Google+ Followers

2012/10/29

විමල් , එව බලව අධිරාජ්‍යවාදීන් සපුගස්කන්දටත් කෙළියේය.


පින්තූරේ මෙන්න මෙතනින්. 


1969 දී ඇරඹුණු ජාතියේ අග්නි ඛීලය යැයි සැලකිය හැකි සපුගස්කන්ද තෙල් පිරිපහදුව සති තුනක කාලයකට යටත් වසා දැමුණේ ය. වසර 43 ක් තිස්සේ   නොනිවී දැල්වුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව එසේ වසාදැමුනේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් තොග නොමැති වීම නිසාය. ඛනිජ තෙල් සංස්ථාවම කියන පරිදි මෙම සතිතුනක කාලයට අදාළ වන පාඩුව රු: කෝටි සීයය ඉක්මවයි. සොච්චමක් නොවැ. 

 ඉස්සර අපේ ගෙවල් වල චිමිනි ලාම්පු දල්වන කාලයේ ගෙදර භූමිතෙල් නොමැති බැව් ලාම්පු දැල්වීමට සූදානම් වන මොහොතේ නිවේදනය කළහොත් අප්පච්චීගෙන් හොද බැණුමක් නොවරදී. බොරතෙල් අවසන් වන තෙක්ම තම තෙල් තොග අවසන් බව දැනගැනීමට ඛනිජ තෙල් සංස්ථාව ට නොහැකි වී තිබේ. අප්පච්චී අර කලින් සදහන් කළ මොහොතයන් හිදී "අමනයෝ" කියමින් බැණ වදී. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව මෙන් ම රටේ පාලකයන්ද අමනයෝ නොවෙන කළ මෙවනි පුවත් අරුමයකි. 

තෙල් පිරිපහදුවක් මෙරට ස්ථාපිත කරන ලද්දේ ඇයි? ඒ පිරිපහදු කල තෙල් බැරලය ක  ආනයන මිළ ,බොරතෙල් බැරලයක  ආනයන මිළට වඩා වැඩි නිසාවෙනි. දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රට ආශ්චර්‍යය කරා ගෙන යාමට කැස කවා බලා සිටින රාජපස්ස ආණ්ඩුව මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකළ ආශ්චර්‍යයන් කරමින් සිටියි. දැන් ආණ්ඩුවේ කුලී කහින්නන් වන විමල් වැන්නන්ට ඩියුටියක් තිබේ. ඒ බොරතෙල් අහිමිවීමට ඇමරිකාව ඉරානයට පැනවූ සම්බාධකද අනියමින් හේතුවී ඇතැයි රාවයක් පැතිර යන නිසාවෙනි. සපුගස්කන්ද වසාදැමීමට හේතුව  අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් යැයි විමල් ගොයියා නොකිව්වොත් 
විමල් ,
උඹේ කටෙත් පස්... 
මගේ කටෙත් පස් ...

2012/10/28

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය 

ලංකාවේ අපි එකිනෙකට නොගැළපෙන, එමෙන්ම එකිනෙකට අතිශය ප්‍රතිවිරුධතාවයන් පෙන්වන ප්‍රපංචයන් මනාව එකිනෙක හා ගළපාගෙන කටයුතු කරන්නට අතිමහත් දක්ෂතාවයක් දක්වන පිරිසක්. මගේ මේ හැගීම තහවුරු කරන  කාරණාවක් අද හිමිදිරියේම මට සිහිපත් වුණා. ගෞතම බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නට පූර්ව රාත්‍රීයේ දුටු සිහින අතර එක් සිහිනයක් වූයේ සිවුදිගින් පියඹා එන චතුර් වර්ණ කුරුල්ලන් සිවු දෙනෙක් තමන් වහන්සේ සමීපයට පැමිණ එකම වර්ණයකට හැරෙන ආකාරයේ සිහිනයක්. මේ සිහිනය පසුකාලීන අනුගාමිකයන්ට සිහිපත් කොට දුන් වැදගත් කාරණාව වූයේ බුදු සසුන කුලය නැමති පටු මානව බෙදීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් පිරිසිදු බුදු දහම ආරක්ෂා වී යැයි මහත් සාඩම්බරයෙන් ලොවට හඬගා කියන අපේ රටේ පැවිදි සමාජයේ නිකාය බෙදීම් වලට තීරණාත්මක සාධකය බවට පත්කරගෙන තිබෙන්නේද කුලයයි. ලංකාවේ එක් බෞද්ධ නිකායක පැවිදි උපසම්පදා  වීමට නම් ගොවිගම කුලයේ අයෙකු වීම අනිවාර්‍යයි.මිනිසා වසලයෙකු හෝ බාහ්මණයෙකු යැයි තීරණය කරන එකම සාධකය ඔහුගේ ක්‍රියාව පමනකැයි පිළිගන්නා ආගමික ඉගැන්වීමක පුරෝගාමී අනුගාමිකයින් වන පැවිදි සමාජයම එම මූලික ඉගැන්වීම උල්ලංඝනය කරමින් එම ඉගැන්වීම් පිළිබදව බණ දේශනා කරමින් කටයුතු කිරීම සදාචාර විරෝධි වන අතර එම පරස්පරයන් එතිහාසිකව වෙනස්කිරීමට ත්‍රයිනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කළ යුතුව ඇත.  

2012/10/14

හැත්තෑවෙ කෙවිලියන් සොයා ඉගිල්ලෙමු

සුජා -ඇන්ජී -ලතා විශිෂ්ටයා තේරීම 

මම නිදන්නට ආවේ මොහොතකට පෙරයි. අසල තට්ටු බිල්ඩිමෙන් යාන්තමට විහිදී ඇසෙන අපූරු ගීයක් මට නිදන්නට ඉඩකඩක් ලබා නොදුන්නේය. ගීය ජෝතිගේ සහ ඇන්ජිගේය.
අමර පෙම් ලතාවේ.. රන් මලක් උදාවේ
අඳුන් සදුන් සුව මැවේ මනෝ මන්දිරේ 

ගීතයත් සමඟ සිතේ නැගුණු සිතිවිලි ගොන්න අකුරු නොකර නිදන්නට නොසිතේ. පුංචිම පුංචි පෝස්ටුවක් ලියනවා කියමින් නිදිමතට ලෙන්ගතු යටි සිතට පොරොන්දු වෙමින් යතුරු පුවරුව මත අතැගිලි තබාගත්තෙමි. 

