Google+ Followers

2012/11/27

චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා


චිත්‍රපටි ලයිසොං අහිමි වූ සොඳුරු ආඥාදායකයා 


ප්‍රවීණ නාට්‍යවේදියෙක් මෙන්ම සිනමාකරුවෙකුත් වූ ධර්මසිරි බණ්ඩාර නායකයන් ඔහුගේ "හංසවිලක්" චිත්‍රපටයේ තිර පිටපත මුද්‍රණයෙන් එළිදුටු මොහොතේ ආවර්ජනා නමින් ඊට පෙරවදනක් එක් කරමින් මෙසේ ලියා තිබුණා මට මතකය.


"එවකට චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමට නම් සංස්ථාවෙන් අධ්‍යක්‍ෂක බලපත්‍රයක් ලබාගෙන තිබිය යුතුය. අඩු තරමින් වෘත්තාන්ත චිත්‍රපට දෙකක සහාය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කර හෝ සංස්ථාව සෑහීමට පත් කරන ආකාරයෙන් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කර තිබිය යුතුය. නාට්‍යවේදී සුගතපාලද සිල්වා සහ නාට්‍යවේදී ධම්ම ජාගොඩද ඉහත සුදුසුකම් සපුරා නොමැති කමෙන් සිනමාවේදීන් වීමේ භාග්‍යය අහිමි කරගත්තවුන්ය.


හඬන්නදැයි සිනාසෙන්නදැයි නොතේරෙයි. මේ අපේ රටේ හැටිය. කොහොම වෙතත් චිත්‍රපට හදන්නට බැරිවූ සුගතපාලද සිල්වා කප් සුවහසක් කල් මතක සිටින්නට තරම් වන වේදිකා නාට්‍යය ගණනාවක් නිෂ්පාදනය කළේය. "සොඳුරු ආඥාදායකයා සිනමාකරුවෙක් නොවූයේ වේදිකාවේ වාසනාවට යැයි හිත හදාගන්නට ඔහුගේ නාට්‍යය පෙරහර හොඳටෝම ප්‍රමාණවත්ය. බෝඩිංකාරයෝ, හරිම බඩු හයක්, තට්ටු ගෙවල් සහ දුන්න දුනු ගමුවේ වැනි සුගතපාලද සිල්වාගේ පිතෘත්වයෙන් බිහිවෙන නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය උඩු යටිකුරු කළේය.


සුගතපාලද සිල්වා 1962 බෝඩිංකාරයෝ නිපදවමින් වේදිකාවට පය ගසන්නේ සරච්චන්ද්‍රයන් විසින් "මනමේ" හා "සිංහබාහු" නාට්‍යය නිෂ්පාදනය කරමින් ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය නාට්‍ය නිෂ්පාදනයේ පරමාදර්ශී ආකෘතිය ලෙසින් ඔසොවා තිබූ යුගයකය. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් වියූ වියමනෙහි එල්ලා වැටෙන කසීසළු සුගතපාලද සිල්වාගේ ඇස ගැටී තිබුණේය. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය මනමේ හා සිංහබාහු මතින් තම කූටප්‍රාප්තිය පිවිස අවසන්ව හුන්නේය. සිංහබාහු හෝ මනමේ අතික්‍රමණය කළ හැකි තවත් නාට්‍යයක් නිපදවීමට සරච්චන්ද්‍රයන්ටම නොහැකි වූයේය. කෙමෙන් වෙනස් වෙමින් තිබූ තත්කාලීන සමාජ, දේශපාලනික ප්‍රපංචයන් ප්‍රකාශ කිරීමේ නවමු මඟ මේ යැයි සුගතපාලද සිල්වා "බෝඩිංකාරයෝ" වේදිකාවට ගෙන එමින් ප්‍රකට කොට සිටියේය.

