Google+ Followers

2013/02/13

ගඟන බාල්කයක තත්පර කිහිපයක්.



රතු රජරටේ කලින් පළවූ අදිසි හාදුව  ගැන කතාවට මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාර ලැබී තිබුණේ නෑ. හේතුව හාදුවට මුවා වී තිබූ කතාව බොහෝ දෙනා ඊට කලින් කියවා තිබීමයි. කොහොම වුණත් පෝසටුවත් ලැබුණු ප්‍රතිචාරත් නිසා ලෝකයේ ජනප්‍රියම ජායාරූප සහ පෝස්ටර් පිටුපස සැගවුණු පසුබිම් කතා සොයා යන්නට මා තීරණය කළා. මේ එලෙස මා කුතුහලකාරී අශාවෙන් සොයා ගිය අපූර්ව පින්තූර කිහිපයකින් එකක පසුබිම් කතාවස්තුවක්. 




අන්තර්ජාලයෙන් මේ පින්තූරය ඇසගැටුණු මොහොතේ මගේ සිතට පළමුවෙන්ම නැගුණු සිතුවිල්ල වූයේ මේ නම් සැබෑ පින්තූරයක් විය නොහැකි බවයි. ඇස රවටන කිසියම් ඉන්ද්‍රජාලික මායවක් මේ ලොමු දැහැගැන්වෙන පින්තූරය පිටුපස ඇතැයි මට සිතුණා. නමුත් පින්තූරය ගෙන තිබුණේ 1932 තරම් ඈත දවසක. ඒ නිසාම මේ නම් කොම්පියුටර් ජිල්මාට් එකක් විය නොහැකියැයි මගේ සිත පිළිගත්තා. වර්තමානයේ GE බිල්ඩින්ග් වශයෙන් හැදින්වෙන ඇමරිකාවේ නිව්යෝර්ක්හි පිහිටා තිබෙන ගොඩනැගිල්ල ඉදිකරමින් තිබූ වකවානුවේ හරියටම පැවසුවහොත් එහි වැඩ නිමාවෙමින් තිබූ අවසන් මාසයේ තම තේ විවේකයේදී ගොඩනැගිල්ලේ 69 මහලේ  ගගන චුම්බිතයක් මතට නැගී සිනා සපිරි මුවෙන් සල්ලාපයේ පසුවන කම්කරුවන් එකොළොස්දෙනෙක් මේ පින්තූරයට හසුකරගත්තේ මෙවැනි බියජනක,,සිත ගත කිළිපොලා යන පින්තූර ගැනීමේ සමතෙක් වූ චාර්ල්ස් ඊබට් නම් ජායාරූප ශිල්පියා විසින්. නමුත් 1932 ඔක්තෝම්බර් මාසයේ 2 වැනි දින නිවුයෝර්ක් හැරල්ඩ් ට්‍රිබියුන් පුවත්පතේ මෙම ජායාරූපය පළවූවත් එය නාදුනන ඇනෝවරයෙක් විසින් ගනුලැබූ පින්තූරයක් වශයෙනුයි සැලකුණේ. චාර්ල්ස් ඊබට් එම පින්තූරය තම එකක් බවට සහතික කරනු ලැබූවේ 2003 වසරේදීයි. 


මේ පින්තූරයට ඉදිරිපත්ව සිටින්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමට හවුල් වූ සැබෑම කම්කරුවන්. ඔවුන් බොහෝ දෙනෙකු එකම පවුලක පරම්පරා කිහිපයකට අයත් සාමාජිකයන් වශයෙන් සැලකෙනවා..පින්තූරයේ ගගන බාල්කයේ වම් කෙළවරෙහි අන්තිමයා බලන්න. වගේ වගක් නොමැතිව සුරුට්ටුවක් දල්වන ඔහු මැට් ඕ ශොග්නෙසී. දකුණු කෙළවරෙහි අන්තයේ සිටින්නේ පැට්‍රික් ග්ලයින්. ඔවුන් දෙදෙනාම අයර්ලන්තයේ සිට සෞභාග්‍යය සොයා එක්සත් ජනපදයට පැමිණියවුන්.දකුණු කෙළවරේ අන්තිමයාගේ සිට සිව්වැන්නා නොහොත් කඩල ගොට්ටක් වැනි යමක් අතේ තබාගෙන සිටින්නා ෆ්රැන්සිස් මයිකල් රැෆ්ර්ටි. ඔහුගේ දකුණු පසින් සිටින්නේ ෆ්රැන්සිස්ගේ දිගුකාලීන යාවජීව මිත්‍රයා වූ ස්ට්‍රෙච් ඩොන්හු.  ඔවුන් දෙදෙනා මීට පෙරද මෙවැනිම බාල්කයක නිදාසිටියදී චාර්ල්ස් ඊබට් විසින් ඦයාරූපයට නගා තිබෙනවා. 

