Google+ Followers

2012/12/26

-බත්ගම ඇනෝවෙකුගේ සටහන්-.

පද්දන් සැබැවින්ම කුලහීනයන්ද ?


මෙම ලිපිය තරමක සුවිශේෂී එකක්. ඒ කාරණා කිහිපයක් නිසා. පළමුවැන්න මෙය තනිකරම මගේ ලියැවුමක් පමණක් නොවෙයි. දෙවැන්න මේ පෝස්ටුව ගොඩනැගෙන්නේ මගේ එක් පෝස්ටුවක ගොඩනැගුණු සංවාදයක් ඔස්සේ. ඒ වගේම මෙහි අතුරු රචකයා මමද නොදන්නා ඇනෝ වරයෙක්. 



ලංකාවේ කුල සම්ප්‍රදායන් පිළිබඳව ලිපිපෙළක් ලියන්නට මගේ අතිමහත් බලාපොරොත්තුවක් තිබුණා. පළමුවැන්න ලිව්වා 'ඔබ ගොවිගමද, පද්දෙක්ද ,කරාවෙක්ද' යන නමින් .එම පෝස්ටුව මේ තාක් කාලයක් මා ලියූ ලිපිවලින් නිතරම බොහෝ දෙනා පරිශීලනය කල ලිපියක් වූවා. හදිසියේම මේ මෑතකද ඉහත පෝස්ටුව වෙනුවෙන් ඇනෝ සහෝදරයකු එක්කළ කොමෙන්ටුවක් නිසා මේ සංවාදය මතුවූවා. ඔහු මතුකරන ලද කාරණාවන්ගේ ඇති සාතිශය වැදගත්කම නිසාම මේ කාරණාව මුල් කොටගෙන සංවාදයක් ඇති කළ යුතු යැයි මම කල්පනා කරා. එවන් සංවාදයකට ඉඩකඩ තිබේදැයි සැක සහිත වුවත් මෙය කළ යුතුම කාර්‍යයක් යැයි මට සිතෙනවා.



ඇනෝ සොහොයුරාගේ තර්කය වූයේ ලංකාවේ කුල වර්ගීකරණ්යේදී පහත් කුලයක් වශයෙන් සැලකෙන බත්ගම හෙවත් පදු කුලයේ ප්‍රභවය සොයා බැලුවහොත් ඔවුන් පහත් කුලයක් වශයෙන් සලකන්නට නොහැකි වන බවයි. 




ඇනෝ සටහන 

බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ)

මෙම කුලය සේවා කුලයක වර්ගකිරීම නිවැරදි වෙන්න පුළුවන් (ඒ මතු දැක්වෙන කාරණයත් සේවාවක් නිසා). නමුත් ඔවුන්ගේ රාජකාරිය සේවකයෝ/බර උසුලන්නෝ නොවෙයි. 
ඔබගේ වර්ගීකරණය තුල සිංහල වෛද්‍යකර්මය (සිංහල වෙද්දු) කල අයවලුන්ට තැනක් හෝ කුලයක් නැහැ. 
නමුත් ඇත්තම ඇත්තනම් බත්ගම (බත්ගම තේරුම- රජුගේ බත් වැඩීමයි/ එයත් වෙදකමේම කොටසකි, ගොවිගම තේරුම- රජුට ගොවිතැන් කිරීමයි), එහෙම නැත්නම් පද්දන්ගේ කුලයට අයිති රාජකාරිය තමයි වෙදකම. ඔබ පාරම්පරික(සුද්ද) සිංහල වෙදකම කරන (ආයුර්වේද උපාධි තියන අය නොවේ) පුද්ගලයන් පිළිබඳව සොයා බලන්න, අඩුමතරමින් ඔවුන්ගේ මුල බත්ගම (පදු). (බත්ගම පහල යන්න හේතුව සාරාංශයක් ලෙස- රජකු යුදයට ගොස් දිනූවිට රතු කොඩියද පැරදුනවිට කළු කොඩියද ඔසවන බව මාලිගයට කියා යුදයට ගොස් ඇත. ඔහු යුද්ධයෙන් දිනා රතු කොඩිය ඔසවන ලෙස විශ්වාසී වූ බත්ගම සේවකයකුට පවරා ඇත. යුද්ධයෙන් දිනු සතුටට හා බිවූ ජයපැන් මතට ඔහු ඔසවා ඇත්තේ කළු කොඩියයි. එදා සිට බත්ගම කුලය කුල ධූරාවලියේ පහලට ගොස් ඇත. නමුත් කොන්කර නැත්තේ වෛද්‍යකර්මය අත්‍යාවශ්‍ය සේවාවක් වූ බැවිනි/ මෙම රජු කවුරුන්ද යන්න නොදනිමි)
වැඩිදුර විස්තර සඳහා ,බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි. 

මෙම සටහන මව් පිය දෙපාර්ශවයෙන්ම උරුම වෙදකම අහිමි 
(උගන්වන්නට පරම්පරා ගුරුවරයෙක් නැති) බත්ගමයෙක් 


මගේ පිළිතුර 

ඔබ සම්පූර්ණයෙන්ම බත්ගම කුලයේ හීනෝන්මාදයෙන් මෙම කරුණු එකතු කොට ඇති බැව් මට තේරුම් ගියේ කොමෙන්ටුවෙ අවසාන සටහන දැකීමෙන් පසුවයි. ඔබෙ කොමෙන්ටුවේ යම්කිසි තාර්කික ස්වභාවයක් තිබුණා නම් පසු හැදින්වීම මගින් එය අහෝසි කොට දමන ලදී. 

ඇත්ත වශයෙන්ම නම් ලංකාවේ කුල වර්ගීකරණය පිළිබඳව කිසියම් ගැටළුකාරී තත්වයක් තිබෙන බැව් මම පිළිගන්නවා. ඒ වගේම මාගේ ලිපියේ දක්වා තිබෙන කුල වර්ගීකරණය, ධූරාවලීගත කිරිම ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණයයි. එය කිසියම් පිළිගැනීමකට ලක්වූ වර්ගීකරණයක්. 
බත්ගම හෙවත් පදු කුලය ගැන කියනවා නම් මා ඒ පිළිබදව දන්නා අනෙක් කාරණාව වන්නේ එය ලංකාවෙ ගොවිගම සහ වහුම්පුර කුලයට පමණක් දෙවනි වන කුලය බවයි. 
සෝල්බරි කොමිසම හමුවේ සාක්ෂි දුන් බත්ගම සහ වහුම්පුර කුල සාමාජිකයින් තමන්ගේ කුල දෙකේ එකතුව ගත්විට එය මුළු සිංහල ජනගහනයෙන් තුනෙන් එකක් වන බව පවසා තිබෙනවාය යන්න ප්‍රකට කතාවක්. 

ඒ වගේම බලන්න කාලිංග ටියුඩර් සිල්වා ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය. 
බත්ගම -
-බත්ගම හෙවත් පදු කුලය සිහල කුල ධූරාවලියේ වඩාත්ම ආන්තික තත්වයක සිටියි. ඇතැම් ගණන් බැලීම් අනුව මේ කුලය ගොවිගම හැරුණු විට වඩාත්ම විශාල කුලය වන අතර සිංහල ජනගහනයෙන් 18% ක පමණ පිරිස මෙයට ඇතුළත් වෙති. ( jiggins1979 )    මෙය සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ. මේ කුලයට පැවරුණු රාජක්ලාරී අතර ප්‍රභූන් ගේ දෝලා ඔසවාගෙන යාම යුධ කටයුතුවලට සහභාගී වීම ඇතුළත් විය. 

මේ කරුණු බැහැර කළ නොහැකි ලෙස පෙනෙන්නේ ඔබ සදහන් කර ඇති ජනකතාවේ ද බත්ගම කුලයේ සේවකයා යුද හේවායෙක් වශයෙන් කටයුතු කර ඇති හෙයිනි. 
කෙසේ වෙතත් ඔබ මතු කල කාරණය ඉතාම වැදගත් ය. ලංකාවේ කුල වර්ගීකරණය තුළ සිංහල වෙදුන් ගැන සදහන් නොවීම යන්න ඉතාම වැදගත් සොයාබැලිය යුතු කාරණාවකි. 









ඇනෝ පිළිතුර  


පළමුවෙන්ම කිවයුත්තේ මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන හීනෝන්මාදයෙන් නොපෙලෙන බවයි. ඊට හේතුව බෞද්ධ දර්ශණයයි. 

(නචච්චා වසලෝ හෝති...../ වසල සූත්‍රය) 

නමුත් ඔබ කී ලෙස මෙම හීනෝන්මාදය හේතුවෙන් බොහෝ පිරිසක් නම, ගම හා පදිංචිය වෙනස් කර බත්ගම කුලයෙන් සැඟවී සිටිනබව මම පිළිගනිමි.

ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වා මහතාගේ ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය මා කියවා නැතිබවත් කියවන්නට අදහස්කරනබවත් නිහතමානීව කියා සිටිමි. 

රොබට් නොක්ස් ගේ ,එදා හෙල දිව, ට අනුව බත්ගම කුලයේ රාජකාරිය ගොවිතැන සහ යුධසේවය යි. නමුත් බත්ගම/ පදු නමින් කුලයක් ඇතිවීමට හේතුව තමන් නොදන්නා බව ඔහු එහි දක්වනවා. 

ඔබ ඉරිදා රිවිර පුවත්පතේ පළවන බුද්ධික කුරුකුලසූරිය මහතාගේ තීරුලිපි කියවා ඇතිනම්, ඇතැම් ලිපිවල සමහර කුල පිළිබඳ තොරතුරු එහි අඩංගුයි. නමුත් බත්ගම කුලය පිළිබඳ ලිපියක් එහි පළ නොවුනද, ඔහු සඳහන් කරන කුල (උදා.- කරාව/ කෞරව) පිළිබඳව සැලකීමේදී එම කුලවල ඉතිහාසය ජයවර්ධනපුර/ නුවර යුගවලින් එහාට (පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට) යන්නේ නැහැ. 

