Google+ Followers

2013/04/29

තාත්තාගේ තුවක්කුව වෙනුවට චෙලෝවට පෙම් බැඳීම


හෘදයාංගම භක්තියකින් "චෙලෝව" වැලැඳ සිටින ඔහු දකිත්ම ඔහුගේ වග වාසගම් මනාව දන්නා ඕනෑම අයෙක් අසන ප්‍රශ්නය වන්නේ "ඇයි තාත්තා වගේ නළුවෙක් නොවුණේ?" යන්නයි. මිනිසාගේ අතීත මානව පූර්වජයන්ගේ පටන් පැවැත එන "තාත්තා කළ දේ පුතා කිරීමේ සම්ප්‍රදාය" කුඩුපට්ටම් කොට දැමූ ඔහු කයිල් ඊස්ට්වුඩ් (Kyle Eastwood) නම් වෙයි.වඩාත් පැහැදිලිව කීවොත් සර්ජියෝ ලියෝන්ගේ ''dollars'' චිත්‍රපට මාලාව හරහා හොලිවුඩයේ අසහාය ගොපලු වීරයා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ පුත්‍රරත්නය ඔහුයි


. නමුත් තාත්තාගේ යෝධ ප්‍රතිරූපයේ පිහිටෙන් පහසුවෙන්ම යා හැකි වූ "සිනමා සරණ" පසෙකට කළ මේ පුත්‍රයා තමා කුඩා කල පටන් ලාලසාහී වූ ජෑස් සංගීතය ජීවිතය කොට ගත්තා. අද ඔහු සුප්‍රකට ජෑස් සංගීතඥයෙක්. නොබෝදා කයිල් ඊස්ට්වුඩ්ගේ "The view from here" නම් නවතම සංගීත ඇල්බමය නිකුත් වූවා.

එහිදීත් බොහෝ මාධ්‍යවේදීන් තම සන්තෘප්ත නොවූ කුතුහලකාරී ආශාවෙන් කයිල්ගෙන් විමසුවේ පහසුවෙන්ම සිනමා තාරකාවක් වීමේ වාසනාවට පස්ස හැරවූයේ ඇයි යන සුපුරුදු සරල පැනයයි. තම නව සංගීත ඇල්බමය ගැන කරුණු කියන්නට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කයිල්ට සිදුවූයේ තමන් ජෑස් සංගීතය තෝරාගත්තේ ඇයි දැයි පැහැදිලි කිරීමටය.




කයිල් ජෑස් සංගීතයට ඇලුම් කරන්නට පටන්ගත්තේ ඔහු 8 වැනි වියේදී නරඹන්නට ගිය ජෑස් සංගීත සන්දර්ශනයක් නිසාය. අට වැනි වියේදී ඔහු ලද එම දීප්තිමත් අත්දැකීම කයිල්ගේ ජීවිතය වෙනස් මඟකට හැරවූවා. අනෙක් අතට ස්වභාවයෙන්ම වඩාත් නිවැරැදිව පවසතොත් ප්‍රවේණියෙන්ම සංගීතයට ළබැඳි ස්වභාවයක් කයිල් ඊස්ට්වුඩ් හට හිමිව තිබුණා. ඔහුගේ මිත්තණිය "ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ" හඬ පුහුණු කිරීමේ ගුරුවරියක්. කයිල්ගේ මව මැගී දක්‍ෂ පියානෝ වාදන ශිල්පිනියක්. ඔහුගේ සුප්‍රකට පියා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් පවා ජෑස් සංගීතයට ආදරය කළ පියානෝ වාදනයේ සුරුබුහුටිකම් ඇත්තෙක්.