කෙසේ වෙතත් මෙ පින්තූරයේ සිටින සියල්ලන්ම එකිනෙකා කවුරුන්දැයි තවමත් හදුනාගෙන නැහැ. සමහර විටෙක කිසි දිනයක හදුනාගන්නා එකකුදු නැහැ. කෙසේ වෙතත් ඔවුන් සියල්ලෝම අභීත හදවත් ඇත්තවුන් පිරිසක් බවට නම් සැකයක් නැහැ. 

2013/02/11

ඒ හාදුවේ කැටිව තිබුණේ යුද අස්වැසුමක උණුසුමයි.


  දීර්ඝ කාලයක් මුළුල්ලේ යුද බියෙන් සලිතව සිටි සමාජයකට ඒ කුරිරු යුද්ධය දැන් ඉතින් අවසන් යැයි දැනගත් මොහොතක  ඒ මිනිසුන්ගේ මනුෂ්‍ය ආත්මයන් ප්‍රීතියෙන් ඉපිල යන අයුරු අපට ආගන්තුක නොවන්නේ එම අත්දැකීම අපටද පොදු එකක් වූ හෙයිනි.

1945 වසරේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ අවසන සනිටුහන් වන්නේ ජපන් බළ සේනා අමෙරිකා එක්සත් ජනපදයට තම යටත්වීම ප්‍රකාශ කිරීමෙනි. ජපානය යටත් වීම නිවේදනය කළ වහාම ඉවසා ගත නුහුණු ප්‍රීතියෙන්  සමස්ත එක්සත් ජනපදයම ඇලළී ගියා. එලෙස සොම්නසින් භරිතව ප්‍රීතීඝෝෂා නඟන්නා වූ දහස් ගණනක් වූ නිව්යෝර්ක් නගරවාසීන්ගෙන් එහි ටයිම්ස් චතුරස්‍රය පිරී තිබුණා වූ අරුණෝදයක අපූරු යමක් සිදුවූවා.

යුද්ධයේ නිමාව පිළිබඳ හද පතුලින්ම සොම්නසට පත්ව හුන්නේ එයට ක්‍රියාකාරීව සහභාගි වී සිටි එක්සත් ජනපද යුද භටයන්. එදා ටයිම් චතුරස්‍රයේ නැවැත නිවෙස් කරා එමින් සිටි යුද භටයන්ද උන්නා. එලෙස තම ප්‍රීතිය දරාගත නොහැකිව සිටි තරුණ නාවික භටයෙක් තමන් අසලින් පියමං කර යමින් සිටි තරුණ හෙදියක හදිසියේ වැලඳ ගනිමින් ඇයට හාදුවක් දුන්නා. බලහත්කාරී හාදුවක්  . සියල්ලම එක් ඇසිල්ලකට පමණයි. දෝරේ ගලනා විජයග්‍රාහී ප්‍රීති ප්‍රමෝදය අතරෙහි ටයිම්ස් චතුරස්‍රය පුරා ගලා යමින් තිබූ ජන සන්නිපාතයට මේ අදිසි බලහත්කාරී හාද්ද අමුත්තක් වූයේ නැහැ. එය අර සතුටෙහිම තවත් කොටසක් පමණක්  වූවා.

Life සඟරාවේ පළවූ ඦායාරූපය. 


