Google+ Followers

2012/08/17

ඔහු අවදි වන විටද , ඩයිනසෝරයා එහි සිටියේය

ඔහු අවදි වන විටද , ඩයිනසෝරයා එහි සිටියේය. when he woke up, the dinosaur  was still there .


 පාසල් යන දවස්වල මා බොහෝසෙයින් කෙටිකතා කියවීමට පුරුදුව සිටියේය. ,දිනපතා,සතිඅන්ත සහ මල් පත්තර වල තිබුනු මෙලෝ රහක් නැති කෙටිකතා රහ ගුන නොබලා එක හුස්මට කියැවීම මට මහත් ආශ්වාදයක් වූයේය. මේ කෙටිකතා කියැවීමට මා ඇබ්බැහි වූයේ ඒ දවස්වල 8 හෝ 9 පන්තියේ සින්හල පාඩම් පොතට එක්කර තිබූ ජී.බී සේනානායකගේ 'වෙසක් පහන 'කෙටිකථාව කියැවීමෙන් පසුව බව මට මතකය.ඉන්පසුව මගේ ප්‍රියතම කෙටිකතාකරුවා වූයේ .ජී.බී සේනානායකය.  ඔහුගේ 'දුප්පතුන් නැති ලෝකය' කෙටිකතා සන්ග්‍රහය තරම් විශිෂ්ට කෙටිකථා එකතුවක් සින්හල සාහිත්‍යට මෙතෙක් බිහිවී නොමැති බව මගේ අදහසයි. මාර්ටීන් වික්‍රමසින්හයන්ද හොද කෙටි කතාකරුවෙකි. නවකතාවල පරිද්දෙන් ජීවිතය හා සමාජය විග්‍රහ කිරීම සදහා තම කෙටිකතාව තුළ වූ කුඩා ඉඩකඩ ඔහු යොදා නොගත්තේ නම් ලන්කාවේ හොදම කෙටිකතාකරුවා වීමට ඔහුට හැකියාව තිබිණ''කෙටිකතාවෙන් ජීවිත් හා සමාජ විග්‍රහයන් කිරීමට නොහැකිය යන්න මාගේ අදහස නොවේ. නමුත් ඒවා වස්තුවිශය සමග මනා සම්බන්දතාවයක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත් වික්‍රමසින්හයන්ගේ වහල්ලු කෙටි කතා සන්ග්‍රහයද අතිශය වැදගත් අමතක කල නොහැකි නිර්මාණයකි. ඔහුගේ එක් කෙටි කතාවක් වන සද සාක්කි කීම මා මෙතෙක් කියවූ හොදම කතාවකි. එය වස්තුවිශයෙන් හා ආකෘතියෙන් ගී ද මෝපසාන්ගේ කෙටිකතාවන්ට ලන්වෙයි. මෝපසාන්ගේ සහ එඩ්ගාර් ඇලන් පෝ ගේ ලන්කාවේ නෑදෑයා වසයෙන් මා සලකන්නේ ඩබ්. ඒ සිල්වා මහතායි. ඔහුගේ කෙටිකතාවල නිතර නොනිවී දැල්වෙන අග්නිඛීලයක් පරිද්දෙන් වූ කුතුහලය මෙරට බොහෝදෙනා කෙටිකතා කියැවීමට පෙළබුවේය. එමෙන්ම හේමපාල මුනිදාස මහතාත් ඉතා හොද කෙටිකතා කිහිපයක්ම රචනා කරන ලද කෙටිකතාකරුවෙක් වෙයි. ටී. ජී ඩබ්. ද සිල්වා මහතා ලන්කාවේ උපහාසාත්මක කෙටි කතා කලාවේ රජුය. ඔහු සිහිවන විට කොළබ කවියෙක් වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මහතා සිහිවෙන්නේ ඇයිදැයි මට නොතේරේ. මේ මම සදහන් කළේ මුල් යුගයේ කෙටිකතාකරුවන් ගැනය. 

