Google+ Followers

2012/08/21

රනිල් ගාමිණීට කෙළියද?

ජාතියේ මරාගෙන මැරෙන ප්‍රශ්නය
-රනිල් ගාමිණීට කෙළියද? 


මේ දිනවල මාධ්‍ය මගින් උඩ දාමින් ,,ලොකු පොල් ගෙඩි අකුරෙන් පළ කෙරෙන, පැණි නිව්ස් එකක් වී ඇත්තේ 94 මැතිවරණයේදී රනිල් ගාමිණීව පැරදවීමට රහසේ කටයුතු කළ බැව් කියව්න ප්‍රවෘත්තියයි ..මේ කතාව කරළියට ආවේ ශ්‍රීලනිපේ මහලේකම්  මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවෙදී කල කතාවක් නිසාය.

ඇත්ත වශයෙන්ම මේ දිනවල පොළොන්නාරුවේ මිනිසුන්ට තිබෙන බරපතළම, ඛේදජනකම හා දැවෙන ගැටළුව වන්නේ රනිල් ඇත්තටම ගාමිණීට කෙළෙව්වාදැයි දැන ගැනීමේ උවමනාවයි. ඔව්නට කුඹුරු පිටිවලට කලට වෙලාවට ජලය සැපයෙන අතර කිසිදු උපද්‍රවයකින් තොරව තව නොබෝ දිනකින් සරුසාර අස්වැන්නක් ලැබෙනු ඇත.

තවද,
බදු පිට බදු ගැසුවත් රජයෙන් ගෙන්වන සුපිරි ඩීසල් හා පෙට්‍රල් වලින් දුවන ගොවියන්ගේ වාහන වලින් පුරවා ඔව්න් තම අසවැන්න වෙළදපොලට ගෙනයනු ඇත

තවද,
ඔව්න්ගේ දරුවන් මුහුණ දෙන විභාග ප්‍රශ්න පත්තරවලද අදාළ අධ්‍යාපනික ගැටළු මිස වෙනත් ගැටළුවක් නොමැත.

තවද,
පසුගිය වසරවල විභාගයන්ට මුහුණ දුන් ගොවි දරුවන් දැන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබයි.  ඒ උත්තම අධ්‍යාපනඥයකු වූ සුමනසිරි බණ්ඩා තුමාගේ විශිෂ්ට ක්‍රියා කලාපයට පින්සිදුවන්නටය.

තවද,
තංගල්ලේ ස්ත්‍රී දූෂකයන්ට ඇප තියා ඇප නූලක්වත් බැදීමට ඉඩකඩක් නොතියා ඇති නිසා අධිකරණ ක්ෂෙත්‍රයේද ගැටළුවක් නොමැත.

තවද,
සරසවි ආචාර්යවරුන් මොන තරම් පිස්සු කෙළියත් ඔව්නටද පිටරට යාමට පහසුකම් ලබාදී ඇති අතර ඒ අපේ අධ්‍යාපනයේ දියුණුවයි.

තවද,
ඉදහිට බද්වුද්දීන් වැනි දඟකාර,සුරතල් පෙනුමක් ඇති ඇමතිවරයෙක් පොඩි පහේ සද්දයක් දැම්මත් එයින් අපේ අධිකරණයේ ස්වාධීනත්වයට හෝ එහි ගෞරවනීයභාවයට අබමල් රේණුවකවත් කැළලක් සිදුවී නොමැත.  

තවද, 
පැය විසිහතර පුරාම විදුලිය ලබාදෙන අතර හිස මුඩු කර දසසිල් සමාදන් වී සිටින පාඨලී නම් වූ කෙළෙඹි පුත්‍රයා හෙට අනිද්දාට මහා භාරතයටත් අපේ අතිරික්ත විදුලිය ලබාදෙන්නට කැස කවාගෙන බලා සිටියි. 

තවද, 
පදක්කම් තියා අහලකටවත් ළං වීමට නොහැකි වූවත් වැඩිම නිලධාරීන් පිරිසක් ඔලිම්පික් උළෙලට සහභාගි කරවීමට තරම්  අප සුඛිත මුදිත වී සිටියි. 

 ඉතින්, ඇත්තටම පොළොන්නරුවේ ගොවියන්ට තිබෙන මරාගෙන මැරී හෝ විසදාගත යුතු ගැටළුව වන්නේ රනිල් උන්නැහේ 94 දී ගාමිණී දිසානායකට වැඩේ දුන්නාද යන්නයි. මෛත්‍රීපාල සිරිසේන වැනි සංවේදී නායකයින්ට පොළොන්නරුවේ ගොවීන්ගේ එම ගැටළු මනාව අවබෝධ වී තිබෙන නිසාය එහෙම ප්‍රකාශයක් කළේ.
 

එහෙත් ....,සිරිසේනලා දැනගතයුතු කාරනාවක් තිබේ,
 කුඹුරු ටික මැරී ගොස්
 අපේ අහිංසක අම්මලාට තාත්තලාට හූල්ලන්නට ඉඩ තැබුවහොත් සියල්ල ආපිට කරකවන්නට
 පොළොන්නරුවෙ තරුණ ගොවියන්
 දෙපාරක් නොසිතන බවයි.  



2012/08/19

පාවෙලා ගිය කාලයේ දුර ඈත සුසුමන් තාම සුවදයි

පාවෙලා  ගිය  කාලයේ දුර  ඈත  සුසුමන්  තාම    සුවදයි 


මතක වස්ත්‍ර කියන නවකතාව මට ලැබුණේ අපේ පන්සලේ නන්දාලෝක පොඩිහාමුදුරුවන්ගෙන් ..ඒ මීට බොහෝම කාලෙකට ඉස්සර ..පොතේ නම දැක්ක හැටියෙම මට හිතුණේ මේකත් කො.ආනන්ද හාමුදුරුවෝ ලියපු 'හේ සිද්ධාර්ත නම් වෙයි' වගේ පොතක් කියලා. (මේ බ්ලොග් කියවන අපේ අය දන්නවා ඇතිනේ ලන්කාවේ ආචාර්ය උපාධියක් වෙනුවෙන් නිබන්ධනයක් වශයෙන් පිළිගත්තු එකම නවකතාව .කො.ආනන්ද හාමුදුරුවන්ගේ 'හේ සිද්ධාර්ථ නම් වෙයි 'කියන පොතයි කියලා ) පොතේ කතෘවරයා වුනේ ඤානවිපුල මුනසිංහ කියන අත්දැකීම් බහුල සිවිල් නිලධාරියා. මතක වස්ත්‍ර මා දන්නා තරමින්  ඔහුගේ එකම නවකතාව ..ඇත්තටම එය හරිම අපූරු සාහිත්යික නිරමාණයක්. කවුරුන් හෝ මගෙන් ඇහුවොත් මෙතෙක් කියවූ හොදම පොත් තුන මොනවාද කියලා මගේ ලැයිස්තුවෙ අනිවාර්යෙන්ම මතක වස්ත්‍ර තියෙනවා.

