2013/01/12

වරෙව්.., එක පෙළට යොන් මරමු.



'යොන් මැරිල්ල ' පැරණි ජන ක්‍රීඩාවකි. ගෘහස්ථ ක්‍රීඩාවක් වූ මෙහි පාර්ශවයන් දෙකකි. එකිනෙකට වෙනස් ගල්කැට හෝ ඇටවර්ග දෙවර්ගයක් ක්‍රීඩාවේ ඉත්තන් වශයෙන් ප්‍රයෝජනයට ගනියි. ඒවා ඉත්තන් වේ. එක් පාර්ශ්වයකට ඉත්තන් 11 බැගින් ක්‍රීඩාව සඳහා සම්පූර්ණ ඉත්තන් 22කි .සම්පූර්ණ ඉත්තන් ගණන  එක් කණ්ඩායමක ඉත්තෙකුට පසුව තවත් එකක් ලෙස වෘතාකාරව ගෙබිම අතුරයි. දැන් ක්‍රීඩාව ඇරඹෙයි. මුලින්ම අවස්තාව හිමිකරගන්නා පාර්ශවයට තම වෘත්තයේ ඕනෑම තැනක සිට අරඹන ආකාරයට අරඹා වාමාවර්තව නමය දක්වා ගණන් කොට තම විරුද්ධ පාර්ශවයේ ඉත්තෙක් පෙතෙන් ඉවත් කළ හැකිය. මේ ආකාරයට සෑම නවවෙනි ඉත්තාම පෙතින් ඉවත් කළ යුතු අතර නවවැන්නා වශයෙන් තමන්ගේ ඉත්තෙක්ම පැමිණි මොහොතක එම ඉත්තා ද පෙතෙන් ඉවත් කරමින් තමන්ගේ ඇදීමේ වාරය අනෙක් පාර්ශවයට පවරා දිය යුතු ය. මෙය ක්‍රීඩාවේ සාරාංශික ක්‍රියාවලිය පමණක් වෙයි. 

මෙම ජනක්‍රීඩාවේ සම්භවය පිළිබදව අපූර්ව කතා පුවතක් ජනප්‍රවාදයේ දැක්වෙයි. සිංහල නැව්පතියෙක් තම නැව සමඟ යාත්‍රා කරමින් සිටියදී දරුණු කුණාටුවකට හසුවෙයි. ඔහු තමන් දන්නා ප්‍රතිකර්ම යොදමින් නැව් බේරාගැනීමට උත්සාහ දැරුවේය. නැවේ බර අඩුකිරීම යහපත් ප්‍රතිපල ගෙන දේවියැයි බලාපොරොත්තු වෙමින් ගෙන යමින් තිබූ බඩු භාණ්ඩ මුහුදට හෙලූ මුත් එය ප්‍රමාණවත් නොවීය. අවසානයේ නැව්පතියා නොහොත් කැප්ටන් තීරණය කරනු ලැබූයේ නැවේ සිටි කාර්‍ය මණ්ඩලයෙන් අඩක් මුහුදට හෙළා හෝ නැව බේරා ගන්නටයි. එහෙත් කිසිවෙක් ස්වෙච්ජාවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවූ කළ අහඹු ලෙස ඒ පිරිස තෝරා ගන්නට නැව්පතියා තීරණය කළේය. නැවේ සිංහල හා මුස්ලිම් හෙවත් යෝනකයන් සම සමව සිටි අතර නැව්පතියා අපේ හිතවත් සමහර බ්ලොග් කරුවන් මෙන් ජාතිමාමක සිංහලයෙක් විය. එමෙන්ම උසස් ගණිත දැනුමක්ද තිබූ නැව්පතියා නාවිකයන් සියලු දෙනා කැදවා වෘත්තාකාරව පෙළ ගස්වා (මේ පෙළ ගැස්වීම කරනු ලැබ ඇත්තේ ඔහුට අවශ්‍යය පරිදිය. ) තත්වය පැහැදිලි කර දී තමන් විසින් ගණන් කිරීම ආරම්භ කර නව වැන්නා මුහුදට හෙළන බවද දැනුම් දුන්නේය. මෙය අහඹු තෝරා ගැනීමක් වග නාවිකයන්ට අනුමාන කිරීමට ඉඩකඩ ලබා දුන්නද නැව්පතියාට මුහුදට හෙළන මිනිසුන් කවුරුන්ද යන්න ගැන පූර්ව සැලසුමක් තිබුණේය. එය පැහැදිලි වූයේ නැවේ හුන් සියලුම යෝනක හෙවත් මුස්ලිම් නැවියන් අහඹු ලෙස මුහුදට හෙළා අවසන් කළ පසුවය. 

මේ ජනප්‍රවාදයෙන් පැහැදිලි වන්නේ දුරාතීතයේ පටන්ම අපට මුස්ලිම් මිනිසුන් සමග ජාතිවාදී බෙදීමක් තිබුණු බවයි. එය ස්වභාවිකය. නමුත් වර්තමානයේ උත්සන්න වෙමින් පවතින මුස්ලිම් විරෝධය එම පූර්වයේ තිබූ සවභාවික තත්වයන් අතික්‍රමණය කරමින් දේශපාලනික හා ආර්තිකමය කාරණාවන්ට සමපාතවෙමින් පවතියි. ආර්ථික කාරණාවන් කෙසේ වෙතත් නැග එන මුස්ලිම් විරෝධය දේශපාලනික කාරණාවක් වශයෙන් සාකච්චාවට ලක්වන්නට ඉඩදීම අතිශයින් භයානක තත්වයක් බව අන්තර්ජාලය හරහා මුස්ලිම් හා ඉසලාම් විරෝධය ප්‍රකට කර්න්නන් තවමත් වටහාගෙන නැති සෙයකි. මක්නිසාද යත් මෙරට තිස් වසරක කාලකණ්නි කාලයකට පාර කපනු ලැබුවේද නියපොත්තෙන් කපන්නට තිබූ සිංහල දෙමළ වාර්ගික ගැටළු ජාතික තලයේ දේශපාලනික කාරණා වශයෙන් සංවාදයට ලක්වෙන්නට ඉඩදී මහජාතියේ ඦන්ද පොකුර බලාපොරොත්තුවෙන් බලලෝභී දේශපාලකයින් ගත් අවස්තාවාදී තීරණ නිසාවෙනි. හොදම උදාහරණය නම් 56 සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි. 

මුස්ලිම් රහස් ත්‍රස්ත සංවිධාන පවතිනවා නම්, ලංකාව තුළ ජිහාඩ් ක්‍රියාකාරකම් සඳහා සූදානමක් තිබේ නම් අප දන්නා තොරතුරු ආරක්ෂක අංශ වලට දැනුම් දීම ඉතාම හොදම පියවරයයි. නැතුව බ්ලොග් පිටු හරහා හෝ මුහුණු පොත හරහා මුස්ලිම්වරුන්ට දෝශාරෝපණය කිරීම ගෙදර ගොහින් මුවහමට තඩි බානවා වැනි වැඩකි. එවැනි බ්ලොග් සටහන් සහ ඒවාට ලැබ ඇති ප්‍රතිචාර ගණනාවක් මා කියවා ඇති අතර ලැබුණු එකම ප්‍රතිපලය නම් බ්ලොග් කරුවාගේ හිට්ස් සහ කොමෙන්ට් ගණන වැඩිවීම පමනැකැයි හඟිමි. 

එවැනි බොහෝ බ්ලොග් සටහන් වලින් දක්වා තිබූ මැසිවිල්ලක් බඳු පැමිණිල්ලක් වූයේ සිංහල ජනගණයට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇති බවය. නමුත් සොයා බැලිමේදී දැනගත හැකී වූයේ එම කාරණාවන්ද තේ කෝප්පයේ කිඹුලන් දකින්නට ගත් වෑයමක් බවයි. 

ජනවර්ගය --සිංහල     දෙමළ     යෝනක 
1901            65.4%     26.7%    6.4% 
1971            72.0%     11.2%    6.7% 
1981            74.0%     12.07%   7.0% 
2012            74.09%    11.2%    9.02% 

බැලූ බැල්මට මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබුණද එය ඔවුන් අත්පත් කරගෙන තිබෙන්නේ සිංහල අවකාශයේ ඉඩ ඇල්ලීමෙන් නොව ජනගහණ වේගය අඩුවූ දෙමළ ජනගහණයේ ඉඩකඩ අල්ලා ගැනීමෙන් බැව් නිරීක්ෂණය කළ හැකියි. 

