Google+ Followers

2013/03/26

නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන "තෙත්බිම්"


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වශයෙන් සැලකිය හැකි ගංගා 103ක් කිලෝමීටර් 4,560ක් තරම් වන දුරක් ඇදෙමින් වර්ග කිලෝමීටර් 59,245ක් තරම් වන අති විශාල භූමි ප්‍රමාණයක් තම දිය කඳින් පෝෂණය කරනු ලබයි. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 90%කටත් වඩා වැඩි ප්‍රතිශතයකි. එලෙස ගත්විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සාතිශය බහුතර ප්‍රමාණයක් 'තෙත් බිම්' වශයෙන් ගැනිය හැකිය.

නමුත් අවාසනාවක මහත නම් මෙම දත්ත ගැළැපීම් ප්‍රායෝගික තත්ත්වයේ හෙවත් සැබෑ මහපොළොවේ දක්නට නොලැබීමයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ 'තෙත්බිම්' ක්‍ෂේත්‍ර අගයයන් අතිමහත් ශීඝ්‍ර වේගයෙන් පහළ ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. 1900 වර්ෂයෙන් පසුව ලෝකයේ පැතිර තිබූ තෙත් කලාපයන්ගෙන් හරි අඩක් අතුරුදන්ව ගොස් තිබිණි. පමා වී පැමිණ හෝ ශ්‍රී ලංකාවටද එම ඉරණම අත්වෙමින් තිබේ.



ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි. අප මෙහිදී සඳහන් කරන්නේ සංවර්ධනය නොව නිශ්චිත පාරිසරික කළමනාකරණය රහිත සංවර්ධනය බැව් නැවත වරක් අවධාරණය කළ යුතුව තිබේ.
සංවර්ධනය සමඟ වගුරු බිම් ගොඩකිරීම එකිනෙක හා අතිනත ගන්නා වූ ක්‍රියාවලියකි. තෙත්බිම් අහිමි වී යෑමටත් ඒත් සමඟම එතෙක් කාලයක් ඒ තෙත්බිම්වලට ආවේණික වූ ජීවී පද්ධතීන් තම අවසන් ගමන් යෑමටත් වගුරුබිම් ගොඩ කිරීම ඍජුවම බලපාන ලද කාරණාවන්ය. විශේෂයෙන්ම බෙල්ලන්විල, අත්තිඩිය සහ මුතුරාජවෙල වගුරු බිම්වලට අත්වූ ඛේදනීය ඉරණම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.

පුත්තලම් මුහුදු තීරයේ වූ කඩොලාන පද්ධතීන් පෙරදා තරම් සශ්‍රීකව දැන් දක්නට නොහැකිය. හේතුව වන්නේ වේගයෙන් සිදුකෙරෙන හරිත කලාපයන් හෙළි පෙහෙළි කිරීමයි. පුත්තලම කළපුව ආශ්‍රිත 'තෙත් බිම්' තවදුරටත් තෙත් බිමක් වශයෙන් අනාගතයේ නොපවතිනු ඇති බවට සලකුණු වශයෙන් රතු එළි දැල් වී තිබේ. එම තෙත් බිමට ආවේණික වූ ජීවී විශේෂයන් සහ ඔවුන්ගේ වාසස්ථානද එපරිද්දෙන්ම ස්වාභාවික පරිසරයට අහිමි වී යනු ඇති බවට සැකයක් නොමැත.

ශ්‍රී ලංකාව පුරාම එකකට එකක් නොදෙවැනි ලෙස සිදුවන ජල මූලාශ්‍රයන් දූෂණය සමඟින් 'තෙත්බිම්' වැනසී යෑමේ උවදුර තවදුරටත් තීව්‍ර වී තිබේ. කාබනික විමෝචනයන්, වෙනත් රසායනික අපධාහයන්  සහ කැළිකසළ බැහැර කිරීම් නිසා ගංගා, වැව් හා ගොහොරු බිම්වලට අත් වී ඇති ඉරණම මුතුරාජවෙල, කැලණි ගඟ සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජල පද්ධතීන් හා ඒ ආශ්‍රිත තෙත් බිම් විමසා බැලීමෙන් ඔබටම දැකගත හැකිවනු ඇත.

එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වැලි ගොඩදැමීම් සහ මැණික් ගැරීම්ද තෙත් බිම් අහිමි වී යෑමට බලපානු ලබන තවත් සාධකයකි. විශේෂයෙන්ම කෘත්‍රිමව සිදුකෙරෙන මෙම වැටි බැඳීම් හෝ හරස් කිරීම් ස්වාභාවික ක්‍රමානුකූල නිම්න පිහිටීම පරිසර පද්ධතියට අහිමි කරනු ලබයි. විශේෂයෙන්ම මහවැලි ජල ගැලුම් නිම්නයන් ආශ්‍රිත 'විල්ලු' නමින් හඳුන්වනු ලැබූ තෙත් බිම් අහිමි වී යෑමට හේතුව මෙම කෘත්‍රිමව සිදුකෙරෙන ගංගා හෑරීම් සහ හරස් කිරීම්ය. පොළොන්නරුව මනම්පිටිය ආශ්‍රිත වැලි ගොඩදැමීම් නිසා එහි මහවැලි 'විල්ලු' භූමියට අත්වීගෙන යන ඉරණම මේ මොහොතේදී ද නිශ්චිත අවසානයකි.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් හා ඒ ආශ්‍රිත ජීවී පද්ධතීන් අහිමි වී යෑමට බලපාන සාධක ගණනාවක් ඇතිමුත් මෙම ලිපියෙන් අප පෙන්වා දුන්නේ ඉන් ප්‍රධාන කිහිපයක් පමණකි. ඊට අමතරව මල ද්‍රව්‍ය අපවහනය, සැලැසුම් රහිත ජල සම්පාදන පද්ධතීන් සහ අනවසර පතල් කැණීම් වැනි ක්‍රියාකාරකම් ද තෙත්බිම් දූෂණයට ඍජුව බලපාන තවත් සාධක වෙයි.

මෙම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මෙරට පරිසර පද්ධතියට තෙත්බිම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම කාරණාවක් බැව් පෙනේ.
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'

මෙරට තෙත්බිම් පද්ධතීන්හි වටිනාකම තීව්‍ර කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් දක්වතොත් මෙරට පෘෂ්ඨවංශී ජීව විශේෂයන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් තෙත්බිම් ආශ්‍රිත ජීවී විශේෂ වෙයි. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්‍ෂීන්ගෙන් 50%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් මෙහි ගතකරන කාලය තුළ තම තාවකාලික වාසස්ථාන බවට පත්කර ගන්නේ තෙත්බිම්ය. එපමණක් නොව මෙරට වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා සිටින ජීවී විශේෂයන්ගෙන් 32%ක් පමණ තෙත්බිම් ආශ්‍රිත සත්ත්ව විශේෂ වෙයි.