ලනකාවේ කෙටිකතා කලාවෙ දෙවනි පරපුර ඇරබෙන්නේ ගුනදාස අමරසේකරයන්ගෙන් බව මගේ අදහසයි. ගුනදාස අමරසේකරයන් නම් වූ නවකතාකරුවාට වඩා මා ප්‍රිය කරන්නේ ඔහු තුළ ජීවත් වූ කවියාටත්, කෙටිකතාකරුවාටත් ය. ඔහුගේ බයිසිකලය සහ අවුරුදු තෑග්ග කෙටිකතා ද්විත්වය මුලින්ම කියැවූ මා මහත් කම්පනයට පත්විය. මහාචාර්ය ඒ.වී සුරවීර ද මා මහත් සේ ඇලුම් කරන කෙටිකතාකරුවෙකි. ඔහුගේ ගස් නම් කෙටිකතා එකතුව  මා කියවූයේ පාසල් සිසුවෙකුව සිටියදීය. අපට සිටින තවත් විශිෂ්ට කෙටිකතා කරුවෙක් වන්නේ ජයතිලක කම්මැල්ලවීරයි. මම අජිත් තිලකසේනයන්ගේ වන්දනා කෙටිකතා සන්ග්‍රහය කියවූයේ අහම්බෙනි. ඉන්පසුව මා තිලකසේනයන්ගේ කෙටිකතා සොය සොයා යමින් කියවන්නට වීමි. ඒ තරමට මා ඔහුගේ නිර්මාණ කෙරෙහි වශීකර වී සිටියෙමි ..තවත් සදහන් කලයුතු කෙටිකතා නිර්මාපකයන් බොහොමයකි. නමුත් එක්වරම සිහියට නොයේ. කියවන ඔබ ඔවුන් පිළිබදව සදහන් කරාවියැයි මට සිතේ. 

දැන් ඔබේ සිතේ වැඩ කරන ප්‍රශ්නය කුමක්දැයි මට අනුමාන කල හැකිය. ඒ ඩයිනසෝරයෙක් ගැන කියූ මේ මනුස්සයා කෙටිකතාකරුවන් ගැන කියන්නේ ඇයිද යන්නයි. ඩයිනසෝරයන් හා කෙටිකතාකරුවන් අතර ඇති සමානකම් මොනවාදැයි මම දන්නේ නැත. එහෙත් මේ පෝස්ටුවේ හෙඩිමට මා යොදාගත්තේ ලෝකයේ කෙටිම කෙටි කතාවයි. ගෝතමාලා ජාතික ඔගොස්තෝ මොන්තෙරොසෝ නම් ලේඛකයා තමයි එකම එක වගන්තියකින් යුක්ත මේ කෙටිකතාව රචනා කර තිබෙන්නේ. කුතුහලය අවුස්සවන කතාවක් නේද? 
                                                                                     




18 comments:

  1. ගුණදාස අමරසේකර මුල් කාලේ හොඳ ඒවා ලිව්වත් පස්සේ කාලේ දේශපාලනේ වැඩියෙන් ඔබන්න ගිගින් නිර්මාණාත්මක ගතිය නැති කර ගත්තා

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත. ඔබේ අදහස මම පිලිගන්නවා. අමර්සේකරයන්ගේ කවි කියවන විට මට දැනේන්නෙ මේ කවි සහ ඔහුගේ පසුකාලීන කෙටිකතා සහ නවකතා ලියුවේ ඔහුමදැයි යන සැකයයි.

      Delete
  2. ඔය ලිස්ට් එකට මාත් කැමතියි. ඕ.හෙන්රිට, චෙකෝෆ්ට කැමති නැද්ද?
    අලුත් කතාකරුවන්ට නං එච්චර කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්, ඔබ ඕ හෙන්රි ගැන සිහිකළාමයි මට මතක් වුනේ. විශිෂ්ට රචකයෙක්. ඒත් චෙකොෆ්ට නම් වැඩි කැමැත්තක් නෑ, ඔහුගේ චෙරි වත්ත නාට්‍ය පිටපත කියවූ මට වික්‍රමසින්හයන්ගේ ගම්පෙරළිය මතක් වුනා. ඒත් වික්‍රමසින්හයන්ගේ නිර්මාණශීලී බව චෙකොෆ්ගේ චෙරි වත්තේ තිබුනේ නැහැ වගේ නේද?

      Delete
  3. ඔය නම් සදහන් කරල තියෙන හැම පොතක්ම වගේ මගේ පොත් එකතුවෙත් තියෙන එක ගැන සතුටු වෙනවා. හොද නිර්මානයක් රස විදින එක එක්තරා විදියක භාවනාවක්.මම පොඩි කාලේ අපේ ගෙදර ටීවි එකක් නොතිබීම ගැන සතුටු වෙනව , ඒක තිබුන නම් මමත් අද ඉන්න බහුතරය වගේ හැගීම් දැනීම් නැති නිවටයෙක් වෙනවා .
    අලුත් රචකයෝ ගැන කියනව නම් කථා වනසන සු‍ජව ප්‍රසන්නාරච්චි වගේ කීප දෙනෙක් ඇරුනාම හොද නිර්මාන කරුවෝ අදටත් ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. //මම පොඩි කාලේ අපේ ගෙදර ටීවි එකක් නොතිබීම ගැන සතුටු වෙනව //
      ඒ ගැන නම් මමත් ඇත්තටම සතුටුයි සහෝදරයා. අපේ ගෙදරත් මම පොඩිකාලේ ටෙලිවිෂනයක් තිබුනේ නෑ. ටෙලිවිෂනය පරිකල්පන හැකියාව මොට කරන බැව් මගේ විශ්වාශයයි.