හලාල් සහතිකය පිළිබදව කතාවද මුස්ලිම් විරෝධයට උන්නතිය සපයන තවත් කාරණාවක් බවට පත්ව තිබෙයි . හලාල් පිළිබදව නම් ගැටළු කිහිපයක් මටත් තිබේ . ඒ බෙදුම්වාදී අදහසකින් නොව හලාල් වෙනුවෙන් අප මිළදී ගන්නා බඩු භාණ්ඩ වලට ගෙවන්නට වන අමතර මිළ පිළිබදවයි. අනෙක් පසින් එය මුස්ලිම්වරුන්ගේ ආගමික ඉගැන්වීමක් සම්බන්ධ කාරණාවක් ද වෙයි. එය මහා සමාජයට කරන බලපෑම අනුව මිස ආගමික විරෝධී හෝ ජාතිවාදී හැගීමෙන් හලාල් වලට විරුද්ධ වීම බුද්ධිමත් කාරණාවක් නොවෙයි. උත්ප්‍රාසාත්මකම කාරණාව වන්නේ ලොකයේ ප්‍රධානතම හලාල් පර්යේෂණාගාරය පිහිටුවා තිබෙන්නේ බෞද්ධයන් 95% ක් වාසය කරන තායිලන්තයේ,එහි අග්‍රාමාතයවරයාගේ යටතේම පිහිටවූ දෙපාර්තමේන්තුවක වීමයි. 

බ්ලොග් ලියන්නේ කිසියම් දැනුවත් භාවයකින් යුක්ත පුද්ගලයන් බැව් මාගේ පෞද්ගලික විශ්වාසයයි. එවැනි දැනුවත් සමාජ කොටස් විසින් කළ යුතු නිවරදි කාර්‍යය වන්නේ සමාජයේ පවතින පසුගාමී අගතීන් පරාජය කිරීමට කටයුතු කිරීමත්, එම අගතීන් නිසා වෙනත් සමාජ කණ්ඩායමක් තුල හෝ ප්‍රජා කොටසක් තුළ එවැනිම ආකාරයේ අගතිගාමී අදහස් වර්ධනය වීමට පිටුබලය සැපයෙන කටයුතු වලට බාධා කිරීමයි.එලෙස වැරදි අගතිගාමී අදහස් මගින් ජනමනස අවුල් කොට බෞද්ධයන් හා ඉස්ලාම් බැතිමතුන් අතර මෙන්ම සිංහලයන් සහ මුස්ලිමුන් අතර හෝ ආතතීන් සැකයන් වෛරයන් ඇවිළීමට හැකි ඉඩකඩ පරාජය කළ යුතුවෙයි.

බහුතරය අපි යැයි කියමින් තනිචූන් සොමියක ගිලී සිටීම ඔබටවත් රටටවත් වැඩදායී කාරණාවක් නොවේ.සිඳු විය යුත්තේ මෙන්ම අප උත්සාහ දැරිය යුත්තේ මානවීය ගුණ්යෙන් යුක්ත බුද්ධිමත්, නිර්මාණශීලී මිනිසුන් සමූහයක් බහුතරය බවට බහුතර ප්‍රජාව බවට පත්කරගැනීම වෙනුවෙනි.එසේ නොමැතිව හම්බයන් සමූල ඝාතනය කොට මෙය සිහලයන්ගේ රට බවට පත් කිරීමට නොවේ. එවැනි උත්සාහයන් අප අතීතයේදීත් ගෙන තිබූ අතර එඉතිහාසිකව ඒවා පරාජයටද පත්විය. උදාහරණය තිස් අවුරුදු යුද්ධයයි. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයක්ද? එම නිසා ඉතිහාසයේ අප විසින් කරනු ලැබූ වැරදි නැවතත් කිරීමට ජනසමාජය පොළඹවන උත්සාහයන් ලත් තැනම ලොප් කිරීමට ඔබ මම මෙන්ම අප සියල්ලන්ම උත්සාහයන් දැරිය යුතුය. 

34 comments:

  1. මට නම් කියන්න දෙයක් නෑ.. ඒ තරමට එපා වෙලා දැකලා දැකලම... මට නම් දුකයි අපිත් එක්ක එක බත් පත බෙදාගෙන, අපිත් එක්ක විහිළු කර කර හිටපු මුස්ලිම් කොල්ලො කෙල්ලෝ අද අන්තවාදී විදියට ෆේස් බුක් එකේ ෆොටෝස් ෂෙයාර් කරන හැටි දැක්කම...

    මට තියෙන දුක මේකයි... අපි ( සිංහලයෝ, බෞද්ධයෝ, ක්‍රිස්තියානින් ආදී කණ්ඩායම්) මෙහෙම හිතුවට මුස්ලිමුන් මෙහෙම හිතනවා කියලා පේන්න නැති නිසා.. එහෙම විරුද්ධ අය හිටියත් එයාලා කතා කරන්නේ නම් නෑ මේ අපි වගේ... ඉතිං මෙතන එක කට්ටියක් අන්තාවාදී නොවී ඉන්නකොට තව කට්ටියක් අන්තවාදී උනාම මොකද වෙන්නේ කියලත් තේරෙනවා ඇතිනේ රතූට.. ඒකත් අර යෝනකයෝ මැරිල්ල වගේ තමයි....

    ReplyDelete
    Replies
    1. හිරුවෝ ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා......

      Delete
  2. උඹ තරමක් මධ්‍යස්ථයි. ඒක තමා අවශ්‍ය වෙන්නේ. හිරුව කිව්ව වගේ මටත් මේකනං තිත්ත වෙලා තියෙන්නේ.. හැමෝම ජාතිවාදී වීම.. මම ඔය මුසල්මානු විරෝධය කියල ලියාගෙන දාන්න හිටිය පෝස්ට්කටුව අකුලගෙන තියාගත්තේ සිරා හලාල් මාලලේ අතෑරිය දවසෙ. ඇයි කියන්නේ මිනිස්සුන්ට තේරුමි කරන්න බෑ. හිතන්නේ ලේ වලිං මිසක් ඔළුවෛන් නෙමෙයි බං..

    ReplyDelete
  3. මම ඔබේ අරමුණ පිලි ගන්නවා.ඒක ඔබේ මතය එහෙම මතයක් දැරීමට ඔබට ඇති අයිතිය මම පිලිගන්නවා. ඒ උනත් මගේ අරමුණ ඔබේ එකට වඩා ටිකක් වෙනස්. මම සිංහල බෞද්ධයෙක්. මම උපතින් මෙන්ම ප්‍රයෝගිකවත් බෞද්ධයෙක්. මගේ සිංහල කමයි බෞද්ධ කමයි මට ආඩම්බරයක්. ඒ වගේම මම දන්නවා අනික් ජාතීන්ටද එම තම ජාතිය සහ ආගම ගැන එවැනි ආඩම්බරයක් තියෙන බව.

    නමුත් ලංකාවේ තියෙන්නේ මුස්ලිම් කියල ආගමක් විතරයි මුස්ලිම් කියල ජාතියක් නෑ. ඒක සාකච්චා කලයුතු වෙනම කරුණක්. එත් මම උනන්දු වෙන්නේ මුස්ලිම් මිනිස්සු (අන්වර්) අපිට බුද්ධාගම සහ සිංහල කම ගැන උගන්නන්නට යන එක ගැන. මේක අලුත් තියරි එකක් . පටන් ගන්නේ බුද්ධාගමෙන් අවසාන වෙන්නේ බුද්ධගමට අවමන් කරලා. අන්වර් කියන බුද්ධාගමට කෙටියෙන් කිවොත් කියන්නේ ඕල්කට් බුද්ධාගම කියලා. ඒ උනත් අපේ රටේ තියෙන්නේ සිංහල බුද්ධාගම. අපිට අනගාරික ධර්මපාල තුමා ජාතික වීරයෙක් . අන්වර්ට අනුව එතුමා අපරාදකාරයෙක් . මේ සත්‍ය පැහැදිලි කරලා ලියුවාම ඒක පල කරන්නේ නැ. ඒ නිසා මමම blog එකක් පටන් ගත්තා. අන්වර් මනතුංගට පිළිතුරු කියල.අන්වර් නොකියන සත්‍ය මම මෙහි කියනවා.හැබැයි කාටවත් අවමන් කරන්නේ හෝ නින්දා කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් අන්වර් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ දිගට හරහට ෆේස්බුක් බෞද්ධයෝ කඩු පොලු වනන්න පටන් ගත්තට පස්සෙ. තව අර මූසලයා කියල එකෙකුත් ඉන්නවා. උන්ට අසාධාරණ ලෙස සහ වෛරී සහගතව පහර දෙනකොට උනුත් අපට අපේ ජාතියට අපේ ආගමට නින්දා කරනවා.

