2012/12/02

ලන්ඩන් හෑගොඩයා කොළඹදී කොටුකර ගැනීම

ලන්ඩන් හෑගොඩයා
 කොළඹදී කොටුකර ගැනීම
"මියුසියස් බාලිකා විදුහලේ ළදරු පන්තියට ගිය මා එහි ගියේ පියාගේ පාපැදියෙනි. අනතුරුව ඉසිපතන විදුහලට යන කාලයේ ශත පහක ටිකට් පතක් ගෙන මරදාන සිට තිඹිරිගස්යායට ගොස් හැව්ලොක් ටවුම දක්වා ඇවිදීමි. නැවත ගෙදර එන විට ශත තුනේ ටිකට්ටුවක් ගෙන ඇස්වාට්ටුවෙන් බැස ඉතිරි ශත දෙකෙන් ලොසින්ජර කෑම මගේ සිරිත විය. ජීවිතය ඉතා සහනදායක දෙයක් විය.”

ඔහු එසේ ලියයි. ප්‍රකට කොළඹ කවියෙක් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වූ විල්සන් හෑගොඩ හා කිවිඳියක වූ නන්දා හෑගොඩගේ බාල පුතා වන ඔහු අනුර හෑගොඩයි. මෙරට නිදහස් කවියේ දෙවැනි පරපුරේ සංකේතයක් බඳුවූ, එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන ලාල් හෑගොඩ ඔහුගේ ජේ‍යෂ්ඨ සොහොයුරාය. එහෙත් අනුර හෑගොඩ ලාංකේය සෘහද සමාජය ආමන්ත්‍රණය කරන්නේ කවියෙක් හෝ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් නොව පුවත්පත් තීරු රචකයෙක් වශයෙනි.

දීර්ඝ කාලයක් ලන්ඩනයේ වාසය කරන ඔහු විසින් ලන්ඩන් ගොඩයා නමින්ද අනතුරුව ලන්ඩන් හෑගොඩයා නමින්ද ලියූ තීරුලිපි මෙරට තීරුලිපි රචනා කලාව නව ඉසව්වක් වෙත ඔසවා තැබීය. නොබෝදා ඔහුගේ තෝරාගත් තීරුලිපි ගණනාවක් ‘ලන්ඩන් හෑගොඩයාගේ කොලම’ නමින් පොතක් වශයෙන් පළවූ අතර ආපසු ලන්ඩනයට පියඹා යෑමට ලැහැස්ති වෙමින් හුන් ලන්ඩන් හෑගොඩයා සමඟ සල්ලාපයක යෙදීමේ අවස්ථාවක් මට උදාවිය.

චින්තක
ඔබේ අයියා තරමටම නොවුවත් ඔබත් කවි ලියනවා. එමෙන්ම තීරු ලිපි රචනා කරනවා. නීතිඥයෙක් වශයෙන්ද කටයුතු කරනවා. ඔබ වඩාත් කැමැති වන්නේ ඔබ කවුරුන් වශයෙන් හඳුන්වා දෙනවාටද?

අනුර හෑගොඩ
ඔය කාරණා තුනටම එපිටින් සිට බැලුවොත් මම මාව හඳුන්වා දෙන්නට කැමැති ලංකාවට එපිටින් සිට ලංකාව දෙස ආදරයෙන් බලා සිටින ලංකාවේ දරුවෙක් විදිහට.


චින්තක
ඔබ ජීවිතය හරි හරියට ලන්ඩනය සහ කොළඹ අතර බෙදා ගන්නවා. වෙනස් සංස්කෘතීන් දෙකක් අතර සිදුකෙරෙන මේ අන්තර් හුවමාරුව ඔබට දැනෙන්නේ කොහොමද?

අනුර හෑගොඩ
ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ සමහරු එංගලන්තයට ගියාම මාස තුනෙන් සුද්දෙක් වෙන්න හදනවා. සිංහල ‘මතක බැරිවෙනවා’ සුද්දන්ගෙ කෑම කන්න හදනවා. නමුත් අප වටහාගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි සුද්දා සහ අපි අතර නොබිඳිය හැකි කඩතුරාවක් තිබෙනවාය කියන කාරණාව. අපි කොහේ උන්නත් අපේ මුල් තිබෙන්නේ මෙතැන. අපේ සංස්කෘතික ධාරණාව නොකැඩිය හැකි සියුම් තන්තුවක් වගේ අපත් එක්ක එනවා. නමුත් අපේ සංස්කෘතිය විසින්ම අපට උරුම කරල දීලා තිබෙන ලක්‍ෂණයක් තමයි ඕනෑම සංස්කෘතික සමාජයකට අවශ්‍ය පරිදි නම්‍යශීලී වීමේ හැකියාව. ඒක මටත් තිබෙනවා.

චින්තක
තීරු ලිපි රචකයෙක් වීමට ඔබේ ප්‍රවිෂ්ටය සිදු වන්නෙ කොහොමද? එය නිරුත්සාහිකව ඔබ වෙත ලැබුණු ආරාධනාවක්ද නැත්නම් තීරු ලිපි රචකයෙක් විය යුතුය කියන අධිෂ්ඨානයෙන් පැමිණි ගමනක්ද?

