Google+ Followers

2014/08/27

කුරුල්ලනේ හැමදාමත් කුරුළු පාලුවට වහන්න.......

කුරුල්ලනේ  හැමදාමත් කුරුළු පාලුවට වහන්න.......

 බොහෝම දුර බැහැර මතකයක හිත පැටළුණේ මම ලියපු පරණ කවි පිටු දෙක තුනක් පිහිරද්දී.කවියකට අකුරු නොගළපාම කොයි තරම් නම් කාලයක් ගතවෙලා ගිහින්ද?  කාබන් බොඳ වෙලා ගිය කඩදාසිය කියවගන්න අමාරු වුණේ නම් නැහැ.
ඇළ අද්දර තුරු වඳුලේ 
හීතල හෙවණේ වැතිරුණ 
ළපටි අතින් අස්වැද්දූ 
'කුරුලු පාලුවේ ' ලියැද්ද 
පැහී කරල් බිමට නැවී 
සරුසාරෙට හිනැහෙන හැටි.
කුරුල්ලනේ හැමදාමත් කුරුලු පාලුව ට නොඑන්න 

පුංචි සන්දියේ කුඹුරු වැපුරුමට පස්සෙ හවසට කුරුල්ලන් එළවන්න යන එක අපේ අනිවාර්‍ය රාජකාරියක්. වපුරපු පැළ වී කන්න එන කුරුල්ලන් ගණන නිමක් නැහැ. ගිරව් තමා මූලිකයෝ. ඊළගට වටු කුරුල්ලෝ.උන් හරිම පුංචි සත්තු ජාතියක්. ලියද්දට වහන්නේ මහා සේනාවක් එක්ක.කතාවට කීවොත් උන් රංචුව පියාඹගෙන යද්දී මැවෙන හුළං පාරට අපේ කෙස් රොදවල් හුළගෙ ගිහින් ඇස් පියවෙනවා. නමුත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ. 


           
ඊළග අය තමයි වඩු කුරුල්ලො .අර හරි අපූරු කුඩු තනන ගෘහ නිර්මාණ ශිල්පියෝ.නමුත් එයාලා නම් මහ විශාල රංචු එක්ක ලියද්දට බහින්නේ නැහැ.තව ඉන්නවා වී කුරුල්ලො කියලා කොට්ඨාසෙකුත් හැබැයි මට නම් හැමදාම සැකයක් තිබුණා මේ වී කුරුල්ලෝ කියන්නේ වටු කුරුල්ලන්ටමයි කියලා හරිම එක වගේ. 

කුඹුරු අයිනෙ තිබුණු කුඩා දිය පාර දිගටම සාරෙට එක පොකුරට වැඩුණු වැටකෙයා පඳුරු තියෙනවා ඒ පඳුරු වල කටු සහිත කොළ කපාගෙන ගිහින් තමයි අපෙ අම්මලා පැඳුරු වට්ටි පෙට්ටි මලු වියන්නෙ.මෙ පඳුරු අස්සෙ ඉන්නවා කොරව්ක්කු ,මේ යක්කුත් එනවා ලියද්දෙ වී අහුලන්න.උන් පියාඹනවට වඩා වැඩි දුරක් ඇවිදිනවා මගෙ හිතේ. 

ඊළග අමාරුකාරයෝ තමයි කොබෙයියෝ. අප්පේ දෙන වදයක්.එක තැනකින් එළෙව්වට පස්සේ ආයිමත් කැරකිලා ගිහින් ඒ ලියැද්දෙම තව කොණක වහනවා. තව මොණරු  එයාලා එනවාට අකැමැතිම අපි නෙමෙයි අප්පච්චිලා. ඇයි ඉතින් වී කනවට වඩා උන්ගෙ ලොකු කකුල් වලට යටවෙලා ගොඩක් වි ඇට මඩේ කුණුවෙනවානෙ .

ලියැද්දට එන අනෙක් විනාසකාරයො ටික රාජකාරි බාර ගන්නෙ රෑට.මෙයාලට කියන්නෙ සේරු කියලයි.සමහර පළාත්වල සේරාවො කියන්නේත් මේ ඇත්තන්ටම තමා කියලයි මම හිතන්නෙ.