නමුත් මා අදහස් කරන්නේ බත්ගම කුලයේ ඉතිහාසය පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට වන යුග දක්වා විහිදෙන බවයි. (අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න) 

යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස පැවති (විජයාවතරණයට පෙර) සිව් හෙලයට අයත් ග්‍රෝත්‍රයක් බත්ගම කුලය ලෙස විකාශණය වූවා විය හැකියි. ආක්‍රමණිකයන් (විදෙස්/ විජය හා ඊට පසුව වන යුද ආක්‍රමණ සහ මහින්දාගමනය/ දුමින්දාගමනය වන ධර්ම ආක්‍රමණ) සමග පැමිණෙන පිරිස ප්‍රභූන් ලෙස සැලකුම් ලබද්දී තන්වැසියන්ට සිය ස්ථානය අහිමිවීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි. (ඉන්දීය ආයුර්වේදයට කලවම් නැති පාරම්පරික (සුද්ද) සිංහල වෛද්‍යවරු (සමහරවිට රාවණ ඉතිහාසය දක්වා විහිදෙන) අප ගම්වල වසර 2000 පමණ කාලය වනතුරු සිටියා. හැකියාව විකුණාගෙන කෑමට වූ නොහැකියාව නිසාම ඒ අය මිහිමත සැතපී ඇත. එම පරම්පරා වල කිසිවෙකුත් දැන් උරුම ශිල්පය නොදනී)

එසේත් නැතිනම් දුමින්දාගමනයත් සමග පැමිණි ශිල්ප ‍‍ශ්‍රේණි 18 ට මොවුනුත් ඇතුලත් වෙන්න ඇති. වෛද්‍යවරු පමණක් නොවේ, ලී වඩු ශිල්පීන් (වහල ගැසීම හා වඩු වෑද්දුම් ලෙස වෙන් වෙන්ව) ලේඛන ශිල්පීන්, ගල් වඩු ශිල්පීන්, දෛවඥයින්, විහාර තේවා ශිල්පීන්, යුධ ශිල්පීන්; අංගම් ආදී ලෙස බත්ගම කුලයේ කාර්යයන් විහිදී යනවා. ඒ ඒ පාර්ශවයන්ට අදාලව වෙන් වෙන් ලෙස වාසගම් ද දැකිය හැකියි (වාසගම් මෙහි නොදක්වමි; අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න).

"සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ" මෙය ඔබගේ හැදින්වීමකි, එසේම එය සත්‍යයක් ලෙසම මම ද දකිමි. ඊට හේතුව ඔවුන් කාගේවත් මෙහෙකරුවන් හෝ දාසයන් නොවූ නිසයි. බලය ඇත්තා බලය නැත්තා පාගා දමන වැඩවසම් සමාජය තුල ඔවුන් කොන් කර දමන්නට ඇත/ නමුත් එම සමාජයටම අත්‍යාවශ්‍ය සේවාවන් සපයන නිසා ආන්තික තත්වයකට පත්කලද කොන් නොකරන්නට ඇත.





නැවත ඔබව වර්තමානයට කැදවමි, 

අනුරාධපුර පූජා නගරයට එන්නට ආරාධනා කරමි.
ඉසුරුමුණියට පිවිසීමට පෙරසිට කලාපයෙන් අරඹා ශ්‍රී මහා බෝධිය දක්වා වන කලාපය විමසිලිමත්ව බලන්න. 
‍‍'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව (මහ මළුවේ අනුමැතියෙන්) ඉවත් කරන ලද සංඝාරාම, විශ්‍රාම ශාලා කොපමණ දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි. 
'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව ඉවත්කරන්නට තැත් දැරුණු , පසුව උත්සාහය ඉවතදමා ක්‍රියාන්විතය නවතාදමන්නට සිදුවුණු විහාරස්ථානයන් ද්විත්වය පිළිබඳවද ඔබ දන්නවා ඇතැයි සිතමි. 
ඒ විහාරස්ථානයන් ඉවත් කිරීමට (ඉවත් කරවන්නට) උවමනා වූ සැබෑ හේතුව ලෙස මම දකින්නේ, ඒවායින් එකක් ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකායට අයත් නොවන වෙනත් (රාමඤ්ඤ) නිකායට අයත් බත්ගම (උඩරට පදු) කුලයෙහි උපන් භික්ෂු නායකත්වයකින් ඇරඹි භික්ෂු පරම්පරාවකට අයත් නිසාය. අනෙක ගැන මම නොදන්නා නිසා සඳහන් නොකරමි. 
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශණාකොට පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකොට පෙන්වා වදාලද, ලංකාවේ ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකාය තුල පැවිදිවන්නට නම, ගම නොසැඟවූ බත්ගමයකුට හැකිද? නොහැකිය. 
ඔබව වර්තමානයට කැදවීමේ සිට මේ දක්වා තොරතුරු මා පෙළගැස්වූයේ පහත දක්වන කාරණයට හේතුවක් පෙන්වන්නටය. 
එයනම්, “බත්ගම කුලයට අයත් ජනතාව අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවතීගෙන එන තන්වැසි ජනතාවකි. ඔවුන්ගේ උරුමය ලබාගන්නට / මතුකරගන්නට ඉඩදීමක් නැත, පාලකයන් බලහත්කාරයෙන් ඔවුන් යටපත් කරයි “ ලෙස දක්වමි. 

ඔබ කුල ධූරාවලීගත කිරිමට ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණය යොදාගෙන ඇත. 
එතුමා මෙම වර්ගීකරණය කිරීමේදී පිළිපදින ලද නිර්ණායක පිළිබඳ දැනුමක් මට නැත. 

නමුත් සමාජය තුල බලය අත ඇති පිරිස බලය නැති පිරිස් යටපත් කරගෙන සිටීම හේතුවෙන් වාර්තාගත වන්නේ බලය අත ඇති පිරිසට අවශ්‍යය කරුණු මිස සත්‍යය නොවේ. (වර්තමාන මාධ්‍ය දෙස බැලීමෙන් ඔබට මෙය සනාථ කොට ගත හැකිය/ ප්‍රචාරය වන්නේ සත්‍ය නොවේ, මාධ්‍ය හිමිකාරීත්වය එය තමන්ගේ දේශපාලන දැක්මෙන් දකින අයුරුයි) 




ඔබට තවත් හෝඩුවාවක් දෙන්නෙමි. 

ඩී. එස්. සේනානායක මහතා ගොවි ජනපද පිහිටුවන ලදි. ඒ රජරට ද ඇතුලත්වය. 
බත්ගම ජනතාව ගොවි ජනපද වල සිටිති, ඒ ඩී. එස්. සේනානායක මහතා ඔවුන්වද ජනපදගත කල බැවිනි.
ඔබට සෙවිය හැක, ඔබ රජරට සිටින නිසා,
සොයන්න, විමර්ෂණය කරන්න, , ගවේෂණය කරන්න...... 
සැබෑම වූ සත්‍යය (කාට හෝ බලය පවත්වාගැනීමට විකෘති නොකරන ලද) කුමක්ද කියා....
අවසන,
ඔබ සොයාගනු ඇත,
සත්‍යය, කුමක්ද කියා, 
කෙටියෙන් ලියමි එය, 
සම්, මස් , නහර, ඇට, ඇටමිදුළු වලින් සෑදුන මිනිස් ජීවයට,
ගොවි, පදු, කරා, හකුරු ලෙස කුලයක් සොයා ගත නොහැක,
පිරිමි සහ ගැහැණු
ලෙස මිනිසුන් වර්ගකල හැකි බව පමණක්.........

-වැදගත්-
බත්ගම කුලිකයන් හීනෝන්මාදයෙන් පෙළීම යනු සමාජ සම්මතකොටගත් නිගමණයකි.
එය අනෙක් කුලිකයන් උසස්කොට දැක්වීමටම ඔවුන්ගේම නිර්ණායකයකි. ඔබ එම සම්මතය කරපින්නාගත් අයකුලෙස හැගේ.
මතක තබා ගන්න. ලංකාව යනු ථේරවාද බෞද්ධ රටක් බව (ඔබ බෞද්ධ‍යකුදැයි මම නොදන්නෙමි) ථේරවාදයට කියන්නේ හීනයානය කියාය. ඒ මහා (උසස්) යානයක් ඇති නිසාය. 
එනයින් අපි පහත් / හීනෝන්මාදය ඇතිකොටගතයුතු ආගමක් අදහන්නන් වෙමු.
නැවතත් කියමි, මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන මම හීනෝන්මාදයෙන් නොපෙලෙන්නෙමි. අනෙක් පිරිස ගැන මට කියන්නට දෙයක් නැත. 
උරුම ශිල්පය නොලැබීම ගැන දුක්වන අය සිටින්නේ මා පමණක් නොවේ. 
අවසාන වශයෙන් කරුණු දෙකක් සටහන් තබමි. 
1. විදේශගත සිංහල ජාතික බටහිර වෛද්‍ය වෘත්තිකයෙක් (දළදා මාලිගාවේ පෙරහර මංගල්ලයට නැටුම් වලට අදාල පරපුරක පුහුණු ශිල්පියෙක්) තවමත් පෙරහර මංගල්ලයට ස්වකීය වියදමින් පැමිණ තමන්ගේ පාරාම්පරික උරුමය ඉටුකරන බව අසා ඇත්තෙමි (නමුත් ඔහු කවුරුදැයි නොදනිමි); මෙය තමන්ට උරුම ශිල්පය හිමිවීම ගැන ඇති සතුට මිස අන්කවරක්ද? (මෙයින් මා අදහස් කරන්නේ පරම්පරා උරුමය/ රැකියාව අඛන්ඩව පවත්වාගෙන යා යුතුය කියන වැඩවසම් අර්ථ ක්‍රමය ගැන නොවේ. පරම්පරා උරුමය ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනය තුල හැකියාවෙන් යා හැකි උපරිම දුර ගියද අවශ්‍ය විටක පරම්පරා උරුමය භාවිතාකොට මව්බිමට අවශ්‍ය සේවය ලබා දීමයි) 

