Google+ Followers

2016/06/07

කන්නගී පුරාවෘත්තය සිනමා ඇදහිල්ලක අත්දැකීමක වේශයෙන්

මෙරට මහා සමාජයේ ප‍්‍රචලිත, ජනගත අදැැහිල්ලක් වශයෙන් පත්තිනි අදැැහිල්ල අපට බොහෝ සෙයින් සමීපය.පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදුකෙරෙන නොයේක් පන්නයේ කිරිදානයන් , ශාන්ති කර්ම මුළු ලංකාව පුරාම නොයේක් වේශයෙන් සිදුකෙරෙයි.මේ කතාබහ පත්තිනි මෑණියන් ගැන නොව පත්තිනි මෑණියන් විලසින් දේවත්වයට පත්වූ සාමාන්‍ය කාන්තාවක වූ කන්නගී ගැනය.අතිමහත් වූ පතිභක්තියෙන් යුක්තව තම සැමියා කෙරෙහි වූ අසීමිත පේ‍්‍රමයෙන්, බලපරාක‍්‍රමයෙන් පිරුපුන් මහා පඩි අධිරාජ්‍යයාට විරුද්ධව යුක්තිය ඉල්ලා හැඩූ කන්නගී ගේ සිනමා සම්ප‍්‍රාප්තිය වන ‘පත්තිනි’ චිත‍්‍රපටය පිළිබඳව යි. මෙරට සම්මානනීය සිනමාකරුවෙක් වන සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘පත්තිනි ’ පිළිබඳව සංවාද සම්මුඛ වන්නට සුනිල් ආරියරත්නයන්ට රතු රජරට වෙනුවෙන් අපි ආරාධනා කර සිටියෙමු.

රතු රජරට

පත්තිනි සංකල්පය අපේ ජන සමාජයට මහා බලපෑමක් කරන, සමීප ජන අදැැහිල්ලක් වුවත් , පත්තිනි මෑණියන් බවට රූපාවතරණය වූ කන්නගී සහ ඇයගේ කතාව අපට තරමක් ආගන්තුකයි.පත්තිනි මෑණියන් පිළිබඳව පවතින මහා සමාජයේ භක්තිමත් බාවය කන්නගී ගේ කතාව වශයෙන් සිනමාවට නැගීමට ඔබ නිර්භීත වන්නේ ඇයි....?

සුනිල් ආරියරත්න

අපේ ජනප‍්‍රවාදගත දේව මණ්ඩලයේ සිටින ප‍්‍රබලම කාන්තා දෙවගන වන්නේ පත්තිනි මෑණියන්.පත්තිනි මෑණියන්ගේ සංකල්පය කෙතරම් සමාජගත වෙලා තිබෙනවාද කියනවා නම් අං කෙළිය, පොල් කෙළිය, වැල් කෙළිය, අම්මාවරුන්ගේ දාන, කිරි දානයන් ආදී වශයෙන් පුද පූජා රාශියක් පත්තිනි මෑණියන්ගේ ඇදැැහිල්ලට සම්බන්ධ වෙනවා.ඒ විතරක් නෙමෙයි අපට දකුණු පළාතේ දකින්නට පුළුවන් වන ගම්මඩු ශාන්ති කර්මයන් වෙන් වන්නේත් පත්තිනි මෑණියන් වෙනුවෙන්. තව දුරටත් ගත්තොත් ජනප‍්‍රවාදය ඇතුළේ පත්තිනි දේවතාවියගේ විවිධ ස්වරූපයන් පෙන්වන්නට සත් පත්තිනි, දොළස් පත්තිනි ආදි වශයෙන් විවිධ වේශයනුත් දකින්නට ලැබෙනවා.එතකොට නෙළුමෙන් උපන් , ගින්නෙන් උපන්, ජලයෙන් උපන් , අඹෙන් උපන් ආදී වශයෙන් මේ එක් එක් පත්තිනි වේශයන්ට එක් එක් උත්පත්ති කතාත් නිර්මාණය වී තිබෙනවා.