      මේවා ගැන මමත් ටිකක් ලියල තියනව, වැඩක් නෑ.

      Delete
  4. යොන් මැරිල්ල ගැන ඔබේ අදහස එහෙම උනත් සාමාන්‍ය ජන ව්‍යවහාරයේ මුස්ලිම් මිනිස්සු ගැන තියෙන්නේ ඕනෑම කරදරකාරී අවස්ථාවක උනත් තමන්ගේ වාසිය විතරක් බලන මිනිස්සු කියල ඔබ කියවල තියෙනවද රපියෙල් තෙන්නකෝන් මහතාගේ වවුලුව. මතකද මේ කවිය
    යොන් හුට නැගත කුඹ ගස මත නැව ගිලෙත
    දුන් කුඩු හෙප්පුවට අත යන කල ඉනට
    දෙන්නට සරි නිදසුනට ............................................. ( ඉතුරු ටික මතක් නැ. මතක් උන වෙලාවේ පුරවන්නම්.)
    දැන් මෙහි හොවති වලගම්බවෝ අනත

    ReplyDelete
  5. ජාතිවාදය හා ජාතිමාමකත්වය වනාහී දෙකකි ..........

    ReplyDelete
  6. යොන් මැරිල්ල උනේ මෙහෙමයි .
    සිංහලයෙකුගේ කපටි කමකට නිකමට හරි අහු උන මුස්ලිම් ජාතිකයෙක් ගැන ඔබ අහල තියෙනවද? වෙන්නේ එකේ අනික් පැත්ත.තමන්ගේ වාසිය විතරක් බලන එක ඒ අයගේ ජාන ගතියක්. සෙනරත් රජ්ජුරුවන්ට පොරොන්දු වෙලා නැගෙනහිරට ගියේ පරම්පරා 3කින් සිංහල වෙන බවට පොරොන්දුවී. ප්‍රතිඵලය දැන් පේනවා නේද? . යොන් මැරිල්ල උනේ මෙහෙමයි. නැවේ සිංහල හා මුස්ලිම් ජාතිකයන් සිටි බවත්, නැව කුනාටුවකට හසුවී බර අඩු කිරීමට නැව් බඩු තොගයද මුහුදට දැමුවත් පලක් නොවී නැව මුහුදේ ගිලීමට ආසන්නවු විට එක මුස්ලිම් අයෙක් වැදගත් වැඩක් කරන්නට යන්නාක් මෙන් කුඹ ගස මුලට යන්නට හදන විට අන් සියල්ලෝම ඉඩ දුන්නේ ඔහු විසින් නැව මෙන්ම මගී ජීවිතද බෙරනු ඇතැයි සිතාය. එහෙත් ඔහු කලේ තම ඉනේ තිබු දුන් කොළ මල්ල අරගෙන ඉන් කුඩු වඩියක් උරා බිමට බැසීමයි. මින් කෝපවූ සිංහලයන් ඔහු මෙන්ම නැවේ සිටි සියලුම මුස්ලිම් ජාතිකයන් මුහුදට ඇද දැම්මා. වවුලුව පොතේ 28 වන කවියේ ඒක තියෙනවා.
    යොන් හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙත
    දුන් කුඩු හෙප්පුවට ඉන් යන කලට අත
    දෙන්නට නිදසුනට සරි කල සිය සිරිත
    දැන් මෙහි හොවති වලගම්බාවෝ අනත
    රැපියෙල් තෙන්නකෝන් කවියාගේ වවුලුව කවි පොත කවුරුත් කියවියුතු එකක්.

    ReplyDelete
    Replies
    1. @ wmk

      //....සෙනරත් රජ්ජුරුවන්ට පොරොන්දු වෙලා නැගෙනහිරට ගියේ පරම්පරා 3කින් සිංහල වෙන බවට පොරොන්දුවී....//

      මේ කතාව කොයින්ද ලබා ගත්තේ කියලා දැනගන්න කැමතියි

      Delete
    2. මමත් අහල තිබ්බ යොන් මැරිල්ල මේ වගේ කතාවක්......

      Delete
  7. මට නොතේරෙන යථාර්තය!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. රතු බොහොම සංයමයෙන් දැනුම්වත්ව මේ පෝස්ටුව සටහන් කොට තිබෙනවා.

    ReplyDelete
  9. අපිත් සමහරක් අය මේ අන්තවාදයට උදව් දෙනවා. ඒක මං පිලිගන්න එක සත්‍යක්. න්මෞත් මේ අන්තවාදය පතුරවන්නේ එක අංශුවක් වගේ පිරිසක්. අපිත් ඒ ගොන් රැලට වැටුනොත් උන් වගේම අපිත් එහෙම වෙන එක වලක්වන්න බෑ. ලෝක ජනගහනය හමදාම වෙනස් වෙනවා. උදාහරනයකට ඉස්සර 1901 සීයට 65යි. ඒ කාලේත් ලංකාවේ ඔය හෙල බොදු මොක්කුද හිටියොත් උන් හැමදාම කොටුවේ පිකටින් කරයි. සිංහලයෝ නෑ කියලා. රටේ බෞද්ධ සාසනේ ඉස්සරත් තිබුනා. අදත් තියෙනවා. ඒ කියලා සිංහල වෙච්ච බෞද්ධ ජාතිය නෑ කියන එක අතකින් අමු පට්ට පල් බොරුවක්. කරන්න තියෙන්නේ අපිට ඒ වගේ මගුල් ජාතීවාදී අන්තවාදී එස්.එම්.එස්, පොටෝස් වගේ දේවල් ශෙයාර් නොකර ඉන්න එක. එතකොට කෞරුත් දන්නේ නෑනේ. මේ ගන මං ලියුව ලිපිය

    ReplyDelete
  10. //....සිංහල ජනගණයට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇති බවය. නමුත් සොයා බැලිමේදී දැනගත හැකී වූයේ එම කාරණාවන්ද තේ කෝප්පයේ කිඹුලන් දකින්නට ගත් වෑයමක් බවයි.....//

    මුස්ලිම් විරෝධී මගේ මිතුරෙක් මේ ගැන කිව්වාම කිව්වාම කිව්වේ ඔය සංඛ්‍යා ලේඛන බොරු බවත් මුස්ලිම්වරුන්ගේ වාසියට ඒවා සකසා තිබෙන බවත්ය.

    //...බ්ලොග් ලියන්නේ කිසියම් දැනුවත් භාවයකින් යුක්ත පුද්ගලයන් බැව් මාගේ පෞද්ගලික විශ්වාසයයි....//

    ආරම්භයේදී එහෙම අදහසක් මගේ හිතේ තිබුණත් එය වැරදි බවයි මගේ වැටහීම. අන්තර්ජාලය පිළිබඳ අවබෝධයක් ඇතුව විනා කිසියම් දැනුවත් භාවයකින් වගේම වගකීමක් ඇතුව බ්ලොග් ලියන්නන්ගේ ගණන බහුතරයක් නොව සුළුතරයක් කියලයි මගේ හැඟීම

    ReplyDelete
    Replies
    1. "ආරම්භයේදී එහෙම අදහසක් මගේ හිතේ තිබුණත් එය වැරදි බවයි මගේ වැටහීම. අන්තර්ජාලය පිළිබඳ අවබෝධයක් ඇතුව විනා කිසියම් දැනුවත් භාවයකින් වගේම වගකීමක් ඇතුව බ්ලොග් ලියන්නන්ගේ ගණන බහුතරයක් නොව සුළුතරයක් කියලයි මගේ හැඟීම"

      +++

      Delete
  11. මේ මාතෘකාව දැං මටනං එපාවෙලා බං.

    ReplyDelete
  12. හැමතැනම දැන් මේ කතා බහ.