2. කොටි ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගසා එය විනාශකල කාලය ඔබට මතකඇතැයි සිතමි. පසුව එය ප්‍රතිසංස්කරණය කලේ බටහිර තාක්ෂණයෙන් නොව දේශීය තාක්ෂණයෙන් බව ඔබ නොදන්නවා ඇතැයි සිතමි. (මෙම උරුමය සංරක්ෂණය භාරව සිටියේ ඒ පිළිබඳව ප්‍රමාණික විද්වතකු වන මහාචාර්ය ගාමිණී ජයසුරිය මහතාය/ නම පිළිබඳව මාගේ මතකය නිවැරදි නැත).
අස්ගිරි, මල්වතු මහනාහිමිවරු සහ දියවඩන නිළමේතුමාගේ මගපෙන්වීමෙන් විවිධ ක්ෂේත්‍රවලට අයත් දේශීය දැනුමෙන් සන්නද්ධ පිරිස් රට වටෙන්ම සොයාගෙන සියළුම කටයුතු තිබූ පරිද්දෙන්ම නැවත ජාතියට උරුමකර දීමට ඔවුනට හැකිවිය. 
එම කාර්යයේ බල මහිමයෙන් , ඔබේත්, මගේත්, ජාතියේත් (අ)වාසනාවට මහාචාර්යවරයා රටිනුත් පිටකර ඇත. ශිල්ප ශ්‍රේණි සී සී කඩ විසිර ඇත. 
“ මෙම 2 කරුණ සඳහන්කලේ දළදා මාලිගාවේ ගල් වඩු වැඩ කල (බාස්වරු) පිරිස බත්ගමයන්/ පද්දන් වන බව මම හොදාකාරවම දන්නා බැවිනි”. මෙම දැනුමද තව නොබෝ දිනකින් රටට අහිමිවනු ඇත. මෙම ශිල්ප උරුම කරුවන් ලබාගන්නේ නැත. ඊට හේතුව ශාඛ්‍ය වංශික සිංහලයන්ගේ ක්‍රියා පටිපාටියන් මිසක අන් කිසිවක් නොවේ. 
උරුමය ගැන තැවෙන්නට වන්නේ එය අහිමි වූ විටයි. එවිට ඇඩීමෙන් පලක් නැත. කවදා හෝ ඔබටද අඩන්නට වනු ඇත. මොන කුලයක උනත් ඔබ, සිංහලයකු නිසා සිංහලයන්ගේ උරුමය අහෝසි වූ විට ඔබටද අඩන්නට වනු ඇත.
(සිංහලයන්ගේ උරුමය අහෝසිවීම දැනටමත් සිදුවෙමින් ඇත, අවදියෙන් සිටින්න) 
2 කරුණට පාදක වූයේ දළදා මාලිගාව ප්‍රතිසංරක්ෂණය කිරීම වෙනුවෙන් ඉරිදා දිවයින සංග්‍රහයට එහි ජානක ලියනාරච්චි මහතා ලියු ලිපියකි.(දිනය අමතකයි) 

අවසාන වශයෙන් සටහන් කරමි:- 
බත්ගම කුලිකයන් හෙලා දැකීම තවමත් නැවතී නැත. නමුත් ඔවුන්ද සිංහල ජන සමාජයේ විශාල කොටසකි/ පංගුවකි. ඔබද මා හෙලාදැක පසු සටහන් ලිවීම අරඹා ඇතැයි හැඟීමක් ඔබගේ පසු සටහන් කියවීමේදී දැනුනි. නමුත් ලිවිය යුතු යමක් වේ නම් මම එය අකුරු කළෙමි. ඔබ කෙරෙහි වෛරයක් හෝ ද්වේෂයක් මා තුල නැත.
හැකිනම් බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි. 
නැවතත් පිළිතුරු ලිවීම හෝ නොලිවීම ඔබ සතුය. 
‍බ්ලොග් කෙරුවාව හොඳයි. ස්තුතියි. ආයුබෝවන්!

52 comments:

  1. අපේ මිනිස්සු තාමත් ඔය කුල ගැන හරියට හොයනවා කියලා තේරෙන්නේ මංගල කිංකිණි අතිරේකයක් අරන් බැලුවාම...... කිසිම කුලයක් පහන් කරලා සලකන්න බෑ කියලා මම හිතන්නේ ... මොකද ඒවා හැදිලා තියෙන්නේ එදා සමාජයට අත්‍යවශ්‍ය වෙච්ච සේවාවක් ඉටුකරන්න පැවරුනු නිසා කියලා මම දන්නේ නම්... වැසිකිලි හෝදන මනුස්සයා නැත්තම් ඔය උසස් කුල කියන මිනිස්සු කොච්චර අමාරුවක වැටෙනවද...

    අනිත් එක ඔය හීනමානය ඇති කරගන්නෙත් ඒ කුලමානය හිතේ තියාගෙන ඉන්න අයම තමයි... දැං ඕක කුල නැතුවට රස්සාවල් අනුව උනත් මේ රටේ තියෙනවනේ.. මේසන් බාස් කෙනෙක් කොච්චර හොඳට සල්ලි හම්බුකරලා ගෙවල් දොරවල් හදාගෙන හිටියත් අපේ මිනිස්සු කියන්නේ “ අපෝ ඔය මිනිහා ඔහොම හිටියට සල්ලි හම්බ කළේ බදාම අනලා” කියලා... පිටරටක ගිහින් මොකක් හරි උපාධියක් අරගෙන (හෝ නොගෙන) ඇවිත් හොර බේත් සාප්පුවක් දාගත්තත් දැක්ක තැන “ දොස්තර මහත්තයා ” කියනවා...

    තාමත් අපේ මිනිස්සු ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ....

    ReplyDelete
    Replies
    1. විවාහ කටයුත්තකදී නම් තවමත් කුලය කියනදේ තීරණාත්මක සාධකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා තමයි. ලංකාවේ කුල බේදය කියන එක තේරුම් ගන්න එවැනි බෙදීම් තිබුණු සමාජයක ජීවත් වෙන්නම ඕන.

      හිරු කියන එක හරි ඒ ඒ යුගයන්වලදී මේ බෙදීම් ඇතිවුණේ සමාජ අවශ්‍යතාවයන් මත පදනම් වෙලා තමයි. නමුත් කාලයක් ගතවීමත් එක්ක මෙක හයිරාකි එකක් වුණා. එහෙම නැත්නම් ධූරාවලිගතකිරීමකට ලක්වුණා. එහෙම වුණු හැටියේ බලය සහිත මේ ධූරාවලියේ ඉහළින් හිටපු අය පහළ කුල පීඩනයට ලක් කෙරුවා.

      අපේ මිනිස්සු තවමත් ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ කියින කතාව නම් මමත් පිළිගන්නවා.

      Delete
  2. බොහොම සංවාදාත්මකයි. එහෙත් මා පෞද්ගලිකව කුල වාදයට විරුද්ධයි. එනිසා මෙයින් පිරිසකගේ හිත් රිදෙන නිසා කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් සුළුතරයක් හැර බහුතරයක් දෙනා මෙම කුල ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් විටෙක සමහරුන්ගේ සිත් රිදීමට හැකි වුවත් මෙවනි කාරණා සමාජ කතිකාවට ලක් කළ යුතු යැයි මම සිතනවා.
      කොහොම් වුණත් උඹ මේක කියෙව්වා නම් සතුටක්.

      Delete
  3. මං කුල ගැන කිසිත් නොදනිමි.. ඒක නිසා කියන්න දෙයක් හිතා ගන්න බෑ.
    ඒත් අපි ඔක්කොම මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම මිනිස්සු. +++++++++++++++++++++++

      Delete
  4. මිනිස්සු උසස් හෝ පහත් වෙන්නේ උපතින් නෙවෙයි. ඔවුන්ගේ ගතිගුණ වලින්. රජකාලේ විවිධ කාර්යන් පවරලා කරපු වර්ග කිරීම් මේ වෙද්දීත් කිසිම තේරුමක් නැතිව පවත්වා ගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අපේ බොහෝමයක් සංස්කෘතික ලක්ෂණ මේ ආකාරයෙන්ම තේරුමක් නැතුව පවත්වාගෙන යන් දේවල් බැව් පේනවා.

      Delete
  5. කුල වාදයට දැඩි ලෙස විරුද්ධ වෙමි.. නමුත් තවමත් සමහර ගම්බද පෙදෙස් වල කුලය හිසේ තබා ගන්නා පිරිස ඉන්නා බව අත්දැකීමෙන් දනිමි. නමුත් ඒවා ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි මගේ හැගීම. නමුත් මේ ලිපිය කියවීමෙන් දැනුනේ තවමත් කුල වාදය හිස මත තබාගෙන සිටින පිරිස් අඩු නැති බවයි..
    මේ පිළිබදව මගේ දැනුම ඉතාමත් අල්පය. මේ පෝසටුවේ සදහන් සමහර කරුණු වටහා ගැනීමේද අපොහොසත් වෙමි.
    ස්තුතියි මේ දැනුවත් කිරීමට..
    ජය..

    ReplyDelete
    Replies
    1. ගම්බද කියන කතාවට මම එකඟ නැහැ මචං ,,මේක අපේ රටේ සමස්ථ සමාජ පද්ධතිය පුරාම දකින්නට ලැබෙන තත්වයක්. ආවාහ විවාහ කටයුතුවලදී විතරක් පැහැදිලිව නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණත් අපේ රටේ මිනිස්සුන්ගේ සංස්කෘතික චින්තනය ඇතුළේ මේක මිශ්‍ර වෙලා තියෙනවා.