නමුත් 1980 දශකයේ යම්කිසි කාලයක මම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ භාෂා සාහිත්‍යය පිළිබඳව හදාරමින් ඉන්න වකවානුවේ මට කියවන්නට ලැබෙනවා මේ සත් පත්තිනි, දොළස් පත්තිනි වශයෙන් විවිධ වේශයන්ට පෙරළී තිබෙන පත්තිනිය ගේ මුල් සම්භවය සමග බැදුණු කතාව. නොඑසේ නම් කන්නගී ගේ කතාව. මේ කතාව කියවූ මුල් කාලයේදීමත් මට අදහසක් එනවා මේ කතාව පසුබිම් කරගෙන චිත‍්‍රපටයක් කළ යුතුයි කියන අදහස.


රතු රජරට

දන්නා සංකල්පයක නොදන්නා පසුබිම් කතාවක් චිත‍්‍රපටයට නැගීමේදී මෙම කතා ප‍්‍රවෘත්තිය මෙරට සිනමා පේ‍්‍රක්ෂකාගාරය මොන ආකාරයෙන් පිළිගනීද කියන සංශය ඔබතුමාට තිබුණේ නැද්ද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම මෙරට ප‍්‍රවාදගත බොහෝ දෙනා දන්නා කතාව හාත්පසින්ම වෙනස් එකක්.අපි දන්නා ජනපි‍්‍රයම පත්තිනි සම්භවය පිළිබඳව කතාව තමයි අඹ පත්තිනි කතාව. නෙළන්නට නොහැකි උසකින් හැදෙන අඹ ගෙඩියක් සක් රජු පැමිණ දුන්නේන් විඳ කඩා දෙන කතාව. ගම්මඩු ශාන්ති කර්ම වලදී ‘අඹ විදමන’ වශයෙන් රග දැැක්වෙන්නෙත්
එම කතාවමයි. නමුත් මෙම චිත‍්‍රපටයට පාදක වුණු පත්තිනි කතාව සාමාන්‍ය මනුෂ්‍ය ස්ත‍්‍රීයයක් වන කන්නගී නැමැති කාන්තාව  දේවත්වයට පත්වන කතාවයි.ඇත්තටම එය මෙරට සිනමා පේ‍්‍රක්ෂකාගාරයට නැවුම් අත්දැැකීමක් වනවා නොඅනුමානයි. අර සිනමා කෘතියකට අත්‍යවශ්‍යය නැවුම් වස්තු බීජය කියන සාධකය මේ කන්නගී කතාවේ තිබෙනවා. ඒ වගේම දේවවාදය අතික‍්‍රමණය කරන මානුෂීය යථාර්තමය ලක්ෂණ ත් මේ කතාවේ දකින්නට පුළුවන්.මොකද සාමාන්‍ය කාන්තාවක් දේවත්වයට පත් වන්නේ කොහොමද , එහෙම වෙන්න පුළුවන්ද කියන කුතුහලය මේ කතාව තුළ තිබෙනවා. අන්න ඒ නිසාම මට දැැඩි විශ්වාසයක් තිබෙනවා අපේ සිනමා රසිකයන් බොහෝම කැමැත්තෙන් මේ අත්දැැකීම වැළදගනීවිය කියලා.

රතු රජරට

කන්නගී ගේ කතා ප‍්‍රවෘත්තිය සිදුවන්නේ දකුණු ඉන්දියානු පරිසරයක.ඉන්දියාව සහ අප අතරෙහි කිසියම් සංස්කෘතික ගැළපීමක් තිබුණා වුවත් මේ පරිසරය , පසුබිම අපට නුහුරුයි, ආගන්තුකයි.මේ පරස්පරතාවයන් නොගැළපීම් මටසිලූටු කරගැනීම සිනමා අධ්‍යක්ෂකවරයාගේ වගකීමයි.ඒ අභියොගය ඔබතුමා ජයගත්තේ කොහොමද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම මේ කන්නගී ගේ කතාව පැරණි දකුණු ඉන්දියාවේ සොළී, පාඩි, කේරල කියන ප‍්‍රාන්ත තුනෙහිම ව්‍යාප්ත වූ කතාවක්.නමුත් සිනමාකරුවෙක් වශයෙන් මගේ විශ්වාසය නම් සිනමා නිර්මාණයක අනෙක් සියලූ සාධක අභිබවාගෙන මතු වන්නේ එහි කතා වස්තුවේ ප‍්‍රබලත්වයයි.හොඳම උදාහරණය නම් මගේ ම පූර්ව නිර්මාණය වූ ‘කුසපබා’ චිත‍්‍රපටයයි. එහි පසුබිමත් පැරණි ඉන්දියාවේ බරණැස් නුවරයි.නමුත් සිනමා රසිකයින්ට එහි පසුබිම බාධාවක් වුණේ නැහැ චිත‍්‍රපටය රස විදින්න.මොකද කුසපබා චිත‍්‍රපටය එදා මෙදා තුර චිත‍්‍රපට ඉතිහාසයේ ආදායම් වාර්තා අතර තුන්වෙනි තැනට පත්වුණා.එයින්ම ඔප්පු වෙනවා චිත‍්‍රපටය රසවිදීමට එහි පසුබිම හෝ සංස්කෘතික කාරණා බාධාවක් නොවන බව.