    //මේ ජනප්‍රවාදයෙන් පැහැදිලි වන්නේ දුරාතීතයේ පටන්ම අපට මුස්ලිම් මිනිසුන් සමග ජාතිවාදී බෙදීමක් තිබුණු බවයි//

    අහලා නැද්ද 1915 දී ගම්පොල දේවාලයේ සිද්දියක් මුල්කරගෙන ඇති උන සිංහල මුස්ලිම් අරගලය ගැන?

    ReplyDelete
    Replies
    1. @ ළිහිණි

      //..අහලා නැද්ද 1915 දී ගම්පොල දේවාලයේ සිද්දියක් මුල්කරගෙන ඇති උන සිංහල මුස්ලිම් අරගලය ගැන?...//

      කෝට්ටේ යුගයේ මුල් කාලයේ ලංකාවේ වරායවල් ආශ්‍රිතව පදිංචි වෙලා මුස්ලිම්වරු වෙළෙදාම් කරපු බව කියවෙනවා. ඒ වගේමයි පෘතුගීසීන් පැමිණෙන කාලෙත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම වෙලා තියෙනවා.

      පස්සේ මුස්ලිම් පෘතුගීසි ගැටුම් එක්ක පෘතුගීසීන්ට හිතවත් වුණු රජතුමා මුස්ලිම්වරුන්ට කෝට්ටේ රාජධානියෙන් පිටවෙන්න අණ කිරීමත් එක්ක සීතාවක මායාදුන්නේ රජතුමා මුස්ලිම්වරු සාදරයෙන් පිළි අරගෙන සීතාවක රාජධානියේ ආරක්ෂාව ඔවුන්ට ලබාදෙනවා..

      Delete
  13. ජාතිවාදී ගැටුම් නම් ඇති නොවෙන්නට ජනතාව ක්‍රියා කරනවා වගේම දේශපාලන නායකයෝ සහ ආගමික නායකයෝ අතෙත් ලොකු වගකීමක් තියනවා. ජන වර්ග අනුව හදල තියන දේශපාලන පක්ෂ බොහෝ විට නැති ප්‍රශ්න සමාජයට එන්නත් කරනවා කියලයි මගේ අදහස. සමාජ ජාල හරහා හුවමාරු වෙන බොහෝ ඡායාරුප උනත් ද්වේශය අවුළුවන ඒවා. එක් පාර්ශවයකින් විතරක් නෙවෙයි.. ඒවා උනත් නොකළ යුතු දේ විදිහටයි මං දකින්නේ. ලොකු ගින්නක් අවුලුවන්න ගිනි පුපුරක් ප්‍රමාණවත්.. හැබැයි ඉතින් මේ සහජීවනය ගැන හැම ජාතියකම අය හිතන්න ඕනේ. එතැනදී තමයි අවංක නායකයෝ අවශ්‍ය වෙන්නේ...

    අර ක්‍රීඩාව සහ කතාව අදම තමයි ඇහුවේ..

    ReplyDelete
  14. මිනිස් ශිෂ්ටාචාරය විසින් "හොඳ" යැයි සම්මත කරගත් රීතීන් සහ නීතීන් ට සයලුම ආගම් යටත් විය යුතුයි. එසේ නොවන; එනම් මිනිස් ශිෂ්ටාචාරය ආපසු හරවන සුළු සියලු ආගම් ඉවත් කළ යුතුයි.
    මේ අදහස ද එක් හෝ වෙනත් ආකාරයකින් "යොන් මැරිල්ල"කි,එහෙත් ගෞරවණිය මිනිස් නිදහසේ නාමයෙන් එය සිදුවිය යුතුයි.

    ReplyDelete
  15. ඔබ දක්වා ඇති ජනවර්ග පිළිබද සංඛ්‍යා දත්ත සමස්ත රටම නියෝජනය වර පරිද්දෙන් යැයි සිතමි. එහෙත් සැබෑ තත්වය නම් සමහර නගර වල බහුතරය බවට මුස්ලිමුන් පත්වීම මත සිංහලයන් විවිධ පීඩාකාරී සිදුවීම් වලට මුහුණ දීමට සිදුව තිබීමයි. නුවර සහ මාතලේ මෙම තත්වය ඇති බවට මල්වතු නාහිමියන්ද පසුගිය දිණෙක සදහන් කර තිබුනා... මහනුවර අහැළේපොල කුමාරි හාමි මාවත මුස්ලිම් පල්ලියක නමින් නම් කිරීමට ගත් උත්සාහය පසුගිය දිනක ව්‍යාර්ථ වුවත් පානදුර තොටවත්ත ග්‍රාමයේ නම මදීනා පුරය ලෙස වෙනස් කිරීමට දැන් අලුත් නාටකයක් පටන් ගෙන තිබේ.

    කොළඹ සංඛ්‍යා ගෙන බලන්න එහි පැහැදිලි වෙනසක් නැතිද කියා...

    1971 දී 50% වූ කොළඹ සිංහල ජනගහනය අද 24%
    1971 දී 19% වූ කොළඹ මුස්ලිම් ජනගහනය අද 40%

    ReplyDelete
  16. ඔබේ වටිනා කාලය මිඩංගු කරමින් බ්ලොග් සටහන කියවූ සහ අදහස් පළකරන ලද සියලුම බ්ලොග් සහෘදයන්ට මගේ ස්තූතිය. ජයවේවා..

    ReplyDelete
  17. හලාල් සහ රිසානාගේ සිද්ධීන් නිසා කතා බහ අලුත් වූ, එමෙන්ම එම කතාබහ ලෙහෙසියෙන්ම අන්තවාදී මුහුණුවරක් ගනිමින් පවතින අවස්ථාවක, ඔබ ඉතා සංයමයෙන්, කියවන්නාව කුපිත නොවන ආකාරයෙන් ලියා ඇති මෙම ලිපිය ඉතා අගය කරමි. ඔබගේ කරුණු සමග පොදුවේ ගත්කල මගේ ද එකඟත්වයක් තිබේ. මේ අවස්ථාවේදී වඩාත්ම අවශ්‍ය වන්නේ සංයමයෙන් යුතුව මේ කාරණා දෙස බැලීමය.

    ReplyDelete
  18. ඉතා අගය කරමි. ඔබ ඉටු කරන්නේ යුගයේ අවශ්යාුවකි. මිනිසුන් මුලාවට යාමෙන් මුදවාගත යුතුමය.

    ReplyDelete
  19. ඔබ ආ මග සලකුණු ඔස්සේ මමත් මෙහෙ අවා රතු..

    ReplyDelete
  20. හැමෝටම සමාන අයිතිවාසිකම් නීතියෙන් ම දුන්නා නම් ඉවරයිනෙ.. මුස්ලිම් අය වෙනම විදිහකට ඉන්න හදන නිසා නෙ මේ ගැටළු හුඟක් ම ඇති වෙලා තියෙන්නෙ.. සිංහල අන්තවාදී පිරිසකුත් ඉන්නවා තමයි.. ඒත් ඊට වඩා අන්තවාදය පිළිකෙවු කරන කොටසක් ඉන්නවා.. එහෙම නැත්නම්.. කොහොමද මුස්ලිම් අය මෙහෙම ඉදිරියට යන්නෙ.. කවුරු කළත් අන්තවාදය අවැසි නැහැ.. ඔබගෙ ලිපියෙන් සහ යට ඇති අදහස් වලින් වැදගත් කරුණු කිහිපයක් දැන ගත්තා.. ස්තුතියි..

    ReplyDelete
  21. ඉතාමත් වටිනා ලිපියක්. මට පොඩි ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා A.

    1. @චින්තක ටිකිරි බණ්ඩාර: යොන් මැරීමේ ප්‍රස්තාවපිරුළ සහ ඊට පසුබිම් වූ ජනකතාව කියවලා තිබ්බත් ඊට සම්බන්ධ ජන ක්‍රීඩාව ගැන (මතක තරමින්) කියවපු මුල්ම වතාව මේක. මේ ජන ක්‍රීඩාව ගැන තොරතුර ලබා ගත් මූලාශ්‍රය සඳහන් කරන්න පුළුවන් නම් ස්තුතියි.