      Delete
  6. මිනිස්සු උස් පහත් වෙන්නෙ උපතින් නෙමෙයි කියල බුදු දහම කියුවට උඩරට දී නම් එහෙම නෙමෙයි.. කුලය සැලකියයුතු විදියට බලනව.. උදාහරණයක් විදියට බෙරවා කුලයේ කෙනෙකුට ඇවිත් ගොයිගම ගෙදරක ඉස්සරහ කාමරයේ ඉඳගන්න බෑ.. වෙනම බංකුවක් කුස්සියේ හදල තියෙනව..
    උඩරැටියෙක් විදියට ඒක තහනම් කරන්න මම යෝජනා කරන්නෑ.. මොකද ඒකෙන් මහාලොකු සමාජ අර්බූදයක් ඇතිවෙලා නෑ කියල මම හිතන නිසා..
    ඉන්දියාවෙ කුල නිසා මරාගන්නව කියල ඔබ අහල ඇති.. ඒත් ලංකාවෙ එහෙම ප්‍රශ්ණ එකවරක් වත් ඇතිවෙලා නෑ මං දන්න කාලෙක..(ඒ කියුවෙ අනූ තුනෙන් මෙහා)
    අනික උඩරට පහත් කුලේක කියල සහමුලින්ම වෙන් කරල නෑ.. ඒක ගොඩක් ‍වෙලාවට බලන්නෙ මගුලකදි විතරයි..(එතනදි නම් සැරටම බලනව)
    හැබැයි එකක් කියන්න ඕන.. හඟුරන්කෙත වගේ ප්‍රදේශ වල මේ කුල සම්ප්‍රදායන් ප්‍රබලවම ක්‍රියාත්මක වෙනව..
    මේ ගැන බලන්න ඕන ලංකාවට සාපේක්ෂව නෙමෙයි ආදල ප්‍රදේශයට සාපේක්ෂව..
    මේ මගේ අදහස.. කාටහරි හිත් රිදුමක් උණානම් කරුණාකරල සමාවෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් අවංකව සහ විවෘතව ප්‍රකාශ කිරීම ගැන මගේ සතුට..ඔබ කියන සමහර කාරණා මතුපිටින් බලද්දී පෙනෙන විදිහ ගැන මම එකඟයි. නමුත් මගුල් තුලා වලදී විතරක්ම නෙමෙයි ගමෙ පොදු කටයුතුවලදී, පාසලේදී ,සමිති සමාගම් වලදී සහ පන්සලෙදීත් පහත් කුලයේ යැයි සැලකෙන බෙරවා, පදු මිනිසුන් කිසියම් කොන් කිරීමකට ලක්වෙනවා. ඒ ගැන අත්දැකීම් මට තිබෙනවා. මගේ ගමේ බොහොමයක් දෙනා කොත්මලේ ප්‍රදෙශයෙන් පැමිණි අය ..ඔබ දන්නව ඇති හගුරන්කෙත වගේම කොතමලේ කියන්නෙත් උඩරට කුල ක්‍රමය තදින්ම ක්‍රියාත්මක වෙන ප්‍රදේශයක්. ඔබ කියා තිබෙනවා වගේම මේක එක් එක් ප්‍රදේශෞඑන් ප්‍රදේශයට සාපේක්ෂව වෙනස් තත්වයන් නිරීක්ෂණය කරන්නට පුළුවන්.

      Delete
    2. මං කියපුදේ තේරුම් ගත්තට ස්තූතියි.. මං කියන්නෙ මේ කුල ප්‍රශ්න ලංකාවට පිටින් ආපු දෙයක් නෙමෙයි කියල.. ඒව අනාදිමත් කාලෙක ඉඳල අපේ රටේ පැල පදියම් වෙලා තිබුණු දේවල්.. ඒනිසා ඒක සමාජ ප්‍රශ්නයක් විදියට සලකනවටයි මම අකමැති.. ඊට වඩා ප්‍රශ්න අපිට තියෙනව කතා කරන්න..
      අනික ඔබ කියන විදියට සමිති සමාගම් වලදි කොන්කිරීමකට ලක්වෙනව කියල පිලිගන්න අමාරුයි.. මොකද මේ වගේ ගම් වල වැඩි හරියක් ගොයිගම කුලේ අයයි ඉන්නෙ.. ඉතින් එහෙම කියල සමිති සමාගම් වලදි ඒ අයට අදහස් දැක්වීමේ ගැටළු ඇතිවෙන්නෑ..
      ඒත් ප්‍රධාන තනතුරු ලබාගන්න අමාරුයි.. ඒකට හේතුව මම උඩදි කියපු වැඩිදෙනා ගොයිගම වීම.. ඉතින් තමන්ගෙ කෙනෙක් පත්කරගන්න තරම් ඔවුන්ට බහුතරයක් නෑ.. ඒක කොන් කිරීමක් කියනවට මම අකමැතියි..
      තව කාටහරි කියන්න පුළුවන් ඒළමයි පාසල් වලදි කොන් කරනව කියල.. ‍ඒත් එහෙම නෑ කියල මට බය නැතිව කියන්න පුළුවන්..
      ඔය කුලවල ළමයි බොහෝවිට අතරමග පාසල් හැර යනව.. එවිට ඔවුන්ට පසුබහින්න වෙනව.. උදාහරණයක් විදියට එකට ඉගෙනගත්ත කෙනෙක්ට මහත්තය කියල කතාකරන්න වෙනව..
      ඒක වෙන්කිරීමක් කියන්න අමාරුයි...

      Delete
    3. මහත්මයා ඔබ කියනවා " ....ඒත් ප්‍රධාන තනතුරු ලබාගන්න අමාරුයි.. ඒකට හේතුව මම උඩදි කියපු වැඩිදෙනා ගොයිගම වීම.. ඉතින් තමන්ගෙ කෙනෙක් පත්කරගන්න තරම් ඔවුන්ට (අඩු කුලයක කෙනෙක්ට) බහුතරයක් නෑ.." ඒකම නෙවේද කොන්වීම..කොටින්ම විය යුත්තේ කුලය තනතුරු ලබා ගැනීමට සාදකයක් නොවීමයි. දෙවෙනි කාරනය ප්‍රශ්නයක් නොවන්නේ එසේ පාසැල හැර නොගියාට හරියට ඉගෙන ගත්තේ නැති( උසස් කුලයක)අයෙක් එම විදුහලේම උගෙන ඉහලට ගිය පහත් කුලයක අයකුට "සර්" කියන්න (අලුත් අවුරුද්දට ගමට ආ අවස්ථාවක් සලකන්න) පෙලඹේනවද කියා.. තුන් වන කාරණාව ඔබට පිළිකන්නේ මිනිහෙක් ඉඳගන්න එක මහා ලොකු සමාජ ප්‍රශනයක් ලෙස නොපෙනුනාට මට නම් ගොවිගමයෙක් විදියට මහ අපුලක් දැනෙනවා -ඒ මනුස්සයා කම්කරුවෙක් වගේ නම් කරන්න දෙයක් නෑ ඉතින්-

      Delete
  7. මිනිසා ස්භාවයෙන්ම කල්ලි වාදයට බොහොම රුචියක් දක්වන සතෙක්. රටවල් විදිහට, ජාතීන් විදිහට, ආගම් විදිහට, කුල විදිහට, ප්‍රාදෙශීය විදිහට කල්ලි කාන්ඩ ගැහිලා ගහ මරා ගන්න ඒවට ඕනෙ තරම් උදාහරණ වටේ, පිටෙන් හොයා ගන්න පුලුවන් ඒක නිසයි.

    අතීත ජන සමාජයේ පැවැත්ම උදෙසා කුල ක්‍රමය බිහිඋනත් වැඩවසම් ක්‍රමයෙ බිද වැටීමත් එක්ක වර්ථමානයට කුල ක්‍රමය ගැලපෙන්නෙ නෑ කියන එක හරි පැහැදිලියි. වර්ථමානයේ කුල ක්‍රමය කරපින්න ගෙන පහත් යැයි සම්මත කුල වල අය හෑල්ලුවට ලක්කරන කුලවතුන් (;යැයි කියා ගන්නා), හුදෙක් එය තමන්ගෙන් ආධිපත්‍ය ගිලිහීමේ වේදනාවෙන් හා වෛරයෙන් අනෙකාගෙන් පලි ගැනීමක් විදිහට කුල ක්‍රමය අවියක් ලෙස භාවිතා කරනවා කියලයි මට හිතෙන්නෙ. නැතිනම් ඵල රහිත බව දැන් දැනත් පුස්කාපු හණමිටියක් කරේ තියාගෙන යන්න වෙනත් කිසිම හේතුවක් මට පේන්නේ නම් නෑ.

    ReplyDelete
  8. කුල බේදය ලංකාවෙ බොහොම සැරට බල පැවැත්තුනේ දැනට දශක දෙකකට විතර කලිනුයි. මම හිතන විදියට දැන් නම් කුල මල හොයන්නේ අවාහ විවාහ කටයුතු වලදි විතරයි. ඒත් දැන් නම් , නම්ගම් වලින් කුලය හොයන්න ලේසි නෑ හුඟක් අය නම් වෙනස් කරලානෙ. කොහොම උනත් කුල වාදයට මම නම් විරුද්ධයි. අපි බෙහෙත් ටිකක් ගන්න දඔස්තර කෙනෙක් ලඟට ගියාම දොස්තරගේ කුලය අහන්නේ නැහැනේ. ඉතින් අඩු කුලේ කියලා දොස්තරගෙන් බෙහෙත් නොගෙන එන්නෙත් නෑනෙ. බත්ගම කුලය ගැන විතරක් නෙවෙයි අනෙත් කුල පරම්පරා ගැන උනත් මට හිතෙන්නෙ එහෙමයි.