නමුත් මේ අදිසි බලහත්කාරී මෙන්ම සප්‍රීතිකර හාද්ද ඒ අසල හුන් පුවත්පත් ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයට මඟ ඇරුණේ නැහැ. මඟ නොහැරුණා පමණක් නොව එය සුප්‍රකට Life සඟරාවේ ඊළඟ කලාපයේ පළ වුණා. එය පළවීමෙන් අනතුරුව Life ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ඩ් විසින් ගනු ලැබූ එම ඡායාරූපය අතිමහත් ජන ප්‍රසාදයක් දිනාගනු ලැබුවා. එය යුද සංග්‍රාමය අවසානයේ එක්සත් ජනපදයේ සමස්ත පොදුජන ආධ්‍යාත්මයේ සප්‍රිතියේ කූටප්‍රාප්තිය සංකේතවත් කරනු ලැබූ ඡායාරූපයක් වශයෙන් සැලකෙන්නට පටන් ගත්තා. එපමණක් නොවෙයි එය එදා මෙදාතුර කාලයක් පුරා ලෝකයේ ජනප්‍රියම පෝස්ටර් පින්තූර දහය අතරටද එක්ව තිබෙනවා.

මෙම පින්තූරය Life සඟරාවේ පළවීමත් සමඟම එහි ඡායාරූප ශිල්පියා වූ 'ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' වෙත කීර්තියද, ප්‍රසිද්ධියද, ප්‍රශංසාවන්ද නොඅඩුව ගලා ආවා. සම්පූර්ණයෙන්ම ස්වාභාවික ආලෝක තත්ත්වයන් යටතේ හදිසි, කලබලකාරී අවස්ථාවක ගනු ලැබුවද මෙය විශිෂ්ට ඡායාරූප ශිල්පියකුගේ පරිපූර්ණ කාච සටහනක් වශයෙන් අදටද සලකනු ලබනවා. තරුණ හෙදියගේ සිරුරෙහි සුනම්‍ය භාවයත්,ඈ  තම දකුණු පය හාදුවට සරිලන ලාලිත්‍යයකින් තබාගෙන සිටින ආකාරයත්, පසුබිමේ සිටින්නන් මෙම හාදුවේ සරල, සැහැල්ලුව ස්වභාවය තම ප්‍රීතිය සමඟ මුසුකොටගෙන සිටින ආකාරයත් ඉතාමත් පැහැදිලිව ඡායාරූපයේ සටහන්ව තිබෙනවා. මෙම ජායාරූපයේ  අගය තීව්‍ර වූ වැදගත්ම කාරණාව වූයේ මෙම තරුණ නාවිකයා හෝ හෙදිය කවුරුන්දැයි ඡායාරූපයෙන් අනාවරණය නොවීමයි.නමුත් Life සඟරාවේ මෙම ඡායාරූපය පළවීමත් සමඟ ඊට හිමි සාතිශය ජන ප්‍රසාදයත් සමඟ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි පවසමින් බොහෝ නාවික භටයන් සහ තරුණ හෙදියන් ඉදිරිපත් වුවත් ඔවුනට එය ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ්' ඉදිරියේ තහවුරු කරන්නට නොහැකි වූවා.


නමුත් 1970 දී පමණ අදාළ සිඳුවීමෙන්  වසර විසිපහකට පසුව ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් වෙත ලිපියක් ලියන "ඊඩින් ෂේන්' නම් කාන්තාවක් ඔහුගේ ඡායාරූපයේ සිටින්නේ තමන් යැයි හඳුන්වා දුන්නා පමණක් නොවෙයි Life කාර්යමණ්ඩලය විසින් පවත්වනු ලැබූ සත්‍යය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ගණනාවකින්ද සමත් වෙමින් ඒ අදිසි හාදුවට හිමිකම් කී තරුණ හෙදිය තමා යැයි තහවුරු කොට සිටියා.

