Google+ Followers

2012/12/03

කව්වාලි ගායනාවන් විශ්ව කරළියට රැගෙන ආ පොතේ ගුරා



පාකිස්තානය කියූ පමණින් අපගේ සිහියට නැඟෙන්නේ යුද ගැටුම්, කැරැලි කෝලාහල සහ දුක්කම්කටොලුවලින් පිරී ගිය රටක්. එහෙත් අද අපේ කතානායකයා වන 'නුස්රාත් ෆටෙහ් අලිඛාන්' යන නම සබැඳෙන්නේ ඉස්ලාම් 'සූනි' නිකාය සහ බැඳුණු සාම්ප්‍රදායික කව්වාලි ගායනාවන් ලෝකය වෙත ගෙන ගිය සුමධුර - තියුණු හඬ ස්වරයක් සතුවූ විශිෂ්ට ගායකයෙක් වෙතය.

ජාත්‍යන්තර ටයිම්ස් සඟරාවෙන් ආසියානු ශේ‍ර්ෂ්ඨයන් අතරට නම් කරන ලද 'නුස්රාත් ෆමෙහ් අලිඛාන්' සමඟ පාකිස්තානයට ඇති සම්බන්ධ වන්නේ මෙම සුලෝලිත හඬ පෞරුෂයක් හිමි ශේ‍ර්ෂ්ඨ සංගීතඥයා ගොරහැඩි පාකිස්තානයේ සහජාත පුත්‍රයෙක් වීමයි.

නුස්රාත් උපදින්නේ එවකට නොබෙදුණු ඉන්දියාවට අයත් ලයිලාපූර් හෙවත් වර්තමානයේ ෆයිසලාබාද් ලෙසින් පාකිස්තානයට අයත් ප්‍රදේශයේ. ඒ 1948 ඔක්තෝබර් මාසයේ 13 වැනි දින. නුස්රාත්ගේ පියා වූ 'ෆටෙහ් අලිඛාන්' සාම්ප්‍රදායික 'කව්වාලි' සංගීතඥයෙක්. පාරම්පරිකව 'ෆටෙහ් අලිඛාන්' පවුලට කව්වාලි සංගීත සම්ප්‍රදාය සමඟ අවියෝජනීය තදන්තර බැඳීමක් පැවතුණු මුත් පවුලේ පළමු පිරිමි දරුවා වූ නුස්රාත් එම සාම්ප්‍රදායික සංගීත වෘත්තියෙන් අෑත් කර තබන්නට ඔහුගේ පියාට ඇවැසි වුණා. ඒ එවකට කව්වාලි සංගීතවේදීන්ට සමාජය තුළ තිබූ අඩු පිළිගැනීම 'ෆටෙහ් අලිඛාන්' විසින් මනාව අත්දැක තිබූ නිසයි. ඔහුගේ සිහිනය වූයේ නුස්රාත් වෛද්‍යවරයෙක් කිරීමටයි.

නමුත් ගහේ කටු උල් කරන්නට අවැසි නොවන බැව් පෙන්වමින් නුස්රාත් ගේ සංගීත ප්‍රතිභාව පියාගේ වෙදැදුරු සිහිනය වසාගෙන වැඩෙමින් තිබුණා.
අවසානයේදී නුස්රාත්ගේ පියා ඉතාමත් නුවණැති තීරණයක් ගනිමින් පවුලට උරුම සංගීත ඥානයෙන් තම පුත්‍රයාව පෝෂණය කරන්නට අරඹනවා. ප්‍රථමයෙන්ම තබ්ලා වාදනයට අත හුරු කරගන්නා නුස්රාත් දෙවනුව උත්තර භාරතීය සංගීතයේ 'ඛයාල්' සම්ප්‍රදාය ගායනයට හුරුවනවා. නමුත් තම පියා යටතේ සංගීත අභ්‍යාසයේ යෙදීමට නුස්රාත්ට ඉඩකඩ ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. ඒ 1964 දී සිදුවන පියාගේ අභාවය නිසයි. එවිට නුස්රාත්ගේ වයස අවුරුදු දහ හතරක්. පියාගේ මරණය නුස්රාත්ට තදබල පහරක් වුවත් ඔහුගේ සංගීත අධ්‍යාපනය එතැනින් නවතින්නේ නැහැ.

