2013/03/18

01.අග්නි හුලක් අතින් ගත් හුදකලා නිශාසාරිකයා.


කළු සිදුහත්.
වැඩිමනත් යමක් කියන්නට නැහැ. මේ රතුරජරටට බොහෝ කලක් එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටි මා ලියූ කුඩා නවකතාවයි. ඉඩකඩ ලැබෙන සෑම විටෙකම මාගේ වෙනත් ලියැවුම් වලට බාධාවක් නොවන පරිද්දෙන් 'කළු සිදුහත්' නවකතාව රතු රජරටට එක්කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

01.
---------------------------------------------------------------------------------
නදී දියතලය සසැලුණා. පියවි නෙතකට දසුන් නොවන තරම් ක්ෂුද්‍රව. සර්පිලාකාර ජලතරංග සිතිජ අහසේ රක්ත වර්ණයෙන් පෙගී ගිය ගංඟා දියතලය මතින් එසෙවෙමින් පහත් වෙමින්, නැවැත එසෙවෙමින් අනතුරුව  නොපෙනී අතුරුදන්ව ගියේ දියකඳ පත්ලේ කම්පනයකින් ඔද්දලවයි. බොහෝ මොහොතක් පපු කුහරය තුළ සිරකරගෙන හුන් හුස්ම කඳ මහ හඩින් පිටකරමින් රිදීමය ප්‍රතිමාවක් පරිද්දෙන් සිදුහත් නදී දියමතින් ඉල්පුණා. 

පියවුණු දෑස් පියන් විවර වූයේ ඇසිල්ලකින්. නේරංජනා සිතිජයේ හිරු අස්තගතව යමින් සිටියේ බොහෝ වේගයෙන්. අන්ධකාරයේ ඝන බව සිදුහත්ට මුලින්ම හැගී ගියා. හැමදාමත් එසේමයි. දෑස දකින්නේ ප්‍රමාදව. හීයක පිම්මක් ගං ඉවුරට සෑහෙන බව සිදුහත් දැන සිටියා. 

රිදීමය කාන්තියකින් සදීප්තව තිබූ දියතලය අදෘශ්‍යමාන වෙමින් සිතිජ අහසත් ,හරිත වන රේඛාවත් එකම සමතලයක් බවට පත්වෙමින් තිබුණා. දැන් සකල ලෝ ධාතුවම තනි යායක්. ආමිස භව හැගුම් නිවී යමින් නිරාමිස සුවයකින් තම මනුෂ්‍ය ආත්මයම පිබිදී යන්නාක් මෙන් සිදුහත්ගේ සිත ස්වයං ආත්මීය ප්‍රීතියකින් ඔද වැඩුණා. නේරංජනාවේ ජන්ම සිසිළසින් දෝවනය වූ ඔහුගේ තුරුණු දේහය එම ආත්මීය ප්‍රහර්ෂයට ඒකාත්මික වී දිය ඉවුර තරණය කොට මහා වනස්පතියක් අස එකත්පස වූවා. 

පුරා තුන් දිනක් මේ වනස්පතිය හි සෙවණ ගර්භය තමන්ට පහස ලබදුන් අයුරු සිදුහත් චිත්ත ප්‍රතිරාව කළේ කෘතගුණ මාත්‍රයෙන් .තෙවැනි සූර්‍ය මහෝදයත් නිද්‍රාගතව ගෙවන මේ ඇසිල්ලේ නිසි අහර පිරිපතක නොලැබූ කුස ස්වකීය චිත්ත සංකල්පනාවන් වේදනාවෙන් මුසුප්පු කරන්නට වෙර දරන බැව් සිදුහත්ට දැනෙමින් තිබුණා. අබිනික්මනයන් මෙතරම් ගොරබිරම්ද? සිදුහත් දිගු සුසුමක් හෙළුවා. එහෙත් ආපසු හැරෙන්නට අවකාශයක් නැතැයි ඔහු දැන සිටියා. දිගු ගමන් නිතරම වෙහෙසකරයි. ගෙවී යමින් තිබුණු නිශාවෙහි තරුණ සිදුහත්ගේ චිත්ත ගර්භාෂයෙහි තමන් අතැර ආ පූර්ව දිවිසැරියේ මතක කළල වරින් වර එළිය වූවා. චිත්ත සන්තානයේ මතකයන් මකා දැමීම දුෂ්කර බැව් ඔහු අවබොධ කරගෙනයි උන්නේ. දැන් පැමිණ ඇත්තේ පළා ආ ආරම්මණයන් මුදුන් පමුණුවා ගැනීමයි. 