"රේඩියෝවෙන් යුද්ධය අවසන් යැයි කීවට පස්සෙ මමත් මගේ මිතුරියත් වැඩ මුරය අවසන් කරලා චතුරශ්‍රයට ආවා. අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී සිටියා. අපට එන්නට ලැබුණේ ටික දුරයි . කවුදෝ අයෙක් එකපාරටම මාව බදාගෙන හාදුවක් දුන්නා. මම යාන්තමට දැක්කේ ඔහු තරුණ නාවිකයෙක් කියලා විතරයි. ඔහු සතුටින් හිනාවෙමින් ඉක්මණින් පිටව ගියා . ඔහු අප වෙනුවෙන් සටන් කළ කෙනෙක් නිසා මම ඔහුට යන්නට ඉඩ දුන්නා" ඊඩින් තම අත්දැකීම් විස්තර කරනු ලැබුවේ එහෙමයි.යුද වාතාවරණයකින් පසුව සමාජය හිමිකරගන්නා වූ අසීමිත අස්වැසිල්ල මේ ඡායාරූපයෙන් මොනවට විදහා පානවා. නිව්යෝර්ක් කලාගාරයේ ඡායාරූප අංශයේ මාටින් ලුබ්වොක් පින්තූරය ගැන කියමින් "බලාපොරොත්තු , ප්‍රේමය, අනුරාගය සාමය සහ අනාගතය මේ පින්තූරයේ අපූරුවට කැටි වී තිබෙනවා. යුද්ධයක අවසානයේ සමස්ත සමාජ ආත්මයම විඳින ආහ්ලාදය මේ පින්තූර විසින් කියාපානවා" යැයි පවසනවා.


ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඩ් විසින් ගනු ලැබූ මේ අනගි මාහැඟි ඡායාරූපය පසුකලෙක බටහිර ජනප්‍රිය සංස්කෘතියේ ආවේණික සංකේතයක් බවට පත් වුණා. 

එය විවිධාකාර ආකෘතීන් ඔස්සේ නැවැත නැවැතත් ප්‍රතිනිෂ්පාදනය කෙරුණා. සුබ පැතුම් පත්වල නිවෙස්වල සැදැල්ලෙහි මෙන්ම පච්චා රූපයන් වශයෙන්ද ජනප්‍රිය සංස්කෘතියේ මේ අපූර්ව ඡායාරූපය සංකේතීය වශයෙන් නැවත නැවැතත් දිගහැරුණා. එපමණක් නොවෙයි 2005 වසරේදී ටයිම්ස් චතුරස්‍රයේ මෙම 'අපූර්ව හාද්ද' යෝධ මූර්තියක් වශයෙන්ද ඉදිකෙරුණා.

අයින්ස්ටෙඩ් විසින් ගනු ලැබූ තවත් ඦායාරූප බලන්න මෙතනින් යන්න.

2013/02/04

එහි ලේ, කදුළු සහ යකඩ, ගින්දර නොමැති වුවත්......


අද පෙබරවාරි 4 ජාතික නිදහස් දිනයයි. ගැටවර වියේදී මා අපේ නිදහස් දිනයට වඩා ඉන්දියානුවන්ගේ නිදහස් දිනයට ඇළුම් කළේය. හේතුව සරල එකකි. ඒ භාරත නිදහස් දිනයේදී අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ඉන්දියානු නිදහස් සටන ඇසුරින් නිපැදවුණු බොලිවුඩ් චිත්‍රපට නරඹන්නට හැකියාව ලැබෙන නිසාය. එකල අද මෙන් පහසුවෙන් එවැනි චිත්‍රපට නැරඹීමේ අවස්ථාවන් නොවීය. එකල මා නැරඹූ the legend of baghath singh වැනි චිත්‍රපට ඉන්දියානු නිදහස් සටනට ඇළුම් කිරීමේ මගේ ගැටවර බොළද සිතුවිල්ල උත්කර්ෂය ට  නැංවූයේය. ඉන්දියානු නිදහස් සටන ලෙයින් කදුළින් සහ යකඩින් ඔපවත් වී තිබුණත් අපේ නිදහස ලේ බිදකුදු නොසොල්වා ලබා ගෙන තිබීම මගේ ගැටවර සිතට මහා මදිකමක් විය. අපේ ජාතික නායකයන් සුද්දන්ගේ දෙපරන්ද අස්සේ රිංගමින් මොන කෙහෙල්මලක් කළාදැයි මගේ සිත නිතර නිතර ප්‍රශ්න කළේය.