තම මහප්පා සහ කුඩප්පා වූ මුබාරක් අලිඛාන් සහ සලමන් අලිඛාන් යටතේ තම සංගීත ඥානය පරිපූර්ණ කරගන්නට නුස්රාත්ට හැකිවෙනවා. නුස්රාත්, අනාගතයේ දවසක අලිඛාන් සංගීත පරපුරේ ජගත් මුද්‍රාව බවට පත්වීමේ මං සලකුණ සනිටුහන් කරන්නේ තම පියාගේ මරණයෙන් දින හතළිහක් ගෙවුණු තැන ඉස්ලාම් බැතිමතුන් විසින් සාම්ප්‍රදායිකව පවත්වන සොහොන් බිම චාරිත්‍රයේදී පියාට උපහාරයක් වශයෙන් නුස්රාත් ඉදිරිපත් කරන ලද කව්වාලි ගායනාව ඔස්සේයි.
ක්‍රමයෙන් සංගීත ඥානයෙන් පරිපෝෂණය වන නුස්රාත් 1971 දී තම මහප්පා සහ පසුකාලීන සංගීත ගුරුවරයා වූ මුබාරක් අලිඛාන්ගේ අභාවයෙන් පසු පවුලේ කව්වාලි සංගීත කණ්ඩායමේ නායකත්වයට නිරායාසයෙන්ම පත්වෙනවා. ඊට සුදුස්සා ද ඔහු වනවා. නුස්රාත්ගේ පළමු ප්‍රසිද්ධ සංගීත එළැඹුම වන්නේ පාකිස්තානු රේඩියෝව මඟින් සංවිධානය කරන ලද වාර්ෂික සංගීත උළෙලකදී ඔහු තම කණ්ඩායම සමඟ කරනු ලැබූ ඉදිරිපත් කිරීමයි.

එලෙස ඇරඹුණු නුස්රාත්ගේ සංගීත මහෝඝය ඔහු ජීවත්ව සිටි වසර හතළිස් අටක් තරම් වූ කෙටි ජීවිත කාලය තුළ ලෝක සංගීත නිම්නය කලඹවමින් අනවරතව ගලා ගියා. රෝලින් ස්ටෝන්, එම්.ටී.වී. වීඩියෝ, ග්‍රෑමී සම්මානලාභී බටහිර ගායකයෙක් හා ගිටාර් වාදකයෙක් වූ ජෙෆ් බක්ලි වරෙක සඳහන් කළේ ඔහු මගේ එල්විස් (එල්විස් ප්‍රෙස්ලි) වන බවයි. බටහිර සංගීත ලෝකය තුළ මේ පාකිස්තානු සංගීතවේදියාට හිමිට තිබූ ඉඩකඩ වටහා ගන්නට එම හඳුනා ගැනීම අතිශය ප්‍රමාණවත් වනවා. ප්‍රකට ඒෂියා වීක් සඟරාවේ ලේඛකයෙක් වූ ඇලෙක්සැන්ඩර් සෙනෝ, නුස්රාත් ගැන මෙසේ ලියනවා.

නුස්රාත්ගේ හඬ හරියට මේ ලෝකයට අයිති නැති දෙයක් වගෙයි. ඔහුගේ වසර විසිපහක් තරම් වූ කෙටි සංගීත ජීවිතය අපව අමුතු හැඟීමක සිරකරනු ලැබුවා. ඔහුගේ පරම්පරාවේ වෙනත් කිසිදු ගායකයෙක් සිදු නොකළ අයුරින් නුස්රාත්ගේ කව්වාලි ගායනාවන් අපගේ බුද්ධිය සහ ප්‍රඥාව පුබුදුවනු ලැබුවා.