මේ පොතේ පිට කවරය නිර්මාණය කරලා තියෙන්නේ සෝමසිරි හේරත්  . මම ඔහුව ඉතාම ප්‍රියකරන චිත්‍රශිල්පියෙක් ..මගේ කාලයේ පාසල් පෙළ පොත්වල, විශේෂයෙන්ම සිංහල පාඩම් පොතේ චිත්‍ර ඇන්දේ ඔහු. සමහරවිට ඔබලාටත් මතක ඇති.

මතක වස්ත්‍ර සාහිත්යියේ චමත්කාරය පසක් කරවන පොතක්. මිනිසාගේ ජීවන අපෙක්ෂාවන් බිඳ වැටුනු කල්හි ජීවිතය කොතරම් දුශ්කරදැයි එම කෘතිය හැගීම් ඔස්සේ කියාදෙනවා. කුඩා කාලයේ පටන් පෙම්බැඳි 'නිල් ගොටුකොළ පඳුරක් ' වැනිවූ තම නෑණන්ඩිය කෙරෙහි වූ අසීමිත ප්‍රේමය, අධ්‍යාපනය නම් වූ හිනිමගේ පිහිටෙන් ලඟාකරගත්තාවූ සමාජ තත්වය තව දුරටත් ඔප නංවාගන්නට අවැසි ආර්ථික සමුර්දිය විවාහයේ පිහිටෙන් ලබාගන්නට ,අත්හැරදමන්නට මේ කතාවේ කතා නායකයාට බල කෙරෙනවා. නමුත් ජීවිත කාලය පුරාවටම වැලපෙන්නටත් ජීවිතය විඳවන්නටත් ඔහුට සිදුවෙනවා.

හුදු ප්‍රේම කතාවකට එපිටින් යන ගැඹුරු සමාජ ජීවිත විවරණයක් මතක වස්ත්‍ර තුළ දකින්නට පුළුවන්. මෙම නවකතාවට පෙරවදන් ලියන්නේ ප්‍රවීන කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කු විසිනුයි. ඔහු මතක වස්ත්‍ර හඳුන්වන්නේ සිංහල බෞද්ධ ගැමි සමාජයේ වංචනික චිත්ත චෛතසිකය අනාවරණය කරන කෘතියක් ලෙසිනි. එනයින් මෙය දේශපාලනික නවකතාවක්ද වෙයි. හැකි නම් සොයාගෙන රසවිඳින්නැයි මම ඔබට කියන්නේ එය ජීවිතයේදි කියවුය යුතු මඟහැර නොගතයුතු පොතක් ලෙස මට හැගී යන නිසාය.

1983 පෙබරවාරි 16
ආදරණීය ඉස්කෝලේ අයියේ, 
පේවිලා සිත මග බලාගෙන හද ගැබට ඔබෙ සුවඳ  පුරුදුයි 
නෑවිලා තරු බිංදු එළියෙන් සිටින කළුවර හඳම     විමසයි 
                                                                         මෙයට ,
                                            ඔබේම ආදර නන්දා (ඉබ්බී )

වියැළුණ ළපළු 

ගුරුපාරේ බඩවැටියෙන් 
කරඹ මලේ සුවඳ අරන් 
නුඹ එනකොට හැන්දෑවේ 
හිනාවෙවී...... 
අඩක් ඇරුණු ජනේලයෙන් 
පැනගන්නා මගේ දෑස් 
විකසිත වූ නුඹෙ සිනහව 
ආදරයෙන් තුරුළු කරන් 
පරෙස්සමට නිධන් කළා 
මගෙ හදවත් පෙට්ටගමේ 

සිනා කටක් පුරවාගෙන 
පොත් අහුරක් තුරුළු කරන් 
නුඹ ආ සඳ ඇදිරි හවස 
පායයි පුන්සඳ දොරකඩ 

හාන්සි පුටුවේ ඇලවී 
බුම්මාගෙන කරබාගෙන 
බණපොත් වනපොත් කරනා 
හිනාවෙන්න හරිම ලෝබ 
තේජවන්ත අප්පච්චිත් 
පොඩි නෑනේ නුඹ ආ විට 
පොත එක්කලා හිනාවෙනවා 

චිමිනි ලාම්පුවෙ එළියෙන් 
සාලයෙ මැද 
පැදුරක බිම 
ලොක්කි, උක්කු, පොඩි අක්කලා 
මද්දු, මැණිකේ අපි ඔක්කොම 
අතුරු මිතුරු දඹදිවතුරු 
සෙල්ලම හති වැටෙනා තුරු 
ඒ අතරේ හිස ඇලකර 
නුඹ හිනැහෙනු දකිනා සඳ 
මහඳ අඳුරු ගඳකිළිගෙය 
එකම ප්‍රදීපයක් වගෙයි 

මෝරන කළුවර අහසේ 
දිළිසෙන තරුකැටවල හැඩ -
-වැඩ දමනා මහද ගැබට 
"ඉස්කෝලේ ලොකු අයියේ "
කියලා නුඹ හීන්සැරේ 
කොඳුරන හඬ සැරින්සැරේ 
තරු වලටත් එහා තියෙන 
ඈත ලෝකෙකින් වාගේ 
පන්සාළිස් වසක් ගියත් 
අද ඊයේ වගෙ ඇසෙනවා. 

පාවෙලා  ගිය  කාලයේ දුර  ඈත  සුසුමන්  තාම    සුවදයි 
රෑ වෙලා හඳ කුටිය අසබඩ ඔබෙ සිනා පුන්කැළුම් පායයි 
                                       මීට-ඉස්කෝලේ ලොකු අයියා 


2012/08/17

ඔහු අවදි වන විටද , ඩයිනසෝරයා එහි සිටියේය

ඔහු අවදි වන විටද , ඩයිනසෝරයා එහි සිටියේය. when he woke up, the dinosaur  was still there .


