2012/10/11

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට

බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 












බහ තේරෙන වයසෙදිම අපි අත්තම්මගෙන් කතන්දර අහන්න පුරුදු වෙලා හිටියා. හතර වටින් ගොම්මන් කළුවර කඩාගෙන වැටෙන වෙලාව- සැදෑ අඳුර හෙමින් හෙමින් ඇවිත් අර සුවදායී -නිහැඬි බවෙන් වටපිටාව වෙළාගන්නවා. ගම්වල මිනිස්සුන්ට සැන්දෑව එළඹුම හිතට ගතට අපූරු සහනයක්, සුවයක් .

අඳුර තමයි අපෙ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ 
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

අමරසේකරගෙ භාවගීත පොතෙන් උපුටාගත්තු  "යමන් කළුවෙ ගෙදර යන්න" කවි පන්තිය මම මුලින්ම කියෙව්වේ හතරෙ හෝ පහ වසරෙ සිංහල පාඩමකින් .අමරසේකරගෙ වර්තමාන දේශපාලන චින්තනය ගැන නිර්දය විවෙචනයක් මට තිබුණත් කවියෙක් විදිහට ඔහුගේ විශිෂ්ටත්වය නම් මම පිළිගන්නවා. ඒත් එදා දෙමළටයි සිංහලයට යි එකම විදිහට තමයි සොබාදහමත්  අඳුරු රෙද්ද පෙරෙව්වෙ කියන සදාතනික සත්‍ය ඒ කවි පන්තියෙන් අමරසේකර පිළිඅරගෙන තිබුණා. අද ඔහු පෙනී සිටින රාජපක්ෂ ආණ්ඩුව කාටත් නොදැනෙනෙ තාලෙ මෙය යැයි වරදවා තේරුම් ගනිමින් මුළු මහත් රටටම ඉතිහාසයේ පෙර නොවූ විරූ අඳුරු රෙද්දක් පොරවමින් සිටිනවා. 

හවස ඇදිරි වැටෙනකොට කඩි ගුලක් තරමට නැතත් තරමක කඩිමුඩියක වෙළිලා තිබුණු ගම හෙමින් හෙමින් නිස්කාන්සුවෙ නිවෙනවා. ..සී..ත..ල.බලන්න කවමදාකවත් නගරයක ඔය ලක්ෂණය දකින්න පුළුවන්ද කියලා. හැබැයි මම මේ කියන්නේ නගරය=අපාය ..ගම =දෙව්ලොව කියලා නෙමෙයි. ලංකාවෙ වැඩවසම් ක්‍රමයෙ අතිශය අසාධාරණ වැඩවසම් ලක්ෂණ වල නටඹුන් තවමත් ගමේ දකින්න තිබෙනවා ඉදහිට.නමුත් සොබාදහම තාමත් අපේ පූර්වජයින්ගේ කාලයෙ සෙනහසම අපට ලබාදෙනවයි කියලා තේරුම් ගන්න නම් ජීවිතේ පුංචි කාලයක් හරි ගමේ ජීවිතය අත්දකින්න ඕනෙ. හැබැයි, ඒ හැගීම් ගමේ ජීවත් වූ පමණින් ප්‍රවේණිකව උරුම වන දෙයකුත් නොවෙයි.ඒ  බුද්ධි පරිපාකයද ,නැත්නම්  අපොස උ.පෙළ පෙනී සිට විශ්ව විද්‍යාලයට ඇතුළ් වුවහොත් පමණක් උරුම වන සංවේදනාවක්ද ,නැත්නම් සේකර කීවා සේ ..........

ඇවිඳ ලදු දෙණි  කැලෑ බිම්වල
 රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළ් සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
රටාවක් බව මේ මහා විශ්වය 
කුඩාකල සිටම මට කියා දුන් .....

සමීපතමයින් ජීවිතයේ පංගුකාරයන් වී සිටීම ද කියා හරියටම කියන්නේ කොහොමද ?