1985 දී ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ The Last Temptation of Christ චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහා බටහිර සංගීතවේදියෙක් වූ පීටර් ගේබ්රියෙල් සමඟ නුස්රාත් කටයුතු කරනු ලැබුවා. එමෙන්ම කැනේඩියානු සංගීතවේදියෙක් වූ මයිකල් බ්රූක් සමඟ මෙන්ම ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වූ ' පර්ල් ජෑම්' කණ්ඩායම සමඟින්ද කටයුතු කරනු ලැබුවා. පාකිස්තානු සිනමාපට කිහිපයකටද නුස්රාත් සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වූවා. ඔහුගේ බොලිවුඩ් සංගීත දායකත්වය ඉතා සීමාසහිත එකක් වුවත් ඒවා පහසුවෙන් මැකී නොයන නිර්මාණයන්.

ඔබට මතක නම් සුප්‍රකට ඒ 'දඩ්කන් ' චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරනු ලබන්නේ නුස්රාත් විසින්. එමෙන්ම සනී ඩියෝල් ප්‍රධාන භූමිකාව රඟපානු ලැබූ 'දිල්ලගී' චිත්‍රපටයේ ඩියෝල් වෙනුවෙන් ගීතයක් ඔහු ගයනවා. ඉන්දියාවේ පනස් වන නිදහස් සැමරුම වෙනුවෙන් ඒ. ආර්. රහ්මාන්ගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් නිකුත් කළ 'වන්දේ මාතරම්' ඇල්බමයේද නුස්රාන්ගේ උච්ච, මුවහත් හඬ සටහන් වී තිබෙනවා. එමෙන්ම රහ්මාන් යනු නුස්රාත්ගේ උන්මාදනීය සංගීත රසිකයෙක්.

නුස්රාත් ෆටෙහ් අලිඛාන් පාකිස්තානයේ සිට කුදු මහත් ලෝකය පුරාම සම්භාවනාවට පත් ගායකයෙක්. සාම්ප්‍රදායික කව්වාලි ගායනාවන් විශ්ව කරළියට රැගෙන ආ පොතේ ගුරා වූයේ ඔහුයි. ඔහු මියගිය වර්ෂයේ; 1997 මිය යන්නට පෙරාතුව නුස්රාත්ගේ Intozicated Spirit ඇල්බමය ග්‍රැමි සම්මානය සඳහාද නිර්දේශ වුණා. පාකිස්තානු සංගීතයට ඔහු කළ මෙහෙවර වෙනුවෙන් පාකිස්තානු ජනාධිපති සම්මානයෙන්ද නුස්රාත් පිදුම් ලැබුවා. 1995 දී යුනෙස්කෝ සංගීත සම්මානය, 1996 මොන්ටි්‍රයේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සම්මානය මෙන්ම ඔහු මිය ගොසින් වසර ගණනාවකට පසුව 2005දී බි්‍රතාන්‍ය ආසියානු සංගීත සම්මානයද නුස්රාත් ෆටෙහ් අලිඛාන් නම් මෙම ශේ‍ර්ෂ්ඨ සංගීතඥයා නම ඉදිරියේ ලියැවුණා.

වසර හතළිස් අටක් තරම් කෙටි ජීවිත කාල පරිච්ඡේදයකදී වෙනත් කිසිදු ආසියානු ගායකයකුට නොහැකි අයුරින් ජාත්‍යන්තර සංගීත ලෝකය වෙත සුවිශාල බලපෑමක් කරන්නට මේ සාම්ප්‍රදායික කව්වාලි ගායකයාට හැකිවුණා.