සුගතපාලද සිල්වා කලාව නම් වූ කරළියට අවතීර්ණ වන විට එහි කේනද්‍රීය ලක්‍ෂ්‍යය හෙවත් මධ්‍ය ලක්‍ෂ්‍යය වූයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියයි. එහෙත් සුගතපාලද සිල්වා යනු එම අධිපතිවාදියාගේ සහජාතකයෙක් නොවීය. වඩාත් පැහැදිලිව කියනවා නම් සුගතපාලද සිල්වා මෙරට ඊනියා 56 විප්ලවයට පෙර බිහිවූ අවසන් ද්විභාෂක පරම්පරාවේ නියෝජනයක් වූ නමුදු විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් නොවූයේය. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල ප්‍රාඥයන්ට අසමසම වන සාහිත්‍ය කලා දැනුමක් ඔහු සතු විය. එපමණක් නොව සුගතපාලද සිල්වා සමඟ රොද බැඳ සිටි ඔහුගේ කට්ටිය හෙවත් "අපේ කට්ටියේ" බහුතරයක් දෙනාද ඔහු වැනිම විශ්වවිද්‍යාල නිෂ්පාදනයන් නොවීය. සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ වැන්නන් ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.


සුගතපාලද සිල්වා පැහැදිලිවම දේශපාලන නාට්‍යකරුවෙක් විය. ජර්මානු දාර්ශනිකයෙක් වූ සාතේ්‍රගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පය "බෝඩිංකාරයෝ" සිට "දුන්න දුනු ගමුවේ" දක්වාම පැතිර තිබුණේය. එහෙත් 1972දී නිපදවුණු "දුන්නු දුනු ගමුවේ" නාට්‍යයේදී සුගතපාලද සිල්වාගේ සාංදෘෂ්ටිකවාදී සංකල්පයන් හෙල්ලුම් කා තිබුණ බැව් පැහැදිලිව පෙනී ගිය කාරණාවක් වූයේය. ඊට හේතු වූයේ 1971 ජ. වි. පෙ. අරගලයයි. "දුන්න" නිපදවීමෙන් පසු ෆීනික්ස් කුරුල්ලෙක් පරිද්දෙන් සුගතපාලද සිල්වා නමැති සාංදෘෂ්ටිකවාදී නාට්‍යකරුවා අළුවී ගොස් ඒ අළු මතින් උපත ලබන්නේ මාක්ස්වාදී නාට්‍යකරුවෙකි. ඔහුගේ පසුකාලීන නාට්‍යය සියල්ල ඔහුගේම අර්ථයෙන් ගතහොත් "කැපවූ" නාට්‍යය වූයේ 71 බලපෑම මතින් සිදුවූ මේ විපර්යාසය නිසාය.


සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සාම්ප්‍රදායික ප්‍රසාදයන් ලිහී බිඳවැටුණු තවත් එක් කලා ක්‍ෂේත්‍රයක් වූයේ ගුවන් විදුලි නාට්‍යයයි. ගුවන් විදුලිය සමඟ සුගතපාලද සිල්වාට පුදුමාකාර, තදන්තර අවියෝජනීය බැඳීමක් තිබුණේය. කිසි දිනක පැය අටේ රැකියාවක තම භෞතික ශරීරය හා කලාකාමී ආධ්‍යාත්මිකය සිරකරලන්නට අකැමැති වූ ඔහු කොන්ත්‍රාත් පදනම මත ගුවන් විදුලියේ සේවයට එක්වන්නේ "රස්සාවක් නොකරන එකෙකුට දුව නොදෙන්නේ යැයි" පෙම්වතියගේ මවුපියන් ස්ථීර කොට කියන්නට වූ කල්හිය.


"හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍යය" නම් වූ සුගතපාලද සිල්වා විසින් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව ලියූ කෘතියම ඔහු විසින් මෙරට ගුවන් විදුලි නාට්‍යය කලාවට කරනු ලැබූ සේවය ප්‍රමාණවත් කොට දැක්වීමට සෑහේ. ආධුනික ගුවන් විදුලි නාට්‍යය පිටපත් රචකයකුට එම කෘතිය සපයන පිටුබලය වචනවලට නැඟීමට අපහසුය. අද ගුවන් විදුලි නාට්‍ය කලාව කියා එකක් සොයා ගැනීමටත් අපහසු නිසා මෙවැනි කෘති ඔස්සේ නිධන්ගත කළ දැනුම ප්‍රයෝජනයට නොගැනෙයි. කෙසේ වෙතත් ඇරැව්වල නන්දිමිත්‍ර, කපිල කුමාර කාලිංග, බන්දුසිරි එගොඩගේ සහ තවත් නිර්මාණශීලී රචකයන් සමඟ එක්ව සුගතපාලද සිල්වා නිෂ්පාදනය කළ ගුවන් විදුලි නාට්‍යය මෙරට ගුවන් විදුලි නාට්‍යය ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණ බවට විවාදයක් නොමැත.


කලාවේ සෑම මානයක්ම පිරිසිඳ දැනහුන් "වැඩකාරයෙක්" වූ සුගතපාලද සිල්වාගේ බලපෑමෙන් සසැලුණු තවත් ක්‍ෂේත්‍රයක් වූයේ සාහිත්‍යයයි, නවකතාවයි. ඔහුගේ නවකතාවල දක්නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණය වූයේ ඒවා සියල්ලම පාහේ සිනමාරූපී නිර්මාණ වීමයි. එහෙත් අවාසනාවකට ඔහුගේ "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ." සිට බිත්ති හතර, අසුර නිකාය, බල්ලෝ බත් කති, පවර නිරිඳෙක් වීය බඹදත් ආදී අපූරු සාහිත්‍යය ව්‍යායාමයන් කිසිවක් මෙරට නිසි ඇගැයුමකට ලක් නොවීය.
විශිෂ්ට සිනමා නිර්මාණ බිහි කිරීමට අවකාශ තිබූ ඔහුගේ "එසේ වී නම් මිනිසුනේ අසව්", "බල්ලෝ බත් කති" ආදී සාහිත්‍යය නිර්මාණවලට යොමු නොවූ අවධානයක් සුගතපාලද සිල්වාගේ සිනමාරූපී ගුණයෙන් අඩුම නවකතාවට වූ බිත්ති හතරට ලදුව එය සිනමා පටයක් බවටද පත්විය.


විශිෂ්ට කලා හැකියාව මෙන්ම මේ සොඳුරු ආඥාදායකයාගේ සුවිශේෂී ගුණය ඔප් නැංවූ අනෙක් කාරණාව නම් කලාකරුවකු වශයෙන් ඔහු සතුකොට ගෙන සිටි අදීනත්වයයි. කිසි දිනෙක බාල දේශපාලන හෝ ආර්ථික ව්‍යාපාරයන් අභිමුව පාවා නොදුන් එම අදීනත්වය, තම මතය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ හැකියාව වර්තමාන කලාකරුවන්ට ආදර්ශයක්ම වන්නේ ඔහුගේ වියෝවෙන් වසර දහයක් ගෙවෙන තැන ලාංකේය කලාකරුවන්ගේ වර්තමාන ආස්ථානයන් කලාකරුවකු සතුවිය යුතු අදීනත්වය ප්‍රශ්න කරමින් සිටින නිසාය. ජනතාවාදී යැයි කියා ගන්නා කලාකරුවන්ට තමන් සිටිය යුතු තැන මේ යැයි සුගතපාලද සිල්වාගේ භූමිකාව පෙන්වා දෙන නිසාය.
-චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/11/22