හාත්පස ලෝකය ප්‍රභාතය සමඟ දොඩමළු වන්නට බොහෝ වේලාවක් ශේෂව තිබියදී නේරංජනා ඉවුර ඔස්සේ ඉදිරියට ඇදෙන කදෝපැණි එළියක් වන් ආලෝක ලපයක් සිදුහත්ගේ නෙත ගැටුණේ අහම්බයෙන්. සෙමෙන් සෙමෙන් ,කෙමෙන් කෙමෙන් ඒ ආලෝක පුංජය ස්වකීය දිශාවට සමීප වන අයුරු දකිද්දී ඔහු විපිළසර වූවා. මේ දනසුන් පෙදෙසෙහි මනුශ්‍යය ප්‍රාණියෙක් දැකීම සිතට ආශ්වාදයත්- සංශයත් ගෙන ආවේ එකම නිමේශයකදී. නේරංජනා ඉම සමාන්තරව ඇවිද ආ අග්නි හුලක් අතින් ගත් ඒ හුදකලා ජීව ප්‍රාණියා තමන් අස වනස්පතිය යට නතර වී ගිනිහුල නිවාදමන් සැටි සිදුහත් නිහඩව බලා සිටියා. අන්ධකාරය විනිවිද ඉල්ප පැතිරෙන සහන් එළිය සෑහේයැයි ඔහුගේ සිත කීවාවත්ද? ඉනිබ්බේ මේ ආගන්තුක මනුශ්‍යයා සිදුහත් වාඩිලා හුන් වනස්පතිය වෙත පියමැන්නා. මෙතෙක් වේලා ඒකාංශ කොට ගත දවටාගෙන හුන් රළු පරළු පාංශකූලික වත්කඩ සිදුහත් පොරවාගත්තා තම සිරුරම වැසීයන ලෙස. ඒ චලනයෙන් රුකරඳ අබියස පළමුවැන්නෙක් සිටිනවා දුටු අමුත්තා හුන් පියවරම නැවතුණා. 

"අවසරද මට" ආගන්තුකයාගේ ගැඹුරු බ්‍රහ්ම ස්වරය අඳුර විනිවිද යමින් නින්නාද දෙන්නාක් මෙන් සිදුහත්ට හැගී ගියා. 

"මෙතන තවත් බොහෝ දෙනෙකුට පිරිමසා ගන්නට හැකියි" 

අමුත්තා ස්ව දෑස මානයේ වාඩිලාගන්නා සැටි සිදුහත් නිහඩව බලා සිටියා. තමා පරිද්දෙන්ම ඔහුත් කම්බිලියකින් හිස සඟවාගෙන. හඩ පෞරුෂය අනුව නම් ඔහුත් තමා පරිද්දෙන්ම යව්වනයකු විය යුතු බැව් සිදුහත් අනුමාන කළා. 

"ඔබ කවුද?" 

සිදුහත් ඇසුවා. අමුත්තා උන්නේ යෝගී සෙයියාවෙන් නදිය වෙතට යොමුකරගත් හිසින් ,,ස්ව ඊර්‍යාපථය අංශුවක්වත් වෙනස් නොකර ඔහු පිළිවදන් බිණුවා. 

"මම මඟියෙක්" 
ගෙවීයන්නට ඇත්තේ මොහොතක් හෝ දෙකක් පමණයි. ඊළග ඇසිල්ලේ ආගන්තුක මගියා නැවතත් හඬ අවදි කළා. 
"ගඟින් එතෙර වීමට මඟක් සොයන්නෙක්" 

ගෙවී ගිය දින තුනක කාලයහි නෙරංජනාවේ ගතිසොබා රුව ගුණ සිදුහත් මනාව අවබෝධකරගෙනයි හුන්නේ. ඉහත්තාවේ අනෝරා වැසි දියෙන් පරිපෝෂණය වූ නදී දිය පහළට ඇදීගියේ සැඩපරුෂ ස්වභාවයක් පෙන්වමින්. එහෙයින්ම මේ මහා ඕඝයෙන් එතෙරවීම කොතරම් දුෂ්කර ව්‍යයාමයක් වනු ඇතිදැයි ඔහු සිතුවා. 