    කුල බේදය ලංකාවට ආවේ දුමින්දාගමනයත් එක්කයි කියලා මම අහලා තියෙනවා.සංඝමිත්තා තෙරණිය බෝධිය වඩම්මාගෙන එනවිටම, ජන සමාජයේ දියුණුව සදහා ඉන්දියාවෙන් 18 කුලයක (විවිධ ශිල්ප 18ක් පිළිබඳ දැනුම තියෙන)ජනතාවක් කැදවාගෙන ආ බවත්,එක් එක් කර්මාන්තය සඳහා එක් එක් අයට තිබූ හැකියාව අනුව කුලය වෙන් වූ බවත් තමයි මම අහලා තියෙන්නේ.

    ReplyDelete
  9. කුල ක්‍රමය මහ පිස්සු වැඩක්. අරය කුලවත් මෙයා කුල හීනයි. මුන්ව ගෙයි පස්සේ දොරෙන් ඇතුලට ගන්න වගේ මගුල් තිබ්බේ ඉස්සර. අපි සුද්දන්ට කොච්චර බැන්නත් උන් කුල ක්‍රමය ප්‍රතික්ශේප කලා. කලුවත් අය මෙහෙමයි. අරයා කුල හීනයි වගේ මගුල හොඳා ඉස්සරට.

    ReplyDelete
    Replies
    1. සුද්දෝ පිළිකුල් කළේ කුල වාදය ව්තරයි. ඒත් එයාලා වර්ණවාදය අදහනවා තදින්ම...

      Delete
  10. මා පිලිකුල කරනා ක්‍රමයකි. එබැවින් කිසිත් නොකියමි.. එහෙත් උඹේ ළිපිය මේ පිළිබඳ අධ්‍යයනයක් කරන එකෙකුට දැණුම් සම්බාරයක් බව පමණක් කියමි.

    ReplyDelete
  11. දීර්ඝ ලිපියකි... සෑහෙන තරමේ දැනුමක්ද ලබාගතිමි.. මම කුලවාදය දැඩි ලෙස හෙළා දකිමි. කුලවාදයේ දැඩිව එල්බ ගත් තැනැත්තා මම ප්‍ර‍තික්ෂේප කරමි. රදලයාට ප්‍ර‍තිකාර කරන පද්දන් මෙන්ම පද්දන්ට ප්‍ර‍තිකාර කරනා රදළයන්ද ඕනෑ තරම් සිටිති. සියල්ලන්ටම ඇත්තේ රතු රුධිරය නිසා වෙනසක් විය නොහැක.

    කෙනෙකු වසලයකු වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියාකාරකම් නිසාවෙනි....

    ReplyDelete
  12. අනේ මන්දා මටනම් ඔය කුල බේදයක් කියලා එකක් දැනෙන්නේ වත්...ඕක හරියට තේරුම ගන්නවත් බෑ....

    ReplyDelete
  13. රයිගම් කෝරලේ උඩරට බොදු ගොවි
    A.B.C. වාසල මුදලිගේ X.Y.Z.
    කෝරලයෙන් බැහැර වූ විට
    උඩරැටියෙක්,
    ඉන් මදක් ඔබ්බට
    බෞද්ධයෙක්,
    රටට සාපේක්ෂව
    ලාංකිකයෙක්,
    ආසියාවට
    නීග්‍රෝ මොන්ගොලියානුවෙක්,
    ලෝකයට මිනිහෙක්,
    විශ්වයට ජීවියෙක්....

    එතකොට මේ හැම දෙයින්ම වෙන්නේ මේ මනුස්සයා හුදකලා වෙන එක...

    සංස්කෘතික වශයෙන් බෙදුමට වඩා
    මිනිසුන් වශයෙන් එක්වීමේ වැදගත්කම
    කොතෙකුත් අනර්ඝදැයි එවිට මට වැටහේ.
    (උපුටාගැනීම අවකාශයට සාපේක්ෂව - එල්.බි ද සිල්වා )


    නමුත් මේ බවත් කිවයුතුමයි.. මම කුලවාදයට එරෙහි වන්නෙක්.හැකි සෑම විටකම. නමක් හේතුවෙන් කිසිවෙක් පහත හෙලීම මිනිස්කමට තරම් නොවන බව මගේ හැගීමයි. නමුත් පහත යයි සම්මත කුලවල පිරිස එසේ පහත යයි නොසලකා සම තත්වයෙන් සැලකීමේදී ගොඩනැගුනු ප්‍රශ්න කිහිපයකි. ඔවුන් තුල ඇති හිනොන්මාදය හේතුවෙන් ඔවුන්ට එම තත්වයෙන් සැලකීමද ඔවුන් පරහකට ගනියි. එවිට පැවසීමට සිදුවන්නේ "ගතිය" අත්හැරීමට නොහැකි බවයි..

    ReplyDelete
  14. බත්ගම යන කුලයේ අය "either they were soldiers or husbandryman" කියලයි රොබට් නොක්ස් කියන්නෙ. රුබේරු නම් පෘතුගීසි ලේබකයා කියන්නෙත් ඔවුන් යුද සේවයේ යෙදුන බවත් රජුට අයත් ඉඩම් වල පදිංචිව සිටින බවත්ය. බත්ගම් යන්නේ තේරුම ගබඩාගමක් ලෙස සැලකිය හැකියි. 10 වන සියවසට අයත් බදුලු ටැම් ලිපියේ පදිලද් දඩනායකවරුන් නම් පිරිසක් ගැන සදහන් වෙනවා මොවුන්ගේ රාජකාරිය වෙලද පොලෙන් බදු අය කිරීමයි. "පද්ද" යන වචනයේ තේරුම එම ලිපියට අනුව දඩයක් හෝ බද්දක් ලෙස ගත හැකියි. ඊට පසු යුගවලට අයත් ඉඩම් ප්රිදාන වලත් බත්ගමයන් ගැන සදහන් වෙනවා. ප්රදානය කල ඉඩම් වලට බත්ගමයන් ආරවුල් නොකල යුතු බව ඒවායේ දැක්වෙනවා (කියවන්න H.A.P abhayawardhana kadaim poth vimarshanaya) . අද කාලයේ මෙන්ම රාජ්යනයක් නඩත්තු වුනේ වැසියන්ගෙන් අයකල බදුමුදල් වලින්. මේකට හිටපු නිලධාරි පැලැන්තිය තමා බත්ගමයන් කියන්නෙ. මහනුවර යුගයෙදි අපේ රටේ ඉපැරණි පරිපාලන රටාව බිදවැටී අලුත් නිලධාරී පැලැන්තියක් බිහි වෙනවා. එහිදි පැරණි නිලධාරීන් පහත් කුල බවට පරිවර්තනය වෙනවා. මාඝ වැනි ආක්රිමණිකයන් පැමිණි විටත් ; 1 වන පරාක්ර්මබාහු රජුට පසුව පැමිණි අරාජික කාලවලදී ඇතිවූ බල අරගලවලදීත් පහත්කුල උසස් කිරීමත් උසස් කුල පහත් කිරීමත් සිදුවූ බව මහාවංශයේ සදහන්. බ්ලොග් ලියන අයත් කොමෙන්ට් දාන අයත් කරුණාකරල ඓතිහාසික ලේඛන; අඩුගණනේ මහාවංශයවත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුවට බොහොමත් ස්තූතියි. සාමාන්‍යයෙන් මම පෝස්ටුවක් ලියද්දී ඒ ගැන හොයාගන්න තියෙන කරුණු සියල්ලම පාහේ හොයාගන්න උත්සාහ කරනවා, නමුත් සමහර අවස්ථාවලදී ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි .

      Delete
    2. ඇනෝ සටහන හි රචකයා ලියයි.

      ඇනෝ සහෝදරයා/ සහෝදරිය (භේදය හදුනාගත නොහැක ඔබගේ රචනයෙන්)

      ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම තාර්කිකයි සහ මම එය පිළිගනිමි.
      විවිධ රාජ්‍ය බලයන් තුල විවිධ කුල වල තත්ත්වයන් ගේ පිහිටීම වෙනස් වී ඇති බව මම පිළිගනිමි.
      H. A. P. Abhayawardhana මහතාගේ Kadaim Poth Vimarshanaya පොත මම කියවා නැත්තෙමි. එය මිළදී ගත හැකි තැනක් ඇත්නම් දක්වන්න.
      මහාවංශය තරමක් දුරට කියවා ඇත්තෙමි. නමුත් එහි කුලය පිළිබඳ විස්තර නුදුටුවෙමි. එබැවින් තව දුරටත් කියවන්නෙමි.
      මහාවංශය පිළිබඳව මට යම්කිසි විවේචනයක් ඇත.
      එය සිංහල ජනතාවගේ මෙන්ම සිංහලය (ශ්‍රී ලංකාව ලෙස වර්තමානික ව්‍යවහාර) නම් රටේ ලේඛනගත වාර්තාවයි. ඒ ගැන මට වාදයක් නැත.
      නමුත්, මහාවංශය ලියනලද මහානාම හිමි ඇතුළු පසුකාලීන ලේඛකයන් එය තමන්ගේ දේශපාලන දැක්මෙන් ලියා ඇති බව සහ තමන්ගේ පාර්ශවය වර්ණනා කිරීම නිසා මහාවංශ කතෘවරුන්ගේ පාර්ශවයන්ට පරිබාහිර පාර්ශවයන්ට අසාධාරණයක් වී ඇති බව මගේ හැඟීමයි.
      උදා:-
      මහාවංශයේ වීරයා දුටුගැමුණු රජුය. ඔහු වීරයෙකි, ඒ පිළිබඳ විවේචනයක් නැත.
      නමුත් තව වීරයෝ සිටිති. එහෙත් ඔවුන් දුටුගැමුණු රජු ලෙසම ඉස්මතු නොවේ.

