මරණය නුස්රාත්ට තදබල පහරක් වුවත් ඔහුගේ සංගීත අධ්‍යාපනය එතැනින් නවතින්නේ නැහැ.

තම මහප්පා සහ කුඩප්පා වූ මුබාරක් අලිඛාන් සහ සලමන් අලිඛාන් යටතේ තම සංගීත ඥානය පරිපූර්ණ කරගන්නට නුස්රාත්ට හැකිවෙනවා. නුස්රාත්, අනාගතයේ දවසක අලිඛාන් සංගීත පරපුරේ ජගත් මුද්‍රාව බවට පත්වීමේ මං සලකුණ සනිටුහන් කරන්නේ තම පියාගේ මරණයෙන් දින හතළිහක් ගෙවුණු තැන ඉස්ලාම් බැතිමතුන් විසින් සාම්ප්‍රදායිකව පවත්වන සොහොන් බිම චාරිත්‍රයේදී පියාට උපහාරයක් වශයෙන් නුස්රාත් ඉදිරිපත් කරන ලද කව්වාලි ගායනාව ඔස්සේයි.
ක්‍රමයෙන් සංගීත ඥානයෙන් පරිපෝෂණය වන නුස්රාත් 1971 දී තම මහප්පා සහ පසුකාලීන සංගීත ගුරුවරයා වූ මුබාරක් අලිඛාන්ගේ අභාවයෙන් පසු පවුලේ කව්වාලි සංගීත කණ්ඩායමේ නායකත්වයට නිරායාසයෙන්ම පත්වෙනවා. ඊට සුදුස්සා ද ඔහු වනවා. නුස්රාත්ගේ පළමු ප්‍රසිද්ධ සංගීත එළැඹුම වන්නේ පාකිස්තානු රේඩියෝව මඟින් සංවිධානය කරන ලද වාර්ෂික සංගීත උළෙලකදී ඔහු තම කණ්ඩායම සමඟ කරනු ලැබූ ඉදිරිපත් කිරීමයි.

එලෙස ඇරඹුණු නුස්රාත්ගේ සංගීත මහෝඝය ඔහු ජීවත්ව සිටි වසර හතළිස් අටක් තරම් වූ කෙටි ජීවිත කාලය තුළ ලෝක සංගීත නිම්නය කලඹවමින් අනවරතව ගලා ගියා. රෝලින් ස්ටෝන්, එම්.ටී.වී. වීඩියෝ, ග්‍රෑමී සම්මානලාභී බටහිර ගායකයෙක් හා ගිටාර් වාදකයෙක් වූ ජෙෆ් බක්ලි වරෙක සඳහන් කළේ ඔහු මගේ එල්විස් (එල්විස් ප්‍රෙස්ලි) වන බවයි. බටහිර සංගීත ලෝකය තුළ මේ පාකිස්තානු සංගීතවේදියාට හිමිට තිබූ ඉඩකඩ වටහා ගන්නට එම හඳුනා ගැනීම අතිශය ප්‍රමාණවත් වනවා. ප්‍රකට ඒෂියා වීක් සඟරාවේ ලේඛකයෙක් වූ ඇලෙක්සැන්ඩර් සෙනෝ, නුස්රාත් ගැන මෙසේ ලියනවා.

නුස්රාත්ගේ හඬ හරියට මේ ලෝකයට අයිති නැති දෙයක් වගෙයි. ඔහුගේ වසර විසිපහක් තරම් වූ කෙටි සංගීත ජීවිතය අපව අමුතු හැඟීමක සිරකරනු ලැබුවා. ඔහුගේ පරම්පරාවේ වෙනත් කිසිදු ගායකයෙක් සිදු නොකළ අයුරින් නුස්රාත්ගේ කව්වාලි ගායනාවන් අපගේ බුද්ධිය සහ ප්‍රඥාව පුබුදුවනු ලැබුවා.

1985 දී ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ The Last Temptation of Christ චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහා බටහිර සංගීතවේදියෙක් වූ පීටර් ගේබ්රියෙල් සමඟ නුස්රාත් කටයුතු කරනු ලැබුවා. එමෙන්ම කැනේඩියානු සංගීතවේදියෙක් වූ මයිකල් බ්රූක් සමඟ මෙන්ම ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වූ ' පර්ල් ජෑම්' කණ්ඩායම සමඟින්ද කටයුතු කරනු ලැබුවා. පාකිස්තානු සිනමාපට කිහිපයකටද නුස්රාත් සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වූවා. ඔහුගේ බොලිවුඩ් සංගීත දායකත්වය ඉතා සීමාසහිත එකක් වුවත් ඒවා පහසුවෙන් මැකී නොයන නිර්මාණයන්.