    2. @ WMK: මේ ප්‍රස්තාවපිරුළට මුල් වුන කතාව මම අඩුම ගානේ මූලාශ්‍ර දෙකකින් හෝ තුනකින් කියවලා තියෙන්නේ ඉහත බ්ලොග් සටහනේ තියෙන විදියට මයි. මා ළඟ දැනට තියෙන මූලාශ්‍රයකින් ඒ කතාව පහතින් දාන්නම්. මට දැනගන්න ඕන ඔබතුමා කියපු වවුලුවේ රැපියෙල් තෙන්නකෝන් මහත්තයා ලියපු වර්ෂන් එක එතුමාගේ ප්‍රබන්ධයක් ද (වවුලුව ප්‍රබන්ධ කතාවක් නිසා) එහෙම නැත්නම් ඒ වර්ෂන් එක වෙනත් මූලාශ්‍රයකින් කියවලා හෝ අහලා තියෙනවද කියන එක.

    ගුණතිලක, එච්. (1948) සිනා සුමුග, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ (44) (පිට 14-15)

    යොන් මැරීම - සිංහලයන් සහ යොනුන් (යෝනක) නැගී ගිය රුවල් නැවක් බර වැඩි වූ හෙයින් මුහුද මැද දී ගිලෙන්නට යන ලකුණු ඇති විය. නැවේ සිංහල කප්පිත්තා සිංහලයන් ඉතිරි කර ගෙන මේ අනතුරින් බේරී යාමට උපක්‍රමයක් කල්පනා කළේය. මුල සිට ගණන් කරන විට නිතරම නව වැන්නා යොනෙකු වන ලෙස සියලු දෙන පෙළට සිටුවා, "නැව බේරා ගැනීමට කළ යුතු එකම දෙය මෙහි සිටින්නවුන්ගෙන් කොටසක් මුහුදට දැමීමයි.නවය නපුරු නිසා මේ මිනිස් පෙළ මුල සිට ගණන් කර ගෙන යාමේ දී නව වැන්නා මුහුදට දැමීමට නියම කර ගතිමි. ඔවුන්ගේ භාග්‍ය ඇති නැති සැටියට එය සිදු වේවා!"යි උස හඬින් ප්‍රකාශ කළේය. එසේ ගණන් කර ගෙන යාමේ දී යෝනුන්ට ම නවය වැටුණේය. අන්තිම යොනා මුහුදට දමන විට "මේක මහ යොන් මැරිල්ලක්" යැයි කීවේ ලු. මිනිස් පෙළ පිළියෙළ කළ හැටි කියැවෙන කවිය

    "සදා පන්න පළමුව ජය වෙන සතර
    ඊළඟ සදනු පණ යන පස්දෙන නිතර
    යාළු දෙන්න ගාවාමයි එක සතුර
    දැනගන් මිතුරු තුන් දෙන මයි ඒ අතර

    නො හොඳ අයෙක් කුසලින් වැඩි එක යාළු
    විහිළු දෙන්න ළඟ දෙන්නත් ගැල වේ ලු
    අකුසල් තුනෙන් කුසළට වැඩි එක යාළු
    සතුරු දෙන්න ළඟ දෙන්නට එක මර ලු

    මේ කතාවෙන් බිහි වූ තේරවිලි කවිය ගැන ද නවනැලියේ විජේතුංග මහත්තයත් 2013 "ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා" දැනුම වැඩුම ප්‍රකාශකයෝ, මුල්ලේරියාව, 51 පිටේ සඳහන් කරනවා.

    ReplyDelete
  22. මීට අමතරව බෝම්බ සිද්දියට පෙර යම් මහනුවර ආශ්‍රිතව මෑත ක දී ඇති වූ මුස්ලිම්-සිංහල ගැටුම් ඇති වූ අවස්ථාවේ දී මම මුහුණු පොතේ දාපු සටහනකුත් දාන්න හිතුනා (වෙනසක් නොකර ඒ විදියටම දානවා)

    මුස්ලිම් සිංහල ජනවර්ග දෙකෙන් ම පිදුම් ලබන ශ්‍රී ලාංකික දෙවිවරු: ගලේ බණ්ඩාර දෙවියෝ සහ කිවුලේගෙදර බණ්ඩාර දෙවි

    පසුගිය ටිකේ මුස්ලිම් සිංහල කෝලාහල ප්‍රවෘත්ති දැක්කම කවියක් ලියන්න හිතුණා. මේකට එකපාරටම ඔළුවට නිමිත්තක් ලෙස ආවේ මුස්ලිම් සිංහල ජන කොටස් දෙකම අදහන දෙවිවරු තුන් දෙනෙක් විතර ශ්‍රී ලාංකික දෙවිවරු අතර හිටියා නේද කියන එක. මේ දේව කතා එහෙන් මෙහෙන් මතකයේ තිබ්බත් හරියටම හොයන්න ඕනෑ කියලා හෙව්වහම දෙවිවරු දෙන්නෙක් කේ. එන්. ඕ. ධර්මදාස සහ තුන්දෙණිය ලියපු “සිංහල දේව පුරාණය” පොතෙන් හම්බ වුනා. නමුත් තුන්වැනියා මතකයට එන්න ඇත්තේ වෙනත් මූලාශ්‍රයකින් නිසා කවුද කියලා මතකෙට ආවේ නැහැ. පොඩි අවුලකට තිබ්බේ මේ දේව කතා දෙකම අවුල් වගේ නිසා මගේ හිතේ කවිය ලියන්න ඇති වෙච්ච උනන්දුව බිංදුවට ම බැස්සා. ඒ මොකද කියලා පහත සටහන බැලුවොත් තේරුම් යාවි.

    මේ කතාව පටන් ගන්නේ කුරුණෑගල රාජධානියේ පළමුවැනි රජු වූ 1300 වසරවල රජ කළ දෙවන බුවනෙකබාහු රජතුමාගෙන්.

    බුවනෙකබාහු රජුට දාව මුස්ලිම් බිසවකගෙන් උපන් වත්හිමි බණ්ඩාර කුමාරයාට තමයි රජ කම පාරම්පරික ව යන්න නියමිත වෙලා තිබුණේ. නමුත් මව් පාර්ශ්වය මුස්ලිම් වීම නිසා අපේ සිංහල ඇමතිවරුන්ට මේක දිරෙව්වෙ නැහැ. ඔවුන් අපට පුරුදු පරිදි කුමන්ත්‍රණය කර ඇතුගල මුදුනේ පිරිත් ඇසීමට පිරිත් මණ්ඩපයක් සදා කුමාරයාට පිරිත් ඇසීමට ආරාධනා කර ඇතුගලෙන් පහළට හෙළලා ඔහුව මරා දැමුවා. පිරිත් අහන්න ආපු කෙනෙක් ගල පල්ලෙහාට දාලා මැරීම කොච්චර බෞද්ධ පිළිවෙතට අදාළ ද කියන ප්‍රශ්නය වෙන එකක්. කෙසේ වෙතත් ඔහු පිරිත් අහන්න සිත පහදවා ගත නිසා ද, වෙන හේතුවක් නිසා ද මන්ද ඔහුත් දේවත්වයට පත් වුනා ගලේ බණ්ඩාර නමින්. කුරුණෑගල ඇතුගල සමීපයේ ඇති ගලේ බණ්ඩාර දේවාල දෙකින් එකක් මුස්ලිම් කපු මහත්තුරු අතේත්, අනික සිංහල බෞද්ධ කපු මහත්තුරු අතෙත් තියෙන්නේ මේ නිසා කියලයි කියන්නේ.

    සිත් ලෙස රජ හට මැති කළ වරදෙන්
    අත් විණි ගල දෙස ඉන්ට බැරිව දෙන්
    වත්හිමි කුමරා මරුණි කොරෝධෙන්
    මත් වුණි නගරය ලෙඩ සෑදීමෙන්

    මේ සිද්ධිය වෙන්න පෙර බුවනෙකබා රජු ඔහුගේ බිසෝවරු හැට හත් කට්ටුව රජු අග්බෝ සමග කළ යුද්දයෙන් පැරදුණේ යැයි වැරදි අවබෝධයකින් ගලින් පැන මිය යාමේ දුකින් එම ගලින් ම පැන මිය ගිය දෙවන බුවනෙකබා රජුට දාව උපන් එක බිලිඳෙක් පමණක් ඉතිරි උනා. ඔහු හැඩිපන්නල ගම ගෙදර අප්පුවා නමින් හැදුණා. කොහොමින් කොහොමින් හරි මුස්ලිම් සම්භවයක් ඇති වත්හිමි රජු මරා දැමූ පසු රාජ ලේ උරුමය සොයා ගෙන ගම් දනව් වල මඟුල ඇතා කරක් ගහද්දී ඌ ගිහින් දන ගැහුවේ මේ අප්පුවා ළඟ. ඔහු පණ්ඩිත පරාක්‍රම බාහු නමින් රජ වුනා.