      දුටුගැමුණු රජුගෙන් පසු (සිංහල නියමය අනුව රජපවුලක රාජ්‍යත්වය (මම දන්නා පරිදි) පියාගෙන් පසු අයියාට, අයියාගෙන් පසු මල්ලීට, මල්ලීගෙන් පසු අයියාගේ පුතාට) රාජ්‍යත්වය සාලිය කුමරුට උරුමය. එහෙත් එය නොලැබෙන්නේ සාලිය සැඩොලියක් සරණපාවාගත් නිසාම නොවේ, සාලියගේ මව රජපවුලක ගැහැණියක් නොවූ නිසාය.
      ඇයද රජපවුලට සාපේක්ෂව අඩුකුලයක වීමයි.


      මහාවංශයේ දුෂ්ටයෙකි, සීගිරි කාශ්‍යප රජු. ඔහු පීතෘ ඝාතකයකු ලෙස කොන්කර හෙලාදැක ඇත. (ප්‍රබලව නොකියන හේතුව ඔහු ධාතුසේන රජුගේ යකඩ දෝලිය/ බිසව (සමහර විට හීන/ අඩු කුල ???) ක වීමයි.

      ඔබට පෙනේද මහාවංශයේ පාර්ශවික බව????
      ඕනෑම වාර්තාවක් වාර්තාකරුවකුගේ සමාජ පන්තිය අනුව විවරණය වනු මිසක නිවැරදි සත්‍යය වාර්තාවනු ඇතැයි සිතිය හැකිද??
      සත්‍යය වාර්තාකරනු ඇත, නමුත් වාර්තාකරුගේ සාමාජීය ආකල්ප එම සත්‍යය තුල කලවම්ව ඇත.
      එබැවින් අප අත්දකින්නේ නිවැරදි වූ සත්‍යයම නොවේ.

      රතු රජරට සහෝදරයා ගේ මෙම බ්ලොග සටහනට පාදක වූ
      ඇනෝ සටහන ලියූ බත්ගමයා....

      Delete
    3. කඩයිම් පොත් විමර්ශනය පොත 1978 දී පමන නිකුත් වූ පොතක් බැවින් එය දැන් පොත් සාප්පු වල නෑ මම හිතන විදිහට. නමුත් එය කියවිය හැකියි (National Library and Documentation Services Board) හිදී.සුලු මුදලකට ඕනෑම අයෙකුට එහි සාමාජිකත්වය ලබාගන්න පුලුවන්.මෙය පැරනි ලේඛණ ගැන ලියවුන පොතක්.කුල ගැන ලියවුණු පොතක් නෙවේ.

      මහා වංශය මහා විහාර වැසි භික්ෂුවක් ලියූ නිසා එහි අභයගිරි විහාරයට සම්බන්ධ තොරතුරු අඩු ඇති. 5 වන සියවසේදී ලියවුනු නිසා ඊට පැරණි තොරතුරු ගොඩක් නිරවද්‍ය නැතිව ඇති. නමුත් ශිලාලේඛන සමග සැසදෙන නිසා එහි ඇති දේ බොරු යැයි කීමට මම ඉක්මන් වෙන්නෙ නෑ.කාශ්‍යප රජුගේ මව මා දන්නා විදිහට දකුණු ඉන්දීය පල්ලව රාජ වංශික කාන්තාවක්.

      Delete
  15. ඉන්දියාවේ හෝ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් අතර තරම් දරුණුවට සිංහලයන් අතර කුලබේදය නැති එක ගැන ගොඩක් සතු‍ටු වෙනවා. ඒත් කුල බේදය ප්‍රතික්ශේප කරපු දර්ශනයක් පිලිපදිනවා යැයි කියා ගනිමින් කුල අනුව මහණ වෙන ලංකාවේ සංඝ සමාජය ගැන නම් ඇත්තේ නොපැහැදීමක්...

    ReplyDelete
  16. ඇනෝ සටහන හි රචකයා ලියයි.

    Anonymous - December 26, 2012 11:09 PM රචකයා ලියූ කරුණ මාගේ මතවාදයට අනුරූපීව ඇතැයි සිතමි. එනම්, කාලානුරූපීව සම තැනක තිබූ බත්ගම කුලය පසුව පහලට වැටී ඇති බවයි.

    මා අකුරු කල සටහන ට නව ප්‍රවේෂයක් ලැබීමගැන සතුටුයි.
    නමුත්, මෙම සංවාදය කිසිම තරාතිරමක අයකුට අපහසුතාවයක් නොවන ලෙස ඉදිරියට පවත්වාගැනීම යහපත් කාර්යයක්.

    රතු රජරට සහෝදරයා ඇතුළු සියළුම අදහස් දැක්වූවන්ටත් ස්තුතියි.

    රතු රජරට සහෝදරයා ගේ මෙම බ්ලොග සටහනට පාදක වූ
    ඇනෝ සටහන ලියූ බත්ගමයා....

    ReplyDelete
  17. කුල භේද ඉස්සර මහා ඉහලින් පිළිගත්තාට අද කාලේ ඒ ගැන එච්චර තැකීමක් කරන්නේ නෑනේ. නැත්තෙත් නැ....සමහර කසාද කෙරෙනකොට, එතකොට කිරි අම්මා දානයක් දෙනකොට (ගම්වල) ඕවා හොයල බලනවා හැබැයි ඒ හොයන්නේ ඒ වැඩේට විතරයි, එහාට ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒ කුලයට අදාළ නොවුන කියලා ඒ අයව කොන් කිරීමකට නම් පත්කරන්නේ නෑ කවුරුත්. ...ඉස්සර උසස් කියලා හඳුන්වන කුල පරම්පාරවල උදවිය පහත යයි කියන කුලවලට අදාළ ගෙවල් වලින් වතුර උගුරක්වත් බොන්නේ නෑලු..


    මම නම් ඔය වර්ගීකරණයන්ට කොහෙත්ම අමනාපයි.

    ReplyDelete
  18. කුල වාදයට මමත් කැමති නැත..
    කතා කරනවිට බොහෝ දෙනා එසේ කියන නමුත් (බොහොමයක් වැඩිහිටියන් ) හිත යටින් කුලවාදී ය...
    මහණ කර ගැනීමේදී පවා කුලය සලකා බලන බව මම අසා තිබේ .. පැහැදිලි හේතුවක් නම් නොදනිමි..

    ReplyDelete
  19. විෂය සම්බන්ධයෙන් "හදාරන" අයටනම් මේ පෝස්ට් එක හුගාක් වැදගත්,

    කෙසේ වෙතත් කුලවාදය; රටේ අන් ප්‍රදේශ වලින් ටික ටික ඉවත් වී මහනුවරින් සම්පූර්ණයෙන්ම වාෂ්ප වී යාමට නියමිතයි.

    ReplyDelete
  20. http://kathandara.blogspot.com/2012/12/beef-stir-fry.html?showComment=1356798946663#c6845254835028456690
    //මම කුලවාදයට තදින්ම විරුද්ධ කෙනෙක්//
    your objection is my ass...
    නුඹේ විරෝධතාවය මගේ පුකයි....

    //විජේවීරට තරමටම රටේ පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රවේණිගත උරුමයක් විජයටද තිබුණි. විජේවීර කරාව කුලයේ අයෙක් වූ ලෙසින්ම විජය ඊටද පහත් කුලයක් වශයෙන් සැලකුනු දුරාව කුලයේ අයෙක් වූයේය .ඒ යටතේ පීඩිත පන්තියේ තරුන ප්‍රජාවන්ට පසුවෙන්ම විජය වටා රොක් වීමේ පාර පෑදී තිබිනි //
    //ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?//

    මා හට නුඹ වැනි නීචයෙක්ගේ බ්ලොගයක් කියවීමට මාගේ කාලය වැයකල නොහැකි බැවින් අහම්බෙන් මුනගැසුනු දෑ පමනක් පල කරමි....

    මා කුඩාකාලයේ පටන් විවිධ මිනිසුන් " මම බය නෑ, බොරු කියන්නේ නෑ, ඉරිසියා කරන්නෙ නෑ" යනුවෙන් පවසනු දැක ඇත්තෙමි..... නමුත් සත්‍යය නම් මේ අයුරින් නැතැයි පුනරුච්චාරනය කරන දේවල් ඔවුන්ගේ සිරුරට මුල් බැස ඇති බවයි....
    ඔබගේ කුල වාදයත් එසේය...

    කුල වාදය පිටු දැකීම කල යුත්තේ එය දෙලුම් ගෙඩියක් ඇටෙන් ඇටය රසකරමින් කන අයෙක් සේ විශ්ලේෂණය කරමින් නොව එය අලුයම ලූ කෙල පිඩක් සේ සලකා කාරා ඉවත ලීමෙනි....

    ඉහත දැක්වූ පරිද්දෙන්ම නුඹවන් නීච යෙක් හා තර්කය මාහට තරම් නොවේ...

    නමුත් නුඹ වැන්නවුන් බ්ලොග් මගින් සමාජ ගත කිරීමට උත්සාහගන්නා වූද, දැනට මැකීයමින් පවත්නා වූද, ගෝත්‍රික සමාජයක් සතුවූ, ඒ පසුගාමී සිතුවිලි වල දැමිය යුතු යැයි හුවා දැක්වීමට මෙම සටහන පල කලෙමි...

    ReplyDelete
    Replies
    1. මා නීචයෙක් යැයි හදුන්වමින් කොමෙන්ට් කරන ලද ඔබට ස්තූතියි. නමුත් මගේ පෝස්ටුවල ඇතැම් කොටස් උපුටා දක්වමින් ඔඅබ කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද?
      ඉහත සටහන් ඔස්සේ මෙ බ්ලොග් සටහන් කියවූ වෙනත් අයට ගම්‍යමාන නොවූ කාරණාවන් ඔබට පමණක් පැහැදිලිව පෙනෙන්නේ ඔබට අප වැනි නීචයන්ට නොමැති සුවිශේෂී වටහා ගැනීමේ නුවණක් පවතින නිසා විය යුතුය.