කෙසේ වෙතත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබූ 'තෙත්බිම්' අති ශීඝ්‍ර වේගයෙන් පරිසර පද්ධතියෙන් අතුරුදන්ව යන බැව් සැබෑ යථාර්ථයයි. වැඩි වැඩියෙන් මෙම සුවිශේෂී පරිසර කලාපයන් ගැන කතා බහ කළයුතු, සංවාද කළ යුතු කාලය එළැඹෙමින් තිබේ. අවම තරමින් තෙත්බිම් යනුවෙන් පරිසර පද්ධතියක් අපෙන් ඔබ්බෙහි පවතිනවාය යන ක්‍ෂුද්‍ර පණිවුඩය හෝ සමාජගත කරන්නට ඔබත් දායක විය යුතුමය.

2013/03/22

02.මා සොයන්නේ හුදකලා තපස්වරයෙක්


කළු සිදුහත්. 
දෙවැනි දිගැහැරුම. 

01.අග්නි හුලක් අතින් ගත් නිසාශාරිකයා. 


අද එතැන් සිට ,
මෙතෙක් මොහොතක් අඳුරේ නිහඩව ගලා යන නදී ප්‍රවාහය දෙස බලා සිටි මඟියා සෙමෙන් හිස හැරවූවා සිදුහත් සම්මුඛයට. දෙදෙනාගේම අදුරේ දිළෙන කණනීකා එකිනෙක් පැටළුනේ එකම ඇසිල්ලේ. තවත් මොහොතක් දෙකක් දෙදෙනා උනුන් දෙස අනිමිස ලෝචනයෙන් බලා හුන්නා. පූර්වයෙන් දෑස් ඉම වෙනස් කළේ සිදුහත්. ආගන්තුක මගියාගේ අග්නිඛීල දීප්තියෙන් දිදුළන දෙනේත්‍රයෙහි කුමක්දෝ වශීකරවන ඉන්ද්‍රජාලික බලයක් ඇතැයි සිදුහත් ට සිතුණා. දැන් දැන් මේ නිශා සාරිකයා ගැන තවත් යමක් දැනගත යුතුම යැයි සිදුහත් සිතුවා. 



"ඔබ කවුද?" 
එසේ සිතුවේ සිදුහත් වුවත් ඇසූවේ ආගන්තුක මගියා. 

"මම සිදුහත්." 

"සිදුහත්?" 

මඟියා එයම ප්‍රතිරාවය කළා. ආයිමත් කාලමාත්‍රයකට දෙදෙනාගේම මුව හඩ ගොළුවූවා. ඒ සුවදායී නිහැඩියාව බිදින්නට සිදුහත් මැළිවූවා. දැන් දැන් ,අග්නි හුලක් හස්තගතව පැමිණි මේ මනුශ්‍ය ප්‍රාණියා මගහැර යාමේ ලාලසාවක් සිදුහත් සිත් කැනැත්තේ නළියන්නට වූවා. 

"සිදුහත්, ඔබ කොහි යන ගමනක්ද මේ ගඟබඩ අස හුදකලාව "

ආගන්තුක මඟියාගේ පැණයට පිළිවදන් බෙණන්නට පූර්වයෙන් සිදුහත් වහා නැග ආ සැකයක ඦයාමාත්‍රයකින් ආගන්තුකයා දෙස මොහොතක් බලා හුන්නා. 

"සබඳ, ඔබ නේරංජනාවෙන් එතෙරවීමට මගක් සොයනවා. මා මේ සංසාර ඕඝයෙන් එගොඩවීමට මඟක් සොයනවා" 

"අපූරුයි" 
මගියා එලෙස තෙපළුයේ ආහ්ලාදජනක ස්වරයකින්. එම ස්වරයේ ගර්භව තිබුණා නිර්ව්‍යාජයීය සංතුෂ්ටියක්. ආගන්තුක මගියාගේ සප්‍රීතිකර චිත්ත ප්‍රවේග ප්‍රවාහය සිදුහත්ටද දැණුනා. හැගුණා. සංජානනය වූවා. 

"සිදුහත් සබඳ, මා ප්‍රීති වූයේ ඔබේ හුදකලාව නිසයි.සංසාර විමුක්තිය සොයා යන හුදකලා ප්‍රාණියෙක් මුණගැසීම දුර්ලභයි." 

හුදකලාව ශාන්තයි. සුවයි. සැනසුම් සහගතයි. ඒ බැව් සමූහ සංඝනිකායේ ඇලී, වෙලී, ගැලී ගෙවූ පූර්ව ජීවිතය අතික්‍රමණය කිරීමෙන් පසුව හුදකලාව අත්විදීමෙන්ම සිදුහත් පසක් කරගෙන සිටියා. එහෙත් විමුක්ති සුව සොයා යන්නට ස්ව හුදකලා ආරම්මණය, බුද්ධි ඥානය සහ අත්දැකීම් ප්‍රමාණවත් දැයි සිදුහත් චිත්තයේ සැකයක් මෝදුවෙමින් තිබුණා. 

"ඔබට වැරදීමක් සබඳ. මා හුදකලා විමුක්ති ගවේශකයෙකු නොවේ .තවමත් මා ඊට සුදුස්සෙකු නොවේ යැයි මා සිත මට පවසනවා. "

සිදුහත් දෙඩූයේ මන්ද්‍ර ස්වරයකින්. අන්ධකාර සහන් ආලෝකය මැද කදෝකිමි ආලෝක ඛීලයන් දෙකක් ලෙස බැබළෙන දෙනේත්‍රය සිදුහත් වෙත යොමාලමින් ආගන්තුක මඟියා දීර්ඝ කාලමාත්‍රයක් නොසෙලී බලා සිටියා. 

""එසේ නම් ඔබ......? "
අනතුරුව සන්සුන් ස්වරයෙන් ඔහු විමසූවා. 

දුහුනු මා ගුරුවරයෙක් අභිමුඛ විය යුතුයි" 
මගියාගේ සන්සුන් ස්වර මාත්‍රයටම ගැළපෙන ලෙසින් සිදුහත් තෙපළුවා. 

දඹදිව ගුරුවරුන්ගේ මණ්ඩපයක් බවට පත් වෙමිනුයි තිබුණේ. ඒ නිසාම තම ලාලසාවන් මිදුන් පමුණුවා ගන්නට පණ පිඹින ගුරුවරයෙක් සොයාගැනීම අපහසු ව්‍යායාමයක් නොවනු ඇතැයි සිදුහත් සිත දරාගෙන උන්නා. එවැන්නෙක් පිළිබදව නාමමත්‍රික සිතුවිල්ලක් ඔහු සතුවූවා. 

"දඹදිව ගුරුවරුන් බොහෝමයි" 
සිදුහත් හැගූ සිතුවිලිම ආගන්තුක මගියා වචන වලට පෙරළුවා. ද්වීපය සිසාරා ,අසාර සංසාරයේ සාර ක්ෂේම විමුක්තිය සොයා යන්නන්ට පූර්වගාමීන් වන්නට බ්‍රාහ්මණ, පරිබ්‍රාජක,ආජීවක, උපාධ්‍යයන් බොහෝමයි. 

"සැබෑව "

"සබඳ සිදුහත් ,ගණ සංගණිකායෙහි බැඳී සංසාර චක්‍රයෙන් මිදීමේ මඟ සොයා යෑම නිෂ්ඵලයි. අවැඩදායකයි. අහේතුකයි. ඔබට ඔබේ සැබෑ ආරම්මණයන් අතපසුව යාවි" 

"මා සොයන්නේ හුදකලා තපස්වරයෙක්." 
සිදුහත් කීවා. 