ඔබට මතක නම් සුප්‍රකට ඒ 'දඩ්කන් ' චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරනු ලබන්නේ නුස්රාත් විසින්. එමෙන්ම සනී ඩියෝල් ප්‍රධාන භූමිකාව රඟපානු ලැබූ 'දිල්ලගී' චිත්‍රපටයේ ඩියෝල් වෙනුවෙන් ගීතයක් ඔහු ගයනවා. ඉන්දියාවේ පනස් වන නිදහස් සැමරුම වෙනුවෙන් ඒ. ආර්. රහ්මාන්ගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් නිකුත් කළ 'වන්දේ මාතරම්' ඇල්බමයේද නුස්රාන්ගේ උච්ච, මුවහත් හඬ සටහන් වී තිබෙනවා. එමෙන්ම රහ්මාන් යනු නුස්රාත්ගේ උන්මාදනීය සංගීත රසිකයෙක්.

නුස්රාත් ෆටෙහ් අලිඛාන් පාකිස්තානයේ සිට කුදු මහත් ලෝකය පුරාම සම්භාවනාවට පත් ගායකයෙක්. සාම්ප්‍රදායික කව්වාලි ගායනාවන් විශ්ව කරළියට රැගෙන ආ පොතේ ගුරා වූයේ ඔහුයි. ඔහු මියගිය වර්ෂයේ; 1997 මිය යන්නට පෙරාතුව නුස්රාත්ගේ Intozicated Spirit ඇල්බමය ග්‍රැමි සම්මානය සඳහාද නිර්දේශ වුණා. පාකිස්තානු සංගීතයට ඔහු කළ මෙහෙවර වෙනුවෙන් පාකිස්තානු ජනාධිපති සම්මානයෙන්ද නුස්රාත් පිදුම් ලැබුවා. 1995 දී යුනෙස්කෝ සංගීත සම්මානය, 1996 මොන්ටි්‍රයේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සම්මානය මෙන්ම ඔහු මිය ගොසින් වසර ගණනාවකට පසුව 2005දී බි්‍රතාන්‍ය ආසියානු සංගීත සම්මානයද නුස්රාත් ෆටෙහ් අලිඛාන් නම් මෙම ශේ‍ර්ෂ්ඨ සංගීතඥයා නම ඉදිරියේ ලියැවුණා.

වසර හතළිස් අටක් තරම් කෙටි ජීවිත කාල පරිච්ඡේදයකදී වෙනත් කිසිදු ආසියානු ගායකයකුට නොහැකි අයුරින් ජාත්‍යන්තර සංගීත ලෝකය වෙත සුවිශාල බලපෑමක් කරන්නට මේ සාම්ප්‍රදායික කව්වාලි ගායකයාට හැකිවුණා.

ලිපියේ මේ කොටස එකතු කරුනු ලැබුවේ හෂිතගේ කොමෙන්ටුව දුටුවායින් පසුවයි. ෆතෙහ් අලි ඛාන් ගේ හඩ පෞරුෂය කොතරම් උත්කර්ෂයට නැංවූවත් ඔහුගේ හඩ අසන්නට ඉඩක් ලබා නොදීම මහා වරදක් යැයි මට සිතුණා. එ නිසා ඔහු බැන්ඩට් ක්වීන් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල ගීතය අසන්නට මේ ලින්කුව ලබදෙන්නට සිතුවා .මෙතනින් ගිහින්  ඒ ගීතය නොමිලයේම බාගත කරගන්නට ඔබට පුළුවන්. 
චින්තක ටිකිරි බණ්ඩාර

2012/12/02

ලන්ඩන් හෑගොඩයා කොළඹදී කොටුකර ගැනීම

ලන්ඩන් හෑගොඩයා
 කොළඹදී කොටුකර ගැනීම
"මියුසියස් බාලිකා විදුහලේ ළදරු පන්තියට ගිය මා එහි ගියේ පියාගේ පාපැදියෙනි. අනතුරුව ඉසිපතන විදුහලට යන කාලයේ ශත පහක ටිකට් පතක් ගෙන මරදාන සිට තිඹිරිගස්යායට ගොස් හැව්ලොක් ටවුම දක්වා ඇවිදීමි. නැවත ගෙදර එන විට ශත තුනේ ටිකට්ටුවක් ගෙන ඇස්වාට්ටුවෙන් බැස ඉතිරි ශත දෙකෙන් ලොසින්ජර කෑම මගේ සිරිත විය. ජීවිතය ඉතා සහනදායක දෙයක් විය.”