    ReplyDelete
  23. මුස්ලිම් සිංහල දෙපිරිසෙන්ම පිදුම් ලබපු දෙවැනි දෙවියෝ පිළිබඳ කතන්දරේ මෙහෙමයි.

    වියළුවේ කිවුලේගෙදර පරපුරේ 1818 කැරැල්ලට නායකත්වය දුන් කිවුලේගෙදර මහ මොහොට්ටාල ඇතුළුව එම පරපුරේ හත් දෙනෙක් ම දේවත්වයට පත් වෙලා තියෙනවා. මේ අතරින් කිවුලේගෙදර බණ්ඩාර දෙවියන් තමයි සිංහල - මුස්ලිම් ජනවර්ග දෙකෙන් ම පුද ලබන්නට සමත් වූ කෙනා. බදුල්ලේ පහරගම්මන අතීතයේ පටන් ම මුස්ලිම්වරුන් පදිංචිව සිටි ගමක්. 1635 සිට 1687 දක්වා රජ කළ දිනරාජ වංශයේ දෙවන රාජසිංහ රජු ජනප්‍රවාද අනුව පෘතුගීසීන් සමග කළ සටනකින් පැරදිලා පලා යද්දී මේ ගමේ හැංගිලා තියෙනවා. පෘතුගීසීන් රජු සැඟව සිටි තැන මුස්ලිම් කාන්තාවගෙන් විමසුවත් එම තැන දැන ගෙන සිටි ඇය ඒ බව කියලා නැහැ. මින් කෝපයට පත් පෘතුගීසීන් ඇය මරා දැම්මා. පස්සේ මාලිගාවට ගිය රජ තුමා එම කාන්තාවගේ පියාට ඒ කාන්තාව මැරුණු තැන සිට පෙනෙන තෙක් මානයේ ඇති ඉඩම් සන්නසකින් ලියලා දුන්නා (ඒ උදවිය ළඟ ටෙලස්කෝප් තිබ්බ ද මන්දා - නැති නම් පෘතුගීසීන් ගෙරි හමක් එලන ඉඩක බළකොටුවක් හැදුවා වගේ වෙන්න බැරි නැහැ). කෙසේ වෙතත් ඔන්න මුස්ලිම් - සිංහල සමගිය, සහයෝගය ගැන එක අතීත කතාවක් කියෙව්වා නිසා මගේ හිත ටිකක් පිරුණා. හැබැයි වැඩේ දෙල් වෙන්නේ ඊළඟ කොටසින්.

    කිවුලේගෙදර බණ්ඩාර තරුණයා මේ පහරගම්මන ගමේ රූබර නව යොවුන් මුස්ලිම් කතක් සමග පෙමින් බැඳුණා. නමුත් ඔහු ඇගේ අත ගන්නවාට ඇගේ දෙමව්පියන් විරුද්ධ වුනා. බණ්ඩාරගේ ඇවිටිල්ලෙන් ගැලවීමට හිතපු මුස්ලිම් කතගේ දෙමව්පියන් බුදු හාමුදුරුවෝ නො මළ ගෙයකින් අබ ඇටයක් ගේන්න පටාචාරාට පැවරුවා වගේ, කිවුලේගෙදර බණ්ඩාරට කීවා “අපේ තිස් අමුණක කෙතේ ගොයම් එක දවසකින් තනිවම එක දවසකින් කපා දෙන්න පුළුවන් නම් අපි දුව දෙන්නම්” කියලා. මේ දෙමව්පියෝ බලාපොරොත්තු නොවුන විදියට බණ්ඩාර එක දවසකින් වැඩේ ඉවර කරපු නිසා නරි බෑනා නාට්‍යයේ වගේ පොරොන්දුව ඉටු කරලා දුව බණ්ඩාරට බන්දලා දුන්නා. ඊට සත් දිනකට පස්සේ කිවුලේගෙදර ගෙදර බණ්ඩාර අබිරහස් ලෙස මිය ගියා. තිස් අමුණක ගොයම් කැපීමේ වෙහෙස නිසා තමාගේ පෙම්බර මුස්ලිම් කතගේ උකුළේ හිස තබා සිටිය දී ඔහු මිය ගිය බවට පවසා මනමාලියගේ පාර්ශ්වය ඔහුව මිහිදන් කළත්, ඔහු වළ ඇතුළෙන් කෙඳිරිගානු ඇසුණු නිසා මිනිය ගොඩ ගෙන වැද්දන් ලවා විද්දවා මැරූ බවට එක ජනප්‍රවාදයක සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ මරණින් පස්සේ පහරගම්මන මුස්ලිම් වාසීන්ට විශාල කරදරවලට මුහුණ දෙන්න සිදු වුන නිසා ඔවුන් හිතුවේ කිවුලේගෙදර බණ්ඩාරගේ සාපයෙන් එසේ වෙන බව. ඔවුන් කිවුලේගෙදර බණ්ඩාරට පුද පූජා පවත්වන්න පටන් ගත්තා. මෙය ආරංචි වුන අවට සිංහල ගම වැසියනුත් ඔහු දේවත්වයෙන් සලකා පුදන්න පටන් ගත්තා. කිවුලේ ගෙදර දෙවි කන්නලව්වේ “ඔබ තමුන්නාන්සේ සේරුපිටියේ උප්පාද වෙලා, කිවුලේගෙදරට වැඩලා කිවුලේගෙදර නින්දගන් කොටුවක් කරවා ගෙන, එතැනින් පහරගම්මනයට වැඩලා තිස් අමුණක වෙල කප්පවා ගෙන, මළ කඳ පොළොවට පස් කරවා ගෙන...” කියලා යෙදෙනවා. මෙන්න ඒ දෙවියන්ගේ කවියක්

    කිවුලේගෙදරයි මූලිකි තානේ
    පුටු පිටි ඇතිරිලි දාපු විදානේ
    මෙරටට ඇවිදින් පැනපු විදානේ
    වඩිති කියන්නන් මූලිකි තානේ

    බලා ගෙන ගියහම ශ්‍රී ලාංකේය සිංහල-මුස්ලිම් ජනවර්ග දෙකින්ම වැඳුම් පිදුම් ලබන දෙවිවරු අතරින් මුල් වතාවේ දෙවි වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයින් කියලා කියා ගන්නා ඊනියා රදල පිරිසක් බුදු දහමත් පාවා දෙන ජාතියේ කුමන්ත්‍රණයක් කරලා උරුමයෙන් රජ කම් හිමි වුන වත්හිමි කුමාරයා ව මරා දැමීමෙන්. දෙවැනියාට දෙවි වෙලා තියෙන්නේ තමන්ගේ දුවට පෙම් බැන්ද සිංහල තරුණයෙක් නරි බෑනා තාලේ බොරු පොරොන්දුවක් දීලා මුස්ලිම්වරුන් විසින් මරා දාපු කෙනෙක්.

    මේවා හුදෙක් ජනප්‍රවාද තමයි. ඒත් මේ වගේ අතීතයකට කවි ලියන්නේ මොට ද කියලා, ලිව්වා නම් කුණුහරුප ලියවේවිද කියලා බයට, තුක් නොදකින් කියලා මෙසේ සටහනක් තබා නැවතුණා.