සමහර කාලවලට වැපුරුමෙන් පස්සෙ නොහිතූ විදිහට වහිනවා. ලියැදි වල වක්කඩ හිර කරලා තිබුණොතින් දෙයියන්ගේම පිහිටයි. ලියැදි වල වතුර පිරුණු හැටියේ සේරාවො රංචු පිටින් ඇවිදින් වපුරපුවී ටික කනවා. මේ සේරාවෝ වතුරෙ පාවෙනවා හරියට තාරාවෝ වගේ.
දැන් මම් මෙ හැමදේම කිව්වේ පූර්විකාව විදිහට.කුරුල්ලන් එළවන්නෙයි කියලා කුඹුරට ගියත් අපි ආසා කරේ උන් ඇවිත් වී කනවට.අපි විතරක් නෙමෙයි අපේ අප්පච්චිලත් කුරුල්ලො කුඹුරට එනවට ආසා කෙරුවා.අප්පච්චිලා අස්සැද්දුවෙ කුරුලු කොබෙයියන්ටත් එක්කමයි.හැම කුඹුරකම අන්තිම කෙළවරේ පුංචි ලියැදි දෙක තුනක් තිබුණා.ඒවට කිව්වෙ 'කනටි කෑලි' කියලයි.මේ කනටි කෑලි අපේ අප්පච්චිලා හැදින්නුවේ කුරුලු පාලුව කියලා.ඒ' තමයි කුරුල්ලන් ගෙන් අස්වැන්නට වෙන හානියේ පාඩුවෙ හිලව්ව .කවදාවත් ගොවිතැනේ මහ අස්වැන්නට මේ කුරුළු පාලුවේ ලියැදි වල අස්වැන්න අපේ අප්පච්චිලා එක්කාසු කරගත්තේ නැහැ.කුරුලු පාලුවේ අස්වැන්නෙ අයිතිකාරයෝ වුණේ පුංචි අපි.

මේ හැමදේම ත් එක්ක මට හිතුණෙ අපේ අප්පච්චිලාගෙ බොසත් ගුණය කොයි තරම් ද කියලයි. තමන්ගෙ අනිකා ගැනවත් නොහිතන ලොකේ කුරුළු කොබෙයියන්ගේ සාගින්න ගැනත් හිතන්න පුළුවන් කම බෝසත් ගුණය නෙමෙයි නම් වෙන මොකද්ද ? මම හැමදාමත්ම මාසයකට දෙකකට වතාවක් ගමේ ගිහින් එන්න යනවා. ඒත් කුරුල්ලො එළවන්න යන පුංචි උන් දැන් ගමේ දකින්න නැහැ.කුරුළු පාලුවේ ලියැද්දත් නැහැ.මට තේරුණා කුරුල්ලනුත් නැති වග.


25 comments:

  1. මොකක්ද බං මේ අකුරු වරිගේ..

    ReplyDelete
    Replies
    1. මොකක් වුනත් කියවන්ඩ හිතෙන්නැති එකක්.. නේහ් ?

      Delete
    2. දැං හොදයි.. මනරම්... අර සියළු සංස්කාරයෝ ගැන කියන කතා මේකටත් අදාලයි..

      Delete
    3. ස්තූතියි අඩුපාඩු පෙන්නලා දුන්නාට,
      දේශාටයි සෙන්නාටයි දෙන්නාටම

      Delete
  2. //මට නම් හැමදාම සැකයක් තිබුණා මේ වී කුරුල්ලෝ කියන්නේ වටු කුරුල්ලන්ටමයි කියලා ,හරිම එක වගේ.//

    වී කුරුල්ලො කියන්නෙ Munias ( L- Lonchura) ලංකාවෙ වර්ග 2-3 ක් ඉන්නව.
    වටු කුරුල්ලො කියන්නෙ වටුවොද? වටුව = quail කැලෑ වර්ග සහ ඇතිකරන වර්ගයක් ඉන්නව.
    snipe වගේ ජලාශ්‍රිත (shore) කුරුල්ලන් සමහරකටත් "වටුවා" නම කියනව.
    කුඹුරුවලට වැඩිවශයෙන් රංචු එන්නෙනම් වී කුරුල්ලො - Munias.

    ReplyDelete
    Replies
    1. වටුවෝ (quail) වී කන්න එන්නේ නෑ නේද? මම ලංකාවේදි එයාලා දැකලා තියෙන්නේ බිම දිගේ ඇවිදගෙන යනවා. මේ වෙද්දි වටුවෝ වගාවක් තමයි වෙන්නේ බිත්තර වලටයි දඩයම ටයි මා ඉන්න රටේ නම්.
      ලංකාවෙත් කීල්ස් එකේ නැත්නම් ආර්පිකෝ එකේ ඒ බිත්තර විකුණනවා දැක්කා.

      Delete
    2. ඒ බිත්තර දැක්කාම දුක හිතෙනවා නේ...:(

      Delete
    3. වටු බිත්තර දැං ලංකාවේ කර්මාන්තයක්.. බඩු තියෙනවා. වැඩේ .තියෙන්නේ එක පාර බිත්තර කීයක් කනවද කියල හිතාගන්න බැරි එක තමා...