ඇන්ජි හෙවත් ඇන්ජලීන් ගුණතිලක මගේ ප්‍රියතම හඬ ස්වරය වූයේය. එහෙත් අම්මාගේ ෆේවරිට් වූයේ ගී රැජින ලතා ය. මගේ සාහිත්‍ය ගුරුතුමිය වූ යාපා ටීචර් නම් එකෙන්ම සුජාතා අත්තනායකගේ බැතිබර රසිකාවියක් වූවාය. 

මේ තිදෙනාම හැත්තෑව දශකයේ මෙරට ගීත ලෝකයේ ඔටුනු නොපළන් රැජිනියන් වූවාය. මේ තිදෙනා අතරින් වඩා දක්ෂයා කවුදැයි තෝරන්නට ගොස් මමත් අම්මාත් වාද කරගත් අවස්ථා බොහෝ ය ..මම හැම විටෙකම මගේ ඇන්ජිව එක කරන්නට පෙනී සිටියෙමි. මේ දැනුත් එහි වෙනසක් නොමැත. ඇන්ජිගේ ""මා ප්‍රාර්ථනා ආශාවෝ " මගේ ප්‍රියතම ගීතය විය. තවමත් එසේමය. .එහෙත් ලතා විශිෂ්ටයි කියන්නට අම්මා ඈ ගැයූ ගීත ගොන්නක් මතක් කරමින් ගයන්නට වෙයි. සුජාතා මේ අතරින් නොම්බර එක යැයි කියන්නට යාපා ටීචර් උදාහරණයට ගත්තේ ඈ පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතයයි. සැබවින්ම එය විශිෂ්ට ගීතයක් හා ගායනාවක්ම විය. 

පත්තරය වෙනුවෙන් සුජාතා අත්තනායක හමුවන්නට ගිය දවසක මම මේ ගීතය ගැන ඇයගෙන් විමසන්නට අමතක නොකළෙමි. 
මම 
පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතය ඔබේ ගායන දිවියේ කූටප්‍රාප්තිය බවට විවාදයක් නෑ. එම ගීතමය ජවනිකාවේ ප්‍රාණීය ගුණය ද්විගුණ කරන්නේ ඔබේ ගායනාවයි. නමුත් එම ගීතය නිසි ඇගයුමකට ලක්වුණාද යන්න ගැටළුවක් ..එවකට සිටි සුවිශේෂම සිනමා විචාරකයා ලෙස සැලකුණු ජයවිලාල් විලේගොඩ ඒ ගීතය සලකන්නේ මහගම සේකර ලියූ තවත් දරු නැළවිල්ලක් ලෙස පමණයි .
සුජාතා අත්තනායක 
ඒ පිළිබද සදාකාලික කණස්සල්ලක් මටත තියෙනවා. මට ඒ ගායනාවට සරසවි සම්මාන ලැබුණා. නමුත් මම එය ගන්න ගියේ නෑ. මොකද එහි සංගීත අධ්‍යක්ෂණය කළ ලයනල් අල්ගම  හට ඔහුට ලැබිය යුතු සම්මානය ලැබුණේ නැහැ. අල්ගමයන් වාර ගණනාවක් එවැනි අසාධාරණයන්ට ලක් වුණා. 

කොහොම වුවත් අදටත් මගේ ප්‍රියතම ගායිකාව නම් ඇන්ජලීන්ම තමයි. දෙවියනේ එවැනි හැගීම්බර හඩක් ..ඇන්ජලීන්, ලතා,සුජාතා අතරින් වඩා විශිෂ්ටයා කවුදැයි මම හැමදාමත් කල්පනා කරන ප්‍රශ්නයක් ..සමහර විටෙක එවැනි ප්‍රශ්නයක් අසාධාරණ විය හැකි වුවත් අදටත් හැත්තෑවේ සිනමා ගීත පිළිබද දොඩමළුවකදී ඔය ප්‍රශ්නය මම අනිවාර්යෙන්ම මඩිස්ස්ලෙන් එළියට ගන්නවා. ඒ විතරක් නොවෙයි මගේ මේ කුතුහලකාරී පැනය මම සුජාතා අත්තනායකටත් යොමු කරන්නට අමතක කළේ නෑ. එහිදී ඈ දුන් පිළිතුර නම් ඇයගේ නිහතමානී ගුණය අපූරුවට පැහැදිලි කළ ඒකක්. 
සුජාතා අත්තනායක 
ඇන්ජලීන් සහ මම එකම කාලයේ ක්ෂෙත්‍රයට පිවිසුණා වුවත් ලතා අපට වඩා ජෙෂ්ටයි. අපි අතරේ තරඟයක් තිබුණා තමයි .නමුත ඒ තරගය ජයගන්න උත්සාහ කලේ දක්ෂකම් වලින්ම පමණයි. දක්ෂම කවුද....? ම්ම්ම්ම්ම්... (සිනාසෙමින් )ඒක පිළිතුරු දෙන්න අපහසු ප්‍රශ්නයක්. අප තිදෙනාටම අනන්‍ය වූ ආවේණිකතා තිබුණා. ඒ නිසාම දක්ශයා කවුදැයි කියන්නට අපහසුයි. 

ඇත්තටම මමත් ඇයගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් තවමත් මගේ ප්‍රියතම නම් ඇන්ජලීන් ම තමයි. ඔබේ අදහසුත් කියන්න. 
සුජාතා අත්තනායක සමග මගේ දොඩමළුව කියවන්න මෙතනින් ගිහින් 2012 ජනවාරි 23 E PAPER එකේ අක්ෂරය (08) පිටුව පෙරළන්න. . 


2012/10/11

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 












බහ තේරෙන වයසෙදිම අපි අත්තම්මගෙන් කතන්දර අහන්න පුරුදු වෙලා හිටියා. හතර වටින් ගොම්මන් කළුවර කඩාගෙන වැටෙන වෙලාව- සැදෑ අඳුර හෙමින් හෙමින් ඇවිත් අර සුවදායී -නිහැඬි බවෙන් වටපිටාව වෙළාගන්නවා. ගම්වල මිනිස්සුන්ට සැන්දෑව එළඹුම හිතට ගතට අපූරු සහනයක්, සුවයක් .