    ReplyDelete
  24. මට මතක් වෙන්නේ බුදුන් වහන්සේගේ "වාසෙට්ඨ සූත්‍රය", රවීන්ද්‍රනාත් තාගෝර් ගේ "ඝෝරා" නවකතාව, සහ ඊ. ඩබ්ලිව් අදිකාරම් ගේ "ජාතිවාදියා මානසික රෝගියකු නොවේ ද?" යන ලිපියේ සාරාංශය වෙන "උපතින් සෑම මනුෂ්‍යයාම සමානයි. ජාති භේද යනු මිනිසා විසින්ම හදාගත් සම්මුති සත්‍යයක් මිස හැබැහින්ම පවතින්නක් නොවේ" කියන එක. ගෝරා නවකතාවේ ගෞර් මෝහන් බාබු මුස්ලිම් දරුවකු හැටියට ඉපදිලා හින්දු පවුලක් හදා වඩා ගත් පසු ඔහු දැඩි හින්දු මතධාරියකු ජාති හිතෛෂීයකු ලෙස මුස්ලිම්වරුන්ට එරෙහිව වැඩ කරලා පසුව තමා ඇත්තටම මුස්ලිම් මවු පියන් ගෙන් උපත ලද්දෙකු බව දන ගැනීම" කියන කතා සාරාංශය හරහා ශ්‍රේෂ්ඨ බුද්ධිමතකු සහ ගත්කරුවකු වුන රවීන්ද්‍රනාත් තාගෝර් දෙන පණිවුඩය. මේ වගේ මුස්ලිම් දරුවෙක් කොළඹ ඉන්න මගේ සිංහල යාලුවෙක්ගෙ පවුලක හැදුනා. එයා තාමත් හිතන් ඉන්නේ සිංහල කියලා. මට පුදුමේ මෙච්චර බුදුන් කියන ධර්මය ඉස් මුදුනින් පිළිගන්නා රටක වාසෙට්ඨ සූත්‍රය අමතක කරලා හෝ නොසලකා ඉන්නේ කොහොමද කියන එක. පහලින් වාසෙට්ඨ සූත්‍රයේ සාරාංශයක් සහ අදිකාරම් ලිපිය දාන්නම්.

    ගෞතම බුදුන්: වාසෙට්ඨ සූත්‍රය

    ථෙරවාදී පාලි ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මජ්ඣිම පණ්ණාසකය » බ්‍රාහ්මණ වර්ගය » වාසෙට්ඨ සූත්‍රය

    යථා එතාසු ජාතීසු
    ලිංගම් ජාතිමයම් පුථු
    එවං නත්ථි මනුස්සේසු
    ලිංගම් ජාතිමයම් පුථු

    තණකොළ, ගස්, කුහුඹුවන්, පණුවන්, පළඟැටියන්, ලොකු කුඩා සිවුපාවුන්, සර්පයන්, මාළුන්, කුරුල්ලන්, ආදී මේ සියලුම වර්ගවල, උප්පත්තියෙන්ම පවතින (ජාතියෙන් හටගත්) වෙන්කර හඳුනා ගැනීමේ ලකුණු (ලිංග), ඇති නමුත් මනුෂ්‍යයන් කෙරෙහි එසේ උප්පත්තියෙන්ම පිහිටන වෙන්කර හඳුනා ගැනීමේ ලකුණු නැත. යම් ආකාරයකට ඉහත [ගාථා වලින් දක්වනු ලැබූ කුරුල්ලන් ආදී සතුන්] ජාති වෙන වෙන ජාතිමය වශයෙන් පැහැදිලි වශයෙන් බෙදා වෙන් කරන සලකුණු ඇතත්, ඒ ආකාරයට මිනිසුන් වෙන වෙන ජාති ලෙස වෙන් කරන සලකුණු නැත.

    එසේ වෙන් කරන කේශයෙන් නැත, හිසින් නැත, කනින් නැත, ඇසින් නැත, මුවින් නැත, නැහැයෙන් නැත, තොලින් නැත, බැමිනුදු නැත. ග්‍රීවායෙන් නැත, අංශයෙන් නැත, උදරයෙන් නැත, පිටින් නැත, ශ්‍රොණියෙන් නැත, උරයෙන් නැත, සම්බාධයෙහි නැත, මෛථුනයෙහි නැත. අතින් නැත, පයින් නැත, ඇඟිල්ලෙන් නැත, නියෙන් නැත, දඟින් නැත, කලවෙයින් නැත, පැහැයෙන් නැත, ස්වරයෙන් අන්‍යජාතීන්හි සෙයින් ජාතිමය ලිඞ්ග (ජාති වශයෙන් බෙදා වෙන්කරන ළකුණු) නැත් මැ යි . (බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ. මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් කෘෂිකර්‍මයෙන් දිවිරක්නේ ද, වාසෙට්ඨයෙනි, මෙසේ හේ “ගොවියෙක, බමුණු නො වේ” යයි දනුව. වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් නොයෙක් ශිල්පයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “ශිල්පියෙක, බමුණු නො වේ” යයි දනුව.

    ReplyDelete
  25. ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේද? - ඊ.ඩබ්ලියු. අදිකාරම්

    ඔබ සිංහලයෙක්ද? සිංහලයෙක් නම් ඔබ ඒ බව දැන ගත්තේ කෙසේද? සිංහල යන නමින් පෙනී සිටින බොහෝ දෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය මා විසින් අසා තිබේ. ඒ එක්කෙනෙකුගෙන් වත් සෑහෙන පිළිතුරක් මට කිසි විටෙක ලැබී නොමැත.

    දෙමළ, තෙළිඟු ආදී ජාතිවලට ඇතුළත් වන අයගෙන්ද ඔබ දෙමළ බව දන්නේ කෙසේද, ඔබ තෙළිඟු බව දන්නේ කෙසේදැයි මා විසින් අසන ලද ප්‍රශ්නවලට ඒ කිසිවෙකුගෙන්ද සෑහෙන පිළිතුරක් කිසිවිටෙක නොලදිමි.

    මෙම ප්‍රශ්නය ගැන සමහරු කිපෙති. පිළිතුර ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී ප්‍රශ්නය අසන්නේ කුමට දැයි සමහරු ආපසු අසති. මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් වශයෙන් සමහරු සලකති. මෙම ප්‍රශ්නය ගැන මීට පෙර කිසිවිටෙක තමන් සිතුයේ නැතැයි තවත් සමහරු පිළිතුරු දෙති. කෙසේ හෝ වේවා, ඒ කිසිවෙකුගෙන් ප්‍රශ්නයට සෑහෙන, තර්කානුකුල, ඒත්තු ගත හැකි පිළිතුරක් නොලැබෙයි.

    මගේ දෙමව්පියන් සිංහලයින් නිසා මමද සිංහලයෙක්මි යනු බොහෝ දෙනෙකු ඉදිරිපත් කරණ තර්කයයි. මෙය ප්‍රශ්නයට පිළිතුරක් දීම නොව ප්‍රශ්නය තව ටිකක් දුරට තල්ලු කර දැමීම පමණකි. දෙමව්පියන් සිංහලයින් බව දැන ගත්තේ කෙසේදැයි ඊළඟට ප්‍රශ්න කළයුතු වන බැවින්ය. ප්‍රශ්නය මෙසේ දිගින් දිගට තල්ලුකර දැමීමට පුළුවන. එහෙත් ප්‍රශ්නයේ විසඳීමක් සිදු නොවෙයි.

    කෙනෙකු සිංහල වන්නේ සිංහල භාෂාව කථා කරණ නිසාය යනු තවත් තර්කයකි. ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇති දැඩි වීම නිසා සිංහල පමණක් කථා කරණ වෙනත් ජාතිවල අය සිටිති. සිංහල කථා කල පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් වුවන් වශයෙන් සලකනු නොලැබේ. ළදරු කාලයේ සිට වෙනත් ජාතිකයෙකු ළඟ ඇති දැඩි වීම නිසා අන්‍ය භාෂාවක් කතාකරන සිංහලයෝ සිටිති. සිංහල භාෂාව කථා නොකළ පමණින් ඔවුහු සිංහල නොවෙති යන සලකීමක්ද නැත. එහෙයින් සිංහල භාෂාව කථා කිරීම නිසා කෙනෙකු සිංහල වන්නේ හෝ ඉංග්‍රීසි භාෂාව කථා කිරීම නිසා කෙනෙකු ඉංග්‍රීසි ජාතිකයෙකු වන්නේ හෝ නොවෙයි.

    එසේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ජපන් ආදී යම්කිසි ජාතියකට කෙනෙකු අයත් බැව් නිශ්චය වශයෙන් දැන ගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් නොමැතියි. නිවැරදි පිළිතුරක් දිය හැකි වන්නේ නිවැරදි ප්‍රශ්නයකට පමණි. මේ ප්‍රශ්නය වැරදිය. නිවැරදි පිළිතුරක් මීට දිය හැකි නොවන්නේ එහෙයින් ය. ඇත්ත වශයෙන් ජාතිය යැයි ගත හැකි දෙයක් නොමැතිව තිබියදී අසවලා කිනම් ජාතියට අයත් දැයි ඇසු විට ඊට පිළිතුරක් කෙසේ නම් දත හැකි වෙයිද?