ඔහු එසේ ලියයි. ප්‍රකට කොළඹ කවියෙක් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වූ විල්සන් හෑගොඩ හා කිවිඳියක වූ නන්දා හෑගොඩගේ බාල පුතා වන ඔහු අනුර හෑගොඩයි. මෙරට නිදහස් කවියේ දෙවැනි පරපුරේ සංකේතයක් බඳුවූ, එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන ලාල් හෑගොඩ ඔහුගේ ජේ‍යෂ්ඨ සොහොයුරාය. එහෙත් අනුර හෑගොඩ ලාංකේය සෘහද සමාජය ආමන්ත්‍රණය කරන්නේ කවියෙක් හෝ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් නොව පුවත්පත් තීරු රචකයෙක් වශයෙනි.

දීර්ඝ කාලයක් ලන්ඩනයේ වාසය කරන ඔහු විසින් ලන්ඩන් ගොඩයා නමින්ද අනතුරුව ලන්ඩන් හෑගොඩයා නමින්ද ලියූ තීරුලිපි මෙරට තීරුලිපි රචනා කලාව නව ඉසව්වක් වෙත ඔසවා තැබීය. නොබෝදා ඔහුගේ තෝරාගත් තීරුලිපි ගණනාවක් ‘ලන්ඩන් හෑගොඩයාගේ කොලම’ නමින් පොතක් වශයෙන් පළවූ අතර ආපසු ලන්ඩනයට පියඹා යෑමට ලැහැස්ති වෙමින් හුන් ලන්ඩන් හෑගොඩයා සමඟ සල්ලාපයක යෙදීමේ අවස්ථාවක් මට උදාවිය.

චින්තක
ඔබේ අයියා තරමටම නොවුවත් ඔබත් කවි ලියනවා. එමෙන්ම තීරු ලිපි රචනා කරනවා. නීතිඥයෙක් වශයෙන්ද කටයුතු කරනවා. ඔබ වඩාත් කැමැති වන්නේ ඔබ කවුරුන් වශයෙන් හඳුන්වා දෙනවාටද?

අනුර හෑගොඩ
ඔය කාරණා තුනටම එපිටින් සිට බැලුවොත් මම මාව හඳුන්වා දෙන්නට කැමැති ලංකාවට එපිටින් සිට ලංකාව දෙස ආදරයෙන් බලා සිටින ලංකාවේ දරුවෙක් විදිහට.


චින්තක
ඔබ ජීවිතය හරි හරියට ලන්ඩනය සහ කොළඹ අතර බෙදා ගන්නවා. වෙනස් සංස්කෘතීන් දෙකක් අතර සිදුකෙරෙන මේ අන්තර් හුවමාරුව ඔබට දැනෙන්නේ කොහොමද?

අනුර හෑගොඩ
ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ සමහරු එංගලන්තයට ගියාම මාස තුනෙන් සුද්දෙක් වෙන්න හදනවා. සිංහල ‘මතක බැරිවෙනවා’ සුද්දන්ගෙ කෑම කන්න හදනවා. නමුත් අප වටහාගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි සුද්දා සහ අපි අතර නොබිඳිය හැකි කඩතුරාවක් තිබෙනවාය කියන කාරණාව. අපි කොහේ උන්නත් අපේ මුල් තිබෙන්නේ මෙතැන. අපේ සංස්කෘතික ධාරණාව නොකැඩිය හැකි සියුම් තන්තුවක් වගේ අපත් එක්ක එනවා. නමුත් අපේ සංස්කෘතිය විසින්ම අපට උරුම කරල දීලා තිබෙන ලක්‍ෂණයක් තමයි ඕනෑම සංස්කෘතික සමාජයකට අවශ්‍ය පරිදි නම්‍යශීලී වීමේ හැකියාව. ඒක මටත් තිබෙනවා.

චින්තක
තීරු ලිපි රචකයෙක් වීමට ඔබේ ප්‍රවිෂ්ටය සිදු වන්නෙ කොහොමද? එය නිරුත්සාහිකව ඔබ වෙත ලැබුණු ආරාධනාවක්ද නැත්නම් තීරු ලිපි රචකයෙක් විය යුතුය කියන අධිෂ්ඨානයෙන් පැමිණි ගමනක්ද?