"ඔබට තොටියෙක් සොයා ගන්න වේවි" 

"තොටියා මමයි" 

මන්දස්මිතයක් සිදුහත් මුව ඇදුණා. ආධුනිකයෙකුට නේරංජනාව කොතරම් බියකරුදැයි ඔහු අත්දැකිමෙන් පසක් කරගෙනයි සිටියේ. මගියා උන්මාදයෙන් දොඩවනවාදෝයි වරෙක ඔහුට සිතුණා. එහෙත් ඔහුගේ නද ස්වරයේ උන්මාදනීය සලකුණක් දැනෙන්නට නැහැ. 

"තොටියෙක් නම් පාරුවක් හබලක් උරුමයි. අර මහෝඝ ප්‍රවාහය තරණය කරන්නට ඒ අංගෝපාංග අවැසිමයි." 

"හබල මා සතුයි. මා සොයන්නේ පාරුවක්" 

තවමත් පළමු ලීලාවෙන්ම නොසෙල්වී ආගන්තුක මගියා පිළිවදන් මැතුරුවා. ශුන්‍ය දෑතින් ඇවිද ආ මේ මගියා දෙස වඩාත් පිරික්සුම්දායි බැල්මක් යොමන්නට ඔහුගේ ප්‍රතිබිණුම් ඇසූ ඇසිල්ලේම සිදුහත් පමාවූයේ නැහැ. තමන් හුදු මගියෙක් ලෙස හදුන්වාගන්නා මේ ආගන්තුක මනුශ්‍ය ප්‍රාණියා පිළිබදව වැඩියමක් දැනගැනීමේ කුතුහලකාරී ආශාවක් සිදුහත්ගේ චිත්තාභ්‍යන්තර්යේ නළියනු ලැබූවා. 

-චින්තක ටිකිරිබණ්ඩාර- 

38 comments:

  1. පාරුව කරේ තියාගෙන යන්නේ නැති බුද්ධිමත් මගියෙක් වගේයි...:)

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා. එහෙම ඇත්තන් බොහෝම දුර්ලභයි.

      Delete
  2. හරිම ලස්සන භාෂා විලාශයක්!!! සමහර වචන නම් ශබ්ධකෝෂයෙන් බලන්ට ඕනි.:)

    ඔයා මේ ලියන්නේ සිදුහත් තාපසයා ගේ කතාවද?
    එය 'කලු සිදුහත්' කියලා නම් කර ඇත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩියි. කතාව විසින් එහෙම භාෂා විලාසයක් ඉල්ලා සිටියා.
      මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු දෙන්න තවම කල්වැඩියි පොඩ්ඩි. ඒත් මේ සිදුහත් තාපසයා ගැන තමයි. කිසිදිනක නොකියවූ කතාවක් .

      Delete
    2. මං හිතන්නේ බිරිඳ සහ දරුවා අතහැර නිවසින් ගිය සිදුහත් තනිකරම කළු චරිතයක් බව කියන්න වෙන්න ඕනෑ මේ නම යොදාගෙන තියෙන්නේ!

      Delete
    3. @කතන්දර.
      හොද පොයින්ට් එකක් කකා.

      Delete
  3. "හඩ පෞරුෂය අනුව නම් ඔහුත් තමා පරිද්දෙන්ම යව්වනයකු විය යුතු බැව් සිදුහත් අනුමාන කළා."

    ඔබේ කතාවේ සිද්ධාර්ථ ත් අප දන්නා සිද්ධාර්ථ ත් එක් අයෙක් නම් ඔහු යෞවනයෙක් නොව 29වසරක් වයස තරුණයෙක්.