අඳුර තමයි අපෙ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ 
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

අමරසේකරගෙ භාවගීත පොතෙන් උපුටාගත්තු  "යමන් කළුවෙ ගෙදර යන්න" කවි පන්තිය මම මුලින්ම කියෙව්වේ හතරෙ හෝ පහ වසරෙ සිංහල පාඩමකින් .අමරසේකරගෙ වර්තමාන දේශපාලන චින්තනය ගැන නිර්දය විවෙචනයක් මට තිබුණත් කවියෙක් විදිහට ඔහුගේ විශිෂ්ටත්වය නම් මම පිළිගන්නවා. ඒත් එදා දෙමළටයි සිංහලයට යි එකම විදිහට තමයි සොබාදහමත්  අඳුරු රෙද්ද පෙරෙව්වෙ කියන සදාතනික සත්‍ය ඒ කවි පන්තියෙන් අමරසේකර පිළිඅරගෙන තිබුණා. අද ඔහු පෙනී සිටින රාජපක්ෂ ආණ්ඩුව කාටත් නොදැනෙනෙ තාලෙ මෙය යැයි වරදවා තේරුම් ගනිමින් මුළු මහත් රටටම ඉතිහාසයේ පෙර නොවූ විරූ අඳුරු රෙද්දක් පොරවමින් සිටිනවා. 

හවස ඇදිරි වැටෙනකොට කඩි ගුලක් තරමට නැතත් තරමක කඩිමුඩියක වෙළිලා තිබුණු ගම හෙමින් හෙමින් නිස්කාන්සුවෙ නිවෙනවා. ..සී..ත..ල.බලන්න කවමදාකවත් නගරයක ඔය ලක්ෂණය දකින්න පුළුවන්ද කියලා. හැබැයි මම මේ කියන්නේ නගරය=අපාය ..ගම =දෙව්ලොව කියලා නෙමෙයි. ලංකාවෙ වැඩවසම් ක්‍රමයෙ අතිශය අසාධාරණ වැඩවසම් ලක්ෂණ වල නටඹුන් තවමත් ගමේ දකින්න තිබෙනවා ඉදහිට.නමුත් සොබාදහම තාමත් අපේ පූර්වජයින්ගේ කාලයෙ සෙනහසම අපට ලබාදෙනවයි කියලා තේරුම් ගන්න නම් ජීවිතේ පුංචි කාලයක් හරි ගමේ ජීවිතය අත්දකින්න ඕනෙ. හැබැයි, ඒ හැගීම් ගමේ ජීවත් වූ පමණින් ප්‍රවේණිකව උරුම වන දෙයකුත් නොවෙයි.ඒ  බුද්ධි පරිපාකයද ,නැත්නම්  අපොස උ.පෙළ පෙනී සිට විශ්ව විද්‍යාලයට ඇතුළ් වුවහොත් පමණක් උරුම වන සංවේදනාවක්ද ,නැත්නම් සේකර කීවා සේ ..........

ඇවිඳ ලදු දෙණි  කැලෑ බිම්වල
 රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළ් සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
රටාවක් බව මේ මහා විශ්වය 
කුඩාකල සිටම මට කියා දුන් .....

සමීපතමයින් ජීවිතයේ පංගුකාරයන් වී සිටීම ද කියා හරියටම කියන්නේ කොහොමද ?

සැන්දෑ කළුවර හරියට සර්පයෙක් බඩාගානවා වගේ මහපොළව හෙමින් හෙමින් වහගන්න වෙලාවට වචන වලට නැගිය නොහැකි නිරාමිශ සතුටක් හිතට දැනිලා තියෙනවා මට, ඒ පුංචි සන්දියේදි. පුංචි උන් වෙච්ච අපට හැන්දෑව සතුටක්. කැමතිම ජවනිකාවක් තව ටිකකින් පටන් ගන්නවා. බුදුන් වැදලා ඉවර කරලා අත්තම්මා ඉස්තෝප්පුවට ගාටනවා. එහි එළිපත්තෙ ඈදිගන්නවා, උන්දැලා කීවෙ එහෙමයි. ඕන්න අපි පොඩිවුන් රැළ පොකුරු ගැහෙනවා අත්තම්මා වටේ. චිමිනි ලාම්පුවෙ එළිය කළුවර ඈතටම එළවලා දැම්මේ නැහැ. අද ලංකාව වටේටම විදුලි බලාගාර තියාගෙනත් පාඨලී ඇමතිතුමාටත් කළුවර සම්පූර්ණයෙන්ම එළවලා දාන්න බැරිවෙලා තියෙනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. චිමිනි ලාම්පුවෙ එළියෙන් රැය ගෙවා දමන කාලෙ අපට රැය සහ දහවල අතර සොබා නීතීයේ වෙනස් කම් අඳුනා ගන්න ඉඩක් තිබුණා. නමුත් පාඨලී ඇමතිතුමාලා අද අපි විසින්ම නිපදවාගත්තු නීති පණවමින් රැය සහ දහවලේ වෙනසක් නැතෙයි තහවුරු කරන්නට උත්සාහ කරමින් සිටිනවා. දහවලටත් එළිබහින සුදුවෑන් එහි එක් සලකුණක්. 

අත්තම්මා අපට බොහෝ කවි කතා කියා දී තිබෙනවා මෙවැනි සැදෑ සමයන් ගණනාවකදී. මට මතක් වෙනවා එහෙම කවියක්. 

මල්ලියි මමයි තනි පාරෙ යන කලට 
බඩගින්නක් ආවයි අපි දෙන්නාට. 
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 
යමන් මලේ අම්මා වැළලූ තැනට 

අම්මාගේ වියෝගයෙන් අසරණවූ දරුවන් දෙදෙනෙක් ගැන අපූරු කතාවකුත් අත්තම්මා ඊට එක්කරනවා.ඇයගේ ඇතැම් වර්ණනාවන් වල අතිශයෝක්තීන් බහුලයි. ඒත් කුඩා කල අප විදින්නට කැමති වූ රසය ඒ වර්ණනාත්මක විස්තරයින්ගේ අඩුපාඩුවක් නැතිව තිබුණා. අත්තම්මා අපට කීවෙ යන්නට එන්නට තැනක් නැතිවූ සොහොයුරන් දෙදෙනා අම්මාගෙ සොහොන පාමුලට ගිය පසු ඇගේ වළ මත සරුවට වැඩී තිබූ පැණි දොඩම් ගසක ගෙඩි පිරී තිබුණු බවයි. අර අසරණයින්ගේ කුසගින්න නිවන්නේ අම්මාගේ වළ මත වැඩී තිබූ පැණි දොඩම් ගසයි. අම්මාගේ නොසිදෙන  ආදරයත්, සොබාදහම අප වෙනුවෙන් සියල්ල වෙන් කර තිබෙන අයුරුත් ඒ කතාවෙන් අපූරුවට කියවෙන බව කුඩා අපට තේරුණේ බොහෝ කාලයක් ගතවූ පසුයි. 