රතු රජරට

මේ චිත‍්‍රපටයේ තිරපිටපත ලියන්නේත් ඔබතුමා විසින්මයි...?

සුනිල් ආරියරත්න

මගේ මෑතකාලීන චිත‍්‍රපට දෙකකම, උත්පලවණ්නා සහ කුසපබා චිත‍්‍රපටයේත් තිරනාටක රචනා කරනු ලැබුවේ ආචාර්ය තිස්ස අබේසකර විසින්.එතුමා ජීවතුන් අතර සිටියා නම් අනිවාර්යෙන්ම මෙහි තිරනාටකය රචනා කිරීමට මම බාරදෙන්නේ එතුමාටමයි.

රතු රජරට

චිත‍්‍රපටයේ කතාවට සම්බන්ධයක් නැතිවා වුවත්, මේ ප‍්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නම අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙන් පස්සේ එතුමා ගේ තැන ගැනීමට අපේ ඊළග පරම්පරාව තවමත් සූදානමක් නැතිද ?

සුනිල් ආරියරත්න

ඇත්තටම අපේ සිනමාව තුළ අති දක්ෂ රංගනවේදීන්, අධ්‍යක්ෂකවරුන්, වේශ නිරූපණ ශිල්පීන්, කැමරා ශිල්පීන් , සංස්කරණ ශිල්පීන් බිහිවීමට සාපේක්ෂව තිරනාටක රචකයින්, දෙබස් රචකයින් සහ කතා රචකයින් ගේ හිගයක් තිබෙනවා. විශේෂයෙන්ම හොඳ කතා රචකයින්  නැතිවීම සිනමාවට විශාල පාඩුවක්. ආචාර්ය තිස්ස අබේසකරයන් විශිස්ට තිරනාටක රචකයෙකු වගේම, ඊට නොදෙවෙනි වන තරමේ කතා රචකයෙක්.ඔහුගේ වැලිකතර වගේ නිර්මාණ ඊට සාක්ෂි සපයනවා.තිරනාටක රචනය, කතා රචනය සහ දෙ බස් රචනය කියන්නේ වෙනම හැදැෑරීමක් අවශ්‍යය විශයයන්.යම්කිසි යහපත් තත්වයයන් පෙන්වන තරුණ තිරනාටක රචකයින් නැතිවාම නොවෙයි.නමුත් අතේ ඇගිලි පහටත් වඩා අඩුවෙන්.

රතු රජරට

පත්තිනි චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය නැරඹීමේදී එහි විචිත‍්‍රවත් පසුතල නිර්මාණයන් ඇතැම් විටෙක අපට සිහිකර දුන්නේ සංජය ලීලා බන්සායිගේ ඇතැම් සිනමා නිර්මාණ.පත්තිනි වැනි පැරණි ඉන්දියාව පසුබිම් කරගත් සිනමා නිර්මාණයක ජීව ගුණය ජවසම්පන්න කිරීමට මෙහි කලා අධ්‍යක්ෂණය විශාල මෙහෙවරක් ඉටුකර තිබෙන බව පෙනෙනවා.