අනුර හෑගොඩ
මෙහෙමයි. ලිවීමේ වුවමනාව සහ හැකියාව කවදත් මා තුළ තිබුණා. නමුත් විශේෂයෙන් තීරුලිපි රචකයෙක් වෙන්න ඕනෑය කියන හැඟීම කොයිකාලෙදිවත් තිබුණෙ නෑ. නමුත් ලන්ඩනයේ ජීවත් වූ මට එහි පළ කෙරෙන ‘ලංකා විත්ති’ පුවත්පතින් ආරාධනාවක් ලැබුණා ඊට ලියන්නට. එහි පළවුණු මගේ තීරුලිපියක් දැක්ක බන්දුල පද්මකුමාර මහතා ඉරිදා ‘ලක්බිමට’ ලියන්නට ආරාධනා කළා. ඉන් පසුව ගාමිණී සුමනසේකර මහත්මයාගෙ ඇරයුමෙන් ‘දිවයිනට’ ලිව්වා.

චින්තක
ශ්‍රී  ලංකාවේ ඔබට ආසක්ත කරවූ, ඔබට පරමාදර්ශයක් වූ නොඑසේ නම් ඔබව අමන්දානන්දයට පත්කළ තීරුලිපි රචකයන් කවුරුන්ද?

අනුර හෑගොඩ
හ්ම්.... (කල්පනා කරමින්) මට පරමාදර්ශයක් වූ...? මට ඒක එහෙමමදැයි නිශ්චිතව කියන්නට බැහැ. නමුත් රත්න දේශප්‍රිය සේනානායක මහතා ලියූ ‘වනාහී’ නම් තීරු ලිපිය මම ඉතාමත් ආශාවෙන් කියවූ එකක්. සමහර විට ඔබේ පරම්පරාව ‘රත්න දේශප්‍රිය සේනානායක’ ගැන අහලවත් නැතුව ඇති ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙ මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්.

චින්තක
ඔබේ තීරු ලිපිවලින් බොහෝ විට දක්නට ලැබෙන්නේ ලංකාව පිළිබඳ විවේචනාත්මක අදහස්. නමුත් එහි යටිපෙළෙන් මතුවෙනවා ලංකාව සමඟ ඔබට තිබෙන තදන්තර ආත්මීය බැඳීමත්.

අනුර හෑගොඩ
කෙටියෙන් කීවොත් මම ලංකාවට බොහොමත් ආදරෙයි. නමුත් ඓන්ද්‍රීය ලංකාව හෙවත් ගංගා ඇළ-‍ෙදාළ, කඳුවැටි, ගහකොළින් පිරී ගිය ලංකාව ගැන නෙවෙයි, එම ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ හා පොදු සමාජ ක්‍රියාකාරකම් ගැන නම් මට විවේචනයක් තිබෙනවා තමයි.

චින්තක
ඔබේ තීරු ලිපි කියවන බොහෝ පිරිසක් ලංකාව පුරාම වගේම ලෝකය පුරාමත් විසිරී සිටිනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.

අනුර හෑගොඩ
(සිනාසෙමින්) ඒ ගැන නම් කියන්නට තිබෙන්නේ ඉතා උණුසුම්... කියලා තමයි. මගේ සෑම තීරු ලිපියක්ම පළවුණාට පස්සෙ මම මගේ ඊ-මේල් ගිණුම පරීක්‍ෂා කර බලන්නේ තරමක සැලෙන හදවතින්. මොකද මල් වගේම ගල්වලිනුත් අඩුවක් නැහැ මට.


චින්තක ටිකිරිබණ්ඩාර

2012/11/27

චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා


චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා 


ප්‍රවීණ නාට්‍යවේදියෙක් මෙන්ම සිනමාකරුවෙකුත් වූ ධර්මසිරි බණ්ඩාර නායකයන් ඔහුගේ "හංසවිලක්" චිත්‍රපටයේ තිර පිටපත මුද්‍රණයෙන් එළිදුටු මොහොතේ ආවර්ජනා නමින් ඊට පෙරවදනක් එක් කරමින් මෙසේ ලියා තිබුණා මට මතකය.


"එවකට චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමට නම් සංස්ථාවෙන් අධ්‍යක්‍ෂක බලපත්‍රයක් ලබාගෙන තිබිය යුතුය. අඩු තරමින් වෘත්තාන්ත චිත්‍රපට දෙකක සහාය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කර හෝ සංස්ථාව සෑහීමට පත් කරන ආකාරයෙන් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කර තිබිය යුතුය. නාට්‍යවේදී සුගතපාලද සිල්වා සහ නාට්‍යවේදී ධම්ම ජාගොඩද ඉහත සුදුසුකම් සපුරා නොමැති කමෙන් සිනමාවේදීන් වීමේ භාග්‍යය අහිමි කරගත්තවුන්ය.