 පාසල් යන දවස්වල මා බොහෝසෙයින් කෙටිකතා කියවීමට පුරුදුව සිටියේය. ,දිනපතා,සතිඅන්ත සහ මල් පත්තර වල තිබුනු මෙලෝ රහක් නැති කෙටිකතා රහ ගුන නොබලා එක හුස්මට කියැවීම මට මහත් ආශ්වාදයක් වූයේය. මේ කෙටිකතා කියැවීමට මා ඇබ්බැහි වූයේ ඒ දවස්වල 8 හෝ 9 පන්තියේ සින්හල පාඩම් පොතට එක්කර තිබූ ජී.බී සේනානායකගේ 'වෙසක් පහන 'කෙටිකථාව කියැවීමෙන් පසුව බව මට මතකය.ඉන්පසුව මගේ ප්‍රියතම කෙටිකතාකරුවා වූයේ .ජී.බී සේනානායකය.  ඔහුගේ 'දුප්පතුන් නැති ලෝකය' කෙටිකතා සන්ග්‍රහය තරම් විශිෂ්ට කෙටිකථා එකතුවක් සින්හල සාහිත්‍යට මෙතෙක් බිහිවී නොමැති බව මගේ අදහසයි. මාර්ටීන් වික්‍රමසින්හයන්ද හොද කෙටි කතාකරුවෙකි. නවකතාවල පරිද්දෙන් ජීවිතය හා සමාජය විග්‍රහ කිරීම සදහා තම කෙටිකතාව තුළ වූ කුඩා ඉඩකඩ ඔහු යොදා නොගත්තේ නම් ලන්කාවේ හොදම කෙටිකතාකරුවා වීමට ඔහුට හැකියාව තිබිණ''කෙටිකතාවෙන් ජීවිත් හා සමාජ විග්‍රහයන් කිරීමට නොහැකිය යන්න මාගේ අදහස නොවේ. නමුත් ඒවා වස්තුවිශය සමග මනා සම්බන්දතාවයක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත් වික්‍රමසින්හයන්ගේ වහල්ලු කෙටි කතා සන්ග්‍රහයද අතිශය වැදගත් අමතක කල නොහැකි නිර්මාණයකි. ඔහුගේ එක් කෙටි කතාවක් වන සද සාක්කි කීම මා මෙතෙක් කියවූ හොදම කතාවකි. එය වස්තුවිශයෙන් හා ආකෘතියෙන් ගී ද මෝපසාන්ගේ කෙටිකතාවන්ට ලන්වෙයි. මෝපසාන්ගේ සහ එඩ්ගාර් ඇලන් පෝ ගේ ලන්කාවේ නෑදෑයා වසයෙන් මා සලකන්නේ ඩබ්. ඒ සිල්වා මහතායි. ඔහුගේ කෙටිකතාවල නිතර නොනිවී දැල්වෙන අග්නිඛීලයක් පරිද්දෙන් වූ කුතුහලය මෙරට බොහෝදෙනා කෙටිකතා කියැවීමට පෙළබුවේය. එමෙන්ම හේමපාල මුනිදාස මහතාත් ඉතා හොද කෙටිකතා කිහිපයක්ම රචනා කරන ලද කෙටිකතාකරුවෙක් වෙයි. ටී. ජී ඩබ්. ද සිල්වා මහතා ලන්කාවේ උපහාසාත්මක කෙටි කතා කලාවේ රජුය. ඔහු සිහිවන විට කොළබ කවියෙක් වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මහතා සිහිවෙන්නේ ඇයිදැයි මට නොතේරේ. මේ මම සදහන් කළේ මුල් යුගයේ කෙටිකතාකරුවන් ගැනය. 

ලනකාවේ කෙටිකතා කලාවෙ දෙවනි පරපුර ඇරබෙන්නේ ගුනදාස අමරසේකරයන්ගෙන් බව මගේ අදහසයි. ගුනදාස අමරසේකරයන් නම් වූ නවකතාකරුවාට වඩා මා ප්‍රිය කරන්නේ ඔහු තුළ ජීවත් වූ කවියාටත්, කෙටිකතාකරුවාටත් ය. ඔහුගේ බයිසිකලය සහ අවුරුදු තෑග්ග කෙටිකතා ද්විත්වය මුලින්ම කියැවූ මා මහත් කම්පනයට පත්විය. මහාචාර්ය ඒ.වී සුරවීර ද මා මහත් සේ ඇලුම් කරන කෙටිකතාකරුවෙකි. ඔහුගේ ගස් නම් කෙටිකතා එකතුව  මා කියවූයේ පාසල් සිසුවෙකුව සිටියදීය. අපට සිටින තවත් විශිෂ්ට කෙටිකතා කරුවෙක් වන්නේ ජයතිලක කම්මැල්ලවීරයි. මම අජිත් තිලකසේනයන්ගේ වන්දනා කෙටිකතා සන්ග්‍රහය කියවූයේ අහම්බෙනි. ඉන්පසුව මා තිලකසේනයන්ගේ කෙටිකතා සොය සොයා යමින් කියවන්නට වීමි. ඒ තරමට මා ඔහුගේ නිර්මාණ කෙරෙහි වශීකර වී සිටියෙමි ..තවත් සදහන් කලයුතු කෙටිකතා නිර්මාපකයන් බොහොමයකි. නමුත් එක්වරම සිහියට නොයේ. කියවන ඔබ ඔවුන් පිළිබදව සදහන් කරාවියැයි මට සිතේ. 

දැන් ඔබේ සිතේ වැඩ කරන ප්‍රශ්නය කුමක්දැයි මට අනුමාන කල හැකිය. ඒ ඩයිනසෝරයෙක් ගැන කියූ මේ මනුස්සයා කෙටිකතාකරුවන් ගැන කියන්නේ ඇයිද යන්නයි. ඩයිනසෝරයන් හා කෙටිකතාකරුවන් අතර ඇති සමානකම් මොනවාදැයි මම දන්නේ නැත. එහෙත් මේ පෝස්ටුවේ හෙඩිමට මා යොදාගත්තේ ලෝකයේ කෙටිම කෙටි කතාවයි. ගෝතමාලා ජාතික ඔගොස්තෝ මොන්තෙරොසෝ නම් ලේඛකයා තමයි එකම එක වගන්තියකින් යුක්ත මේ කෙටිකතාව රචනා කර තිබෙන්නේ. කුතුහලය අවුස්සවන කතාවක් නේද? 
                                                                                     




2012/08/11

ගාමිණීගේ පරසතුමල් --සිනමා

"පරසතු මල්"ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් නොවෙයිද ?

ඊයේ පෙරේදා දවසක පත්තරේ වැඩකට ප්‍රවීන නාට්‍යවේදියෙකු සමග දොඩමළු වෙන්නට අවස්තාවක් හිමිවිණ. ලන්කාවේ වේදිකා නාට්‍ය කලාවෙන් පටන් ගත් ඔහු අපේ රටේ දේශපාලන, සමාජ හා සන්ස්කෘතික ජරාජීර්ණභාවය පිළිබදව ප්‍රශ්න කරමින් කතා කලේය. බලය තියන එකාට ඕනෑම දෙයක් කරන්නට පුලුවන් මල්ලී කිවූ ඔහු කතාවේ එක තැනකදී මෙසේ කීවෙ මා සසල කරවමිනි .