      Delete
  4. ඔබගෙන් මගහැරුණු, ඒහෙත් විශිෂ්ටතම කෙටිකතාකරුවෙක් - නිශ්ශංක විජේමාන්න ඔහුගේ මෑතකෘලීනව පලවූ චන්ද්‍රකින්නරාවිය, කීඩෑවෝ ඇවිල්ලා, කළු කිරිල්ලි සහ මුවා මැරූ සලමන් පොත් හොයාගෙන කියවන්න.... මංජ්‍රල වෙඩිවර්ධනත් එවැනිම විශිෂ්ට කෙටිකතාකරුවෙක්... ඒත් ඔහුගේ පොතක් (මේරි නම් වූ මරියා) තහනමට ලක්වුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, නිශ්ශන්ක විශිෂ්ට රචකයෙක්. ඔහුගේ කීඩෑවෝ ඇවිල්ලා කෘතිය නම් මා කියවා තිබෙනවා. සුමිත් අයියා සදහන් කර ඇති අනෙක් කෘතීන් ඉක්මනින් හොයාගෙන කියවන්න හිතට ගත්තා. වෙඩිවර්ධනත් මා ඉතාමත් ආශාවෙන් කියවන රචකයෙක්. ඔහුගේ බොහෝ කවි සහ බත්තලන්ගුන්ඩුව නවකතාව මා කියවා තිබෙනවා. බයිබලයේ ඇතැම් ඉගැන්වීම් පිළිබදව ඔහු පලකරන ඇතැම් අදහස් පිලිබදව මට පෞද්ගලික විචාරයක් ඇතත් වෙඩිවර්ධනගේ ලිවීමට මා කැමතියි. එමෙන්ම මට තවත් වැදගත් කෙටිකතාකරුවන් ගණනාවක් මගහැරී තිබෙනවා. ඔවුන් මේ පෝස්ටුව කියවන ඇත්තන් මට සිහිකර දේවියැයි හිතනවා .

      Delete
  5. ඉස්කෝලේ යන කාලේ ටිකක් ලොකු පොත විදිහට මුලින්ම කියෙව්වේ කේ.ජී කරුණාතිලක මහත්තයා පරිවර්තනය කරපු එඩා රයිස් බරෝස්ගේ ටාර්සන් පොත් පෙලේ "ටාර්සන්ගේ වනසිවුපාවෝ" පොත. ඒ තුන වසරේදී. ඒකත් එක්කම ටාර්සන්ගේ පොත් කියවන්න පටන් ගත්තා. 4 වසරේදී චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු ආතර් කොනොන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් පෙලේ "සිවුරහස් සළකුණ" පොත කියෙව්වා. ඒකත් එක්ක ඒ පොතුත් කියවන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ වීරයෝ වුනේ ටාර්සන් සහ ෂර්ලොක් හෝම්ස්....

    ReplyDelete
  6. kee.කේ.ජී කරුණාතිලක මහත්මයාගේ පරිවර්තනයන් හරිම ගරු ගාම්බීරයි, ඉතාම රසවත්. එඩ්ගා රයිස් බාරොස් ගේ ටාසන් පොත්පෙළ කියවන්නට මට ඉඩක් ලැබුනේ නෑ, නමුත් මම කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරාපු වෙනත් බොහෝ පොත් කියව තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ කොකේසියානු සොහොයුරෝ මා කියවූ මට මතක හිටින පොතක්.
    දොස්තර චන්දන මෙන්ඩිස් මහතා ශර්ලොක් හෝම්ස් පරිවර්තනය කරන්නට කලින් තවත් බොහෝදෙනෙක් එම කතා පරිවර්තනය කරා. මා ඔහුගේ පොත් කියව තිබෙනවා තමයි නමුත් මෑත කාලයේ ඔහු ලියූ හෝම්ස්ගේ වික්‍රම කොනන් ඩොයිල් මහතාගේ හෝම්ස් කතා නොවෙන වග නම් සහතිකයි.

    ReplyDelete
    Replies
    1. චන්ඩන මෙන්ඩිස් මහත්තයා ලෝහිත පරීක්ෂණය පොතෙන් පස්සේ පරිවර්තනය කරලා තියෙන්නේ කොනොන් ඩොයිල්ගෙන් පසුව විවිධ ලේඛකයන් ලියපු ෂර්ලොක් හෝම්ස් කතා. ඒ වගේමයි කාලයක් ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය නියැලිලා හිටිය නිසා ඔහුත් කතා ලියනවා මම හිතන විදිහට නම්.