එහෙත් අද තිබෙන්නේ එදා ලංකාව නොවෙන නිසා බඩගිනි කියා අම්මාගේ සොහොන වෙත යාම නිරර්තක කටයුත්තක් වෙලා. මේ අතිසීග්‍ර සමාජ පරිවර්තනයන් 77 ට ලඝු කරන්නට නොවෙහෙසී මදක් එපිටට කල්පනා කර බැලූ විට 94 දිත් අම්මාගේ සොහොන වෙත යන දරුවෙකුට පැණි දොඩම් කන්නට හැකියාවක් තිබූ බව මතක් කරගන්නට අපහසු නැහැ. 



2012/10/06

මේ කාගේදෝ කමතා

ගමෙන් සිංඩියක් ගෙනාවෙමි. 



නිවාඩුවට ගමේ ගියත් කාලය ගතවුණේ අන්තර්ජංජාලයේය. කලෙක ගමට බෙහෙවින් ආදරය කළ මට දැන් ගම වෙත ගිය කල්හී පිටස්තරකාරී හැගීමක් දැනෙන්නේ ඇයිදැයි නොතේරේ. මට සිහිවන්නේ සේකරගේ 'ගම අමතකයි' පද්‍ය පන්තිය. 

"සිදාදියට එන්නට මට 
බුද්ධිය නුඹ තමයි එදා පාර කියාදුන්නේ.. "

කාලෙකින් සේකර කියවන්නට නොලැබිණි. දැන් කවිය මතකයෙ නැත.අන්තර්ජාලයේම නිවාඩුව ගතකළ මා ආයිත් හුදකලා නවාතැනට පැමිණියේමි. නිකන්ම නොවේ. මා හැදූ අලුත් බ්ලොග් සිංඩියකුත් සමගින්. 

මාත් සිංඩියක් හදන්න ඕනෑයැයි මට සිතුනේ සිංහල බ්ලොග් ලෝකයේ සිංඩි ගණනාවකට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගැනීමට උතසාහ දරා වෙහෙස වූ කල්හිය. බලාපොරොත්තු කඩවූ කල්හිය. සිංඩි දහයකට වඩා ප්‍රමාණයකට මා අයදුම් කළ නමුත් මෑතකදී මා එක් කරගනු ලැබූයේ සිංඩි තුනකින් පමණය. ඒවා මොනවදැයි අමුතුවෙන් කියන්නට අවැසි නොවේ. මට මුලදී තල්ලුව ලැබුණේ සුමිත් නිරිඇල්ලගේ ප්‍රහාරයෙනුත්  ,රාජ්ගේ නවාතැනිනුත් ටික දවසකට පසුව හසිතගේ ආගිය කතා  සහ සිරාගේ කාමරයෙනුත්  ය. 

සිංඩියකින් බ්ලොග් අඩවියකට ලැබෙන සහයෝගය අති මහත් වෙයි. මම මෙවැනි සිංඩියක් අරඹන්නට සිතුවේම අලුතින් බ්ලොග් ලෝකයට පිවිසෙන නිර්මාණකරුවන්ට සහයෝගයක් ලබා දිය යුතුයැයි මට බලවත් සිතුවිල්ලක් තිබුණු නිසාවෙනි. හොදම උදාහරණය මචං- මාතලන්  ඔහුගේ සිංඩියෙන් අළුත් බ්ලොග් කරුවන්ට ලබාදෙන සහයෝගයයි. 

කමත ඇරඹෙන්නේ එවැනි අරමුණකිනි. 

උඹ සිංඩියක් පටන්ගන්න්ට තවම කල් වැඩියැයි මිතුරන් දෙතුන් දෙනෙක් කීවේය. එහෙත් මගේ ආශාව වඩාත් ප්‍රභල විය. මගේ බ්ලොග් අඩවිය මෙවනි කාරණා සදහා යොදාගන්නට මම අකැමැති නමුත් සිංඩිය ගැන කියන්නට වෙන මගක් නැත. 

කමතට දැනට ඇතුළ් කර ඇත්තේ මා කියවන බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් පමණි. ඒවා ප්‍රවර්ග කොට බෙදා දක්වන්නට මා උත්සාහ කළේය., නමුත් එය දුෂ්කර කාරියක් විය. සමහර විට ඔබේ අඩවිය තිබිය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ගැන මට කියන්න. 

මෙතනින් කමතට ගොහින් බැත රාසි කරන්න ඇහැකි 

ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව සිතට හයියකි. 

2012/10/05

දේශප්‍රේමීන් නොවන බැල්ලිගේ පුතාලා වෙතයි.





මුගුරක් අතැතිව මිහිමත සැරිසැරූ පළමු මානවයා ලෙස සැලකෙන්නේ නියැන්ඩතාල් මානවයායි. මුල් කාලයේ මතය වූයේ නියැන්ඩතාල්වරුන් සහ සේපියස්වරුන් කිසිදිනෙක එකිනෙකා මුන නොගැසුනු බවයි. නමුත් පසුකලෙක එම මතය විද්‍යාත්මකව වෙනස් වූයේය. නියන්ඩතාල්වරුන්ගෙ අතින් අනෙකා යටපත් කොට පැවතීමේ කලාව ඉගෙනගත්  මිනිසා පළමුවෙන්ම  තම මුගුර ඔසොවනු ලැබුවේ නියැන්ඩතාල් වරුන්ට එදිරිවමය. 

දේශප්‍රේමීත්වය ඇරඹෙන්නේම තම අනෙකා සංහාරය කිරීමෙනි. දේශප්‍රේමීත්වය වෙනුවෙන් අපි  අපේ අනෙකා වූ දෙමළා සංහාරය කෙරුවෙමු. දෙමළා යනු කවුද ? උහු අපේ අනෙකායි. මෙලෙස දේශද්‍රොහීන් වූයේ අපේ පාසල් බස් රිය පැදවූ නඩරාජා මාමාය. අපේ ගොයම් කපන්නට පැමිණ තුට්ටුවක් සොයාගෙන ගිය ගුණසිංහම්ලාය. ජාතිකතවය යන පටු සාධකය පදනම් කරගෙන දේශද්‍රොහීන් තේරීම නිවැරැදි නම් ලක්ෂ්මන් කදිරගාමර්ද ඒ ගොඩට අයත් විය යුතුය. කලු සුද්දන් වී සුද්දන් මෙරටින් පන්නනට සේනානායකලා සමග එක්වී සිටි දෙමළ කලු සුද්දන් වූ පොන්නම්බලම්ලාද ඒ ගොඩට එක්විය යුතු වෙයි. 