ගණසංගනිකායෙහි ගිලී දිවිසැරීම තමන්ට තරම් නොවේ. පුරා දින තුනක් නේරංජනීය ඉස්මත්තේ මේ වනස්පති සෙවණ ගර්භයේ ධවල වැලිතලාව යහන කොටගෙන ගෙවූ හුදකලා සුවදායී කාලය අතැර යාමේ තෘෂ්ණාවෙනුයි සිදුහත් හුන්නේ. නිසි අහර පායාසයක් නොලැබූවත් හුදකලා ජීවීතයකට නිරාමිශ නිදහස් සුවය බිණිය නොහැකි තරම්. 

"කවුද ඔහු? ඔබ සොයා යන හුදකලා මගපෙන්වන්නා? "
ආගන්තුක මගියා ඇසූවේ සිදුහත් පවසන ඒ හුදකලා උපාධ්‍යායවරයා කවුරුන්දැයි අනුමාන කොට හඟිමින්. සහස් සංඛ්‍යාත ශිෂ්‍යයන් පිරිවරන ලද ගුරුවරයන් සෙවණේ මොක්සුව සොයා යන්නට නිෂ්ඵල වීර්‍ය නොවඩා සිදුහත් තෝරාගෙන ඇති මඟ පිළිබදව සූක්ෂ්ම ප්‍රීතියක් මඟියා සිත්තුළ ඇතිවී නැතිවී ගියා. 

"ඔහුගේ නම ආලාර" 

"ආලාර?  කෘෂ්ණ ආලාර නොහොත් ආලාර කාලාම නොවෙද?" 

"ඔව් ඔබ දන්නවා එහෙනම් ඔහුව" 
සිදුහත් කීවෙ විස්මයාවහ ස්වරයෙන්.සියුම් ප්‍රිතියකුත් පැටළී තිබුණා එහි. 

"ඔව් මා හොදි අඳුනනවා ඔහුව. ආලාර තුමන් සංසාර විමුක්තිය ලබා ගැනීමෙහිලා අරූප ධ්‍යාන සතක් උපදවාගත් හුදකලාව සැරිසරන තපස්වරයෙක්. ඔබට ඔහුව සොයාගැන්ම නම් අසීරු ව්‍යායාමයක් වේවි. 

""ඒ ඇයි?" 

තම අරමුණ සඵල කරගන්නට නොහැකිවේදෝ යි බියක් සිදුහත් ට දැණුනා. සිදුහත්ගේ හඩ ස්වරයෙන්ම මඟියා අදුනාගත්තා අපේක්ෂිතයාගේ හද සැල්ම. සංසාර ප්‍රවාහය තරණය කිරීමෙහි ලා මහත් ආරම්මණයන් පෙරදැරිව සිටින සිදුහත් කෙරෙහි උපන් අනුකම්පාවෙන් මගියා මෙසේ පැවසුවා. 

"සිදුහත් හදබිය පළවා හරින්න. මා ආලාරකාලාමයන් අතැර එනවිට ඔහු මහහිමයට වදින්නට සැරසෙමිනුයි උන්නේ.ඔබට හැකිවේවි..... "
මගියාට සිය තෙපුළ් අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නෑ. 

"සබද, ඔබ ආලාරයන් අතැර ආ බැව් කීයේ මන්ද?" 
සිදුහත් ඇසුවා.

""සිදුහත් ,,මා එතුමාගේ අභිමුව දුහුනෙකුව උන්නා. හෙට උදාවන අරුණෝදයේම පිටත්වන්න. කොසොල් රට කප්පසිකා වනයේ කෘෂ්ණ ආලාරයන් තවත් දිනක් හෝ දෙකක් රැදී සිටීවි. සීග්‍ර වුවහොත් එතුමන් ව මුණගැසෙන්නට ඔබට හැකිවෙනවා නිසැකයි. සසර දිග් විජයට ඔහුගේ ඇසුර අවැසිමයි. මා ඔහු ඇතැර් ආවේ ඇයි දැයි අසන්නට එපා. "
ආලාර කාලාමයන් ඇතැර ආ සිසුවෙක්. ඔහුගේ සංසාර මෝක්ෂ ඵල ලබාගැනීමට ආලාරයන්ගේ ඇසුරෙහි වටිනාකම තහවුරු කරන ආගන්තුක මගියෙක්. දෙදෙනාම එක් අයෙක්. බොහෝ පැණයන් ලියැලුවා සිදුහත්ගේ මනසේ. එහෙත් දීර්ඝ සුසුමක් හෙළමින් ඔහු නිහඩ වූවා පමණයි. 

රාත්‍රීය මැදියම පසුකර යමින් තිබුණා. නේරංජනා නදියට ඉහළින් අහසේ කප්කෙළ සහස් ගණනක් තාරකා දිදුළන අසිරිය මනමෝහනීය කළා සිදුහත්ව. ඒ නිරාමිස මනෝරංජනය මගියාද විදිනු ඇතැයි සිදුහත් සිතූයේ තරු එළියෙන් පැතිර යන සහන් ආලෝකයේ පිහිටෙන් ආකාශය දෙසට හරවාගත් හිසින් යුතුව ඔහු සිටිනු දැකීමෙන්. හාත්පස නිහඩයි. සමීපයෙන් ඇදී යන නදී ඕඝයේ ඕංකාර තරංගයත් ,සවන්පත්ලෙන් මතුව ඇසෙන ගීතවත් සංධ්වනියක් බඳු නිසාසැරි රැහැයියන්ගේ සංනාදයත් ඒ නිහැඩියාවේම සහජාත උරුමයන් ලෙසයි සිදුහත්ට දැණුනේ. හැගුණේ. 

කොපමණ මොහොතක් එලෙස ගෙවී ගියාදැයි සිදුහත්ගේත් මගියාගේත් උභය සිතට සවිඥානය වූයේ නැහැ. රාත්‍රීයේ සොදුරු සෞන්දර්‍යයෙන් දෙදෙනාම සම්මෝහනයි වී උන්නා. එහෙත් ඒ ආවේශය බොහෝ වේලාවක් පැවතුණේ නෑ. එක්වනම උච්ච තාරතාවයකින් නැගුණු වැළපුමක් හාත්පස වෙළාගෙන තිබූ සන්සුන් නිහැඩියාව බිඳ දැම්මා. එහෙත් ඒ එකම නිමේශයකට පමණයි. දැන් සියල්ල ආයෙමත් පෙර පරිදිමයි. මගියාත් සිදුහතුත් උනුන් දෑස් පැටළුවා. එක් ඇසිල්ලකදී නිහැඩියාව විසුණු කොට ඒ ඇසිල්ල්ලේම නිහැඩියාවේ ගිලීගිය ඒ හඩ කාගේද?

