Google+ Followers

2014/08/30

අලි ඇතුන්ගේ ලෝකයේ කොන්දෙසි විරහිත සත්කාරකයා.

සුජීව ගැන ඔත්තුව මුලින්ම මට ලබාදෙන්නේ අපේ හසිත. මව්බිමේ පරිසර කතෘ .
'
මල්ලි, නියම පොරක් ඉන්නවා .මෑන් කැලෑ අලින්ගෙ පිටිපස්සෙන් ගිහින්චිත්‍ර අඳිනවා.මාර ලස්සනයි. ගිහින් හම්බ වෙලා ,කතාකරලා ,ආර්ටිකල්  එකක් කරපන්.' ඔන්න ඔය විදිහට තමයි මම සුජීව චන්දන ගැන ආර්ටිකල් එකක් කරන්නේ .

සුජීව චන්දන හෙවත් කැලෑ සුජියා හම්බ වෙන්න මම මීගොඩ ගියා.තලගල පැත්තට කිට්ටු වෙනකොට මම් බයික් එක නතර කරලා පාර ඇහුවා.
''
අලුත් මීගොඩටද, පරණ මීගොඩටද?'
හෑ බොලේ එහෙමත් එකක් තියෙනවද,හොයලා බැලින්නම් ඒ බෙදීමත් පෝස්ට් එකක් ලියන්න වටින කතාවක්.ඒක පසුවට.

සුජියා මට පාර පෙන්වන්න එයාගෙ පරණ පන්නයේ සුසුකි වර්ගයේ යතුරු පැදියෙන් මගට ඇවිත් හිටියා.

සුජීව ගැන මම පත්තරේට ලියපු නැති දේවල් බොහෝමයි.ඒ කාරණා හැමදේම ලියවෙද්දි  මේ පෝස්ට් එක ටිකක් අපිළිවෙල වේවි.
සුජීව ලංකාව පුරාම ,වැඩිපුරම රජරට ප්‍රදේශයේ කැලෑවල ඇවිදිනවා.ඔහුගේ ආදරය සහ ආශාව යොමුවුණු වනසත්තු වෙන්නෙ අලි ඇත්තු.එයා අලි ඇතුන් ගැන ඉගෙන ගන්නේම හැදෑරීමෙන්මයි.හරියටම කියනවා නම් කැලේ අලි ඇතුන් පිටුපස ගෑටීමෙන්මයි.අලිඇතුන් ගැන විතරක්ම නෙමෙයි,බොහෝ සතා සීපාවන් ගැන දැනීමක් අවබෝධයක් වගේම භාවිතාවකුත් සුජීවට තියෙනවා 
video

මම සුජීවගේ අගය කරන අනෙකුත් කාරණාව වුණේ අනාගත් ප්‍රතිලාභ ගැන නොසිතා ,සරලව කීවොත් සත පණහකවත් ලාභයක් බලාපොරොත්තු නොවී කොන්දේසි විරහිතව තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් කැපවීම.

video


සුජීව කීව විදිහට රජරට පැත්තෙ ඈත කැලෑ ගම්මාන හරහා අලිම්ංකඩවලට ඔහු යන්නේ අර පරණ යතුරු පැදියෙන්. සමහර දවස් වල අන්තරාදායක විදිහට රැකියාව පවා අනතුරේ හෙලාගෙන.සුජීව සිරස ආයතනයේ ඇනිමේටර් වරයෙක් විදිහට වැඩකරනවා.
  video

වෙන කවරදාටත් වැඩියෙන් අද ලංකාවෙ වන අලින් ජාවාරම ජයටම වෙනවා.ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සු ගැන,හාමුදුරුවරු ගැන සුජීව වගේ වන ලෝලීන් හොදට දන්නවා.අපිත් දන්නවා,නමුත් ඒවා හෙළි කිරීමෙන් ඵලක් නැහැ කියලා අපි වගේම සුජිවලත් දන්නවා.මෙ වීඩියෝ ක්ලිප් කීපය අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි  සුජීව  ඇතුළෙ ඉන්න චිත්‍රශිල්පියා වගෙම  නිර්ව්‍යාජ වනලෝලියා.ඒ වගේම මේ වගේ  පෝස්ට් එකක් ලියන්න මට හිතුණේ ලංකාවෙ පත්තර නොකියවන අන්තර්ජාලය බාවිතා කරන පාඨක සමාජයට සුජීව හදුන්වා දීමට උවමනාවක් ඇතිවුණු නිසයි.සුජීව මුහුණුපොතේ නම් ඉන්නවා .මෙන්න මේතනින් යන්න.නමුත් බොහෝදෙනා දන්නා චිත්‍ර අඳින සුජීව වෙනුවට ලංකාවේ වන සත්ව පරපුර වෙනුවෙන් අතින් කාගෙන හරක් බලනවා වගේ වැඩක් කරන සුජීව ගැන පෙන්නලා දෙන්න මට හිතුණ.