"මට සැකයක් තියෙනවා මල්ලී ඇත්ත්ටම පරසතු මල් හැදුවේ ගාමිනී ෆොන්සේකාමද කියලත් ?"

 මගේ ඇස් උඩ ඉන්දුනේ ඒ කතාවටය. අනතුරුව ඔහු මෙසේද කීවෙය. 
""මල්ලී උබ මේක පත්තරේට එහෙම ලියන්නට එපා. "
පත්තරේට නොලිව්වත් මේ කාරණාව හිතේ තෙරපාගෙන සිටින්නට මට බොහෝ දුශ්කර ක්‍රියා කරන්නට සිදුවිය. අවසානයේදී මගේ බ්ලොගයට ලියමින් මැදුම් පිළිවෙත අනුගමනය කරන්නටා මා තීරණය කළේය. මේ සටහන ලියවෙන්නේ එහෙමය. 

මෙහිදී අවදාරණාත්මකව කිව යුත්තේ පරසතුමල් චිත්‍රපටය ගාමිණී ෆොන්සේකා මහතාගේ අධ්‍යක්ෂනයක් නොවේ යැයි කියන්නට මට අවැසිතාවයක් නොවෙන බවය .නමුත් එය විමසා බැලීමට කුතුහලය වඩවන කාරණාවකි. අනෙක් අතින් එවැනි මතයන් පැවතීම ඔස්සේ අපේ කලා-සිනමා ලොකයේ නොපෙනෙන යථාර්තයන් ගැන අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබේ. 

මතුපිට සමාජය තුළ සාකච්ජා නොවූවත් සිනමා හා කලා ලෝකය තුල පරසතුමල් චිත්‍රපටය නිපදවූ දා සිටම එය ගාමිණි ෆොන්සේකා විසින්ම අධ්‍යක්ෂනය කළ එකක්දැයි කසු කුසුවක් පැවතුනු බව මගේ හිතවත් නාට්‍යවේදියාගේ කතාවෙන් ඉගිකලේය. එවැනි කසු කුසුවක් ගොඩනැගීමට හේතුව කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. 

""මේකනේ මල්ලි ,ගාමිනී පරසතුමල් කළේ 66දි .එතකොට එයාට අවුරුදු 30යි .ඒක තමයි එයාගේ පළමුවෙනි අධ්‍යක්ෂණය. ඊටපස්සෙත් ගාමිනී මහත්තයා චිත්‍රපට අධ්‍යක්ෂනය කළා. නමුත් පළමුවෙනි චිත්‍රපටයෙදි ඔහු පෙන්වපු ප්‍රතිභාවය කොයිද  ඔහුගේ අනෙක් චිත්‍රපටිවල ?"

වයසින් හා අත්දැකීම් වලින් පරිණත වත්දී වඩ වඩාත් හොද නිර්මාණ බිහිවිය යුතුය යන්න පිළිගත හැකි තර්කයකි .ගාමිනී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කරන ලද අනෙක් චිත්‍රපට මා පහත දක්වන්නේ එම සිතුවම්පට සමග පරසතුමල් සන්සන්දනාත්මකව විමසා බලන්නට ඉඩකඩ ලබාදෙනු පිණිසය. 
1966- පරසතු මල් 
1980- උතුමාණෙනි 
1981- සාගරයක් මැද 
1981- බාදුරා මල් 
1986- කොටිවලිගය 
1994- නොමියන මිනිසුන් 
1998- අන්තිම රැය 

සම්මුඛ සාකච්ජාව අවසන් කොට මා ආපසු එන්නට හැරෙද්දී ප්‍රවීන නාට්‍යවේදියා මෙසේ කීවේය. 
""ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑ මල්ලී. ,නමුත් කුප්‍රකට කතාවක් තියෙනවා ,පරසතුමල්වල මුල් භාගෙ ලෙස්ටර් හරි සුමිත්‍රා හරි ඩිරෙක්ට් කරයි කියලා .ඒකට හේතුවකුත් තියෙනවා චිත්‍රපටියේ මුල් කොටසේ පෙන්වන පෙන්වන සිනමාත්මක ගුණය අවසන් හරියෙ දකින්නට නෑ. "

එහෙත් සහතික ලෙසම පරසතුමල් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ගාමිණී ෆොන්සේකා නොවේයැයි තහවුරු කොට කියන්නට මෙම කටකතා ප්‍රමාණවත් නොවේ. නමුත් කටකතා වලින් මතු කෙරෙන ,පහසුවෙන් මගහැර යා නොහැකි සමාජ යථාර්තයන් කිහිපයක් මෙහිදී දැක ගත හැකිවේ. ඒ මොනවාදැයි ඇගිල්ලෙන් ඇන පෙන්වීමට මම නොවෙහෙසෙන්නේ වචනාර්ථයන් තේරුම් කරදීම හැගීම් දැල්වීමට ප්‍රමාණවත් නොවන නිසාය. 




2012/08/08

නිදහස් අධ්‍යාපනය

ගස්බැලයන්ට අධ්‍යාපනේ දුන්නම,
 අපේ පොල් කඩන්නේ කවුද? 

නොයනා හිරු රැස් සිදුගැබ පතුළත 
අගනා මිණිරැස අදුරෙම සැගවෙත 
පිපෙනා වනයෙහි කුසුමන් නිම නැත 
හමනා සුළගින් වනයෙම පරවෙත 

මේ කවිය මම උපුටා ගන්නේ ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව වේදිකා නාට්‍ය පිටපතෙන් ..එම තෝරාගැනීමට විශේෂ හේතු දෙකක් තියෙනවා ..පළමු හේතුව තමයි ඉහත කවිය ඉතිහාසික වටිනාකමකින් යුක්තවීම ..දෙවැන්න තමයි එම කවිය ඔස්සේ මතු කෙරෙන පණිවිඩය සදාතනික ඛේදාන්තයක් වශයෙන් දිගින් දිගටම අපේ සමාජය තුල පැවතීම .