සැන්දෑ කළුවර හරියට සර්පයෙක් බඩාගානවා වගේ මහපොළව හෙමින් හෙමින් වහගන්න වෙලාවට වචන වලට නැගිය නොහැකි නිරාමිශ සතුටක් හිතට දැනිලා තියෙනවා මට, ඒ පුංචි සන්දියේදි. පුංචි උන් වෙච්ච අපට හැන්දෑව සතුටක්. කැමතිම ජවනිකාවක් තව ටිකකින් පටන් ගන්නවා. බුදුන් වැදලා ඉවර කරලා අත්තම්මා ඉස්තෝප්පුවට ගාටනවා. එහි එළිපත්තෙ ඈදිගන්නවා, උන්දැලා කීවෙ එහෙමයි. ඕන්න අපි පොඩිවුන් රැළ පොකුරු ගැහෙනවා අත්තම්මා වටේ. චිමිනි ලාම්පුවෙ එළිය කළුවර ඈතටම එළවලා දැම්මේ නැහැ. අද ලංකාව වටේටම විදුලි බලාගාර තියාගෙනත් පාඨලී ඇමතිතුමාටත් කළුවර සම්පූර්ණයෙන්ම එළවලා දාන්න බැරිවෙලා තියෙනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. චිමිනි ලාම්පුවෙ එළියෙන් රැය ගෙවා දමන කාලෙ අපට රැය සහ දහවල අතර සොබා නීතීයේ වෙනස් කම් අඳුනා ගන්න ඉඩක් තිබුණා. නමුත් පාඨලී ඇමතිතුමාලා අද අපි විසින්ම නිපදවාගත්තු නීති පණවමින් රැය සහ දහවලේ වෙනසක් නැතෙයි තහවුරු කරන්නට උත්සාහ කරමින් සිටිනවා. දහවලටත් එළිබහින සුදුවෑන් එහි එක් සලකුණක්. 

අත්තම්මා අපට බොහෝ කවි කතා කියා දී තිබෙනවා මෙවැනි සැදෑ සමයන් ගණනාවකදී. මට මතක් වෙනවා එහෙම කවියක්. 

මල්ලියි මමයි තනි පාරෙ යන කලට 
බඩගින්නක් ආවයි අපි දෙන්නාට. 
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට යන්ට 
යමන් මලේ අම්මා වැළලූ තැනට 

අම්මාගේ වියෝගයෙන් අසරණවූ දරුවන් දෙදෙනෙක් ගැන අපූරු කතාවකුත් අත්තම්මා ඊට එක්කරනවා.ඇයගේ ඇතැම් වර්ණනාවන් වල අතිශයෝක්තීන් බහුලයි. ඒත් කුඩා කල අප විදින්නට කැමති වූ රසය ඒ වර්ණනාත්මක විස්තරයින්ගේ අඩුපාඩුවක් නැතිව තිබුණා. අත්තම්මා අපට කීවෙ යන්නට එන්නට තැනක් නැතිවූ සොහොයුරන් දෙදෙනා අම්මාගෙ සොහොන පාමුලට ගිය පසු ඇගේ වළ මත සරුවට වැඩී තිබූ පැණි දොඩම් ගසක ගෙඩි පිරී තිබුණු බවයි. අර අසරණයින්ගේ කුසගින්න නිවන්නේ අම්මාගේ වළ මත වැඩී තිබූ පැණි දොඩම් ගසයි. අම්මාගේ නොසිදෙන  ආදරයත්, සොබාදහම අප වෙනුවෙන් සියල්ල වෙන් කර තිබෙන අයුරුත් ඒ කතාවෙන් අපූරුවට කියවෙන බව කුඩා අපට තේරුණේ බොහෝ කාලයක් ගතවූ පසුයි. 

එහෙත් අද තිබෙන්නේ එදා ලංකාව නොවෙන නිසා බඩගිනි කියා අම්මාගේ සොහොන වෙත යාම නිරර්තක කටයුත්තක් වෙලා. මේ අතිසීග්‍ර සමාජ පරිවර්තනයන් 77 ට ලඝු කරන්නට නොවෙහෙසී මදක් එපිටට කල්පනා කර බැලූ විට 94 දිත් අම්මාගේ සොහොන වෙත යන දරුවෙකුට පැණි දොඩම් කන්නට හැකියාවක් තිබූ බව මතක් කරගන්නට අපහසු නැහැ. 