2014/08/27

කුරුල්ලනේ හැමදාමත් කුරුළු පාලුවට වහන්න.......

කුරුල්ලනේ  හැමදාමත් කුරුළු පාලුවට වහන්න.......

 බොහෝම දුර බැහැර මතකයක හිත පැටළුණේ මම ලියපු පරණ කවි පිටු දෙක තුනක් පිහිරද්දී.කවියකට අකුරු නොගළපාම කොයි තරම් නම් කාලයක් ගතවෙලා ගිහින්ද?  කාබන් බොඳ වෙලා ගිය කඩදාසිය කියවගන්න අමාරු වුණේ නම් නැහැ.
ඇළ අද්දර තුරු වඳුලේ 
හීතල හෙවණේ වැතිරුණ 
ළපටි අතින් අස්වැද්දූ 
'කුරුලු පාලුවේ ' ලියැද්ද 
පැහී කරල් බිමට නැවී 
සරුසාරෙට හිනැහෙන හැටි.
කුරුල්ලනේ හැමදාමත් කුරුලු පාලුව ට නොඑන්න 

පුංචි සන්දියේ කුඹුරු වැපුරුමට පස්සෙ හවසට කුරුල්ලන් එළවන්න යන එක අපේ අනිවාර්‍ය රාජකාරියක්. වපුරපු පැළ වී කන්න එන කුරුල්ලන් ගණන නිමක් නැහැ. ගිරව් තමා මූලිකයෝ. ඊළගට වටු කුරුල්ලෝ.උන් හරිම පුංචි සත්තු ජාතියක්. ලියද්දට වහන්නේ මහා සේනාවක් එක්ක.කතාවට කීවොත් උන් රංචුව පියාඹගෙන යද්දී මැවෙන හුළං පාරට අපේ කෙස් රොදවල් හුළගෙ ගිහින් ඇස් පියවෙනවා. නමුත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ. 


           
ඊළග අය තමයි වඩු කුරුල්ලො .අර හරි අපූරු කුඩු තනන ගෘහ නිර්මාණ ශිල්පියෝ.නමුත් එයාලා නම් මහ විශාල රංචු එක්ක ලියද්දට බහින්නේ නැහැ.තව ඉන්නවා වී කුරුල්ලො කියලා කොට්ඨාසෙකුත් හැබැයි මට නම් හැමදාම සැකයක් තිබුණා මේ වී කුරුල්ලෝ කියන්නේ වටු කුරුල්ලන්ටමයි කියලා හරිම එක වගේ. 

කුඹුරු අයිනෙ තිබුණු කුඩා දිය පාර දිගටම සාරෙට එක පොකුරට වැඩුණු වැටකෙයා පඳුරු තියෙනවා ඒ පඳුරු වල කටු සහිත කොළ කපාගෙන ගිහින් තමයි අපෙ අම්මලා පැඳුරු වට්ටි පෙට්ටි මලු වියන්නෙ.මෙ පඳුරු අස්සෙ ඉන්නවා කොරව්ක්කු ,මේ යක්කුත් එනවා ලියද්දෙ වී අහුලන්න.උන් පියාඹනවට වඩා වැඩි දුරක් ඇවිදිනවා මගෙ හිතේ. 

ඊළග අමාරුකාරයෝ තමයි කොබෙයියෝ. අප්පේ දෙන වදයක්.එක තැනකින් එළෙව්වට පස්සේ ආයිමත් කැරකිලා ගිහින් ඒ ලියැද්දෙම තව කොණක වහනවා. තව මොණරු  එයාලා එනවාට අකැමැතිම අපි නෙමෙයි අප්පච්චිලා. ඇයි ඉතින් වී කනවට වඩා උන්ගෙ ලොකු කකුල් වලට යටවෙලා ගොඩක් වි ඇට මඩේ කුණුවෙනවානෙ .

ලියැද්දට එන අනෙක් විනාසකාරයො ටික රාජකාරි බාර ගන්නෙ රෑට.මෙයාලට කියන්නෙ සේරු කියලයි.සමහර පළාත්වල සේරාවො කියන්නේත් මේ ඇත්තන්ටම තමා කියලයි මම හිතන්නෙ.