ඉතිහාසික වටිනාකම 
මේ සින්හල කවිය තෝමස් ග්‍රේ කියන ඉන්ග්‍රීසි කවියාගේ නිර්මානයක සින්හල පරිවර්තනයයි ..1944 මැයි 30 වනදා  නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට සලකෙන කන්නන්ගර ශ්‍රීමතාණන් අධ්‍යාපන සන්ශෝධන පනත ඔස්සේ 
නිදහස් අධ්‍යාපනය පිලිබද යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තෝමස් ග්‍රේ ගෙ ඉහත ඉන්ග්‍රීසි කවිය ගායනා කරනු ලැබුවා ..හිතාබලන්න එය මොනතරම් අපූරු ගැලපීමක්ද? නිදහස් අධ්‍යාපනයේ සැබෑ නිර්ව්යාජ අරමුනු සමග එම පැදිපෙළ දක්වන අතිශය සමීප සම්බන්ධතාවය කොතරම්ද? අද නිදහස් අධ්‍යාපනය සමග කණාබල්ලන් ගසන හිටපු ටියුශන්කාරයෙක්ටත් --මුකවාඩම් බැදිය යුතු කටවාචාලයෙකුටත් නිදහස් අධ්‍යාපනයේ උත්තුන්ග අරමුණු පිලිබදව සන්වේදීතාවයක් නොවීම ගැන අප පුදුම විය යුතු නැත .

නිදහස් අධ්‍යාපනය .පිළිබදව තවතවත් පැහැදිලි කරමින් කන්නන්ගර ශ්‍රිමතාණන් රාජ්‍ය මණ්ත්‍රන සභාව අමතනු ලැබුවේ මෙසේය 

.ගරු රාජ්‍ය මන්ත්‍රන සභාවේ සභිකවරුනි ,
,එදා මහා ඔගස්ටස් පුරසාරම් දෙඩුවා, මා එන විට තිබූ ගඩොලින් බැදි රෝමය වෙනුවට ඉතිරිකර ආවේ කිරිගරුඩ රෝමයකි කියා. එපරිද්දෙන්ම අප යන විටද මිල අධික අධ්‍යාපනයේ මිළ බැස්සුවාය ,,වසා මුද්‍රා තබන ලද පොතක් මෙන් වූ අධ්‍යාපනය විව්ර්ත ලිපියක් බවට පත් කළාය, ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දයාදයක් බවට පත් කළාය යනුවෙන් උදම් අනන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකිවුවහොත් එය කොතරම් අගේද ?

එලෙස සම්මතකරගත් නිදහස් අධ්‍යාපනය ඊට වසර 60 ක් ගෙවී යමින් තිබෙන සමයක ආපසු හැරවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙනට තිබේ ..දිළින්දන්ගේ දායාදයක් වූ අධ්‍යාපනය වරප්‍රසාද ලද්දවුන්ගේ අයිතියක් පමනක් කරන්නට එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීම මේ යෝජනාව ගෙන එන ලැබූ අවස්තාවේදීම උත්සාහ දැරූ ජාතික වීරවරයන් සිටි බැවු රහසක් නොවේ ..ඒ ගස්බැලයන්ට අධ්‍යාපනේ දුන්නාම අපේ වතුවල පොල් කඩන්නේ කවුදැයි අසමිනි .
.වර්තමානයේදී ඒ ජාතික වීරවරයන්ගෙ පරම්පරාවේ දේශපාලනික දරු මුනුබුරන් එක්ව නව ප්‍රවේශයකින් නිදහස් අධ්‍යාපනයට වැට කඩොලු බදින්නට උත්සාහ දරමින් සිටියි ..එම ප්‍රයත්නයන්ට ඉඩකඩ ලබාදී කරබාගෙන බලාසිටිනවාද යන්න ඔබ අප හමුවේ ඇති ප්‍රශ්නයකි .
(මූලාශ්‍රය --ගුරුතරුව වේදිකා නාට්‍ය)

චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/08/07

ගුවන්විදුලි නාට්‍ය

යකාගේ ව0ගුව මතකද ?
මම පොඩිකාලේ මට මතකයි අපේ ගෙදරට ලයිට් තිබුනෙ නෑ .(ලයිට් කියන්නේ විදුලිබලය හොදේ. )ඉතින් ඒ  හින්දම ටෙලිවිශොන් එකක් තිබුනෙත් නෑ. මන් ඉතින් පොලොන්නරුවෙ බයියෙක් නොවැ. කොහොම වෙතත් ඒ අඩුපාඩුව මැකෙන්නත් එක්ක අපේ ගෙදර තිබුනා රේඩියෝ එකක්.එකක් නෙමෙයි දෙකක්ම තිබුනා ..එත් අනික තිබුනේ අත්තම්මගෙ කාමරේ ..ඒක අල්ලන්නවත් තහනම් අපිට. මම මේ කියන්නෙ 94-2000 අතර කාලේ ගැන. ඒකාලේ දැන් වගේ චැනල් මහ ගොඩක් තිබුනේ නෑනෙ. වෙළද සේවයයි ,,ස්වදේශීය සේවයයි ..නමුත් වෙනත් චැනල් එකක වුවමනාවකුත් අපිට දැනුනෙ නැත්තෙ දැන් වගේ ඒ දවස් වල රජයේ මාධ්‍ය ආයතන නහය වහගන්නෙවත් නැතුව ආණ්ඩුවෙ රෙදි හෝදන්න නොගිය නිසයි. ඒ ටික වෙනම පෝස්ටුවකින් කතාකරන්න වටිනවා .ඉතින් අපි පොඩිකාලෙ මම මේ රේඩියෝ එකට පිස්සු වැටිලයි හිටියේ .
රේඩියෝ වැඩසටහන් වලින් මන් කැමතිම ඒවා කිහිපයක්ම තිබුනා. ගුරුගේ මැණික් වාසනා උදාව (ඒක මෙහෙයවූයේ ජේෂ්ට නිවේදක ලලිත් එස් මයිත්‍රීපාල මහත්මයා. ),ඊලගට අම්බිගා ගීතයෙන් ගීතය ,,පිබිදෙන ගායක පරපුර ,,ඊටපස්සේ ගුවන්විදුලි රගමඩල ..මේ අතරින් මම කැමතිම වුනේ ගුවන්විදුලි නාට්‍ය වලටයි .

.අපි හැමෝම ඒ දවස්වල රේඩියෝ නාට්‍ය යනකොට ලගට වෙලා අහගෙන ඉන්නවා. වචනයක්වත් මග ඇරුනොත් කියලා බයයි. ඒකයි ලගට වෙලා ඉන්නෙ. ඔන්න ඉතින් එතකොට පප්පා(අප්පච්චි) කෑගහනවා ඈතට වෙලා අහපල්ලා කියලා .මන් ඉස්සර කාලේ ආශාවෙන් අහපු නාට්‍ය ගනනාවක් තිබුනා. හැමදාම රෑ 8.30 ට නාට්‍ය පටන් ගන්නවා. වෙලද සේවයේ ටයිම් බෙල්ට් එක තමයි ඒක ..ස්වදේශීය සේවයේ (ඒකට අපේ අත්තම්මලා එහෙම කීවෙ පළවෙනි සේවය කියලා. එතකොට වෙලද සේවය ගමේ ගොඩේ අය අතර හැදින්වුනේ දෙවනි සේවය කියලයි )නාට්‍ය පටන් ගත්තේ හරියටම අටට. එත් බදාදට ස්වදේශීය සෙවයේ රාත්‍රී ධර්ම දේශනාවක් තියෙනවා. 