ඕන්න!  ආයිමත් ඒ ත්‍රීවුර වැළපුම. එහෙත් මෙවර එය ඇසුණේ පෙරට  වඩා දුර්වල ස්වරයකින්. විලාපය ඇදී ආවේ නේරංජනාව දෙසින්. බලාපොරොත්තු විය නොහැකි බුහුටි  කඩිසරකමකින් මගියා නැගී සිටියා. අර වැළපුම ආයිමත් මතුවූවා වඩාත් පැහැදිලි ලෙසින්. 

"සිදුහත් ! කවුරුන් හෝ දියේ ගිලෙමින් සිටිනවා. "
එසේ කියමින් හිස සඟවා ගත් පොරෝනාවත් සහිතවම මගියා නදී ඉවුර වෙත දිවගියා. 

-චින්තක ටිකිරිබණ්ඩාර.- 





2013/03/19

අඳුරු මහද්වීපයේ ස්වර්ණමාලිය.



ස්වර්ණමාලී නම් රුක් දේවතාවියක් ගැන අපගේ ඉතිහාසයේ සටහන්වී තිබේ. පණ්ඩිත් අමරදේවයන් ගයන්නේ ගැමුණු රජුගේ මුවට නැගුණා යැයි සාහිත්‍යකරුවා පරිකල්පනය කරන ලද රුවන්මාලිය ගැන කතාවයි.අද මා ලියන්නේ ඒ  රුවන්මාලිය ගැන නොව  නූතන රුක්දේවතාවිය යැයි සැලකිය හැකි කළුඅප්‍රිකානූ ස්වර්ණමාලිය ගැනයි. 


වන්ගාරි මාතායි නැඟෙනහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල ආචාර්ය උපාධියක් ලබාගන්නා පළමු කාන්තාවයි. කෙන්යාවේ උපත ලද ඇය 2004 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගන්නවා.

ඒ ඇයගේ මූලිකත්වයෙන් 1977 වසරේදි ඇරැඹෙන දැවැන්ත රෝපණ ක්‍රියාවලිය වෙනුවෙන්. 2011 වසරේදී මාතායි මිය යනවිට ඇය ඇරැඹූ හරිත කලාප ව්‍යාපාරය හෙවත් Green belt movement   විසින් අප්‍රිකාව පුරා රෝපණය කළ අලුත් පැළ ගණන මිලියන 30 ඉක්මවා තිබුණා. අප්‍රිකාවේ ස්වාභාවික ඓන්ද්‍රිය පරිසරය විසින් මිනිසුන්ගෙන් නිහඬව ඉල්ලා සිටි ත්‍යාගය අවශ්‍යම මොහොතක මාතායි විසින් ලබාදෙනවා. ඇය මිය යෑමට පෙර ජාත්‍යන්තර National  Geographic සඟරාව සමඟ සිදුකළ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට සිතුවේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයත් නිහඬව අපගෙන් ඉල්ලා සිටින දායාදයන් පිළිබඳව විමසිලිමත් වන අතළොස්සක් දෙනා හට උත්තේජනයක් වනු පිණිසයි.



 National  Geographic 
අපට කියන්න කොහොමද Green belt movement  එක පටන් ගන්නේ? ඒ වගේම ඇයි විශේෂයෙන් පැළ සිටුවීම වැනි දුෂ්කර කාර්යයක් අරඹන්නට කල්පනා කරන්නේ?
මාතායි -
අප්‍රිකානු සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ගේ ජීවිතයේ දුෂ්කරභාවය මම ඉතා හොඳින් දන්නවා. මට ඕන වුණා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ගේ ජීවිතයන් සැපවත් කරන්න. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේදී ගස් සමඟ කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. උයන්න පිහින්න දර ඕනෙ, ගෙවල් ‍ෙදාරවල් - වැටදඬු හදාගන්න, අත් බෙහෙත් ලබාගන්න, සත්තුන්ගෙ ආහාර විදිහට ගස්වලින් ප්‍රයෝජන බොහොමයි. 1977 වනවිට අප්‍රිකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් පහළ බැහැලා තිබුණා. එවිට අසීරු වුණේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගන්නයි.Green belt movement පටන් ගන්නෙ එලෙස අසීරුතාවට පත්වෙන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්.


 National  Geographic 
ආරම්භයේ සිට වසර 30කට මඳක් වැඩි කාලයක් ගෙවී ගොස් තිබෙන මොහොතේ Green belt ව්‍යාපාරය මිලියන 30කට ආසන්න ගස් සංඛ්‍යාවක් රෝපණය කර තිබෙනවා. මේ තරම් දිගු සාර්ථක ගමනක් එන්න අප්‍රිකානු කාන්තා ප්‍රජාව ඇතුළෙ ඔබේ සංකල්පයට ඉඩක් ලබාගන්න පහසු වුණාද?
මාතායි- 
අපි පළමුවැනි දවසෙ පටන් ගත්තේ පැළ 7ක් හිටවලා. ඇත්තටම මේක පැළ සිටුවීමේ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි, අපි සිටවපු පැළ බලා ගන්න ඕන, සත්කාර කරන්න ඕන. මිනිසුන් එදා තේරුම් ගත්තා. ඒක සතුටක්.අපේ කාන්තාවන්, විශේෂයෙන්ම පිටිසරබද උදවිය වටහාගත්තා මේ පැළ සිටුවීම ඔස්සේ ප්‍රතිලාභ ලැබෙන්නේ තමන්ටම බව. තමන්ගෙ බාල සහෝදරිය අද තමන් සිටුවන ගහ හෙට ප්‍රයෝජනයට ගනීවි කියන විශ්වාසය අපට පහසුවක් වුණා. මේ හැඟීම අප්‍රිකානු කාන්තාවන්ට තිබුණ නිසා අප්‍රිකාව තුළ පැළ සිටුවීමේ කාන්තා කණ්ඩායම් 6,000ක් පිහිටුවන්න අපට පුළුවන් වුණා.


 National  Geographic 
Green belt ව්‍යාපාරය දේශපාලනික මුහුණුවරක් ගනු ලැබුවේ කොහොමද?
මාතායි -
අපට මුල පටන්ම දේශපාලනික අරමුණු තිබුණේ නෑ. නමුත් කාන්තාවන්ගේ සුබසාධනය සඳහා ඔවුන්ව සංවිධානගත කරනකොට ආණ්ඩුව නොමනා අන්දමින් ඊට මැදිහත් වුණා. ආණ්ඩුවට අවශ්‍ය වුණා අපේ සංවිධාන ව්‍යුහය ඇතුළට ඇවිත් දේශපාලනික වාසි ලබාගන්න. අපට එවැනි අරමුණු නොතිබූ නිසා අපි ඊට විරුද්ධ වුණා.

 National  Geographic 
ඔබගේ ව්‍යාපාරයට පොලිසියේ අඩන්තේට්ටම්වලටත් ලක්වෙන්නට සිදුවුණා?
මාතායි- 
අප සාමාන්‍ය අප්‍රිකානු කාන්තාවන් පමණයි. අපට ආණ්ඩුව හෝ එහි නායකත්වය වෙනස් කිරීමේ වුවමනාවක් තිබුණේ නෑ. අප කළේ අප්‍රිකානු සාම්ප්‍රදායික ගැහැනියට තම මූලික අවශ්‍යතා සාම්ප්‍රදායික විදිහටම හෝ පහසුවෙන් සපයා ගන්නට හැකි විදියේ ඓන්ද්‍රිය පරිසරයක් නිර්මාණය කරන්න.