හඬන්නදැයි සිනාසෙන්නදැයි නොතේරෙයි. මේ අපේ රටේ හැටිය. කොහොම වෙතත් චිත්‍රපට හදන්නට බැරිවූ සුගතපාලද සිල්වා කප් සුවහසක් කල් මතක සිටින්නට තරම් වන වේදිකා නාට්‍යය ගණනාවක් නිෂ්පාදනය කළේය. "සොඳුරු ආඥාදායකයා සිනමාකරුවෙක් නොවූයේ වේදිකාවේ වාසනාවට යැයි හිත හදාගන්නට ඔහුගේ නාට්‍යය පෙරහර හොඳටෝම ප්‍රමාණවත්ය. බෝඩිංකාරයෝ, හරිම බඩු හයක්, තට්ටු ගෙවල් සහ දුන්න දුනු ගමුවේ වැනි සුගතපාලද සිල්වාගේ පිතෘත්වයෙන් බිහිවෙන නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය උඩු යටිකුරු කළේය.


සුගතපාලද සිල්වා 1962 බෝඩිංකාරයෝ නිපදවමින් වේදිකාවට පය ගසන්නේ සරච්චන්ද්‍රයන් විසින් "මනමේ" හා "සිංහබාහු" නාට්‍යය නිෂ්පාදනය කරමින් ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය නාට්‍ය නිෂ්පාදනයේ පරමාදර්ශී ආකෘතිය ලෙසින් ඔසොවා තිබූ යුගයකය. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් වියූ වියමනෙහි එල්ලා වැටෙන කසීසළු සුගතපාලද සිල්වාගේ ඇස ගැටී තිබුණේය. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය මනමේ හා සිංහබාහු මතින් තම කූටප්‍රාප්තිය පිවිස අවසන්ව හුන්නේය. සිංහබාහු හෝ මනමේ අතික්‍රමණය කළ හැකි තවත් නාට්‍යයක් නිපදවීමට සරච්චන්ද්‍රයන්ටම නොහැකි වූයේය. කෙමෙන් වෙනස් වෙමින් තිබූ තත්කාලීන සමාජ, දේශපාලනික ප්‍රපංචයන් ප්‍රකාශ කිරීමේ නවමු මඟ මේ යැයි සුගතපාලද සිල්වා "බෝඩිංකාරයෝ" වේදිකාවට ගෙන එමින් ප්‍රකට කොට සිටියේය.

සුගතපාලද සිල්වා කලාව නම් වූ කරළියට අවතීර්ණ වන විට එහි කේනද්‍රීය ලක්‍ෂ්‍යය හෙවත් මධ්‍ය ලක්‍ෂ්‍යය වූයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියයි. එහෙත් සුගතපාලද සිල්වා යනු එම අධිපතිවාදියාගේ සහජාතකයෙක් නොවීය. වඩාත් පැහැදිලිව කියනවා නම් සුගතපාලද සිල්වා මෙරට ඊනියා 56 විප්ලවයට පෙර බිහිවූ අවසන් ද්විභාෂක පරම්පරාවේ නියෝජනයක් වූ නමුදු විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් නොවූයේය. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල ප්‍රාඥයන්ට අසමසම වන සාහිත්‍ය කලා දැනුමක් ඔහු සතු විය. එපමණක් නොව සුගතපාලද සිල්වා සමඟ රොද බැඳ සිටි ඔහුගේ කට්ටිය හෙවත් "අපේ කට්ටියේ" බහුතරයක් දෙනාද ඔහු වැනිම විශ්වවිද්‍යාල නිෂ්පාදනයන් නොවීය. සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ වැන්නන් ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.


සුගතපාලද සිල්වා පැහැදිලිවම දේශපාලන නාට්‍යකරුවෙක් විය. ජර්මානු දාර්ශනිකයෙක් වූ සාතේ්‍රගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පය "බෝඩිංකාරයෝ" සිට "දුන්න දුනු ගමුවේ" දක්වාම පැතිර තිබුණේය. එහෙත් 1972දී නිපදවුණු "දුන්නු දුනු ගමුවේ" නාට්‍යයේදී සුගතපාලද සිල්වාගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පයන් හෙල්ලුම් කා තිබුණ බැව් පැහැදිලිව පෙනී ගිය කාරණාවක් වූයේය. ඊට හේතු වූයේ 1971 ජ. වි. පෙ. අරගලයයි. "දුන්න" නිපදවීමෙන් පසු ෆීනික්ස් කුරුල්ලෙක් පරිද්දෙන් සුගතපාලද සිල්වා නමැති සාංදෘෂ්ටිකවාදී නාට්‍යකරුවා අළුවී ගොස් ඒ අළු මතින් උපත ලබන්නේ මාක්ස්වාදී නාට්‍යකරුවෙකි. ඔහුගේ පසුකාලීන නාට්‍යය සියල්ල ඔහුගේම අර්ථයෙන් ගතහොත් "කැපවූ" නාට්‍යය වූයේ 71 බලපෑම මතින් සිදුවූ මේ විපර්යාසය නිසාය.


සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සාම්ප්‍රදායික ප්‍රසාදයන් ලිහී බිඳවැටුණු තවත් එක් කලා ක්‍ෂේත්‍රයක් වූයේ ගුවන් විදුලි නාට්‍යයයි. ගුවන් විදුලිය සමඟ සුගතපාලද සිල්වාට පුදුමාකාර, තදන්තර අවියෝජනීය බැඳීමක් තිබුණේය. කිසි දිනක පැය අටේ රැකියාවක තම භෞතික ශරීරය හා කලාකාමී ආධ්‍යාත්මිකය සිරකරලන්නට අකැමැති වූ ඔහු කොන්ත්‍රාත් පදනම මත ගුවන් විදුලියේ සේවයට එක්වන්නේ "රස්සාවක් නොකරන එකෙකුට දුව නොදෙන්නේ යැයි" පෙම්වතියගේ මවුපියන් ස්ථීර කොට කියන්නට වූ කල්හිය.


"හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍යය" නම් වූ සුගතපාලද සිල්වා විසින් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව ලියූ කෘතියම ඔහු විසින් මෙරට ගුවන් විදුලි නාට්‍යය කලාවට කරනු ලැබූ සේවය ප්‍රමාණවත් කොට දැක්වීමට සෑහේ. ආධුනික ගුවන් විදුලි නාට්‍යය පිටපත් රචකයකුට එම කෘතිය සපයන පිටුබලය වචනවලට නැඟීමට අපහසුය. අද ගුවන් විදුලි නාට්‍ය කලාව කියා එකක් සොයා ගැනීමටත් අපහසු නිසා මෙවැනි කෘති ඔස්සේ නිධන්ගත කළ දැනුම ප්‍රයෝජනයට නොගැනෙයි. කෙසේ වෙතත් ඇරැව්වල නන්දිමිත්‍ර, කපිල කුමාර කාලිංග, බන්දුසිරි එගොඩගේ සහ තවත් නිර්මාණශීලී රචකයන් සමඟ එක්ව සුගතපාලද සිල්වා නිෂ්පාදනය කළ ගුවන් විදුලි නාට්‍යය මෙරට ගුවන් විදුලි නාට්‍යය ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණ බවට විවාදයක් නොමැත.


කලාවේ සෑම මානයක්ම පිරිසිඳ දැනහුන් "වැඩකාරයෙක්" වූ සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සසැලුණු තවත් ක්‍ෂේත්‍රයක් වූයේ සාහිත්‍යයයි, නවකතාවයි. ඔහුගේ නවකතාවල දක්නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණය වූයේ ඒවා සියල්ලම පාහේ සිනමාරූපී නිර්මාණ වීමයි. එහෙත් අවාසනාවකට ඔහුගේ "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ." සිට බිත්ති හතර, අසුර නිකාය, බල්ලෝ බත් කති, පවර නිරිඳෙක් වීය බඹදත් ආදී අපූරු සාහිත්‍යය ව්‍යායාමයන් කිසිවක් මෙරට නිසි ඇගැයුමකට ලක් නොවීය.
විශිෂ්ට සිනමා නිර්මාණ බිහි කිරීමට අවකාශ තිබූ ඔහුගේ "එසේ වී නම් මිනිසුනේ අසව්", "බල්ලෝ බත් කති" ආදී සාහිත්‍යය නිර්මාණවලට යොමු නොවූ අවධානයක් සුගතපාලද සිල්වාගේ සිනමාරූපී ගුණයෙන් අඩුම නවකතාවට වූ බිත්ති හතරට ලදුව එය සිනමා පටයක් බවටද පත්විය.