ඒ දවස්වල ගුවන්විදුලි නාට්‍යක ගුවන් කාලය වුනේ මිනිත්තු 30යි ..ගුවන්විදුලි රගමඩලේ ප්‍රචාරය වුනේ එක දවසින් ඉවර වෙන ඒකාන්ගික නාට්‍ය. ගොඩක් දුරට පරිවරතන නාට්‍ය තමයි රගමඩලෙන් ප්‍රචාරය වුනේ ..නමුත් ඉතාම නිර්මාණශීලී  ස්වතන්ත්‍ර නාට්‍යත් ප්‍රචාරය නොවුනාම නොවෙයි ..මට මතකයි එක දවසක් ප්‍රචාරය වෙච්චි නාට්‍යක මනුස්සයෙකුට මානසික රෝගයක් වැළදෙනවා ..ඒ රෝගයේ ලක්ශනයක් තමයි කොටියෙක් වගේ කෑගැසීම. ..ඒක හරිම උත්ප්‍රාසජනකයි ..ඒ දවස්වල කොටි කලබල දරුනුවටම තිබ්බනේ ..ඊට පස්සේ මේ මනුස්සයාට ප්‍රතිකාර කරන්න වෙද්‍යවරයෙක් ලගට යනවා. බෙහෙත් කරන්නේ වෙද්‍යවරයාගේ ගෙදර නතර කරගෙන. එහෙ තව වයසක පහේ මනුස්සයෙකුත් ඉන්නවා. කොහොම හරි කාලය ගතවෙනවා.අර රෝගියා දිගින් දිගටම කොටියෙක් වගේ කෑගසමින් ජාතිවාදී ද්‍රවිඩයකුගේ මුවට පුරුදු වචන කියමින් කෑගසනවා.වෙයිද්‍යවරයා උපේක්ෂා සහගතව මුලදී මේ තත්වය ඉවසා සිටිනවා.නමුත් කතාව අවසන් වෙන්නේ වෙයිද්‍යවරයාටත් එම මානසික රෝගයම වැළදීමෙන්. වෙයිද්‍යවරයා සින්හයෙක් වගේ කෑගසමින් සින්හල ජාතිවාදියකුගේ වචන කියමින් මොර දෙන අයුරු අපට ඇසෙනවා.  මෙවනි අපූරු නාට්‍ය ගනනාවක්ම ගුවන්විදුලි රගමඩලෙන් ප්‍රචාරය වුනා. 

ඒකාලයේ ජනප්‍රිය නාට්‍ය ගනනාවකම තිබුනා. එ අතරින් එකක් තමයි යකාගේ වන්ගුව කියන්නේ. එය ,අද්භූත,ත්‍රාසජනක වර්ගයේ නාට්‍යක්. මේ නාට්‍ය නිශ්පාදනය හෝ රචනා කලේ කවුරුන් විසින්ද කියලා ඇත්තටම මට මතක නැහැ. නමුත් මම ඉතාම අශාවෙන් ඒ නාට්‍ය රසවින්දා. යකාගේ වන්ගුව අහලා ඉවරවුනාම ගේ ඇතුලේ ඇවිදින්නත් මම හරි බයයි. මුවන්පැලැස්ස කියන්නේ ලන්කාවේ එදා මෙදා තුර ජන්ප්‍රියම ගුවන්විදුලි නාට්‍ය කියලා කිවුවොත් ඒකේ වැරැද්දක් නෑ මම හිතන්නේ. මම මුවන්පැලැස්ස අහනකොට ඒක රචනා කරමින් හිටියේ වික්ටර් මිගෙල් මහත්තයා.ඔහුම තමයි කදිරාගේ චරිතය රගපෑවේ. වික්ටර් මිගෙල්ගේ මරනයෙන් පස්සේ ගැමුනු විජෙසූරිය මහත්තයත් මුවන්පැලස්ස කාලයක් රචනා කෙරුවා. මුවන්පැලැස්සේ පිනාගේ චරිතය වගේම ගුරුන්නාන්සෙගෙ චරිතයටත් හඩ මුසු කලේ එතුමාමයි. ඒ වගේම මුවන්පැලැස්සේ ජන්තු හෙවත් කදිරාගේ කල්‍යාණ මිත්‍රයාගේ චරිතය රගපෑ ශ්‍රි නිමල් පද්මකුමාර මහත්තයත් මුවන්පැලැස්ස රචනා කෙරුවා. ඒ තරමක් මෑතකාලයේදී .

.හ්ම්ම්ම්... බලාගෙන යනකොට මේ පෝස්ටුව මන් හිතුවට වඩා දිග්ගැස්සෙන පාටයි. ඉතින් කතාවේ ඉතිරි ටික ආයෙමත් ඉඩක් ලැබුනු හැටියෙම පොස්ට් කරන්නම් කියල හිතාගෙන ම්න් මේ ටික පබ්ලිශ් කරනවා ඈ ...
...චින්තක ටිකිරිබණ්ඩාර 


2012/08/06

ලන්කාවෙ කුල සම්ප්‍රදායන්

ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?

උපතින්ම කිසිවෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙන වග ධම්මපදයේත් සදහන් වෙලා තියෙනවා .ලන්කාව අවුරුදු දෙදහස් ගනණක ඉතිහාසයේ පටන්ම බණපොත කටපාඩමින් කියවාගෙන ආ සමාජයක් උනත් කුලය පිළිබද පාරම්පරික අදහස්, මතවාද, ආකල්ප වෙනස් කරාගෙන තිබෙන්නේ බොහෝම අඩුවෙන්. බැලූ බැල්මට නොපෙනුනත් ලන්කාවේ ආර්ථික, සාමාජයීය ,දේශපාලනික හා සන්ස්කෘතික යන අන්ශවලට මේ කුලය කියන සාධකය ඉතාමත් තදින් බලපාලා තිබෙනවා. ඩී. ඇස් සේනානයක විසින් ලන්කාවේ නිදහසින් පසුව පිහිටවූ මුල්ම ජනපද කිහිපයින් එකක උපන් මට කුලය කියන සාධකය සමාජය තුල ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව පෞද්ගලික අත්දැකීම් බොහොමයක් තිබෙනවා .අඩු කුලයකයැයි සැලකුනු මිනිසුන්ට ගමේ පාසලේදී, පන්සලේදී ,පාරේදී විදින්නට සිදුවූ ගැහැට මා දැක තිබෙනවා. කුලය කියන සාධකය ඉතාම පැහැදිලිව සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය දැක බලාගන්න පුලුවන් අවස්ථාවක් තමයි පත්තරේ මන්ගල දැන්වීම් පිටුව. 