සමහර කාලවලට වැපුරුමෙන් පස්සෙ නොහිතූ විදිහට වහිනවා. ලියැදි වල වක්කඩ හිර කරලා තිබුණොතින් දෙයියන්ගේම පිහිටයි. ලියැදි වල වතුර පිරුණු හැටියේ සේරාවො රංචු පිටින් ඇවිදින් වපුරපුවී ටික කනවා. මේ සේරාවෝ වතුරෙ පාවෙනවා හරියට තාරාවෝ වගේ.
දැන් මම් මෙ හැමදේම කිව්වේ පූර්විකාව විදිහට.කුරුල්ලන් එළවන්නෙයි කියලා කුඹුරට ගියත් අපි ආසා කරේ උන් ඇවිත් වී කනවට.අපි විතරක් නෙමෙයි අපේ අප්පච්චිලත් කුරුල්ලො කුඹුරට එනවට ආසා කෙරුවා.අප්පච්චිලා අස්සැද්දුවෙ කුරුලු කොබෙයියන්ටත් එක්කමයි.හැම කුඹුරකම අන්තිම කෙළවරේ පුංචි ලියැදි දෙක තුනක් තිබුණා.ඒවට කිව්වෙ 'කනටි කෑලි' කියලයි.මේ කනටි කෑලි අපේ අප්පච්චිලා හැදින්නුවේ කුරුලු පාලුව කියලා.ඒ' තමයි කුරුල්ලන් ගෙන් අස්වැන්නට වෙන හානියේ පාඩුවෙ හිලව්ව .කවදාවත් ගොවිතැනේ මහ අස්වැන්නට මේ කුරුළු පාලුවේ ලියැදි වල අස්වැන්න අපේ අප්පච්චිලා එක්කාසු කරගත්තේ නැහැ.කුරුලු පාලුවේ අස්වැන්නෙ අයිතිකාරයෝ වුණේ පුංචි අපි.

මේ හැමදේම ත් එක්ක මට හිතුණෙ අපේ අප්පච්චිලාගෙ බොසත් ගුණය කොයි තරම් ද කියලයි. තමන්ගෙ අනිකා ගැනවත් නොහිතන ලොකේ කුරුළු කොබෙයියන්ගේ සාගින්න ගැනත් හිතන්න පුළුවන් කම බෝසත් ගුණය නෙමෙයි නම් වෙන මොකද්ද ? මම හැමදාමත්ම මාසයකට දෙකකට වතාවක් ගමේ ගිහින් එන්න යනවා. ඒත් කුරුල්ලො එළවන්න යන පුංචි උන් දැන් ගමේ දකින්න නැහැ.කුරුළු පාලුවේ ලියැද්දත් නැහැ.මට තේරුණා කුරුල්ලනුත් නැති වග.


2014/08/14

මොහුගේ කට හඩට පිටුපා යා නොහැක


විල්සන් හෑගොඩ කොළඹ කවි යුගය එකළු කළ අපූර්ව කවීත්වයක් හිමිව තිබූ කවියෙකි."කවි කොළ කාරයා' යනු ඔහු විසින් පබදින ලද එවැනි  කවි පන්තියකි.එකල සමාජයේ කවි කොළ කාරයාට හිමිව තිබු තැන පිළිබදව් සමාජ විද්‍යාත්මක ගවේෂණයකට අවැසි තොරතුරු උවද ඔහුගේ මෙම කවි පන්තියෙන් උකහා ගන්නට පුළුවන. කොළඹ කවි කියවා රසවිදින්නට කැමැති වර්තමාන බ්ලොග් කියවන්නන්ගේ පහන් රසවින්දනය උදෙසා එය මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.


වම් අත කණේ- කවි කොළ ටික දකුණු         අත 
හක්කේ බුලත් විට හපවී ඉවර                 නැත
නෙත් සැර වරින් වර යවමින් සෙනග         වෙත  
හඩදී ගිරිය පාදා කවි කියනු                   ඇත 

ගෙදරින් තරුණියක ගෙනගිය පුවත      හොරෙන් 
බිහිසුණු මිනීමැරුමක වග රුහුණු           ක-රෙන් 
රිය අනතුරක සැණකෙළියක පැසුළු       දොරෙන් 
තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි      සැරෙන් 

සුළු පුවතක් නමුදු ගණනට ගත           නොහෙන 
ඔපයක් අමුතුවෙන් දී නව පණ              ගැහෙන 
කවි වැලකට ගොතා ගෙන නව නළු රස   වැහෙන 
කියවයි ගැඹුරු හඬකින් ඈතට              ඇහෙන 

පිංකම් පොළක -ගම්බඳ වෙළදම්            පොළක 
බස් නැවතුම් පොළක හෝ මහ මං            කඩක 
කඩ මන්ඩියක් රුක් සෙවණක් වැනි           තැනක 
මොහුගේ කට හඩට පිටුපා යා              නොහැක 

කිසි මඟියකුට මුණ නොගැහී සිටිනු             බැරී 
එළිමහනකම හඬ දෙන විට කොතැන           හරි 
ආරංචියේ උණුසුම් කම අනුව                    හැරී 
මොහු වට කොට බලා ඇත මහ සෙනඟ         පිරී 

මොහු පළ කරන කවි කොළ එකිනෙක         දේට 
රසවත් වී තිබේ ,පොදු     ගම්              වැසියාට 
එක ශත දහය ගණනේ මිළ                 තිබුණාට 
විකිණෙයි දහස් ගණනින්                 සමහර දාට