විශිෂ්ට කලා හැකියාව මෙන්ම මේ සොඳුරු ආඥාදායකයාගේ සුවිශේෂී ගුණය ඔප් නැංවූ අනෙක් කාරණාව නම් කලාකරුවකු වශයෙන් ඔහු සතුකොට ගෙන සිටි අදීනත්වයයි. කිසි දිනෙක බාල දේශපාලන හෝ ආර්ථික ව්‍යාපාරයන් අභිමුව පාවා නොදුන් එම අදීනත්වය, තම මතය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ හැකියාව වර්තමාන කලාකරුවන්ට ආදර්ශයක්ම වන්නේ ඔහුගේ වියෝවෙන් වසර දහයක් ගෙවෙන තැන ලාංකේය කලාකරුවන්ගේ වර්තමාන ආස්ථානයන් කලාකරුවකු සතුවිය යුතු අදීනත්වය ප්‍රශ්න කරමින් සිටින නිසාය. ජනතාවාදී යැයි කියා ගන්නා කලාකරුවන්ට තමන් සිටිය යුතු තැන මේ යැයි සුගතපාලද සිල්වාගේ භූමිකාව පෙන්වා දෙන නිසාය.
-චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/11/22

සජීවීකරණයේ ජපන් විස්මිතය


           සජීවීකරණයේ ජපන් විස්මිතය



ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානය අළු දූලි ගසා නැඟිටිමින් සිටි සමයයි. 1965 දී ජපානයේ ‘තෝයි’ නම් සජීවීකරණ චිත්‍රපට සමාගම “සඳෙන් එපිටට ගලිවර්ගේ චාරිකානමින් සජීවීකරණ චිත්‍රපටයක් නිපදවමින් සිටියා. නමුත් චිත්‍රපට කතාවේ අවසානය සහ යොදාගෙන තිබූ චිත්‍ර රූප පිළිබඳව ගැටලුවක් නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය පමා කෙරෙමිනුයි තිබුණේ. සඳෙන් එපිටට ගලිවර්ව කැඳවාගෙන යෑමට ගොස් බලාපොරොත්තු බිඳගෙන සිටි ‘තෝයි’ සමාගමේ පිහිටට පැමිණියේ එවකට එහි ආධුනික රසායානාගාර සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයෙක්. ඔහු චිත්‍රපටයේ කතාවට ආකර්ෂණීය නිමාවක් ලබාදෙමින්, ‘මන්ගා’ නම් පාරම්පරික ජපන් කාටුන් චිත්‍ර යොදාගනිමින් ගලිවර් හට සඳෙන් එපිටට සුවිසැරියක යෙදීමට අවස්ථාව ලබාදෙනවා. ඉන් වසර 40කට පසුව ‘හයාඕ මියසාකි’ නම් මෙම තරුණයා ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකය සසැලවූ මිනිසුන් 100 දෙනා අතරටද එක්කර ගන්නවා.

ජාත්‍යන්තරව දැවැන්ත ලෙස ව්‍යාප්ත වූ ජපන් සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිමැවුම් ලෝකයේ සැබෑම ගලිවරයෙක් වන “හයාඕ මියසාකි” කෘතහස්ත ජපන් ‘මන්ගා’ හෙවත් පාරම්පරික ජපන් කාටූන් චිත්‍ර ශිල්පියෙක්. එපමණක් නොවෙයි ඔහු සජීවීකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. විකිපීඩියා අන්තර්ජාල අඩවියට අනුව නම් මියසාකි සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිපැයුම් ලෝකයේ අප්පොච්චි යැයි සැලකිය හැකි වෝල්ටර් ඩිස්නි සහ නික් පාර්ක්, රොබර්ට් ෂෙමෙස්කි යන පුරෝගාමීන් අතරෙහි සමතැන් තැබිය හැකි නිර්මාණකරුවෙක්.


එහෙත් ජපන් සජීවීකරණ හා ටෙලි නිපැයුම් ලෝකයේ පූර්වගාමියා මියසාකි නොවේ. මාස්ටර් ‘බසමු තෙසුකා’  වැනි පහසුවෙන් මතකයෙන් මැකී නොයන, පසු කලෙක සම්ප්‍රදායක් බවට පත්වූ විශාල බෝල වැනි ඇස් ඇති, ඉත්තෑකූරු හිස්කෙස් සහිත කාටුන් චරිත බිහිකරමින් ජපන් සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිමැවුම් ලෝකයේ සමාරම්භකයා වුවත් ජපන් සජීවීකරණ කලාවේ ජගත් මුද්‍රාව බවට පත්වූයේ ‘හයාඕ මියසාකි’ ය.


ඔහු විස්මයාකාර, නිර්මාණශීලී කතා ප්‍රබන්ධකයෙක්. ඔහුගේ නිර්මාණවල දක්නට ලැබෙන විශ්වාස කළ නොහැකි බොහෝ දෑ අපි අත්‍යයන්තයෙන්ම විශ්වාස කරනවා “the anime encyclopediea” හි සම සංස්කාරක ජොනතන් ක්ලෙමන්ට්ස් මියසාකිව වර්ණනා කරමින් පවසනවා.