සජීවීකරණයේ ජපන් විස්මිතය


           සජීවීකරණයේ ජපන් විස්මිතය



ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානය අළු දූලි ගසා නැඟිටිමින් සිටි සමයයි. 1965 දී ජපානයේ ‘තෝයි’ නම් සජීවීකරණ චිත්‍රපට සමාගම “සඳෙන් එපිටට ගලිවර්ගේ චාරිකානමින් සජීවීකරණ චිත්‍රපටයක් නිපදවමින් සිටියා. නමුත් චිත්‍රපට කතාවේ අවසානය සහ යොදාගෙන තිබූ චිත්‍ර රූප පිළිබඳව ගැටලුවක් නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය පමා කෙරෙමිනුයි තිබුණේ. සඳෙන් එපිටට ගලිවර්ව කැඳවාගෙන යෑමට ගොස් බලාපොරොත්තු බිඳගෙන සිටි ‘තෝයි’ සමාගමේ පිහිටට පැමිණියේ එවකට එහි ආධුනික රසායානාගාර සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයෙක්. ඔහු චිත්‍රපටයේ කතාවට ආකර්ෂණීය නිමාවක් ලබාදෙමින්, ‘මන්ගා’ නම් පාරම්පරික ජපන් කාටුන් චිත්‍ර යොදාගනිමින් ගලිවර් හට සඳෙන් එපිටට සුවිසැරියක යෙදීමට අවස්ථාව ලබාදෙනවා. ඉන් වසර 40කට පසුව ‘හයාඕ මියසාකි’ නම් මෙම තරුණයා ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකය සසැලවූ මිනිසුන් 100 දෙනා අතරටද එක්කර ගන්නවා.

ජාත්‍යන්තරව දැවැන්ත ලෙස ව්‍යාප්ත වූ ජපන් සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිමැවුම් ලෝකයේ සැබෑම ගලිවරයෙක් වන “හයාඕ මියසාකි” කෘතහස්ත ජපන් ‘මන්ගා’ හෙවත් පාරම්පරික ජපන් කාටූන් චිත්‍ර ශිල්පියෙක්. එපමණක් නොවෙයි ඔහු සජීවීකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. විකිපීඩියා අන්තර්ජාල අඩවියට අනුව නම් මියසාකි සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිපැයුම් ලෝකයේ අප්පොච්චි යැයි සැලකිය හැකි වෝල්ටර් ඩිස්නි සහ නික් පාර්ක්, රොබර්ට් ෂෙමෙස්කි යන පුරෝගාමීන් අතරෙහි සමතැන් තැබිය හැකි නිර්මාණකරුවෙක්.


එහෙත් ජපන් සජීවීකරණ හා ටෙලි නිපැයුම් ලෝකයේ පූර්වගාමියා මියසාකි නොවේ. මාස්ටර් ‘බසමු තෙසුකා’  වැනි පහසුවෙන් මතකයෙන් මැකී නොයන, පසු කලෙක සම්ප්‍රදායක් බවට පත්වූ විශාල බෝල වැනි ඇස් ඇති, ඉත්තෑකූරු හිස්කෙස් සහිත කාටුන් චරිත බිහිකරමින් ජපන් සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිමැවුම් ලෝකයේ සමාරම්භකයා වුවත් ජපන් සජීවීකරණ කලාවේ ජගත් මුද්‍රාව බවට පත්වූයේ ‘හයාඕ මියසාකි’ ය.


ඔහු විස්මයාකාර, නිර්මාණශීලී කතා ප්‍රබන්ධකයෙක්. ඔහුගේ නිර්මාණවල දක්නට ලැබෙන විශ්වාස කළ නොහැකි බොහෝ දෑ අපි අත්‍යයන්තයෙන්ම විශ්වාස කරනවා “the anime encyclopediea” හි සම සංස්කාරක ජොනතන් ක්ලෙමන්ට්ස් මියසාකිව වර්ණනා කරමින් පවසනවා.