    යෞවනයා කියන්නේ වසර 13නේ සිට 19 දක්වා ගතකරන අයෙක්ට කියා යි මා අසා ඇත්තේ. ඉන් පසුව ඇත්තේ තරුණ විය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා මා භාෂාවෙ ප්‍රාමාණිකයෙක් නොවෙන නිසා ඔබේ තර්කය හරිද වැරදිද කියන්නට දන්නේ නැහැ. කොහොම වුවත් ස්තූතියි. සමහර අවස්ථා වලදී වචනයේ වාච්‍යාර්ථයට වඩා ධ්වනිථාර්තය වැදගත්. ඒ නිසා මේ වචන යොදාගැනීමේදී එහි අතිශය නිවැරදි භාවයගැන මම ඒ තරම් සිතුවේ නැහැ.

      Delete
  4. බොහොම නිස්කලංකව කියවන්න ඕනේ රතු..
    මේ ඒකට වෙලාව නෙවේ ..පසුව එන්නම්....
    ඒ තරම් රසවත් නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. හොදයි සහන්. එහෙමනම් ආයිත් වරෙන්.

      Delete
    2. ඉතාම රසවත් රත්තො .superb ...!
      ඔහු අත ඇති හබල නම් උත්සාහයයි ..
      පාරුව ගැන දැන්ම පැවසීම සුදුසු නැත නෙවේද මා මිතුර ?

      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මේ අගය කිරීම් මා පුබුදුවනවා තවතවත් ලියන්න. බොහෝම ස්තූතියි මචං.

      Delete
  5. හ්ම්ම්...... බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ බලං ඉදහන්කෝ ඔහොම. ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  6. මචෝ අද අකුරු අතර කොටු කොටු වැටෙනවා මොකද ඒ මට විතරද එහෙම වෙන්නේ...කියවගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නයක් තියෙද නලින් අයියේ. අනේ මන්දා මචං.

      Delete
    2. ඒක බ්‍රව්සර් එකේ ප්‍රශ්නයක් වෙන්න ඕන....

      Delete
    3. තාමත් එහෙමමයි මං දාන කොමෙන්ටුව පේනේනෙත් අකුරු දෙකක් අතර කොටුවක් එක්කයි.

      Delete
    4. මම හිතන්නේ බ්‍රව්සර්යේ ගැටළුවක් වගේ. ක්‍රෝම් එකද පාවිච්චි කරන්නේ. වෙනත් පිරික්සුම් යන්ත්‍රයක් භාවිතා කරලා බලපන් නලීන් අයියේ.

      Delete
  7. "තොටියා මමයි...පාරුවක් හබලක් උරුමයි " ව්‍යංගාර්ථයක් තියෙන පාටයි... මොකක්ද කියල නම් තේරුණේ නෑ....

    ReplyDelete
    Replies
    1. දිගටම කියවන්න වරෙන් යසිත් අන්න එතකොට මේ හැම දෙයක්ම තේරෙයි මචං.

      Delete
  8. ඉතුරු ටිකත් කියවලාම අදහසක් එකතු කරන්නම් :)

    ReplyDelete
  9. වෙනස් කතාවක් වගේ. හොඳයි මචං, අනිත් ටිකත් කියවන්න එන්නම් කො.

    ReplyDelete
    Replies
    1. ow.,ඔව්.,අනිවාර්යෙන්ම ඇවිත් කියවලා පලයන් මචං.

      Delete
  10. Dude
    ඔන්න රත්තගෙ තවත් මානයක් දැක්කා අද. උඹට මෙහෙමත් ලියන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ... වෙනස් වෙලා.... ශිහ් මම දැන් දාන්න හිටිය කමෙන්ට් එක මොකක්ද ? ඒකත් අමතක වුනා.. :D

      කොහොමද ඒ Dude කෑල්ල වෙනම දාලා තියෙන්නෙ ?

      Delete
    2. මේක සිව්වෙනි මානයනේ මචං. මෙහෙමත් පුළුවන් ටිකක්.
      හැබෑට මොකෝ මේ වස්තරේ වෙනස් කරගෙන ?සෙන්නත් අහලා තියෙන්නේ.

      Delete
  11. නියමයි රතුවෝ... කිසිදා නෑසූ කතාවක් වෙයි කියලා හිතෙනවා... ඇත්ත සිදුහත් මගියවත්ද !