"මගේ මුළු පවුලම සංගීත ලෝලියෝ. විශේෂයෙන්ම තාත්තයි, අම්මයි දෙන්නම ජෑස් සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ කාලේ ඒ දෙන්නා මාවත් වඩාගෙන ජෑස් අහන්න යනවා. එතකොට අපි හිටියේ කැලිෆෝනියාවල. ඉතින් අපිට හරිම ළඟයි මොන්ටියෙරි ජෑස් සන්දර්ශනයට. මම බොහොම වාසනාවන්ත වුණා ජෑස් සංගීතයේ රජවරු වෙච්ච ස්ටෑන් ගෙට්ස්, ඇලන් ෆිට්ගෙරල්ඩ්, සාරා වෝහන්, ෆිල් එවන්ස් සහ බඩී රිච් වගේ අය සජීවීව වාදනය කරනවා දකින්න"

ඊස්ට්වුඩ් පවුලට පියානෝව කෙතරම් සමීපව තිබුණා වුවත් ජෑස් සංගීතයට ආසක්ත වන කයිල් ළංවන්නේ ද්විත්ව තත් චෙලෝවටයි. එය සුවිශේෂී කාරණාවක්. ඔහුගේ නවතම සංගීත ඇල්බමයෙහිත් එම "ද්විත්ව තත් චෙලොව" ඉතාමත් කෘතහස්ත ආකාරයෙන් යොදාගෙන ඇති ආකාරය from rio to havana  නම් නිර්මාණයෙන් පෙනෙනවා. එය සීමාසහිත කම් යටතේ අන්තර්ජාලයෙන් රසවිඳින්නට හැකියි.

ඊස්ට්වුඩ්ගේ නවතම ඇල්බමයේ ටයිටලය "The view from here" යන්න ඔහුගේ පළමු ඇල්බමය වූ "There to here" යන්න සමඟ කුමක්දෝ නෑදෑකමක් පෙන්වනවා. එකිනෙකාට වෙනස් සංස්කෘතීන් ගණනාවක් අතර සංචාරය කරමින් කයිල් ඊස්ට්වුඩ් නිර්මාණය කොට ඇති බැව් පෙනෙන මෙම නව සංගීත ඇල්බමය තම ප්‍රථම ඇල්බමයේ පරිපූර්ණ අවසානය යැයි කයිල් කියා සිටියා.

"The view from here" හි උතුරු සහ බටහිර අප්‍රිකානු සංගීත ආරයන් ගණනාවක් මුසුව තිබෙනවා. 2009 වර්ෂය පුරාම මම දකුණු අප්‍රිකාවේ සිටිමින් අප්‍රිකානු මහද්වීපයේ සාම්ප්‍රදායික සංගීත සම්ප්‍රදායන් ගැන පර්යේෂණ කළා. එම හැදෑරීම නිසා මට පුළුවන් වුණා Art Blakey සහDuke Ellington(සම්මාන ලාභී ජෑස් සංගීතඥයන් දෙදෙනෙකි) වැනි අප්‍රිකානු මුල් තියෙන සංගීතඥයන් දෙදෙනාගේ මියුසික් වෙනදාට නොඅසන තත්ත්වයකින් අහන්න" විසිවැනි ශතවර්ෂයේ දකුණු එක්සත් ජනපද කළු ජාතික ප්‍රජාවන් තමන් ඇසුරු කළ යුරෝපීය සමාජයන්ගේ සංගීත සම්ප්‍රදායන් සහ ස්වකීය අප්‍රිකානු සංගීත ආරයන් ඇසුරින් බිහිකරගත් ජෑස් සංගීත සම්ප්‍රදාය පිළිබඳව කයිල් ඊස්ට්වුඩ්ගේ මෙම පර්යේෂණාත්මක එළැඹුම අමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ "ජෑස්" සම්ප්‍රදායේ නව දිශානතියක් සනිටුහන් කරනු ඇතැයි විචාරකයන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් රජුගේ පුතා රජකමටත්, නළුවාගේ පුතා නළුකමටත්, ගොවියාගේ පුතා ගොවිකමටත් යන ලෝකයේ තහවුරු වූ මහා සම්ප්‍රදාය වෙනස් කළ කයිල් ඊස්ට්වුඩ් අද ඔහුගේ ප්‍රියතම ජෑස් පුරෝගාමීන් වූ ආර්ට් බ්ලෙකී සහ ඩියුක් එලිංග්ටන් අනුව යමින් යුරෝපයේ පිළිගත් ජෑස් සංගීතඥයෙක්. එපමණක් නොවෙයි ඔහු තම පියා අධ්‍යක්‍ෂණය කළ, නිෂ්පාදනය කළ සහ රඟපෑ චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්‍ෂණය කළා. ඒ අතුරින්The Rookie (1990), Mystic River (2002), Million Dollar baby (2004), Flags of our Fathers (2006) සහ Gran Torino (2008) අමතක කළ නොහැකි චිත්‍රපට. ඒ වගේම 2006 වසරේදී චිකාගෝ සිනමා විචාරක සංසදයේ සම්මාන උළෙලේදී Letters from lwo jima චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් කයිල් නාමයෝජනා වූවා.