1963 ‘තෝයි’ චිත්‍රපට සමාගමේ සේවයට බැඳුණු මියසාකි වසර පහක ඇවෑමෙන් එහි ප්‍රධාන සජීවීකරණ ශිල්පියා බවට පත්වන්නේ තමා සැබෑ වැඩකාරයෙක් බැව් තහවුරු කොට පෙන්වන නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙමින්. ලෝක සජීවීකරණ සිනමාවේ විශිෂ්ට සංකේතයක් වශයෙන් සැලකිය හැකි holsi prince of the sun   නම් චිත්‍රපටයට මියසාකි අංශ කිහිපයකින්ම දායකත්වය සැපැයුවා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ඉසාඕ තකහාටා’ මියසාකි සජීවීකරණ විෂය ක්‍ෂේත්‍රයේ දක්වනු ලැබූ බුහුටිත්වය පිළිබඳව කොපමණ සෑහීමකට පත්වූවාද යත් අනතුරුව එළැඹුණ දශක හතර පුරාම ඔහුගේ නිර්මාණ සගයා වූයේ මියසාකියි.


එපමණක් නොවෙයි(1969), Flying Pbantom ship (1969), Animal Terasure isaland (1971), Ali baba and the forty thieves (1971)
ආදී චිත්‍රපට ගණනාවක සජීවීකරණ ශිල්පියා වශයෙන් කටයුතු කරන “හයාඕ මියසාකි” තමන්ගේ ප්‍රථම චිත්‍රපටය වන Nausioa of the valley of the wind  චිත්‍රපටය 1984 දී නිපදවන්නේ තම නිර්මාණ සගයා වූ තකහාටා විසින් ආරම්භ කරන ලද ගිබ්ලි චිත්‍රාගාරයේදී. ගිබ්ලි චිත්‍රාගාරය හා ‘හයාඕ මියසාකි’ ගහට පොත්ත මෙන් ඇලුණු සුසංයෝගයක් වනවා. මියසාකි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Spirited away චිත්‍රපටය නිපදවෙන්නේ ගිබ්ලි චිත්‍රාගාරයේ වන අතර 2001 වසරේදී හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා එම චිත්‍රපටය ඇකඩමි සම්මානය දිනාගනු ලබනවා. අනතුරුව 2004 වසරේදීත් මියසාකිගේ how's moving gastle චිත්‍රපටය ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වනවා.

බොහෝ විට කුඩා දරුවන්ගේ වික්‍රමයන් කේන්ද්‍ර කොටගෙන නිපදවෙන මියසාකිගේ චිත්‍රපටවල ඇවිදයන බලකොටු, පියාඹන යන්ත්‍ර, බස් රථ බවට පත්වූ බළලුන් සහ කතා කරන ඉදිබුවන් දැකගන්නට අපහසු නැහැ. එහෙත් විශේෂත්වය වන්නේ මියසාකි මවනා ඉන්ද්‍රජාලික මායාකාරී ලෝකය යථාර්ථ ලෝක ස්වභාවයන් මත ක්‍රියා කිරීමයි.

ඇමෙරිකානු ලේඛිකාවක් වන “උර්සුලා කේ. ලී ගුවේන්” ගෙන් earth sea  නම් කෘතිය ප්‍රමුඛ අනෙක් බොහෝ කෘතින් කියැවීමට මියසාකි අසීමාන්තික කෑදරකමකින් පෙළෙනවා. තම සිනමා නිර්මාණ සඳහා උර්සුලාගේ බලපෑම නොමඳව ලැබී ඇති බැව් මියසාකි ද නිහතමානීව පිළිගන්නවා.

සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිපැයීම උදෙසා පරිගණකයේ බරසාර කර්තව්‍යය ආගමනය වන්නට පෙර රූප රාමුවෙන් රාමුවට අතින් පැන්සල උපයෝගී කොට ගනිමින් සජීවීකරණ නිපැයුම් මැවූ මියසාකි අතීත හුරුකම් පරිගණක මවුසය වෙතට හුවමාරු කරගනිමින් තවමත් ඔහුගේ මනසේ ඇඳෙන විස්මයාකාර නිර්මාණශීලී ප්‍රබන්ධයන් සජීවීකරණ ටෙලි හා චිත්‍රපට නිර්මාණ බවට පත්කරමින් සිටිනවා.