29 comments:

  1. සාහිත්‍යය යොදාගෙන සියුම්ව දේශපාලන විවේචනයකුත් ලිපියට එකතු කරලා තියනවා නියම ලිපියක් ඔබට ජය සහෝ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ......මට නම් දේශපාලනයෙන් තොර ප්‍රපංචයක් නැහැ

      Delete
  2. දේශපාලනේ නම් පැත්තක තියමු. එපා වෙනව බං.

    මේක කියවද්දි මට හිතට වැදුනු එකම දේ ‘අතීත ගම‘. අපි හැමෝම මහ පුදුම සත්තු ජාතියක් බං. සිමෙන්ති කොන්ක්‍රීට්වලින් වටවෙච්ච විදුලි එළියෙන් ආලෝකමත් වුණු කාමරයක ෆෑන් එකකින් කෘත්‍රිමව හුලං වදිද්දි ප්ලාස්ටික් පුටුවක සැප පහසු කුෂන් එකක් උඩ වාඩිවෙල කැරකි කැරකි කම්පියුටරයක් දිහා බලාගෙන අතීත සුන්දර ගමක හීනයක් දකිනව. වෙලාවට මේ හැමදේම මහ විකාරයි මට. කටු මැටි ගෙයක්, ඉරබැහැල ගිහින් අඳුර ගලද්දි සිහින් ලාම්පු එළියෙන් යාන්තමට අඳුර පළවා හරින ගම, තොරතෝංචියක් නැති රැහැයි හඬ, කරේ තිබුණු උදැල්ල බිමින් තියල අමුඩ ලේන්සුවෙන් උරහිස පිහිදදා, හේනෙ කුඹුරෙ ඉඳල කහට ඩිංගක් ඉල්ලගෙන අඳුරත් එක්ක ගෙට ගොඩවෙන ගොවියො, ඇත්ත, මේ වගේ චිත්‍රයක් හිතේ මැවෙනකොටත් සනීපයි. ඒත් තිත්ත ඇත්ත වෙනසකටත් එක්ක අපිට ඔය සුන්දර ගමේ අඩු පහසුකම් එක්ක දවසක් දෙකක් ගතකරන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ එපා වෙයි. අනේ මන්ද...
    පොත පතකින් ඇර අපි නොදැකපු ඒ සුන්දර ගම උඹ සමහර විට අත්දැකල ඇති. දේශපාලනේ අතරට ටිකක් ගම ගැන කතාවකුත් අතරින් පතර කියපන්, කියවනකොටත් සනීපයි.

    ReplyDelete
    Replies
    1. DDT දරන්නෙත් මගේම අදහස. මම මේ ලිපියේ දේශපාලන පැත්ත අනිත් අයට ඉතුරු කරලා DDT වගෙ සෞන්දර්යය පැත්ත ගැන කතා කලොත්, ගමේ ජීවිතය හොඳයි ගමේ ගැමි විදියට ජීවත් වෙන්න තිබ්බා නම්. නමුත් අද බස් එකේ පැය එකහමාරක් තැලිලා එන එකා කැමති ලි‍ඳෙන් වතුර ඇදගෙන නාන්නද ෂවර් එකෙන් නාන්නද කියන ගැටලුව එකවා. නිකං බලාපං ගමක උනත් ලයිට් ගියාම ලයිට් එනකල් තියෙන අමාරුව.

      මේකෙන් මමවත් DDTවත් ගමේ කමට ගැමි සෞන්දර්යයට ගරහනවා නෙවෙයි. අපිත් හරි ආසයි ගම් වල ගිහින් ඒ ගැමි රසය විඳින්න. නමුත් ටික දවසකින් ඒකත් එපාවෙනවා. එහෙම වෙලාවට අපිට නිතැතින්ම හිතෙන දෙයක් තමයි, නිවාඩුවක් ගතකරන්න නම් මරු, නමුත් හැමදාම ඉන්න අය මාර කට්ටක් කනවා ඇති නේද කියන එක.