ලිපියේ මේ කොටස එකතු කරුනු ලැබුවේ හෂිතගේ කොමෙන්ටුව දුටුවායින් පසුවයි. ෆතෙහ් අලි ඛාන් ගේ හඩ පෞරුෂය කොතරම් උත්කර්ෂයට නැංවූවත් ඔහුගේ හඩ අසන්නට ඉඩක් ලබා නොදීම මහා වරදක් යැයි මට සිතුණා. එ නිසා ඔහු බැන්ඩට් ක්වීන් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල ගීතය අසන්නට මේ ලින්කුව ලබදෙන්නට සිතුවා .මෙතනින් ගිහින්  ඒ ගීතය නොමිලයේම බාගත කරගන්නට ඔබට පුළුවන්. 
චින්තක ටිකිරි බණ්ඩාර

22 comments:

  1. ෆතලිඛාන් ගේ කටහඬට වශී වුනාම කාලය යනවා දැනෙන්නේ නෑ. ඔහු බැන්ඩිට් ක්වීන් චිත්‍රපටියට කළ සාවරේ ගීතය කව්වාලි ෆියුශන් සංගීතයේ ඉම් කණුවක්. ඔහුගේ මරණින් පසුව රාහත් ෆතෙ අලි ඛාන් [අහන්න ඔ රෙ ප්‍රියා-ආජා නච්ලෙ චිත්‍රපටිය] ඒ උරුමය දිගටම ගෙනියනවා. කව්වාලි අහන්න කැමති කෙනෙක් අභිදා ෆර්වීන්, වඩාලි සහෝදරයින්, වැනි අයත්, හන්ස් රාජ් හන්ස් ආදී අයත් අහනවා නම් හොඳයි. අල්ලපු ගෙදර මොසාට් හෙවත්, රහ්මන් ජෝදා අක්බර් චිත්‍රපටියට ගායනා කළ ඛ්වජා මෙරෙ ඛ්වජා ගීතයත්, ඔහුම මීනක්ශි චිත්‍රපටියට නිර්මාණය කළ නූර් උන් අලා ගීතයත් මේ පාරේ හමු වෙනවා. ඉතා ජනප්‍රිය වූ සය්යෝනී ගීය ගයන ජුනූන් සංගීත කන්ඩායම කව්වාලි ෆියුශන් සංගීතය ගැන හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. හෂිත, ඇත්තටම මගේ දීර්ඝ පෝස්ටුව තුළ නොකියවුනු කව්වාලී සංගීත සම්ප්‍රදාය පිළිබදව හඹා යා හැකි මං ඔබ පාදා දී තිබෙනවා ..මම රසවතිය පැත්තේ නිතර යන එන අයෙක්, බ්ලොග් ලෝකයට ඔබ වැනි රචකයන් වැඩි වැඩියෙන් ඕනෑ කරන කාලයක නොලියා ඉන්න එපා. ඔබ රජරට පැත්තට ආ එක මට බොහොමත් සතුටක් .

      Delete
  2. වටිනා විස්තරයක්. mp3 එක ඩවුන්ලෝඩ් කරන්න නම් බැරිවුණා. ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. වීඩියෝ එකක් විදිහට තියන එක නම් අහන ගමන් මේ.

    ReplyDelete
    Replies
    1. මචං උඹට බොහොම ස්තූතියි. ඔන්න දැන් සිංදුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම හිතන්නේ

      Delete
    2. දැන් හරි මචං. ස්තුතියි ඒක හැදුවට!!

      Delete
  3. ඇත්තටම ඔබේ දැනුමත් එක්ක ඒ ගැන කතා කරන්න මට දැනුමක් නෑ..(ඒ දේ පිළිබඳ) නමුත් මේ විස්තරේ මගේ මෙමරියට දාගත්තා ඕං......