දැන් දේශප්‍රේමීත්වය නව මානයකින් නිර්වචනය කෙරෙමින් තිබේ. රටේ සිදුවන අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන්නා දේශද්‍රොහියෙකි. අයුක්තියට එරෙහිවන්නා දේශද්‍රෝහී අධිරාජ්‍යවාදී පෙරමුණ ශක්තිමත් කරන්නෙකි. 
එහෙත් මේ නව කියවීම අමු අමුවේ අලුත් මතවාදයක් හෝ සංකල්පයක් නොවේ. එය ඉතිහාසික පුනරුච්චාරණයකි. උදාහරණයක් වශයෙන් සිංහල ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය යුගයේ බිහිවන්නේම සිංහල ප්‍රාග්ධනයේ වර්ධනයට තිබූ තදබල සීමාකම්ද ,තවත් අතකින් සිංහල සුළු ධනේශ්වර කොටස් ව්‍යාපාරික සහ වුර්තීය අවකාශයන් තුළදී මුහුන දුන් සුළු ජනවර්ගවල තරඟකරුවන්ගෙන්  එල්ල වූ බාධාවන් නිසාද ,සිංහල කම්කරුවන්ට ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන්ගෙන් එල්ල වූ තරගයේ ප්‍රථිපලයක්ද වශයෙනි. 

වර්තමානයේදී සිදුවන්නේ ද  තම ආර්ථික ආයෝජනයන්ගේ විපුල ඵල නෙළාගන්නට බාධා කරන වුන්, අර පැරණි දෙශප්‍රෙමී කෝවේ ලා විනාශ කිරීම සදහා මග පාදා ගැනීමේ කූට උපායයි. හේතුව මුදල් වේ. තම පරම්පරා හතකට සෑහීමට මුදල්, වතුපිටි රැස් කිරීමට ඔවුනට ඉඩදී උන් සමග නිදිවදින්නට අකැමැති අප නිහඩව සිටිය යුතු වේ. නොවෙසේනම් තවත් තේරීමක් තිබේ ,ඒ හර්ද සාක්ෂ්‍ය ගලවා පසෙකට දමා උන් සමග එකට කාබී ඒ මත්තෙහිම වැටී සාමූහිකව රමණයේ යෙදීමයි. ආශ්චර්‍ය එයයි. 

පසු සටහන 
මධ්‍යස්ථ දැක්මක් උදෙසා... 

මෙම පහත  සටහන උපුටා ගනු ලැබුවේ ආචාර්‍ය නලින්ද සිල්වා විසින් දිවයින පුවත්පතට මේ වසරේ ජනවාරි මාසයේ ලියන ලද ලිපියකිනි 


“දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේම මෙරට වාසය කරන දෙමළ ජනයා තරම් වරප‍්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. එය සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් එය කළ යුතුය.

සිංහලයන්ට එරෙහිව දෙමළ ත‍්‍රස්තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේදී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක‍්‍රියාමාර්ගයකි. අපේ රණවිරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නොවේ. දහතුන මඟින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග‍්‍රහණයෙන් පසු දහතුන දේශපාලනිකව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි.
 අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග‍්‍රහණයත් සමඟ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවටම විසිකර එය අහෝසි කිරීමට දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වගන්ති ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතිව දහතුනෙන් එහාට යමක් ගැන කතාවක්වත් නොකළ යුතුය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ද්‍රෝහිකමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිවම දහතුනෙන් එහාට යෑමට තිබිණි. යුද්ධ ජයග‍්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්ඡා මේසයට යෑමට සිංහලයන් කැමැති වේ යැයි ඉන්දියාව සිතන්නේද”

2012/10/03

ඇයි නුඹ මාව මරාගෙන නොකෑවේ ?



ඇයි නුඹ මාව මරාගෙන නොකෑවේ ?

සුනිල් චන්ද්‍රසිරිගේ අළුත්ම නාට්‍ය නිර්මාණය වන ආදරණීය සංවාදයක් නැරඹූ මට සීමොන්ගේ සහ 
ජෙරාර්දෝ බෘසෙසි ගේ කථාව සිහිපත් විය. මෙය ලියැවී තිබුණෙ සමබිම සඟරාවෙහිය. ඉතිහාසිකව අපටද පොදු අත්දැකීමක් වන මේ කතාව ට කිසිදු සමානරූපී බවක් දක්වන සිදුවීම් අපේ පුණ්‍යවන්ත මවුබිමෙහි කිසිදු විටෙක සිදු නොවුණු බැව් අමතක නොකරන්න. 




හැත්තෑව දශකයේ මැද භාගයේදී සිදු කළ යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් මිලිටරි ජුන්ටාවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වුණු ආණ්ඩුව පෙරළා දමා ආජන්ටිනාවේ බලය අල්ලා ගන්නා  ලදී. උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙකු වූ එම ජුන්ටාවේ නායක ජෙනරාල් ජෝර්ජි රෆායෙල් විඩෙලා තම ප්‍රතිවාදීන්ට එරෙහිව පස් අවුරුදු ‛කිලිටි’ යුද්ධයක් ගෙන ගියේය. එහිදී හමුදාව සහ රහස් පොලීසිය විසින් 30,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලදී. ඉන් 15000 පමණ ඝාතනයට ලක්වූහ.