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෙ කිසිදාක නෑසූ කතාවක් කියවන්න දෙන්න තමයි මචං. ස්තූතියි සෙන්නා අගය කිරීමට.

      Delete
  12. සංසාරාරණ්‍ය අසබඩින් "ආගන්තුකයා" මතුවන්නේ ත් මේ ආකාරයටමයි.

    සයිමන් නවගත්තේගමගේ ආඛ්‍යාන රීතිය උදව් වී ඇති ළකුණු පෙනේ. එය ප්‍රබන්ධය විසින් ඉල්ලා සිටින භාෂාවයි.හොද නවකතාවක් රස විදින්නට ඉඩ ලැබෙයි වගේ.

    ජය වේවා......!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහෝම ස්තූතියි සුමිත් අයියා. නවගත්තේගම මගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ලේඛකයෙක් තමයි. ඔව්, මේ ප්‍රබන්ධය විසින් ඉල්ලා සිටින භාෂාව තමයි. එය හරියටම හරි.

      Delete
  13. බවතරණය ළියනවා වගේ. සිද්ධාර්ථ බලලා මොළේ අවුල්වෙලා.. කොහොම හරි උඳ සම්භහිය එකක් වෙයි වගේ. කොමෙන්ට්ස් වලින් වත් යටි පෙල අරුත් කියන්න එපා. එතකොට මේ ලිවිල්ලේ ඇති වැදගත් කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මම මේක ලියන්න පටන්ගත්තේ 2004 ..එතකොට මේ ගොයියෝ සිද්ධාර්ථ හදන්න හිතලාවත් නැහැ. මට ඕනේ නිර්මාණශීලී මිනිසුන්ට සිදුහත් චරිතය ඇසුරෙන් බොහෝ වෙනස් නිර්මාණ කරන්නට ඉඩතිබෙන බව පෙන්වන්නටයි.

      ඔව්. ඒක ඇත්ත. කොමෙන්ට්ස් වලින් ඉඟි බිගි පෑවොත් වැඩේ ලාචෝර් වෙනවා.

      Delete
  14. කතාව ගැන නම් මොකුත් කියන්න මහ ලොකු සාහිත්‍ය දැනුමක් මට නෑ වගේම ඒකට තවම ඉක්මන් වැඩියි, ඒ නිසා ඉතිරි කොටස් පළකරනතෙක් බලාසිටිමි.

    ඒත් ඇයි මේ නම, ඇයි ඒ වගේ නමක් හිතට ආවෙ රතූ. ඔය ‘කළු‘ කියන විශේෂණ පදය ‘සිදුහත්‘ නමට ඉදිරියෙන් යොදන්න අපේ සමාජයෙ කිසිවෙක් සිතන්නෙවත් නැහැ, කළු - ඒ අහිංසක අකුරු දෙකට මොනතරම් දරුණු අර්ථකතනයක්ද අපි දී තිබෙන්නෙ. අන්තර්ගතය කුමක් වුවත් ඕනම වැඩක් මාකට් කරන්න හොඳ නමක් තෝගන්න එක සාමාන්‍යයෙන් ඉතිං වෙන දෙයක්නේ. ඒත් ඔබ මෙහෙම යොදන්න ඇත්තෙ වෙන හේතුවක් නිසා වෙන්න ඕන. ම් ...... සමහර විට අපි හිතන ‘සුදු‘ සිද්ධාර්ථ මඟියාද?

    ReplyDelete
    Replies
    1. උඹ ගොඩක් දේවල් කියලා තියෙනවානේ. ඒවට දෙන්න තියෙන හොදම පිළිතුර තමයි දිගටම කතාව කියවාගෙන පලයන් කියන එක.

      Delete
  15. අලුත්ම ආරෙකට ලියන කතාවක් වගෙයි. අදහසක් දෙන්න වෙන්නේ නම් කතාව අවසන් වෙනකොට තමා. ඓතිහාසික නවකතා වලට මාත් බොහොම කැමතියි, හරිම ලස්සනට ලියනවා.මම අදමයි රතු රජරට පැත්තෙ ආවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ සාදර සිතින් පිළිගන්නවා සෝන්‍යා ..ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි. දිගටම කියවන්න ඒවියැයි බලාපොරොත්තු වෙනවා.

      Delete