ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වශයෙන් සැලකිය හැකි ගංගා 103ක් කිලෝමීටර් 4,560ක් තරම් වන දුරක් ඇදෙමින් වර්ග කිලෝමීටර් 59,245ක් තරම් වන අති විශාල භූමි ප්‍රමාණයක් තම දිය කඳින් පෝෂණය කරනු ලබයි. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 90%කටත් වඩා වැඩි ප්‍රතිශතයකි. එලෙස ගත්විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සාතිශය බහුතර ප්‍රමාණයක් 'තෙත් බිම්' වශයෙන් ගැනිය හැකිය.
නමුත් අවාසනාවක මහත නම් මෙම දත්ත ගැළැපීම් ප්‍රායෝගික තත්ත්වයේ හෙවත් සැබෑ මහපොළොවේ දක්නට නොලැබීමයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ 'තෙත්බිම්' ක්‍ෂේත්‍ර අගයයන් අතිමහත් ශීඝ්‍ර වේගයෙන් පහළ ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. 1900 වර්ෂයෙන් පසුව ලෝකයේ පැතිර තිබූ තෙත් කලාපයන්ගෙන් හරි අඩක් අතුරුදන්ව ගොස් තිබිණි. පමා වී පැමිණ හෝ ශ්‍රී ලංකාවටද එම ඉරණම අත්වෙමින් තිබේ.
ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි. අප මෙහිදී සඳහන් කරන්නේ සංවර්ධනය නොව නිශ්චිත පාරිසරික කළමනාකරණය රහිත සංවර්ධනය බැව් නැවත වරක් අවධාරණය කළ යුතුව තිබේ.
සංවර්ධනය සමඟ වගුරු බිම් ගොඩකිරීම එකිනෙක හා අතිනත ගන්නා වූ ක්‍රියාවලියකි. තෙත්බිම් අහිමි වී යෑමටත් ඒත් සමඟම එතෙක් කාලයක් ඒ තෙත්බිම්වලට ආවේණික වූ ජීවී පද්ධතීන් තම අවසන් ගමන් යෑමටත් වගුරුබිම් ගොඩ කිරීම ඍජුවම බලපාන ලද කාරණාවන්ය. විශේෂයෙන්ම බෙල්ලන්විල, අත්තිඩිය සහ මුතුරාජවෙල වගුරු බිම්වලට අත්වූ ඛේදනීය ඉරණම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.
පුත්තලම් මුහුදු තීරයේ වූ කඩොලාන පද්ධතීන් පෙරදා තරම් සශ්‍රීකව දැන් දක්නට නොහැකිය. හේතුව වන්නේ වේගයෙන් සිදුකෙරෙන හරිත කලාපයන් හෙළි පෙහෙළි කිරීමයි. පුත්තලම කළපුව ආශ්‍රිත 'තෙත් බිම්' තවදුරටත් තෙත් බිමක් වශයෙන් අනාගතයේ නොපවතිනු ඇති බවට සලකුණු වශයෙන් රතු එළි දැල් වී තිබේ. එම තෙත් බිමට ආවේණික වූ ජීවී විශේෂයන් සහ ඔවුන්ගේ වාසස්ථානද එපරිද්දෙන්ම ස්වාභාවික පරිසරයට අහිමි වී යනු ඇති බවට සැකයක් නොමැත.
ශ්‍රී ලංකාව පුරාම එකකට එකක් නොදෙවැනි ලෙස සිදුවන ජල මූලාශ්‍රයන් දූෂණය සමඟින් 'තෙත්බිම්' වැනසී යෑමේ උවදුර තවදුරටත් තීව්‍ර වී තිබේ. කාබනික විමෝචනයන්, වෙනත් රසායනික අපධාහයන් සහ කැළිකසළ බැහැර කිරීම් නිසා ගංගා, වැව් හා ගොහොරු බිම්වලට අත් වී ඇති ඉරණම මුතුරාජවෙල, කැලණි ගඟ සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජල පද්ධතීන් හා ඒ ආශ්‍රිත තෙත් බිම් විමසා බැලීමෙන් ඔබටම දැකගත හැකිවනු ඇත.
එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වැලි ගොඩදැමීම් සහ මැණික් ගැරීම්ද තෙත් බිම් අහිමි වී යෑමට බලපානු ලබන තවත් සාධකයකි. විශේෂයෙන්ම කෘත්‍රිමව සිදුකෙරෙන මෙම වැටි බැඳීම් හෝ හරස් කිරීම් ස්වාභාවික ක්‍රමානුකූල නිම්න පිහිටීම පරිසර පද්ධතියට අහිමි කරනු ලබයි. විශේෂයෙන්ම මහවැලි ජල ගැලුම් නිම්නයන් ආශ්‍රිත 'විල්ලු' නමින් හඳුන්වනු ලැබූ තෙත් බිම් අහිමි වී යෑමට හේතුව මෙම කෘත්‍රිමව සිදුකෙරෙන ගංගා හෑරීම් සහ හරස් කිරීම්ය. පොළොන්නරුව මනම්පිටිය ආශ්‍රිත වැලි ගොඩදැමීම් නිසා එහි මහවැලි 'විල්ලු' භූමියට අත්වීගෙන යන ඉරණම මේ මොහොතේදී ද නිශ්චිත අවසානයකි.
ශ්‍රී ලංකාවේ තෙත්බිම් හා ඒ ආශ්‍රිත ජීවී පද්ධතීන් අහිමි වී යෑමට බලපාන සාධක ගණනාවක් ඇතිමුත් මෙම ලිපියෙන් අප පෙන්වා දුන්නේ ඉන් ප්‍රධාන කිහිපයක් පමණකි. ඊට අමතරව මල ද්‍රව්‍ය අපවහනය, සැලැසුම් රහිත ජල සම්පාදන පද්ධතීන් සහ අනවසර පතල් කැණීම් වැනි ක්‍රියාකාරකම් ද තෙත්බිම් දූෂණයට ඍජුව බලපාන තවත් සාධක වෙයි.
මෙම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මෙරට පරිසර පද්ධතියට තෙත්බිම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම කාරණාවක් බැව් පෙනේ.
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'
මෙරට තෙත්බිම් පද්ධතීන්හි වටිනාකම තීව්‍ර කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් දක්වතොත් මෙරට පෘෂ්ඨවංශී ජීව විශේෂයන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් තෙත්බිම් ආශ්‍රිත ජීවී විශේෂ වෙයි. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්‍ෂීන්ගෙන් 50%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් මෙහි ගතකරන කාලය තුළ තම තාවකාලික වාසස්ථාන බවට පත්කර ගන්නේ තෙත්බිම්ය. එපමණක් නොව මෙරට වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා සිටින ජීවී විශේෂයන්ගෙන් 32%ක් පමණ තෙත්බිම් ආශ්‍රිත සත්ත්ව විශේෂ වෙයි.
කෙසේ වෙතත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබූ 'තෙත්බිම්' අති ශීඝ්‍ර වේගයෙන් පරිසර පද්ධතියෙන් අතුරුදන්ව යන බැව් සැබෑ යථාර්ථයයි. වැඩි වැඩියෙන් මෙම සුවිශේෂී පරිසර කලාපයන් ගැන කතා බහ කළයුතු, සංවාද කළ යුතු කාලය එළැඹෙමින් තිබේ. අවම තරමින් තෙත්බිම් යනුවෙන් පරිසර පද්ධතියක් අපෙන් ඔබ්බෙහි පවතිනවාය යන ක්‍ෂුද්‍ර පණිවුඩය හෝ සමාජගත කරන්නට ඔබත් දායක විය යුතුමය.
ස්වභාවධර්මයට අනුගත ෙනාව් විට ඒහි අයහාපත අපි ලබනවා.
ReplyDeleteඔව් ගයනි. අපේ ඇත්තන් සූදානම් වෙන්නේ ස්වභාවධර්මය අපේ හැටියට වෙනස් කරගන්නයි. නමුත් ඒක සාර්ථක සීමාසහිත ප්‍රමාණයකින් තමයි.
Deleteචාරයක් නැති සංවර්ධනය හා චාරයක් නැති දේශපාලනය මේ සියල්ලන්ටම හේතුවයි. මේ සියල්ලටම විසඳුම, යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමයි.
ReplyDeleteවිවාදයක් නෑ ඒ ගැන නම්, යහපත් දේශපාලන සංස්කෘතියක් කියන්නේ සෑහෙන දුර තියෙන සිහිනයක් වගෙයි අපේ රටට නම්.
Deleteඒ සිහිනය ආශිර්වාදයක් වේවි....
Deleteරතූගේ මේ පොස්ට් එක නිසා, අපේ ගමේ(බෙන්තොට) තිබෙන වගුරු බිමට සිදු වන විනාශය පිලිබඳ සිහියට ආවා ඒ සම්බන්ධ මගේ මතක කතාවක් සිහි වුණා. මම අද පොස්ට් එක විදියට ඒක දාන්නම්.
ReplyDeleteසුදීකගේ මේ කොමෙන්ටුව මගේ සිතට පුදුම සතුටක් කැන්දාගෙන ආවා. මේ පෝස්ටුව නිසා තවත් මෙහෙම පෝස්ටු ලියවෙනවා නම් ඒක කොයිතරම් දෙයක්ද?