      Delete
  3. දැන් ගමත් නෑ රතු ..හැබැයි මේක කියවද්දී මේ සින්දුව මතක් වුනා ..මොකක් නිසාද මංදා /

    පිළේ පැදුර හේනට අරගෙන එනවා
    එළා පැදුර මැද්දේ එහි සැතපෙනවා
    රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා
    ඉර පායා ඉර අවරට ගියාදෝ
    සඳ පායා සඳ අවරට ගියාදෝ
    හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
    හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
    ළමා ළපටි නෑනා කොයි ගියාදෝ
    ඔබේ කරට මල් මාලා ගොතන්නට
    මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
    උඹේ කටින් ගී සීපද අහන්නට
    උඹේ කටින් ගී සීපද අහන්නට
    තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
    පිළේ පැදුර හේනට අරගෙන එනවා
    එළා පැදුර මැද්දේ එහි සැතපෙනවා
    රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා

    ReplyDelete
  4. සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චි..අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාරවූ
    තුරුණු කෙත් වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම ඉඳිනා
    අප්පච්චී..අප්පච්චී

    මෙහෙවරට ආලයේ සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සඟවා
    අකම්පිත වත් පා
    අප්පච්චී අප්පච්චී

    සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චි අප්පච්චී

    ගායනය: කසුන් කල්හාර..

    ReplyDelete
    Replies
    1. සැබෑ සිංහල අවුරුද්ද ගැන ප්‍රේම් අතින් ලියැවුණු ගීතයක්....

      රනින් ඉරක් පායා ඒ එළියෙන්
      නැවුම් ලොවක් මිහි මත බිහි වී
      මඟුල් හඬින් නෑඹුල් පොළොවේ
      සතුටු උදානය සිත තුළ ඉපදී
      සිතින් සිතට පාවී නැළ වේ...

      කැපූ කරල් බර ගොයම් සුළං කර
      කුරුණි වලින් පුරවා
      කොටසක් අටුවෙහි අහුරා කොටසක්
      කිරිබතකට හරවා
      ගෙමිදුල වෙත එන නව හිරු එළියේ
      මාගල් පැදුර එලා
      ඉටු දෙවියන් යැද සව්දිය පිරුමට
      මුළු ලොව එකතු වෙලා...

      කිරල කැලේ බට කුරුලු කැලේ
      අලුත උපන් පැටවුන්
      අන්දර ගස් යට පිම්මේ ඉගිලෙයි
      පෙර නොහුරූ අයුරින්
      දොළොස් මහක් ජීවත් වූ ලෝකය
      අලුතින් අලුත් වෙලා
      තවත් අලුත් ලොවකට පිවිසෙන්නට
      ලොව ඉන් පිටත් වෙලා...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
      ගායනය : වික්ටර් රත්නායක

      Delete
  5. ආයෙත් ලියලා තියෙන්නේ බොක්කටම වදින්න..

    ReplyDelete
  6. ඒ ගමට අපිත් ආදරෙයි.එත් අවසනාවට මේ කියන විදියේ ගම් දැන් හොයා ගන්න බැහැ.දැන් ගම බලන්න බත්තරමුල්ලේ "අපේ ගමට"යන්නයි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැල් මී වැල් හිඹුටු වීර
      වැව් ඉවුරෙන් ඇස නොගැසේ
      නුඹ කොතැනේ මා කොතැනේ
      ගම කොතැනේ කියනු මැනේ...

      ගඟේ ඉහළ රිදී දියේ
      නුඹගේ බඳ තෙමී තෙමී
      හැමූ සුවඳ ගඟේ පහළ
      ඇලේ දොළේ ඉස්මතු වී
      රටින් පුයර නො ගෑ මුවේ
      හඳුන් කැටේ පිරිමැදුනේ
      ඒ රස යුවතිය ම නොවෙද
      රට හැර දා නොරට ගියේ...

      පැල් කවියේ රස තවමත්
      බුලතේ රස සමඟ නොයේ
      පන්සල් බිම ගඳකිළියේ
      ඒ නාමල් සුවඳ නොදේ
      උළු තියලා හදා මොටද
      අපෙ පොල් අතු ඉස්කෝලේ
      ගමේ සුවඳ ගමට හොරෙන්
      ඇයි දුරු රට අරං ගියේ...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
      ගායනය : එඩ්වඩ් ජයකොඩි

      Delete
  7. ඉස්සර දෙහිඅත්තකණ්ඩියේ ගොවි ජනපදවල ළමයි ඉස්කෝලෙ ආවේ නැති එකට නිදහසට කරුණ "සකලයෝ හඹන්ට" යෑම. එක එක පළාත් වලින් ආපු මිනිස්සු නිසා ඔයවගේ හොල්මං වෙන ඩයලෙක්ට් තිබුණා. හරියට වෙන භාෂාවක් කතා කරනවා වගේ.

    උඹේ පොයින්ට් එක හරි. නමුත් ඕක මදුරුවන්ට කැරපොත්තන්ට අදාල කරගන්න නම් හිතෙන්නෙම නෑ බං.

