Google+ Followers

2012/08/19

පාවෙලා ගිය කාලයේ දුර ඈත සුසුමන් තාම සුවදයි

පාවෙලා  ගිය  කාලයේ දුර  ඈත  සුසුමන්  තාම    සුවදයි 


මතක වස්ත්‍ර කියන නවකතාව මට ලැබුණේ අපේ පන්සලේ නන්දාලෝක පොඩිහාමුදුරුවන්ගෙන් ..ඒ මීට බොහෝම කාලෙකට ඉස්සර ..පොතේ නම දැක්ක හැටියෙම මට හිතුණේ මේකත් කො.ආනන්ද හාමුදුරුවෝ ලියපු 'හේ සිද්ධාර්ත නම් වෙයි' වගේ පොතක් කියලා. (මේ බ්ලොග් කියවන අපේ අය දන්නවා ඇතිනේ ලන්කාවේ ආචාර්ය උපාධියක් වෙනුවෙන් නිබන්ධනයක් වශයෙන් පිළිගත්තු එකම නවකතාව .කො.ආනන්ද හාමුදුරුවන්ගේ 'හේ සිද්ධාර්ථ නම් වෙයි 'කියන පොතයි කියලා ) පොතේ කතෘවරයා වුනේ ඤානවිපුල මුනසිංහ කියන අත්දැකීම් බහුල සිවිල් නිලධාරියා. මතක වස්ත්‍ර මා දන්නා තරමින්  ඔහුගේ එකම නවකතාව ..ඇත්තටම එය හරිම අපූරු සාහිත්යික නිරමාණයක්. කවුරුන් හෝ මගෙන් ඇහුවොත් මෙතෙක් කියවූ හොදම පොත් තුන මොනවාද කියලා මගේ ලැයිස්තුවෙ අනිවාර්යෙන්ම මතක වස්ත්‍ර තියෙනවා.

මේ පොතේ පිට කවරය නිර්මාණය කරලා තියෙන්නේ සෝමසිරි හේරත්  . මම ඔහුව ඉතාම ප්‍රියකරන චිත්‍රශිල්පියෙක් ..මගේ කාලයේ පාසල් පෙළ පොත්වල, විශේෂයෙන්ම සිංහල පාඩම් පොතේ චිත්‍ර ඇන්දේ ඔහු. සමහරවිට ඔබලාටත් මතක ඇති.

මතක වස්ත්‍ර සාහිත්යියේ චමත්කාරය පසක් කරවන පොතක්. මිනිසාගේ ජීවන අපෙක්ෂාවන් බිඳ වැටුනු කල්හි ජීවිතය කොතරම් දුශ්කරදැයි එම කෘතිය හැගීම් ඔස්සේ කියාදෙනවා. කුඩා කාලයේ පටන් පෙම්බැඳි 'නිල් ගොටුකොළ පඳුරක් ' වැනිවූ තම නෑණන්ඩිය කෙරෙහි වූ අසීමිත ප්‍රේමය, අධ්‍යාපනය නම් වූ හිනිමගේ පිහිටෙන් ලඟාකරගත්තාවූ සමාජ තත්වය තව දුරටත් ඔප නංවාගන්නට අවැසි ආර්ථික සමුර්දිය විවාහයේ පිහිටෙන් ලබාගන්නට ,අත්හැරදමන්නට මේ කතාවේ කතා නායකයාට බල කෙරෙනවා. නමුත් ජීවිත කාලය පුරාවටම වැලපෙන්නටත් ජීවිතය විඳවන්නටත් ඔහුට සිදුවෙනවා.

හුදු ප්‍රේම කතාවකට එපිටින් යන ගැඹුරු සමාජ ජීවිත විවරණයක් මතක වස්ත්‍ර තුළ දකින්නට පුළුවන්. මෙම නවකතාවට පෙරවදන් ලියන්නේ ප්‍රවීන කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කු විසිනුයි. ඔහු මතක වස්ත්‍ර හඳුන්වන්නේ සිංහල බෞද්ධ ගැමි සමාජයේ වංචනික චිත්ත චෛතසිකය අනාවරණය කරන කෘතියක් ලෙසිනි. එනයින් මෙය දේශපාලනික නවකතාවක්ද වෙයි. හැකි නම් සොයාගෙන රසවිඳින්නැයි මම ඔබට කියන්නේ එය ජීවිතයේදි කියවුය යුතු මඟහැර නොගතයුතු පොතක් ලෙස මට හැගී යන නිසාය.