    ReplyDelete
    Replies
    1. අපොයි මට ඔය කියන තරම් දැනුමක් නෑ යාළුවා ..නමුත් මේ විස්තරය නම් වැදගත් තමා ..අන්තර්ජාලයෙන් තමා හොයාගත්තේ ..බොහොම ස්තූතියි ආවට මේ පැත්තට.

      Delete
  4. හොද ලිපියක්.ගායකයා ගැන අහලා තිබුනාට මේ තරම් විස්තර දැනගත්තේ අද.

    ReplyDelete
  5. කොමෙන්ටුව ස්පෑම් ගොඩේ හිරවෙලා තිබිලා දැනුයි ගොඩට ඇදලා ගත්තෙ මචං.

    ReplyDelete
  6. මගේ ප්‍රියතම ගායකයෙක්!! මේ සටහන දැක්කාම මට පුදුමත් හිතුණ... මං දන්නෙ නෑ රතු රජරට උතුරු ඉන්දියානු සංගීතය හදාරපු කෙනෙක්ද කියන්ඩ ඒත් යම් තාක් දුරකට හෝ හදාරා නැති අයෙක් ගසල් කව්වාලි අහන්ඩ පෙළඹෙන්නෙ හරිම කලාතුරකින්...ඒ විතරක් නෙවෙයි මේ ලංකාවෙ කෙරෙන වෙනත් රටවල නිර්මාණ අමු අමුවෙ කොපි කරල හදන ඒව තමයි නියම සංගීත නිර්මාණ කියල හිතං ඉන්න අයට අපි උතුරු ඉන්දියානු සංගීතයට ඇලුම් කරන්නෙ ඇයි කියන එකම ප්‍රශ්නයක්.. අර හෂිත යෝජනා කරල තියෙනවනෙ තවත් අය... අබීදා පර්වීන්වත් අහන්න...පෞද්ගලිකව මං වඩා කැමති ගසල්වලට සහ ථුම්රිවලට.... ඒවත් අහල බලන්ඩ... ථුම්රිවල නම් තරමක් ශාස්ත්‍රීය ලක්ෂණ වැඩියි.. ඒත් බාහිර ලෝකයේ සංකීර්ණබවෙන් කැළඹිලා ඉන්න අපිට ඒ බව මොහොතකට අමතක වෙලා ඒ හඬතුළ ගිලෙන එක පුදුම සැනසිල්ලක්!!

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයා කළ වැඩෙන් ටිකක කල් ඉඳලා අතපසු වුන වැඩක් ආපහු පටන් ගත්තා. බෙගම් අඛ්තාර් ගේ ගzසල් අහන එක. යූ ටියුබ් එකේ ඒ වෙනුවෙන් පිටුවක් ම තියෙනවා ක්ලිප් 130 ගාණක් එක්ක. මේ වගේ සංගීතය අහන එක වෙනමම මානසික අභ්‍යාසයක්. තම තමන්ට පුද්ගලිකව කරන්න පුලුවන්. මේ දවස් වල .. ගZසල් අසමින්...!

      Delete
    2. සමාවෙන්න හෂිත...මම හංසකිංකිණිම තමයි... වෙනත් මුහුණකින් ඇවිත් උත්තර දෙන්ඩ වුනේ වර්ඩ්ප්‍රෙස් එක්ක මේ සෙවුම් යන්තරේ ගැටලුවක් ඇවිල්ල හන්දයි... ඒ ගැටලුව නිසා ඊයෙත් උත්තරයක් ලියල අන්තිමට පල කරගන්ඩ බැරි වුණා.. කොච්චර දෙයක්ද ශාස්ත්‍රීය සංගීතය රස විඳින අය බ්ලොග් ලෝකෙදි මුණ ගැහෙන එක...!!