      අර උඩින්ම ලහිරු කියලා තියෙන විදියට සාහිත්‍යය යොදාගෙන සියුම්ව දේශපාලන විවේචනයකුත් ලිපියට එකතු කිරීමේ උඹේ හැකියාව නම් හරිම දුලභ ප්‍රසංසා ලැබිය යුතු එකක් රතු.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. මෙහෙම නෙ DDT ඕක මචං ගම විදීම නේ, මම මෙතනදි කතා කරා මචං අපි හැමෝටම ගම විදින්න පුළුවන්ද කියලා ,,ඇත්ත කතාව තමයි සැබෑ ලෙසින්ම ගමට ආදරේ කරන මිනිහෙකුට නම් අර එහෙ ගිහින් ජීවත් වීම වගේ ප්‍රශන එන්න බැහැ ,උඹට තේරෙනවද හෙන්රි අයියේ. දැන් අමරදේවගේ සිංදු අහනවානෙ අපි --ඇත්තම කීවොත් ගොඩ දෙනෙක් අමරදේව මාස්ටර්ගෙ සිංදු අහන්නේ ඒ වගේ සැබෑ රසය විදීමේ උවමනාවෙන්ම නෙමෙයි. මමත් මාස්ටර්ගෙ සිංදු අහන එකෙක් කියලා පෙන්නන්න, නමුත් බැරිවෙලාවත් ඇහුවොත් කැලේ ගහක මල් පිපිලා සුවද හමනවා කියන මාස්ටර්ගෙ සිංදුවෙන් කියන්නේ මොනවද කියලා මිනිහා දන්නේ නෑ. පිටස්තරකාරී උවමනාවක් විතරයි. ඒක හදවතින්න්ම ඕනෙ දෙයක් නෙමෙයි. මම කියන්නේ ගම හෝ නගරය ඒ එකිනෙක සංසංදනය කිරීමෙන් තේරුම් ගන්න පුළුවන් වස්තූන් දෙකක් නෙමයි.

      Delete
  3. කිරි මදු වැල් කිරිමදුවැල් කිරි අම්මේ
    අපිත් කිරට හඬනා දරුවන් අම්මේ
    අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
    ඈත ඉඳන් මට අත වනපන් අම්මේ

    ලිපිය කියවන කොට මට මතක උනේ මේ කවි පෙළ........

    ReplyDelete
    Replies
    1. මරු මරු --බලපන් මේ කවිය කියවනකොට මාව වෙව්ලනවා.මේ ජන කවි නම් ....?කියන්න වචන නෑ මචං

      Delete
  4. මම කවි ගැන නම් එච්චර දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි. එත් මේක කියෙව්වාම මටත් මතක් වෙනවා ගම්මානයක තිබුන පරිසරය ගැන... නගරේ අපිට ගමක් කියන්නේ නිකන් සාන්ත දාන්ත සුරපුරයක් වගේ...

    මට මම කියවලා තියෙන පොඩි කවි ප්‍රමාණයෙන් එකක් මතක් වුනා. මහගම සේකර ලියපු කවි පන්තියක් තියෙන්නේ ලංකාවේ කෙනෙක් නිව් යෝර්ක් නගරයට ගිහින් කොන්ක්‍රීට් වනාන්තරය මැද්දේ පුන් සඳ දකින සිද්ධියක් ගැන.. අන්න ඒක. ඔයාල කියවලා ඇති මම හිතන්නේ..

    ලංකාවේ දේශපාලනය ගාව ගන්න එක තරම් කලාවට කරන අසාධාරණයක් තවත් නෑ කියලා මට වෙලාවකට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ,,සේකර කියන්නේ මට මේ හඳ අපි දකින හඳම දෝ කියලයි. කවි පන්තියේ නම මතක නෑ. මචං දේශපාලනයෙන් තොර කලාවක් කොහෙද ?