නමුත් කයිල් බැබළුණේ තාත්තගේ රැස්වළල්ලේ පිහිටෙන් නොවේ. කුඩා කල සිට තමන් ළබැඳි වූ විෂයෙහි සතත අභ්‍යාසයේ දිගින් දිගටම පිහිටමින්. මාධ්‍යවේදීන් තමන්ගෙන් නිතර නඟන සුලබ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කයිල් වරෙක මෙලෙස පැවැසුවා.

"තාත්තා මට බොහොම කිට්ටුයි. නමුත් ඒ ඔබ දන්නා ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් තාරකාව නොවෙයි. ඔහු මගේ තාත්තායි. මගේ ජෑස් උමතුවට ඔහු උදවු කළා. ඒ ක්ලින්ට් ඊස්ට්වුඩ් ලෙසින් නොවෙයි, මගේ තාත්තා වශයෙන්"

පසු සටහන්. 
මෙම ලිපිය මා මව්බිම පුවත්පතෙහි කලා අතිරේකයට ලියන 'වින්දන' කොලම වෙනුවෙන් රචනා කරන ලද්දක්. බක්මාසයේදී බ්ලොගිය පාළුවී යාමට ඉඩනොදීම පිණිස එය මෙහි පළකරන ලද බැව් කරුණාවෙන් සලකන්න.

2013/04/06

සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා

සංගීතය සිය ජීවන භාවනාව බවට පත්කර ගත් පුද්ගලයන් දුර්ලභය. මෙවැනි විපරීත කාලයක එම දුර්ලභත්වය තවත් තීව්‍ර වෙයි. ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන් අපේ කාලයේ දැකිය හැකි එවැන්නෙකි. මෙරට එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම බටනලා වාදකයෙක් යැයි සැලකිය හැකි මිහිරිපැන්නයන් භාරතයේ ශාන්ති නිකේතනයේ සංගීත පුත්‍රයෙකි. හින්දුස්තානි රාගධාරී සංගීතයේ සුධීතමයෙකි.

කලක් පාසල් සංගීත ආචාර්යවරයෙක් වශයෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයතු කළ අනිල් මිහිරිපැන්නයන් "ශාරදා" නමින් කලා නිකේතනයක් පිහිටුවාගෙන තම සංගීත ඥානය අලුත් ශිෂ්‍ය පරම්පරාව වෙත ලබාදීමේ වෑයමක නියැළෙමින් සිටියි. එම වෑයමෙහිම තවත් දිගුවක් ලෙසින් අනිල් මිහිරිපැන්නයන් “Now Instrumental Competition for North Indian Music” නමින් ශාස්ත්‍රීය සංගීත ග්‍රන්ථයක් රචනා කොට නොබෝදා ප්‍රකාශයට පත් කළේය.
-චින්තක-
සංගීතය පිළිබඳව ඔබේ ළබැඳියාවෙන් කතාව පටන් ගත්තොත්, ඔබ සංගීතය කෙරෙහි ආසක්ත කරවූ පුද්ගල හා සමාජ සාධකයන් කවර ආකාර වුණාද?
-අනිල් මිහිරිපැන්න-
මම කියන්නේ ඒ සඳහා මට වගේම මගේ අයියටත් (ප්‍රවීණ නර්තන ශිල්පී බැසිල් මිහිරිපැන්න) බලපෑවේ මගේ අම්මා. මගේ බාල සහෝදරියන් නළවන්නට අම්මා දරු නැළවිලි කියනවා මම අහලා තියෙනවා. අම්මා තරම් ලස්සනට දරු නැළවිලි කියන කෙනෙක් මම දැකලා නෑ. ඉතින් අම්මගෙ දරු නැළවිලිවලින් මගේ කන පිරිල තිබුණේ. ඒ ස්වර, ඒ නාද, තාල තමයි මාව මෙතැනට ඇදලා ගත්තේ.