1963 ‘තෝයි’ චිත්‍රපට සමාගමේ සේවයට බැඳුණු මියසාකි වසර පහක ඇවෑමෙන් එහි ප්‍රධාන සජීවීකරණ ශිල්පියා බවට පත්වන්නේ තමා සැබෑ වැඩකාරයෙක් බැව් තහවුරු කොට පෙන්වන නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙමින්. ලෝක සජීවීකරණ සිනමාවේ විශිෂ්ට සංකේතයක් වශයෙන් සැලකිය හැකි holsi prince of the sun   නම් චිත්‍රපටයට මියසාකි අංශ කිහිපයකින්ම දායකත්වය සැපැයුවා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ඉසාඕ තකහාටා’ මියසාකි සජීවීකරණ විෂය ක්‍ෂේත්‍රයේ දක්වනු ලැබූ බුහුටිත්වය පිළිබඳව කොපමණ සෑහීමකට පත්වූවාද යත් අනතුරුව එළැඹුණ දශක හතර පුරාම ඔහුගේ නිර්මාණ සගයා වූයේ මියසාකියි.


එපමණක් නොවෙයි(1969), Flying Pbantom ship (1969), Animal Terasure isaland (1971), Ali baba and the forty thieves (1971)
ආදී චිත්‍රපට ගණනාවක සජීවීකරණ ශිල්පියා වශයෙන් කටයුතු කරන “හයාඕ මියසාකි” තමන්ගේ ප්‍රථම චිත්‍රපටය වන Nausioa of the valley of the wind  චිත්‍රපටය 1984 දී නිපදවන්නේ තම නිර්මාණ සගයා වූ තකහාටා විසින් ආරම්භ කරන ලද ගිබ්ලි චිත්‍රාගාරයේදී. ගිබ්ලි චිත්‍රාගාරය හා ‘හයාඕ මියසාකි’ ගහට පොත්ත මෙන් ඇලුණු සුසංයෝගයක් වනවා. මියසාකි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Spirited away චිත්‍රපටය නිපදවෙන්නේ ගිබ්ලි චිත්‍රාගාරයේ වන අතර 2001 වසරේදී හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා එම චිත්‍රපටය ඇකඩමි සම්මානය දිනාගනු ලබනවා. අනතුරුව 2004 වසරේදීත් මියසාකිගේ how's moving gastle චිත්‍රපටය ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වනවා.

බොහෝ විට කුඩා දරුවන්ගේ වික්‍රමයන් කේන්ද්‍ර කොටගෙන නිපදවෙන මියසාකිගේ චිත්‍රපටවල ඇවිදයන බලකොටු, පියාඹන යන්ත්‍ර, බස් රථ බවට පත්වූ බළලුන් සහ කතා කරන ඉදිබුවන් දැකගන්නට අපහසු නැහැ. එහෙත් විශේෂත්වය වන්නේ මියසාකි මවනා ඉන්ද්‍රජාලික මායාකාරී ලෝකය යථාර්ථ ලෝක ස්වභාවයන් මත ක්‍රියා කිරීමයි.

ඇමෙරිකානු ලේඛිකාවක් වන “උර්සුලා කේ. ලී ගුවේන්” ගෙන් earth sea  නම් කෘතිය ප්‍රමුඛ අනෙක් බොහෝ කෘතින් කියැවීමට මියසාකි අසීමාන්තික කෑදරකමකින් පෙළෙනවා. තම සිනමා නිර්මාණ සඳහා උර්සුලාගේ බලපෑම නොමඳව ලැබී ඇති බැව් මියසාකි ද නිහතමානීව පිළිගන්නවා.

සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිපැයීම උදෙසා පරිගණකයේ බරසාර කර්තව්‍යය ආගමනය වන්නට පෙර රූප රාමුවෙන් රාමුවට අතින් පැන්සල උපයෝගී කොට ගනිමින් සජීවීකරණ නිපැයුම් මැවූ මියසාකි අතීත හුරුකම් පරිගණක මවුසය වෙතට හුවමාරු කරගනිමින් තවමත් ඔහුගේ මනසේ ඇඳෙන විස්මයාකාර නිර්මාණශීලී ප්‍රබන්ධයන් සජීවීකරණ ටෙලි හා චිත්‍රපට නිර්මාණ බවට පත්කරමින් සිටිනවා.