         ලන්කාවේ කුල ක්‍රමය ගැන කතා කරනකොට වැඩිපුරම මතුවෙන කතාවක් තමයි ,,ඉන්දියාවේ තරමට දරුණු ආකාරයෙන් අපේ රටේකුල ක්‍රමය ක්‍රියාත්මක වුනේ නැහැ කියන එක .ඒක ඇත්ත උනත් කුලය කියන සාධකය අපේ රටේ තීරනාත්මක ඉතිහාසික සන්සිද්දීන් වලට බලපෑම් කෙරුවා ..මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ කුලය කියන කාරණාව මෙරට සමාජයේ ගමන් මගට බලපාන ලැබූ අකාරය පිලිබදව සලකා බැලීම තමයි .නමුත් ඊට කලින් කුලය ගැන ඔබ නොදන්නා කාරණා කිහිපයක් තිබෙනවා කියන්නට. 

ලන්කාවේ කුල නාමයන් 

  1. ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
  2. කරාව (මසුන් මැරීම )
  3. සලාගම -(කුරුදු තැලීම )
  4. දුරාව -(රා මැදීම )
  5. හුනු -(අළු හුනු කර්මාන්තය )
  6. ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
  7. හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
  8. වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම) 
  9. කුබල් /බඩහැල -(වළන් සෑදීම )
  10. දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
  11. නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )
  12. බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ  )
  13. ගහල -(මළ බෙර ගැසීම )
  14. කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය  )
  15. රොඩී/ හුළවාලි -(හිගමන )
මේ දක්වා තිබෙන්නෙ ලන්කාවේ සියලුම කුලයන්ගේ ලැයිස්තුවක් .නොවේ.මීට මගහැරුනු කුල බොහොමයක් තිබෙන්නට පුලුවන්. නමුත් මෙරට කුල ධූරාවලියේ පෙලගැස්ම බොහෝවිට ඉහත ලැයිස්තුවට සමපාත වෙන බව මගේ විස්වාශයයි .ඉහත දක්වා ඇති කුලයන් ඇතුලුව ලන්කාවේ සියලුම කුලයන් පහත දැක්වෙන ආකාරයෙන් වර්ග කර දක්වන්නට පුලුවන් .
  1. ගොවි කුලය 
සින්හල කුල ධූරාවලියේ ඉහලම සහ විශාලතම කුල ඒකකය වශයෙන් ගොවි කුලය හදුන්වන්නට පුලුවන්. ඉහත සටහනෙ අන්ක 1යටතේ දක්වා තිබෙන්නෙ ගොවි කුලයයි 
      2පහතරට කුල 
ඉහත සටහනේ අන්ක 2 සිට 5 දක්වා සටහන්වී තිබෙන්නේ මේ ඒකකයට අයත් කුලයන්. විශේශයෙන්ම පහතරට මුහුදුබඩ පලාත්වල මෙම වර්ගකිරීමට යටත් කුලයන් ඩැක ගත හැකියි .
      3.සේවා කුල 
අන්ක 6 සිට 12 දක්වා කුල අයත් වන්නේ සේවා කුල ගනයටයි ..සේවා කුලවල ප්‍රධාන කාර්යභාරය වූයේ තමන්ට වඩා ඉහල කුලවල අයට සේවය කිරීමටයි . ඒ නිසාමදෝ සමාජයේ ඉහල කුලවල අය අතරේ සේවා කුලවල මිනිස්සුන්ට යම් පිලිගැනීමක් ලැබී තිබුනා .
      4.කොන් වීමට ලක්වූ කුල 
.ඉහත සටහනේ අන්ක 12 න් පසුවට සදහන් වෙන කුලයන් සමාජයේ කොන් වීමට යම් තරමකට ලක්වුනා වුවත් ඉන්දියාවෙ අශ්පර්ශීය කුලයන් තරමට සමාජයෙන් ඔවුන් කොන් වීමට ලක් වූයේ නැහැ. 

         ලන්කාවේ කුල  ක්‍රමයේ සැකැස්ම ඒ ආකාරයට සරලව  දක්වන්න පුලුවන් ..මගේ ඊලග පෝස්ටුවෙන් අපේ රටේ කුල ක්‍රමය සමාජයේ ඉදිරි ගමන්ට බලපෑවේ කොහොමද කියලා ලියන්නට බලාපොරොත්තුවෙනවා ..ඒ වාගේම මේ ලිපිය ලියන්නට මහාචාර්ය කාලින්ග ටියුඩර් සිල්වා ගේ 'කුලය පන්තිය හා සමාජ ගැටුම' කියන පොත ඇසුරු කරගත් බවත් සදහන් කරන්නම ඔනේ .
චින්තක ටිකිරිබණ්ඩාර .


      



නටබුන්පල්ලාගේ කතා වස්තුව

වී .ඇම් .ධර්මරත්න හෙවත් 
නටබුන්පල්ලාගේ කතා වස්තුව 

මීට වසර හතකට හෝ අටකට කලින් මම පොලොන්නරුවේ පලුගස්දමන මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ තිබුනු උපහාර උත්සවයක් මට තාමත් මතකයි .උත්සවය සන්විධානය කරලා තිබුනේ පොලොන්නරුවේ ගුරුලුගෝමි කුලකය විසින්. ඒ පොලොන්නරුවේ පුරාවස්තූන් රැකබලාගැනීම වෙනුවෙන් වචනයෙන් කිව නොහැකි සේවාවක් ඉටුකල කම්කරුවෙක් වගේම මුරකරුවෙකුත් වූ වී ඇම් ධර්මරත්න වෙනුවෙන් .අද වන විට මම  ධර්මරත්න අයියා පිලිබදව වග තුග කිසිවක් නොදන්නා නමුත් ඔහු හා ඔහුගේ පරම්පරාව පොලොන්නරුවේ පුරාවිද්‍යා නටබුන් අනාගත පරම්පරාවන්ට ඉතිරිකරදීමට දැක්වූ වෙහෙස කැපවීම් සහ පරිත්‍යාගයන් ලියා තැබිය යුතුමයි. මේ ලිපිය ඒ නිසාමයි .