    ඔබට කුඩා දරුවෙක් සිටියි නම් ඔහුගේ ශරීරය හොඳින් පරීක්ෂා කර බලන්න. ඔහුගේ සිංහල බව දැක්වෙන විශේෂ අවයවයක් හෝ සලකුණක් හෝ ඒ දරුවාගේ ශරීරයේ පිහිටා තිබේද? කෙතරම් සෙව්වත් එවැන්නක් ඔබට දකින්නට නොලැබෙනවා ඇත. දීර්ඝ කාලයක් මුතුන් මිත්තන් ජීවත් වූ භූගෝල කලාපයේ දේශගුණය අනුව ඇති වූ සුදු, කළු, දුඹුරු, කහ ආදී හමේ පාටක් මිස සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන් ආදී ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වාභාවික සලකුණක් හෝ ලෝකයේ කිසිම රටක මනුෂ්‍ය දරුවෙකුගේ ශරීරයේ නොමැතියි.

    ReplyDelete
  26. එහෙත් මුළු මනුෂ්‍ය වර්ගයටම සාධාරණ වූ ඒ දරුවා වැඩෙත්ම දෙමව්පියන් විසින්, පරිසරය විසින්, සමාජය විසින්, ජාති නාමයක් එම දරුවා මතයෙහි ආරෝපනය කරනු ලැබෙයි. තර්ක කිරීමේ, හේතු යුක්ති සොයා බැලීමේ, සංසන්දනය කර බැලීමේ, ශක්තියක් නොමැති ඒ දරුවා නොසිතාම, නොදනුවත්වම, එම ජාති නාමය පිළිගනියි. එය පිළිගෙන මම අසවල් ජාතියට අයත් කෙනෙක් මි යන හැඟීමට ක්‍රමයෙන් පත්වෙයි. ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් ඔබ උත්පත්තියේ සිට ස්වභාවික ලෙස ඔබට තිබුණු නිසා නොව දෙමව්පියන් ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කරවූ දෘෂ්ටිය නිසා නොවේ දැයි සිතා බලන්න.

    කුරුල්ලෝ ජාති වශයෙන් එකිනෙකාට වෙනස් වෙති. උකුස්සා සහ පරෙවියා අතරත්, වටුවා සහ මොණරා අතරත් ස්වභාවික වෙනසක් තිබේ. සිංහලයා සහ දෙමළා අතරත් ඉංග්‍රීසිකාරයා සහ ජර්මන්කාරයා අතරත් එවැනි වෙනසක් තිබේද?

    කුරුල්ලන් සහ සිවුපාවුන් මෙන් නොව ලෝකයේ සෑම තැනම සිටින මනුෂ්‍යයෝ එකම ජාතියකට අයත් වෙති. ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියයි. සත්‍ය වශයෙන් පවත්නේ ඒ එකම ජාතිය ය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම් වලින් හැඳින් වෙන්නේ සත්‍ය වශයෙන් නොමැති, එහෙත් දෘෂ්ටිය නිසා ඇති කරගත් සංඥා මාත්‍ර පමණය. අර්ථයක් නැති, නම් සමුහයක් පමණය.

    නැති දෙයක් ඇතැයි සිතා ගෙන ඒ අනුව හැසිරෙන තැනැත්තා මානසික රෝගියෙකි. අසනීපයෙන් සිටින මගේ මිත්‍රයෙකු බැලීමට අංගොඩ මානසික ආරෝග්‍ය ශාලාවට මා ගිය අවස්ථාවකදී ශ්‍රී දියසේන සිංහලේ රජ්ජුරුවන් වහන්සේ නැමැත්තෙක් මා සමග කථාවට වැටුණේය. තමා දියසේන රජු බැව් ඔහු තරයේම විශ්වාස කරනවා පමණක් නොව ඔහු හැසිරෙන්නේද රාජ ලීලාවෙන්ය. ඔහු දියසේන රජු නොවන බැව් කෙනෙකු කිවුවොත් එසේ කිවූ තැනැත්තා පිස්සෙකු වශයෙන් ඔහු සලකනවා ඇත.

    දියසේන නොවන තැනැත්තා දියසේන යැයි සිතාගෙන දියසේන වශයෙන් හැසිරෙන විට ඔහු මානසික රෝගියෙක් වෙයි නම් ඇත්ත වශයෙන් නැති සිංහල ජාතියක්, නැති දෙමල ජාතියක්, නැති ඉංග්‍රීසි ජාතියක්, ඇතැයි සිතා ගෙන මම සිංහලයෙක්මි, මම දෙමලෙක්මි, මම ඉංග්‍රීසි කාරයෙක්මියි හැසිරෙන තැනැත්තා මානසික රෝගියෙක් නොවන්නේ කෙසේද?

    ඇත්තේ එකම මනුෂ්‍ය ජාතියයි. අපි සිංහලයින්, දෙමළුන් හෝ ඉංග්‍රීසින් නොව මනුෂ්‍යයෝ වෙමු. සත්ත්ව ජාතීන්ගේ ස්වභාවික බෙදීම අනුව මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් පවත්නා සත්‍ය මෙයයි. එහෙත් නැති ජාති විශේෂයක් ඇතැයි සිතා ගෙන එම දෘෂ්ටියෙන් බැඳුනු අය මෙම සත්‍ය දැකීමට අපොහොසත් වෙති.

    නැත්තක් ඇතැයි සිතීමෙන් හටගත් දෙයක් බැවින් ජාතිවාදය මානසික රෝග විශේෂයක් වශයෙන් සැලකිය යුතුය. මෙරට පමණක් නොව ලෝකයේම සිටින ඉතාම වැඩි දෙනා එම දෘෂ්ටියෙන්, එම මුලාවෙන්, බැඳුනාහු වෙති. එහෙයින් ඔවුහු එම සත්‍ය දැකීමට අසමර්ථ වන්නාහුය. අතීතයෙහි ලෝකයේ ඇතිවූ සියලුම යුද්ධ කෝලාහලවලට මුලික හේතුව වුයේ ජාතිවාදය නම් වූ මෙම මානසික රෝගයයි.

    විද්‍යාත්මක දියුණුව නිසා සැපවත්ව ජීවත් වන්ට සියලුම ඉඩ ප්‍රස්තා සැලසී තිබෙන වර්තමාන ලෝකයෙහි පවා නොයෙකුත් දුක් හිරිහැරවලට මනුෂ්‍යයාට මුහුණ පාන්ට සිදුවී තිබෙන්නේ දේශපාලන දෘෂ්ටිවලින් වෙලී ගිය ජාතිවාදය හේතු කොට ගෙනය.

    ReplyDelete
  27. ලොකු රටවල මෙම මානසික රෝගයෙන් පෙලෙන්නෝ මිනිසුන් ලක්‍ෂ ගණන් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු ක්‍රියාවල යෙදෙති. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙලෙන්නෝ මිනීමැරීම, කැති පොලුවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවල තාර ගෑම ආදී කුඩා උමතු ක්‍රියාවල යෙදෙති.

    මනුෂ්‍යයා අද සිටින්නේ ඉතාම අවදානම් සහිත යුගයකය. වර්තමාන තත්ත්වය කොතරම් භයානක දැයි බොහෝ දෙනා නොදනිති. අද ලෝකයෙහි ක්‍රියා කරන්නේ මීට පෙර කිසි කලෙක ඇතිනොවූ විධියේ බලවේගයක් බැව් සැලකිය යුතුය. ස්වල්පයක් වැරදී ගිය හොත් අවුරුදු කිහිපයක් ඇතුළතදී මුළු මනුෂ්‍ය වර්ගයාම පෘථිවියෙන් වඳ වී යාමට මාර්ගය සැලසෙන්ට බැරි නැත. එවැනි අනතුරකට භාජන නොවී මෙම තීරණාත්මක අවස්ථාව පසු කරත හැකි වන්නේ අපේ ජාතිය, අපේ රට යනාදී වශයෙන් සිතමින් ඔවුනොවුන් ඇන කොටා ගැනීමෙන් නොව අපේ ලෝකය යැයි සිතමින් මනුෂ්‍ය වර්ගයම සිහියෙන් යුක්තව වැඩ කිරීමෙන්ය. එහෙයින් අපේ ජාතිය අපේ රට යැයි අද සිතන තැනැත්තා අසිහියෙන් ක්‍රියා කරන තැනැත්තෙක් නොවේද? මුළු මනුෂ්‍ය වර්ගයේම සතුරෙක් නොවේද?”

    ReplyDelete