එදා මට හැගුණු සිතුවිල්ලෙන් යුතුව නිදහස සමරනා ඇත්තන්ගෙන් අඩුවක් අදටද නැත. නමුත් සත්‍යය නම් ලේ ගංඟාවන් මතින් පිහිනමින් නිදහස ලබා නොගත්තත් අපට නිදහස ලැබුණේ දේශපාලනික මතවාදී අරගලයකින් පසුවය යන්නයි. එම ක්‍රියාවලියේ යම් යම් අඩුපාඬු දුර්වලතා පැවතියා වුවත් එය අභිමානවත් අරගලයක් ය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. ඩොමීනියන් තත්වයේ නිදහස ලබාගැනීම දක්වාම අපේ පූර්වගාමීන් පැමිණියේ දුශ්කර ගමන් මාර්ගයකය.

නිදහස යනු වචනාර්ථය ඉක්මවා යන සත්‍යයකි. එයට එක් එක් අයගේ දේශපාලනික චින්තනය මත විවිධ අර්ථකතනයන් දිය හැකි වුවත් 48 සුද්දන්ගෙන් නිදහස ලබාගැනීම යන්න මහා සම්ප්‍රදායක වෙනස් වීමකට පාරකැපූ හැරවුම් ලක්ෂ්‍යයකි. ලෙනාඩ් වුල්ෆ්ගේ village in tha jungle නවකතාවේ යටිපෙළින් කියවෙන්නේ කුමක්ද? ඒ බ්‍රිතාන්‍යය නිදහස් ධනවාදී පරිපාලන ක්‍රමය ලංකාවේ දෙදහස් වසරක් තිස්සේ ක්‍රමිකව ගලා ආ වැඩවසම් සමාජක්‍රමය සමග ඉතාමත් සහජීවනයෙන් කටයුතු කරමින් පැවත ආ ආකාරයයි. 48 නිදහස ලබාගැනීම යනු මේ නිර්දය දේශපාලනික හා සමාජ සභාගය පෙරළා දමන්නට තැබූ පළමු පියවරයි. නිදහස ලබාගැනීමෙන් පසුව වසර 65ක් ගෙවී තිබෙන තැන ඉහත සදහන් කරන ලද වැඩවසම් සම්ප්‍රදායේ සහ ධනවාදී පරිපාලනයේ සෙවණැලි සම්පූර්ණයෙන්ම පරාජය කළ නොහැකිව තිබුණා වුවත් අද අප කිසියම් වූ දේශපාලනික ආර්තික සහ සාමාජික නිදහසක් බුක්ති විදිනු ලබන්නේ අපගේ පූර්වගාමීන් ලේ කදුළු සහ යකඩ ගින්දර නොමැතිව වුවත් බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගැනීමට අරගල කළ නිසාවෙනි. ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට ඇදෙන අතරම වර්තමානයේ සමාජයක් වශයෙන් අපට සිටින්නට සිදුවන්නේද පසුගාමී තත්වයකය.

නිදහස ලබාගැනීමට පෙර සහ පසු සිදු වූ ක්‍රියාකාරකම් වල යම් යම් සීමාසහිතතා තිබියදී වුවත් එක් සිදුවීමක් වශයෙන් ගතහොත් 48 නිදහස ලබාගැනීම නිශේධාත්මක සිදුවීමක් වශයෙන් තර්ක කරන්නට බැරි බව මගේ අදහසයි. එය ඉතිහාසය විසින් ඔප්පු කොට තහවුරු කොට තිබේ. විශේෂයෙන්ම දේශීය සුළු ධනේශ්වරයේ ක්‍රියාකාරකම් දිගින් දිගටම නිවරදි තත්වයේ වූවා නම් අද රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝගයන් පහසුවෙන් ජයගැනීමට හැකි වාතාවරණයන් ගොඩනගා ගැනීමට අපට සෑහෙන ඉඩකඩක් ඉතුරුව තිබෙනවා සහතිකය. කෙසේ වෙතත් ගිය හකුරට අඩා වැටීමෙන් පලක් නොමැත. සමාජමය වශයෙන් තීරණාතම ක සංධිස්ථානවලදී නිවරදී ආස්ථානයන් වෙත සිවිල් සමාජය පෙළගැස්වීම සදහා තම තමන්ගේ ක්ෂුද්‍ර දායකත්වයක් හෝ ලබා දීමට උත්සාහ දැරීමෙන් නිදහස් සැමරුම අර්තවත් කිරීමට අපි උත්සාහ ගනිමු.