2014/11/23

තෝ මා තරවා මම් මුලු ලෝ තරවමි -බුත්සරණ

මෛත්‍රීපාල  සිරිසේන  පොදු අපේක්ෂකයා වශයෙන් කරළියට පැමිණීම, දේශපාලනික සංචලනයන් පිළිබඳව වැඩිමනත් අවබෝධයක් නොතිබූ පක්ෂ,විපක්ෂ සියල්ලන්  කම්පනයට පත් කළේය. මෛති තදබල දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි පූර්ව සැක සංකා ඇති කරගෙන සිටි රාජපක්ෂ රෙජීමය පවා මෛත්‍රීගේ නික්ම යාමෙන් දරුණු දෙදරීමකට ලක්ව සිටිනු බැව් පෙනෙයි.


 ඒ නිසාම මෛත්‍රී යනු ශී ලංකා නිදහස් පක්ෂය නොවන බව කියාපෑම සඳහා මෙන්න නියම ශී ලංකා බඬු යැයි ලේබල් කර පෙන්විය හැකි වර්ගයේ ඇමතිවරුන් කිහිපදෙනෙක් යොදා ගෙන අසාර්ථක පුවතපත් සාකච්ජාවක් ද පවත්වනු ලැබීය. සුසිල්ගේ ,අනුරගේ, ඩලස්ගේ සහ නිමල් සිරිපාලගේ මුහුණු වල හැගීම් විරහිත ස්වභාවය මොනවට කැපී පෙනුණේය.

ජනාධිපතිවරයා මෛත්‍රී ගේ දේශපාලනික තීන්දුව ගණන් නොගන්නා තරමේ එකක් නම් ඔහු කළ යුතුව තිබුණේ තම දේශපාලනික පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් නිහඩව ඉදිරි දේශපාලනික කටයුතුවල යෙදීමයි . නමුත් ඒ වෙනුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රවේණිගත පිටිසර චණ්ඬි ස්වභාවය සහ පන්න පන්නා පළිගැනීමේ වියරුව ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක් ගතව යන්නට මත්තෙන් මෛත්‍රීගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඇමතිධූරයන් සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර දැමීමයි . ඇමතිධූර කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම ........? මේ මොකක් වුව කළ යුතුව තිබුණේ හෙමින් සීරුවේය.නොඑසේ නම් බොක්සිං වළල්ලක පහරට පහර න්‍යායෙන් නොවේ.නමුත් කටයුතු සිදුවූයේ එලෙසිනි.
දැන් රාජපක්ෂවරුන් භීතියට හා සංශයට පත්ව සිටින්නේඉදිරි ජනාධිපතිවරණයේ දී අව්‍යාජ නිදහස් පාක්ෂීකයන්ගේ තීරණය කුමක් වනු ඇතිද යන සිතුවිල්ල නිසාවෙනි. මක්නිසාද යත් ,මෛත්‍රීපාල සිරිසේනත් ශී ලංකා නිදහස් පක්ෂයත් යනු එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය ප්‍රපංචයක් දෙකක් වීම නිසාය. විශේෂයෙන්ම මෛත්‍රී සෑම අවස්ථාවකම පක්ෂය කෙරෙහි තම තදන්තර බැදීම ප්‍රකට කළ අයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්තීන්ද පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග ගැටගැසී තිබුණේය. නමුත් මහින්ද රාජපක්ෂ ට තම පක්ෂය සමග එවැනි ගනුදෙනුවක් කිසිදාක තිබුණාද යන්න ගැටළුවකි.තිබුණා නම් ශී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග අහසට පොළව තරම් පරස්පර සම්බන්ධතාවයන් තිබූ යූ.ඇන්.පී කාරයන් ගොන්නක් කැබිනෙට්ටුවට රිංගවාගන්නේ නැත. හොඳම උදාහරණය නම් ශී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දීප්තියෙන් බබළවන්නට සිටි පහන් තාරකාවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය කරන ලද සුසන්ත පුංචිනිලමේ හට නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාදෙමින් නොනැවතී තිකුණාමලයේ නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද ලබාදීමයි . එම්.ඬීකේ.එස් ගුණවර්ධන වැනි උපන් ගෙයි ශීලංකා කාරයින් සත පහකට මායිම් නොකරමින් පුංචිනිලමේ ලා වැද්ද ගැනීම ගැන සැබෑ ශී ලංකා කාරයින්ගේ කළකිරීම ගුණවර්ධනලා මෛත්‍රී සමග එක්ව එළියට බැසීමෙන් ප්‍රකට කළේය.

ඒ නිසාම මෛත්‍රී ගේ නික්ම යෑම හුදු හුදකලා නික්ම යෑමක් නොව ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්දගේ සහයට පැරණි ලංකා නිදහස් පක්ෂ මතවාදයන් නියෝජනය කරන, වසර ගණනාවක් තිස්සේ යූ.ඇන්.පී මැර දේශපාලනයෙන් හෙම්බත්ව සිටි නමුත් තමනුත් එවැනි මැර දේශපාලනයක යෙදිය යුතු යැයි නොසිතූ   අව්‍යාජ නිදහස් පාක්ෂිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැමැත්තද සංකේතාත්මකව හැර යාමකි. 

4 comments:

  1. මෛත්‍රීපාලට ඇත්තටම දිනන්න චාන්ස් එකක් තියනවා. හැබැයි ඔහු ජනතා විශ්වාසය ලබාගන්නාසුළු තාර්කික සහ නිදර්ශනාත්මක කරුණු ඉදිරිපත් කලයුතුයි. අවලාද, මඩගැසීම්, යාදිනි, දුක්ගැනවිලි, කිරීමෙන් වෙන්නේ ඔහු තවත් සාම්ප්‍රදායික ලාංකික දේශපාලන චරිතයක් වනු පමණයි.

    ReplyDelete
  2. පයිට් එකක් තියෙනවා. ඒත් අන්තිමට මෛත්‍රි පාලනයත් බලය ලබා ගැනීමේ තුරුම්පුවක් පමණයි..

    ReplyDelete
  3. බ්ලා....හ්..............
    අරලිය සොරුන් සහ අලි බබා හොරුන්...
    බලමුකො මොක දනයිද කියල

    ReplyDelete
  4. මෛත්‍රිගේ නික්ම යාමෙන් පසු පැවති මාධ්‍ය සාකච්චාව ගැන රතුගේ අදහස හරි.මහින්ද බලයට පත් මොහොතෙන් සිට කාලේ හැම පක්ෂයක් භේද බින්න කරපු එක.දැන් එකම තමන් වෙත පරා වළල්ලක් වෙලා වගේයි.

    ReplyDelete