      මතක තබාගන්න, ඔබම කියාඇති පරිදි ඔබගේ වටිනා කාලය නොයොදවා මේ සටහන් කියවා ඇත්තේ අහම්බෙනි .අහඹු කියවිමකින් ,එම ලිපිවල සමස්ථාර්තයන් මතුකර ගන්නේ කෙසේද?

      බලන්න ඔබ උපුටා දක්වා ඇති කොටස් //පහත් කුලයක් වශයෙන් සැලකුණු //
      මෙම කොටසේ ඇති වරද කුමක්ද ? සමාජ විද්‍යා විශයය ක්ෂේත්‍රයෙහි කුලය හා පංතිය යන්න තීරණාත්මක සාධක දෙකකි.සමාජ ස්තරායණය යනු සමාජයේ උස් මිටිකම් සංවිධානය වී ඇති රටාව හෙඅවත් ක්‍රමයයි.මාක්ස්, මැක්ස් වේබර්, විල්ෆ්රිඩෝ පරේටෝ වැනි සමාජ විදයාඥයන් මේ සමාජ ස්තාරයණය පිළිබදව අදහස් පළකර තිබේ, ලංකාවේ සමාජ ස්තරායණ සාධක වන්නේ
      1 ..පුමිතිරි බව
      2. වයස
      3. කුලය
      4. ජනවාර්ගිකත්වය
      5.පන්තිය
      යන ඒවායි. සමාජ විද්‍යා විශයය පිළිබදව යාන්තමින් හෝ වැටහීමක් ඇති අයෙකුට නම් මේ කාරණා පිළිබදව සාකච්චාකිරීම වටහා ගත හැකිය, නමුත් මා වැනි නීචයන්ගේ බ්ලොග් කියවීමට කාලය වැය නොකරන ඔබ වැනි අති පණ්ඩිතයන්ට ඒ කාරණාවන් අවබෝධ නොවීම පුදුමයක් නොවේ.

      ලංකාවේ කුලය යන සාධකය පිළිබදව සාකච්ජා කරන ම නීචයෙක් නම් මෙම කාරණා ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යනය කිරීමට මග පෙනවන ආචාර්‍ය මහාචාර්‍ය වරුන් මෙන්ම ශිෂ්‍යයන් ද ඒ ගොඩට අයත් විය යුතුය,
      පණ්ඩිතයාණෙනි කියවන්න -
      -ජයදේව උයන්ගොඩ //ගේ ඇතුළේ මැද මිදුලේ //කුලය, සාධාරණත්වය සහ සමානාත්වය පිළිබදව ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව/ ප්‍රවාද/ අප්‍රේල් දෙසැම්බර්/ 2000

      ""සිංහල හා දෙමළ යන සමාජ නිර්මිතයන් දෙක තුළ සමාජ අසමානාත්වයේ අත්‍යන්ත ප්‍රකාශයන් ප්‍රායෝගිකවම පවතින බව පෙනෙන්නෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය හා පශ්චාත් යටත් විජිත ධනවාදය හා නීතියේ ආධිපත්‍ය අනුගමනය කරන ලිබරල් ආණ්ඩු තන්ත්‍රයක් යටතේ පවා යළි යළිත් මතුවන කුල සම්බන්ධතා තුළය.එහෙත් ලංකාවේ අත්දැකීම්වල ඇති එක් සුවිශේෂීතාවයක් නම් ප්‍රගතිය සම්බන්ධයෙන් අප රට තුළ වරින් වර මතුවන දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ කුල ක්‍රමය පදනම් කොටගත් සමාජ අසමානතාවය සමාජමය කොන්කිරීම යන ප්‍රශ්න විව්තෘව සාකච්ජා නොකිරීමය"

      ජයදෙව උයන්ගොඩ මේ කියන්නේ ඔබ කියනා ආකාරයෙන් දෙළුම් කනවා සේ මේ ගැටළුව විසදන්නට නොහැකි බවයි.

      තව කියවන්න-
      දේශපාලනයේ කුලය හා පවුල //වික්ටර් අයිවන්
      ""උපසම්පදාව ගොවිගම කුලයේ භික්ෂූන්ට පමණක් ලබාදෙන ප්‍රතිපත්තිවලට එරෙහිව නැගී සිටි වෙනත් කුලවලට අයත් භික්ෂූහු පවා තමන්ට උපසම්පදාව ලබාගත හැකි විකල්ප නිකාය ක්‍රමයක් ඇතිකරගැනීමෙන් තෘප්තිමත් වූවා මිසෙක ඊට එරෙහිව සටන් කරන්නට නොගියහ"

      මේකද මහත්තයෝ ඔබ කියනා දෙළුම් කන ක්‍රමය?

      අන්තර්ජාලයේ ලියන්නට හැකිවූවාට. තම පුද්ගල අන්න්‍යතාවය සගවාගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබූවාට ,පුහු අහංකාරයකින් හිස උදුම්මාගෙන උන්නාට නොදන්නා කාරණා ගැන ද්වේශ සහගත ලෙස තප්පුලන්නට එපා යැයි බොහෝම් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ වැනි අයෙකු සමගින් තර්ක කිරීමට මටද කාලවේලාවක් නොමැති වුවත් ඔබ ප්‍රකාශකර්න්නට උත්සාහ කරන නිරර්ථක අරුත් සුන් අදහස් වල නිරුවත් බව හෙළිකිරීමට මෙසේ ලියන්නට සිදුවිය.

      Delete
    2. දෙන්නම හරියට නොදන්න බව පෙනේ. අපේ සමහර උරුමයන් වෙනස් කිරීමට හැකි නම් අපේ හිස වෙනුවට අලි ඔළුවක් සවි කල දරුවකු වුව ඉපදීම කල හැක. මේ ගැන පසුව කීවද, ඊට කලින් සිංහලයන් කියන්නේ කවුදැයි තේරුම් ගත යුතුය. බල්ලා කිසි දිනෙක නරියකු නොවන්නේ ඇයි දැයි දනී නම් සිංහලයන් සතු දෑ ද ලැබුනේ කෙසේ දැයි දත හැක.

      Delete
  21. අපොයි .......... මොනවත් නොකියා ඉන්න එක හොදයි වගේ

    ReplyDelete
  22. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  23. සමහර විට කුලවාදය සම්පූර්ණයෙන්ම තුරන් වෙච්ච දවසක, ඉතිහාසය හදාරනවා වගේ ඔය කුල බෙදිලා තිබ්බ හැටි නිවිහැනහිල්ලේ කියවන්න හැකි වේවි. කුලය ගැන කිසිම සැලකිල්ලක් නැති නිසා සහ කතා කිරීමම අප්‍රිය මාතෘකාවක් නිසා අඩක් කියවා නවතා දැමූවෙමි. අඩුම ගණනේ මගේ කුලයවත් මම නොදනිමි. දැනගන්නට ආසාවක්ද නැත.

    කෙසේ වෙතත් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පැතීමටත්, මගේ ඉල්ලීමකින් පවා තොරව මගේ බ්ලොග කමත සින්ඩියේ එල්ලීම පිළිබඳ ස්තූති කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

    ReplyDelete
  24. අපිත් එකක් නැතිනම් තව ක්‍රමයක් හොයනවා නේද බෙදෙන්න?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  25. කුලහීන යයි කියන පිරිස සංඛ්‍යාත්මකව වැඩි පෙදෙසක කටයුතුවලදී කුලීනයන් අසාධාරණයකට ලක් නොවන්නේද?

    රතු රජරට මේ ගැන ඔබගෙ අදහස කුමක්ද?

    ReplyDelete
  26. උඹට මතකද මචන් අපි පොඩි කාලේ තිබ්බ "දුටු ගැමුණු" රජතුමාගේ ජීවිත කතාව තියන පොතක තිබ්බා දුරාව කුලය හදුනා හැටි.

    විහාර මහා දේවිය හුදු හුරා කුලයේ.ඉතින් දුරාව කුලය හැදෙන්නේ.

    හුදු හුරා -> උදු හුරා -> උදු රා -> දුරා

    (ඔය නිසාම තමයි එක විකාර අමත්යාචාර්ය කෙනෙක් තමන් දුටුගැමුණු රජුගෙන් පැවතගෙන එනවා කියන්නේ)

    ReplyDelete
    Replies
    1. දුරා කියන වචනෙ හදන්න ඔය තරම් දුර පාරක යන්න ඕනෙ නැහැ. "ධුර" කියන වචනයෙන් අදහස් වෙන්නෙ "නිලධාරියා" කියන එකයි. ඒක තමයි දුරා වෙලා තියෙන්නෙ.මේ ඇමති කියන දේ හරි කියලයි මට කියන්න තියෙන්නෙ.

      Delete
    2. @ඇනෝ නොදන්නා මගුල් කියවන්න එපා බන්.උඹ කුල හීන මානෙන් පෙලෙන එක හරි ඒ උනත් එහෙම උනාය කියල මේ තියන සිංහල වෙනස් කරන්න යන්න එපා .ලංකා ඉතිහාසේ කුල දුරාවලියේ කිසිම තැනක දුරාව කුලය පහතට හෙලීමක් ගැන කියවිලා නෑ.වෙන දෙයක් තියා දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ මුල් භූමිය වෙච්ච මාගම් රාජධානිය අවට පවා වර්තමානයේ දුරාව කුලේ අය හොයා ගන්න අඩුයි.ඒ මොකද කියනවා නම් එහෙම වෙන්නේ දුරාව කියන කුලේ පැරණි රැකියාව රා නිෂ්පාදනය නිසා ඒ ගොල්ලේ ගොඩක් හිටියේ පොල් ගස් වැඩිපුර තියන තැන වල.යටත් විජිත් පාලන කාලවල අරක්කු නිෂ්පාදනයට ඇති ඉල්ලුමත් එක්ක ඒ ගොල්ලෝ තවත් සුද්දන්ගේ පාලන ප්‍රදේශ වලට ආවා.උදාහරණයක් කියනවා නම් ඒ නිසා තමයි මාතර නගරය අවට දුරාවේ අය වැඩි.