      ඒත් ඒකෙන් වෙන්නේ කොනොන් ඩොයිල් මවපු ෂර්ලොක් හෝම්ස්ට ලොකු අසාධාරණයක්. මොකද අලුත් කතාවල අපරාධකාරයා කවුද කියන එක ෂර්ලොක් හෝම්ස් හොයන්නත් කලින් කියවන පාඨකයාට හොයාගන්න පුලුවන් වෙන මට්ටමට ඒ කතා බොළඳ වෙලා තියෙන්නේ...

      Delete
    2. ඇත්ත, මම සම්පූර්ණයෙන්ම එකගයි. ඒත් හසිත මම නම් හිතන්නේ ඔහු වෙනත් ලේඛ්කයන්ගේ හෝම්ස් කතා පරිවර්තනය කරනවා නොවෙයි ඔහුම කතා ලියනව ..විශේෂයෙන්ම ඩ්‍රැකියුලාට එරෙහිව හෝම්ස් වගේ කතා ඔහු ලියූ වග සහතිකයි. ඇත්තටම හෝම්ස්ටත් වඩා අසාධාරණයක් වෙන්නේ කියවන අපිට. ඒ කතා ගුනාත්මක අගයෙන් ඉහල නම් එයත් ප්‍රශ්නයක් නොවෙයි.මම හෝම්ස් මුලින්ම කියවූයේ කුමාර සිරිවර්දන මහතාගේ පරිවර්තනයන් විදිහට. ඔහු මුතුහර සඟරාවේ සංස්කාරක විදිහට කාලයක් කටයුතු කරා.

      Delete
    3. ඩ්‍රැකියුලා කතාවේ චන්දන මෙන්ඩිස් කරලා තියෙන්නේ බ්‍රෑම් ස්ටෝකර්ගේ කතාවේ මැද්දෙන් මැද්දට ෂර්ලොක් හෝම්ස්ව ඔබලා තියෙන එක.

      …මුතුහර සඟරාවේ ගිය ෂර්ලොක් හෝම්ස් කතාව නම් මට මතක නැහැ. ඒත් ආතර් රජතුමා සහ වට මේස නයිට්වරු, ගොවිපොළක ජීවත් වෙන්න ආපු නගරයේ ගැහැණු ළමයෙක්ගේ කතාව [නම මතක නැහැ මට], වික්‍රමාදිත්‍ය රජුගේ කතාව ආසාවෙන් කියෙව්වා

      Delete
    4. //විශේෂයෙන්ම ඔහුගේ කොකේසියානු සොහොයුරෝ මා කියවූ මට මතක හිටින පොතක්//
      මේ නම වැරදියි කියලා මට මතක් වුනේ හදිසියේ,මම හිතන්නේ පොතේ නම කර්මාසෝප් සහෝදරයෝ .

      Delete
  7. වටමේසේ නයිට්වරු ලාන්ස්ලට්, ගැල්හඩ්, එහෙම නම් නේද තිබුනේ ..මට මතකයි වික්‍රමාදිත්‍ය රජතුමාගෙ කතාවෙ උප කතාන්දර තිස් ගණනක් තිබුනා මතකයි. ඒ කතා ශෛලිය හදුන්වන්නේ චීන පෙට්ටි ක්‍රමය කියලා ..එක කතාවක් ඇතුලේ තවත් කතාවක්. ඒ ඇතුළෙ තවත් කතාවක්. අරාබි නිසොල්ලාසය, එතකොට අපේ උම්මග්ග ජාතකය එහෙම හොදම උදාහරණ.

    ReplyDelete
    Replies
    1. චීන පෙට්ටි ක්‍රමයට හොඳම උදාහරණය තමා පංචතන්ත්‍රය. ඒකේ එක කතාවක තව කතාවක්. ඒ කතාවේ තව කතාවක් ආදී විදිහට ගිහින් අන්තිමට එකෙන් එක ඉවරවෙලා මුල්ම කතාවට එනවා....

      මේ blog එකට එන්න කලින් වැඩිහිටියන්ට සුදුසු අඩවියක් කියලා නෝටිස් එකක් එනවා. ටිකක් ඒ ගැන හොයලා බලන්න

      Delete
    2. බොහොමත් ස්තූතියි ඔබේ ඩැනුම් දීමට. මම හිතන්නේ දැන් එය නිවැරදි වුනා. මාව චුට්ටක් දැනුවත් කරන්න එවනි තතවයක් නැවත් නිරීක්ෂණය උනොත්..

      Delete
    3. @ රතු රජරට

      දැන් හරි. එහෙම නෝටිස් එකක් දැන් එන්නේ නැහැ :)

      Delete