අවසානයේදී මිලිටරි ජුන්ටාව බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ජෙනරාල් විඩෙලා සහ අනෙකුත් හමුදා නායකයන් ‛මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට’ වැරදිකරුවන් බවට පත්විය. ජෙනරාල් විඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුණු අතර තවමත් ඔවුන් වෙනත් චෝදනා යටතේ නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටිති.
නමුත් ප්‍රශ්නය වන්නේ එම පස් අවුරුදු ‛කිලිටි යුද්ධය’ මෙහෙයවූවන් තමන් කළ කී දෑ තවමත් මතවාදීව සාධාරණීකරණය කිරීමයි.
කෙසේ වුවද සැබැවින්ම මිනිසුන්ට වධහිංසා පැමිණවූවන් අතරින් නඩු විභාගයකට මුහුණ දුන්නේ එක් පුද්ගලයෙකු පමණකි. ඔහුගේ නම තුර්කෝ ජුලියාන් හෙවත් ජුලියෝ සිමොන්ය. තමා සමඟ එක්ව වධහිංසා කිරීම්වලට සහභාගී වූ අනෙක් වධකයන් හඳුනා ගැනීම සඳහා අධිකරණයට සහාය දීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ නඩුව විභාග කරන විනිශ්චයකරු කියා සිටින්නේ තම ක්‍රියාවන් ඔහු තවමත් මතවාදීව සාධාරණීකරණය කරන බවයි.
සිවිල් යුද්ධයකදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට වගකිව යුත්තන් සෙවීමේදී මුහුණ පාන්නට සිදුවන එක් බරපතළ අභියෝගයක් වන්නේ එම අයිතිවාසිකම් කඩ කිරීමට වගකිව යුතු වූ අය දෘෂ්ටිවාදීව තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමයි. කොමියුනිස්ට්වාදීන් හෝ පොදුවේ ගත් කළ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගල කරන අයගෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා කරන ලද මේ ‛කිලිටි යුද්ධය’ වැනි ත්‍රස්තවාදී මර්දන මෙහෙයුම් ලස්සන නැතත් භයානක උවදුරකින්  රට මුදා ගැනීම සඳහා එසේ බිහිසුණු ලෙස ක්‍රියා කිරීම ඉවසිය යුතු යැයි කියන පිරිස් සර්බියාවේ සිට රුවන්ඩාව දක්වාත්, ආර්ජන්ටිනාවේ සිට ලංකාව දක්වාත් සිටිති.
තිරිසනෙකුට මෙන් ඔබට වධහිංසා කළ මිනිසෙකුට නීතියෙන් දඬුවම් පැමිණ වූ පමණකින් ඔබට ඒ වධහිංසාවෙන් ඇතිවූ ශාරීරික හා මානසික කැළැල් අමතක කළ හැකි ද? මුළු ජීවිත කාලයක් පුරා උත්සාහ ගත්ත ද එය මකා දැමීමට ඔබට හැකි වුණා ද?
2003 වසරේ ආජන්ටිනාවේදී මේ මහා අපරාධයට එරෙහිව මානව අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ නඩු විභාග ඇරඹුණු අවස්ථාවේදී වසර ගණනාවකට පෙර රැඳවුම් කඳවුරුවලදී අනේක වධ බන්ධනවලට ලක් වූ බොහෝ දෙනෙක් තවමත් සුවපත් නොවූ සිය ආත්මීය වේදනාවන් ද රැගෙන අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට බුවනෝස් අයර්ස් අගනුවරට ඇදී ආහ. එහෙත් තමන්ට වධහිංසා කළ මෙම පුද්ගලයා මුහුණට මුහුණ හමුවීමට කැමති වූයේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පමණි.
ජුලියන් සිමොන්ගේ වධහිංසාවන්ගෙන් තුවාල වූ ආත්මීය හෘද සාක්ෂියක් සමඟ බුවනෝස් අයර්ස් නුවර බලා පැමිණි උරුගුවේ ජාතික මාධ්‍යවේදියකු වූ ජෙරාර්දෝ බෘසෙසි වෙනස් පුද්ගලයෙකි. 1978 දී අවුරුදු විසි හයක තරුණයෙකු වශයෙන් ජුලියෝ සිමොන් අතින් වධහිංසාවට ලක් වුණු ඔහු ඉන් වසර තිහකට පසු තම අතීත වධකයා මුණ ගැසීමට නැවත ආජන්ටිනාවට පැමිණෙයි. ඔහුගේ අරමුණ තුර්කෝ හෙවත් ජුලියෝ සිමොන් සමඟ එක්ව තමාට වධහිංසා කළ අනෙක් වධකයන් දෙදෙනා වන ‛කොලෝරෙස්’ සහ ‛කුංග් ෆූ’ නමින් හැඳින්වුණු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමය.
ඒත් ඒ සියල්ල අබිබවා වසර විසිපහක් පුරා දිවා රෑ තමා දවාලූ ප්‍රශ්නයක් ඔහුට සිමොන්ගෙන් අසන්නට තිබුණි.
දින කිහිපයක් ජෙරාර්දෝ බෘසෙසි විසින් බන්ධනාගාරයේදී සිමොන්ව මුහුණට මුහුණ හමු විය. එම අවස්ථාවේදී  ජෙරාර්දෝ බෘසෙසි විසින් පටිගත කළ වීඩියෝ පටයේ එන ඇතැම් දර්ශන අතිශයින් හද කම්පා කරවන සුළුය. රොඩ්‍රිගෝ වස්කේස් විසින් නිපදවූ මෙම සත්‍ය කතාව රැගත් චිත්‍රපටය අල්ජසීරා රූපවාහිනියේ ‛පීපල් ඇන්ඩ් පවර්’ වැඩසටහන විසින් පසුගිය මාර්තු මාසයේදී විකාශය කරන ලදී. ඔබට එය http://english.aljazeera.net/programmes/peopleandpower/2009/09/200993054939921589.html ඔස්සේ අන්තර්ජාලය තුළින් නැරඹිය හැකිය.

එදා ඔහු විසින් පාලනය කළ රැඳවුම් කඳවුරු තුනෙහි සිටි ඇස් බැඳ වධහිංසාවලට ලක් කළ මිනිසුන්ට පළමුවෙන්ම ඇසුණේ ඔහුගේ ගොරහැඩි කට හඬයි. අද ඒ අමිහිරි කට හඬ අවදි වන්නට පෙර සිමොන්ගේ රුව ජෙරාර්දෝ බෘසෙසි ඉදිරිපිට පෙනී සිටියි.

ජෙරාර්දෝ බෘසෙසි 
 මම දැන් ඔබ ඉදිරිපිට ඉන්නේ මාධ්‍යවේදියෙකු විදිහට. මීට අවුරුදු විසි පහකට කලින් 1978 පෙබරවාරි 12 දා හවස පහට මාව පැහැර ගෙන විත් බුවනෝස් අයර්ස්වල එක පොලීසියක රඳවලා තියා ගත්තා. ඊට පස්සෙ මාව රැඳවුම් කඳවුරකට මාරු කරල යැව්වා. එතනදි ඔබ මට වධහිංසා කළා.
සිමොන් 
 කවුද? මම ද ඔබට වධ දුන්නේ? කොහෙද ඔය කියන කඳවුර තිබුණේ? ඇති. අපි මේක නවත්තමු. මම කිසිම වෙලාවක සදාචාර විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කළේ නෑ. මහජනතාව මේක විශ්වාස කරන එකක් නෑ. ඒත් මම දන්නවා මම කරපු දේ.
ජෙරාර්දෝ 
 බැන්කෝවල. බැන්කෝවල තමයි ඒක තිබුණේ.
සිමොන් 
 ඔබට වයස කීය ද?
ජෙරාර්දෝ 
 මට දැන් 50 යි. මට ඒ කාලෙ වයස 24 යි.
සිමොන් 
 මට මතක නෑ.
ජෙරාර්දෝ 
 මාව ඔබ ළඟට ගෙනිච්චෙ නිරුවත් කරල ඇස් බැඳලා.
සිමොන් 
 මාව හිරකරල දැන් අවුරුදු හතරක් වෙනවා. මාත් වේදනා විඳිනවා.
සාකච්ඡාව ඉන් එහාට සිදු නොවුණි. ජෙරාර්දෝ බෘසෙසි පුටුව පසුපසට ඇද නැගිට්ටේය.
————————–
පසුදින ජෙරාර්දෝ බෘසෙසි නැවතත් සිමොන් රඳවා සිටින බන්ධනාගාරය වෙත පැමිණියේය.

