2013/06/07

රාජාලියන්ගේ දොම්නස් සාප්පුව ලිහා බැලීම.

මා ඊගල්ස් සංගීතයට පෙම් බඳින්නට පටන්ගන්නේ ඔවුන්ගේ 'හොටෙල් කැලිෆෝර්නියා' ගීතය ඇසීමෙන් පසුවය. ඒ මීට දශකයකට එපිටින් වන්නට ඇත. අද කතාව හොටෙල් කැලිෆෝර්නියා ගැන නොව ඊගල්ස්ලාගේම තවත් ගීතයක් වන 'සෑඩ් කැෆේ ' ගැනය.




'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි. 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 

දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 

එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --

හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ  කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි. 

සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි. 

oh expecting to fly 
we would meet on that shore in the 
sweet by and by

මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ. 

සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි. 

19 comments:

  1. අතීතකාමය වරදක් වන්නේ එය වැරදි කාමයක් නම් පමණි..

    ReplyDelete
  2. රාජාලියා කියලා මාතෘකාව දකිනකොටම මට හිතුනා මේ ඊගල්ස් සංගීත කණ්ඩායම ගැන මොනවා හරි තමයි කොටන්න ඇත්තෙ කියලා...මමත් හොටෙල් කැලිෆෝනියා වලට ගොඩාක් මනාපයි ඊට අමතරව ටිකීලා සන්රයිස් වලටත් කැමතියි.

    ReplyDelete
  3. මගේ ප්‍රියතම ගීතය "හොටෙල් කැලෆෝනියා". ඒක නම් වෙනස් වෙන එකක් නෑ කවදාවත්. ඒත් මම අළුත් ගීත්වලටත් බොහොම කැමතියි. අතීත කාමයේ එල්ලිලා ඉන්න එකනම් සුව කරන්න බැරි රෝගයක්. විය යුත්තේ සැමදා තරුණයකු ලෙසින් ජීවත් වීමයි..

    ReplyDelete
    Replies
    1. හරියට කෙන්ජි වගේ නේද මාතලන්.

      Delete
  4. ඔබ ඉතාමත්ම සූක්ෂම ලෙස ඊගල්ස්ලගේ ගීතය අමරසේකරගේ කාව්‍ය නිර්මාණයට සමානුපාතික කරමින් ලාංකීය මානසිකත්වය නිර්වචනය කර තිබෙනවා රතු. මමත් වැඩියෙන්ම කැමති නම් හොටේල් කැලිෆෝනියා ගිතයටයි. ගිතයටත් වඩා එහි ගිටාර් වාදන කණ්ඩයටයි.

    ReplyDelete
  5. සංගීතය... මගෙත් ප්‍රියතම දෙයක් මලේ.

    ReplyDelete
  6. හොඳටම ආස හිතෙන ගීත මටත් තියෙනවා රතු.ඒ වගේ සිංදුවක් ඇහෙද්දී නොදැනීම අපේ මතකයන් අවදි වෙනවා..සමහර සිංදු නම් අද වෙද්දී අහන්නම බැහැ..ඒ තරම් හිත මෙව්වා වෙනවා ඇහෙනකොට...:(

    එක කාලයක් තිබුණා ඔහේ සිංදුවක් දාගෙන හවස් අතේ නිදහසෙන් ගත කරපු..දැන් නම් වෙලාවක් නැහැ සහ උවමනාවකුත් නෑ.ඔය මොනවා උනත් මගේ ළඟ සිංදු ගබඩාවක් තියෙනවා..සෑහෙන්න ලොකුයි ඒක රත්තො...

    ReplyDelete
  7. මේ ගීත අදටත් අපේ ලේ නහර අස්සේ කොහේදෝ තියනවා. කවුරුහරි යන්තම් මුමුණනවා ඇහුනත් අපිව කුල්මත් වෙනවා. අද මටත් මෙහෙම අත්දැකීමක් ලැබුනා. අන්න මම මගේ අඩවියේ ඒ ගැන සටහනක් තැබුවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. කලකට පසුව ඔබේ සටහන් දැකීමට ලැබීම වාසනාවකි.විචාරකගේ අදහසමයි මට කියන්න තිබෙන්නේත්!