1983 පෙබරවාරි 16
ආදරණීය ඉස්කෝලේ අයියේ, 
පේවිලා සිත මග බලාගෙන හද ගැබට ඔබෙ සුවඳ  පුරුදුයි 
නෑවිලා තරු බිංදු එළියෙන් සිටින කළුවර හඳම     විමසයි 
                                                                         මෙයට ,
                                            ඔබේම ආදර නන්දා (ඉබ්බී )

වියැළුණ ළපළු 

ගුරුපාරේ බඩවැටියෙන් 
කරඹ මලේ සුවඳ අරන් 
නුඹ එනකොට හැන්දෑවේ 
හිනාවෙවී...... 
අඩක් ඇරුණු ජනේලයෙන් 
පැනගන්නා මගේ දෑස් 
විකසිත වූ නුඹෙ සිනහව 
ආදරයෙන් තුරුළු කරන් 
පරෙස්සමට නිධන් කළා 
මගෙ හදවත් පෙට්ටගමේ 

සිනා කටක් පුරවාගෙන 
පොත් අහුරක් තුරුළු කරන් 
නුඹ ආ සඳ ඇදිරි හවස 
පායයි පුන්සඳ දොරකඩ 

හාන්සි පුටුවේ ඇලවී 
බුම්මාගෙන කරබාගෙන 
බණපොත් වනපොත් කරනා 
හිනාවෙන්න හරිම ලෝබ 
තේජවන්ත අප්පච්චිත් 
පොඩි නෑනේ නුඹ ආ විට 
පොත එක්කලා හිනාවෙනවා 

චිමිනි ලාම්පුවෙ එළියෙන් 
සාලයෙ මැද 
පැදුරක බිම 
ලොක්කි, උක්කු, පොඩි අක්කලා 
මද්දු, මැණිකේ අපි ඔක්කොම 
අතුරු මිතුරු දඹදිවතුරු 
සෙල්ලම හති වැටෙනා තුරු 
ඒ අතරේ හිස ඇලකර 
නුඹ හිනැහෙනු දකිනා සඳ 
මහඳ අඳුරු ගඳකිළිගෙය 
එකම ප්‍රදීපයක් වගෙයි 

මෝරන කළුවර අහසේ 
දිළිසෙන තරුකැටවල හැඩ -
-වැඩ දමනා මහද ගැබට 
"ඉස්කෝලේ ලොකු අයියේ "
කියලා නුඹ හීන්සැරේ 
කොඳුරන හඬ සැරින්සැරේ 
තරු වලටත් එහා තියෙන 
ඈත ලෝකෙකින් වාගේ 
පන්සාළිස් වසක් ගියත් 
අද ඊයේ වගෙ ඇසෙනවා. 

පාවෙලා  ගිය  කාලයේ දුර  ඈත  සුසුමන්  තාම    සුවදයි 
රෑ වෙලා හඳ කුටිය අසබඩ ඔබෙ සිනා පුන්කැළුම් පායයි 
                                       මීට-ඉස්කෝලේ ලොකු අයියා 


9 comments:

  1. "මේ බ්ලොග් කියවන අපේ අය දන්නවා ඇතිනේ ලන්කාවේ ආචාර්ය උපාධියක් වෙනුවෙන් නිබන්ධනයක් වශයෙන් පිළිගත්තු එකම නවකතාව .කො.ආනන්ද හාමුදුරුවන්ගේ 'හේ සිද්ධාර්ථ නම් වෙයි 'කියන පොතයි කියලා"

    මේ කතාව ටිකක් සංශෝධනය වෙන්න ඕනේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයේ ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයේ කොටසක් විදිහටයි "හේ සිද්ධාර්ථ නම් වෙයි" කියන කෘතිය භාර ගැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි හසිත ..මම හිතන්නේ ඔබ හරි.සිද්ධාර්ථ කියෙව්වද? අපූරු පොතක් නේද ?

      Delete
    2. අනිවාර්යෙන්ම පැවිද්දෙකුගේ ජීවිතය පැවිද්දෙක් විසින්ම අලංකාරව සාහිත්‍යට නගලා තියෙනවා. ඒකේ ඉන්න ලොකු හාමුදුරුවන්ගේ චරිතය අද කාලේ ඉන්නේ සාමනේර හිමිවරුන්ගේ ගුරු හාමුදුරුවන්ට ලොකු ආදර්ශයක්...

      Delete
  2. නොදන්නා දෙයක් පිලිබදව දැනුවත් කලාට ඉස්තුතියි ....

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින් මෙය නම් කියවන්නම ඕනෙ පොතක් කියාලායි මට හිතෙන්නේ.

      Delete
  3. උපුටා දක්වා ඇති කවි පෙළ නම් ඉතා රසවත්... නුතන පරම්පරාවෙ කීදෙනෙක් මේ වගේ සාහිත්‍ය නිර්මාණයක් රස විදීද කියලා හිතන්නත් අමාරුයි... අව්‍යාජ ගැමි සමාජයක ඇතුලාන්තය විදහා දක්වන කැඩපතක් වගෙයි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචන් මේ කවි පෙළ නම් මගේ. ඒක ලියන්නට මාව පෙළඹවූයේ මතක වස්ත්‍ර කියන පොතයි. කොහොම වුණත් කවිපෙළ ගැන උඹෙ වර්ණනාව නම් මට හීනි ආඩම්බරයක් ගෙනාවා.

      Delete
  4. මාත් ඉස්සර කියෙව්වා ඔය වගේ පොත්

    ReplyDelete
  5. ඇයි නිශාන් කියවීම නැවැත්තුවද?

    ReplyDelete