“මම නිකං මාධ්‍යවේදියෙක් විතරයි. එයාල මාව පැහැරගෙන ගියා. පොලීසියේදි මට ගැහුවා. ඊට පස්සෙ මාව කෑම්ප් එකට යැව්වා. මාස හයක් තිස්සේ ගතවුණ හැම දවසකම එයාල මට වධහිංසා කළා.”

ජෙරාර්දෝ බෘසෙසි, සිමොන් පැමිණෙන තෙක් ජේලර්වරුන්ට කියා සිටියේය.
මෙහොතකින් සිමොන් පැමිණ ජෙරාර්දෝ බෘසෙසිට අතට අත දුන්නේය. ජේලර්වරු ඉවතට ගියහ. යළිත් සිමොන් සහ ජෙරාර්දෝ බෘසෙසි එකිනෙකා හා තනි වූහ.
ජෙරාර්දෝ 
 මම ආයෙත් ආවේ ඇයි කියල ඔබ දන්නවා නේද?
සිමොන් 
 එක සැරයක් කිව්වනෙ, මම කාටවත් වධහිංසා කළේ නෑ. ඔබටවත් එහෙම කළේ නෑ. මම ඔබට අත තිබ්බෙ වත් නෑ.
ජෙරාර්දෝ 
 ඒක බොරුවක්. මාව කඳවුරට ගෙනිච්ච දවසෙ ජුලියන් කියන කෙනා එතැන හිටිය බව මට හොඳටම විශ්වාසයි. කුංග් ෆු අඩු තරමින් මට දෙපාරක් වත් වධ දුන්නා. එයා මගේ බඩ තුවාල කළා. මට පළවෙනි දවසෙ වධ දුන්නෙ ජුලියන් කියන කෙනා. අනික් වතාවලත් එයා එහාට නිතර ආව.
සිමොන් 
ඇයි මාව මෙහෙම තියාගෙන ඉන්නෙ?
ජෙරාර්දෝ 
 ඔබව මෙහෙම තියාගන්න එක තමයි වඩා හොඳ කියල හිතන අයට ඔබ නිහඬව තවදුරටත්      තබාගැනීම අවශ්‍යයි.
සිමොන් 
 ඒක වැරදියි. මම ඒ ආයතනයටයි වැඩ කළේ. මම ඒ මිනිස්සුන්ට වැඩ කළේ නෑ.
ජෙරාර්දෝ 
 ව්‍යවස්ථාවට අනුව නම් පොලීසියයි හමුදාවයි මහජනයාට සේවය කරන්න ඕන. මිනිස්සුන්ට වධහිංසා කිරීම හරි, මිනිස්සු අමු අමුවෙ මරා දාන එක හරි, ඒ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කිරීම නෙවෙයි කරන්න ඕන.
සිමොන් 
 නෑ නෑ. මම කරපු දේවල් නීත්‍යනුකූලයි.
ජෙරාර්දෝ 
 ඒත් ඒ කාලෙ මේ රට පාලනය කළේ පොලීසියයි හමුදාවයි.
සිමොන් 
 මම සේවය කළේ මධ්‍යම ආරක්ෂක අංශයේ.
ජෙරාර්දෝ 
 උඹල ඒ කාලෙ අපිට කිව්වෙ අපි අතරින් හිටිගමන් අතුරුදහන් වුණ අය වෙන රටවලට ගිහින් කියලයි. ඒත් උඹල අපිත් එක්ක හිටිය ගොඩක් අයව ප්ලේන් එකෙන් ගෙනෙද්දි ඒකෙන් එළියට ඇදලා දැම්මා.
අතීත වේදනාවෙන් ජෙරාර්දෝ      හැඟීම්බර වුණේය.
සිමොන් 
 ඔබ තාම හැඟීම්බරයි. ඒ නිසා දැන් අපිට කතා කරන්න අමාරුයි.
ජෙරාර්දෝ 
 නැහැ. උඹයි මායි මේ කතා කරන්නෙ ඉතිහාසෙ වුණ ඇත්ත සිද්ධි ගැන.
සිමොන් 
 හොඳයි අපි කතා කරමු.
ජෙරාර්දෝ බෘසෙසිට සිත සන්සුන් කර ගැනීමට විනාඩි කිහිපයක් ගත විය.
ජෙරාර්දෝ 
 ඔබ ඒ මුළු කාලය පුරාම අපිව නිරුවත් කරල තිබ්බා. මගේ අතපයවලට මාංචු දාලා තිබුණේ. ඒ මුළු කාලය පුරාම මට තිබුණු එකම ඇඳුම වුණේ මගේ ඇස් දෙක බැඳල තිබ්බ රෙදි පටිය විතරයි. කෑම්ප් එකේදි මට නම් තුනක් මතක තිබුණ. ජුලියන් සිමොන්, කොලෝරෙස් සහ කුංග් ෆු. මම මේ කියන්නේ මට වධ දෙන වෙලාවෙ එතන හිටිය අය ගැන. ඔබත් මට වධහිංසා කළා.
සිමොන් 
 නෑ නෑ මම වධ දුන්නෙ නෑ. මම ප්‍රශ්න නම් ඇහුවා.
ජෙරාර්දෝ 
 මාව ඒ කෑම්ප් එකට ගෙනිච්ච මොහොතෙම මගේ අනන්‍යතාවය නැති වුණා. මට මගේ නම නැතුව ගියා. මට ලැබුණෙ අංකයක්. මට මතකයි මාව කෑම්ප් එකට ගෙනිච්ච පළමු රෑම මට පයින් පහර දුන්නා. කුංග් ෆු අනෙක් අයට කිව්වා මාව ගැට ගහන්න කියලා. ඊට පස්සෙ එයා මට කරාටේ පාරවල් දුන්නා. මගෙන් එයාලට ගන්න තොරතුරක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ දවසක එයා මාව මේසය උඩ වාඩි කරල ආයෙත් කරාටේ පාරවල් දුන්නා. මාව නිදහස් කළාට පස්සෙ මට ඔපරේෂන් ගාණක් කරන්න සිද්ධ වුණා. මට ලිංගික අතවර කළා. තමුන්ට කරන්න ඕන වුණ හැමදේම කළා. ඒත් ඔයාලට මගෙන් එක වචනයක්වත් ගන්න බැරි වුණා.
සිමොන් 
නෑ නෑ. මම විශ්වාස කරන් නෑ ඔබට ලිංගික වධහිංසා කරපු බව.