      Delete
  5. මේ ලිපියේ සෞන්දර්යාත්මක වපසරිය ගැන මම සතුටු වෙනවා.. හිතින් මවාගත්තත් සහනයක් දැනෙනවා... ඒ වගේ සුන්දර යමක් අසසෙ දේශපාලනය නම් කඨෝර සංයෝගය ඇතුලත් නොකර සිටියා නම් හොදයි කියලත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සිරා මට ඕන වුනේ ගම විදීම ගැන පොඩි සංවාදයක් මතු කරගන්න, ඒක ටික්ක් වෙලා තියෙනවා මෙතන. මෙහෙමනේ පැහැදිලිවම ලංකාවෙ දේශපාලන පරිසරයන් මිනිස්සුන්ගේ සංවේදනාවන් වෙනස් කරන්නත් බලපාලා තියෙනවා.ඉතින් කෝමෙයි දේශපාලනේ ඇතුළත් නොකර කතා කරන්නේ.

      Delete
  6. උඹේ ලිපිය නම් අපූරුයි.. හෙන් රී හා මාත් එකඟයි. ඇත්ත ගම ලස්සනයි. ඒති මුදල් කියන දෙයක් නොතිබුන කාළෙක සහ ඊටත් ඉස්සර මිනිස්සු කොච්චර සරළ ජීවීතයක් ගෙවන්න ඇද්ද. මොන ළෝකේ හිටියත් අපේ ගෝත්‍රික ගති තවම තියෙනවා. අර බල්ලා ලගින්න එස්සෙල්ලා එක තැන කැරකෙනවා වගේ. ගමට මමත් ආදරෙයි. ඒත් ඇටෑච් බාතෲම්, සැටලයිට් ටීවී, ඩොන්ගල් ඇක්සස්, බාර්, කරෝකේ, මසාජ් පාලර්, බොතල් හවුස් ඔක්කෝමත් තියෙන්නේ ඕන. දැන් උඹ කියයි කොටුවක් පනින්න පුළුවන්නේ කියලා. අපිත් පැන්නා ඉස්සර. ඒ උනාට දැන් ඒවා කරන්න ගියොත් පොරෝ පාර කන්නයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම උඹව සාදරයෙන් පිළිගන්නව මාතලං අයියේ ,,මෙහෙමනේ මචං මම කිව්වේ ගම කියන්නේ සුචරිතවාදීන් ඉන්න තැනක් කියලා නෙමෙයි. ඒ වගේම උඹ අර කියන// ඇටෑච් බාතෲම්, සැටලයිට් ටීවී, ඩොන්ගල් ඇක්සස්, බාර්, කරෝකේ, මසාජ් පාලර්, බොතල් හවුස්//ඔක්කොම තියනකොට ගම එතන නෑ, නමුත් ඔය කියන අවශ්‍යතා වෙන්ත් විදිහට සපුරන්න ක්‍රම සහ විධි අපිට තිබුනා. සමහර වෙලාවට ඒ වට තමයි අපි කියන්නේ සංස්කෘතිය කියලා .

      Delete
  7. මට‍ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය නවි විචාර කියවන කොට සංවෙදි වන. ඒත් හැබෑවටම ලස්සනට ලියල තියෙනවා. ජය

    ReplyDelete
  8. අඩෝ මට තේරුනේ නැද්ද මන්දා...

    කමෙන්ට් අනුව නං ලිපිය පට්ටයි වගේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මොකො බං අඩවිය වහලා දාලා තිබුණෙ පහුගිය ටිකේ ,,උබ අපේ කොමෙන්ටු වලට දෙසාබාන්නේ ඒවා පිළුනු උනාමද

    ReplyDelete
  10. මට මෙහෙම හිතුනා රතූ.... ඔයා දන්නවානේ දේශපාලනය ගැන කතා කරන්න මගේ ඒතරම් ලොකූ කැමැත්තක් නැති බව...