-චින්තක-
එතකොට කොහොමද බටනළාවට පෙම් බඳින්නට පටන්ගත්තේ?
-අනිල් මිහිරිපැන්න-
ඇත්තටම මම හිතන්නේ මට බටනළාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්න ඇති. මම පාසල් යන කාලයේ ඉඳන් පොත් මිටියත් එක්ක බටනළාවක් අරගෙන යනවා. විවේකී කාලපරිච්ඡේදයක් ලැබුණු හැටියෙ කරන්නෙ බටනළාව ගහන එක. ඇත්තටම ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ විධිමත් විදිහට බටනළාව වාදනය කරන්නේ කොහොමද කියලා.

-චින්තක-
ඉතින් කොහොමද මේ විධිමත් දැනුම ලබාගන්න ඔබට හැකිවෙන්නේ?
-අනිල් මිහිරිපැන්න-
ඒ කාලෙ අපට සංගීත ආචාර්යවරයා විදිහට හිටියේ වින්සන්ට් සෝමපාල මැතිතුමා. එතුමා හොඳ ගුරුවරයෙක් තමයි. නමුත් ඔහු මම හොයමින් සිටිය ගුරුවරයා නෙමෙයි. මගේ සංගීතමය සා පිපාසාව සමහන් කරන්නට එතුමාට බැරි වුණා.

-චින්තක-
ඔබ සොයමින් සිටිය ගුරුවරයා ඔබට මුණගැසුණාද?
-අනිල් මිහිරිපැන්න-
ඔව්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි එඩ්වින් සමරදිවාකර තමයි ඒ ගුරුවරයා. ඇත්තටම එතුමා ගුරු දෙවියෙක්. සංගීතය පිළිබඳව ප්‍රාමාණික වියතෙක්. මමයි, ලයනල් අල්ගමයි ඔහුගෙන් ඒ දිනවල දිනපතාම සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ සංගීත පන්තියට මුලින්ම යනකෙනා සහ අන්තිමට පිටව යන කෙනා වුණේ මම. එඩ්වින් සමරදිවාකර ගුරුතුමා මාර්ගයෙන් තමයි මට ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.

-චින්තක-
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ඔබේ සංගීත සා පිපාසාව සහමුලින්ම සන්තර්පණය කරන්නට ඇති?
-අනිල් මිහිරිපැන්න-
ඔව්. ඒක පරිපූර්ණ අත්දැකීමක්. ඒ වගේම අපූර්වයි. ශාන්ති නිකේතනයේදී මට වාදන භාණ්ඩ දෙකක් ඉගෙන ගන්නට ලැබුණා. ඒ හුරුපුරුදු බටනළාව සහ එස්රාජය. එස්රාජය ඉගැන්වූයේ එවකට භාරතයේ සිටි අද්විතීයෙක්. අශිෂ් චන්ද්‍ර බෙනර්ජි. මම පන්තියට ගියේ එස්රාජය සහ කොපි පොතකුයි කිහිලි ගන්නගෙන. නමුත් මට ගිය පයින් ආපහු හොස්ටල් එකට එන්න වුණා. ඒ කොපි පොත ආපහු තියලා එන්න. එහෙ පොත් බැහැ. හැමදේම හිතට. ඉතින් ඒ ඉගැන්වීම් කොයිතරම් අද්විතීය දැයි කිව්වොත් අදටත් මට ඒ හැමදේම මතකයි.