    ReplyDelete
  9. බොළද ලව් සින්දුවක් උනත් ' ද ලව් විල් කීප් අස් ඇලයිව්' ඊගල්ස් ලගේ ලස්සන සින්දුවක්

    ReplyDelete
  10. ඕක ඉතිං අපි කාටත් එක එක ප්‍රමාණවලින් තියෙන ලෙඩක්. අතීතයට, අතීත ගමට පෙම් බඳින හිතින් විඳින මිනිස්සු අදටත් කොච්චර ඉන්නවද. බොහෝවිට වර්තමානෙන් හෙම්බත් වුනු මිනිස්සු තමයි ඔය ගොඩට වැටෙන්නෙ.

    මමත් හොටේල් කැලිෆෝනියා ගීතයට ගොඩක් කැමතියි. වැඩියමත් ඒකෙ තියෙන ගිටාර් පාර්ට් එක අහන්න තමා ගොඩක් කැමති. ඒ වගේම ඩෙස්පරාඩෝ ගීතයෙත් ගිටාර් පාර්ට් එකට මම කැමතියි.

    ReplyDelete
  11. හොටෙල් කැලිෆෝනියා සින්දුවට අකැමති කෙනක් නැති තරම්.

    //සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි.//
    ඇත්ත සිහින දැකීමෙන් සමාජය වෙනස් කරන්න බැ.එක කරන්න වෙන්නේ ක්රියාවෙන්.
    නමුත් අතීතය අමතක කිරීම මගින් වර්තමානය තුල අනාගතයක් නිර්මාණය කල හැකිද..?

    ReplyDelete
  12. හොටේල් කැලිෆෝනියා ගීතයට අකමති කෙනෙක්ව හොයා ගැනීම කළුනික හොයනවටත් වැඩිය අමාරුයි මගෙ හිතේ.. අනිත් සිංදුවනම් මම අහලා නෑ රත්තෝ..

    ReplyDelete
    Replies
    1. කළුනික හොයාගන්න එච්චර අමාරු නෑ මචං...පොඩ්ඩක් සිරසේ කිංසිලියගෙන් අහලා බලහං..

      Delete
    2. හැක් හැක්.. මටත් මතකයි ඌ කළුනික හොයන්න ගිහින් මාර නෑමක් නෑවා... :-) දැන් ඌව හොයන එක කළුනික හොයනවටත් වැඩිය අමාරුයි බන්..

      Delete
    3. කිංස්ලි නොවේ මචං හිටපු තමාලිගෙන් එයාට තමා කේස් එක වුණේ

      Delete
  13. කලක් මගේ හීනයක් වෙලා තිබ්බේ ස්ටේජ් එකකට නැගල ගිටාර් එක වන වන හොටෙල් කැලිෆෝර්නියා ගහන්න. අර ගිටාර් පාට් එක නම්!

    හිටින් බලන්න. මම ඊගල්ස්ලගේ ඔක්කොම සින්දුවලට ආසයි බං.


    උඹේ අනුවර්තනය මාරයි. මට කවදාවත් ඔහොම එකක් හිතිලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේ "හිටින් බලන්න" කියලා හෙන්රි අයියා ගිටාර් එකේ ලීඩ් පාර්ට් එක ගහනවා වගේ ඇහෙනවා...:D

      Delete
  14. සහෘද බ්ලොග් සබඳනි.,
    දේශකයා, සිරා, මාතලං, නලීන්, අයිලාශ්,
    සහන්, විචාරක, එම්පීපී, මයියා ඩීඩීටී, මනෝජ්,
    සෙන්නා, හෙන්රි වගේම ඇනෝ ඔබටත් ඔබේ ප්‍රතිචාරයන්ටත් තුති.

    ReplyDelete