 National  Geographic 
පරිසර ක්‍රියාකාරිනියක වන ඔබට නොබෙල් සාම ත්‍යාගය හිමි වූවා. එය පිළිගනිමින් ඔබ කළ කතාවේ සඳහන් වූවා පරිසරය රැක ගැනීම සාමයට දිවෙන මාවතක්ය කියා..?
මාතායි -
ඔව්. මම සඳහන් කළ කාරණාව අප්‍රිකාවට පමණක් වලංගු කාරණාවක් නොවෙයි. අපට විඳගන්න සාමකාමී වාතාවරණයක් නැහැ. අපගේ පාරිසරික සම්පත් නියමාකාරයෙන් කළමනාකරණය කරගන්නට හැකියාව තිබෙන ආණ්ඩුවක් නැහැ. පරිසරය සහ සාමය අතර සම්බන්ධතාව තහවුරු වෙන්න අපි අපගේ ස්වාභාවික සම්පත් නිවැරැදිව කළමනාකරණය කරන්න ඕන. එහෙම කරන්නට සුදුසු මානව අයිතිවාසිකම් සුරකින යහපත් පාලනයක් තිබිය යුතුයි. ඒ කාරණා දෙකම සම්පූර්ණ වෙන මොහොතේ එතැන සාමය තිබේවි.


 National  Geographic 
මේ කාරණාව තවත් ටිකක් පැහැදිලි කළොත්?
මාතායි- 
අද මුළු ලෝකයම ගැටුම් වලින් පිරිලා. ස්වාභාවික පරිසරය නියමාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් විශාල විපත් ගණනාවකට මිනිසුන් මුහුණ දී සිටිනවා. පිලිපීනයේ අතිශය දරුණු ආකාරයෙන් වන විනාශය සිදු කෙරුණා. පසුගියදා ඔවුන්ට භයානක ගංවතුරකට මුහුණදීමට සිදුවුණා. මිනිසුන් දහසකට වඩා මිය ගියා. හයිටියේ ඇති වූ චණ්ඩමාරුතය (හරිකේන්) අමතක කරන්න බැහැ. හයිටියත් ගැටුම් බහුල කලාපයක්. නැටුම් මැද ස්වාභාවික පරිසරය ආරක්‍ෂා වන්නේ කොහොමද?

 National  Geographic 
අවසාන වශයෙන් සාමාන්‍ය ගැහැනියෙක් ලෙස ඔබ පරිසරයට ආදරය කරන්නටත් එය තේරුම් ගන්නටත් උත්සාහ දරන්නේ ඇයි?
මාතායි -
මම පුංචි දැරිවියක කාලෙ පටන්ම ස්වාභාවික පරිසරය මැදිකොටගෙන වැඩුණු ගැහැනියක්. ඒ කාලයේ හාත්පසම හරිත පාටයි. පිරිසුදුයි. අපි කෙළින්ම සතුන් වගේ ගඟට මුව තියලයි වතුර බිව්වේ. නමුත් මම අප්‍රිකාවෙන් පිටත සිට නැවැත ආවට පස්සෙ මම දැක්කා කුඩා කාලෙ තිබුණු පරිසරය තවදුරටත් නැති බව. පරිසරය ඇසුරේ වැඩී එයට ආදරය කළ මිනිසකු විදිහට මා යමක් කළ යුතුව තිබුණා. මම එය කළා.

2013/03/18

01.අග්නි හුලක් අතින් ගත් හුදකලා නිශාසාරිකයා.


කළු සිදුහත්.
වැඩිමනත් යමක් කියන්නට නැහැ. මේ රතුරජරටට බොහෝ කලක් එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටි මා ලියූ කුඩා නවකතාවයි. ඉඩකඩ ලැබෙන සෑම විටෙකම මාගේ වෙනත් ලියැවුම් වලට බාධාවක් නොවන පරිද්දෙන් 'කළු සිදුහත්' නවකතාව රතු රජරටට එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

01.
---------------------------------------------------------------------------------
නදී දියතලය සසැලුණා. පියවි නෙතකට දසුන් නොවන තරම් ක්ෂුද්‍රව. සර්පිලාකාර ජලතරංග සිතිජ අහසේ රක්ත වර්ණයෙන් පෙගී ගිය ගංඟා දියතලය මතින් එසෙවෙමින් පහත් වෙමින්, නැවැත එසෙවෙමින් අනතුරුව  නොපෙනී අතුරුදන්ව ගියේ දියකඳ පත්ලේ කම්පනයකින් ඔද්දලවයි. බොහෝ මොහොතක් පපු කුහරය තුළ සිරකරගෙන හුන් හුස්ම කඳ මහ හඩින් පිටකරමින් රිදීමය ප්‍රතිමාවක් පරිද්දෙන් සිදුහත් නදී දියමතින් ඉල්පුණා. 

පියවුණු දෑස් පියන් විවර වූයේ ඇසිල්ලකින්. නේරංජනා සිතිජයේ හිරු අස්තගතව යමින් සිටියේ බොහෝ වේගයෙන්. අන්ධකාරයේ ඝන බව සිදුහත්ට මුලින්ම හැගී ගියා. හැමදාමත් එසේමයි. දෑස දකින්නේ ප්‍රමාදව. හීයක පිම්මක් ගං ඉවුරට සෑහෙන බව සිදුහත් දැන සිටියා. 

රිදීමය කාන්තියකින් සදීප්තව තිබූ දියතලය අදෘශ්‍යමාන වෙමින් සිතිජ අහසත් ,හරිත වන රේඛාවත් එකම සමතලයක් බවට පත්වෙමින් තිබුණා. දැන් සකල ලෝ ධාතුවම තනි යායක්. ආමිස භව හැගුම් නිවී යමින් නිරාමිස සුවයකින් තම මනුෂ්‍ය ආත්මයම පිබිදී යන්නාක් මෙන් සිදුහත්ගේ සිත ස්වයං ආත්මීය ප්‍රීතියකින් ඔද වැඩුණා. නේරංජනාවේ ජන්ම සිසිළසින් දෝවනය වූ ඔහුගේ තුරුණු දේහය එම ආත්මීය ප්‍රහර්ෂයට ඒකාත්මික වී දිය ඉවුර තරණය කොට මහා වනස්පතියක් අස එකත්පස වූවා. 