    හැම කෙනාම අපේ අතීතයට ආසයි.... ඒක ගමක උනත්, අර්ධ නාගරික උනත්, කෙසෙල්වත්තේ උනත්, ඇනෙක්සියක උනත්, කටමැටි පැලක උනත්, මාලිගාවක උනත්...... ඒකට හේතුව පුංචි කාලේ අපේ හිතේ තියෙන සැහැල්ලු බව.... අම්මා අප්පා ඉන්නවා නම් අපිට වෙන දෙයක් දැනෙන්නේ නෑ.... අම්මා අප්පා නැති එකාට අත්තම්මා, ආතා, සුදු සීයා, නැන්දලා මාමලා ඉන්නවා නම් ඒත් ගානක් නෑ.... බඩගිනි උනාම බඩට යමක් වැටෙනවා නම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.... රෑ උනාම වැටිලා නිදාගන්න තැනක් තියෙනවා නම් එච්චරයි... අපිට ඒවා මතකත් ඒ නිසයි.. මොකද ඒ මතක අපේ හිත් වල තදට කාවැදිලා තියෙන්නේ වෙන කුණුගොඩවල් හිත් වල තිබුනේ නැති නිසා...

    පොඩි කාලෙ කටුමැටිපැලේ හිටපු කෙනා , දැන් කටුමැටි පැල සනීපයි, සොඳුරුයි කියලා කිව්වට ආපහු එතනට යන්න උත්සාහ නොකරන්නේ ඒ නිසා... මේ වෙනකොට අපේ හිත්වල ගොඩක් දේවල් එකතු වෙලා.. කුණු පිරිලා....

    ඒ කුණු කියන්නේ බලාපොරොත්තු....

    බලාපොරොත්තු නැති ජීවිත තියෙනවා නම් තියෙන්නේ මහණුන්ට වෙන්න ඕනෑ... ( දැන් කාලේ අය නෙවෙයි...)

    මම කියන්න හැදුවේ ගම කියන්නේ කවි වල තියෙන ගස් කොලන් වලින් වැහිච්ච, වෙල් නියරවල් දිගේ දුවන්න පුළුවන්, රෝද පට්ටම කෝට්ටක ගහගෙන රවුම් දුවන්න පුළුවන්, ගස් බඩ ගාන්න පුළුවන් ..... කොටින්ම කියනවා නම් හැමෝම කවි වලින් සින්දු වලින්, චිත්‍රපටි වලින්, නාට්ටි වලින් මවලා පෙන්නන තැනක් නෙවෙයි...

    ගම කියන්නේ අපේ ළමා කාලයේ සුන්දරම මතක ටික එකතු වෙච්ච තැන......

    (මට ඕක තේරුනේ අපේ මහත්තයා නුගේගොඩ... මම පාදුක්කේ.. උදේ හවස රවුන් ගහපු ටවුම උනාට මේ නුගේගොඩ මට හරියන් නෑ... ඒ වගේම මගේ මහත්තයට පාදුක්කේ ඉන්නත් බෑ... මොකද එයාගේ ලස්සන ළමා කාලය තියෙන්නේ මෙහේ.. ගමනක් යනකොට මට පෙන්නනවා.. අර ගහේ තමයි මම මුලින්ම හැප්පුනේ, අතන තමයි අපේ බස් නැවැත්තුවේ, අර ගහ හිටෙව්වේ මම, අර දහම් පාසලට තමයි චූටි කාලේ ගියේ, අර ගෙදර කෙල්ලට තමා මම මුලින්ම ලයින් දැම්මේ... ඔය වගේ.. ඒ එයාගේ සුන්දර ළමා කාලය...... එයාගේ ගම.... )