      බේගම් අක්තාර්ගෙ හඬ බොහෝ විට ගසල්, ථුම්රිවල පද මාලාවල තේමාව වෙන විරහවට වඩාත් ගැලපෙන හඬක්!
      මේ දවස්වල මං අහන්නෙ ජග්ජිත් සිං සහ චිත්‍රා සිං ගෙ ගසල්...( ඇල්බම් ගණනාවක් බාගත කරගන්ඩ පුලුවන් වුණා songs.pkවලින්)
      හැබැයි එයාලගෙ හඬ ඉන්දියානු වුණාට සංගීතය තරමක් බටහිර ආරකට යනව... ඒ ඔවුන් ජාත්‍යන්තර තලය කරා යද්දි සිද්ධ වෙච්ච වෙනස්කම් වෙන්ඩ ඕනෙ...ඒත් මං වඩා කැමතියි ගුලාම් අලි සහ මෙහ්දි හසන් කියන ගසල් ගායකයො දෙන්නට...
      ඔයා කියන්න වගේ ඒක වෙනම මානසික අභ්‍යාසයක්!! අපිට ජීවිතේ අතිශය සංකීර්ණ අවස්ථාවලදි පවා සමබරව ඉන්ඩ උදව් වෙන රස නොදන්නෙකුට වටහාගත නොහැකි තරම් ඖෂධයක්!!

      Delete
  7. ඇඅත්තටම ජනූ ,මම එහෙමටම උතුරු ඉන්දියානු සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මට හොද කණ්ක් තියෙනවා. වෙනස් විදිහේ ගීත නිර්මාණ ඇහුනු හැටියේ මම ඒ ගැන හොයනවා.ෆතෙහ් අලි ඛාන් ගැන දැනගත්තෙත් ,කව්වාලි ගායනාවන් ගැන දැන ගත්තෙත් එහෙම සොයා යන විටයි. මම අබීදා ෆර්වීන්වත් අහලා තියෙනවා ..සුපහන් හඩක්.
    මම දැක්කා ශාන්ත ආනාව ගැන ලියලා තියෙනවා. මමත් ආනාවෙ පුත්‍රයෙක් .

    ReplyDelete
  8. සහෝදර පාසලේ සගයෙක් හඳනාගන්නට ලැබීම සතුටක්!!
    සමාන රසවින්දනයක් තියෙන සහෘදයෙක් හඳනාගන්නට ලැබීම ඊටත් වඩා සතුටක්!!!
    ජය වේවා!!!

    ReplyDelete
  9. මචෝ එකම රසිකතාවයෙන් බැලුවම තමා මේක ග්‍රහනය කර ගන්නේ. මමත් ආසම වොයිස් එකක්.

    ReplyDelete
    Replies
    1. එකවගේ කුරුල්ලෝ එකම අත්තේ වහනවාලු.

      Delete
  10. Replies
    1. ස්තූතියි බොහෝමත්

      Delete
  11. කිසිදා අසා නොතිබුනු මිනිසෙක් ගැන කළ මේ දැනුවත් කිරීමට තුති..

    ReplyDelete
  12. නොදන්නා අයෙකු පිළිබද කදිම විස්තරයක්... ස්තුතියි රතු...

    ReplyDelete
  13. රාහත් ගෙ ඔ රෙ ප්‍රියා, ජුනූන් ලා ගෙ සය්යෝනි ගීත දෙක කව්වාලි නෙවෙයි, මම ඒ දෙක දැම්මේ ඒ අයට උදාහරණ විදිහට. ලාල් මෙරි පත්/ ධම් මස්ත් ඛලන්දර් නමින් හැඳින්වෙන ගීය මේ හැමෝම ගයන ජනප්‍රිය ඛවාලියක්.යූ ටියුබ් එකේ ඒ හැම එකක්ම තියෙනවා. වැරදි වැටහීමක් උනානම් සමා වෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ස්තූතියි හෂිත ඔබේ දැනුවත් කිරීම ගැන. මෙවැනි නිවරදි කිරීම් දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා. ඔන්න මම එම සඳහන් නිවරදි කරා.

      Delete