පුරා තුන් දිනක් මේ වනස්පතිය හි සෙවණ ගර්භය තමන්ට පහස ලබදුන් අයුරු සිදුහත් චිත්ත ප්‍රතිරාව කළේ කෘතගුණ මාත්‍රයෙන් .තෙවැනි සූර්‍ය මහෝදයත් නිද්‍රාගතව ගෙවන මේ ඇසිල්ලේ නිසි අහර පිරිපතක නොලැබූ කුස ස්වකීය චිත්ත සංකල්පනාවන් වේදනාවෙන් මුසුප්පු කරන්නට වෙර දරන බැව් සිදුහත්ට දැනෙමින් තිබුණා. අබිනික්මනයන් මෙතරම් ගොරබිරම්ද? සිදුහත් දිගු සුසුමක් හෙළුවා. එහෙත් ආපසු හැරෙන්නට අවකාශයක් නැතැයි ඔහු දැන සිටියා. දිගු ගමන් නිතරම වෙහෙසකරයි. ගෙවී යමින් තිබුණු නිශාවෙහි තරුණ සිදුහත්ගේ චිත්ත ගර්භාෂයෙහි තමන් අතැර ආ පූර්ව දිවිසැරියේ මතක කළල වරින් වර එළිය වූවා. චිත්ත සන්තානයේ මතකයන් මකා දැමීම දුෂ්කර බැව් ඔහු අවබොධ කරගෙනයි උන්නේ. දැන් පැමිණ ඇත්තේ පළා ආ ආරම්මණයන් මුදුන් පමුණුවා ගැනීමයි. 

හාත්පස ලෝකය ප්‍රභාතය සමඟ දොඩමළු වන්නට බොහෝ වේලාවක් ශේෂව තිබියදී නේරංජනා ඉවුර ඔස්සේ ඉදිරියට ඇදෙන කදෝපැණි එළියක් වන් ආලෝක ලපයක් සිදුහත්ගේ නෙත ගැටුණේ අහම්බයෙන්. සෙමෙන් සෙමෙන් ,කෙමෙන් කෙමෙන් ඒ ආලෝක පුංජය ස්වකීය දිශාවට සමීප වන අයුරු දකිද්දී ඔහු විපිළසර වූවා. මේ දනසුන් පෙදෙසෙහි මනුශ්‍යය ප්‍රාණියෙක් දැකීම සිතට ආශ්වාදයත්- සංශයත් ගෙන ආවේ එකම නිමේශයකදී. නේරංජනා ඉම සමාන්තරව ඇවිද ආ අග්නි හුලක් අතින් ගත් ඒ හුදකලා ජීව ප්‍රාණියා තමන් අස වනස්පතිය යට නතර වී ගිනිහුල නිවාදමන් සැටි සිදුහත් නිහඩව බලා සිටියා. අන්ධකාරය විනිවිද ඉල්ප පැතිරෙන සහන් එළිය සෑහේයැයි ඔහුගේ සිත කීවාවත්ද? ඉනිබ්බේ මේ ආගන්තුක මනුශ්‍යයා සිදුහත් වාඩිලා හුන් වනස්පතිය වෙත පියමැන්නා. මෙතෙක් වේලා ඒකාංශ කොට ගත දවටාගෙන හුන් රළු පරළු පාංශකූලික වත්කඩ සිදුහත් පොරවාගත්තා තම සිරුරම වැසීයන ලෙස. ඒ චලනයෙන් රුකරඳ අබියස පළමුවැන්නෙක් සිටිනවා දුටු අමුත්තා හුන් පියවරම නැවතුණා. 

"අවසරද මට" ආගන්තුකයාගේ ගැඹුරු බ්‍රහ්ම ස්වරය අඳුර විනිවිද යමින් නින්නාද දෙන්නාක් මෙන් සිදුහත්ට හැගී ගියා. 

"මෙතන තවත් බොහෝ දෙනෙකුට පිරිමසා ගන්නට හැකියි" 

අමුත්තා ස්ව දෑස මානයේ වාඩිලාගන්නා සැටි සිදුහත් නිහඩව බලා සිටියා. තමා පරිද්දෙන්ම ඔහුත් කම්බිලියකින් හිස සඟවාගෙන. හඩ පෞරුෂය අනුව නම් ඔහුත් තමා පරිද්දෙන්ම යව්වනයකු විය යුතු බැව් සිදුහත් අනුමාන කළා. 

"ඔබ කවුද?" 

සිදුහත් ඇසුවා. අමුත්තා උන්නේ යෝගී සෙයියාවෙන් නදිය වෙතට යොමුකරගත් හිසින් ,,ස්ව ඊර්‍යාපථය අංශුවක්වත් වෙනස් නොකර ඔහු පිළිවදන් බිණුවා. 

"මම මඟියෙක්" 
ගෙවීයන්නට ඇත්තේ මොහොතක් හෝ දෙකක් පමණයි. ඊළග ඇසිල්ලේ ආගන්තුක මගියා නැවතත් හඬ අවදි කළා. 
"ගඟින් එතෙර වීමට මඟක් සොයන්නෙක්" 

ගෙවී ගිය දින තුනක කාලයහි නෙරංජනාවේ ගතිසොබා රුව ගුණ සිදුහත් මනාව අවබෝධකරගෙනයි හුන්නේ. ඉහත්තාවේ අනෝරා වැසි දියෙන් පරිපෝෂණය වූ නදී දිය පහළට ඇදීගියේ සැඩපරුෂ ස්වභාවයක් පෙන්වමින්. එහෙයින්ම මේ මහා ඕඝයෙන් එතෙරවීම කොතරම් දුෂ්කර ව්‍යයාමයක් වනු ඇතිදැයි ඔහු සිතුවා. 

"ඔබට තොටියෙක් සොයා ගන්න වේවි" 

"තොටියා මමයි" 

මන්දස්මිතයක් සිදුහත් මුව ඇදුණා. ආධුනිකයෙකුට නේරංජනාව කොතරම් බියකරුදැයි ඔහු අත්දැකිමෙන් පසක් කරගෙනයි සිටියේ. මගියා උන්මාදයෙන් දොඩවනවාදෝයි වරෙක ඔහුට සිතුණා. එහෙත් ඔහුගේ නද ස්වරයේ උන්මාදනීය සලකුණක් දැනෙන්නට නැහැ. 

"තොටියෙක් නම් පාරුවක් හබලක් උරුමයි. අර මහෝඝ ප්‍රවාහය තරණය කරන්නට ඒ අංගෝපාංග අවැසිමයි." 

"හබල මා සතුයි. මා සොයන්නේ පාරුවක්" 

තවමත් පළමු ලීලාවෙන්ම නොසෙල්වී ආගන්තුක මගියා පිළිවදන් මැතුරුවා. ශුන්‍ය දෑතින් ඇවිද ආ මේ මගියා දෙස වඩාත් පිරික්සුම්දායි බැල්මක් යොමන්නට ඔහුගේ ප්‍රතිබිණුම් ඇසූ ඇසිල්ලේම සිදුහත් පමාවූයේ නැහැ. තමන් හුදු මගියෙක් ලෙස හදුන්වාගන්නා මේ ආගන්තුක මනුශ්‍ය ප්‍රාණියා පිළිබදව වැඩියමක් දැනගැනීමේ කුතුහලකාරී ආශාවක් සිදුහත්ගේ චිත්තාභ්‍යන්තර්යේ නළියනු ලැබූවා. 