Deleteමම සුදීකගේ පෝස්ට් එක එනතුරු බලාගෙන ඉන්නවා.
සංවර්ධනයේදී මේ වගේ පරිසර පද්ධති ගැනත් සලකා බැලෙනවා නම් හොඳයි.. කොහෙද ඉතින් එච්චර හරියක්.. සාමාන්‍ය මිනිස්සුත් නීතයට බයේ පරිසරය රකිනවා වෙනුවට ආකල්පමය වශයෙන් වෙනස් වෙන්නයි ඕන.
ReplyDelete//නීතයට// *නීතියට
Deleteඑහෙම ආකල්පමය වෙනසක් ඇති කිරීම ජාතික මට්ටමේ වැඩපිළිවෙලකින් ආරම්භ වෙන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ මචං.
Deleteඇත්තෙන්ම. මාත් හිතන්නේ එහෙමයි. ඒ වගේම දීර්ඝ කාලයක් යන වැඩක්. මොකද මිනිස්සුන් ට හොඳ අදහසක් කවන එක ලේසි නෑ.
Deleteරතූගේ කැප්ෂන් යෙදිල්ල තමා යෙදිල්ල!
ReplyDeleteලියනා කාරියේ දිගටම යෙදෙන්නෙක්ද නුඹ?
ජය
තිස්ස අයියාගේ මේ වචන ටික මට හීනි ආඩම්බරයක් ගෙනාවා. බොහෝම ස්තූතියි. ජීවන වෘත්තියත් මේ ලිවීමම තමයි තිස්ස අයියේ.
Deleteකාලෙකදී මේ රට කුඩා සහරාවක් වෙන එක නවත්වන්න බැරි වෙයි වගේ නේද?.
ReplyDeleteයන විදිහට නම් පෙනෙන්නේ ඒ වගේ තමයි.
Deleteලංකාවෙ ඔච්චර ගංගා තියෙන බව මම දැනගෙන හිටියේ නෑනෙ රතූ. ඔයවලුත් ගංගා හැටියට අරගෙනද මේ කියන්නෙ?
ReplyDeleteඋඹට ටෙක්නිකල් ඇඩ්වයිස් එකක් දෙන්නද? උඹේ බ්ලොග මෙච්චර ගැඹුරට පාතට ත්යෙන්නෙ උඹේ බ්ලොග් රෝල නිසා. වැඩේ තවත් අප්සෙට් වෙන්නෙ කොලම් එක හීනි වැඩි නිසා. කොලම් එකේ පළල වැඩි කරහං. ඔන්නම් කොලම් දෙකක් දාලා බ්ලොග් රෝල එකකට දාලා අනික්වා අනිකට දාහං.
ඔව්, හෙන්රි අයියේ. උදාහරණයක් විදිහට ගත්තොත් කදම්භ නදී හෙවත් මල්වතු ඔය අපි සලකන්නේ ගංගාවක් විදිහට. ප්‍රධාන ගංගා එක්ක කුඩා ඔය පහරවලුත් මේකට ඇතුළත්.
Deleteමේක මටත් පොඩි අවුලක් තමයි මචං. නමුත් කොලම් දෙකක් දැම්මොත් නිකන් කැතයි කැතයි වගේ හිතෙනවා අයියෙ. කොලම් එකේ පළල වැඩි කරොත් හරි යයිද?
මගේ ඩෙනිමෙ අරන් තියෙන විදිය උඹට කැතයිද බලපං. කොලම් දෙකයි.
Deleteඔව් බ්ලොග් රෝලෙ ගැඹුර අඩුවෙයි උඹ කොලම් එක පළල් කලොත්. දැන් අර තම්නේල් එක යටනෙ විස්තරේ තියෙන්නෙ. මගේ ඩෙනිමෙ බලාපං ඒක සයිඩ් බයි සයිඩ් ඇවිත් තියෙන හැටි. ඒකෙ පළල දෙසිය ගානක්. අනික කොලම් දෙකක් දෙපැත්තට දැම්මොත් බ්ලොග් රෝල තනියෙන් එක පැත්තකට දැම්මෑකි.
නිකං දාලා සේව් නොකර preview බලපංකො.
ඔව් ප්‍රිවීව් එකක් අරගෙන බලන්න ඕනෙ.
Deleteමේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ඉන්න සහ හිටපු රජයන්. ඔවුන්ට නිසි වැඩ පිළිවෙලක්, යාන්ත්‍රණයක්, දැක්මක් තිබුන නම් මේව මෙහෙම වෙන්නෙ නෑ. අනිත් අතට හුඟක් තැන්වල ගම්වල මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ මේ විනාශකාරී ක්‍රියා පිටුපස තියෙන දේශපාලන හස්තයන් නිසා. අසරණ මිනිස්සු කොපමණ විරුද්ධ වුනත් දවසින් දවස මහ පරිමාණයෙන් මේ ව්‍යසනයන් සිදුවෙනව.
ReplyDeleteඅපි අයිති වෙන්නෙත් තෙත් කලාපයට. ඒත් සුළු පෑවිල්ලක් අල්ලපු ගමන් අපි දැනට මුහුණ දෙන තත්ත්වයන් අනුව තවත් දශක කිහිපයකින් තත්ත්වය කෙසේ වෙයිදැයි සිතන විටත් ඇති වන්නෙ බියක්, අපේ කාලෙ නම් එතකොට ඉවරයි, ඒත් ඊළඟ පරම්පරාව? අපිට වඩාත්ම තදට බලපාන නිසා අපි අපේ ගම් රට ගැන හිතුවට මම හිතන්නෙ මේක දැන් මුළු ලෝකෙම මුහුණ දෙන අර්බුධයක්.
පරිසර දූෂණය කියන කාරණාවේදී පවතින සහ පැවැති ආණ්ඩු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ කියන එක ඇත්ත තමයි මචං. නමුත් එයින් භාගයක් අවම කරගන්න තිබුණා අපේ මිනිස්සුන්ටත් පරිසරය ගැන ආදරණීයය ආකල්පයක් තිබුණා නම්.
Deleteමුලු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් ගැන රතූ කතා කරලා තියෙන්නේ. මට තවත් හිතාගන්ට බැරි දෙයක් තමයි මහා ගොඩක් වැස්ස ලැබෙන ලංකාවට විදුලිබල හිඟයක් දැනෙන්නේ කොහොමද කියන එක. අපි ගොඩක් දේවල් හරියට කරන්නේ නැහැ නේද කියන හැඟීම හිතට තදින් දැනුනා මේ ලිපිය කියවද්දි.
ReplyDeleteඇත්ත, පොඩ්ඩි මතුකරන කාරණාව හරිම වැදගත්. . ජල කළමනාකරනය කියන දේ අපට උරුම වෙලා තිබුණු සහජාත උරුමයක් වුණත් අද ඒක එහෙම නෙමෙයි. අපි හරියට වැඩකරනු ලැබුවා නම් රජරට වැව් වල සොරොව් වලින් වැසි කාලයට පිටව යන ජලයෙනුත් කුඩා පරිමාණ ටර්බයින ක්‍රියාත්මක කරවන්න තිබුණා.
Deleteකාලයක් තිස්සෙ ලියන්න හිතේ තියනව මේ වගේ පෝස්ටුවක්. හිටපංකො...
ReplyDeleteඉතින් අපිව පොරොත්තු නොකර අද හෙටම ඕක ලියන්න පටන්ගනින්.
Deleteනියම පොස්ට් එක රතු, තමන්ගේ බදාගන විතරක් හිතන බහුතරයක් ඉන්න මේ රටේ මොන පරිසර සංරක්ශ්නයක්ද?
ReplyDeleteබඩට ලැබෙනවානම් අම්ම අප්පා උනත් විකුණන කන උන් වැඩි හරියක් ඉන්නේ.
අයියේ, ඔබේ ප්‍රතිචාරය දැක බොහෝ දවසක් වූවා. බොහොමත් ස්තූතියි ඔබේ ඇගයීමට.
Deleteමුතුරාජවෙලෙහි හා පොතුවිලෙහි අනුක්‍රමික ගොඩවීම අත්දකිමින් සිටින්නෙක් මම. ඒ ඔස්සෙ වෙන පරිසර හානිය කියන්න වචන නැති තරම් විනාශකාරියි.. ලෝකෙ විනාසෙට ලඟයි කියලයි මට හිතෙන්නෙ.. මේවා ඉවසලා ඉවසලා දවසක මිහිකත හැමෝටම අපූරු දඩුවමක් දෙනවා.. එදාට වැරදි කළ නොකළ හැම එකාටම දඩුවම් විදින්න වෙන එකයි කණගාටුව..
ReplyDeleteකියවන්න පමාවූ අපූරු ලිපියක්..
//ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි//
ReplyDeleteදැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය යන්නට මම එකග වෙමි.දැනට සිදුවන සංවර්දන ක්‍රියාවන් අටුව කඩා පුටුව සැදීම් වැනිය.එයින් පරිසරයට සිදුවන හානිය සුලුපටු නොවේ.
ඉතාමත් වැදගත් කාලීන ලිපියක්......