ජෙරාර්දෝ 
 මේ අහන්න. ඔබලා මගේ ගුද මාර්ගයට කෝටු දැම්මා. මම කොමියුනිස්ට් සෙබළෙක් කියල මාස හයක් වධ දුන්නා. මම නෑ කිව්වා. ඒක තමයි ඇත්ත. මම කවදාවත් කොමියුනිස්ට්වාදියෙක් වෙලා හිටියෙ නෑ. මම සෙබළෙකුත් නෙවෙයි. ඔබලා මිනිස්සුන්ට වධ දෙන්න යොදා ගත්ත බුද්ධි තොරතුරු වැරදියි. ඒක ජන ඝාතනයක්.
සිමොන් 
 එහෙ කිසිම බුද්ධි තොරතුරු අංශයක් තිබුණෙ නෑ.
ජෙරාර්දෝ 
 අපිට කෑමයි බොන්න වතුර බාල්දියි ගෙනාපු එක බැල්ලිගෙ පුතෙක් හිටියා. මට මතකයි ඌ ඒ බාල්දිවලට චූ  කරන්නයි කෙළ ගහන්නයි පුරුදු වෙලා හිටියා. ඒවා මතක නෑ කියල කියන එක මානසිකව ඒව සිද්ධ වුණේ නැහැයි කියල හිතා ගැනීමක්.
සිමොන් 
නෑ නෑ. මම එතන හිටියෙ නෑ.
ජෙරාර්දෝ 
 මට සිද්ධ වුණා එක පාරක් ඔයාලගේ කෙනෙක් එක්ක කතා කරන්න. මට එයාගෙ නම මතකයි. ඒත් මට කවදාවත් එයාගෙ මූණ දකින්න බැරි වුණා.
සිමොන් 
 අපි කවුරුවත් තමන්ගේ මූණ පෙන්නුවේ නෑ. අනික මම කවදාවත් හිරකාරයන්ගෙන් ප්‍රශ්න කළේ නෑ.
ජෙරාර්දෝ 
ඒත් මට හැම වෙලාවෙම වධහිංසා කළා.
සිමොන් 
 හරි. ඒත් මම කියන්නෙ ඒක මට අදාළ නෑ. ඒත් මේ හිතුවක්කාර මිලිටරි නායකයො හිතුවෙ එයාල ඉතිහාසෙ අයිතිකාරයෝ කියලා.
ජෙරාර්දෝ බෘසෙසි එක්වරම සිනාසෙමින්ම උත්තර දෙන්න පටන් ගත්තේය.
ජෙරාර්දෝ 
හරි පුදුමයි. හරිම පුදුමයි. ජීවිතේ කොයිතරම් හාස්‍යජනක ද? මොකද දැන් ඔබව ප්‍රශ්න කරන්නා මමයි. අවුරුදු විසි හයකට කලින් ඔබ මගෙන් ප්‍රශ්න කළා. මම ඔබෙන් ආයෙත් අහනවා. කොලෝරෙස් සහ කුංග් ෆු කියන්නෙ කවුද? මොකක්ද ඔබට ඔවුන් සමඟ තිබුණ සම්බන්ධය?
සිමොන් 
මම දන්නෙ නෑ. මම දන්නෙ නෑ.
ජෙරාර්දෝ  
 ඔබ බන්කෝ කඳවුරේ වැඩ කළා. ඒක ඔප්පු කරන්න දහස් ගාණක් සාක්ෂිකාරයෝ ඉන්නවා. ඒක නැහැ කියන්න එපා.
සිමොන් 
 හොඳයි. ඔබ සිතනවා නම් මම බන්කෝවල වැඩ කළා කියලා, මම එහෙ වැඩ කළා තමයි. වෙන මොනවා කියන්න ද?
ජෙරාර්දෝ 
 අන්න හරි. මට දැන් දැන ගන්න ඕන දේ පහුගිය අවුරුදු විසි පහ තිස්සෙම මට දිවා රෑ වධ දුන්නා. ඇයි උඹලා මට එහෙම කළේ? ඇයි අන්තිමට මාව මැරුවෙ නැත්තෙ?
සිමොන් 
 මම කවදාවත් බන්කො කෑම්ප් එකේ වැඩ කළේ නෑ.
ජෙරාර්දෝ 
 මම අවුරුදු විසි පහක් ඒ වේදනාව දරාගෙන හිටියා. ඒ ගත වුණ හැම දවසකම හිතුවා ඔබව හම්බ වුණාම මම ඔබෙන් පළි ගන්නවා, මට කළ දෙයම ඔබටත් කරනවා, ඉන් පසුව ඔබව මරනවා කියල. මම කරාටේ පුරුදු වුණා. බර ඉසිලීම පුරුදු වුණා.
සිමොන් 
 ඕක මානසික තත්ත්වයක්.
ජෙරාර්දෝ 
 අන්තිමේ මට ඔබව හම්බ වුණා. ඒත් මම මෙහාට ආ වෙලාවේ මට තේරුම් ගියා පලිගැනීම තේරුමක් නැති දෙයක් කියලා. මට ශාරීරිකව හරි මානසිකව හරි පලිගන්න ඕනෙ නැහැ. මට ඕන වුණා මාව ශාරීරිකවයි මානසිකවයි විනාශ කරන්න හදපු අය ආයෙ වතාවක් මූණට මූණ හම්බ වෙන්න. මට ඕන වුණේ ඔයාලට මාව විනාශ කරන්න බැරි වුණා කියල පෙන්නන්නයි. ඔබලා මාව ශක්තිමත් කළා.
සිමොන් 
 ඔබට මගෙන් එයාලගෙ නම් දැනගන්න ඕනෙද?

ජෙරාර්දෝ බෘසෙසි උත්සාහ කරන්නේ සිමොන් මාර්ගයෙන් තමන්ට වධහිංසා කළ අනෙක් නිලධාරීන් වූ කොලෝරෙස් සහ කුංග් ෆුගේ සැබෑ නම් හෙළිදරව් කරගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි. ඒත් ඊට ඔහුට ලැබී තිබෙන කාලය ඉතා සීමිතයි. කිලුටු සටනින් වසර විසි පහකට පසුත් තමාගේ ක්‍රියාව සාධාරණීකරණය කරන සිමොන් වැන්නෙකුගෙන් හිංසනයට පත් වූවෙකුට සාධාරණයක් ඉටුවේවි ද?

දීර්ඝ copy -paste කිරීමක් බව සලකන්න. අන්තර්ගතයේ වැදගත්කම සලකා උපුටා පළකර්න ලදී