-චින්තක ටිකිරිබණ්ඩාර- 

2013/03/12

දෙවියන් යනු ඔබම සහ මම ම වෙයි

ජිවිතය කෙතරම් විවිධාකාරද? 
සෑම මිනිත්තුවක්ම පළමු මිනිත්තුවෙන් වෙනස් ය. 
බ්ලොග් පෝස්ටුවක් ලියන්නට පිවිසෙන සෑම මොහොතකම මේ ලිවිය යුතුදැයි මට සිතේ. 
බලපන් උබේ බ්ලොගියෙ නම.
'රතුරජරට.' 
උඹ ලියන්න ඕනෑ පොලිටිකල් විතරයි. 
මා සිත මට කියයි. 
සමහර බ්ලොග් රසිකයන්ද එවැනි මතයන් ඉස්මතු කරවන කොමෙන්ටු කොටයි. 
මා සිත බැඳගත් ගීතයක් ,කවියක් ,පින්තූරයක් ගැන ලියූ හනික 
"මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ? "  යැයි විමසයි. 
එහෙත් මගේ සිත දවන., තවන., රිදවන., සනසන දේ ගැන නොලියා සිටින්නේ කෙසේද? 
රතු රජරට මගේ දේශපාලනය නොව 
මගේ සිතයි..,
මගේ හදයි. 

මෙරට පළමු නිදහස් කවියා වූ ජීබී සේනානායකගේ 'පළිගැනීමෙහි' එන මේ කවිය ට මා හැමදාමත් ප්‍රිය කළේය. ඒ නිසා එය මෙහි ලියමි. 

බුද්ධිය මිත්‍රයෙකුයි සිතූ මම 
දිනක් මග රැක සිට ,
මගෙ දෙවියන් 
මරා හෙළිමි. 
දැවැන්තයකු වන බුද්ධිය 
අඳුරෙහි මග අඩි තබමින් 
මා පිටුපසින් එනු 
මට ඇසෙයි. 
දැන් මට සැක හැර ගමන් කළ නොහැක. 

මම උමතු සිනමා රසිකයෙක් වෙමි . ඒ මගේ අම්මාගේ ආභාශයෙනි. තරුණ වියේදී චිත්‍රපට බොහෝ ගණනක් නරඹා තිබූ ඇය කුඩා කාලයේදී මට ඒ සිනමා කතා කියා දුන්නේය.කතා දුසිම් ගණනක්. ඔව් කර්කශ වියැළි සුළං හමා යන රාත්‍රීන් ගණනාවකදී මා ගැටවර තරුණයෙක් වනතුරු මම අම්මාගේ සිනමා කතා ඇසීය. ඒ අතරින් මට අමතක නොවෙනම කතාන්දරයක් වූයේ මාතලං  චිත්‍රපටයේ කතාවයි. ඊට හේතු වන්නට ඇත්තේ එහි අඩංගු වූ ගීත වන්නට ඇත. හොඳ ගායිකාවක වූ අම්මා චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත සියල්ල ප්‍රතිගායනා කළාය. කෙසේ වෙතත් අම්මාගේ සෙනෙහෙබර තුරුල්ලෙන් මිදී දොරට වඩින විට මා උන්මාදනීය සිනමා ලෝලියෙක් වී හමාරය. 

මා දමිළ චිත්‍රපට නරඹන්නට පටන්ගත්තේ මහාරාජා ට පින්සිදුවන්නටය. ශක්ති චැනලයේ සෑම දිනයකම විකාශය වූ කොලිවුඩ් චිත්‍රපට බොහෝ ගණනක් මා නරඹා තිබේ. අන්තර්ජාලයට පින්සිදුවන්නට දැන් මා තවත් දෙමළ චිත්‍රපට තොගයක් නරඹා ඇත. දෙමළ චිත්‍රපට නිසාම යාන්තමින් දෙමළ කතාකරන්නට ඉගෙනගැනීමටද හැකිවිය. 

මා දෙමළ චිත්‍රපටවලට ලැදි වූයේ ඇයි? 
1.බොහෝ දෙමළ චිත්‍රපටවල තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ දුගී ජීවිතය විග්‍රහ කරන නිසාය. 
2.දෙමළ චිත්‍රපට නරඹන විට අපේ කමක් දැනෙන නිසාය. 
3.කොලිවුඩයේ චිත්තාකර්ශනීය සරල නරතනයන් නිසාය. 




කමල්හසන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබේවා  , ඔහු මගේ ප්‍රියතම නළුවෙකි. අද මේ බ්ලොග් පෝස්ටුව ලිවීමට හේතු වූයේත් ඔහු රගපෑ විශිෂ්ට සිනමා පටයක් වූ 'අන්බේ සිවම් 'හෙවත් 'දයාව නම් දෙවියන් වෙ' යන චිත්‍රපටය නැවත නැරඹීමෙන් ඇතිවූ ප්‍රකම්පනයයි. 
2003 වසරේදී නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය එක් පසෙකින් උත්තර මානවවාදී ඉසව්වක් කරා අප කැදවා යන අතර අනෙක් පසින් තියුණු දේශපාලනයක් සාකච්ජා කරයි. විශේෂ්යෙන්ම නූතන ලෝකය තුළ ධනවාදයේ සහ සමාජවාදයේ ගැටුම 'අන්බේ සිවම්' තුළින් මනාව නිරූපණය කරයි. මීට දශකයකට එපිටින් නිපදවුණු මෙම චිත්‍රපටය වර්තමානයේ එකිනෙකා කෙරෙහි ද්වේශයෙන්, වෛරයෙන් සහ සැකයෙන් බලන්නට හුරුකොට තිබෙන මෙරට සමාජයට පාඩම් ගණනාවක් කියාදෙන්නට සමත් වේ යැයි මට සිතේ. ලෝක සනාතනයන් ඔප්පු කොට පෙන්වයි. හදවත් අවදි කරවයි. 

'අන්බේ සිවම්' චිත්‍රපටයේ තේමා ගීතය මුළු සිනමා නිර්මාණයම එක් පිඩකට කැටි කොට ඇත්තාක් මෙනි. එහි සිංහල අරුත් මෙහි පළකරන්නේ චිත්‍රපටය නරඹා නැති ඔබට කිසියම් අදහසක් ගැනීමටය. (බොහෝ දෙනා එය නරඹා ඇතැයි සිතමි.)

දෙවියන් යනු කවුරුන්ද?
ඔබම සහ මා දෙවියන් වේ.  
ජීවිතය භාවනාවක්මැය, 
දෙවියන්ගේ දයාවෙන් ලැබුණු .

හැමවිටෙකම දයාව දෙවියන්වෙ. 
හැමතැනකම දයාව දෙවියන්වේ. 

හදවත ලොවුතුරු නම් දැවෙන ගිනි එය වනසනු ඇත. 
හදවත දයාවෙ මෙවලමක් නම් ,එය මරණයද අභිබවනු ඇත. 

දෙවියන් යනු ඔබම සහ මම ම වෙයි. 
ප්‍රෙමයේ මගට පිළිපන් ඔබට ,එමග කිසිදා නොනිමේ. 
ඔබේ සිතුවිලි හි දිග, පළල, සීමා 
ජීවිතයේ දිග, පළල, නිමාව  වේ. 


විද්‍යාසාගර්ගේ සංගීතයෙන් හැඩවුණු අන්බේ සිවම් තේමා ගීතය රසවිදින්න.
ජීවිතයේ සැබෑ යතාර්ථය පසුපස හලාල් සහ හරාම් වන්නේ මොනවාදැයි සැඟව තිබේ. 



