2023/12/25

ගායනයෙන් නන්දා මාලනියට දෙවනි වූ බදුල්ලේ මොහිදීන් බෙග්

 මුවන්පැලැස්සේ '' කදිරා ''ලෙසින් සිංහල සිනමා වංශකතාවේ තම නම අභිමානයෙන් සනිටුහන් කෙරූ , ප්‍රවීන සිනමානළු රෙක්ස් කොඩිප්පිලි මහතා  85 වන වියේදී තම ජීවන ගමනේ අවසානය සනිටුහන් කරනු


ලැබුවා.

1971 දී කතුරු මුවහත් නම් සිනමා පටයෙන් තම සිනමා ගමන ඇරඹු කොඩිප්පිලි මහතා චිත්‍රපට 130කට අධික ප්‍රමාණයක තම රංග පෞරුෂය මුදාහැර තිබෙනවා. මුවන්පැලැස්සේ කදිරා ගේ චරිතය මෙන්ම රක්තා චිත්‍රපටයේ ධනූ ,සාගරිකා හි රත්නේ අයියා, කොටිවලිගයේ සාජන්ට් සිල්වා චරිත  රෙක්ස් ගේ අමතක කළ නොහැකි රංග ප්‍රතිභාවයන් වේ.

දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් මෙන්ම පිහිනුම් ශූරයෙක් ද වූ රෙක්ස් ජෝෂප් කොඩිප්පිලි මහතා 1958 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසීයේ පළමු පිහිනුම් කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ ද තරුණ රෙක්ස් ජෝෂප් මහතා යි. නමුත් ඔහු වැඩි කාලයක් පොලිස් සේවයේ නොසිටින අතර ඉන් ඉවත් වනවා.

සත්‍ය වශයෙන්ම අප දකින ලද රංගන ශිල්පියාට වඩා රෙක්ස් තුළ ගායකයෙකු සැගවී සිටියා. පොලිස් සේවයෙන් ඉවත් වීමෙන් පසුව ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික පැය නම් ගායනා තරගයකට ඉදිරිපත් වූ තරුණ රෙක්ස් ඉන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. රෙක්ස් ගේ දෙවැනි ස්ථානයේ වටිනාකම තවත් අනර්ඝ එකක් වන්නේ එහි පළමු තැන ලබන්නිය නිසාය. ඒ් පසුව අප දන්නා විශාරද නන්දා මාලනිය යි. රෙක්ස් ගේ ගායන හැකියාව කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් ඔහුගේ උපන් ගම නමින් '' බදුල්ලේ මොහිදින් බෙග් '' ලෙස ඔහු අන්වර්ථ නාමයකින් ජනප්‍රියව සිට තිබෙනවා.

සිනමා නළු ඔස්වල්ඩ් ජයසිංහ සමගින් මිතුරුදමක් රෙක්ස් ට තිබූ අතර ඔස්වල්ඩ් සමග ගැවසුණු මේ තරුණයා ව අධ්‍යක්ෂක කේ.ඒ්.ඩ්බ්ලිව් පෙරේරා ගේ ඇස ගැටෙන අතර කිසියම් සුවිශේෂිත්වයක් තරුණයාගෙන් දකින් කේඒ්ඩබ්ලිව් ගේ ආරාධනයෙන් පික්පොකට් චිත්‍රපටයේ කුඩා චරිතයක් රෙක්ස් ට හිමිවෙනවා. ක්‍රීඩාවට සහ සටන් කලාවට තිබූ ආදරය සහ ආශාව නිසාම චිත්‍රපටවල රගපෑමට මෙන්ම ත්‍රාසජනක දර්ශන වෙනුවෙන් පෙනී සිටීමටත් රෙක්ස් නිතැතින්ම පෙළඹෙනවා. එවැනි අවස්ථා කිහිපයකදී ම රෙකස් බරපතළ ලෙස තුවාල ලබන්නේ තම වෘත්තිය ජීවිතයේ ආරම්භයේදීමයි.

1974 දී රෙක්ස් විසින් '' ඔන්න බබෝ බිල්ලෝ එනවෝ'' චිත්‍රපටයේදී ගුවනේ ගමන් කරන හෙලිකොප්ටරයක් මත මහානළු ගාමිනී ‌ෆොන්සේකා සමගින් කරන ත්‍රාසජනක සටන් දර්ශනය සිංහල සිනමාවේ අමතක කල නොහැකි අවස්ථාවක්. ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය ගැන අද සිටින ඔබට මතක් කල හැකි වන්නේ ජෝතිපාලයන් සරසවි සම්මානය දිනූ මේ ජීවනයේ මුළු සංසාරේ ගීතය ඇතුළත් චිත්‍රපටය වශයෙනි.

සරසවි සම්මානය ගැන කිවූ නිසාම රෙක්ස් විසින් සරසවි සම්මානය දිනාගත් වගත් නොලියා නොසිටිය නොහැක. සටන් නළුවාගේ සිට රංගාවතරණය කරමින් ප්‍රේමවන්තයාගේ චරිතයත් එතැනින් වඩාත් බැරෑරුම් චරිතයන් ටත්  පණපෙවූ රෙක්ස් ට 1987 දී කොටි වලිගයේ සාර්ජන්ට් සිල්වා ගේ චරිතය වෙනුවෙන් සරසවි සම්මානය හිමිවූයේය.

ඉදින් , සිංහල සිනමාව වර්ණවත් කිරීමට අනුපමේය සේවයක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතාණෙනි, ඔබව සුව නින්දක් වේවා.

 

 

2 comments:

  1. ඔහුට නිවන් සුව

    ReplyDelete
  2. එතුමා ගේ ගීත ගායනා හැකියාව ගැන පලමුවෙන්ම දැනුවත් උනේ අදයි. රෙක්ස් මහතාගේ කටහඩේ පෞරුෂය ඉතා ඉහලයි.බදුල්ලේ බෙග් කියන නාමය වැටුනු හැටි හිතා ගන්න පුලුවන් . එතුමාට නිවන් සුව ලැබේවා ----MAYYA

    ReplyDelete