අනුර හෑගොඩ
මෙහෙමයි. ලිවීමේ වුවමනාව සහ හැකියාව කවදත් මා තුළ තිබුණා. නමුත් විශේෂයෙන් තීරුලිපි රචකයෙක් වෙන්න ඕනෑය කියන හැඟීම කොයිකාලෙදිවත් තිබුණෙ නෑ. නමුත් ලන්ඩනයේ ජීවත් වූ මට එහි පළ කෙරෙන ‘ලංකා විත්ති’ පුවත්පතින් ආරාධනාවක් ලැබුණා ඊට ලියන්නට. එහි පළවුණු මගේ තීරුලිපියක් දැක්ක බන්දුල පද්මකුමාර මහතා ඉරිදා ‘ලක්බිමට’ ලියන්නට ආරාධනා කළා. ඉන් පසුව ගාමිණී සුමනසේකර මහත්මයාගෙ ඇරයුමෙන් ‘දිවයිනට’ ලිව්වා.

චින්තක
ශ්‍රී  ලංකාවේ ඔබට ආසක්ත කරවූ, ඔබට පරමාදර්ශයක් වූ නොඑසේ නම් ඔබව අමන්දානන්දයට පත්කළ තීරුලිපි රචකයන් කවුරුන්ද?

අනුර හෑගොඩ
හ්ම්.... (කල්පනා කරමින්) මට පරමාදර්ශයක් වූ...? මට ඒක එහෙමමදැයි නිශ්චිතව කියන්නට බැහැ. නමුත් රත්න දේශප්‍රිය සේනානායක මහතා ලියූ ‘වනාහී’ නම් තීරු ලිපිය මම ඉතාමත් ආශාවෙන් කියවූ එකක්. සමහර විට ඔබේ පරම්පරාව ‘රත්න දේශප්‍රිය සේනානායක’ ගැන අහලවත් නැතුව ඇති ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙ මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්.

චින්තක
ඔබේ තීරු ලිපිවලින් බොහෝ විට දක්නට ලැබෙන්නේ ලංකාව පිළිබඳ විවේචනාත්මක අදහස්. නමුත් එහි යටිපෙළෙන් මතුවෙනවා ලංකාව සමඟ ඔබට තිබෙන තදන්තර ආත්මීය බැඳීමත්.

අනුර හෑගොඩ
කෙටියෙන් කීවොත් මම ලංකාවට බොහොමත් ආදරෙයි. නමුත් ඓන්ද්‍රීය ලංකාව හෙවත් ගංගා ඇළ-‍ෙදාළ, කඳුවැටි, ගහකොළින් පිරී ගිය ලංකාව ගැන නෙවෙයි, එම ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ හා පොදු සමාජ ක්‍රියාකාරකම් ගැන නම් මට විවේචනයක් තිබෙනවා තමයි.

චින්තක
ඔබේ තීරු ලිපි කියවන බොහෝ පිරිසක් ලංකාව පුරාම වගේම ලෝකය පුරාමත් විසිරී සිටිනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.

අනුර හෑගොඩ
(සිනාසෙමින්) ඒ ගැන නම් කියන්නට තිබෙන්නේ ඉතා උණුසුම්... කියලා තමයි. මගේ සෑම තීරු ලිපියක්ම පළවුණාට පස්සෙ මම මගේ ඊ-මේල් ගිණුම පරීක්‍ෂා කර බලන්නේ තරමක සැලෙන හදවතින්. මොකද මල් වගේම ගල්වලිනුත් අඩුවක් නැහැ මට.


චින්තක ටිකිරිබණ්ඩාර

7 comments:

  1. මොකද බන් උඹට උනේ....

    ReplyDelete
  2. කොටු කර ගැනීමේ මෙහෙයුම සාර්ථකයි.

    ReplyDelete
  3. මමත් මෙතුමගෙ තීරු ලිපි අතරින් පතර කියවලා තියනවා. අර බොහෝ දෙනෙකුට හැදෙන ලෙඩේ ඔහුට වැලඳිලා නැති එක ගැන අපි සතුටු වෙන්න ඕනා..

    ReplyDelete
  4. ඔව් ඔව් මම ඕක කියෙව්වේ මල් මාමා කියවනව අහගෙන ඉදලයි. ජය...

    ReplyDelete
  5. රතූ ඒ පාර මවුබිම බ්ලොග් එකට ගෙනාවද... හි හි...

    කමක් නෑ.. පත්තර බලන්නේ නැති මට මේකත් ලොකු දෙයක්....

    ReplyDelete
  6. මමත් කැමතිම අයෙක් ..ඔහුට අපේ දුර නෑ කමකුත් තිබෙනවා . හරියට මන් එයාව දන්නවා .එයා මාව දන්නේ නැහැ ජාතියේ එකක් .

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. මහ රජාට මගේ සම්බන්ධයත් ඒ වගේ...

      Delete