2013/03/10

අවසන් පරපුරද මඩ සොදාගන්නට පෙර..... ,

ශාන්ති දිසානායකගේ 'පරඬැල් '   කියවා අවසන් කොට මා හුන්නේ නොසන්සුන් සිතිනි. ඈත රජරට සිට ගොවිජනපද කේන්ද්‍රකොටගත් වස්තුබිජයන්ගෙන්  සාහිත්‍ය වියමන් කරන ශාන්තිගේ නවකතා කියවන්නට මා මගබලා සිටින්නේ මමද ගොවිජනපදයක උපන් දරුවෙක් හෙයිනි.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී දේශපාලන ව්‍යාපාරයක් වූ ගොවිජනපද පිහිටු වීමේ ක්‍රියාවලිය මෙරට භූගෝලීය, දේශපාලනික මෙන්ම ආර්ථික පද්ධතීන් වෙනස් කිරීමේ කඩයිම් ක්‍රියාවලියක් වූවේය. නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ කවර දිනයකවත් එය නිසියාකාර ඇගයීමකට ලක්වූයේ නැත. 48 නිදහස දිනාගැනීමෙන් පසුව පිහිටුවා ගත් ඩී ඇස් සේනානායකයන්ගේ රජය විසින් එකල වනාන්තරවලින් වැසී ගිය රජරට සහ නුවරකලාවිය යෝධ ඉඩහසර ගොවිජනපද පිහිටුවීමට තෝරාගත්තේය. වනාන්තරයන්ගෙන් වැසී තිබුණු මෙම පළාත් ගැන කැලෑ ජෝන් නමින් සේනානායක පවුලේ නම් දැරූ  ඩී.ඇස්ට මනා අවබෝධයක් තිබූ බව 'මෙරට දේශපාලනයේ කුලය හා පවුල'' යන කෘතියේ වික්ටර් අයිවන් සඳහන් කර තිබුණා මට මතකය. මහවැලි ව්‍යාපාරයට අරාදිමින් තිබූ එම කාලයේ උඩරට , මහවැලියෙන් යටවීමට ඉඩකඩ තිබූ පවුල්වලට ඉඩම් සපයාදීමද ඩී.ඇස් රජයට තිබූ තවත් වගකීමක් විය. ඒ නිසාම මෙරට මුල්ම ගොවිජනපදවල පදිංචි කෙරවූ අයගෙන් බහුතර ප්‍රතිශතයක් උඩරැටියන් වූයේය. නමුත් ඩී එස් රජය කිසිම විටෙක උඩරට ප්‍රදේශවල පදිංචිව සිටි ඉන්දියානු වතු කම්කරුවන් මෙම ගොවිජනපද ව්‍යාපාරවල පදිංචි නොකෙරවීමට ප්‍රවේශම් වූයේය.


ඩී ඇස් රජය විසින් ඇරඹූ මුල්ම ජනපද ව්‍යාපාර භූගෝලීය වශයෙන් පමණක් වෙනස් වූ අතර සමාජයීය සහ සංස්කෘතික වශයෙන් සම්පූර්ණයෙන්ම එය උඩරට සමාජයේ පිළිබිඹුවක් වූයේය. නම්ගම්, කුලගොත්, සිරිත් විරිත් කතාබහ සියල්ලම එපරිද්දෙන්ම විය. විශේෂයෙන්ම අදට පවා මා උපන් ගොවිජනපදවල කුලගොත් ගැන සැලකීම ප්‍රධාන වශයෙන් බලපැවැත්වෙ . මා ලංකාවේ කුලක්‍රමය පිළිබඳව සමාජ විද්‍යාත්මක විශයයක් වශයෙන් හදාරන්නට පෙළඹෙන්නෙද ඒ බලපෑමෙනි. නමුත් මෙරට බොහෝ දෙනා ඒ ගැන සාකච්චා කරන්නට මැලිවනවා පමණක් නොව එහි නූතන අවභාවිතයන් අවබෝධකරගන්නටද නොවෙහෙසෙති. විශේෂයෙන්ම තමන් නූතන ලෝකයේ ඉදිරිගාමීන් යැයි කියාගන්නා බ්ලොග්කරුවන්ද මෙරට කුලක්‍රමය පිළිබදව සාකච්චා සහ එහි නියැළෙන්නන් හඳුන්වන්නේ ගෝත්‍රික මානසිකත්වයට එම ක්‍රියාකාරම් ලඝු කරමිනි.

මෙරට ගොවිජනපද ජීවිතය වෙනම කතාබහට ගතයුතු මාතෘකාවක් වන අතර මෙම පෝස්ටුව ලිවීමේ අරමුණ එම ක්‍රියාවලියේ දේශපාලනික,ආර්ථික සහ සමාජයීය වටිනාකම් නූතන ලංකාවේ භාවිතාවට වැදගත් වන ආකාරය ගැන කතිකාවතකට මුල පිරීමයි. වර්තමානය වනවිට එදා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටවූ ජනපද ව්‍යාපාරයන් රටටම බත සපයන කේන්ද්‍රීය මර්මස්ථාන බවට පත්වී තිබේ. හිකුරක්ගොඩ, මින්නේරිය, ගල් ඔය, සහ අනුරාධපුරයට අයත් ගොවිජනපද මෙන්ම ගාමිණී දිසානායකගේ මූලිකත්වයෙන් කටයුතු සිදුවූ මහවැලි 'බී' සහ 'සී' කලාපයන් යන ජනපද එකක් හෝ අහිමි වුවහොත් සිදුවන ආර්ථික හා සමාජයීය විපර්‍යාසයයන් සිතාගැනීමටත් දුෂ්කර වනු ඇත. නමුත් මෙම ජනපද පිහිටවීමෙන් පසුව එදා මෙදා තුර කාලයේ මෙම ජනපද ව්‍යවසායික වැදගත්කමක් ඇතැයි සලකමින් දියුණු කරන්නට කිසිඳු ආණ්ඩුවක් පියවර නොගත්තේය. සමගි පෙරමුණු රජය විසින් මෙම ජනපද කේන්ද්‍ර කොටගෙන ගොඩනගන ලද වී අලෙවි මණ්ඩලය වැනි ආයතන සුදු අලින් බවට පත්විණි. වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පිහිටි යෝධ ගොඩනැගිලි සංකීර්ණය අද බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කර්මාන්තශාලාවක් බවට පත්වී තිබේ. ස්වාධීන නිවහල් ජීවිත ගතකරන්නට හිමිකම් තිබෙන රජරට ගොවි දරුවන් එම ඇගළුම් කම්හලේ කුලියට රෙදි වියයි. අදටත් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත වෙළඳපළ ක්‍රමයට අම්මා මෝ නැතිවෙන්නට කියන වීදී අර්ථ ශාස්ත්‍රඥයන්ට අවබෝධ නොවූ කාරණාව වන්නේ රටක ආර්ථික පද්ධතිය දියුණු කිරීමට අටුවන් බැස ගිය, රෝද පුටුවලින් යන මහා රාජ්‍ය නායකත්වයක් ගැන විශ්වාස තබන සීනී, අල ,පරිප්පු,පත්තර ඇමතිලා රොත්තකට නොහැකි බවයි.