    ReplyDelete
    Replies
    1. හිරු කියන කතාවත් සෑහෙන ඇත්ත, නමුත් ඒක එහෙමමදැයි කියන්න නම් තාම කල් වැඩියි. කල්පනා කරලා බලන්න ඕනෙ.
      =මම කියන්න හැදුවේ ගම කියන්නේ කවි වල තියෙන ගස් කොලන් වලින් වැහිච්ච, වෙල් නියරවල් දිගේ දුවන්න පුළුවන්, රෝද පට්ටම කෝට්ටක ගහගෙන රවුම් දුවන්න පුළුවන්, ගස් බඩ ගාන්න පුළුවන් ..... කොටින්ම කියනවා නම් හැමෝම කවි වලින් සින්දු වලින්, චිත්‍රපටි වලින්, නාට්ටි වලින් මවලා පෙන්නන තැනක් නෙවෙයි... =
      ==හිරුගෙ මෙන්න මේ කතාවට නම් මම එකෙන්ම එකඟයි.

      Delete
  11. රතු.. උඹ කියන මේ අත්දැකීම් මං පුංචි කාලේ මාත් අත්දැකලා තියනවා. හැබැයි ඒවායින් බොහොමයක් අතීතයට අයත් දේවල්. සියල්ල මුදලින් මනින්න මිනිස්සු පුරුදු වුනාට පස්සේ මේවා වෙනස් වෙන එක සාමාන්‍යයි කියලයි මට හිතෙන්නේ. ඒ කාලයේ වැඩක් කර ගන්න මුදල් ප්‍රධාන සාධකයක් වුනේ නෑ. "මගේ වැඩක් තියනවා වරෙන්" කිව්වා නම් 10 ක් ඕන එකට 20 ක් ඇවිත් ඇති.
    අපි ගඟේ පැය ගණන් නාපු හැටි, වෙල්වල,කමත් වල දඟලපු හැටි මතක් වෙනකොට ආයේ ඒ කාලෙට ගියා වගේ දැනුනා.
    අනිත් ලිපි දාන අතරේ මේ වගේ ලිපිත් දාන එකනම් මරු. කියෙව්වත් හිතට සනීපයි. වැව් බැඳී රාජ්‍යය පැත්තේ ඕන තරම් රසකතා එහෙම ඇති මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නම් මහමෙරක් මචං ..දැන් අපේ ගම්වලත් කමත් ඇත්තෙ නෑ මචං. ඉස්සර සෙරෙප්පු දෙක දාගෙන වැරදිලාවත් කමතෙ අඩිය තිබ්බොත් වසලා හමාරයි.

      Delete
  12. වැඩි කථා ඕන නෑ .... මුල ඉදන් අගට වෙනකම්ම තාලෙකට කියෙවන්න පුළුවන් උනා කියල කිව්වොත් , මං කියන්නේ මොකද්ද කියල උඹට තේරෙයි මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. රිදමය .. මචං ඒක ඇවිත් රිද්මය. පුළුවන් නම් හොයාගෙන කියවපන්කො මහගම සේකර රිද්මය ගැන අපූරු පොතක් ලියලා තියෙනවා. පොතේ නමත් රිද්මය ම වගෙයි මතක.

      Delete
    2. හරි හරි ඉතිං .......... හල්කිරීමක් විතරයි නේ යකෝ අඩු ......ඕකට ඔය හැටි මැරෙන්ට තනන්නේ මොකද

      Delete
  13. ආච්චි - හැන්දෑව - කතන්දර
    තනි තනිව ගත්තමට වඩා ඔය වචන තුන එකට එකතු කරල ගත්තම, සුන්දර මතක වාන් දානවා.
    කතා දෙකක් නෑ පෝස්ට් එකත් ඒ මතක වගේමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි,තිළිණ ( නවදැලිහේන ).

      Delete
  14. අම්ම නැති දරුවන් ගැන කියන කවිය සංවේදී ජනකවියක් . ඔය සිදුවීම රුසියන් සහ වෙනත් ජනකතා වලත් දක්නට ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවාට බින්දි .ඇත්ත ,රට රට්වල ජනකතා වල තියෙන ඇතැම් සමානකම් නම් වෙලාවකට මාව පුදුම කරවනවා.

      Delete
  15. බොහෝම ස්තූතියි, නවදැලිහේන .

    ReplyDelete