      "ධුර" කියන්නේ නිලදාරියා නම් උඹ කියන විදියට, යකෝ අපි ඉගෙන ගත්ත සිංහල ඔක්කොම වැරදි නේ.ධුර කියන එක බිඳිලා දුරා හැදෙනවා තමයි හැබැයි ඒ තව නාම පදේකුත් එක්ක වෙදදුරා / රියදුරා / ඇදුරා වගේ ඒවා.ධුර කියන එකේ නියම අර්ථය ධුර්තයා කියන එක නැත්තම් දරන්නා/යෙදෙන්නා කියන එක.

      මම කුල වාදියෙක් නෙවෙයි ... එහෙම උනාය කියලා ගල පැලෙන බොරු කියන්න දෙන්නත් බෑ.... :D

      Delete
    3. කුල හීනමානය වගේ දේවල් කියල මතවාද යටපත් කරන්න හදන්න එපා. පොල්ගස් වැඩිපුර තියෙන තැන්වල දුරාව කුලයේ අය වැඩිපුර හිටියනම් ඒ අය වැඩිපුර ඉන්න ඕනෙ මාතර නෙවේ පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව.මාතර කියන්නේ මාගම් පත්තුවට වැඩි දුරක් තියෙන පැත්තක් නෙවේ. අනික් අතට "දුර" කියන කුලයක් උඩරට පළාත් වලත් තියෙනවා. බෝධි වංශ නමින් හඳුන්වන්නේ එම කුලයයි.ඒ කුලයේ අය රා පෙරන්නේ නෑ."ධුර" කියන වචනය ඔබ කියන විදිහටත් යෙදෙනවා තමයි. නමුත් තනිව යෙදෙන විට "නිලය" කියන අදහසත් එනවා. උදාහරණයක් විදිහට "මහා නායක ධුරය" කියල කියන්නේ මහා නායක නිලය නෙවේද?.

      Delete
  27. පළමු ආගමනය විය යුතුයි.....

    ලංකාව කියන්නෙ ජාතියටත් වඩා කුලයට මුල් තැන දීපු රටක් නෙ...
    ඇත්තටම ඒ ගැන සෙවිය යුතුයි...
    ස්තුතියි පෝස්ටුවට

    ReplyDelete
  28. මම මේකට ප්‍රතිචාරයක් දාන්න හිටියේ. ඒත් තැනින් තැන කියනවාට වඩා මගේම බ්ලොගේක (http://sinha-ali.blogspot.com.au/) දාන්න හිතල ඒ අදහස අත හැරිය. මම කියන දේවල් සියල්ලම සිංහල අයගේ දේවල්. සිංහලයන් සතු කුල ක්‍රමය ගැන වසර තිස් දහසක ඉතිහාසය එක්ක සැබෑ තොරතුරු කියනවා. ඒ වගේම තමන්ගෙ කුලය ගැන ආඩම්බර වන අය සමඟ මෙන්ම පවතින ක්‍රමයට ද්වේශ නොකරන අයගෙන් තමන්ගෙ කුලය ගැන අදහස් දැනගැනීමටත් කැමතියි. තමන්ගෙ කුලය ගැන කලකිරුනු, අනුන්ගෙ කුලවලට ද්වේශ කරන උන්, දඬුවම් ලැබුවන් හෝ සංක්‍රමණිකයන් ය. විශේෂයෙන් ම දෙමළුන් කරන දේ අනුව සිංහල කුලවලට දැමීම නිසා, උන් හිටි උස් පහත් කුල ක්‍රමයේ විදියට පහළට වැටීම නිසා, මේ තමන්ගෙ කුලය ගැන කලකිරුනු, අනුන්ගෙ කුලවලට ද්වේශ කරන උන් බිහිවුනා. දෙමළුන් රජ කරපු පසුගිය වසර 2600 තුල ආනයනය කල දෙමළුන්ගෙන් සිංහලේ හැම කුලයම පුරවා තම අස්ථාවර බව වැසීමට වෙර දරා ඇත.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. සරසවි බත්ගමයා,
    ලොවට සේල හෙවත් රෙදි සැපයූ සේල දේශයේ පධාන ගෝත දෙකින් එකක් වන යක්ෂ ගෝතික වර්ගයාගේ කර්මාන්ත දහයක් තිබුණා. යුධ කර්,ම වඩු කර්ම, ගෘහ නිර්මාණ, ජ්‍යොතිෂ, වෙද කර්ම, රෙදි කර්ම (කපු කටිමින් සිටි කවේණිය පවා) ඉන් සමහරක්. නමුත් විජයගේ ආගමනයෙන් හා ඉන් පසුව පැමිණෙන විදේශ ආගමනයන් සමග මෙම කර්මාන්තවල නියැළි පිරිස් ද සේල දේශයේ පදිංචි වුණා ඔවුන්ට අවශ්‍ය වුණා මෙහි සිටි පිරිසට වඩා වැඩි වරපසාද රජුගෙන් ලබා ගැනීමට. ඔවුන් රජුගෙන් ඉල්ලා සිටියා වරය දෙන මෙන්. ඒ අනුව රජු විසින් සේල දේශයේ සිටි ගෝතික ජනයාට බත්ගම නම් අඩු සමාජ පන්තියක් ද, පිටින් ආ ආර්යයන්ට ගොවිගම නම් වැඩි සමාජ පන්තියක් ද හිමි කර දෙනු ලැබුවා. එසේ නම් සේල දේශයේ සැබෑ උරැමකරැවන් කවුරැන් ද?

    ReplyDelete
  31. කුලයෙන් හීන,තමාට උවමනා සේවාවක් සපයන්නා කුල පිළිවෙතකට හසු කර ඔහුට සහ ඒ සේවයට කෘතඥ වීම වෙනුවට ඒ සේවය බාල්දු කරමින් ඔහුටත්, ඒ සේවයටත්. අපහාස සහ අඩන්තේට්ටම් කරන සේවා යෝජකයාද? නැත්නම් සේවකයාද? මේ විදිහට කල්පනා කර නම් වෙනස් නොකර උන්නොත් අද පරම්පරා හැසිරෙන විදිහ සලකා ඇත්තෙන්ම උසස් කවුරුන්ද කියා තක්සේරු කළ හැකියි. රාජ කුමාරවරුන්ට උරුම දඩයම වැනි ක්‍රීඩා මිහිඳු හාමුදුරුවන් විසින් පිළිගත්තේ කොහොමද? මම හිතා ගෙන උන්නේ අපි පාසැල් යන කාලෙදිම ඔය කුල භේද නැති වුණ බවයි.

    ReplyDelete
  32. මට පුංචි දෙයක් දැනගන්න තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තයක් දෙන්න. ලංකාවේ මැතිවරණ කොට්ඨාස බෙදීමේදී කුල සාධකයට වැදගත් තැනක් දීම සම්බන්ධව සහ ලංකාවේ එක්, එක් මැතිවරණ කොට්ඨාසවල පවතින කුල පදනම ගැන ලියවිච්ච පොත් ගැන කියනවාද? ඒ පොත්වල නම සහ රචකයන් ආදිය.

    ReplyDelete
  33. කුළය මමත් ප්‍රතික්ෂේප කරණවා

    ReplyDelete
  34. බත්ගම යනු ඉතා උසස් කුළයක්,ඔවුන් අසුරයන්ගෙන් පැවත එන රාවණා පරපුරේ යක්ඛ ‍ගෝත්‍රිකයන් ගෙන් පැවත එන බව පී.බී මාන්නෑව මහතා විසින් රචිත ලග්ගල ජනවහර නම් පර්යේෂණ ග්‍රන්ථයේ සදහන් වෙනවා.අසුරමාන පේඩීගේ හා අසුරමාන දේවගේ යන වසගම් සහිත පිරිස් අදටත් ලග්ගල ප්‍රදේශයේ ජීවත් වන බව ඔහු පවසනවා.ඒ අනුව පෙනී යන්නේ මෙම කුළය ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතිබවයි.පුලස්ති ඍෂිවරයාගෙන් පැවත එන සිංහල වෙද පරපුරේ මුල් පුරුක් බත්ගම කුළයෙන් පැවත එ්ම මෙයට කදිම නිදසුනක් වේ.දේවානම්පියතිස්ස රජුගේ සමයේ බලත්ත කුළිකයන් යනු මෙම බත්ගම කුළයයි.එය එකල වංශවත් කුළ අතර රාජකීය තනතුරු හෙබවීම නිසා මොවුන් කුලිංග කුලිකයෝ ලෙසද හදුන්වා ඇත.පද්දා යන්න වර්ථමාණයේ බත්ගම ජනයාට පටබැදියද එය ‍වෙනත් කුළයකට අයත් දෙයකි.බත්ගම යනු සිංහලයන්ගෙන් පැවත එන පෞඩ ජාතියක් බවත් "පදු" යන්න බත්ගමයන්ට අයිති වචනයක් නොවන බවත් මෙම වචනයෙන් බත්ගම ජනයා ආමන්ත්‍රනය නොකරණ ලෙසත් හන්දුරු පුරාණයේ එයට පැහැදිලි ෂාක්ෂි ඇති බවත් පෙන්වා දෙමි.
    කුල මළ හා වංශ කියා මුළු සිංහලයන් වන සලා
    නම් ගම් හා දස ධර්මෙන් සිංහල සිරිත් වන සලා
    මහාවංශ කියා පොතක් ලිව්වා ශිව ග්‍රන්ථ වනසලා
    තවත් මුන්ගෙ ගෙරිපදුනම බත්ගමුන්ට කිව්වෙ සකලා

    සොලී රටේ ගව සොරකමසිංහල බත්ගමුන්හට පෙරලූව
    විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරු කෙරුව
    යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
    ගෙරි පැදි රැළ මේ විලසට මුව සිංහලයම දිනපුව

    ReplyDelete