සුනිල් ආරියරත්න

ඇත්තටම බිමල් දුෂ්මන්ත මට හඳුන්වලා දෙන්නේ අපේ කැමරා ශිල්පියා වන චන්න දේශපි‍්‍රය විසින්.දුෂ්මන්ත කලින් වැඩ කරලා තිබුණේ වෙළඳ දැැන්වීම් නිර්මාණ ක්ෂේත‍්‍රයේ.ඔබ කියූ කාරණාවට මම සම්පූර්ණයෙන්ම එකගයි.කලා අධ්‍යක්ෂකවරයා වශයෙන් මේ තරුණයා පත්තිනි චිත‍්‍රපටයට විශාල ආලෝකයක් ලබාදුන්නා. මගේ චිත‍්‍රපට අතුරින් කලා අධ්‍යක්ෂණය පැත්තේන් මම වඩාත් තෘප්තියට පත්වුණෙත් පත්තිනි චිත‍්‍රපටයෙන්මයි.
මේ තරුණ කලා අධ්‍යක්ෂකවරයාගේ විශිෂ්ටත්ව ය විදහා පෙන්වන අත්දැැකීමකට අප මුහුණ දුන්නා.පත්තිනි චිත‍්‍රපටයේ පසුතල නිර්මාණයන් සියල්ල කළේ රන්මිණිතැන්නේ. එහි පාලක අධිකාරිය අපෙන් ඉල්ලීමක් කළා මේ පසුතල ගලවන්න එපා, ඒවා නරඹන්නට සති අන්තවල බොහෝ පිරිසක් පැමිණෙනවා එ නිසා එම පසුතල එලෙසම තිබෙන්නට ඉඩ හරින්නට කියලා.පසුව රන්මිණිතැන්න නරඹන්නට පැමිණි ඉන්දියානු චිත‍්‍රපට කණ්ඩායමක් අපේ පසුතල නිර්මාණයන් දැැක බිමල් දුෂ්මන්තව සම්බන්ධ කරගත්තා ඔවුන්ගේ චිත‍්‍රපටයක පසුතල නිර්මාණය කරන්නට.

රතු රජරට

පත්තිනි චිත‍්‍රපටයේ ඇතැම් මාධ්‍යයට නිකුත් කරන ලද දර්ශන නැරඹීමේදී දක්නට ලැබුණු තවත් සුවිශේෂීතාවයක් තමයි කැමරා දර්ශනයන් ඉන්දියානු කොලිවුඞ් සහ බොලිවුඞ් චිත‍්‍රපට තරමට , එම තත්වයේ තිබෙන බව පෙනීගියා.

සුනිල් ආරියරත්න

මෙහි කැමරාකරණය මෙහෙයවූයේ චන්න දේශපි‍්‍රය විසින්.මගේ කුසපබා චිත‍්‍රපටයේදී ඔහුගේ කැමරාකරණය පිළිබඳව ඇතිවූ පැහැදීම නිසාම තමයි පත්තිනි චිත‍්‍රපටයටත් චන්නවම යොදාගත්තේ.විශේෂයෙන්ම සඳහන් කරන්න  ඕනේ චන්නගේ magic lantern  ආයතනය ඔවුන් විසින් අළුතින්ම ආනයනය කෙරූ නවීන පන්නයේ ඩිජිටල් කැමරාවක් මෙහි රූපගත කිරීම සඳහා යොදාගත්තා.අර ඔබ සඳහන් කරන ලද ගුණාත්මක තත්වයට හේතුව එයයි.

රතු රජරට

අපට මෑත කාලීනව ඔබේ මතක තිබෙන ආසන්නතම චිත‍්‍රපටය වන්නේ කුසපබා චිත‍්‍රපටය යි. ඇත්තටම කුසපබා හි නළු නිළියන් තේරීමට වඩා ඉදිරිගාමී ලෙසින් පත්තිනි සඳහා ඔබ නළුනිළියන් තෝරා ඇති බැව් පැහැදිලියි.විශේෂයෙන්ම පූජා උමාෂංකර්ව ඔබ නැවත වරක් යොදා ගන්නවා.

සුනිල් ආරියරත්න


මගේ අදහස සහ සාමාන්‍යය ප‍්‍රතිපත්තිය නම් දක්ෂයින්ව මගහැර නොගැනීමයි.දක්ෂයින්ගෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුමයි.පූජා උමාෂංකර් සිනමා නිර්මාණයක් සඳහා අතිවිශාල කැප කිරීමක් කළහැකි නිළියක්.ඇත්තටම හැමදාම එකම කණ්ඩායමක් සමග වැඩ කරනවයි කියන අදහසේ මම නැහැ.නමුත් දක්ෂයින්ගෙන් වැඩක් ගතයුතුයි කියන අදහස මගේ හිතේ නිතරම බලපවත්වනවා.

2 comments:

  1. හොඳ සංවාදයක්. මහාචාර්යතුමාගේ අදහස් දැනගැනීම වැදගත් වුණා මට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක ඔබට

      Delete