පොලොන්නරුවේ නටබුන් ගුවනින් ගත් ජායාරූපයක් 
ඔහුගේ සම්පූරණ නම චිත්‍ර විචිත්‍ර විනේකබාහු විසේන්ද්‍රි පටබැදිලාගේ මතෙශ්හාමිලාගේ ධර්මරත්න නම් වෙයි. ඔහුගේ සීයා, බාප්පලා ,මාමලා ආදි කවුරුනුත් පුරාවිද්‍යා කැණීම්බිම්වල කම්කරුවන් විදිහට කටයුතු කල අය .1968 අවුරුද්දේ ධර්මරත්නත් පුරාවිද්‍යා කම්කරුවෙක් විදිහට සේවයට එක් වෙනවා .එතැන් පටන් පොලොන්නරුවෙ නටබුන් රැක බලා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතුකල ධර්මරත්නයන් ගේ ජීවිතකතාව ඉතාමත් අපූරුයි. එදා ගුරුලුගෝමී කුලකය අමතා මේ කම්කරුවා කල කතාවත් අකුරක් නෑර මට තවමත් මතකයි .ඒ මතකය ක්ශයවී යාමට පෙර මේ උත්තුන්ග මිනිසා මෙරට නටබුන් රැකබලා ගැනීම වෙනුවෙන් කල සෙවාව වෙනුවෙන් ඔහු එදා කල කතාව ඇසුරින් නවකථාමය ස්වරූපයෙන් සටහනක් ලියා තබන්නට මම කල්පනා කරනවා. මේ පෝස්ටුව කියවන ඔබ සැමගේම අදහස් මේ පිලිබදව බලාපොරොත්තුවනවා.
චින්තක ටිකිරිබණ්ඩාර. 

2012/08/02

ජේවීපිය විජය ඝාතනය කළේ ඇයි?


ජේවීපිය විජය ඝාතනය කළේ ඇයි? 
මම මෙවනි පෝස්ටුවක් ලියන්නට හිතාගෙන නොසිටියත් රාජ්ගෙ නවාතැන හි සහ තපස්ගේ කොලම හි  ලියවී තිබුනු විජය කුමාරතුන්ගයන් ගැන පෝස්ටුවන්, විශේෂයෙන්ම තපස්ගේ කොලමෙහි පලවූ 'අපි විජයව මැරුවේ ඇයි'' යන ,පෝස්ටුව කියවූ විට මෙවැන්නක් නොලියා සිටින්නට නොහැකි විය.
            මුලින්ම ඉතා වගකීමෙන් කිව යුතු කාරනාවක් තිබේ. එනම් විජය කුමාරතුන්ගයන් ඝාතනය කළේ ජේවීපිය විසින්මදැයි තහවුරු කර කියන්නට මා නොදන්නා බවයි . .කෙසේ වෙතත් බොහෝදෙනා අදහන්නේ එය ජේවීපියේ වැඩක් බවයි. එමෙන්ම ජේවීපියට එවැනි අවශ්‍යතාවයක් වූ බවද නොරහසකි .මේ ලිපියෙන් මා තහවුරු කරන්නට උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුනට විජයව ඝාතනය කරන්නට තිබූ අවශ්‍යතාවයේ  පසුබිමයි.
 
          රෝහන විජේවීර පෙනීසිටියේ මෙරට පීඩිත පන්තියේ නියමුවා වශයෙනි ..ලාන්කීය කුල ධූරාවලියේ පහත් ,,පීඩිත කුලයක් වශයෙන් සැලකුනු කරාව කුලයේ උපත ලද විජේවීරට ඉහත පෙනීසිටීම සදහා සහජාතක උරුමයක් හිමිව තිබුනද ඔහුට ඒ සදහා අව්යාජ උවමනාවක් තිබුනේද යන්න ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුවේ .(මාගේ පෞද්ගලික මතය නම් පසුකාලීනව ඔහු තම සන්විධානය හැසිරවූ අකාරයෙන් එම උවමනාවන් බොහෝ දුරස්ථ බව විජේවීර පෙන්නුම් කල බවයි .)කෙසේ වෙතත් තමන්ට පීඩිත ජනයාගේ නියොජිතයා වශයෙන් පෙනීසිටීමට ලැබීතිබෙන අවස්ථාව ලේසියෙන් අත්හැරීමට විජේවීර ප්‍රමුඛ ජේවීපිය කිසිවිටකත් සූදානම්ව නොසිටියහ.

          විජය කුමාරතුන්ග කරළියට එන්නේ මෙවන් වටපිටාවකය. සිනමා නළුවෙක් වශයෙන් ආර්ථික හා සාමාජයීය මට්ටමෙන් රටේ ඉහල තැනක පසුවුවද විජේවීරට තරමටම රටේ පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රවේණිගත උරුමයක් විජයටද තිබුණි. විජේවීර කරාව කුලයේ අයෙක් වූ ලෙසින්ම විජය ඊටද පහත් කුලයක් වශයෙන් සැලකුනු දුරාව කුලයේ අයෙක් වූයේය .ඒ යටතේ පීඩිත පන්තියේ තරුන ප්‍රජාවන්ට පසුවෙන්ම විජය වටා රොක් වීමේ පාර පෑදී තිබිනි .එපමනක් නොව ඔහු ඒ වනවිට හිටපු අගමැතිනියගේ දෙටු දියනියක හා විවාහ කරගෙන පැහදිලි දේශපාලන ගමනකට ලක ලෑස්ති වී සිටියේය.
            අපේ මිනිසුන් හැමදාමත් වාගේම දේශපාලනික පරිජ්ජානයෙන් පසුබා සිටි අතර ජන්ද පොලේදී ජනාප්‍රියතාවය පෙරමුනට ගන්නා බව හොද දේශපාලනික ඉවක් තිබූ විජේවීර තේරුම් ගෙන සිටියේය. මිනිස්සුනට අවශ්‍ය ලස්සනට සිනාසෙන විජය මිස තමා නොවන බව ඔහු තේරුම් ගත්තේය . විජයව ජවනිකාවෙන් ඉවත් කිරීමට ඇත්ත හේතුව වූයේ තමාගේ තැන විජය ගනීවියැයි විජේවීර තුල තිබූ බියයි. විජයව ජවනිකාවෙන් ඉවත් කිරීමට  හේතු ලෙස  ජවිපේ ඔහු -ඉන්දු-ලන්කා ගිවිසුම පිළිගැනීම හා පලාත් සබා වලට සහය දැක්වීම ආදී නිල දෙශපාලනික හේතු ඉදිරිපත් කරනු ලැබූවත් ඇත්ත කාරණාව ඉහත පරිදි විය. වඩා දක්ශ අශ්වයා තරගයෙන් ඉවත් කිරීමයි ඒ න්‍යාය.
               චින්තක ටිකිරිබණ්ඩාර