    උඹ කොහේ ගිහින් හිටියද බං පහුගිය ටිකේ?

    ReplyDelete
  8. හප්පේ දැක්ක කල් බොස් !!!!

    ReplyDelete
  9. හරි ආස හිතුනා බන් මේක කියවද්දි...ඒත් අන්තිමට යතාර්ථය දුකයි නේද ?

    ReplyDelete
  10. ලියනගේ අමරකීර්ති මහත්තයාගේ කුරුළු හදවත කියවද්දි තමයි කුරුළු පාළුව ගැන හොඳටම තේරුම් ගත්තේ. ඒ කාලේ අපේ කුඹුරු වලත් එහෙම එකක් තිබුනට මම ඒක ගැන එහෙම වටිනාකමක් තියෙන එකක් කියලා දැනන් හිටියේ නෑ.
    අපේ ගමේ හිටියා සමහර අය එයාලගේ අතේ කැටපොල් කියලා රබර් පටි වලින් හදපු ආයුදයක් තිබ්බා කුරුල්ලන්ට විදින්න. ඒත් ඒ ළමයි කුරුල්ලෝ මැරුවා කියලත් මතකයක් නෑ. මම හිතන්නේ වී කන්න එන කුරුල්ලන් එලවන්න හදාගත්ත එකක් වෙන්න ඕනේ.

    ReplyDelete
  11. හරිම සුන්දර පරිසරයක් ගැන විස්තරයක්. ආසාවෙන් කියෙව්වා රතු...

    රජරට රතු නම් අනෙක් රටවල් මොන පාටද? :)

    ReplyDelete
  12. අපේ පැත්තෙ නම් කුඹුරු නෑ රතූ. ඒ අත්දැකීම් නම් ඉතිං පොතකින් කිවනව ඇරෙන්න අපිට නෑ. ඒත් අන්තිම ටික කියවන කොට මහ හිස් හැඟීමක් දැනෙනව බං. අතීතයෙ සර්ව සම්පූර්ණව ලස්සනට තිබිණු හැමදේම දැන් හොදාපාළුවට ගිහින් කියන හැඟීම නිකන් හදවතට කටු අනිනව වගේ.

    කොහේද මෙච්චරකල් ගිහින් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කුඹුරු නැති පැතිත් තියනවද බන් ?

      Delete
    2. ඇයි බං ඔය ඩීඩීයා ඉන්න වැල්ල.. ඒකේ කුඹුරක් නෑ..

      Delete
    3. ඒකනේ, වැල්ලෙ කොහේද කුඹුරු.

      නෑ සෙන්නා, අපේ ගමේවත් අහල පහළ එක ගමකවත් කුඹුරු නෑ. මූද කිට්ටු උනාට මේව ධීවර ගම්මානත් නෙවි. දන්න තරමින් වගාකරන මිනිස්සු මේ පැත්තෙ නෑ බං. රටපටවන්න ලස්සන මාළු අල්ලන්න කිමිදෙන්න යන එවුන් නම් මේ පැත්තෙ ඉන්නව, ධීවර වැඩත් එච්චරයි. ටිකක් දුර රට ඇතුළට වගේ යනකොට නම් කුඹුරු තියනව.

      Delete
  13. කවියනම් පුදුම ලස්සනයි රත්තෝ.
    තව පද දෙක තුනක් එක්කාසු කරල දන්න අඳුනන කෙනෙකුට දීල ළමා ගීයක් හදාපන්කෝ මේකෙන්
    මෙව්වා බොඳවෙලා යන කාබන් නිසා මැකිලා යන්න දෙන්න එපා

    ReplyDelete
  14. සිරා කොලුවා පුංචිම කාලෙ අපේ තාත්තා අපේ කුඹුරු අස්වද්දපු හැටි මතක් වුනා...ගමේ වැඩිහිටියො කිසිම මුදලක් අපේක්ෂා කරන්නෙ නැතුව ගොයම් කපන යන්නතර නැති ඒ කාලෙ ගොයම් කපන්න..කොළ මඩින්න එකතු වෙච්ච හැටි...කමතෙ බැත හුළං කරලා ඉතිරි වෙන පිදුරු ගොඩේ පිනුම් ගහලා ඇග කසපු හැටි...මේ ඔක්කොම බොද වෙච්ච චිත්‍රයක් වගේ මගේ දෑස මානයේ ජිවමාන උනා....අපේ සමාජය අද දියුණුවක් ලබලා තියෙනවා කිව්වට අපි ඇත්තටම දියුණු වෙලාද...භෞතිකව දියුණු උනාට අපේ මිනිස්සු අධ්‍යාත්මිකව හරිම දුප්පත් කියලයි මට හිතෙන්නෙ රත්තො....

    ReplyDelete