-චින්තක-
හොඳයි, ඔබගේ සංගීත දැනුම ඔස්සේ විමසා බලන විට වර්තමානයේ සංගීත ප්‍රවණතාවය ගැන ඔබගේ අදහස් කොහොමද?
-අනිල් මිහිරිපැන්න-
ලංකාවේ හැමදාමත් තිබුණේ සංගීත රැල්ලක්නේ. රැල්ල කියන්නේ මොකක්ද? එනවා නැතිවෙනවා. නමුත් උදාහරණෙකට අමරදේවයන් ගත්තොත් ඔහු ගායනා කරපු එක ගීතයක්වත් අහකට දාන්න බෑ. මොකද ඒවට හින්දුස්තානි සම්ප්‍රදායේ අඩිතාලම තිබුණා.

-චින්තක-
නමුත් එහෙමම කියන්න බෑ නේද. උදාහරණෙකට ජෝතිව ගත්තොත් දශක තුනකට එපිටින් ඔහු ගායනා කරපු ගීත අද අලුත් පරම්පරාවත් රසවිඳිනවා.
-අනිල් මිහිරිපැන්න-
ඒක වෙනස් තත්ත්වයක්. ජෝති ගැන ගත්තොත් ඔහුට විස්මයාකාර නිසර්ග හැකියාවක් තිබුණා ගයන්න. ඒ වගේම මිල්ටන් පෙරේරට වගේම මිල්ටන් මල්ලවආරච්චිටත් ඒ හැකියාව තිබුණා. කිහිපදෙනෙක්ගෙ විෂයෙහි එහෙම වුණත් පොදු තත්ත්වය මම අර කීවේ.

-චින්තක-
ඔබ විසින් මෑතකදී රචනා කරන ලද කෘතිය සුවිශේෂී කාර්යයක් බැව් පෙනෙනවා. මං හිතන්නේ එය දැනුම බෙදාදීමේ තවත් වෑයමක්.
-අනිල් මිහිරිපැන්න-
නාද තියෙනවා වර්ග දෙකක්. ආහත සහ අනාහත විදියට. අනාහත කියන්නේ කනට නෑසෙන කියන එකනෙ. ඉතින් මම මේ පොත ලීවේ කනට නෑසෙන හිතට විතරක් ඇහෙන අනාහත නාද පිහිට කරගෙන. සංගීතය හදාරන සිසුන්ට ප්‍රථමා සිට විශාරද අවසානය දක්වා සියලුම භාණ්ඩවල ඇවැසි වාදිත මෙම පොතේ නිර්මාණය කර තිබෙනවා.

-චින්තක-
අවසාන වශයෙන් මට දැනගන්න පුළුවන්ද මෙන්න මේ කාරණාව. ඔබ සංගීතය පිළිබඳව ප්‍රාමාණික දැනුමැත්තෙක්. විශිෂ්ට සංගීත ආචාර්යවරයෙක්. නමුත් ඔබ වැඩිපුර කරළියට පැමිණ ප්‍රසිද්ධියට පත්වූ අයෙක් නෙවෙයි. ඊට ඔබේ කැමැත්තක් තිබුණෙ නැතිද?
-අනිල් මිහිරිපැන්න-
මෙහෙමයි. සංගීතය පිහිට කරගෙන බැබළෙන්නට වුවමනාවක් මට කවදාවත් තිබුණෙ නෑ. සංගීතය මට භාවනාවක් වගේ. මට හිතෙන්නෙ සංගීතය මාව මුනිවරයෙක් කෙරුවා. භෞතික වටිනාකම්වලින් ලැබිය නොහැකි සන්තුෂ්ටියක් මම විඳිනව.